“වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව”
අපට පුංචි සන්ධියේ පටන් ඇසෙන ඒ පිරුළට අද වන විට ලැබී ඇත්තේ කෙතරම් අගයක් ද? නීතිය සාධාරණය ඉෂ්ට සිද්ධ කරදිය යුතු අංශම එය උකසට තබා තම පෞද්ගලික සුඛවිහරණය සඳහා නීතිය යොදවා ගනී නම් ඉතිං, “ඒ අමාරුව” කාට නම් පවසම් ද?
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම අවිය වී ඇත්තේ පාතාලයයි. පාතාලයේ ඉලක්කය මත්ද්‍රව්‍ය ජාවාරමයි. මේ සුසංයෝගය ගැන අපි හොඳින්ම දනිමු. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලීසිය, බන්ධනාගාරය මෙන්ම සුරාබදු වැනි නිලලත් ආයතනවල ඇතැම් දූෂිත නිලධාරීන් සහාය ලබා දෙන බව ද මුළු මහත් සමාජයක් ම දන්නා කාරණයකි. විශේෂයෙන්ම පාතාලයත් පොලීසියත් අතර ඇත්තේ ද සමගාමී න්‍යායකි. කරලියට “පාතාලය” ගෙනඑනු ලබන්නේ ද පොලිසිය විසින්මය. එය රඳවා තබා ගන්නේ ද පොලීසියයි. “ලොකු කුඩ්ඩකු” දුටුවිට අහක බලා ගන්නේත්, “පොඩි කුඩ්ඩකු” දුටුවිට දඟ දමා කුදලාගෙන එන්නේ ද මේ පොලීසියයි. ඉකුත් දිනෙක රත්මලාන ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියක දී පොලීසිය බලා සිටිය දී සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තබා යයි. පසුව ඩුබායි සිට හඬපටයක් මගින් ඔවුන් කියන්නේ “එස්.එස්.පී.ටයි අයි.ජී.ටයි කියපං පතුරොම් කොපු අහුලගෙන යන්න කියලා” යනුවෙනි.
රත්මලානේ අංජුලා රොහාලාගේ පාතාලයන් එසේ ක්‍රියා කරන්නේ මුලු පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට ලක් කරමිනි.
කොතෙක් කීවත් පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇත්තේ දැඩි බැඳීමකි. ඒ සඳහා ආසන්නතම උදාහරණය අපට මතක් කර දෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයයි. දැන් දැන් සැකකාර නාකොටික් නිලධාරින් 18 දෙනාගේ “පැටිකිරිය” එළියට එන්නට පටන් ගෙන ඇත.
“මුළු පොලිස් දෙපාර්තමේන්තුවම මුන් කෑවා. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ” සාමාන්‍ය ජනතාව කුමක් කීවද, නිල ඇඳුම් අඳින අයම මේ ආකාරයෙන් කියනු අපට ඇසී ඇත.
මෙහි සැකකරුවන් 13 දෙනකු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. සිද්ධියේ “මහ මොළකරුවන්” වශයෙන් හැඳින්වෙන නාකොටික් නිලධාරීන් පස්දෙනකු මේ වන වට සිටින්නේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. විශේෂයෙන්ම මෙම සිද්ධියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරින් සිදුකර ඇත්තේ මහ මොළකරුවන්ට ආධාර අනුබල දීම බවට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු තහවුරු කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් දැන් දැන් අධිකරණය හමුවේ ද කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියේ 13 වැනි සැකකාර පොලිස් කොස්තාපල් සුබසිංහ ආරච්චිගේ දිනේෂ් නිර්මල යන අය විසින් “වීරසිංහ” නමැති නාකොටික් නිලධාරියාගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගත් බවට අධිකරණය හමුවේ ද කරුණු ඉදිරිපත් විණි.
“වීරසිංහ කියන නිලධාරියා මත්ද්‍රව්‍ය කෙනෙකුට අලෙවි කරනවා මේ නිර්මල කියන නිලධාරියා දැක්කා. ඒක වහගන්න තමයි මේ රුපියල් ලක්ෂ 10 දෙන්නේ.” සැකකාර නිලධාරියාගේ නීතිඥවරයා අධිකරණයට කරුණු කියන්නේ එපරිද්දෙනි. දුන්නු පලියට ගත් නිසා අද ඔහුට සිදුවූයේ කුමක් ද?
වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා හොරොයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන මෙම සැකකාර නාකොටික් නිලධාරීන්ට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට එවා තිබූ ගිනි අවි ද පාතාලයට විකුණා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇත. එය විකුණුවා ද නැතහොත් පාතාලයන් අතට වෙනයම් හෝ ආකාරයට ලබා දුන්නා ද යන්න මේ වන විට විමර්ශනයට බඳුන් වී ඇති කරුණකි. විශේෂයෙන්ම මෙලෙසින් ලද බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවි පහෙන් එකක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණේ නාකොටික් පොලිස් පරීක්ෂකවරයකු මුදල් සමග ගිනිඅවිය ද සඟවා තිබිය දීය. ඉතිරි පිස්තෝල හතර ගල්කිස්ස බඩෝවිට රජිත නොහොත් “ලොකූ”ට ලබා දුන් බවට සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ බව රහස් පොලීසිය කියයි. දැන් හොයන්නේ මේ “රජිත නොහොත් ලොකූ” යනු කවුරුන් ද යන්නය.
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ සමන්ත කුමාර නොහොත් “වෙළේ සුදා”ය. මේ “ලොකූ” කරලියට එන්නේ කොහි සිටදැයි දැන් බුද්ධි අංශ තොරතුරු සොයමින් සිටියි. බඩෝවිට ප්‍රදේශයේ සුපිරි තෙමහල් නිවසක හිමිකරුවකු වන මොහු කලක පටන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එකතු වී ප්‍රදේශය පුරා හෙරොයින් මත්ද්‍රව්‍ය විකුණමින් සිට ඇති පුද්ගලයකු වන බවත් මහා පරිමාණයෙන් පාතාලය සමග හෙරොයින් ජාවාරමට සම්බන්ධවෙමින් සිටින පුද්ගලයකු බවත් මේ වන විට ආරක්ෂක අංශ ලොකූ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගෙන තිබේ.
“ලොකූ කියන්නේ බඩෝවිට පැත්තේ නම්බර් වන් ස්මග්ලර්. හවසට කොහොමත් ගෙදර නෙෙමයි ඉන්නේ කැසිනෝ එකේ. ඒකෙනුත් එයා නම්බර් වන්.” මොහු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයකු පැවසුවේ එසේය. මේ වන විට ලොකූ සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය භාරයට පත් වෙයි. මෝටර් රථය නොව අවශ්‍ය වන්නේ එය භාවිත කරන පුද්ගලයායි. එසේ නම් සී අයි ඩීයට තවත් කළ යුතුව ඇති කාර්යයන් බොහෝය.
මේ වන විට රජිත නොහොත් ලොකූගේ සමීපතම ඥාතියකු සතුව එක් පිස්තෝල ගිනි අවියක් සන්තකයේ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ආරක්ෂක අංශ සඳහන් කරයි. “ලොකූ” දැන්, “අතුරුදන් ලිස්ට් එකේ” ය. හැමදාමත් ඔහුට කට්ටි පනිමින් සිටිය නොහැකිය. හෙට අනිද්දා මේ කියන ලොකූ ද නීතියේ රැහැනට කොටුවිය යුතුය.
ලොකූට මත්ද්‍රව්‍ය විකුණුවේ කවුරුන් ද යන්න මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයමින් යයි. රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරන නාකොටික් නිලධාරීන් දැන් සියල්ල වමාරමින් සිටින්නේ කළ පව් පඩිසන් දීමෙනි. රැඳවුම් නියෝග මත රඳවා සිටින උපපොලිස් පරීක්ෂක උදාර නමැති නිලධාරියාගේ මිනුවන්ගොඩ නිවසේ තිබී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් සමග ගිනි අවියක් ද රහස් පොලීසිය සොයා ගන්නේ මෙම සිද්ධිය ආරම්භයේදීමය. එසේම දැන් අලුත්ම කෙරුවාව අනාවරණය වූයේ පෙරේදා මීගමුවේ බෝට්ටුවක් පදවන්නකු ලබා දුන් සැටලයිට් දුරකතනයක් හේතුවෙනි.
“මේක උදාර මහත්තයා තියා ගන්න කියලා දුන්නා, එයා ආපහු ආවාම දෙන්න කියලා. එතකල් තමා මට තියා ගන්න කිව්වේ.” බෝට්ටු පදින්නා එම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙමින් කියා ඇත.
විශේෂයෙන්ම මහ මුහුදේ සිදුවන දුරකතන සංවාදවලට මෙන්ම විදේශයන් හි සිදුවන දුරකතන සංවාද නීතියේ රැහැනට හසුනොවන මහඟු උපකරණයක් ලෙස මෙම සැටලයිට් දුරකතනය හඳුන්වා දිය හැකිය. විශාල මුදලක් වැය කර ලබා ගන්නා මෙයින් නාකොටික් නිලධාරීන් සිදුකර ඇති වැටලීම් ගැන දැන් අමුතුවෙන් කිව යුතු නැත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දැලට හසුනොවී කතා බස් කිරීමට මොවුන් මෙය උපයෝගී කරගෙන ඇති හැඩකි. විශේෂයෙන්ම මෙම සැකකාර නාකොටික් නිලධාරීන් භාරයේ තිබී ජී පී එස් යන්ත්‍ර කිහිපයක් ද අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමත් වී තිබිණි. මෙවැනි යන්ත්‍ර පොලිස් නිලධාරීන්ට අත්‍යාවශ්‍යම අංගයන් ද? පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් සිදුකර ඇත්තේ පෞද්ගලික සමාගමක වෙළෙඳාම් සිදුකරන ආකාරයෙන් නොවේදැයි යන්න දැන් දැන් එළියට එන ඒවායෙන් තහවුරු වෙයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිස් විශේෂ කාර්ය බළකායත් පොලිස් නිල සුනඛයින්ගේ සහායෙන් නාකොටික් කාර්යාල පරිශ්‍රය පැය පහක පමණ කාලයක් සෝදිසියට ලක් කරන්නේ මේ හේතුවෙනි. ටයිල් ග්ලවුඩ් වැනි කුඩු සහිත මිශ්‍රණයකින් කිලෝ ග්‍රෑමයක්, දුරකතන සිම්කාඩ් පත් 07ක්, ජීව පතුරම් කිහිපයක්, හෙරොයින් හුළං වැදීමෙන් පසු ද්‍රව්‍යයක් වන “චරස්” නමැති ඒවායින් පැකැට් කිහිපයක් මෙම සෝදිසියේ දී පොලීසිය සොයාගෙන තිබිණි. රහස් පොලීසිය මේ සිදුකළේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවා වැනි වැඩක් නොවේද?
දැන් දැන් හෙළි වී ඇති කරුණු අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්ය බළකායේ කිසියම් නිලධාරීන් කණ්ඩායමක් ද සහයෝගය දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු තහවුරු කරගෙන තිබේ.
නාකොටික් නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම ව්‍යාජ වැටලීම් සඳහා මෙම එස් ටී එෆ් නිලධාරීන් කිහිප දෙනා නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති බවත් එම නිලධාරීන් කණ්ඩායම දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් සිට රාජකාරි අනුමැතියකින් තොරව මෙම වැටලීම්වලට සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නකි.
නාකොටික් නිලධාරීන්ගේ මේ සෙල්ලම මුලින්ම එළියට එන්නේ වැලිසර මහබාගේ දී සොයාගත් හෙරොයින් කිලෝ 243ක ප්‍රමාණය සම්බන්ධයෙනි. මෙම සැකකාර නාකොටික් නිලධාරීන් දකුණු මුහුදු තීරයේ දී එනම් බළපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් මෙම හෙරොයින් අත්අඩංගුවට ගෙන ඉන් කොටසක් වශයෙන් කිලෝ 243ක ප්‍රමාණය එළියට පෙන්වූ බව දැන් මුළු රටම දන්නා කතාවකි. ඔවුන් විසින්ම අල්ලා ඔවුන් විසින්ම පැකට් කර නැවත ඔවුන්ම ජාවාරම්කරුවන්ට විකුණා ඉතිරිවන යමක් වෙත්නම් එය මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාගෙන වැටලීම් කළ බවට සඳහන් කරමින් මොවුන් කටයුතු කර ඇති ආකාරය ගැන අධිකරණයේ දී පවා හෙළිවූ කරුණු අතර වෙයි. එපමණක් ද නොව වැටලීම්වලට ලැබෙන ගෞරව සම්මාන මෙන්ම ත්‍යාග මුදල් ද කිසිදු හිරිකිතයකින් තොරව ලබාගෙන ඇති මොවුන් එවකට ජනාධිපතිවරයා ඇතුළු මුළු මහත් ඉහළ නිලධාරීන් ද් සාමාන්‍ය ජනතාව ද ගොනාට අන්දවා තිබේ.
මේ පිළිබඳව දැන් දැන් සාක්ෂි ලබා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටින සිවිල් පුද්ගලයකු වන ට්‍රෝලර් බෝට්ටු ඉස්කීපර්ය. සැකකාර නාකොටික් නිලධාරීන් මොහුට එක ගමනකට රුපියල් කෝටියක් ලබා දී ඇති බව ද මොහු පවසා ඇත. වැලිසර මහබාගේ සෙල්ලම වාගේම තවත් සෙල්ලමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකීර්ණයක් වන ‘මරීනා මෝල්’ නමැති ස්ථානයේ රථගාලේ දී සිදුවූ වැටලීමෙනි. ඒ ඉකුත් 2019 වර්ෂයේ පෙබරවාරි මස 23 දා කළ වැටලීම සම්බන්ධයෙන් වූ තොරතුරුය. මේ සිද්ධියේදී ද නාකොටික් නිලධාරීන් හැසිරී ඇත්තේ පෙර පරිද්දෙනි.
බළපිටිය මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රාවකට පටවාගෙන පසුව තවත් බෝට්ටු මගින් බළපිටිය ප්‍රදේශයේ “විලා” එකක දී ඒවා පැකට් කර ඔවුන්ගේම මෝටර් රථයෙන් සහ ලොරියකින් කොළඹට පටවාගෙන ඇවිත් ඇත්තේ ලයිසන් එකක් ලෙස පොලිස් හැඳුනුම්පත උපයෝගී කර ගනිමිනි. මේ හොරොයින් තොගය ද සැකකාර නාකොටික් නිලධාරීන් ගොඩබිමට ගෙනැවිත් ඇත්තේ ඉහත කී ට්‍රෝලර් බෝට්ටු ඉස්කීපර් මගින් බව ද ඔහු සාක්ෂි දෙමින් පවසා ඇත. මේ සියල්ලටම මේ කියන එස් ටී එෆ් නිලධාරීන් ඍජු ලෙස දායක වී ඇති බවට ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලැබී ඇති බව ද සඳහන් වෙයි. මෙවන් වූ අපරාධ සම්බන්ධයෙන් දායක වන කුමන හෝ තරාතිරමක පුද්ගලයකු වුව ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් වහාම ක්‍රියාත්මක විය යුතුය. මන්ද යත් මොවුන් රවටා ඇත්තේ මුළු මහත් සමාජයක් වීමය. “දැන් කුඩු විකුණන්නේ පොලීසියනේ” යනුවෙන් සාමාන්‍ය සමාජයෙන් ඇසෙන අපවාද නතර කර දැමීමට නම් පොලීසියම තම මඩ පිසදා ගත යුතු වෙයි.
දැන් දැන් පොලීසිය කරන්නේ මේ මඩ පිසදා ගැනීමට උත්සාහ ගැනීමට වඩා ‘ලකුණු දා ගැනීමේ’ ක්‍රියාවලියයි. එක් පැත්තකින් පාතාලය මෙන්ම තවත් පැත්තකින් පොලීසිය දේශපාලනීයකරණය වී ඇත. එයින් සිදුව ඇත්තේ පොදු මහ ජනතාවට “කණකොකා හැඬීම” පමණි. උසස් වීමක් හෝ රඳා පැවැත්මක් හේතුවෙන් පොලිසිය දේශපාලනයට ළංවී ඇත. විශේෂයෙන්ම අද වන විට ඇතැම් පාතාලයන් දේශපාලනඥයන් හසුරුවන බව ද කවුරුත් දන්නා කාරණයකි. හරියට මෙය ත්‍රිකෝණාකාර බැඳීමක් වාගේය. පොලීසියට පාතාලයත්, පාතාලයට පොලීසියත් මේ දෙකටම දේශපාලනයත් නැතිවම බැරි වී තිබේ. මෙයින් පීඩාවට පත්වන්නේ අහිංසක අසරණ මහජනතාවය. දැන් මොවුන් එකිනෙකාට කඩේ යාගන්නවා පමණක් නොව මහජනතාව වටේ යවනවා යන්න පමණක් සක්සුදක් සේ පැහැදිලි වන්නකි.
පොලිස් දෙපාර්තමේන්තුව මේ ගෑවිච්චි කළු පැල්ලම් මකා ගැනීමට තවත් එවැනිම නිරයකට බැසිය යුතුද? මේ ලකුණු වට්ටා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඔවුන්ට සිදුවන්නේ ද රෑ වැටුණු වළේ දවල් වැටීම පමණකි. මේ වන විට විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අංගොඩ ලොක්කා” නමැත්තා විසින් මෙරට ප්‍රධාන පෙළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට කොටු කර දීමට සූදානමක් ඇතැයි ද බුද්ධි අංශ මේ වන වට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. පාතාලයෝ පාතාලයෙන්ම නැසී යන්නේ නම් එය කම් නැත. එහෙත් එයට අතරමැදියන් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ යමෙකු මැදිහත් වන්නේ නම් එය මඩ සෝදාගැනීමකට වඩා මඩ නා ගැනීමකට එහා ගිය දෙයක් නොවන්නේය. මේ වන විට රිය අනතුරකට ලක්ව අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවට ද බුද්ධි අංශ තොරතුරු සොයාගෙන තිබේ. අවි ගත්තෝ අවියෙන් නැසෙන්නා සේ අවි ගත්තන්ට උණ්ඩ සපයන්නට කිසිවකු හෝ ඉදිරිපත් නොවිය යුතුය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කර ඇත්තේ ද එවැන්නකි. කොහේවත් යන නයි රෙද්ද අස්සේ දමාගෙන දැන් නාකොටික් කියන්නේ කෑවෝ කෑවෝ කියාය. ජාත්‍යන්තර මුහුදේ යන නැවක තිබුණු හෙරොයින් මේ රටට ගෙනත් ඒවා විකුණුවේ නම් කුමන හෝ තැනැත්තෙකුට නීතියෙන් සමාවක් නොලැබිය යුතු වෙයි. එම වරද නිල ඇඳුමක් ඇඳි අයෙකු කළා නම්, ඒ ගැන කියන්නට දෙයක් ඇත්තේම නැත.
පාතාලයේ වැඩක් හමුවේ පොලිසියේ නම නොගෑවුණානම් එය පුදුමයකි. දකුණේ සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධියේදී සැකකරුවන් ප්‍රවාහනය කර තිබුණේ තලංගම කොස්වත්ත පොලීසියේ කොස්තාපල්වරයෙකි. එසේම හෝමාගම පිටිපනදී හමුවූ අවි ආයුධ තොගය සම්බන්ධයෙන්ද පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ රියැදුරෙක් අත්අඩංගුවට පත්විය.
මෙම කොස්තාපල්වරයා සතුව තිබී ටී - 56 ගිනිඅවි දෙකක් මෙන්ම උණ්ඩ 750 ක්ද රහස් පොලිසිය අත්අඩංගුවට ගනී. මොවුන් තම නිල ඇඳුම උකස්කර මේ සිදුකර ඇත්තේ නීතිය රැකීමද?.
පාතාලයේ අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරම බව අපි නැවතත් කියමු. එයින් විනාශ වන්නේ මේ රටේ තරුණ පරපුරයි. මෙරට සිටින කුඩු ලොක්කන්ගේ දුවා දරුවන් යන්නේ ජත්‍යන්තර පාසල්වලටය. නොඑසේ නම් ඔවුහු විදෙස්ගතව අධ්‍යාපනය හදාරමින් සිටිති. තුන්වන පන්තියේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට ඉතිරි විය යුත්තේ මෙවන් වූ අසාධාරණ සමාජයක් පමණක් ද? පාතාලයෝ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව සයිඩ් බිස්නස් එකක් ලෙසින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම ද මොවුන් සිදුකරති. ඒ නම රැකගැනීමට මෙන්ම අයියලා බව පෙන්වීමටය. නිදහසේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නට ද මේ අයියලා ඉඩ දෙන්නේ නැත. මේ සියල්ලටම තෝතැන්න වී ඇත්තේ බන්ධනාගාරයයි. එසේ කියන්නේ මන්ද යත්, මේ අයියලාගෙන් වැඩි දෙනෙක් දැන් ඉන්නේ බන්ධනාගාරයේය. දැන් බන්ධනාගාරය “සර්ච් පිට සර්ච්” කරති. එහෙත් ඒ සෝදිසි මෙහෙයුම් ඔවුන්ට වැඩක් නැත. විරුද්ධව යා හැකි ස්ථානයකින් පැන ගන්නට මොවුහු උත්සාහ කරති. ප්‍රතිඵලය වෙළේ සුදා මෙන්ම කංජිපානි සහ කොස්ගොඩ තාරක, පොඩිලැසී, බ්ලූමැන්ඩල් සංඛ, මර්වින් ජානා ඇතුළු “සෙට්” එකක් ආහාර වර්ජනයක යෙදීමය.
දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩාපිටියක් බවට පත්ව ඇති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසා තිබුණි. අපරාධකරුවන් බන්ධනාගාර තුළ සිට පාතාලය මෙහෙයවන බවට කරුණු තහවුරු වී අැති බවට නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරය තුළ කළ සංචාරයකින් පසුවය. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පවතින සහජීවනය මෙරටට ගෙන එන්නේ අභාග්‍යයකි. බන්ධනාගාර නිලධාරින් කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියට ඉදිරියෙන් රෙද්දක් එලන්නේ මේ සහජීවනය නිසා නොවේද?
සුලු වැරැද්දකට බන්ධනාගාර ගත වන තරුණයකු ඉන් එළියට එන්නේ “අයියා” කෙනෙකු ලෙස ලේබලයක් ගසාගෙනය. පාතාලය යනු “පා තැබූ ආකාරයයි” වශයෙන් මෑතක දී උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසා තිබිණි. රටක ආරක්ෂාව යනු ත්‍රස්තවාදය මෙන්ම කැරලිකරුවන්ගෙන් මෙන්ම පාතාල ක්‍රියාකාරිකයින්ගෙන් රට මුදවා ගැනීමය. යහපතට අභියෝග කරමින් අයහපත ඉස්මතු වන්නේ නම් හොඳින් හෝ නරකින් නොඑසේ නම් “මකවා” හෝ මේ පිරිස් යහමගට ගැනීම සාධාරණ සමාජයක් අගයන සැමගේම උත්සාහය විය යුතුය. ඒ සඳහා අප අද මෙන් හෙට ද පෙළ ගැසිය යුතු වෙයි.
(*** විමුක්ති කුමාරසිංහ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාකොටික් වමාරද්දී එළිවෙන මාර සෙල්ලම්
RIHAN Thursday, 16 July 2020 09:01 AM
ගෙල සිඳීම නැතිනම් උල තැබීම වැනි පැරැණි රජකාලේ දඬුවම් ආයෙත් ඇති කළොත් හොඳයි.
Raveendra Thursday, 16 July 2020 07:11 PM
මෙම මෘගයින්ගේ සියලු විස්තර පුද්ගලික තොරතුරුද සමග මහජනතාවට දැනගැනුමට ප්‍රසිද්ධකර (ඡායාරූපද සමග) "වෙඩි තබා මරා දැමීම " සිදුකිරීම මගින් සමාජයට අතිමහත් සේවයක් ලැබෙනු ඇත.
Warnakulasuriya Saturday, 18 July 2020 02:26 PM
පාක්ෂිකයින්ගේ සාමාජික මුදලින් වාහනයක් ලබාගෙන දේශපාලනයට එක් වෙන අද කෝටිපති නාම ලේඛනයේ ඉදිරියට පැමිණ සිටින දේශපාලකයින්ද, කුඩු ජාවාරම් කාරයින්ව අත්අඩංගුවට ගැනීමට නිවස වටකරන කොට ඔහුව බදා ගන්නා රාජ්‍ය නායකයන්ද, බාර් හිමියන්, අරක්කු ස්කාගාර හිමියන්, රේස් බුකි හිමිකරුවන්, පස් ජාවාරම් කාරයින් වගේම මහදවල් බැංකු කඩන දේශපාලකයින්ගෙන් පාලනය වෙන රටක, නින්දිත වුණත් මෙවැන්නක් එතරම් සැලකිය යුතුතරම් නොවේ. ඉහළ එකා ගැන සිතන පහළ එකාත් මොනවා හරි මගෝඩිස් වැඩක් කර ජීවත්වීමට සිතීම අද සංස්කෘතිය වී ඇත. වැරදිකරුවන් යම් ප්‍රමාණයක් නිවැරදි කර ගත හැකි වුණත් සංස්කෘතියක් වෙනස් කිරීම පහසු නැත. වෙනස් කර ගතයුතු තැන ජනතාව තවමත් තේරුම් ගෙන නැත. සත්‍ය තත්වයක් ජනතාවට පෙන්වාදී ඇති ඉහත ලිපිය අපි අගය කරමු.