IMG-LOGO

2025 අප්‍රේල් මස 04 වන සිකුරාදා


නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත


ඉවර වී ඇත්තේ ක්‍රිකට් විතර ද යන සිතුවිලි දාමයක පැටලීමට ආසන්නතම හේතුව වූයේ ලංකාවෙන් ක්‍රිකට් ගැසීමට ගොස් ජෛව බුබුලට කටුවකින් ඇනීමේ චෝදනාවට ලක්ව පෙරළා පැමිණි ක්‍රීඩකයන් තිදෙනා නොව, එය පදනම් කරගෙන බිරිඳ කියූ ‘ලංකාවේ ක්‍රිකට් ඉවරයි’ යන ප්‍රකාශය යි. මේ ප්‍රකාශය ජාතික රාජ්‍ය වාදී එකකි. එනම් ජාතික රාජ්‍යයක් ලෙස තම අනන්‍යතාව ජාත්‍යන්තරය තුළ ලකුණු කළ එක් ආඩම්බරකාරී මාධ්‍යක් වූයේ ක්‍රිකට් ය. එය ඒ සඳහා ඉතිරි වී තිබූ එකම මාධ්‍යය ය. දැන් ඒකත් ඉවර ය.

 

බුදුන්ගේ මඟ: සමාජ-ඓතිහාසික ප්‍රවේශයක් (The Buddha's Way: A Socio-Historical Approach) යන නමින් තම ආචාර්ය උපාධි පර් යේෂණ නිබන්ධය ඉදිරිපත් කළ, කලක් කතෝලික පූජකවරයකුව සිටි අප මිත්‍ර ආචාර්ය නලින් ස්වාරිස් වරක් ප්‍රකාශ කළේ “ඔයාල මහා නිධානයක් උඩ ඉඳගෙන පිස්සු නටනවා, ඒකෙ වටිනාකම ඔයාලට තේරෙන්නේ නැහැ” යනුවෙනි.  ඔහු ඒ මහා නිධානය ලෙස නම් කළේ බුදු දහම ය. එහෙත් අප ඒ නිධානය අයිති කරගත් බහිරවයන් වූවා මිසක් එහි ආඩම්බරකාරී අනන්‍යතාව ලෝකය ඉදිරියේ තබන්නට සමත් වූයේ ද නැත. එවැනි අනන්‍යතාවක් ගවේෂණය කිරීමට ඉන්දියානු - ශ්‍රී ලංකා බුද්ධිමතුන් ගත් බැරෑරුම් උත්සාහය හෙළිදරව් කළේ, ශ්‍රී ලංකා-ඉන්දියා බෞද්ධ ශාස්ත්‍රීය සම්බන්ධතා ගැන පර් යේෂණයක් කළ මා ගුරු මහාචාර්ය ජයදේව උයන්ගොඩ ය.

 

හරයාත්මකව බලන කල පෙනී යන්නේ ඇත්තටම ඉවර වී ඇත්තේ ක්‍රිකට් පමණක් නොව බොහෝ දෑ ඉවර වී ඇති බවය. ඒ බොහෝ දෑ අතර, නියෝජන දේශපාලනය ඉවර වී කල්ලි දේශපාලනය බලවත් ලෙස ඉස්මතු වී ඇත. ඔන්ලයින් ක්‍රමය විසින් සියයට පනහකගේ පමණ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඇහිරී නිදහස් අධ්‍යාපනය නිහඬව ම  ඉවර වී ඇත. ඇති හැකි අයට පමණක් එය සීමා වෙමින් පවතිනු දැකිය හැක. ඔන්ලයින් ඉස්කෝල අහිමිව හඬන දරුවන්ගේත්, ගුරුන්ගේත්, මාපියන්ගේත් කඳුළු අපට පෙනෙන්නේ නැත. අප ක්‍රියාකරමින් සිටින්නේ එවැනි ව්‍යසනයක් සිදු නොවන ගානට වගේවගක් නැතිව ය. මගී ප්‍රවාහනය වෙළඳපොළට විවෘත කිරීමත් සමඟ එය පටන් ගැන්මේ සිටම ඉවර ය. රාජ්‍ය රෝහල් යටකරමින් පැන නැගුණු රාජ්‍ය නියාමනයක් නැති පෞද්ගලික රෝහල්  සහ සෞඛ්‍ය වෙළඳ ව්‍යාපාර විසින් පීඩිත ජනයා කබලෙන් ළිපට ඇද දමා ඇත.

ජාතික හෘදසාක්ෂියක් සහිත පාර්ලිමේන්තුවක් හෝ නියෝජන ක්‍රමයක් අපට නැත. ඇත්තේ පෞද්ගලික බල සහ ධන අරමුණු සහිත බහුතර පිරිසක් රැස්වන පාර්ලිමේන්තුවක්ය. දැනුවත් පොදුජනයාට දේශපාලනය තබා ඒ වචනයත් එපාවී ඇත්තේ, නියෝජනයක් නැති, වගකීම් විරහිත, පොදුජන හෘදසාක්ෂියක් නැති, සහ ජාතික හෘදසාක්ෂියක් නැති මෙරට පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය නිසාය. 1931 සිට විවිධ නියෝජිතවරණ ප්‍රතිසංස්කරණ ගෙනආ බව ඇත්තකි. ඒ සෑම එකකින්ම උත්සාහ කළේ නියෝජනයේ හෝ නියෝජිතයාගේ ගුණාත්මකභාවය වැඩිකිරීමට නොව නියෝජිතවරණවලට අදාළ තාක්ෂණික සහ ප්‍රමාණාත්මක වෙනස්කම් වැඩිදියුණු කිරීමටය. මේ මොහොතේත් නියෝජිතවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ආණ්ඩු මැදිහත්වීමක් තිබුණද එය ද තාක්ෂණික සහ ප්‍රමාණාත්මක ආකෘතියකට කොටුකරගෙන ඇත. ගුණාත්මක පාර්ලිමේන්තු ක්‍රමයක් සහ නියෝජිතයන් සහිත නියෝජන ක්‍රමයක් සඳහා වූ ප්‍රතිසංස්කරණ ගෙන නොඑන්නේ එසේ කළහොත් පාලක බොහෝ දෙනකු ඊට සුදුස්සන් නොවන නිසා විය හැකිය. ඒ නිසාම මේ ආකාරයේ නියෝජිතවරණ ප්‍රතිසංස්කරණ සඳහා දරන වියදම නම් ජනයාගේ පැත්තෙන් බලනවිට ගඟට ඉනි කපුවා වැනිය. ඉතින් නියෝජන දේශපාලනය ඉවර වී එය පුද්ගල සහ කල්ලි දේශපාලනයක්  බවට ඌනණය වී ඇත.

ඉවර වෙමින් යන ආර්ථිකය දෙස මීළඟට අවධානය යොමු කරමු. රට සංවර්ධනය කිරීමට යැයි කියමින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා 1977 සිට ලබාගත් කොන්දේසි සහිත විදේශ ණය ප්‍රමාණයෙහි පොලිය වත් ගෙවාගත නොහැකි තැනකට රටේ ආර්ථිකය තල්ලු‍ වී ඇත. ඒ මහා පරිමාණ ව්‍යාපෘතිවලින් අපේක්ෂා කළ ආර්ථික දියුණුවක් හෝ සංවර්ධනයක් පෙනෙන දැනෙන තරමට නම් නැත. මේ කිසිවක් කොරෝනා වසංගතය නිසා සිදු වූ ඒවා නොවේ. කොරෝනා වසංගතය නිසා සිදු වුණේ එම අර්බුද පෙනෙන්නට පටන්ගත් එක පමණි.

විදේශ ණය උගුල ගැන රටේ ආර්ථිකයේ පරිහානිය ගැන විදේශසංචිත හිඟය ගැන මා මිත්‍ර චරිත හේරත් ට පවා ‘කිවි දා දැක්ම’ තුළ එඩිතරව ලියන්නට සිදු වී ඇත්තේ ඒ නිසා ය. එහෙත් විශේෂත්වය වන්නේ මීට ටික කලකට පෙර වෙළඳපොළ අනුහස ගැන පමණක් උදම් ඇනූ මා මිත්‍ර චරිත හේරත් සීරු මාරුවට රාජ්‍ය මැදිහත්වීම දෙස තරමක සාධනීය ලෙස බලන්නට පටන් ගැනීමය. එහෙත් අශ්වයා පැනගොස් බොහෝ කල් ය. එසේම මැදිහත් වීමට සුදුසු ජාතික හෘදසාක්ෂියක් සහිත රාජ්‍ය තන්ත්‍රයක් නැතහොත් යාන්ත්‍රණයක් අපට නැත. චරිත දක්වන ආකාරයට, මේවනවිට රටේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50කට ආසන්නය. 2020 වර්ෂයේ අපේ රටේ විදේශ ණය ප්‍රමාණයවූ බිලියන 49.2 යනු අපේ රටේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 60 පමණ වූ අගයක්ය. 2019 වර්ෂයේ ණය වාරිකය වශයෙන් ගෙවන්නට සිදුවූ මුදල අමරිකානු ඩොලර් බිලියන 5.8ක් වූ අතර එය 2020 වර්ෂයේ ඩොලර් බිලියන 4.4 විය.

මේ සා ණය කන්දරාවක් ලබාගෙන ඇත්තේ රට සංවර්ධනය කිරීමට නම් එය සිදු නොවුණේ ඇයිද යන්න විමතියට කරුණක් ම ය. මහා ප්‍රහේලිකාවක් ය. මහාචාර්ය තිස්ස විතාරණ නොබෝදා හෙළිදරව් කළ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 ක් අදායම් ලබන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමකින් ය. සියයට 18 කින් මන්ද පෝෂණය වැඩි වී ඇත. ඒ කියන්නේ බොහෝ අය ඉන්නේ බඩගින්නෙන් හෝ අඩු පෝෂණයකින් ය. ඒ මහා අර්බුදයේ එක පැතිකඩකි. මා මිත්‍ර මහාචාර්ය සුමනසිරි ලියනගේ ඉතා විධිමත් ජාතික වැඩපිළිවෙළක් සහිතව මුහුණු පොතේ පළකොට ඇති ලියවිල්ලෙන් කියා සිටින්නේ ලංකාවේ ආර්ථිකය ඇත්තේ බරපතළ අර්බුදයක බවය.

ඇත්තටම මේ මහා අර්බුදයට හේතුව කුමක්ද යන්න අප සියලු‍ දෙනාම එකතුව සොයා ගත යුත්තකි. මා දකින ආකාරයට මේ අර්බුදය ප්‍රධාන සාධක දෙකක් නිසා පැන නැගුනකි. පළමු සාධකය වන්නේ 1977 සිට මෙරට පාලනය කළ පාලකයන් ජාතිකරාජ්‍යවාදීන් නොවීම ය. ඔවුන් ජාතිකවාදය දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කළා මිසක ජාතිකරාජ්‍ය අරමුණු වෙනුවෙන් මනස සහ කය මෙහෙය වූයේ නැත. දෙවැනි සාධකය වන්නේ අයහපත් ආණ්ඩුකරණය ය. නැතහොත් දීර්ඝ කාලයක් තිස්සේ පවතින දූෂිත ආණ්ඩුකරණය ය. මේ තත්ත්වය අප්‍රිකානු සහ ආසියානු මහද්වීපවල බොහෝ රටවල් ද මුහුණ පා ඇති එකකි.

දේශපාලන බලය ලබා ගැනීම සහ පවත්වාගෙන යාම මිස රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය විධිමත්, පිරිසුදු සහ යහපත් ක්‍රියාදාමයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පාලකයෝත් ආණ්ඩුකරණයේ අනෙකුත් ක්‍රියාකාරිකයොත් හිතා බැලු‍වේ නැත. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ජීවිත අර්බුදයකට නො යා තිබීම ය. සමාජයක් රාජ්‍යයක් ගොඩනැගිය යුත්තේ නිදහස, සමානාත්මතාව, සහ සහෝදරත්වය මත ය. රටක ප්‍රගතිය මැනිය යුත්තේ පාලක ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටිකෝණයකින් නොව සමාජ ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටි කෝණයකින්ය. ඒ සඳහා ජාතික හෘදසාක්ෂියක් අවශ්‍යය ය.

චරිත හේරත් ගිය සතියේ ‘කිවි දා දැක්ම’ තුළ නිවැරදිවම නම්කොට ඇති ආකාරයට මම රාජ්‍යවාදියෙක්මි. ඔව් එය සත්‍යයකි. වඩාත් සංයුක්ත ව කිවහොත්, මම ජාතිකරාජ්‍යවාදියෙක්මි. එසේම මම වර්ගවාදියකු නොව ජාතිකවාදියෙක්මි. එය එසේ වෙන්නේ හුදු හෝමෝ සේපියන් වර්ගයට පමණක් අයත් යැයි කීමට හැකි පසුබිමක් ලෝකය තුළ මේ මොහොතේ නොමැති නිසා ය. ඒ නිසා 19 සියවසේ මුල සිට අද දක්වා ම යුරෝපයේ රටවල්, සහ උතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය සහ කැනඩාව වැනි රටවල් ජාතිකවාදය සහ ජාතිකරාජ්‍යවාදය හරහා ලබාගත් ජයග්‍රහණ සහ විධිමත් රාජ්‍ය යාන්ත්‍රණ මගේ රටත් ලබාගන්නවා දකින්නට මම කැමැත්තෙමි. එවිට මේ රටේ ජනයාත් තෘප්තිමත් සහ ගෞරවාන්විත ජීවිතවල හිමිකරුවන් වනු ඇත. එය හුදු වෙළඳපොළවාදයකින් කළ නොහැකි බවත් රාජ්‍යය විසින් ජාතික අරමුණු සහිතව වෙළඳපොළ නියාමනය කළ යුතු ම බවත් ‘කිවි දා දැක්ම’ කීපයක් තුළම මා අවධාරණය කළ බව පාඨක ඔබට අමතක විය නො හැකිය.

මේ මහා අර්බුදයට හේතුව ජාතිකවාදී හෝ ජාතිකරාජ්‍යවාදී වීම නොව එසේ නොවීම ය. රටක් ගොඩනැගීමට ජාතික හැඟීම සහ ජාතික වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයම ය.

ලෝකයේ දියුණු හැම රාජ්‍යයක් ම ඒ තැනට පත් වූයේ ජාත්‍යන්තරවාදී වී නොව ජාතිකවාදී මූලයන් මත පිහිටා ය. ඒ රටවල් දැන් වැඩකරන්නේත් එවැනි පදනම්වල පිහිටා ය. අපේ රටේ පාලකයන් සහ තීරකයන් ඒ පාඩම් කිසි කලෙක කිසිම තැනකින් වත් ඉගෙන ගත්තේ නැත. ඉගෙන ගන්නේත් නැත. ඊට වුවමනාවකුත් නැත. පාලකයන් ජාතිකවාදී නොවීම සහ දූෂිත ආණ්ඩුකරණය යන මහා සාධක දෙකෙහි ප්‍රතිවිපාකය වී ඇත්තේ පාලකයන් ට නිදහස ලැබී අවුරුදු 73 ක් ගෙවී ගියත් ඒ නිදහස පොදුජනකරණය නොවී තිබීමය. එසේම චරිත හේරත් පෙන්වා දෙන පරිදිම ජාතික ආදායමෙන් සියයට 60 ක් පමණ වන විදේශ ණය යොදා නැටූ සංවර්ධන තොවිලයකුත් නැති බෙරේ පලු‍වකුත් නැති තැනකට රට පත් වීම ය. මේ අර්බුදයෙන් ගැලවීම ට නම් මෙරට වෙළඳපොළවාදය සහ රාජ්‍යවාදය මැද තැනකට ආ යුතු ය යන්න චරිතගේ යෝජනාව නැතහොත් ප්‍රතිකර්මය ය. එහෙත් එය පලදායී නොවන්නේ ඒ වෙළඳපොළ සහ රාජ්‍යය යන දෙක ම විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරන්නේ ජාතිකවාදී හෝ ජාතික රාජ්‍යවාදී හෘදසාක්ෂියක් නොවීමත් රටේ ආණ්ඩුකරණය පියවරින් පියවර අවරට ගමන්කොට තිබීමත් නිසා ය. ඉතින්, හිතමු මිතුර හිතමු.

(***)



අදහස් (3)

නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත

Raveendra Friday, 02 July 2021 06:53 AM

ඉතාමත්ම හරවත් මෙන්ම අප මව්බිමේ මෙතෙක් කාලයක් සිදුවුණු සහ සිදුවෙමින් පවතින යතාර්ථය පිළිබඳව විග්‍රහයකි. මෙවන් කණගාටුදායක තත්වයකට අප රට පත්ව ඇත්තේ "නිවට බල අරගලය, මිනිසුන්ගේ උද්දච්චකම, හීනමානය අනිකා අභිබවා යාමේ අතිමහත් උනන්දුව, වංක මිනිසුන් වැඩිපුරම සිටීම මෙන්ම නිලධාරිවාදය" නිසා නොවේද?

:       0       31

sunil Tuesday, 06 July 2021 09:54 AM

රවින්ද්‍රගේ අදහසට එකඟයි. සිංහල අපට ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිය. සුද්දා යනවිට දුම්රිය මාර්ග පද්ධතිය සාදා මුදලුත් ඉතිරි කරලයි ගියේ... අප පාලකයින් මේ වනවිට ඉතා බැරෑරුම්ව අපව ණය කර ඇත. අවසානයේදී පාලකයින් පත් කලේද බහුතර සිංහල අපයි. ඉතා කණගාටුදායකයි.

:       0       3

rasikaWednesday, 07 July 2021 10:12 PM

සුද්දා ඉන්න කාලේ, වැඩ වර්ජන නැහැ. ඉල්ලීම් නැහැ.. සුද්දගේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. මිනිස්සුන්ට කන්න නැතත් වැඩට යන්න ඕනේ. සුද්දගේ ආණ්ඩුව කියන ඕනෙම බද්දක් ගෙවන්න ඕනේ. උදාහරණයක් හැටියට බලු බද්ද, ගෙදර බල්ලෙක් හැදුවොත් බදු ගෙවන්න ඕනේ ආණ්ඩුවට... ගෙදර පොල්ගස් 04ට වඩා තියෙනවා නම් බදු ගෙවන්න ඕනේ සුද්දට... කන්න නැතත් බදු ගෙවන්න ඕනේ.. දැන් ඔය සුද්දා හිටියා නම් කරයි. කියන අය දාලා කැමැතිද ඒ විදිහට වැඩ කරන්න? බදු ගෙවන්න. සුද්දෝ කොළඹ-නුවර පාර කළේ කිසිම කම්කරුවෙකුට ගෙවීමක් නොකර. බද්ද ගෙවන්න බැරි අය පාරේ වැඩකරන්න ඕනේ නොමිලේ... දැන් කරාවිද? තමන්ගේ ගේ ඉස්සරහ දෙපැත්තත් ආණ්ඩුවෙන් සුද්ද කරලා දෙනකන් ඉන්නවා. උපාධි අරන් රැකියාව දුන්නේ නැහැ කියලා.. උද්ඝෝෂණ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 773 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1024 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 225 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 158 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 738 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 153 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 342 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 871 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 816 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site