IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නිදහස් කවියේ තුන්වැනි පරපුරක් බිහිවෙන ලකුණු

මෙරට ගීත සාහිත්‍යයේ සුපෝෂණය වෙනුවෙන් අමරණීය ගී රැසක් රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කලාවේ බොහෝ ඉසවු නියෝජනය කරමින් මෙරට සාහිත්‍යයට දායාද කළ කෘති බොහොමයකි. විශේෂයෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ, ගාන්ධර්ව අපදාන, සංස්කරණ සම්බන්ධව පළවූ කෘති ද කතුවරයාගේ නිර්මාණ කෘතිද ඒ අතර වෙයි. සිනමාව, කවිය, ගීතය, නවකතාව ආදිය එහි නියෝජනය වෙයි.

මෙම කෘති බොහොමයක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මාන ආදියටද බඳුන්ව තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සම්පාදනය කළ ‘‘නූතන පද්‍ය කාව්‍ය සංහිතා’’ කෘතිය කවියේ වර්ධනය සැලකිල්ලට ගෙන කලින් කලට යාවත්කාලීන කෙරෙන කෘතියකි. මෙහි නවතම ප්‍රතිශෝධිත මුද්‍රණය පසුගියදා පළ විය. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයකි. 

• ‘නූතන කාව්‍ය සංහිතා’ කෘතියේ ඔබ මුලින්ම හඳුන්වා දෙන්නේ පියදාස සිරිසේනයි. සිංහල කාව්‍ය වංශය තුළ ‘නූතන කවි යුගය’’ නිවැරැදිව වෙන්කොටගන්නේ කොහොමද? 

‘සිංහල කාව්‍ය සංහිතා’ කෘතියේ මුල්ම මුද්‍රණය කෙරුණේ 1986 වසරේදී. මුලදී මම පඹගාලක පැටලුණා ‘නවීන කවි රචනා’ කියල කියන කොට මේවා සඳහා සීමා මායිම් පනවන්නෙ කොහෙන්ද කියන එක ගැන. කොහෙද මේ නව කවියන්ගේ ඈත ඉම? කොහෙද මෑත ඉම කියන එක මම මේ මුල්ම මුද්‍රණයේ ඉඳලම හොයන්න පටන් ගත්තා. මුලින්ම මම හිතුවා පියදාස සිරිසේනගේ සිට නව කවිය කියන එක හඳුන්වන්න. මොකද මේ අය තමයි මාතර කවියෙන් කොළඹ කවිය වෙන් කරගන්නෙ.

පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, එස්. මහින්ද හිමි, ජී.එච්. පෙරේරා වැනි අය මෙහිදී ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කවියන් හතර දෙනා අපි තෝරගත්තට මේ කාලෙ තව කවියන් සිය ගණනක් කවි කියල තියනවා. මේ කවියන් හතර දෙනා කොළඹ කවියේ ප්‍රථම යුගය හැටියට ගන්න පුළුවන්. මේ යුගයේ අනෙක් කවියන් සියලු දෙනා මේ හතර දෙනාගේ කවිවලින් නියෝජනය වෙනවා.

ඊට පස්සෙ ඒ ප්‍රථම යුගයෙන් වෙනස්වෙන කවියන් කීප දෙනෙක් කොළඹ කවියේ ද්විතීයික යුගය හැටියට නම් කළා. ඒ යුගය නියෝජනය කිරීම සඳහා පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, විමලරත්න කුමාරගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියන කවියන් තෝරාගත්තා. මේ යුගයේත් තවත් කවියන් සිය ගණනක් ඉන්නවා. ඒ අය අතරින් මේ කවියන් කීප දෙනා හැදෑරුවොත් මට හිතුණා මේ යුගයේ අනෙක් කවියන් සියලු දෙනාම හැදෑරුවා හා සමානයි කියල. 

මේ යුගයේම තවත් කවියන් කීපදෙනෙක් ඉන්නවා. ඒ තමයි කුමාරතුංග මුනිදාස, රැයිපියෙල් තෙන්නකෝන්, අරීසෙන් අහුබුදු කියන අය. ඒත් ඔවුන් කොළඹ ප්‍රථම යුගයේ හෝ ද්විතීයික යුගයේ කවියන් හැටියට හඳුන්වන්න බැහැ. මොකද ඔවුන්ගේ කවි කුලය කවි ක්‍රමය මේ දෙකටම වඩා වෙනස්. ඔවුන්ගේ අත්දැකීම්, ආකෘති, භාෂාව මේ කොළඹ කවිය හා සම්බන්ධ වෙන්නෙ නැහැ.

ඔවුන් හෙළ හවුල කියන වෙනම කවි කුලකයක කවියන් ලෙසයි හැඳින්විය හැක්කේ. ඒ නිසා ඔවුන්ගේ කවි විමසන්න වෙන්නෙ ‘හෙළ හවුලේ කවියන් නමින් වන වෙනම මාතෘකාවක් යටතේ. හෙළ හවුලට සම්බන්ධ කවියනුත් තව යම් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා නියෝජනය කරන්න මම යොදා ගන්නෙ අර කවියන් තිදෙනා පමණයි. 

ඊට පස්සෙ තමයි අපි නිදහස් කවියට එන්නෙ. ජී.බී. සේනානායකගෙන් පස්සේ නිදහස් කවි ලියන කවි පරම්පරාව සිය ගණනකින් වැඩෙනවා. මම මේ කෘතියේ නිදහස් කවිය ප්‍රථම යුගය සහ ද්විතියික යුගය නමින් දෙකොටසකට බෙදනවා. එබඳු බෙදීමක් වෙනත් කවි එකතු කිසිවක දකින්නට ලැබෙන්නෙ නෑ. 

නිදහස් කවියේ ප්‍රථම යුගය නියෝජනය කරන අය හැටියට ජී.බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර හා විමල් දිසානායක යන කවියන් තෝරා ගන්නවා. ඊට පස්සෙ තමයි නිදහස් කවියේ ද්විතියික යුගය හැටියට පරාක්‍රම කොඩිතුවක්කුගෙන් පටන් අරගෙන අද දක්වා කවියන් මේ කෘතියට ඇතුළත් කරන්නෙ. 

• 40 දශකයේ සිට දශක කීපයක් මෙසේ සිංහල කවිය පියවරින් පියවර අඛණ්ඩව යාවත්කාලීන කෙරෙන වෙනත් කෘතියක් අපට හමු නොවන බවයි අපගේ කල්පනාව. මේ යාවත්කාලීන කිරීම සඳහා අනුගමනය කරන රීතිය කුමක්ද? 

කවි එකතු ගැන මුල සිටම මගේ උනන්දුවක් තිබුණා. නවීන කියන නමින් හඳුන්වලා පාසල් සිසුන්ගේ අධ්‍යයනයට නූතන කවි යොමු කිරීමේ පුරෝගාමී කාර්යයක් කරනවා මම දැක්කෙ මීමන ප්‍රේමතිලක යි. ඊටත් පෙර පද්‍ය තරංග කියන නමින් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා කවි එකතුවක් පළ කරල තියෙනවා 1958 දී. මේ සංග්‍රහවලදී මම දැක්කෙ බොහෝ පැරැණි කවි අතරෙ නූතන කවි පන්ති කීපයකුත් ඇතුළත් කිරීමයි.

උදාහරණයක් හැටියට සංදේශ කාව්‍ය, කාව්‍යශේකරය, මුවදෙව්දාවත වගේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් උපුටාගත් කවි පන්ති අතර ආනන්ද රාජකරුණා, චන්‍ද්‍රරත්න මානවසිංහ, මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා වැනි අයගේ කවි කීපයක් ඇතුළත් කරල තිබුණා පද්‍ය තරංග වැනි කවි එකතුවල. මීමන ප්‍රේමතිලක ‘නවීන පද්‍ය රචනා’’ නමින් පළ කළ සංග්‍රහයේ ඇතුළක්කොට තිබුණේ නූතන පද්‍ය රචකයන්ගේ කවි පමණයි. ආනන්ද රාජකරුණා, රැයිපියෙල් තෙන්නකෝන්, කුමරතුංග මුනිදාස, ටිබෙට් එස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, විල්සන් හෑගොඩ ඇතුළු කවියන්ගෙ නිර්මාණ එහි ඇතුළත් වුණා.

ඊටත් පස්සෙ මහාචාර්ය ආරිය රාජකරුණාගේ ‘සිංහල කාව්‍ය සංග්‍රහය’ කෘතිය දකින්න පුළුවන්. එහිදීත් ඇතුළත් වුණු සියල්ලම නූතන කවි ලෙස ගන්න අමාරුයි. ඇතැම් ජනකවිත් මෙහි දක්නට ලැබුණා. ඊට වඩා ඉදිරියට ගිය කවි එකතුවක් හැටියට මම දැක්කෙ ‘නවපද්‍ය මාලා’ නමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් 1958 දී නිකුත් කළ කෘතියයි. එහි සංස්කාරකවරයන් වුණේ වින්සන් පණ්ඩිත සහ අහුංගල්ලේ අරුණ තිලක දෙදෙනායි. 

ඒත් නූතන කවිය පිළිබඳව ලොකුම ප්‍රබෝධය ඇතිවුණේ මහාචාර්ය විමල් දිසානායකගේ ‘නවකවි සරණිය’ පළවීමත් එක්කයි. එම කෘතිය අවස්ථා කීපයකදී උසස් පෙළට නියමිතව තිබුණා.
හැබැයි මේ කිසිම කවි එකතුවක් යාවත්කාලීන වුණේ නෑ. මහාචාර්ය විමල් දිසානායක ලංකාවෙ හිටිය නම් ඔහු තමයි මේ ‘නව කවිසරණිය’ යාවත්කාලීන කරන්නට සිටි තැනැත්තා. මේ හේතු නිසා තමයි මට ‘සිංහල කාව්‍ය සංහිතා’ කෘතිය මේ විදිහට කලින් කලට යාවත්කාලීන කරන්න හිතුණේ. 

• මෙම නව යාවත්කාලීනයේදී නූතනම යුගයේ කවියන් කිහිපදෙනකුගේ නිර්මාණ පිළිබඳව ඔබ් අවධානය යොමුවී තිබෙනවා. ඔවුන්ගේ නිර්මාණවල ඔබ දකින විශේෂතා මොනවාද? 

පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති ඇතුළු ඒ කවියන්ගෙන් පස්සෙ නූතන කවියන් කියල මම මේ සංග්‍රහයට ඇතුළත් කරල තියනවා ප්‍රධාන කවියන් තුන්දෙනෙක්. එරික් ඉලයප්ආරච්චි, ලාල් හෑගොඩ සහ ලක්ශාන්ත අතුකෝරල තමයි ඒ තුන්දෙනා, ඒ හැරෙනන්ට තව කවියන් කීප දෙනෙකුගේ නිර්මාණත් මෙහි සංග්‍රහ වෙනවා. ඒ තමයි ටිම්රාන් කීර්ති, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, මංජුල වෙඩිවර්ධන, සුහර්ෂණී ධර්මරත්න, අනුරාධා නිල්මිණී, රංජිත් මල්ලියාවඩු සහ ළහිරු කිතලගම යන කවියන්.

මම හිතනව මේ නූතනම කවියන්ගෙ කවිය අපේ ප්‍රධාන කවියන් වන පරාක්‍රම, මොනිකා, රත්න ශ්‍රී, රණවීර, නන්දන වගේ අයගේ කවි කලාවට හාත්පසින්ම වෙනස් කවි මඟක ගමන් කරන බව. ඔවුන්ගේ අත්දැකීම් වෙනස්, භාෂාව වෙනස්. ඒ නිසා ඔවුන් අපේ සිංහල කවියට වෙනස් මාර්ගයක් පාදමින් සිටින බව පෙනෙනවා.

මම කවියෙක් නොවුණත් සිංහල කවිය ගැන බොහෝ කාලයක පටන් විවෘත මනසකින් කවිය හදාරන කෙනෙක්. ඒ නිසා මේ අවස්ථාවට නම් සඳහන් කළ කවියන්ගේ විශේෂත්වයක් දකිනවා. මා බොහෝ නූතන කවියන් බැහැර කරන්නෙ ඒ බොහෝ දෙනාගේ කවිය මත එක්කො මහගම සේකරගෙ නැත්නම් රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ සෙවණැල්ල පතිත වී තිබෙන නිසයි. මේ හෙවණැල්ල නිසාම ඒ අලුත් කවියන්ගේ අනන්‍යතාව නැතිවී තිබෙනවා. හැබැයි අර මා නම් සඳහන් කළ කවියන් අනුකාරකයන් නොවෙයි. ඔවුන් තම අනන්‍යතාව පළ කරමින් සිටිනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔවුන්ට ඒ නව කවි මඟෙහි බොහෝ දුර යන්නට ලැබේවා කියල. 

• ඔබ නූතන කවිය යුග කිහිපයකට බෙදා දැක්වූවා. ඔබ මේ සඳහන් කළ නූතනම කවියන් අතර පෙර කවියන්ට වඩා විශේෂත්වයක් ඇති බවද කීවා. මේ කියන නූතනම කවියන් නිදහස් කවියේ ද්විතියික පරපුරේම දිගුවක් ලෙස නම් කරනවාද? නැත්නම් ඔවුන් වෙනම යුග බෙදීමකට වෙන් කරනවාද? 

මම මේ නිදහස් කවියේ ද්විතියික පරපුර කියන නම් ලැයිස්තුවේ අග්ගිස්සෙ අමුණලා තියෙන්නෙ ඉලයප්ආරච්චි, ලාල් සහ ලක්ශාන්ත කියන තුන්දෙනා පමණයි. ඒ ගොඩේ අමුණලා නෑ අර කියපු අලුත්ම කවියන් කීපදෙනා. ඒ කියන්නෙ තාමත් මම දෑස් දල්වගෙන බලාගෙන ඉන්නවා අනික් කවියන් දිහා. සමහර විට ඒ අය නිදහස් කවියේ තුන්වැනි පරම්පරාව හැටියට අනාගතයේදී මම හෝ වෙනත් කවුරුන් හෝ හඳුන්වන ලකුණු ඔවුන්ගේ කවියේ තියනවා.  

මොකද ඒ කවි වෙනම ලකුණු. එය වෙනම පරපුරක් හැටියට ඔවුන් හඳුන්වා දෙන්න වේවිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ඒත් තවම එහෙම හඳුන්වන්න තරම් ඉක්මන් වැඩියි කියලත් හිතෙනවා. 

● කවියේ මේ වර්ධනයට සමගාමීව කාව්‍ය විචාරයේ වර්ධනයක් දක්නට නොලැබීම හේතුව කුමක්ද? 

නවකතාව, කටිකතාවට වගේම කවියටත් මේක හැමදාම තියන ප්‍රශ්නයක්. එසේම මේක හැමදාමත් කතා කරන දෙයක්. මම හැමදාම හිතපු එකක් තමයි මම කවදාවත් විචාරකයෙක් නොවේවා කියල. ඒත් මම කාව්‍ය රසිකයෙක්. මේ එකතුව පළ කරන්නෙත් කවි රසිකයෙක් හැටියට. ඉතාම ප්‍රශස්ත කවි එකතුවක් සම්පාදනය කිරීමේ වුවමනාවයි මට තිබුණේ.

ඇතැම් වෙලාවට ජාතික අධ්‍යාපන ආයතනයත් උසස් පෙළ සිසුන්ට කවි එකතු සම්පාදනය කරනවා. බොහෝ විට ඔවුන් වැරැදි කවි එකතු සම්පාදය කරල තියෙන බව කියන්න ඕනෑ. මට මතකයි ඔවුන්ගේ එක් කවි එකතුවක මහගමසේකර නියෝජනය කරන්නට එකතු කරල තිබුණෙ ‘‘රන් එතනාට කියූ කවි’ නමැති පැදි පෙළ. සේකර කියන්නෙ සිංහල කවියේ මොනතරම් දිගු ගමනක් ආපු කවියෙක් ද? මෙවැනි දේවලින් උසස් පෙළ දරුවන්ට කවිය හදාරන්නට තිබෙන උනන්දුව නැති කරනවා. 

මට හිතෙන්නෙ මහාචාර්ය විමල් දිසානායකගේ නව කවි සරණියෙන් පස්සෙ එය සමතික්‍රමණය කරන කවි එකතුවක් අදටත් උසස් පෙළ සිසුන්ට ලැබී නැති බවයි. අනාගත පරපුරට එවැනි වින්දනාත්මක අවස්ථා නොලැබී ගියාම කාව්‍ය විචාරයටත් ඒක බලපානවා. 

‘නවකවි සරණිය’ කෘතිය එකල දරුවන් තුළ සිංහල කවිය කෙරෙහි මොනරතම් උත්තේජනයක් ඇති කළාද කියල අපි දන්නවා. අලුතින් කවි ලියන්නත් විචාරය කරන්නත් ඔවුන්ට ඒක බලපෑව. මේ වයස් සීමාව කාව්‍ය රසවින්දනය ඉතාම තියුණු ලෙස මතු කරන්න පුළුවන් කාලයක්. ඒත් ඒ අවස්ථාව මෑත කාලයේ ලැබුණේ නෑ. 

ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ අනාගත පරපුරේ රසවින්දනයත් විචාරයත් වල්වැදීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මේකට උත්තර සෙවීම විශ්වවිද්‍යාලවලත් වගකීමක්. 

මහාචාර්ය සුනිල් ආරියරත්න

සංවාද සටහන - ගාමිණි කන්දේපොළ



අදහස් (0)

නිදහස් කවියේ තුන්වැනි පරපුරක් බිහිවෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 308 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 934 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1421 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 218 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site