IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නොමේරූ තීරණ: ඉස්සරහ අවදානම්

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සියවස් හතකට වැඩි කාලයක් තිස්සේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් බලහත්කාරී ලෙස සිය යටත් විජිත බවට පත් කරගෙන එම රටවල් වල තිබූ ආර්ථික වටිනාකම් වලින් යුතු සම්පත් කොල්ලකමින් ඔවුන්ගේ රාජ්‍ය ‍භෞතික වශයෙන් ඉතා දියුණු තත්ත්වයට පත්කර ගත්හ. යුරෝපයේ පැවැති ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රාජ්‍ය ද එසේ ම කටයුතු කළේය. ඔවුන්ට එය සිදුකිරීමට තිබූ එක ම ශක්තිය තුවක්කුවේ සහ බයිනෙත්තුවේ බලයයි. ඉන්දියාව වැනි මහා දැවැන්ත රාජ්‍ය පවා එකී අණසකට යටත් විය. අපගේ මාතෘ භූමිය ද අවුරුදු 443 ක් තිස්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ කොලනි ලෙස පාලනය විය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ දැඩි ඇල්මක් සහ තෘෂ්ණාවක් පැවතියේ හේතු 3 ක් නිසා ය.

1.    ගෝලීය දේශපාලනය තුළ ආසියානු කලාපය ම පාලනය කිරීම සඳහා ඉතා යෝග්‍ය භූගෝලීය වටිනාකමකින් යුතු ආරක්ෂක කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබීම.
2.    රට තුළ ස්වභාවික සම්පත් විශාල වශයෙන් පැවතීම.
3.    කෘෂි ආර්ථිකය තුළින් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වීම.

එකල කෝපි, තේ සහ රබර් විදේශ රටවලින් ගෙන්වා මෙරට භූමියේ වගා කිරීමෙන් ඔවුහු විශාල ලෙස ආදායම් ඉපැයූහ. ඒ සඳහා ඔවුහු ඉතා නින්දිත ලෙස මෙරට ජනතාවගේ ශ්‍රමය සූරා කෑවෝය.
ඉංග්‍රීසීන් මෙරට හැර යන්නට පෙර මෙරට දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වීම වළක්වාලීමට අවශ්‍ය සියලු‍ කටයුතු නීතිය මගින් මෙන් ම ප්‍රායෝගිකව ද සිදුකර තිබුණි. 1983 ජුලි මස ඇතිවූ ජාතිවාදී ගිනිදැල් හරහා ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රබල ඩයස්පෝරාවන් බටහිර රටවල නිර්මාණය වූ අතර ශ්‍රී ලංකාවට රැකවරණය පිණිස සිටි ඉන්දියාව ද අප සමඟ විරසක විය. එවකට සිටි පාලකයන්ගේ නොමේරූ රාජතාන්ත්‍රික සම්බන්ධතා ද ඊට ප්‍රබල ලෙස දායකත්වයක් ලබා දුන්නේය. එල්.ටී.ටී.ඊ. ඊලාම් යුද්ධය පැවති කල ශ්‍රී ලංකා රජයේ යුද මෙහෙයුම් අඩපණ කිරීම සඳහා ක්‍රියාත්මක වූ විදේශ බලවේග රාශියක් විය. එකී බලවේග අතර මුදල් මත කටයුතු කළ දේශීය වශයෙන් වූ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් තුළ පැවති රාජ්‍ය තාන්ත්‍රික ලෙස පරිණත නොවීමේ විපාකයක් ලෙස 2007/2008 වසර වල දී විදේශ රාජ්‍ය තුළ ශ්‍රී ලංකා විරෝධී ආකල්ප දැඩි ලෙස වර්ධනය වීමක් සිදු වූ අතර දමිල ඩයස්පෝරාව එකී රාජ්‍ය මෙරටට එරෙහි තීන්දු තීරණ ගැනීමට පෙළඹවීමට තරම් ප්‍රබල සංවිධාන බවට පත් විය. 2009 මැයි 09 වැනි දින හතරවන ඊලාම් යුද්ධය අවසන් වී දෙවැනි දිනයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවට පැමිණ හතරවන දිනයේ දී ශ්‍රී ලංකා රජය ලවා ගිවිසුමකට අත්සන් කරගත්තේ ය. එය නමින් පමණක් ඒකාබද්ධ ප්‍රකාශයක් (Joint Statement) වුවත් සත්‍ය ලෙසින් ම එය සිය ගෙල සිඳගනු ලබන යටත්වීමක් ද විය.

එකී ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සටනේ සිදුවූවා යැයි කියන මානුෂීයත්වයට එරෙහි අපරාධ හෙවත් යුද අපරාධ සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට එවකට පැවති ආණ්ඩුව බාරගත් අතර ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්ට අප රට බලය ලබා දුනි. එකී එකඟතාව පරිදි දේශීය යාන්ත්‍රණය ලෙස උගත් පාඩම් කොමිසම පත් කිරීම ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද අතර ජාත්‍යන්තර යාන්ත්‍රණය ලෙස බෑන් කී මූන් දරුස්මාන් කොමිසම පත් කළේ ය.

එකී කොමිසමේ නිර්දේශ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය 2015 මාර්තු මස ජිනීවා මානව හිමිකම් කොමිසමට අංක 1/30 යෝජනාවලිය ඉදිරිපත් කළේ ය. එහි අන්තර්ගත ව තිබූ බරපතළ කරුණු කාරණා වල සත්‍යතාව නොබලා ම එවකට පැවති ආණ්ඩුව එයට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් රටේ ස්වාධිපත්‍යයට බරපතළ හානි සිදු විය. එය ඉදිරිපත් කර වසර 2-3 කින් ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුවත් ඔවුන් තවදුරටත් එය පවත්වා ගෙන යනු ලැබුවේ ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ නිසාවෙනි. එය “අපට එරෙහි අපි” ව්‍යාපෘතියක් බවට පත් විය. ආණ්ඩු වෙනසත් සමඟ ඒකපාර්ශ්වික ව අප එකී අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත්වන බව දැන්වුව ද රටක් ලෙස ජාත්‍යන්තරය තුළ මුහුණ දීමට ඇති අභියෝගවල සැහැල්ලු‍ භාවයක් සිදු නොවේ.

ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ලොව බලගතු රාජ්‍යයන්ට හා ආයතනවලට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන් සහ එසේ උල්ලංඝනය කිරීම නිසා වින්දිතයන් බවට පත්වන්නන් යනුවෙන් කොට්ඨාස දෙකක් නොමැත. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටින බලවත් රාජ්‍ය සහ ආර්ථික හා දේශපාලන වශයෙන් දුබල රාජ්‍ය වශයෙන් පමණක් ලොව තුළ කොටස් දෙකක් පවතී. එහි බෙදුම් රේඛාව වන්නේ බලගතු රාජ්‍ය සහ දුබල රාජ්‍ය අතර පවතින රේඛාව වේ. ඇමෙරිකා එක්සත් ජනපදය කළු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ විට ඇමෙරිකාවේ පාලනයට කිසිවකුත් මැදිහත්වීම් හෝ බලපෑම් සිදු කරනු නොලබයි. එහෙත් වෙනත් දුර්වල රාජ්‍යයකට එවැනි චෝදනාවක් එල්ල වුවහොත් ඊට එරෙහි ව නැගී සිටීමට හෝ ප්‍රබල රාජ්‍ය ඉදිරිපත් වේ.

පෘතුගීසිහු, ලංදේසිහු සහ ඉංග්‍රීසිහු දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික වැසියන් ඝාතනය කළහ. ඔවුහු ඉන්දියාවේ ද එසේ කළහ. ඇමෙරිකාවේ සුදු ජාතිකයෝ ඇමෙරිකාවේ මුල් උරුමකරුවන් ව සිටි රතු ඉන්දියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කොට පරම්පරා පිටින් ඔවුන් විනාශ කළහ. සුදු ජාතිකයෝ ඕස්ට්‍රේලියාවේ සිටි ආදිවාසීන්ගේ (Aborigines) සියලු‍ දේපළ කොල්ල කා වනයට නෙරපා දැමූහ.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණ පෑ යම් ප්‍රශ්න තිබුණේ වුව ද සිංහල ජනතාව මුහුණ පෑ ප්‍රශ්න වලට ඒවා බොහෝ සෙයින් සමාන විය. මේ ජාතීන් අතර යුද්ධයක් ඇතිවීමට තරම් බරපතළ වූයේ ජාත්‍යන්තර මැදිහත් වීම් නිසා ය. ලොව කොහේ හෝ තැනක යුද්ධයක් ඇවිළවීම බටහිර ධනපති රටවලට විශාල ආර්ථික ලාභ උපයන ක්‍රමෝපායකි. ඔවුන්ගේ අවි ආයුධ, ගුවන් යානා ඇතුළු යාන වාහන වැඩි ලාභ ඇති ව විකුණා දැමීම ඔවුහු වාසියක් කොට සලකති. එයින් සිදුවන ජීවිත විනාශ හෝ අනර්ථ පිළිබඳ ඔවුන්ට හැඟීමක් හෝ වේදනාවක් හෝ නොමැත්තේ ය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් අසමාන සැලකිලිවලට ලක්වන බවට බලගතු රාජ්‍යයෝ නිරන්තරයෙන් මෙරටට චෝදනා එල්ල කරති. මෙරට මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වන්නේ නම් ඒ පිළිබඳ ව කරුණු කීමෙහි කිසිදු වරදක් නොමැත. එසේ චෝදනා කරනු ලබන ලොව බලවත් ජාතීන් මුස්ලිම් භක්තිකයන් ජීවත් වන ඉරාකය ලේ ගංගාවක් බවට පත් කළේ තව දශක ගණනාවක් යන තෙක් එරටට ඔළුව එසවීමට ඉඩ නොතබමිනි. එලෙස ම ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව මුළුමනින් ම විනාශ කළේ ය. ඒවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් බවට කිසිවකුගෙන්වත් හඬක් නොනැඟේ. සෞදිඅරාබිය, ඩුබායි, කුවේට් වැනි රටවලට එකී බලවතුන් යම් ආකාරයේ ආරක්ෂාවක් ලබා දෙන්නේ ඒ රටවල තෙල් සම්පත් වලින් උපයන ලාභයෙන් විශාල කොටසක් බලවත් රාජ්‍ය අත්පත් කරගෙන සිටින නිසාවෙන් ය.

කලක් නිශ්ක්‍රීය ව තිබූ ගිනි කන්දක් නැවත සක්‍රීය වන්නා සේ ලබන මාර්තු මස වනවිට මෙරටට එරෙහි ව මානව හිමිකම් කමිටුව විශාල චෝදනාවක් එල්ල කරනු ලබන බව නොඅනුමාන ය. ඔවුන් එසේ කරනුයේ මෙරට සිටින කුමන හෝ ජන කොට්ඨාසයක් කෙරෙහි ඇති කරුණාව හෝ අනුකම්පාව හේතුවෙන් නම් නොවන බව තේරුම් ගත යුතුව ඇත. මෙරට පාලකයන් ගත් අනුවණ තීන්දු තීරණ ද ඊට බලපා ඇත. විශේෂයෙන් ම ඇමෙරිකාව සහ චීනය අතර ලොව බලවතා වීමේ යුද්ධය එළිපිට ම ආරම්භ කොට ඇත. අතීතයේ මෙන් පරමාණු බෝම්බ හෝ න්‍යෂ්ටික අවි භාවිත කිරීමක් වර්තමාන යුද්ධ වල දී සිදු නොවේ. ඒ වෙනුවට ආර්ථික ශක්තිය සහ භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වූ ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන වල බලය අල්ලා ගැනීමේ ක්‍රමෝපාය ක්‍රියාත්මක වෙමින් පවතී.

මීට වසර 100 කට පෙර ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයා පැවසූ අනාවැකිය වූයේ 3 වැනි ලෝක යුද්ධය සිදු වනවිට තුවක්කු බෝම්බ කිසිවක් භාවිත නොවන බවයි. එය දැන් සැබෑ වෙමින් පවතී. බලවතුන් යුද වදින විට ඉන් වැඩිපුර ම පීඩාවට පත් වන්නෝ දුබලයෝ ය. අපේ රට සම්බන්ධයෙන් ගත් කල එය මනා ව වටහාගත හැකි ය.

ලොව බලවතුන් අපේ රටේ සුළු ජාතීන් සමග පෙමින් බැඳී නැත. සුළු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් නමැති පලිහට මුවා වී මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බිඳ දමමින් දේශපාලනික වශයෙන් අස්ථාවර කර දැමීම ඔවුන්ගේ අරමුණයි. ඊට හේතුපාදක වූ කරුණු පිළිබඳ සමාජයේ ද කථිකාවක් නැත. මෛත්‍රී-රනිල් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට ලබා දීම මත අද ඇති වී තිබෙන අවුල් ජාලය මෙරට ව්‍යසනකාරී තත්ත්වයට ගෙන යාමට ද ප්‍රමාණවත් ය.

ආසියානු කලාපයේ ඇති භූගෝලීය වශයෙන් වැදගත් ම වරාය බවට පත්ව ඇත්තේ හම්බන්තොට වරායයි. චන්ද්‍රිකා ජනපතිනියගේ සමයේ හම්බන්තොට ධීවර වරාය ස්ථානගත කරගෙන ඩොලර් මිලියන 390 ක වියදමින් වරායක් සැදීමට එකඟ වූ චීනය පසුව One Belt-One Routeව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මහින්ද ජනාධිපති කාලයේ එම වරාය වෙනුවට ගොඩබිම හාරා වෙනත් වරායක් ඉදිකරමින් ඩොලර් මිලියන 1300 ක පමණ ණය කන්දරාවකට අප රට හසු කළේ ය. දුර දක්නා අයුරින් ඔවුන් එය සිදු කළේ එම වරාය අත්පත් කරගැනීමේ චේතනාවෙන් බව පැහැදිලි ය.

1955 ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර පවත්වන ලද ප්‍රථම ආසියානු සහ අප්‍රිකානු සහයෝගීතා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ එවකට අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල පවසා සිටියේ අනාගතයේ චීනය විසින් දියත් කරනු ලබන කලාපීය ආර්ථික ආක්‍රමණය කලාපීය සහයෝගීතාව බිඳ දැමීමට හේතුවන බව ය. වසර 65 කට පමණ පෙර ඔහු කී අනාවැකිය දැන් සැබෑ වෙමින් පවතී.

ඇමෙරිකාව යනු චීනයට සතුරු රාජ්‍යයකි. ඒ ආකාරයෙන් ම ඉන්දියාව, ජපානය සහ යුරෝපය චීනයේ සතුරු පාර්ශ්වයෝය. හම්බන්තොට වරාය චීනයට ලබා දීම හරහා අප මිතුරු පාර්ශ්වයක් සාදා ගැනීම වෙනුවට සතුරු රාජ්‍ය ගණනාවක් සාදා ගත්තේ ය. ඇමෙරිකාව ත්‍රිකුණාමලය වරාය ඉල්ලා සිටියේ ද ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලා සිටියේ ද, හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා ය. හම්බන්තොට වරාය චීනයට ලබා දීම මත එක් අතකින් අප චීනයේ වහල් දූපතක් බවට පත්වන අතර අනෙක් අතට ඇමෙරිකාව ත්‍රිකුණාමල වරාය ඉල්ලා සිටීමටත්, ඉන්දියාව කොළඹ නැගෙනහිර පර්යන්තය ඉල්ලා සිටීමටත් හේතු පාදක වන බවත්, ඇමෙරිකාව ඉල්ලා සිටින පරිදි ත්‍රිකුණාමල වරාය ඔවුන්ට නොදුනහොත් මෙරට ලේ විලක් බවට පත්වන බවට එවකට අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මා අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රකාශ කිරීම අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපා දැමීමට තරම් ගෝත්‍රික කරුණක් කියා මම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබීමි.

ඉන් මාස 3 ක් ගතවීමටත් පෙර ඇමෙරිකාව MCC ගිවිසුමත්, ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉල්ලා සිටීමේ යෝජනාවක් ගෙනාවේය. අගමැති රනිල් ඒ දෙකට ම එකඟ විය. MCC ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වනවිට බෝම්බ පිපිරීම ඉක්මන් කළේ ය. පාස්කු ප්‍රහාරයෙන් ද අප තවමත් පාඩම් ඉගෙනගෙන නොමැත.

අපගේ නායකයන්ගේ නොමේරූ සහ අපරිණත රාජ්‍යතාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් ලෙස ඊළඟට පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කමිටුවට බරපතළ චෝදනා මෙරටට එරෙහි ව ගෙන ඒමට බලගතු රාජ්‍ය සියල්ල ම පාහේ පිඹුරුපත් සකසමින් සිටී. අපට මිත්‍රත්වය පදනම් කරගෙන සද්භාවයෙන් උපකාරයක් කළේ නම් ඒ ජපානය සහ ඉන්දියාව පමණි. ඒ සියලු‍ රටවල් ද අප විසින් ම සතුරන් බවට පත්කරගෙන ඇත.
1987 ඉන්දියාව බලහත්කාරයෙන් ගුවනින් පරිප්පු දමා ජේ.ආර්. දණගස්සවා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කොට 13 වන සංශෝධනය ගෙන ආවේ ය. කොළඹ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන බවට අග්‍රාමාත්‍යවරයා පෙබරවාරි 01 දා ප්‍රකාශයක් කර පැය තුනක් ගතවීමට ප්‍රථම ඉන්දියාව අපට තරවටු කිරීමට පටන් ගත්තේය.

ජාති, ආගම්, භාෂා භේද ඇතිකරමින් ජන සමාජය අවුල් කර පෞද්ගලික වාසි තකා කටයුතු කරන අවලාද දේශපාලනයේ යෙදෙන නායකයෝ අවුරුදු 73 ක් තිස්සේ බොරදියේ මාළු බෑහ. රටට අවශ්‍ය අධ්‍යාපනික, ආර්ථික, විදේශ යනාදී කිසිදු ක්ෂේත්‍රයක් සම්බන්ධ ව ප්‍රතිපත්තියක් නොමැත. ඉතා කුඩා ජනගහනයක් ඇති මේ රටට ජාතික සමඟිය ඇතිකිරීම සඳහා වැඩපිළිවෙළක් නොමැත. අඥාන දේශපාලනඥයන්ගේ අමනෝඥ ක්‍රියා හමුවේ අද රට අසරණ වී ඇත. සමස්ත රටවැසියෝ පීඩාවට පත් වී සිටිති. නිදහසින් පසු වසර 73 ක් ගෙවෙන මේ මොහොතේ රට ගමන් කරන දිශානතියේ කිසිදු වෙනසක් නොමැත. වැල යන අතට මැසි ගසනා ජනතාව දේශපාලනඥයන්ගේ වහලු‍න් බවට පත්ව ඇත.

දේශපාලනඥයන් මෙරට ගමන් මඟ නිවැරදි දෙසට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වුවහොත් එය මිරිඟු‍වක් පසු පස හඹා යාමක් බවට පත් වනු නොඅනුමාන ය. ආර්ථික වශයෙන් රු. බිලියන 15,000 ක් ඉක්මවූ ණය කන්දකට යටව සිටින අප රටට ජාත්‍යන්තරය විසින් යම් සම්බාධක පැනවීමට ද ඇති ඉඩ කඩ ද බැහැර කළ නොහැක. අනාගතය පිළිබඳ ව විවෘත මනසකින් බලමින් ජනතාව පෙරමුණ නොගතහොත් රට පත්වන්නේ ඉතා භයංකාර තත්ත්වයකට බව සියලු‍ දෙනා අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි.


(***)



අදහස් (6)

නොමේරූ තීරණ: ඉස්සරහ අවදානම්

Mangala Tuesday, 16 February 2021 07:56 AM

''අපට මිත්‍රත්වය පදනම් කරගෙන සද්භාවයෙන් උපකාරයක් කළේ නම් ඒ ජපානය සහ ඉන්දියාව පමණි.'' ඉන්දියන් හිඟන්නන් අපිට 1987දී පරිප්පු දැම්මේ මොන සද්භාවයෙන්ද? ජපානය කොහොම වෙතත්, ඉන්දියාවේ සද්භාවය ගැන නම් ලංකාවේ ජනතාව හොඳට දන්නවා. ජපානය වුණත් දැන් දැන් අමෙරිකාවේ බළලෙක් කියලත් මිනිස්සුන්ට වැටහෙමින් තියෙන්නේ. මේ දේවල් සාමාන්‍ය මිනිසුන්ට තේරුණාට මේ මහාචාර්යවරුන්ගේ ටිකිරි මොලවලට එන්නෙම නැහැනේ. පේන විදියට නම් රෝ එකේ සල්ලි වැඩකරනවා වගේ.

:       5       14

asanka Wednesday, 17 February 2021 03:45 AM

විදේශිකයින් අන් රටවලට ගොස් එම රටවල් ආක්‍රමණය කර තමන්ගේ වර්ගයා ව්‍යාප්ත කිරීම අපේ ඉතිහාසයේත් නැතුවා නොවේ. විජය ඔහුගේ කණ්ඩායමත් සමග ලක්දිවට පැමිණ, පසුකලෙක එවකට ලක්දිව විසු ගෝත්‍රිකය ජනයා කොන්කොට, තමන්ගේ සිංහල ජාතිය රටේ ව්‍යාප්ත කිරීම ඊට නිදසුනකි. සැලැස්මකින් තොරව රටට දැරිය නොහැකි ලෙස ණය ලබා ගැනීම පිළිබඳව සහ, වගකීමකින් තොරව ජිනීවා මානව හිමිකම් කොමිසම සමග ගිවිසුම් ගතවීම පිළිබඳව විදේශිකයින්ට නොව, අපේම දේශපාලකයින්ට වගකීම පැවරීම හොඳ ප්‍රවනතාවක්.

:       3       3

amila Wednesday, 17 February 2021 04:59 AM

"අපට මිත්‍රත්වය පදනම් කරගෙන සද්භාවයෙන් උපකාරයක් කළේ නම් ඒ ජපානය සහ ඉන්දියාව පමණි." "1987 ඉන්දියාව බලහත්කාරයෙන් ගුවනින් පරිප්පු දමා ජේ.ආර්. දණගස්සවා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කොට 13 වන සංශෝධනය ගෙන ආවේ ය." කාරණා පරස්පරයි. සැබැවින්ම 13 වන සංශෝධනය රටට අහිතකර තත්වයක් ඇතිකර තිබේ. සිරිමාවෝ මැතිනියගේ දර්ශනය මත පදනම්ව දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගෙන ශ්‍රී ලංකාවක් ඇතිකිරීමට දැක්මක් හා ශක්තියක් සහිත නායකයකුගේ මග පෙන්වීමක් රටට අවශ්‍යවේ. බලය පෙරට තබා බලය රැක ගැනීම වෙනුවෙන් දේශමානය ඉදිරිපත්කර ජනතාව රවටනා දේශපාලනඥයන් හා තම තන්තුරු හා වරප්‍රසාද වෙනුවෙන් රටේ සුභසෙත කාබාසිනිය කරන පරිපාලන දාසයන්, තමාගේ සුඛ විහරණය සඳහා ජනතාව මුලාකරන ආගමික තීර්තකයන් මේ රට හැමදාම විනාශකරා, විනාශ කරමින් පවතිනවා. පුද්ගලික මතයනම් ව්‍යාපාරිකයින්, නීතිඥයන් දේශපාලනයට නුසුදුසුයි.

:       0       5

chathura Wednesday, 17 February 2021 06:14 AM

පුද්ගලික මතයනම් ව්‍යාපාරිකයින්, නීතිඥයන් දේශපාලනයට නුසුදුසුයි. 100%ක් ඇත්ත.. මේක නිසා තමයි හැමදේම වැඩ කරකර ඉන්නවා මිසක් වැඩ කරලා රට දියුණු කරන්නද තේරෙන්නේ නැත්තේ?

:       0       3

lanka Wednesday, 17 February 2021 11:27 PM

මේ නීති නිසාම තමයි අර ගම්පහ ශාකය බේරා ගැනීමට කතා කළ මිනිසා රාජකාරියට බාධා කළ බව කියා දිසාපති නීතිය ක්‍රියාත්මක කළා.

:       0       0

Rata Perata Thursday, 18 February 2021 07:48 AM

මේ වගේ අනන්‍යතාවයක් නැති මිනිස්සු කියන ඒවා කියවන්නත් කම්මැලියි. දැක්කනේ 20 ගැන කිය කිය ඉඳලා කරපු දේ... මනුස්සයෙක් හැටියට පිළිගන්නවත් බැහැ මේ වගේ අය.

:       2       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1171 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 561 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 179 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4500 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12886 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 744 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site