නාට්‍ය කලාව, නවකතාව, කෙටිකතාව, සාහිත්‍ය විචාරය ඇතුළු ක්ෂේත්‍ර බොහොමයක අත්දැකීම් බහුල නිර්මාණකරුවකු වන සුමන ආලෝක බණ්ඩාර මහතා සයිමන් නවගත්තේගම මහතා සමගම එකට නිර්මාණ රචනය ඇරැඹූ අයෙකි. සුමන මහතාගේ නවතම නවකතාව ‘පුසුඹ’ නමින් නිකුත් වී ඇත. මේ සංවාදය එය නිමිත්තක් කොටගෙනය. පෑලවිය, සුමන මතක, සොඳුරුමේ ජීවිතේ, අසානාසිය, පැටිකිරිය, දවසකටවත් පුත්තු, අකල් වැස්ස, නිදිකුම්බා, අපි කවුද සුමන ආලෝක බණ්ඩාරයන්ගේ නිර්මාණ කිහිපයක් පමණි.
‘පුසුඹ’ නවකතාවේ පදනම ප්‍රේමය. මේ සුන්දර ගොඩනැගීමට ඔබේ නිර්මානාවේෂය කොහොමද?
ඔබ කිව්ව වගේම මේ නවකතාවේ තේමාව ආදරය. ආදරය විග්‍රහ කිරීම හරීම අසීරූ සංකීර්ණ කටයුත්තක්. ඇතැම් අය නෙත් දෙකට, මුහුණට, වරලසට නැත්නම් රූපයට ආදරය කරනවා. ඒ කොහොම වුණත් ආදරය කියන්නෙ සමාජ පැවැත්ම තීරණය වෙන ප්‍රමුඛ කාරණයක්.
මේ නවකතාවෙ එන චරිත තුළ ආදරය ඇති වෙන්නේ පුසුඹට. පොත කියවලා අවසන් වෙන පාඨකයා තේරුම් ගන්න පටන් ගන්නව නම් ආදරේ කියන්නෙ මෙන්න මේකයි, ඒකෙ යථා ස්වභාවය මෙන්න මේකයි කියලා මගෙ නවකතාවේ යම් සාර්ථකත්වයක් ඇතැයි මට පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන්.
නවකතාවක ප්‍රමුඛ වෙන්නේ චරිත ගොඩනැගීමයි. මේ වගේ සංකීර්ණ මාතෘකාවක් ඇතුළෙ චරිතවලට ගොඩනැගෙන්න අත්දැකීම් ලබාදෙන්නේ කොහොමද?
ඒක තමයි සමාජ නිරීක්‍ෂණය. අපි තරුණ කාලෙ මේ සමාජෙ තිබුණ ස්වභාවය ඇවතුම් පැවතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් අද වනවිට සම්පූර්ණයෙන්ම වාගෙ වෙනස් වෙලා. දීර්ඝ කාලීන සමාජ පරිවර්තනයත් එක්ක බොහෝ වෙලාවට පුද්ගල සිතුම් පැතුම් අවශ්‍යතා සහ ආකල්පවලත් ක්‍රමික පරිවර්තනයක් ඇතිවෙන්න පුළුවන්.
පවත්නා සමාජය ගැන හරි, පුද්ගල මනසක ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ගැන හරි නවකතා රචකයකු යම් නිර්මාණයක් කරනවා නම් ඒ සඳහා සෑහෙන කාලයක සමාජ අත්දැකීම් හා නිරීක්‍ෂණ වැදගත් වෙනවා. ඒ ලිවීම අර අත්දැකීම් උපයෝගී කරගෙන හොඳ නිරීක්‍ෂණයෙන් සංයමයෙන් කළයුතු වෙනවා. මේ නවකතාවේ චරිතවල ඇතුළත කියැවීම් ආදියත් එහි ප්‍රතිඵල හැටියට ගන්න පුළුවන්.
ඔබ දැන් පරිණත ලේඛකයකු හැටියට ජීවිතයේ සැඳෑ කාලය ගෙවන කෙනෙක්. බොහෝ ලේඛකයන් ජීවිතයේ අග භාගයේදී ආගම දහමට නැඹුරු වී ඒ අන්දමේ පොත පත ලියන්නට පෙළඹෙනවා. ඒත් ඔබ ප්‍රේමය ගැන ලියනවා තවමත්? කොහොමද මෙහෙම නූතන විදිහට හිතන්නෙ?
අපි ඉතිං නාකි වෙන්නෙ නෑනෙ. ඒක ඇත්තක් නෙවෙයි තමයි. ඒත් අපි තවම තරුණයි කියලා හිතෙනවා. කොච්චර වයසට ගියත් කලාකරුවෙක් විශේෂයෙන්ම සාහිත්‍යකරුවෙක් කවදාවත් හිතින් නාකිවෙන්නෙ නෑ.
ඒ තරුණකම තමයි හැමදාම ලේඛකයා ළඟ තියෙන්න ඕනේ. එතකොට තමයි ඔහු නූතනවාදීව හිතන්නෙ. අලුත් විදිහට හිතන්නෙ. මාර්ටින් වික්‍රමසිංහ වුණත්, ඩබ්ලිව්. ඒ. සිල්වා වුණත්, සයිමන් නවගත්තේගම වුණත් හැමදාම හිතුවෙ නූතන විදිහට.
පාඨක සමාජයේ කතාබහට ලක්වන නිර්මාණ කිහිපයක්ම ඔබ පසුගිය කාලයේ කළා. ඔබේ නම සඳහන් කරන හැමවිට පෑලවිය, සුමන මතක වගේ පොත් ගැන පාඨකයාගේ මතකයට එනවා. නිර්මාණ ජීවිතය ගැන ආපහු හැරිලා බැලුවම මොකද හිතෙන්නේ?
ඇත්තටම සෑහීමකට පත් වෙනවා මම. මගේ හිතේ දිගු කාලීනව ගොඩනැගුණු ප්‍රකම්පනයන් තමයි මම ලිව්වේ. නිර්මාණකරුවකුට තමන්ගෙ ප්‍රකම්පනයන් කලාත්මකව ගොඩනගන්න කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක එකපාරට කරන්න බෑ. ඒ ප්‍රකම්පනයන් පාඨකයාගෙත් ප්‍රකම්පනයන් බවට පත්වුණොත් තමයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ.
පොතක් ලියලා ප්‍රකාශයට පත් කළාට පස්සෙ එතැනින් ලේඛකයා ඉවත් වෙන්න ඕනෑ. ඒක ඊට පස්සෙ අයිතිවෙන්නෙ පාඨක ලෝකයට හා විචාරක සමාජයට. එතැනින් පස්සෙ එය ඔසවාගෙන යන්නෙ ඔවුන්. කතුවරයා බලාපොරොත්තුවුණු හෝ නොවුණු වින්දනයන් හා රසභාවයන් ඔවුන් මතුකරන්න පුළුවන්. ඒවාට උත්තර බඳින්න හෝ විරුද්ධ වෙන්න නිර්මාණ රචකයාට අයිතියක් නෑ.
හැබැයි අපේ රටේ නිර්මාණ රචකයන්ගේ දායකත්වයට සාපේක්‍ෂව සමාජ රසඥතාවයේ හා පාඨක ලෝකයේ වර්ධනය ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනා කියනවා නේද?
ඒක නම් ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. සාහිත්‍ය කෘතියක මොනවා කතා කළත් අවසානයේ එයින් හෙළිදරවු කෙරෙන්නෙ පුද්ගල ජීවිතය සහ සමාජ ජීවිතයේ ස්වභාවයන්. ඒ ගතිස්වභාවය ගැඹුරින් තේරුම් ගන්නට වර්තමාන සමාජයේ බහුතරය උත්සාහ දරන බවක් පෙනෙන්නට නැහැ. අවබෝධයකින් තොරව ඔහේ ජීවත් වෙන්න දඟලන ගතියක් තමයි පේන්නෙ. එහෙම නැතුව ජීවිතය විඳින්න බරපතළ උත්සාහයක් පුද්ගලයන් තුළ නැති බවයි අද සමාජය දිහා බැලුවාම දකින්නට තියෙන්නෙ.
ඒක මේ සමාජ ක්‍රමයේ වරදක් කියලද ඔබ කියන්නෙ?
ඔව්. මේක පිම්මේ දුවන සමාජයක්. අවශ්‍යතා අධිකයි. මුදල් පස්සෙ තමයි හැමෝම දුවන්නෙ. අඩුම තරමේ අධ්‍යාපනය වගේ විෂයයන් වලින්වත් කෙනෙකුගේ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න ඉඩ කඩක් සපයලා දෙන බවක් පෙනෙන්නට නැහැ. රසවින්දනය උගන්වන සාහිත්‍යය වගේ විෂයයන් දරුවන්ගෙන් ඈත්වීම ඛේදවාචකයක්. සාහිත්‍යය කියලා විෂයයක් පාසල්වල තියනව තමයි. ඒත් ඒවා උඩින් පල්ලෙන් ඔහේ උගන්වනව ඇරෙන්න ගැඹුරු සාහිත්‍ය අවබෝධයක් හැදැරීමක් ලබන්න දරුවන්ට එමගින් අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ ඉගැන්වීම් හරහා ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ලැබෙන්නෙ නැත්නම් ඒ සාහිත්‍ය ඉගැන්වීම් මොකටද?
සාහිත්‍ය නිර්මාණ රචකයකුට පොත පතින් ලබන දැනුම වගේම සමාජ ගැවසීම්, සමාජ නිරීක්‍ෂණ හරිම වැදගත්. ඔබ එය තදින් විශ්වාස කරන කෙනෙක්. කොහොමද ඒ සමාජ ගැටීම්වලට මුහුවීම ඔබට බලපෑවේ?
සමාජය ආශ්‍රය නොකර කොහොමද ඒ සමාජය ගැන නිවැරැදි චිත්‍රයක් මවන්නෙ. ලේඛකයා හැමවිටම පොදු සමාජයත් එක්ක ගැවසෙන්න ගැටෙන්න ඕනෑ. අපේ තරුණ කාලෙ අපිට මතකයි නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ කවුරු කොහේදි මුණ ගැහුණත් කතා වෙන්නෙ මේ අත්දැකීම් නැත්නම් අලුතින් කියවපු පොත්පත් ගැන. ඒවා නවනිර්මාණ බවට පෙරළන්නෙ කොහොමද කියන කාරණය සාකච්ඡා වෙනවා.
අපි කණ්ඩායම් විදිහට පාරට වෙලා සාහිත්‍ය කලාව ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න ගියාම ඕනෑ තරම් මිනිස්සුන්ගෙන් බැණුම් අහල තියෙනවා පාර හරස් කරගෙන ඉන්නව කියලා. පාරට වෙලා වරු ගණන් සාහිත්‍ය කලාව ගැන කතා කරපු අවස්ථා තියනවා.
තේ එකක් බොන්න කඩේකට ගියත් සංවාද මතුවෙනවා. කඩේ මුදලාලි අපිව එතනිනුත් එළවගන්නවා කාලෙ ගන්නවා වැඩියි කියලා. එහෙම බැලුවාම අපට යන්න තිබුණ එකම තැන බාර්එක. එතනින් කවුරුත් අපිව එළවගන්නෙ නෑ. ඇත්තටම අපි එහෙම ගියේ බීමට තියෙන ලෝලත්වයට වඩා සාහිත්‍ය කලාව ගැන කතා කරන්න. සංවාද මතුකරන්න තිබුණ කැමැත්ත නිසා. දහයක් දොළහක් එකතුවෙලා වරුවක් විතර බාර් එකේ ගත කළත් අන්තිමට බීල තිබුණේ නැති තරම්. බොනවට වඩා කළේ කතාකිරීම. ඒ කතාවෙන් තමයි අපි මත්වුණේ.. අන්තිමට මේ පුද්ගල ඇසුර නිසා මගේ ලේඛන ජීවිතේ විශ්වවිද්‍යාලය බවට පත්වුණේ බාර් එක. ඇත්තටම නිර්මාණ උපදින්නේ මේ බරපතළ සාකච්ඡාව හා සංවාදය මගින් තමයි.
සමාජයකට සාහිත්‍යයේ හා රසවින්දනයේ අවශ්‍යතාව ගැන ඔබ කලින් මතු කළා. පහුගිය කාලයේ අපට වරින්වර අහන්න ලැබුණා ප්‍රේමය පරාදවීම් හමුවේ අනෙකාව ඝාතනය කිරීම් වගේ අවස්ථා. සියදිවි නසා ගැනීම් වගේ දේවල්. මේවා සාහිත්‍ය කලා රසවින්දනය ඈත්වීමේ අතුරු පලයක් වෙන්න බැරිද?
ඔව්. සාහිත්‍යයෙන් කලාවෙන් හදන්නෙ සංවේදී මිනිහෙක්. දැන් මිනිස්සු අඩුයි. මිනිස් වෙසින් ඒ අය නරුමයන් වගේ හැසිරෙනවා. ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා. තමන් ආදරය කරපු කෙනාම කපල කොටලා මරලා දානවා.
ගැඹුරු වින්දනයක් නැති මිනිහෙකුට තමන්ගෙ ජීවිතේ ගැනවත් අනෙක් කෙනාගෙ ජීවිතය ගැනවත් අවබෝධයන් ඇති වෙන්නෙ නෑ. සංවේදී මිනිහෙක් ඔහු තුළ ගොඩනැගෙන්නෙ නෑ. පොතපතක් කියවන්නෙ නෑ. සල්ලි පස්සෙ ආශාවන් පස්සෙ දුවනවා විතරයි. කොටින්ම නරුම සමාජයක් බිහිවීමට මුල තමයි ඒ සමාජය සාහිත්‍යයෙන් ඈත්වීම.
සංවේදී මිනිසා සමාජගත කිරීමට වගකිවයුත්තන්ට පැවරෙන කාර්ය භාරය කුමක්ද?
සමාජයක් දියුණු වෙනවා කියලා බිල්ඩින් ගැහුවට වැඩක් නෑ ඒවයේ ජීවත් වෙන්න සැබෑ මිනිස්සු නැත්නම්. ඒ නිසා සංවේදී සමාජයක් හදන්න ඕනෑ කියලා හිතනව නම් කරන්න ඕනෑ සාහිත්‍යකරුවා කලාකරුවා ශක්තිමත් කිරීමයි. ඔවුන්ට උසස් නිර්මාණ මේ සමාජය වෙනුවෙන් බිහි කිරීමට අවස්ථාව ලබාදීමයි.
‘සාහිත්‍ය සංගීත කලා විහීනඃ’ කියල සංස්කෘත පඬිවරු කිව්වේ ඒකනෙ.
සාහිත්‍ය සංගීතය කලාව ආදියෙන් විහීන පුද්ගලයා ගවයෙක් වාගෙ. ඔහුට අඩු වල්ගයක් සහ අං දෙකක් පමණයි. ඒ කියන්නෙ සංවේදී මිනිහෙක් සමාජ ගත කිරීමයි අවශ්‍ය. ඒක කරන්න පුළුවන් සාහිත්‍යයෙන් කලාවෙන්. සමාජ සංවර්ධනය අපේක්‍ෂා කරන රජයක වගකීම තමයි සංවේදී මිනිසකු බිහිකිරීම.
(*** ගාමිණී කන්දේපොළ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නරුම සමාජයකට මුල සාහිත්‍යයෙන් ඈත්වීමයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 March 2021 07:09 AM
සැබෑ කලාවෙන් සිදුවෙනුයේ මිනිසාගේ චිත්තය පිරිසිදු කොට විනය හා හික්මීම ලබාදීමයි. කලාව පොදු යහපත වෙනුවෙනි. ඒත්, මේ රටේ දේශපාලකයින්ගේ සහයෝගය ලබාගැනීමට ද යෙදේ. එය වෙනමම කරුණකි. පසුගියදා පැවැති එක්තරා කලා උළෙලකදී, විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු කීවේ, තමාට මේ සියලු ජයග්‍රහණ ලබා ගැනුමට මුල්වූයේ එක්තරා ගායකයෙකු හා ඔහුගේ ගීතයක් බවයි. තමා කලාව ගැන නොදන්නා නමුත්, තමාට එය රසවිඳිය හැකි බවයි. විද්‍යාව කරන මනස නපුරු දරුණු වනවිට එය කලාවෙන් සමනය කළහැකි බවත්, විශ්ව විද්‍යාලයක වඩාත්ම උසස් කලා පීඨය බවත්, විනය ශික්ෂණය හදන, ජීවිතයට සොඳුරු බව ලබාදෙන කලාකරුවා දුගී දුප්පත්ව මියයාම විශාල කණගාටුවට කරුණක් බවත්, ඔහු පැවසීය.
Raveendra Tuesday, 09 March 2021 07:18 AM
ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. ඇත්තෙන්ම සාහිත්‍ය මෙන්ම සෞන්දර්යය හා තම මව්බස පිළිබඳව අපගේ අනාගත පරපුර තම දැනුම වර්ධනය කර ගන්නේ නම් සමාජමය ගැටළු රැසකට එමගින් පිළිතුරු ලැබෙනු ඇත...
nihal Wednesday, 10 March 2021 04:04 AM
තවත් කරුණක්.. නූගත්තු, පාදඩයෝ අපේ රටේ පාලන කාණ්ඩයට ඇතුල් වී වගකීමෙන් තොරව කටයුතු කරන ඇමැතියන් පත් කිරීම රටේ අගාධයට හේතු වෙනවා.
යුදීෂා Tuesday, 16 March 2021 03:35 AM
සාහිත්‍ය කලාව සංගීතය තමයි මිනිසෙකුට මට සිළුටු හදවතක් තිළිණ කරන්නේ සංජාන කුසලතාවයෙන් තොර සමාජය තුළ අපරාධ හැර වෙන දෙයක් බලාපොරොත්තු වීමම මෝඩකමකි.