IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නව රජයෙන් ව්‍යාපාරික අපේක්ෂා

අගෝස්තු 5 වැනිදා තුනෙන් දෙකේ බහුතරයකින් රජයක් පත්වූයේය. පශ්චාත් කොරෝනා වාතාවරණය යටතේ පවතින ගෝලීය අභියෝග හමුවේ ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇතිකර ගැනීම උදෙස් වර්ධනය ඉදිරියට ගෙන යන යාන්ත්‍රණය ලෙස, පෞද්ගලික අංශය විසින් ප්‍රමුඛ කර්ය භාරයක් ඉටු කරන්නැයි බලාපොරොත්තු වේ. එම නිසා නව රජයෙන් ව්‍යාපාරික අංශය කුමක් අපේක්ෂා කරන්නේ ද යන්න වටහා ගැනීම වැදගත්ය.

පළමුකොට නව රජයෙන් ඔබ කුමක් අපේක්ෂා කරන්නේද? යන පැනයට ප්‍රමුඛ ව්‍යාපාරිකයන් 200ක් දුන් පිළිතුරු ද, ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලන උපදේශන ආයතනයක් වූ MTI ආයතනය කළ සමීක්ෂණ ඇසුරින් ලැබූ තොරතුරු මෙම ලිපියට පදනම් වේ. වසර 23ක් තිස්සේ රටවල් 47ක කටයුතු ආශ්‍රයෙන් ලත් විශේෂඥ දැනුම එම ආයතනය සතුය. පශ්චාත් කොරෝනා වාතාවරණය ව්‍යාපාරවලට ඇති කරන බලපෑම පිළිබඳව MTI ආයතනය ඉහළ පෙළේ ශ්‍රීලනිප ව්‍යාපාරිකයන් 100ක සමග සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෝ නව රජයෙන් ප්‍රධාන කර්තව්‍ය 6ක් සිදු වෙතැයි අපේක්ෂා කරති. ඒවා නම්.

ආර්ථික අභිවෘද්ධිය (21%)
ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය (18%)
යහපත් පාලනය (17%)
ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව (13%)
රාජ්‍ය අංශයේ කාර්ය ඵලදායිතාව (12%)
​දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම (12%)


ආර්ථික අභිවෘද්ධිය
2019දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වූයේ යාම්තමින් සියයට 2.3ක ප්‍රතිශතයකිනි. සාර්ක් කලාපයේ රටවලින් අප ඉදිරියෙන් සිටියේ සියයට 1.9 වර්ධනයක් ලබාගත් පකිස්තානයට පමණි. කොරෝනා නිසා ලෝක බැංකුවේ පුරෝකථනයට අනුව අප 2020 දී ලබාගත්තේ ඍණ  සියයට 3.2ක වර්ධනයකි. එවිට අප සාර්ක් කලාපයේ රටවලින් ඉදිරියෙන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට (5.5%) සහ මාලදිවයිනට (-13.0%) පමණකි. පසුගිය අවුරුදු පහ තුළ ශ්‍රී ලංකාවේ ණයගැතිභාවය සියයට 11.72කින් වැඩි වී තිබේ. 2020 මැයි වෙද්දී අපේ සමස්ත ණය රු. බිලියන 13895.5කි.

මේ හේතුවෙන් 2020 ජූලි මාසයේදී ඉන් පෙර මාසයේ සියයට 3.9ක් වූ උද්ධමනය සියයට 4.2 දක්වා වැඩි වූයේය. මේ නිසා ආර්ථික කළමනාකරණය කිරීම කෙරෙහි නව රජය ප්‍රමුඛතාව දිය යුතු යයි ව්‍යාපාරිකයන් පැවසීම අරුමයක් නොවේ..

ආර්ථික පරිවර්තනය කෙරේ මූලික වශයෙන් කාරණා දෙකක් හේතු වන බව ව්‍යාපාරික නායකයන් හඳුනාගෙන තිබේ. එනම් ඍජු විදේශ ආයෝජන හා අපනයන නැංවීමය.

අපනයනවලින් ඉහළ අගයක් එකතු කිරීමේ අවශ්‍යතාව පවතින අතර. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල ද තාක්ෂණයේ වැදගත්කම ද හුවාදක්වන ලදී. මේ සඳහා වඩාත් හොඳ මාදිලිය ලෙස රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගිතාව පවත්වාගෙන යාම වැදගත් වන බව පිළිගැනිණි. ආයතන කිහිපයකම ප්‍රධාන විධායක නිලධාරියකු මේ සම්බන්ධයෙන් කියා සිටියේ, ‘‘වියනාමයේ වැනි ආර්ථික දියුණුවක් ලබා ගන්නට අපට දැනට සිදුවන ආකාරය වෙනස් කර ගත යුතු වෙනවා’’ යනුවෙනි. අපනයන වර්ධනය උදෙසා වූ ඉලක්ක වෙනුවෙන් වග කියන අමාත්‍යවරයකු පත්කර ගැනීම කෙරෙහි ද රජය සලකා බැලිය යුතුය. අපනයනකරුවන්ගේ රැස්වීම්වල මූලාසනය දැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මේ සම්බන්ධයෙන් ප්‍රබල පණිවිඩයක් ගෙන එන්නකි.

2014 සිට 2019 දක්වා ඍජු විදේශ ආයෝජන ද පහත වැටී තිබේ. 2018දී ඇ. ඩොලර් බිලියන 2.14ක් වූ ඍජු විදේශ ආයෝජන සියයට 43.7කින් පහත වැටී 2019දී ඇ.ඩො. 1.2ක් බවට පත්ව තිබේ. මෙරටට ඍජු විදේශ ආයෝජන ඇද ගැනීමේ දී, රටේ ඇගයුම් අනුපාතය’’ කෙරේ  සැලකිල්ල දැක්විය යුතු බව ව්‍යාපාරිකයෝ කියා සිටිති. විදේශ ආයෝජකයකු වෙනත් රටක් කරා නොගොස් ශ්‍රී ලංකාවම ආයෝජන සඳහා තෝරා ගන්නේ මෙරට ඇගයුම් අනුපාතිකය ඉහළ මට්ටමක් පවතී නම් පමණකි. විදේශීය ආයෝජකයකුට මෙරටට ආයෝජනය කිරීම වෙනත් රටක ආයෝජනය කිරීමට වඩා වාසිසහගත විය යුතුය. ඇගයුම් අනුපාතිකයෙන් මනිනු ලබන්නේ එකී තරගකාරී මට්ටමයි. මේ සඳහා රටේ ආර්ථික ප්‍රතිපත්තිවල ස්ථාවර භාවයක් තිබිය යුතුය. විදේශ ප්‍රතිපත්ති ද ඒ හා සමගාමීව ඊට ජාත්‍යන්තර අයුරින් සකස් විය යුතුය. මේ සඳහා විචක්ෂණශීලීව මූල්‍ය ප්‍රතිපත්තිය ද සකසා ගත යුතු බව අවධාරණය කෙරෙණි.

MTI ආයතනයේ දැක්ම අනුව ද ශ්‍රී ලංකාව, අනෙක් රටවල් පරයා තරගකාරී ලෙස ඍජු විදේශ ආයෝජන ආකර්ෂණ කර ගැනීමට සමත් විය යුතුය. බොහෝ සෙයින් විදේශ ණය නොගෙන ණය උගුලේ නොවැටෙන්නටත්, මායාමය මුදල් මැවීම අවම වශයෙන් කිරීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණවල දී ශ්‍රී ලංකාව වගබලා ගත යුතු බව MTI ආයතනය කියා සිටී.


ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය
දීර්ඝ කාලීන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම උදෙසා ප්‍රතිපත්තිවල ස්ථාවරභාවයත්, ඒවායේ විනිවිද පෙනෙන සුළු භාවයත් නව රජයෙන් ඉටු විය යුතු බව පොදුවේ අපේක්ෂා කෙරේ. මෙකී ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ඒ සඳහා උනන්දු වන්නන්ගේ/ආයෝජකයන්ගේ උපදෙස් ලබා ගනිතැයි ද අපේක්ෂා කෙරේ. ප්‍රතිපත්ති වර්ධනය උදෙසා ආයෝජකයන් හවුල් කර ගැනීමේදීත්, දත්ත ඒකරාශි කර ගැනීමේදීත් ඩිජිටල්කරණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරතැයි බලාපොරොත්තු වේ. රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසාය ආශ්‍රිතව ඩිජිටල්කරණ කිහිපයක් කෙරෙහිම අවධානය යොමුවී ඇත. රජය මූලිකව ආරම්භ කර ඇති ඩිජිටල්කරණය සාර්ථක වී ඇති බවට ලෝකයෙන් අත්දැකීම් ලැබී ඇත. (තායිවානය, කෙන්යාව හා ප්‍රංශය මීට උදාහරණ වේ) එම රටවල මූලික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවලට හා දැනුවත් කිරීමේ කාර්යවල දී මෙකී ඩිජිටල්කරණය වැදගත් වී තිබේ.

මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ මතයට අනුව ක්‍රියාකාරී ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද වැදගත්ය.
MTI ආයතනයේ මතයට අනුව ද, රටක් ආර්ථික ප්‍රගමනයක් අත් කර ගනිද්දී දැඩි ලෙස තර්කාන්විත විශ්ලේෂණය මත පදනම්ව ප්‍රතිපත්ති සම්පාදනයේ නියැළිය යුතු අතර, එහිදී ක්‍රමෝපාය කෙරේ සැලකිල්ල දැක් විය යුතුය.

මේ සඳහා අමාත්‍යවරුන් ඔවුන්ගේ තරගකාරී ක්‍රමෝපාය යොදා ගන්නට කාලය කැප කළ යුතුය. විධිමත් පිළිවෙත් හා පරිපාලනමය කාරණා (ඒවා රටේ සිවිල් සේවාවට අයත් කටයුතු වූවත්) කෙරේ කාලය වැය කළ යුතුවේ. දවස අවසානයේ අමාත්‍යවරුන් මෙම ප්‍රශ්න තමාගෙන්ම විමසා ගත යුතුය. අද දින මගෙන් ඉටු වූ ක්‍රමෝපාය දායකත්වය කුමක් ද? රටේ සමාජ ආර්ථික සමෘද්ධිය කෙරේ එය දායක වීද?


යහපත් පාලනය
දශක ගණනාවක පටන් යහ පාලනය රටේ දේශපාලනය තුළ කතා කළ ප්‍රධාන මාතෘකාවක් විය. දූෂණයෙන් තොර රටක් ගොඩ නැගීම හා වගකිවයුතු නායකත්වයක් කෙරේ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාරිකයෝ ද මේ ගැන අවධාරණය කර ඇත්තාහ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව දූෂණ පෙන්වන දර්ශකයේ රටවල් 180කින් 2019දී අප ඉන්නේ 93 වැනි ස්ථානයේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දූෂණය තුරන් කිරීමේ දී ප්‍රමුඛව කටයුතු කළ යුතු වග ව්‍යාපාර නායකයන්ගේ අදහසයි. නව රජය අමාත්‍යවරුන් පත් කිරීමේ දී ඔවුන්ගේ දක්ෂතාව හා කුසලතාව පදනම් කරගෙන දැනුවත් අමාත්‍යවරුන් පත් කරතැයි ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙති. පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන ඔවුන් පත් කරනවාට වඩා එය සාර්ථක වන බව ඔවුන්ගේ මතයයි.
ඊට අමතරව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළු සමස්ත රජය ද විනිවිද භාවයෙන් යුතුව හා වගකීමෙන් යුතුව දේශපාලකයන්ට නීතියට ඉහළින් යන්නට ඉඩ නොදී ක්‍රියාකරතැයි ව්‍යාපාරික නායකයෝ බලාපොරොත්තු වෙති.

MTI ආයතනයේ මතය වන්නේ දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණ ජය ගැනීමට මුදල් කන්දරාවක් අවශ්‍ය වන බවයි. මේ පවතින දූෂණයට මුල එය නොවේ ද? රජය ගන්නා හැම තීරණයකදීම කී දෙනෙකුට ප්‍රතිලාභ ලැබේ ද? කොතරම් ද? කොතරම් කඩිනමකින්ද? යන්න විමසා බැලිය යුතුය.


ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව
එකමුතු බව හා සාමය රජය විසින් පවත්වා ගනු ලැබෙයැයි ව්‍යාපාරිකයෝ ඉහළින්ම බලාපොරොත්තු තබා සිටිති. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව ද ජාතිවාදී කෝලාහල සිදුවිය. එක් ජාතියක් ලෙස සියලු ප්‍රජා එකමුතු කිරීමේ දී සැබෑ ප්‍රගතියක් මෙතෙක් අත්පත් කරගෙන නැත. සියලු පුරවැසියන්ට එක සේ සැලකෙන අයුරින් නීතිය තහවුරු කොට පවත්වා ගත යුතු බව ව්‍යාපාරිකයෝ අවධාරණය කරති.
MTI මතය වනුයේ බොහෝ වාර්ගික ගැටුම්වලට මූලික හේතුව එකමුතු බව නැතිවීමයි. අප සියලු දෙනා උපත ලබා ඇත්තේ අහිංකයන් ලෙසය. එබැවින් අපේ හර පද්ධතින් හා අපේ චින්තනය හැඩගන්වා අපේ ක්‍රියා තීරණය කරන්නේ අපේ පවුල්, පාසල් හා පුළුල් සමාජය විසිනි.

ජීවිතයේ මුල් භාගයේදීම අප බහුවාර්ගික බව අගය කිරීමටත්, එකිනෙකාගේ ආගමනය, සංස්කෘතිවලට ගරු කරන්නටත් උගත යුතු වේ. ජීවිත කාලය පුරා පවතින මිත්‍ර සම්බන්ධතා බොහෝ විට ගොඩනැගෙන්නේ අපේ පාසල් පරිසරයේදීය. පාසල් ආගම් අනුව බෙදී තිබෙන සමාජයක එය සිදුවන්නේ කෙසේ ද? වාර්ගික පදනම මත දේශපාලන පක්ෂ බෙදී තිබිය දී එසේ සිදුවන්නේ කෙසේද?


රාජ්‍ය අංශයේ කාර්ය ඵලදායිතාව
රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව හා රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායවල කාර්ය ඵලදායිතාවව යන අංශවල සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් විය.

ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත්, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව හා අවිධිමත් බව තුරන් කරන්නට දුන් පොරොන්දු ගැන ඉහළ බලාපොරොත්තු තබා ඇති බව පෙනී ගියේය. මෙය දැනටමත් ආරම්භ කොට ඇති බව ඇතැමුන් සිතන අතර. තවත් බොහෝ දුර යා යුතුව ඇති බව තවත් පිරිසක් කීහ. දැනට ජනාධිපතිවරයා හා රජය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව කියමින් ඇතැමුන් එය අගය කළ මුත්, සමස්ත රාජය පද්ධතියම පරිවර්තනයකට ලක් කළ යුතු බව අනෙක් පිරිස කියති.

දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සේවාවේ ශක්‍යතා, මෙහෙයුම් කාර්යක්ෂමතා වර්ධනය කිරීම වැදගත් වන බව හඳුනාගන්නා ලදී. සිවිල් සේවාව දේශපාලනීකරණය කිරීමෙන් සිදුවන අනියත විපාක පිළිබඳව පිහිටා අවධාරණය කෙරුණ අතර, තාක්ෂණික කටයුතු විශේෂඥයන් ඒ වෙත ඇද ගැනීමේ වැදගත්කම ද හුවා දක්වන ලදී.

තමන් වෙත පැවරූ මූලික කාර්යභාර සම්බන්ධයෙන් අත්‍යා වශ්‍ය වගකීම දැරිය යුතු බව ද අවධාරණය කෙරුණු අතර, රාජ්‍ය අංශයේ කාර්යවල වර්ධනය ජනාධිපතිතුමාගේ උත්සාහයේ කොටසකි.

2018 වර්ෂයේදී රජයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසායකයන් (SOE) 54රේම මුළු ආදායම රුපියල් බිලියන 1916.02 වූ අතර, එයින් රාජ්‍යයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසාය 37ක ශුද්ධ ලාභය රුපියල් බිලියන 130.66ක් බව වාර්තා විය. ඒ අතර රාජ්‍ය ව්‍යවසාය ආයතන 16ක් 2018 වර්ෂයේ ලබා ඇත්තේ රුපියල් බිලියන 156.73ක ශුද්ධ පාඩුවකි. ඉන් වැඩිම පාඩුව ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම පාඩුව රුපියල් බිලියන 104ක් ලෙස වාර්තා වේ. මෙම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රති-ව්‍යුහගත කිරීම පිළිබඳ අදහස් ද පළවූයේය.

සේවාවල මට්ටමත්, කාර්ය මණ්ඩල ඵලදායිතාවත් වර්ධනය කිරීම උදෙස් රාජ්‍ය අංශයේ ආයතන වෙත ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම වර්ධනය කළ යුතු බව පූර්ව අවශ්‍යතාවක් බව හඳුනා ගන්නා ලදී. ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය මීට හොඳම උදාහරණයකි.


MTI ආයතනයේ මතය

රජය මාරුවෙද්දී රාජ්‍යයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසායවල සමස්ත පාලන මණ්ඩලයම වෙනස් වේ. පැරණි අය අස් කොට එම තනතුරුවලට අලුත් අය පත් කෙරේ. එහිදී විධිමත් ලෙස අවශ්‍ය කාර්ය දැනුම මාරුවීමේ ක්‍රියාවලි සිදු නොවේ. මෙය ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපෑ හැකිය.


විගණකාධිපතිගේ සහාය ලබා ගෙන, වෘත්තීය දක්ෂතා දක්වන විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ සංචිතයක් සකසා රාජ්‍ය ව්‍යවසායකයන්ව පත්කිරීම වඩා යෝග්‍යය. එම ආයතන අතර ඔවුන් වරින් වර මාරු කිරීම ද සිදු කළ හැකිය. ​ඔවුන් ස්වාධීන අය විය යුතු අතර, ඔවුන්ට දේශපාලන බලපෑම් නොකළ යුතුය.

ඕනෑම රාජ්‍ය ව්‍යවසාය ආයතනයක පාලන මණ්ඩලය අලුතෙන් පත්වන පාලන මණ්ඩලයට ස්වාධීන විගණකවරයකු ඉදිරියේ විධිමත් ලෙස කාර්ය පිළිබඳ වාර්තාවක් භාරදීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කළ යුතුය.


දේශීය කර්මාන්ත සවිගැන්වීම
එකිනෙකට පරස්පර මූල දෙකක් ආර්ථික සංවර්ධනය ආශ්‍රයෙන් ව්‍යාපාර නයුවෝ හඳුනා ගනිති. ආයතන ආදේශන කර්මාන්ත රැක ගැනීම උදෙසා ආනයන සීමා කළ යුතුය, යන්න කෙරෙහි විශ්වාසය තැබීම එක් ක්‍රමයකි.

ගෝලීයකරණය මාදිලිය පවත්වා ගනිමින් වඩා නිදහස් (ලිබරල්) ප්‍රවේශයක් අනුගමනය කිරීම කෙරෙහි විශ්වාසය තැබීම අනෙක් විධියයි. මෙහිදී ශ්‍රී ලංකාව, ලෝකය වෙත විවෘත කොට තැබිය යුතුය. ගෝලීයකරණය වන ලෝකය තුළ පැවැත්ම ආරක්ෂා කරගත යුත්තේ එසේ කිරීමෙන් පමණකි, යන්න එහිදී විශ්වාස කෙරේ.

සුළු පරිමාණ ව්‍යවසාය ආයතන (SME) ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වේ යයි සැලකේ.
ශ්‍රී ලාංකික ආර්ථිකයේ සියයට 75 කම ඇත්තේ සුළු පරිමාණ ව්‍යවසායකයන්ය. සමස්ත රැකියාවලින් සියයට 45ක් සැපයෙන්නේ එයිනි. ඒවායින් දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට 52කි.

නව රජයෙන් සපයන සහාය යටතේද  දළ ජාතික නිෂ්පාදිතයට, සුළුපරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය වැඩි කිරීමටත්, එම අංශය ව්‍යාප්ත කිරීමටත් අවකාශ ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ලෝක බැංකුවෙන් පවත්වාගෙන යන ව්‍යාපාර පහසු කරණය පිළිබඳ දර්ශකයේ 2020දී රටවල් 190කින් 100 වැනි ස්ථානයේ සිට 99 වැනි ස්ථානයට එන්නට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

සමෘද්ධිමත් වීම සම්බන්ධයෙන් ලෙගාට්‍රඩ් ආයතනය පවත්වාගෙන යන සමෘද්ධි දර්ශකයේ 2018දී රටවල් 167කින් 80 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019දී 75 වැනි ස්ථානයට ආයේය. මෙම දර්ශකය සැකසීමේදී ධනවත් බව, ආර්ථික වර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞද්ගලික යහපැවැත්ම, ජීවන තත්ත්වය හා ජාතික ආරක්ෂාව යන විවිධ සාධක සලකා බැලේ.

මෙම දර්ශක දෙකෙන් පෙනී යනුයේ ශ්‍රී ලංකාවට තවදුරටත් සමෘද්ධිමත් වීමේ විභවතාව පවතින බවයි. සාර්ව මට්ටමේ කුමන අංශ කෙරේ අවධානය දැක්විය යුතු ද යන්න මේ මගින් නව රජයට මගපෙන්වා දේ. ජාතික ආරක්ෂාව වර්ධනය ව්‍යාපාරවලට වඩාත් හිතකර වග මෙයින් පෙනේ. මීට අමතරව වර්තමාන රජය වඩා හොඳ නියාමන රාමුවක් පෞද්ගලික අංශය උදෙසා නිර්මාණය කරතැයි ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙති. වඩා සදාචාර සම්පන්න ව්‍යාපාර පරිසරය සැකසීමට මෙම නියාමන රාමුව, නීතිගත විය යුතුය. විනිවිද පෙනෙන සුළු බව ඒ තුළ ක්‍රියාත්මක විය යුතුය.


MTI මතය
වර්ධනය වන ආර්ථික, අභියෝගාත්මක ආර්ථික කාරණා වන්නේ ධනය අසමාන හා අසාධාරණ අයුරින් බෙදී යාම අවම කිරීමයි. දුප්පතුන් පොහොසතුන් බවට පත් කිරීමෙන් විනා පොහොසතුන්, දුප්පත් කිරීම මගින් මෙය කළ නොහැකිය. මේ සඳහා අධ්‍යාපනය, නිපුණතා වර්ධනය සඳහා ආයෝජන වැඩි කොට ශ්‍රමිකයන් බලගැන්වීම කළ යුතුය. මෙහිදී තාක්ෂණය හා සම්බන්ධතා වර්ධනය වැඩි කාර්යභාරයක් ඉටුකරයි.


ව්‍යාපාර ප්‍රමුඛයන් විසින් පළ කරන ලද අනෙකුත් මත
ජාතික ආරක්ෂාව වර්ධනය හා අපරාධ ක්‍රියා අවම කිරීම – 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේ පිළිබඳ අවශ්‍යතාව මැනවින් පෙනී ගියේය.

සෞඛ්‍ය සම්බන්ධයෙන් පොදුවේ විශ්වාසය වර්ධනය කිරීම  කොරෝනා සාර්ථක ලෙස පාලනය කරන්නට රජය සමත් වූ අතර, මාස 4ක් තිස්සේ පැවැති තත්ත්වය අහිතකර ලෙස ආර්ථිකයට බලපෑවේය. එම නිසා සෞඛ්‍ය පිළිබඳ පවතින විශ්වාසය රජය තවත් වර්ධනය කොට පවත්වාගත යුතුය.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණය,
අන්තර්ජාතික මට්ටමට ගැළපෙන ලෙස රටේ අධ්‍යාපන ක්‍රමය ඉහළ දැමීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. දැනට පවතින තාක්ෂණික පුහුණු ආයතන නැවත සංවිධානය කළ යුතුය. රටට අවශ්‍ය නිපුණ ශ්‍රමය, නිෂ්පාදනය උදෙසා නව තාක්ෂණික පුහුණු ආයතන ද දිස්ත්‍රික් මට්ටමින් ඇති කිරීම යෝග්‍ය වේ.


මහජන ප්‍රවාහන කටයුතු නැවත සැකසීම හා මාර්ග සංවර්ධනය
අධිවේගී මාර්ග ඇතුළු මාර්ග යටිතල පහසුකම් වර්ධනයෙන් රට තුළ භාණ්ඩ / සේවා ප්‍රවාහන කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව උදාවේ. මහජන ප්‍රවාහන සේවාවල ද පසුගිය දශක කිහිපයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී නැත. මේවා වර්ධනය කිරීමට නව රජය ප්‍රබල ලෙස නවීකරණ උපයෝගි කර ගනිතැයි ව්‍යාපාරිකයෝ බලාපොරොත්තු වෙති.


පරිසර සංරක්ෂණය
වේගයෙන් වර්ධනය වන ගෝලීය උණුසුම හා පරිසර දූෂණ වළක්වාලීම සඳහා පරිසර සංරක්ෂණය කෙරේ අවධානය යොමු කළ යුතුය. රටේ වනසත්ව සම්පත ආරක්ෂා කළ යුතු අතර, අලි මිනිස් ගැටුම් ආදිය වැළැක්වීමට ද පරිසර සංරක්ෂණ වැදගත් වේ.

බහුජාතික සමාගම්වලට තම කර්මාන්ත මෙරට ආරම්භ කිරීමට ආරාධනා කළ යුතුය. මේ මගින් රටේ රැකියා අවස්ථා වර්ධනය වේ. රටේ ශ්‍රම හමුදාවේ නිපුණතා වර්ධනයට ද එය හේතු වේ.


 


2020 අගෝ. 25 Daily FT පුවත්පතේ MTI Captures Business Expectations From the New Government  නමින් පළවූ විශේෂ වාර්තාවේ සංක්ෂිප්ත පරිවර්තනයකි.

(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)

 



අදහස් (0)

නව රජයෙන් ව්‍යාපාරික අපේක්ෂා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 155 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 155 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1099 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 475 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site