නවකතා, ළමා කතා සහ කෙටි කතා කෘති රැසක් ලියා පළකොට ඇති රූපා ශ්‍රියාණි එක්නායක ලියූ ‘භේරුණ්ඩ කැදැල්ල’ නවකතාවට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය. එය නිමිති කොට ගෙන මෙම සංවාදය පැවැත්වේ. විජයයි කුවේණියයි, සෙංකඩගල මහබිසෝ, තරු බඹසර, සිටුවර පුවත, දුටිමි නෙතින් කසුප් නිරින්ද් ඇගේ සෙසු නවකතාවලින් කිහිපයක් පමණි.
• මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ‘භේරුණ්ඩ කැදැල්ල’ නවකතාව නිර්මාණය වූ පසුබිම කුමක් ද? ඊට ඔබ ගත් වෙහෙස ප්‍රමාණ කරන්නේ කොහොම ද?
“මා ‘භේරුදණ්ඩ කැදැල්ල’ නවකතාවට යොදාගත් තේමාව සැබැවින්ම බුද්ධිමය දේපොළ අවභාවිතයටත් එහා ගිය සාහිත්‍ය කොල්ලක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රධාන චරිතය වන වරුණ නම් ලේඛකයා විසින් තම මිතුරාගේ නවකතාවක් අමු අමුවේ සොරකම් කොට එය කිසිම සංශෝධනයක් හෝ නොකොට ප්‍රකාශයට පත් කරනවා. එයින් පසු ඔහු තමා කළ ක්‍රියාව ගැන පීඩා විඳිනවා. පසු තැවෙනවා. ඒ අනුව තමයි කතාව ගලාගෙන යන්නේ.
සිංහල නවකතාවට මෙවැනි වස්තු බීජයක් යොදා ගැනීම අලුත් දෙයක් විදිහට කල්පනා කළ නිසා මා මෙවැනි තේමාවක් තෝරා ගත්තා. මෙවැනි සිද්ධි පිළිබඳව කතිකාවන් පසුගිය වකවානුවේත් අප සමාජයේ නිතර දක්නට ලැබුණා. තාක්ෂණයේ දියුණුවත් සමඟ කෙනෙකුට අනුන්ගේ නිර්මාණවලට ප්‍රවිෂ්ඨ වීමට තිබෙන ඉඩකඩ දැන් වැඩියි. අපේ රටේ එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් බුද්ධිමය දේපොළ පිළිබඳ නීති රීති අන් රටවල ඉතා තදින් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මේ නවකතාව කිසිම ලෙසකින් අපේ රටේ කිසියම් පුද්ගලයකු හෝ එවැනි සිද්ධියක් හෝ එල්ල කරගෙන ලියැවුණේ නෑ.
ඕනෑම නවකතාවක් ලිවීම සඳහා කිසියම් වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ පිළිබඳ හදාරන්නට සිදු වෙනවා. ඒ අධ්‍යයන ස්වභාවයේ පරිමාව අඩු වැඩි වන්නේ යොදා ගන්නා තේමාව අනුවයි. ඓතිහාසික නවකතාවක් හෝ යම් පෞද්ගලික අත්දැකීමක් මත ලියන නවකතාවක් ලියන්නට කෙරෙන හැදෑරීමත්, මෙවැනි සාහිත්‍යමය ප්‍රශ්නයක් තේමා කරගෙන කෙරෙන හැදෑරීමත් එකිනෙකට වෙනස්. මා මෙහිදී කළේ මේ පිළිබඳව ඇති වී තිබෙන ජාත්‍යන්තර තලයේ කතිකාව නිරීක්ෂණය කිරීමයි. මෙහිදී මට නිරීක්ෂණය කරන්න හැකි වුණා ලෝකයේ කීර්තිමත් නවකතා ලියන සමකාලීන ලේඛකයන්ට පවා මේ චෝදනාව එල්ල වී ඇති බව.
මෙහිදී හාස්‍යයට කරුණ වන්නේ බොහෝ අන්තර්ජාල වෙබ් අඩවිවල උගන්වනවා කොයි ආකාරයෙන් ද අන් කවරකුගේ හෝ නිර්මාණයක් කාටවත් නොදැනී තමාගේ නිර්මාණයට බද්ධ කරගන්නේ කියා. එහිදී එවැනි සත්‍ය සිද්ධි පිළිබඳ උදාහරණ පවා යොදාගෙන තිබෙනවා. මෙවැනි ලියවිලි වගේම නිර්මාණ කාලය පිළිබඳව ලියැවී ඇති ශාස්ත්‍රීය ලිපිත් අන්තර්ජාලයේ බොහෝ තියෙනවා. මම ඒවා අධ්‍යයනය කළා.”
• කිසියම් අත්දැකීමක් නවකතාවක් බවට පත් කිරීමේදී එය පරිකල්පනයට නැඟීම සහ ඒ සමඟ ජීවත්වීම නවකතාවේ ආත්මය මතු කරගැනීමට ප්‍රබල හේතුවක්. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් කෙබඳු ද?
“නවකතාවක වස්තු බීජය අත්දැකීමක් හෝ සත්‍ය චරිතයක් වුවත් යම් කිසි පරිකල්පනයක් ඒ සමඟ මුසු වීම නිතැතින් සිදුවන දෙයක්. ඕනෑම සත්‍ය සිද්ධියක් වටා ගොඩනැගෙන නවකතාවකට පරිකල්පන ශක්තියක් අවශ්‍යමයි. උදාහරණයක් ලෙස සැබෑ ඓතිහාසික චරිත ඔස්සේ ගොඩනැගෙන නවකතාවක ඒ සැබෑ චරිත සමග පරිකල්පිත චරිතත් හරි හරියට ජීවත් වෙනවා. නවකතාකරුවකුට අත්‍යන්තයෙන්ම ඔහු ගොඩනගනා චරිත සමග ආත්මගත වීමට සිදු වන්නේ මේ නිසා. සාමාන්‍යයෙන් සිදු වන්නේ නවකතාවක් ලිවීමට පෙර තම සිතේ මතු වන සිද්ධියක් හා චරිත ඔස්සේ තම කතාව ගොඩනැගීමයි.
එහෙත් පුදුමයකට වාගේ කතාව ලියාගෙන යනවිට කතාවේ ජීවත් වන චරිතවලින් කතාකරුවාව හසුරුවන්න පටන් ගන්නවා. කතාකරුවා මීට පෙර විශේෂත්වයෙන් නොදුටු සිද්ධි, ප්‍රපංච හා අලුත්ම අනුභූතීන් ඔස්සේ කතාකරුවාව ඇදගෙන යාමට මනඃකල්පිත චරිතවලට පුළුවන්. කෙනකුගේ චිත්තාභ්‍යන්තරයේ තමන්ටම නොදැනී නිධන්ගතව තිබූ සිතිවිලි හැඟීම්වලට පණ පොවා ඒවා ඉස්මතු කරගැනීමටත් තමා විසින් මවන ලද චරිතවලට පුළුවන්.
කරුණාව, මුදිතාව, උපේක්ෂාව පමණක් නොවෙයි සන්ත්‍රාසය, බිය, රාගය, වෛරය වැනි චෛතසිකයන් තමන් මවන චරිත ඔස්සේ කතාව වසා ගන්නවා. ඕක නිර්මාණකරණයේදී විශේෂයෙන් නවකතාකරණයේදී අත්දකින්නට ලැබෙන අපූරු මනෝභාවයක්. නවකතාවක් ලිවිය යුතු ආකාරය මේ යැයි කෙතරම් ශිල්පධර්ම ඉගෙන ගත්තත් ජීවිතය මේ යැයි තේරුම් ගන්නා ප්‍රතිභා ශක්තිය විදාරණය කිරීමට හැකි වන්නේ තමා මැවූ, නමුත් පසුව තමාම මෙහෙය වන චරිත මගින්. කතාකරුවා ඉදිරිපත් වී චරිත ගැන කරන විස්තරයකට වඩා චරිත නිරූපණයක් නවකතාවක තිබිය යුතු යැයි අර්ථ ගැන්වෙන්නේ මේ නිසයි. තථ්‍ය ලෝකයේ නොවන, එහෙත් සැබෑ ස්වරූපයක් ආරූඪ කරගන්නා චරිත සමග කතාබහ කිරීමට ලැබීම, ඔවුන්ව ඇසුරු කිරීමට ලැබීම නවකතාකරුවාට අත්විඳීමට ලැබෙන මිහිරි අත්දැකීමක්.”
• ඒ කියන්නේ නවකතාවක චරිත ගොඩනැගීම, භාෂා යෝග්‍යතාව, ආකෘතිය ඔබ කල් ඇතිව සැලසුම් කරනවා ද? නැත්නම් චරිත වැඩෙන පිළිවෙළ අනුව ද ඒවා තීරණය වන්නේ?
“වර්තමාන නවකතාව පුරාණ ප්‍රබන්ධ කතාවලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ චරිත නිර්මාණය අතින්. චරිත ගොඩනැගීම පිළිබඳ ස්ථිර අදහසක් කතාව ආරම්භයේදී කතාකරුවාගේ මනසේ තිබිය යුතු වුවත් ඉහත දැක්වූ පරිදි නොසිතූ ලෙස සමහර චරිත වෙනත් දිශානතීන් ඔස්සේ ගමන් කරන එක වළක්වන්න බෑ. නවකතාව ලියාගෙන යන විට පුරුදු භාෂා ශෛලියට නිතැතින්ම අවතීර්ණ වෙනවා. එහෙත් කතාවේ තේමාව අනුව තමන් උපයෝගී කරගන්නා භාෂා උපක්‍රම වෙනස් කරගත හොත් ඒ තේමාව ග්‍රහණය කරගැනීමට කියවන අයට පහසු වෙනවා. එයින් කිසිසේත්ම හැඟෙන්නේ නෑ අප කබල් බස් වහරක් යොදාගත යුතුයි කියලා.
කථන භාෂාවෙන් ඉතා මනහර ලෙස ප්‍රබන්ධයේ යෙදී සිටින ලේඛකයන් ඉන්නවා. මා නවකතා ලියන විට භාෂා යෝග්‍යතාව ගැන මගේ ශක්ති ප්‍රමාණයෙන් සැලකිල්ලක් දක්වනවා. ආකෘතිය නම් කල් ඇතිව සැලසුම් කරගත හැකි වුවත් කතා තේමාව අනුව ආකෘතිය වෙනස් කරගැනීමට ලේඛකයකුට උපරිම නිදහසක් තියෙනවා. ගතානුගතික හෝ සම්මත ආකෘතිවල කොටු වී සිටීමට අවශ්‍ය නෑ. චරිතවල හැසිරීම් කල්තියා සැලසුම් කරන්න බෑ.”
• වඩා වැදගත් වන්නේ ප්‍රකාශ කරන දෙය නොව ප්‍රකාශ කෙරෙන ආකාරය බව පිළිගත් මතයක්. නවකතාවක අපූර්වත්වය තීරණය වන්නේ ඒ මත ද?
“මේ මතය විවාදාත්මකයි. නවකතාවක අපූර්වත්වය තීරණය වීමට විවිධ සාධක බලපාන්න පුළුවන්. නවකතාවක කතා වස්තුව, ඒ නවකතාවේ දෘෂ්ටි කෝණය, අනුභූතිය, ආකෘතිය, අන්තර්ගතය, යොදාගන්නා භාෂාව ආදී සියලුම අංගෝපාංග එක පදමට ගෙන අනෙක් අවැසි අනුපාත ද දමා නවකතාවක් නිර්මාණය කිරීමට හැකි නම් එය අපූර්වත්වයකින් යුක්ත වෙනවා. එහෙත් තමාගේ කතාව පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට උචිත ප්‍රකාශන විධිය කුමක්දැයි නවකතාකරුවා විවේක බුද්ධියෙන් සිතිය යුතුයි.
තමා තෝරා බේරාගන්නා කතා වස්තුව හොඳින් විකාශනය කිරීම සඳහා නවකතාකරුවාට තමාගේ විචක්ෂණභාවය පිටිවහලක් වෙනවා. පරිකල්පන ශක්තියත්, ප්‍රතිභාවත් ඇති කලාකරුවා සුලබ අත්දැකීම් සමුදායක් වුවත් පාඨකයාට දනවන සුවිශේෂ ආකාරය අනුව ඉතා උසස් නිමාවක් ඇති නවකතාවක් බිහි විය හැකියි. එහෙත් ප්‍රකාශනයේ ගුණය තීව්‍ර වීමට ඉහත සඳහන් කළ සාධක බලපානවා.”
• නවකතාව යනු දේශපාලනික කලා භාවිතයක් හෝ සමාජ ප්‍රශ්න පෙන්වා දෙන්නක් බවට මතයක් එක්තරා යුගයක මතු වුණා. ඒත් දැන් බොහෝ නවකතාකරුවන් මනස ප්‍රශ්න කරමින් පුද්ගල ආධ්‍යාත්මය සොයන නැඹුරුවක් තියෙනවා. මේ ප්‍රවණතා ඔබ සාකච්ඡා කරන්නේ කොහොම ද?
“මේ මතය වර්තමානයේ ද ප්‍රබලව අදහන මතයක්. නවකතාවක අත්‍යන්තයෙන්ම අඩංගු වෙනවා දේශපාලනික හා සාමාජික කතාබහක්. නවකතාකරුවා තම චරිත තෝරා ගන්නේ බොහෝ විට සමකාලීන සමාජයෙන්. ඒ චරිතවලට බලපාන දේශපාලනික කරුණු හෝ සාමාජික කරුණු මේ නිසා නවකතාවකින් නිතැනින්ම කතාබහ කෙරෙනවා. නවකතාකරුවා සෞන්දර්යයෙන් හා චමත්කාරයෙන් මුළුමනින්ම වෙන්ව විප්ලවීය ආකෘති ඔස්සේ කතා රචනා කළ යුතු බවට අදහසක් ඉදිරිපත් වී තිබෙනවා. ඒත් යම් කිසි කතාකරුවකු මවන මනෝමූලික චරිත තුළ කතුවරයාටත් නොදැනී සමකාලීන දේශපාලන ප්‍රවණනා දෘෂ්‍යමාන විය හැකියි.
අප දේශපාලන හෝ ආර්ථික මිනිසුන් ගැන පමණක් නොව සංස්කෘතික මිනිසුන් ගැන ද කතා කළ යුතුයි. නවකතාව ජීවයෙන් සපිරි කලාංගයක් බවට පත්වන්නේ එහිදී දේශපාලනය ඕනෑවටත් වඩා හුවා දක්වන නවකතාවල සමහරවිට කලාත්මක ගුණය වියැකී යන්නේ කතුවරයා ද නොදැනුවත්වමයි. ඒ නිසාම ඔහු සාහිත්‍යකරුවකු නොව දේශපාලන වේදිකාවක කථකයකු බවට පත් වෙනවා. ඕනෑවටත් වඩා දේශපාලන ප්‍රවණතා ගැන කතා කරන ලෝකයක, පංචකාමය පරම සැපතැයි කියා හිතන ලෝකයක, ආධ්‍යාත්මික ගුණ වගාව සුනුවිසුනු වී ඇති සමාජයක නවකතාවකින් හෝ ආධ්‍යාත්මයට නැඹුරු වෙමින් මිනිසාගේ මනස ගවේෂණය කිරීමට හැකි නම් ඒක එක අතකට සාධනීය නැඹුරුවක්.
පුද්ගල ආධ්‍යාත්මය සොයා යන චරිත පවා පවතින දේශපාලනික හා සාමාජික රටාවේ අතුරු ඵල විය හැකියි. ඒ නිසා දේශපාලනික, සාමාජික, සංස්කෘතික පමණක් නොවෙයි මනෝමූලමය ලක්ෂණ ද එකට මිශ්‍ර වී නවකතාවක අඩංගු විය යුතුයි. නවකතාකරුවා පවතින මතවාදවල හා සාහිත්‍ය නිර්චනවලට සීමා වී නවකතා ලියන්න බෑ. මේ අදහසට බොහෝ අය එකඟ නොවන්න පුළුවන්.”
• අපට තරුණ නිර්මාණ රචකයන් බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් අලුත් යමක් ලියන්නට උත්සාහ දරනවා. අලුතින් නවකතා රචනයට පෙළඹෙන ලේඛකයකුට යම් මග පෙන්වීමක් කළ හැකි නම් ඒ සඳහා ඔබ මොන වගේ අදහසක් ද ලබා දෙන්නේ?
“තරුණ ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනකු බිහි වීම ඇත්තටම රටක සාහිත්‍යයක සාධනීය ලක්ෂණයක්. ඔවුන් අමුතු විදිහට හිතන්න පතන්න දක්ෂයි. මෑතකදී අපේ රටට මහත් අභිමානයක් එක් කරමින් බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත වුණ ‘අනුක් අරුප්‍රගාසම්’ ඉතාමත් තරුණ ලේඛකයෙක්. සිංහල කතා රචකයන් අතරත් මෙවැනි දක්ෂයෝ ඉන්නවා. තම නිර්මාණවලට නවීන තාක්ෂණය උපයෝගී කරගන්නත් මේ අය දක්ෂයි. මේ තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ ඒවා තම නුවණැස මෙහෙයවා විචක්ෂණව පාවිච්චි කිරීමෙන් පමණයි.
එසේම නිර්මාණයේදී යොදා ගැනීමට සාරවත් මෙන්ම රසවත් භාෂාවකට හුරු වීම ඉතා අවශ්‍ය දෙයක්. මේ සඳහා පොතපත පරිහරණය කළ යුතුයි. විශේෂයෙන් අපේ පැරැණි සාහිත්‍යය සාමාන්‍ය තරමකට හෝ පරිහරණය කිරීමෙන් පමණයි ඔපමට්ටම් වූ භාෂාවක හිමිකරුවකු විය හැක්කේ. එසේම නව ලේඛක ලේඛිකාවන් හොඳ සාහිත්‍ය පෞරුෂයක් ගොඩනගාගත යුතු වෙනවා. ඔවුන් එක් එක් අයට වුවමනා පරිදි ඒ මේ අත ගසා ගෙන යන පරඬලා පත්‍ර නොවිය යුතුයි.”
මෙවර ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛිකා රූපා ශ්‍රියාණි ඒකනායක
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවකතාවක චරිතවල හැසීරීම් කල්තියා සැලසුම් කරන්න බෑ