ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට තවමත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන ආසන 113ක් ඇති බව පෙනෙන නමුත් ආණ්ඩුව මේ වනවිට ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තිබේ. ඒ බව මෙතෙක් පැවැති අධිමානය පසෙක තබා ජනාධිපතිවරයා තමන්ගේ ඇතැම් වැරැදි ප්‍රසිද්ධියේ පිළි ගැනීමෙන් පෙනේ..
තම සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙක් සියලු ඇමැතිවරුන්ට පසුගිය 3 වැනිදා ඉල්ලා අස්වන්නට සලස්වා සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් පිහිටුවන්නට ඉදිරිපත් වන්නැයි ජනාධිපතිවරයා පසුදින විපක්ෂයෙන් ඉල්ලා සිටියේ එමඟින් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිය යන විශ්වාසයෙන් නොව රටපුරා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැන නැඟෙන තත්ත්වය යටතේ වෙන කරන්නට දෙයක් නැති නිසාය.
කිසිදු විරුද්ධ පක්ෂයක් එම ඉල්ලීම නොපිළිගත් තත්ත්වය යටතේ ජනාධිපතිවරයා කලින් පැවැති ඇමැති මණ්ඩලයේ සිටි ඇතැම් වියපත් ඇමැතිවරුන් හා මහජන විරෝධයට ලක් වූ ඇමැතිවරුන් යළි පත් නොකොට තරමක් තරුණ මන්ත්‍රීවරුන් පිරිසකට ඇමැතිධුර පවරමින් පසුගිය 18 වැනිදා 18 දෙනකුගෙන් සමන්විත (පෙරට වඩා කුඩා) ඇමැති මණ්ඩලයක් පත් කළේය.
මෙයද මෙම තරමක් තරුණ ඇමැතිවරුන් කලින් සිටි ඇමැතිවරුන්ට වඩා දක්ෂයන් නිසා නොව ආණ්ඩු විරෝධී ජන මතය සන්සුන් කිරීම සඳහා ගත් පියවරකි. කලින් ජනමතය නොතකා කටයුතු කරමින් සිටි ආණ්ඩුව අඩියක් පස්සට ගත් බවක් මෙමගින් ද පෙනේ.. කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කළේ ද විශාල කැබිනට් මණ්ඩලයකින් මහජන් මුදල් නාස්ති වන නිසා නොව රටේ විවිධ ස්ථානවල උද්ඝෝෂණය කරන උද්ඝෝෂකයන් යම් තරමකට හෝ සන්සුන් කළ හැකි යැයි සිතාය. එහෙත් එම අරමුණ ඉටුවන බවක් නොපෙනේ.
නව ඇමැතිවරුන් පත්කොට ඔවුන් හමුවේ කතාවක් කළ ජනාධිපතිවරයා තමන් ගත් තීරණ දෙකක් වැරැදි බව ප්‍රසිද්ධියේ පිළි ගත්තේය.. එකක් නම් පසුගිය වසරේ මැයි මාසයේ දී කාබනික කෘෂිකර්මය ව්‍යාප්ත කිරීමට යැයි කියමින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමය. දෙවැන්න ආර්ථික අර්බුදයට පිළියම් සොයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට ප්‍රමාද වීමය.
ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම අවබෝධයකින් යුතුව මෙම වැරැදි පිළිගත්තා ද නැත්නම් ආණ්ඩු විරෝධී ජනමතය සන්සුන් කිරීම සඳහා ඒවා පිළිගත්තේ ද යන්න පැහැදිලි නැත. මන්දයත් ආණ්ඩුවේ මෙම තහනම නිසා තම වගා විනාශ වී ඇතැයි රටපුරා ගොවීන් මාස ගණනාවක්ම උද්ඝෝෂණය කිරීමෙන් පසුවත් ජනාධිපතිවරයා මෑතක දී පවසා තිබුණේ ගොවින් විපක්ෂයේ උසි ගැන්වීම නිසා උද්ඝෝෂණය කරන බවය.
දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ තමන් කළ වැරැදි පිළිගන්නේ නැත. ඒවා වැරැදි යැයි කොතෙක් පැහැදිලිව පෙනී ගිය ද ඒවා නිවැරැදි යැයි තර්ක කිරීම ඔවුන්ගේ සිරිතයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ දී තමන්ට ලැබුණු විශාල ජනවරම හා මහා මැතිවරණයේදී ලැබුණු තුනෙන් දෙකේ ජනවරම ගැන කියමින් වත්මන් ආණ්ඩුව පසුගිය වසර දෙකහමාර තුළ කටයුතු කළේ අධිමානයෙනි. එහෙත් වටෙන් පිටෙන් නොකියා කෙළින්ම වේවා අප කළ වැරැදි යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසන්නේ ආණ්ඩුව ඉතාමත් දුර්වල තත්ත්වයකට ඇද වැටී ඇති නිසාය.
මෙය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදි පක්ෂ 11ක හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් ආණ්ඩු වෙන් ඉවත් වී සිටිති. ඔවුන් ඇත්ත වශයෙන්ම එසේ කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳව කලකිරීමෙන් නොව ආණ්ඩුවේ නායකයන් උද්දච්ඡ ලෙස ඔවුන්ට කෙනෙහිලිකම් කිරීම නිසාය. කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමේ තර්ජනයක් ඇතිවී තිබේ. එහෙත් මෙම ආසන සංඛ්‍යාවේ ප්‍රශ්නයට වඩා ආණ්ඩුවට දැන් ප්‍රශ්නය වී ඇත්තේ පසුගිය මාර්තු 31වැනිදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසලින් ආරම්භ වී පැතිර යන උද්ඝෝෂණ රැල්ලයි.
විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලුමුවදොර පිටියේ පසුගිය 9 වැනිදා සිට දිවා රාත්‍රී අව් වැසි නොතකා, සිංහල අවුරුදු නොතකා ඇදි යන උද්ඝෝෂණය මේ වනවිට ජාත්‍යන්තර ජනමාධ්‍යවලද අවධානය විශාල වශයෙන් ඇදගෙන තිබේ. සමාජ මාධ්‍ය මඟින් එක් රැස් වූ පිරිසක් කරන මෙම උද්ඝෝෂණයට මේ වනවිට නීතිඥයන්,කලාකරුවන්, වෘත්තියවේදීන්, ජනමාධ්‍යවේදීන් ආදී සමාජයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරී සහය පළවී තිබේ.
එම ස්ථානය ‘‘ගෝඨාගෝ ගම’’ යැයි නම් කරගෙන ඔවුන් කරන මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන හා එකම ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන්නයි. දැන් එම ඉල්ලීම බොහෝ දුරට සමාජ ගත වී ඇත. සාකච්ඡා කොට ප්‍රශ්නය විසඳා ගමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උද්ඝෝෂකයන්ගෙන් කළ විවෘත ඉල්ලීම ඔවුහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු අතීත උද්ඝෝෂණ ලේ ගංගාවලින් අවසන් වූයේ යැයි අගමැතිවරයා විශේෂ ප්‍රකාශයකින් කළ අනතුරු ඇඟවීම ද ඔවුහු නොතකා හැරියහ.
මේ අනුව සුදුසු සංශෝධන සහිතව යළිත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට අගමැතිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේය. මෙය ද අධිකරණය, පාර්ලිමේන්තුව හා සියලු රාජ්‍ය ආයතන ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඒකාධිපති ස්වරූපය හා අහිතකර බව වටහා ගැනීම නිසා කළ යෝජනාවක් නොවේ. එය ද ආණ්ඩුව වැටී ඇති දුර්වලතාව තවදුරටත් පෙන්වන්නකි.
ජනාධිපතිවරයාගේ බලතල සීමා කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා ද සිටි රජයක් විසිනි. එය ඉවත් කොට ජනාධිපතිවරයාට ඒකාධිපති බලතල දෙන 18 වැනි සංශෝධනය සම්මත කරවූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී 2010 දීය. 2015 දී එය ද වෙනස් කොට ජනාධිපතිවරයාගේ බලතල සීමා කළ 19 වැනි සංශෝධනය ගෙන එනවිට රාජපක්ෂ මහතාගේ හිතවත්තු කළ හැකි දෙයක් නැතිව ඊටද සහය දුන්හ. ඉන්පසු යළිත් ජනාධිපතිවරයාට ඒකාධිපති බලතල දෙන 20 වැනි සංශෝධනය 2020 දී සම්මත කළේ රාජපක්ෂවරුන් රජ වූ වත්මන් ආණ්ඩුවයි.
දැන් මහින්ද රාජපක්ෂ මහතා යළිත් 19 වැනි සංශෝධනය ගැන කතා තරයි. ඒකාධිපතිත්වය ගැන මෙසේ විටෙක තේරෙන්නටත් තවත් විටෙක නොතේරෙන්නටත් හේතුවක් නැත. එහෙයින් මේ යෝජනාව ආණ්ඩුව වැටී ඇති දුෂ්කරතාවේ ප්‍රකාශනයයි.
අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් මෙල්ල කළ නොහැකි ඒකාධිපති විධායක බලතල හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව සියල්ල කටින් ගසා නොතකා හැර තමන්ට සිතූ දේ කරමින් සිටි ආණ්ඩුව මෙතැනට පත්වූයේ රට පුරා ඇති ආණ්ඩු විරෝධය හා එහි ප්‍රකාශනය වන උද්ඝෝෂණ රැල්ල නිසාය.
තමන් ගත් තීරණ වැරැදි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද ආණ්ඩුව හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කළ වෙනත් පක්ෂවල වෙනත් යම් යම් අදහස් ද දැන් පිළිගෙන තිබේ. රට මුහුණ පා ඇති විශාල විදේශ ණය අර්බුදයෙන් තාවකාලිකව හෝ ගැලවීමට නම් එම ණය හැකි තාක් දුරට ප්‍රතිව්‍යූහගත කළ යුතු යැයි විරුද්ධ පක්ෂ කියා සිටින්නේ පසුගිය වසරේ සිටය.. එහෙත් ආණ්ඩුව ඊට සවන් දුන්නේ නැත.
ණය ගෙවීමට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් හෙයින් දැනට ණය නොගෙවා අත්‍යවශ්‍ය ආහාර ඖෂධ ආදියට එම මුදල් යොදා ගැනීමට සුදුසු පියවර ගත යුතු යැයි ද ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම වෙරිටේ රිසර්ච් වැනි බුද්ධිමතුන්ගේ ආයතන පවසා තිබිණි.. ඊටද ආණ්ඩුව එකඟ වූයේ නැත.
එසේම දිනෙන් දින දියවී යන විදේශ සංචිත හේතුවෙන් රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙද්දී මහ බැංකුව ඩොලරයට නිශ්චිත අගයක් ප්‍රකාශයට පත් කළේය. රුපියල අවප්‍රමාණය වන වේගය අනුව මෙය ප්‍රායෝගික නොවේ යැයි ද එහෙයින් රුපියල වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව පාවෙන්නට සැලැස්විය යුතු යැයි ද විශේෂඥයන් පෙන්වා දුන් විට ආණ්ඩුව එයද ප්‍රතික්ෂේප කළේය. එමගින් රටට ලැබෙන්නට තිබූ ප්‍රේෂණ ද නොලැබෙන තත්ත්වයක් උදාවිය.
පසුව ඩොලරයේ සැබෑ මිල රජයේ කෘතිම මිලට වඩා රුපියල් 60ක් පමණ තිබියදී මහ බැංකුව හිටි ගමන් රුපියල් පාවෙන්නට හැරියේය. ඒ අනුව ක්‍රමයෙන් වැඩි වන්නට තිබු බඩු මිල හිටි අඩියේ මහා පරිමාණයෙන් වැඩිවිය. නව ඇමැති මණ්ඩලය දිවුරුම් දුන්දා ජනාධිපතිවරයා මේවා ගැනද පාපොච්ඡාරණය කළ යුතුව තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන්නට කල්ගත විය හැකි හෙයින් එතෙක් විදේශ විනිමය සංචිතය ද දියවෙමින් යනු ඇත. ඒ අනුව රුපියල තවත් මාස ගණනාවක් යන තෙක් හෝ තව තවත් වේගයෙන් කඩා වැටෙනු ඇත. ඒ අනුව ඉදිරියට ද මාසයකට වරක් හෝ ඇතැම් විට සති දෙක තුනකට වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇත. ජන ජීවිතයේ සියල්ල ඉන්ධන මිල හා විදුලිය මත රැඳී ඇති තත්ත්වය යටතේ ඉදිරි මාසවලදී තව තවත් භාණ්ඩ මිල ඉහළ යනු ඇත. ඇතැම් විට විදුලි කප්පාදුව දීර්ඝ විය හැකිය. ඒ අනුව ඉදිරියේදී ජනතාව තව තවත් මහ මඟට බැස උද්ඝෝෂණය කළ හැකිය.
පසුගිය මාර්තු 31 වැනිදා මිරිහානේ ස්වයංමය වශයෙන් ඇතිවූ උද්ඝෝෂණය පැය කිහිපයකින් ආර්ථික ඉල්ලීම්වලින් දේශපාලන ඉල්ලිම් වෙතට මාරුවිය.‘‘ගෝඨා ගෝ හෝම්’’ සටන් පාඨය එහි ප්‍රතිඵලයයි.
පසුගිය 9 වැනිදා ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ වී මේ දක්වා දිවා රාත්‍රී අව්වැසි නොතකා සිංහල හා දෙමළ අලුත් අවුරුදු නොතකා ඉදිරියට ඇදෙන ජන අරගලයේද ප්‍රධාන සටන් පාඨය එයයි. ඒ අනුව උද්ඝෝෂකයන් එම උද්ඝෝෂණ භූමිය ‘‘ගෝඨා ගෝගම’’ යැයි නම් කොට ඇත. නීතිඥයන්ගේ, කලාකරුවන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ, ආදි වාසීන්ගේ, විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ හා වෙනත් බොහෝ ක්ෂේත්‍රවල සහය මේ වනවිට ඊට පළවී තිබේ.
එම උද්ඝෝෂණය නිර්දේශපාලනිකයැයි බොහෝ දෙනා පැවසුවද එහි තේමාවම දේශපාලනිකිය. රාත්‍රි කාලයේ හා උත්සව කාලයේ සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණ භූමියෙන් ඉවත් වූ විට ඔවුන් යළි පැමිණෙන තෙක් උද්ඝෝෂණය අල්ලා ගෙන සිටින්නේද බොහෝ විට දේශපාලන කණ්ඩායඉම් බව පෙනේ.
ප්‍රශ්නය නම් උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවුවහොත් හෝ ඉල්ලා අස්වුවහොත් උද්ඝෝෂකයන් කරන්න් කුමක්ද යන්නයි. ඉල්ලා අස් නොවුවහොත් වැඩිවන ආර්ථික පීඩනය නිසා උද්ඝෝෂණ වැරැදි මාර්ගවලටද යොමු විය හැකිය. ආණ්ඩුවටද අවශ්‍ය වී ඇත්තේ එයයි. ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද පසුගිය අඟහරුවාදා රඹුක්කනදී පොලිස් වෙඩි තැබිමකින් ඝාතනයක් සිදුවූ විට ඉන් ප්‍රයෝජන ගන්නට ආණ්ඩුව උත්සුක වුයේ ඒ අනුවය.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය හිස්වූ විට ක්ෂණිකවම අගමැතිවරයා ජනාධිපති ධුරයට පත්වනු ඇත. ඉන්පසු මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස පත් කරගනු ලැබිය යුතුය.
1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කොටි සාමාජිකයකුගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු විට එවකට අගමැතිව සිටි ඩී.බී.විජේතුංග මහතා වහාම ජනාධිපති ධුරය භාර ගත්තේය. පසුව සියලු පක්ෂවල එකඟතාවෙන් ඔහුම ප්‍රේමදාස මහතාගේ ධුරයේ ඉතිරි කාලය සඳහා පත් කරගනු ලැබීය.
වත්මන් තත්ත්වය යටතේ එවැනි ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණහොත් බොහෝ විට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකි. එනම් තමන් පාලනයට හවුල් වී සිටි කාලයේ මහා පරිමාණ දූෂණවලට හවුල් වූ ඒවාට සහය දුන් ඒවා සාධාරණිකරණය කළ ඒවා වසං කිරීමට කටයුතු කළ අයෙකි. දූෂණ චෝදනා නැති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට මෙම පක්ෂවල කිසිවකු ඡන්දය දෙන්නේ නැත. එනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් ව්‍යවස්ථාව අනුව පත්විය හැක්කේ තවත් දුෂිතයකුටය.
එහෙත් ආණ්ඩුව වැටි ඇති අති මහත් දුෂ්කරතාවෙන් ජනතාවට ගත හැකි ප්‍රයෝජයක් තිබේ. ඒ අගමැතිවරයා පවසන පරිදි අවශ්‍ය සංශෝධන සහිතව යළි 19 වැනි සංශෝධනය (21 වැනි සංශෝධනය වශයෙන්) ගෙන විත් ස්වාධීන කොමිෂන් සභා පත් කර ගැනීමය. දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.
එහෙත් එමඟින් ආර්ථික ප්‍රශ්න නම් විසඳෙන්නේ නැත. කොමිෂන් සභා වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම ස්වාධීන වුවද ගෑස් හිඟයට හෝ ඉහළ යන බඩු මිලට හෝ විදුලි කප්පාදුවට ඉන් විසඳුමක් නොලැබෙනු ඇත.
(*** එම්.එස්.එම්. අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවුණු ගින්නේ ගින්දර