IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පක්ෂ ක්‍රමයේ ආරම්භය : අවසානය

රට පුරා ව්‍යාප්ත වී ඇති වෛරස් උණ ට ගොදුරු වී සති ගණනක් ම කල් ගත කළෙමි. ගිය සතියට පෙර සතියේ කිවි දා දැක්ම ලියාගත නොහැකි තරමටම වෛරස් බලවත් විය. අහාර අපුල විය. ඇගපත රිදුම් දීම තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එක දෙයක් ගැන මනා සිහියෙන් එක දිගට අවධානය යොමු කිරීම අපහසු විය. ඒ සියල්ල ටික ටික අඩුවෙද්දී විශ්වවිද්‍යාලයට ආවේ වැඩට බැස්සොත් රෝගය සහ එහි අමාරුකම් අමතක වේය යන හැඟීමෙනි. ඒ ආ විට භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මා මිත්‍ර අචාර්ය පත්මකුමාර ජයසිංහ කියවා බලන්න කියා දුන් පොත, පොතකට වඩා බෙහෙතක් යැයි සිතේ.

මන්ද, මා එක් අරමුණක දිගු වෙලාවක් රඳවා තැබීමට ඒ පොත සමත් වූ නිසා ය. මිස්සක කමලසිරි හාමුදුරුවන්ගේ “මිහිඳු ගිරෙන් හිම ගිරට; යතිවරයෙකුගේ වන්දනා ගමනක මතක සටහන්” යනු මගේ සිතට ඔසුවක් වූ එම පොත ය.

හිමාලය ටිබෙටය ඉන්දියාව ධර්මශාලා නගරය සහ අතරින් පතර චීනයද එබිකම් කරන ඒ පොත තිබ්බතයේ බුදුදහම, මහායානය, හීනයානය, ථෙරවාදය, දළයි ලාමා තුමා පමණක් නොව සොබාදහම පිළිබඳ මවන චින්තන සහ සිතුවම් රමණීය ය. ඒ සියල්ල මැද මා සිත පැහැරගත් අනගි පද කීපයක් විය.

“ජපානයට ගිය බොහෝ දෙනා යෙන් (ජපානයේ මුදල් ඒකකය) පිළිබඳ සොයා බලනවා මිස සෙන් (නැගෙනහිර ආසියාවේ භාවනා සම්ප්‍රදාය) පිළිබඳව සොයා බැලීමක් නොකරති. සමහරු මෙරටට යෙන් බලයෙන් සෙන් වැඩමවන්න උත්සාහ කළ අවස්ථාද ඇත. එවැන්නක් සමාන වන්නේ අවිබලයෙන් බයිබලය වැඩමවීමට යි ” යනු එම පද කීපය යි. එහි හරය ලෙස මා තේරුම් ගත්තේ අදාළ අය අදාළ දේ නොව එනම් යුතු දේ නොව අයුතු දේ කෙරෙහි අවධානය යොමු කිරීම අදාළ දෙය අපවිත්‍ර වී විනාශ වීම හෝ පරිහානියට යාම සඳහා හේතුවන බව ය. කමලසිරි හාමුදුරුවෝ අපට පෙන්වා දෙන්නේ ඒ විනාශය බව ය.

ලංකාවේ දේශපාලනයට සහ දේශපාලන පක්ෂවලට සිදු වී ඇති විනාශයත් ඒ නිසා රටට අත් වී ඇති මහා විනාශයත් තේරුම් ගැනීමට ඒ පද කීපයම වුවත් ප්‍රමාණවත් බව මගේ අදහස ය. “සසර උරුමය යටකරගෙන ලේ උරුමය මතුවීම” ගැනද කමලසිරි හිමියෝ කතා කරති. මේ සියල්ල මෙරට දේශපාලනය විග්‍රහ කරගැනීමේ දී අදාළ කරගත හැකි සූත්‍ර වෙති. පවත්වනවා යැයි කියන ප්‍රාදේශීය ආණ්ඩු ඡන්ද විමසීම කෙරේද නොකෙරේද යන්න සැක සහිතය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් දියත් කරන්නට යන අනුග්‍රාහක ආධාරෝපකාර වැඩසටහන්වලින් පෙනී යන්නේ නියොජිතවරණයක් ළඟ බව ය.

මේ රට ජනයාට ඡන්ද අයිතිය ලැබුණුදා සිට බලයේ සිටින ආණ්ඩු කල්ලි සහ බලයට ඒමට වෑයම් කරන කල්ලි ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා උපක්‍රමිකව භාවිත කළේ ඔය ආකාරයේ අනුග්‍රාහක වැඩ සටහන් ය. නැතහොත් එවැනි අනුග්‍රහයන් සම්බන්ද පොරොන්දු ය. පක්ෂ නායකයන්ටවත් ඒවාට ඡන්දය දෙන ජනයාටවත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති වැදගත් වූයේ හෝ අදාළ වූයේ නැත. ඒ නිසා රටේ වර්ධනය වූයේ පක්ෂ තිබුණත් දේශපාලන පක්ෂ සංස්කෘතියක් නැති ‘කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩිය ද තව ඕනෑ කියන්නේ’ ජාතියේ විකාර අදේශපාලන හැසිරීමක් ය. වමේ පක්ෂ කීපයක් පක්ෂ සහ ප්‍රතිපත්ති කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට ගත් උත්සාහයද සාර්ථක වූයේ නැත. ඒවාත් ඉතා කෙටිකලකින් ඉහත කී විකාර හැසිරීම් සහිත අදේශපාලන කල්ලිවල අණසකට යටත් වී ඒ ක්‍රමයටම හැසිරෙන්නට පුරුදු විය. 

පක්ෂ යනු හුදු ඡන්ද ලකුණු වර්ණ නිලධාරීන් සහිත වාඩි හෝ තිප්පොළවල් මිස ඉන් එහාට ගිය අර්ථයක් ඒවාට නොවීය. අසූව දශකයේ මුල සිට මේ තත්ත්වය වඩාත් දැඩි විය. එවැනි පසුබිමක පක්ෂවලට කට්ටිය එන්නේ ‘සෙන්’ සොයා ගෙන නොව ‘යෙන්’ සොයා ගෙනය. ඇත්තටම අසූව දශකයේ ආරම්භය යනු ඒවනවිට යම්තම් හෝ ඉතිරි වී තිබුණු මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය  අවසාන වීමේ ද ආරම්භය ය.

එතැන් සිට වේගයෙන් කඩා වැටුණු පක්ෂ දේශපාලනය මේ වනවිට සොයාගන්නට වත් නැත. දැන් ඇත්තේ පක්ෂ නොව රංචු කල්ලි හවුල් පවුල් සහ ආත්ම කේන්ද්‍රීය තනි පුද්ගල අරමුණු සහිත බල ගැටුම්ය. ඒවාට ජාතික අරමුණු හෝ ජාතික ප්‍රතිපත්ති හෝ ජාතික උපායමාර්ග හෝ ජාතික හෘද සාක්ෂියක් නැත.

ඇත්තේ රංචු කල්ලි හවුල් පවුල් සහ ආත්මීය තනිපුද්ගල අරමුණු සහ කුටෝපායන් ය. ඒ අනුව දැන් පක්ෂත් නැත, දේශපාලනයත් නැත. එවැනි පසුබිමක සන්ධාන යනු ආඬින්ගේ කැඳ හැලි ය. එකිනෙකාට ඔරවමින් අනෙකාගේ කකුලෙන් අදින්නේ කොහොමද තමන් අනෙකාට වඩා බැබලෙන්නේ කොහොමද බලවත් වෙන්නේ කොහොමද කියා සිතනවා මිස පොදු ජාතික හෝ සාමුහික අරමුණු සහ ප්‍රතිපත්ති ඒවාට නැත. දේශපාලන මතයක් තබා අදහසක් වත් නැත.

ඇත්තේ තමන් සහ තම කල්ලියට රැකවරණය සහ පැවැත්ම ලබාගැනීමේ සහ එය තහවුරු කර ගැනීමේ පුද්ගල සහ කල්ලිවාදී අරමුණු පමණි. එය අරුමයක් නොවේ. දේශපාලනය අදේශපාලනය වී රන්මසු උයනට වෙල් මාළු පැමිණීම’ වඩාත් වැඩි වුණේ අසූව දශකයේ මුල සිට ය. මේවන විට ඒ රත්තරන් මසුන් සිටි බවට මතකයක් වත් නැති තරමට වෙල්මාළු ගහණය වැඩි වී අදේශපාලනය මත ලගිමින් රට උලාකන ටැංකි සුද්දන් බලවත් වී ඇත. මේ රටේ ජනයා කොහොම හිතුවත් මේ ටැංකි සුද්දන්ගෙන් දේශපාලනය සහ යහ ආණ්ඩුකරණය ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ ය.

සන්ධානගත වන ටැංකි සුද්දෝ එසේ කරන්නේ රට රාජ්‍යය සහ පොදුජන සම්පත් දේපොළ උදුරා ගැනීමට සහ උලාකෑමට මිස ජනයාට සුබසෙතක් සැලසීමට නම් නොවේමය. ටැංකි සුද්දන් ඔවුන්ගේ ඔලු‍වෙන් ජනයා ගලවා දමා බොහෝ කල් බව අප තේරුම් ගත යුතුමය. මේ ටැංකි සුද්දන් කරන්නේ පාලක පරිපාලක ව්‍යාපාරික කල්ලිවලට බෙදී සහ ඒකාබද්ධ වී රට බෙදාගෙන කෑමය, නැතහොත් පරිභෝජනය කිරීම ය.

එවැනි පසුබිමක අගනගරයේ රමණීය භූමිවල රුපියල් කෝටි සිය දහස් ගණන් වැයකොට ඉදිකර ඇති අති සුඛෝපභෝගී පාලක මන්දිර (නිල නිවාස) සහ අලු‍තින් ඉදිවන පාලක මන්දිර දකිනවිට මා සිතට නැගෙන ගැටලුවක් පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි එනම්, මේ තරම් සැපක් විඳින මේ පාලකයන් සහ ඉහළ පරිපාලකයන් එසේ සැප විඳින්නේ ඔවුන් මේ රටේ ජනයාට කුමන සැපක් ලබා දුන්නාට වන්දියක් වශයෙන්ද යනු ඒ ගැටලු‍ව ය. ඒ මන්දිර වනාහි, රටේ ජනයාගේ ප්‍රාණය සහ ජීවිත අන්ත අසරණකමකට ඇද දැමූ සහ තවදුරටත් ඇද දමමින් සිටින පාලකයන්ට සහ ඉහළ නිලතලධාරීන්ට ජන සමාජය ලක්වී ඇති ඛේදවාචකය ගැන කිසිදු හෘදසාක්ෂියක් නැති බවට වූ සාක්ෂි අතර එකක් පමණි.

අප මේ මොහොත මනාව තේරුම්ගත යුතු ය. රටේ දේශපාලන පක්ෂ නැත. ඇත්තේ රංචු කල්ලි හවුල් සහ පවුල් ය. ඔවුන් අපට කියා සිටින්නේ ඒවා පක්ෂ කියා ය. අප මුලාවේ වැටුණා හොඳටම ඇති ය. එසේම මේ කල්ලිවලට තමන්ලා ගැන මිස ජාතික සමාජ දේශපාලන හෘදසාක්ෂියක් නැත. සන්ධානගත වීම් යනු ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන්නක් මිස ජනසමාජය වෙනුවෙන් සිදුකරන්නක් නොවේ ය.

මේ සියල්ල මැද රටේ දේශපාලනයක් හෝ යහ ආණ්ඩුකරණයක් නැත. ඇත්තේ මවාපාන ඡායා පමණි. 1948 මේ රටේ පාලකයන්ට බලය සහ නිදහස ලැබුණු දා සිට රටට අත්කරදුන් විනාශයට මේ සියලු‍ පාලකයන් වගකිව යුතු ය. එහෙත් ඔවුන් නැවත නැවත බලයම ඉල්ලා සිටී. රට සහ ජන සමාජය තව දුරටත් මුඩුබිමක් කිරීමට වරම් ඉල්ලා සිටී.  තත්ත්වය එසේ නම් අවශ්‍ය වන්නේ මේ මුඩුබිම අස්වද්දා බිජු වපුරා සරු අස්වැන්නක් සඳහා ජන සමාජය සංවිධානය වීමය. දේශපාලනය නැති පොළොවේ දේශපාලනය පැළ කළ යුතු ය. ආණ්ඩුකරණය යහපත් කළ යුතු ය.

දේශපාලන පක්ෂ මියගොස් ඒවායේ නම් සහ සලකුණු පෙන්වා වැජඹෙන ගන්ධබ්බයන්ට පෙරේතයන්ට පිසාචයන්ට මුලා නොවී සැබෑ දේශපාලන පක්ෂ ක්‍රමයක් රටේ ස්ථාපිත කිරීමට මේ නම් හොඳම මොහොත ය. පැරණි පක්ෂ සහ ඒ ක්‍රමය අවසන් වී ඇත. රට ගොඩ ගැනීමට නම් දේශපාලනය නැති බිමට දේශපාලනය අවශ්‍ය වන්නා සේම පක්ෂ නැති බිමට පක්ෂ අවශ්‍යමය.

මේ මොහොත වනාහි පැරණි පක්ෂ ක්‍රමයේ අවසානය සහ ඇදවැටීම කදිමට ප්‍රදර්ශනය වන මොහොතය. සියලු‍ ආකාරයේ සන්ධාන පෙන්නුම් කරමින් සිටින්නේ ඒ අවසානයයි. අනිත් අතින් මේ මොහොත සැබෑ පක්ෂ ක්‍රමයක ආරම්භක මොහොත කරගත හැකි බව අප වටහා ගත යුතු ය. නිසිලෙස ඒ සඳහා සුදානම් වීම අප කාගේත් වගකීම ය. ඉතින් අපි දේශපාලනය නැති රටකට දේශපාලනයත් පක්ෂ නැති රටකට පක්ෂත් ගෙන ඒමේ කාර්යයේ කසකරුවන් විය යුතුය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය. 

කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ, ධම්ම දිසානායක



අදහස් (1)

පක්ෂ ක්‍රමයේ ආරම්භය : අවසානය

gamunu Friday, 20 January 2023 07:00 PM

පැරණි පක්ෂ ක්‍රමයේ අවසානය සහ ඇදවැටීම කදිමට ප්‍රදර්ශනය වන්නේ ලංකාවේ බව බොහෝ දේශපාලන විචාරකයන් අර්ථ කතන දුන්නද ඔවුන්ගේ අදහස් දේශීය වසයෙන් පමණක් සහ ලංකාවේ වර්තමාන දේශපාලනය, දිනපතා සිදුවන දේශපාලන වෙනස්වීම, සහ ඉස්තිර පක්ෂයක් නොමැති, ප්‍රතිපත්තියක් නොමැති තනතුරු සහ බලය වෙනුවෙන්ම අවස්ත්වාදී දේශපාලනයේ යෙදෙනාවූ දේශපාලකයන් කියා ගන්නාවූ පුද්ගලයන්ගේ මත පමණක් ප්‍රගුණ කර සහ ගෝලීය දේශපාලනය පිළිබද අවබෝදයක් නොමැතිව ප්‍රකශ කරනාවූ අදහස් පමණි. ඉන්දියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඇතුළු ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන පක්ෂ සක්තිමත්ව පවත්වාගෙන යයි. ලංකාවේ ප්‍රධාන තම දේශපාලන පක්ෂ විනාශ වීමට ප්‍රධාන තැනම හේතුව නම් පුරවැසියන් ( චන්ද දායකයන් ) පක්ෂයට, ප්‍රතිපත්තීන් වෙත එක්වීම හෝ විස්වාසය තැබීම වෙනුවට ජනප්‍රිය පුද්ගලයන් මත විස්වාසය තැබීම නිසාවෙනි. ලංකාවේ පැරණි දේශපාලන පක්ෂ ආරක්ෂා කර ගත යුතු අතර එම පක්ෂ අලුත් අදහස් සමග වෙනස් විය යුතුවේ. පක්ෂ තුල සිටිනා පිරිස් තනතුරු වෙනුවෙන් බල අරගල නිරත වන්නාවූ සෑම අවස්ත්වකම එම පුදගලයන් සමගම පක්ෂයද විනාශ වේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1287 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7859 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 460 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 851 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 869 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 458 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site