IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


පුංචි ඡන්දය කාටද? කුමටද?

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.

වසර 1987 දී ප්‍රාදේශීය සභා පනත හඳුන්වා දුන් පසු මෙරට ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වූ අතර ඉන්පසු පළාත් පාලන ආයතන ව්‍යුහය ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා යන ඒකකවලින් සකස් විණි. මෙම මැතිවරණ 1987 න් පසු පැවැත් වූයේ සෙසු මැතිවරණ පැවැත්වීමට යොදා ගන්නා සමානුපාතික මැතිවරණ ක්‍රමයෙනි. එහිදී මැතිවරණ කොට්ඨාසයක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් වශයෙන් සලකමින් ජනගහනයේ හා භූමියේ විශාලත්වයට සමානුපාතිකව නියෝජිතයන් පත් කර ගැනිණි. එහෙත් පොදුවේ ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමයට එල්ල වෙන විවේචනය මේ ක්‍රමය සම්බන්ධයෙන් ද එල්ල විය. ඒ අනුව එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර අනවශ්‍ය තරගයක් හා අතිවිශාල ධනස්කන්ධයක් වැය වෙන මැතිවරණ ක්‍රමයක්ය යන්න එම විවේචනවල මූලික හරය විය. විශේෂයෙන්ම සාපේක්ෂ වශයෙන් අඩු දීමනාවක් ලැබෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් විශාල මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කරන වාතාවරණයක් නිර්මාණය විණි. එසේ ප්‍රචාරක කටයුතුවල දී වියදම් කළ මුදල් සොයා ගැනීම සඳහා බොහෝ සභිකයන් කටයුතු කිරීම හේතුවෙන් පළාත් පාලන ආයතන දූෂිත වූ බවට ප්‍රබල විවේචනයක් ඉදිරිපත් වේ.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ගමට සභිකයෙක් යන සංකල්පය දුර්වල විය. ඊට හේතුව වූයේ මෙම නියෝජන ක්‍රමයෙන් තේරී පත් වෙන නියෝජිතයන්ට නිශ්චිත ගමක් හෝ ප්‍රදේශයක් හෝ නොතිබීමය. එනම්, නිශ්චිත ගමක් හෝ ප්‍රදේශයක් වෙනුවට මැතිවරණ කොට්ඨාසයකින් ඔවුන් තේරී පත් වීමය. මෙය ගමකට නිශ්චිත දේශපාලන නායකත්වයක් නොතිබීම හා සංවර්ධනය දුරස්ථ වීමට හේතු වූ බව විචාරක මතයයි. පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ගොඩනැගී තිබූ මෙම විවේචනයට ප්‍රතිචාර දක්වනු පිණිස යහපාලන ආණ්ඩුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා යොමු විය.

2016 දී සම්මත කරන ලද පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සහ 2017 දී සම්මත කරනු ලැබූ පළාත් පාලන ආයතන සංශෝධන පනත එහි ප්‍රතිඵලය. මේ නීති සංශෝධන මගින් පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරිණි. පළාත් පාලන ආයතනවල ව්‍යුහයත් වෙනසකට බඳුන් කෙරේ.

මෙහිදී පළාත් පාලන ආයතනවල ව්‍යුහය වෙනස් කිරීම යන කාරණය වැදගත් වේ. ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත් කිරීම සමානුපාතික හා කොට්ඨාස යන දෙකෙහි මිශ්‍රණයෙන් සිදු කිරීමට අදාළ පසුබිමක සකස් කරන ලදී. මේ අලුත් නියෝජන ක්‍රමය යටතේ නව මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කමිටුවක් ද පත් කෙරුණු අතර පළාත් පාලන බල ප්‍රදේශයක් මැතිවරණ කොට්ඨාස කිහිපයකට බෙදා වෙන් කරන ලදී. එහිදී ගම් දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කර මැතිවරණ කොට්ඨාස සකස් කිරීමත් මැතිවරණ කොට්ඨාසයක් සතුව තිබූ සමස්ත පළාත් පාලන ආයතන බල ප්‍රදේශ සංඛ්‍යාව කොට්ඨාස ක්‍රමයකට වෙන් කිරීමත් සිදු විය.

එමෙන්ම කොට්ඨාස සඳහා තනි තනි මන්ත්‍රීවරයකු පත් කිරීමේ ක්‍රමයක් ද මෙයින් නිර්මාණය කෙරිණි. ඒ අනුව යම් පළාත් පාලන ආයතනයකට සමානුපාතික නියෝජන ක්‍රමය නැතිනම් ලැයිස්තුව මගින් පත් කරන සභිකයන් සංඛ්‍යාව සියයට 40 ක් වෙන අතර කේවල ක්‍රමය යටතේ නැතිනම් කොට්ඨාස මට්ටමින් පත් කරනු ලබන ප්‍රමාණය සියයට 60 කි.

පළාත් පාලන මැතිවරණ නීතියෙහි සඳහන් එක් ප්‍රතිපාදනයකට අනුව විෂය භාර අමාත්‍යවරයාට පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කළ හැකි ය. එවක බලයේ සිටි ආණ්ඩුව මේ ප්‍රතිපාදනය උපයෝගී කර ගනිමින් පළාත් පාලන ආයතන මැතිවරණය 2023 මාර්තු දක්වා වසරකින් කල් දැමීය. ඒ අනුව කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේ පළාත් පාලන ආයතන තවත් වසරක කාලයක් ක්‍රියාත්මක විණි.

වසර 2023 මාර්තු ආසන්න වෙනවිට එම මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව යළිත් මතු විය. එවක බලයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එතරම් උනන්දුවක් ද නොතිබිණි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව නීතියට අනුව කටයුතු කරමින් එම මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමත් නාම යෝජනා කැඳවීමත් කළේ ය. රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මැතිවරණය සඳහා මුදල් වෙන් කළ නොහැකිය යන තර්කය ඉදිරියට දමමින් ආණ්ඩුව මුදල් වෙන් නොකළ හෙයින් 2023 දී ද මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව රජයේ මුදල් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගත යුතු වූ අතර එම අත්‍යවශ්‍ය ලැයිස්තුවේ පළාත් පාලන ආයතන මැතිවරණය ඇතුළත් වූයේ නැත. මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණ කොමිසමට එම මැතිවරණය පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවිය.

මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත යන පදනමින් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර අධිකරණය විසින් එය විභාගයට ගනු ලැබීය. එම නඩුවට අදාළ තීන්දුව 2024 අගෝස්තු මස 18 වැනි දින ලබා දෙමින් අධිකරණය ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම මගින් මැතිවරණ කොමිෂන් සභාව හා ජනාධිපතිවරයා විධායකය වශයෙන් වගකීමකට ලක් වෙන බවත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ය. ඒ අනුව එම මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අභිනවයෙන් බලයට පත් වූ ආණ්ඩුවට මෙම මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ආරම්භ කිරීමට සිදු විය.

එහෙත් මෙහිදී තවත් අර්බුදයක් මතු විණි. එනම් පිළිගෙන තිබූ නාම යෝජනා පරණ වී තිබීමත් අලුත් ආණ්ඩුවක් බලයට පත් වී තිබුණෙන් ඒ ආණ්ඩුව යටතේ විශාල පිරිසක් පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට අපේක්ෂාවෙන් පසු වීමත් ය. එමෙන්ම 2024 මුල් කාලය වෙනවිට අලුත් ඡන්ද හිමි නාම ලේඛනයක් ලියාපදිංචි කර තිබුණෙන් තරුණ පෙළේ විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මේ පසුබිමේ 2023 වසරේ දී භාර ගෙන තිබූ නාමයෝජනා පදනම් කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්විය හැකි ද යන ප්‍රශ්නය මතු විය. මේ පසුබිමේ වත්මන් ආණ්ඩුව විසින් 2025 අංක 1 දරන පළාත් පාලන විශේෂ විධිවිධාන පනත නමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබූ අතර එයින් මූලිකව අපේක්ෂා කළේ 2023 දී භාර ගෙන තිබූ නාම යෝජනා අහෝසි කිරීමත් නව නාම යෝජනා පිළිගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරීමත් ය.

ඒ අනුව අලුතින් නාමයෝජනා කැඳවා නව මැතිවරණයක් ලෙස මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට නීතිමය හැකියාව ලැබිණි. මේ සමස්තයෙන් පැහැදිලි වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස මේ මැතිවරණය දිනා ගැනීමට හැකියාව ලැබුණු බවය. පළාත් පාලන මැතිවරණයක ඇති වැදගත්කම සහ එයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති බලපෑම් පිළිබඳ සාවධාන වීම වැදගත් ය. පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර නියෝජන ක්‍රමයක් හඳුන්වා දීමෙන් අපේක්ෂා කළේ එහි ව්‍යුහයෙහි පැනනැගී තිබූ ප්‍රශ්න දුර්වලතා මගහරවා ගැනීම ය. එහෙත් නව මැතිවරණ ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු සම්පූර්ණ වශයෙන් ඉෂ්ට වෙන්නේදැයි සහතික කළ නොහැකි ය. විශේෂයෙන් ම මෙම අලුත් නියෝජන ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ බලප්‍රදේශයක් සඳහා තෝරා පත් කර ගැනෙන සභිකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ දමා තිබේ. පෙර පැවති පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 4000 ත් 5000 ත් අතර ගණනකින් වැඩි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි වීම ශ්‍රී ලංකාව වැනි රටකට ඔරොත්තු දෙන්නේ ද යන ප්‍රශ්නය මතු වේ.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව දේශපාලන විවේචනයට ලක්වුව ද මේ මැතිවරණයට අදාළ තීරණාත්මක පනත් දෙකක් එම ආණ්ඩුව විසින් සම්මත කර ගනු ලැබීය. 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ඒවාය. මේ පනත් දෙකෙහි ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ට විශාල ධනස්කන්ධයක් වැය කර මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට ඇති ඉඩ අහුරා තිබේ. දූෂණ විරෝධී පනතෙහි 81 සිට 89 දක්වා වෙන වගන්තිවල දැක්වෙන්නේ සියලු ඡන්ද අපේක්ෂකයන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමග මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතු බවය.

මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව එක් ඡන්දදායකයකු වෙනුවෙන් එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් වියදම් කරනු ලැබිය යුතු උපරිම මුදල දැක්විය යුතු ය. ඒ අනුව මැතිවරණ කොමිසම එම මුදලත් මේ වෙනවිටත් ප්‍රසිද්ධ කර තිබේ. තව ද මැතිවරණයෙන් දින 21 ක කාලයක් ඇතුළත පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මැතිවරණය සඳහා දරන ලද සියලු වියදම් ඇතුළත් වාර්තා කොමිසමට ඉදිරිපත් කළ යුතු ය. මේ සියලු ප්‍රතිපාදන මගින් අපේක්ෂකයන්ට සම බිමක් තහවුරු කිරීමත් තරගය සාධාරණීයකරණය කිරීමත් අපේක්ෂිතය.

පළාත් පාලන ආයතන දැනට අක්‍රීය තත්වයේ පසුවෙන වාතාවරණයක ගම් මට්ටමේ සභිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳීමට අවස්ථාව ලබා දීම යන අර්ථයෙන් මෙම මැතිවරණය පැවැත්වීම අතිශය වැදගත් බව කිව හැකි ය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

පුංචි ඡන්දය කාටද? කුමටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 330 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 760 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 163 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 120 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 581 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 126 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 239 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 807 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site