කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුළුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමිණිකයන් මෙල්ල කළ අයුරු බලන සටන්වල දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කරයි. සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා කඹ මාර්ගයෙන් ඒ සියලූ ගස් එකිනෙකට සම්බන්ධ කොට තබා සතුරා කඳු නැග ඉහළට පැමිණීමත් සමග පහළට ගස් පෙරළීම මගින් එයට ඇඳා ඇති ඉහළ ගස් සියල්ලම පෙරළීමෙන් සතුරා විනාශ කිරීම වැනි එදා උඩරට සටනට ආවේනික ගරිල්ලා ආකාරයේ සටන් ක‍්‍රම එම අවදියේ භාවිත කෙරුණි. කන්ද උඩරට සටන්කාමීන් අතර එවන්වූ සටන්කාමීත්වයක් තිබියදී අප දේශය ආක‍්‍රමණය කළ කෲරතර ආක‍්‍රමිකයකු වශයෙන් සැලකෙන ජෙනරාල් ජෙර්නිමෝ ද අසවේදු විසිපන්දහසක සොල්දාදුවන් පිරිසක් සමගින් උඩරට ආක‍්‍රමණය කිරීමට පැමිණ්ය. ගන්නෝරුව සටනේ දී මියගිය කපිතාන් ජෙනරාල් සුසාගෙන් පසු පෘතුගීසි හමුදා මෙහෙයවීම සඳහා එවන ලද ජෙනරාල් අසවේදු ඉතිහාස ගත වන්නේ ඉතාමත් කෲරතර ආක‍්‍රමණිකයකු වශයෙනි. ඔහු අපගේ කුඩා දරුවන් උඩ දමා කඩුව ඇල්ලීමට තරම් කෲර මානසිකත්වයකින් පෙළුන පුද්ගලයකු බව ඉතිහාසයේ සඳහන් වේ. එක්දහස් හයසිය දෙක වසරේ දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු පෘතුගීසි සේනා හා ලස්කිරිඤ්ඤ සේනාභටයන් විසි පන්දහසක්ද සමගින් උඩරට බලා ආක‍්‍රමණශීලී ගමනක් පිටත්විය. ලස්කිරිඤ්ඤ සේනාවේ නායකත්වය දෙන ලද්දේ සීමන් පිංඤ්ඤො හා සමරකෝන් රාල විසිනි. සියලූම ඒකාබද්ධ සේනාවේ නායකත්වය දරන ලද්දේ කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝද අස්වේදු විසිනි. ඉදිරියේ දී තමන් හමුවට එන ඕනෑම ප‍්‍රතිප‍්‍රහාරයකට ඉතා සාර්ථකව මුහුණදීම ඔහුගේ අරමුණ විය. මුහුදු මට්ටමේ සිට අඩි දෙදහසකටත් වඩා ඉහළ උසකින් සානුවක පිහිටි බලන කපොල්ල සතුරන් අතට පත්වුවහොත් ස්වභාව ධර්මය අනුව කන්ද උඩරට රාජධානිය රැකගැනීමේ වෙනත් ස්ථාන නොවීය. එබැවින් විමලධර්මසූරිය රජතුමා ගල්කුළු තුනක් මත බළකොටු තුනක් පිහිටුවා බලන ආරක්‍ෂක පවුරක් වශයෙන් නිර්මාණය කළේය. ස්වභාව ධර්මයෙන්ම ලද ඉදිරි ආරක්‍ෂක පවුරක් ද බලන කොටුවට අයත්ය. බලනට ආසන්නයෙන්ම ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වු අනෙක් බළකොටුව වූයේ අත්තාපිටියයි. මීට පෙර පෘතුගීසිහු මුල්වරට උඩරට ආක‍්‍රමණය කිරීම ආරම්භ කරන ලද්දේ අත්තාපිටියෙනි. (අට්ටාපිටිය ලෙසද ව්‍යවහාර වේ). එබැවින් විමලධර්මසූරිය රජතුමා බුද්දස්ගොඩ අලූත්නුවර හා ගනේතැන්න යනාදී ස්ථානවල අප බළකොටු පිහිටු වීය. කපිතාන් ජෙනරාල් දොන් ජෙරනිමෝ ද අසවේදු තම හමුදා ඉදිරියට මෙහෙයවමින් අත්තාපිටියේ දිනක් කඳවුරු ලෑවේය. ඉන්පසු පෘතුගිිසි සේනා කන්ද උඩරටට පිිවිසීමේ දී පසු කළයුතු පළමු උප බළකොටුව වූ බුද්දස්ගොඩ බළකොටුවට පහරදීම ආරම්භ කළේය. තම සේනා පිළිබඳව මහත් උජාරුවෙන් සිටි අසවේදුගේ ඉලක්කය වූයේ දින දෙකක් ඇතුළත එම බළකොටුව අත්පත් කර ගැනීමයි. එහෙත් සිංහල සේනා දින පහත් සටන් කරමින් පෘතුගිසී හමුදාවේ විශාල පිරිසක් ද ඝාතනය කොට ආරක්‍ෂක පියවරක් ලෙස පසු බැස්සහ. ඉන්පසු පෘතුගීසින්ගේ දෙවැනි ඉලක්කය වූයේ අලූත්නුවර බළකොටුවයි. අසවේදුගේ ඉලක්කය වූයේ එම බළකොටුව දින හතරක් ඇතුළත අල්ලා ගැනීමයි. එහෙත් අපගේ සිංහල හමුදා දින හතක් එම බළකොටුව රැුක ගත්තේ පෘතුගීසි හමුදාවේ තවත් පිරිසක්ද ඝාතනය කරමින් පෘතුගීසි හමුදා ශක්තිය තවදුරටත් අඩපණ කරමිනි. බළකොටු දෙකකම බලය අත්පත් කරගත් අසවේදුගේ ඊළඟ ඉලක්කය වූයේ ගනේතැන්න බළකොටුවයි. එහිදී සිංහල විරෝදාර හමුදාව එම සටන සඳහා දුනු ඊතල මෙන්ම තුවක්කුද භාවිත කළහ. පෘතුගීසි හමුදාව ගනේතැන්න බළකොටුවට විවිධ යුද උපක‍්‍රම භාවිත කරමින් වරින්වර පහර දුන්නද සිංහල සේනාව අභීතව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළෝය. එහිදී අසවේදු නොසිතූ තරම් පෘතුගීසි භටයෝ පිරිසක් මිය ගියහ. ඉන් භීතියට පත් අසවේදු මුලූ ගනේතැන්න බළකොටුව වටකොට දින විසිඑකක් සටන් කොට එම බළකොටුව අත්පත් කර ගත්තේය. ගනේතැන්න බළකොටුව අල්ලා ගැනීමත් සමග විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා වෙනත් යුද උපායක් යෙදවීය. පෘතුගීසින්ගේ උඩරට ආක‍්‍රමණය වැළැක්වීමට අවසානය තෙක් සටන් කිරීමට තීරණය කළ විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ගේ අවධානය වෙනතකට යොමු කරවීම සඳහා උඩරටට අයත් පහතරට දේශසීමාවේ පිහිටි ආසන්න පෘතුගීසි බළකොටුවලට පහරදීමට සැලැස්විය. එක්දහස් හයසිය තුනේ ජනවාරි මස 18 වැනි දින ලක්දිව ඉතිහාසයේ සුප‍්‍රකට බලන සටන ඇරඹිණි. මේ අතර දඹදෙණියට හා හාරිස්පත්තුවට විශාල පෘතුගීසි හමුදා පිරිසක් පැමිණ ඇති බව සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් පෘතුගීසින් විශාල පිරිසක් මරණයට පත් කෙළේය. කපිතාන් ජෙනරාල් අසවේදු බලන සටන අරඹමින් තම සේනාව මෙහෙය වීය. එහිදී පෘතුගීසි සේනා එකා පිට එකා වැටී මරුමූවට පත්වන්නට විය. තම සේනාව ඉතාම පහසුවෙන් සිංහල හමුදාවන්ට ගොදුරුවන බව දැනගත් අසවේදු තම යුද සැලසුම වෙනස් කොට බලන කොටුව සීමාවෙන් ඉවතට පසුබැස විශාල කාලතුවක්කු යොදා ගනිමින් බලන කොටුවට පහරදීමට දිවා රාති‍්‍ර උත්සහ කළේය. එහෙත් කඳු හෙල් නිසා එම උත්සාහය අසාර්තක විය. අවසානයේ අසවේදු ඇතුලූ පෘතුගීසි හමුදා මාරාන්තික සටනක නිරතවෙමින් තම සේනා බලන කඳු මුදුනට රැගෙන ගියේය. අසවේදු ඇතුළු පෘතුගීසී හමුදාව බලන කොටුව ආසන්නයට පැමිණීමත් සමග ඔවුන්ට එවකට තිබූ ප‍්‍රබලතම අවිය වූ බතරෝයි කාලතුවක්කු බැඳ කොටුවට පහර දෙන්නට විය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවමින් සිටි විමලධර්මසූරිය රජතුමා වෙනත් විකල්පයක් නොමැති වූ බැවින් බලන කොටුවට ගිනි තබා තම සේනා සමගින් තාවකාලිකව පසු බැස්සේය. මේ අතර බලන කොටුවට යන්නේ කෙසේ දැයි ජෙනරාල් අසවේදු විමසිල්ලෙන් සිටින විට පෘතුගීසින් අතර සිටි සිංහලයෝ බලන කොටුවට යන රහස් මාර්ගයක් පෙන්වාදීමට ඉදිරිපත් වූහ. පෘතුගීසින් එම මාර්ගය ඔස්සේ බලන කොටුවට ඇතුළු විය. එක්දහස් හයසිය තුනේ පෙබරවාරි මස 02 වැනි දින බලන කොටුවට පෘතුගීසීන් ඇතුලූ වනවිට එහි කිසිදු සිංහලයකු සිට නොමැත. එහෙත් මෙම බලකොටුව අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන්ට විශාල ජීවිත සංඛ්‍යාවකින් වන්දි ගෙවීමට සිදුවිය. බලන කොටුව අල්ලා ගැනීම සඳහා ඔවුන් වසර නවයක කාලයක් සැලූසුම් කළ බැවින් ඔවුනට එදින විශේෂ දිනයක් විය. එහෙත් නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා බලන කොටුවට දිවා රාතී‍්‍ර පහර දෙන්නට විය. මෙම සටනේ අවසන් ප‍්‍රතිඵලය වූයේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ අපේ සිංහල භටයන්ගේ උත්තරීතර ධෛර්යයෙන් කටුගම්පොල අට්ටාපිටිය රක්ගහවත්ත යන ප‍්‍රදේශයද උඩරට සිංහල හමුදා සතුවීමයි. මෙහිදී පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් පත්වූහ. සිංහලයෝ පෘතුගිසීන්ගේ හිස් කඳින් වෙන්කොට ගස්වල එල්ලා ඔවුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළහ. මේ අතර විමලධර්මසූරිය රජතුමා වෙනුවෙන් සටන් කළ කාන්ගරආරච්චි සෙනෙවියා විශාල සිංහල හමුදාවක් මීගමුවට රැගෙන ගොස් එහි බලකොටුවට දිවා රාති‍්‍ර පහර දී එම බළකොටුව අත්පත් කර ගත්තේය. උඩරට ප‍්‍රතිප‍්‍රහාරවලට බියේ පලාගොස් කොළඹ කොටුවේ සිටි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු මෙම පුවත දැනගත් පසු මහත්සේ භීතියට පත්විය. බලන කොටුව යනු යටත්විජිතවාදී යුගයට පෙර අපගේ උඩරැුටියන්ගේ හදවත බඳු විය. එහෙත් මෙම ස්ථානය අද දකින බොහෝදෙනාට ඇතිවන්නේ දැඩි කම්පාවකි. පුරාණ කොටු පවුර අදවන විටද දක්නට ලැබුණද එහි ගල් ගලවාගෙන ගොසිනි. එම බිම පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත්කොට තිබුණද අද එහි අපචාරයේ යෙදෙන්නන් බව එහි ගිය අපහට දක්නට ලැබුණි. බලන ගමේ බොහෝ දෙනා පැවසූවේ මෙම ස්ථානය සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කළ යුතු බවයි. විශේෂ ස්තුතිය බණ්ඩාර ඇටිපොල මහතාට
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෘතුගීසින් පැරදවු බලන මහා සටන
ජී. ඩබ්.දසරත්න Tuesday, 03 July 2012 12:24 PM
මේ ගන්නා උත්සාහයට පිං
ඉශාර Tuesday, 08 May 2012 09:23 AM
හොද ලිපියක් ගොඩක් ප්‍රයොජනවත්
ලක්මාලි Monday, 21 November 2011 02:22 PM
අපේ මේ වටිනා උරුමයන් සංරක්ෂණය කර මතු පරපුර සදහා ඒවා රැකගත යුතු වෙනවා. මේ සදහා බලධාරීන්ගේ හිත ඉක්මණින් යොමු වේවා.
ශිරෝමි Thursday, 29 November 2018 03:26 PM
වටිනා ලිපියකි.
විනෝද් Wednesday, 22 May 2019 04:03 PM
ස්තූතියි...!!!
සිතුම් Wednesday, 11 January 2023 07:26 AM
බලන සටන යනු ලංකාවේ අවසාන රාජධානිය වන මහනුවරට අයත් ප්‍රදාන සටනකි.මෙය 1602දී 1 විමලධර්මසූරිය රජුගේ හමුදාව ජයගෙන ඇත.