IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ප්‍රතිපත්ති හිඟකමේ ප්‍රතිවිපාක

රටක් වශයෙන් ලංකාව අද වනවිට බෙහෙවින් අසීරු අඩියට වැටී තිබේ. ඒ ඔස්සේ මතු වී පෙනෙන ප්‍රධාන කාරණා දෙකකි. කොරෝනාවේ බලපෑමෙන් ඇති වූ අර්බුදය ඉන් එකකි. එය මුළු සමාජයම වෙළාගෙන තිබේ.

එයින් ගැලවීමක් පෙනෙන මානයක නැති තරම්ය. එක් රැල්ලක් අවසන් වනවිට තවත් රැල්ලකට අනතුරු අඟවන තැනට රට ගමන් කර තිබේ. මෙතෙක් ගෙන ඇති පියවර සාර්ථක වූවා ද යන්න ඒ හරහා මතු කෙරෙන ප්‍රශ්නයකි. වසංගතයේ අවදානම කර මත තබාගෙන සිටින්නට සියලු දෙනාට සිදුව තිබීම බෙහෙවින්ම ඛේදජනකය.

මෙයට සමගාමීව රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබීම දෙවැනි කාරණාවය. විදේශ සංචිතය කඩාවැටී තිබේ. විදේශ විනිමය කළු කඩේවත් නැති තත්ත්වයකට පත්ව හමාරය.

ආනයන සීමා කරමින් විදේශ විනිමය එකතු කිරීමේ වෑයමක ආණ්ඩුව නිරත වන බවක් ද පෙනෙන්නට තිබේ. ඒ සමග සාමාන්‍ය ජනතාව බරපතළ සමාජ, ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් සිටිති. යම් පමණකට සක්‍රියව ඇති සමාජය දෙස බලන විට මේ අර්බුදයේ දිග පළල හොඳින් වටහා ගන්නට පුළුවන.

සමාජමය කාරණාව පසෙකින් තැබුවත් ආර්ථික ප්‍රශ්න මතුව ඇත්තේ කොරෝනා වසංගතය නිසාම නොවේ. කොරෝනා ව්‍යාප්ත වීමටත් පෙර සිටම ආර්ථික ප්‍රශ්නය මතුපිටට පෙනෙන්නට තිබුණි. කොරෝනාවෙන් එය යම් ආකාරයකට ඔද්දල් කිරීමක් සිදු වුණි. වසර දහයක් පහළොවක් තිස්සේ අනුගමනය කළ වැරැදි ආර්ථික ප්‍රතිප්තතිය මේ තත්ත්වයට විශාල වශයෙන් බලපා තිබේ.

ඉවක් බවක් නැතිව ණය ගැනීමේ අනිසි ප්‍රතිඵල අද පැහැදිලිව දැක ගන්නට පුළුවන. මේවායේ බලපෑම ඉදිරි කාලයේදී තවත් දැඩිව දැනෙන්නට ද පුළුවන. ඇතිව තිබෙන සමාජ ආර්ථික පීඩනය හමුවේ කොරෝනාව පවා අමතක වන තැනට ජනතාව තල්ලු වී සිටිති. රෝගීන් වාර්තා වීම හෝ දත්ත නිසි ලෙස ඉදිරිපත් නොවීමෙන් හෝ මේ වනවිට කොරෝනාවේ යම් අඩුවක් පෙන්නුම් කරමින් තිබේ.

එහෙත් මරණ සංඛ්‍යාවේ විශාල අඩුවක් නැත. ඇතැම් විට මේවා පරස්පරය. මුලින් අපි උදම් ඇනුවෙමු. එහෙත් අද වනවිට කොරෝනාව වැඩියෙන්ම බලපෑ රටවලින් එකක් බවට ලංකාව පත්ව තිබේ. සෑම අතකින්ම අසමත් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙසේ වී තිබෙන්නේ ඇයි? සමාජ, ආර්ථික, සෞඛ්‍ය අර්බුදයකට රට ගමන් කරමින් සිටින්නේ කාගේ වරදින් ද? අවශ්‍ය තැන දී සුදුසු පියවර ගත්තා ද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඉහත කාරණා සමග නිතැතින්ම මතුවනු ඇත. ඒවා විමසිය යුත්තේ පසුගිය කාලයේ ක්‍රියාකලාපය දෙස ද අවධානය යොමු කරමිනි. පසුගිය අප්‍රේල් මාසයේ මේ අර්බුදය මතුපිටට පැමිණිය ද ඊට අවශ්‍ය පසුබිම පෙර සිටම සකස් වී තිබුණි. එහි ලක්‍ෂණ පෙනෙන්නට තිබුණි. එහෙත් අදාළ බලධාරීහු ඒවා සුළුකොට තැකූහ.

කොරෝනා වසංගතය ආරම්භ වූ මොහොතේ පටන් අපට ප්‍රතිපත්තියක් තිබුණේ නැත. මෙහි තිබෙන ප්‍රධානතම අර්බුදය එයයි. කොරෝනා මැඩීම සම්බන්ධව ලෝකයේ බොහෝ රටවලට ප්‍රවේශ දෙකක් තිබුණි. ඒවා ආරම්භ වූයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ තැන්වලිනි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ආදී රටවල් අනුගමනය කළේ ආර්ථිකය අඩාළ කර නොගන්නා නැති නම් ආර්ථිකයට ප්‍රමුඛත්වය දෙමින් කොරෝනා මැඩීමේ උපායකි. නවසීලන්තය ආදී රටවල් අනුගමනය කළේ සෞඛ්‍ය අංශයට ප්‍රමුඛත්වය දීමකි. එහිදී කෙටි කාලීනව ආර්ථිකය අමතක කළේය. මුලින් සෞඛ්‍ය ප්‍රශ්නය විසඳාගෙන දෙවනුව ආර්ථික අංශයට යොමු වීම එහිදී සිදු විය.

එහෙත් ආරම්භයේ පටන් මෙවන් ප්‍රතිපත්ති මෙරට දක්නට ලැබුණේ නැත.

ඇතැම් කාරණා හාස්‍යයට ලක් කළා මතකය. එසේ වූයේ අනෙක් රටවල ප්‍රවේශය හරිහැටි අවබෝධ කර නොගත් නිසාය. මුලදී පෙනී ගියේ නවසීලන්තය අනුගමනය කළ පියවර, ක්‍රමවේදය මෙරට අනුගමනය කරන බවකි. රට ලොක්ඩවුන් කිරීම හෝ ඇඳිරිනීතිය පැනවීම දෙරටේම සිදු වූයේ ආසන්න දිනවලදීය. එහෙත් වසරකුත් මාස කිහිපයක් ඉක්ම ගිය තැන දෙරට තිබෙන්නේ අන්ත දෙකකි.

මාස කිහිපයකින් නවසීලන්තයේ රෝගීන් වාර්තා වී නැත. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයත් සමග ඉදිරි කාලයේදී මේ රට තවත් ඉන්දියාවක් විය හැකි බවට සෞඛ්‍ය අංශවලින් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. සෞඛ්‍ය අංශය ද අද අවුල් ජාලයක් බවට පත්ව ඇති සෙයක් දැකගත හැකිය. වර්ජන රැලි නගමින් තිබේ. මේවායේ සාධාරණ අසාධාරණ බව වෙනම විමසිය යුත්තකි. එසේ වුවත් වසංගතයක් මැදදී පවා මෙවැනි දේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ අදාළ අංශ කළමනාකරණයේදී විදහාපාන දුර්වලතාවයි. නවසීලන්තය අනුගමනය කළ ප්‍රතිපත්තිය, කළමනාකරණය, පරිපාලන ක්‍රමවේදය පැහැදිලිය. කාර්යක්‍ෂමතාව ද ඉහළ අගයකය. එහෙත් කොරෝනාවේදී පමණක් නොව කිසිදු විටෙක අපට තාර්කික ප්‍රවේශයක් තිබුණා දැයි ආපසු හැරී බලනවිට මතුවන ප්‍රශ්නයකි. ඒවාට උදාහරණ බොහෝය.

ආර්ථිකය හෝ සෞඛ්‍ය යන අංශ දෙකෙන් එකක් හෝ සාර්ථක කරගැනීමට අද වනවිට නොහැකි වී තිබේ. කිසිදු උපායමාර්ගයක් අනුගමනය කරගැනීමට නොහැකිව අපි අසාර්ථක වී සිටින්නෙමු. ජාතික ආර්ථික අර්බුදය වෙනම පවතිද්දී පුද්ගල ආර්ථිකය ද බිඳවැටී තිබේ. සුළු වෙළෙන්දන්, දෛනික ආදායම් ඉපැයූවන්ගේ ආදායම් අදටත් ඇහිරී ගොසිනි.

අවිධිමත් අංශයේ රැකියා කළ විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ. කොරෝනා සමනය වුවත් මේවා යථා තත්ත්වයට පත්වන බවට සහතිකයක් නැත. එසේ නම් මේ තුළ බරපතළ සමාජ අර්බුදයක්, පරිහානියක් පිළිබිඹු වන බව පැහැදිලිය. ඒ වගේම අධ්‍යාපනයේ අර්බුදය වෙනම මතුව තිබේ. ගෙවුණු වසර එක හමාරක කාලයේ මෙරට දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැත. ඔන්ලයින් අධ්‍යාපනය දරුවන්ට කායික, මානසික ආතතියක්, පීඩාවක් ඇතිකර තිබේ.

තවත් පැත්තකින් අධ්‍යාපනයේ විශාල විෂමතාවක් ඇති කිරීමට ද එය හේතුවකි. ඩේටා ඇති සමාජයක් සහ ඩේටා නැති සමාජයක් ලෙස මේ බෙදීම සිදුව ඇති ආකාරය ගස් ගල් උඩ නැග සිග්නල් සොයන දරුවන්ගෙන් වුව පැහැදිලිය. ඇතැම් පාසල්වල දරුවන්ට උගැන්වීමට ගුරුවරුන්ට පවා තාක්‍ෂණ පහසුකම් නැත. නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ කණපිට හැරැවෙන කටයුතු සිදුව තිබේ. ප්‍රම්‍රඛතා හඳුනාගෙන නිසි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළා නම් මෙවන් ප්‍රශ්න මතු නොවන්නට ඉඩ තිබුණි.

වසංගතය අවසන් වනතෙක් හෝ යටපත් වනතෙක් බලා නොසිට නිසි වැඩපිළිවෙළක් සකසා ගැනීමට අපි තවමත් අපොහොසත්ව සිටින්නෙමු. ප්‍රමුඛතාව හඳුනාගෙන කටයුතු නොකිරීම නිසා ඇතිව තිබෙන දුර්විපාක රැසකි. කිසිදු ප්‍රතිපත්තියක් නොමැති වීම මේ සියල්ලට මූල බීජය බව අමතක නොකළ යුතුය. මෙහි දරුණු ප්‍රතිවිපාක අනාගතයේදී වඩාත් හොඳින් පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ රටවල් සාර්ථකත්වය කරා පියමනිමින් සිටින අතර උදම් අනමින් ප්‍රචාරණ යාන්ත්‍රණයකින් සියල්ල කළ හැකි යැයි සිතා සිටි අප විශාල අසාර්ථකත්වයක් අත් කරගනිමින් සිටින බව කනගාටුවෙන් වුව ප්‍රකාශ කළ යුත්තකි.

වසංගතයක් පාලනයේදී හෝ අන් කවර කටයුත්තක දී වුව ගන්නා පියවරක් හරියට ගත යුතුය. එක් එක් ආයතන හෝ පුද්ගල වුවමනා මත ඒවා වෙනස් වීමක් සිදුවිය නොහැක. විද්වතුන්, බුද්ධිමතුන්, ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පෙරටු කරගත් ක්‍රියාවලියකින් විනා ඉන් මෙහා ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැක.

පරිපාලනයේදී කළමනාකරණයේදී පැවැතිය යුත්තේ එවන් තත්ත්වයකි. දේශපාලන අධිකාරියට අවශ්‍ය තීන්දු තීරණ ගන්නට පුළුවන. එහෙත් අදාළ අංශවලට වගකීම පවරා ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. නවසීලන්තය පෙන්නුම් කළේ එයයි. සුළු වැරැද්දකට පවා සෞඛ්‍ය ඇමැතිට දඬුවම් කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ. නීති කැඩීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූවේය. ඒ ඔවුන් ගොඩනගාගෙන ඇති විනය නිසාය.

මේ කාරණා පෙන්නා දෙන්නේ කවුරුන් හෝ අපහසුතාවට පත් කිරීමට නොවේ. පවතින අඩුපාඩු, දුර්වලතා නිවැරැදි කරගෙන අවශ්‍ය අරමුණු කරා ළඟා වීමටය. එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කළ එක් රටක් සාර්ථක වීමටත් තවත් රටක් අසාර්ථක වීමටත් හේතුව කුමක්දැයි දෙවරක් සිතා බැලිය යුතුය.

අපි අවස්ථාවෙන් අවස්ථාවට ප්‍රතිපත්ති වෙනස් කළෙමු. බොහෝ දේ කෙටි කාලීනය. පටු දේශපාලන අරමුණු පෙරමුණේ තබා ගනිමින් කටයුතු කළ අවස්ථා අපමණය. රට කුමන තත්ත්වයක පැවැතියත් පසුගිය ජුනි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවා තිබූ බව දේශපාලන ආරංචිවල කියැවිණි. ඒ අනුව රට වේගයෙන් එතැනට මෙහෙයවෙනු පෙනෙන්නට තිබුණි.

පවත්නා ජාතික අර්බුදය හැරුණු කොට අනෙක් අතුරු අර්බුද රාශියකට පාර කැපීමට එම ක්‍රියාවලි දායකත්වය සපයා තිබේ. කිසිවක් සම්බන්ධ තක්සේරුවක් අපට නැත. එක් විෂයක වගකියන මැති ඇමැතිවරු දෙතුන් දෙනෙකි. එහෙත් එක් අයකු කරන වැඩ අනෙක් කෙනා නොදනී. පරස්පර අදහස් සමාජයට ගෙනහැර පාති.

කෙසේ වුවත් අවසානයේ මේවායෙන් පෙන්නුම් කරන්නේ නිසි සම්බන්ධිකරණයකින් වැඩ සිදුවන ආකාරයක් නොවේ. අවිධිමත් ස්වභාවයකි. තීන්දු තීරණ ගැනීමේ අසංවිධිත බවකි. මේ නිසා රටේ සිදුවන්නට යන්නේ කුමක්දැයි ජනතාව නොදනිති.

අදටත් මෙරට එන්නත්කරණය ප්‍රමාණවත් නැත. විධිමත් නැත. එය දේශපාලන හෙන්චයියන්ගේ වුවමනාව අනුව සිදුවනු හොඳින්ම පෙනෙන්නට තිබුණි. පසුගිය දිනවල මොරටුවේ සිද්ධිය එකක් පමණි. බොහෝ තැන්වල ජනතාව පොදිකමින් අවම පරතරයවත් නැතිව පෝළිම්වල රැඳී සිටියේ සහ සිටින්නේ නිශ්චිත ක්‍රමවේදයක් සකසා ගැනීමට තවමත් අපොහොසත්ව සිටින නිසාය.

බොහොම සරල ක්‍රම හරහා මෙවන් ගැටලු නිරාකරණය කරගත හැකි වුව ද එයට දක්වන උනන්දුවක් සමත්කමක් නැත. එවැන්නක් තිබුණා නම් කොළඹින් ගාල්ලට හෝ තවත් තැනකට ගොස් එන්නත් ගැනීමට ජනතාව යොමු නොවෙති. මෙවැනි සරල කාරණා පවා විසඳගනු වෙනුවට ඒ සම්බන්ධ ගැඹුරු විද්‍යාත්මක තර්ක සමාජය හමුවේ තබමින් බලධාරීන් අනුගමනය කරන ක්‍රියාකලාපය බෙහෙවින් කනගාටුදායකය.

අපට ප්‍රතිපත්තියක් නැත. කළමනාකරණයේ සහ පරිපාලනයේ පවතින්නේ බරපතළ දුර්වලතාය. රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වෙන්නේ වෙනස්ම තාලයකටය. අද පවතින අර්බුද මේවායේ ප්‍රකාශයකි. ඒ නිසා මෙහි වගකීමෙන් බලධාරීන්ට ගැලවිය නොහැක. කෙසේ වුවත් අවසානයේදී ආර්ථිකයත් සෞඛ්‍යයත් බිඳවැටුණු තැනකට අපි පැමිණ සිටින්නෙමු.

දේශපාලනයේ තීන්දු තීරණ ගැනීමේ අර්බුදකාරී ස්වභාවය මෙයින් පෙන්නුම් කර තිබේ. දේශපාලන අධිකාරිය තීන්දු ගත යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් අනුව වුවත් එසේ තීන්දු ගත්තා ද යන ප්‍රශ්නය මතුව තිබේ. රසායනික පොහොර තහනම හා සම්බන්ධ තීරණයත් අද වනවිට ගොවීන් මුහුණ දෙන අර්බුදයත් කියා පාන්නේ මෙහි යථාර්ථයයි.

වගා කටයුතු අඩපණ වීමෙන් ඉදිරි කාලයේදී ජනතාවට කන්න නැති තත්ත්වයක් උද්ගත විය හැකි බවට මත ඉදිරිපත්ව තිබේ. ආනයන තහනම් කරන ආණ්ඩුවක් මේවාට පිළියම් සොයන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. එක් පැත්තකින් වත්මන් පාලනය අර්බුද නිර්මාණය කර ඒවා මත යැපෙමින් ඉදිරියට යනවාදැයි අපි නොදනිමු.

විසඳා ගැනීමට හැකිව තිබූ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව ඇත්නම් එයින් පෙන්නුම් කරන්නේ දේශපාලනයේ ගරාවැටීමය. වැරැදි ආකාරයට දේශපාලනය කිරීමෙන් විශාල ආර්ථික පාඩුවක් ජාතික මට්ටමෙන් සහ ප්‍රාදේශීය මට්ටමෙන්, පුද්ගල මට්ටමෙන් කරගෙන තිබේ. සමාජය තේරුම්ගත යුත්තේ මැතිවරණ ජයග්‍රහණයට පමණක් නොවේ. සිදුව ඇත්තේ ප්‍රතිපත්තිමය වරදකි.

හිසරදයට කොට්ට මාරු කරන්නා සේ පුටු මාරු කිරීම හෝ තවත් රාජපක්‍ෂවරයකුට අවස්ථාව දීමෙන් අර්බුදය විසඳෙන්නේ නැත. 2005 පටන් අද දක්වා රාජපක්‍ෂ පාලනය පැවැති සෑම අවස්ථාවකම බැසිල් සිටියේ රාජ්‍ය පාලනයේය. අද ආර්ථික අර්බුදයක් පවතී නම් එයට බලපා ඇත්තේ ගෙවුණු වසර 15ක ප්‍රතිපත්තිය.

එම කාලයෙන් වසර හතර හමාරක් හැරුණු විට ඉතිරි කාලය රට පාලනය කළේ බැසිල්ලා සිටි ආණ්ඩුය. එම කාලයේදී ආර්ථිකය මෙන්ම දේශපාලනය ද අවුල් වී තිබේ. පසුගිය මැතිවරණ දෙක ජය ගැනීමට බැසිල් මුල්වූ බවට පෙන්වීමට ආණ්ඩුවේ අය උත්සාහ කළ ද 2015 පරාජයට හේතු වූයේ ඔහු බව ද අමතක නොකළ යුතුය. එදත් ඔය කියන්නා වූ යාන්ත්‍රණ තිබුණි.

ආර්ථික අර්බුදය හුදෙක් ගෝඨාභය ජනපතිගේ වසරක කාලයක ප්‍රශ්නයක්ම නොවේ. ගෙවුණු වසර දහය පහළොවේ ප්‍රතිපත්ති ප්‍රශ්නයකි. ණය ගෙන ජේත්තුකාර වියදම් කිරීමේ ප්‍රතිඵලයකි. එනිසා මේ අර්බුදයට විසඳුමක් නොවේ. අර්බුදයේ වගඋත්තරකරුවකු අර්බුදයේ ගැලවුම්කරුවා වශයෙන් දැකීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ද ප්‍රදීප් කර්ණසූරිය

සටහන - චමින්ද මුණසිංහ



අදහස් (4)

ප්‍රතිපත්ති හිඟකමේ ප්‍රතිවිපාක

Deepal Nirosh Wednesday, 07 July 2021 02:33 PM

දිනපතා පළවන කතන්දර ගොනුවේ තවත් එක් කතාවක් නමුත් සම්පූර්ණ ඇත්තක්. හැබැයි බීරි අලීන්ට වීනා වැයීමක් පමණයි.

:       0       4

sunil Wednesday, 07 July 2021 08:16 PM

පාලකයින් මෙන්ම බොහෝ අය පුරුදු වී සිටියේ ලක්‍ෂයට කොඩි දාපු අය මෙනි. මගුලකට කොතරම් වියදම් කළේද ? ඇඟ සැරසීමට කල වියදම කොතරම්ද? සංගීත සන්ධ්‍යා අඩුවක් නැත. එහෙත් මෙම සේවා සැපයූ අය බොහෝ මුදල් සෙව්වද එම සේවා කොතරම් නිෂ්පාදන ආර්ථිකයට බලපානවාද? එහෙත් කුමන හෝ මගකින් මුදල් සොයා අප වියදම් කිරීමට පුරුදු වුණි. ඒවා සියල්ල පැමිණියේ ණය මුදල් ක්‍රමයෙන් කාන්දු වීමෙනි. අධ්‍යාපනයට උපකාරක පන්ති අවශ්‍ය වන සේ සමාජයේ තරඟකාරීත්වයක් තිබුණි. එයටද දෙමව්පියන් මුදල් සෙවීමට පමණක් නොව, දරුවන් රැගෙන පාරේ රස්තියාදු වීම නිසා, ගෙදර පෝෂණය ගැන උනන්දු නොවිණි. කාලය නාස්ති විය. මේ අතරේ, අපට මුදල් තියෙනවා කියන අමතිලාද සිටිති. පාලකයාත්, සමාජයත් පඹ ගාලක පැටලී ඇත.

:       0       0

Raveendra Thursday, 08 July 2021 07:03 AM

රටේ පවතින අර්බුද පිළිබඳව හොඳ විග්‍රහයක්. මෙහි සඳහන් කරුණු කාරනා විපක්ෂ පට්ටියේ හරකුන්ට කණට මීපැණි වක්කරන්නා සේය. මක්නිසාදයත් මොන වස්ත්‍රය විකුණා හෝ අප නැවත පට්ටියේ බලය ලබාගත යුතුයි යන්නට මූලිකත්වය දීම විපක්ෂ පට්ටියේ අරමුණයි. බලය තිබෙන පට්ටියේ හරකුන් බලන්නේ මොන කෙන්ගෙඩිය කර හෝ පට්ටියේ බලය රඳවා ගැනුමයි. මෙම ක්‍රියාදාමය දශක 4 ක 5 ක සිට අප රටේ තිබෙන තත්වයක් නොවේද? එමගින් දේශපාලුවන් අහිංසක මිනිසුන්ගේ සාපයට ලක්වී ඇඩ්රස් නැතිවම මියගිය බව ඉතිහාසය හොඳින් පෙන්වාදී ඇත. එබැවින් මෙය සියලුම දේශපාලකයින්ට මෙන්ම අපටද පොදු ධර්මතාවයකි.

:       0       0

chris Thursday, 08 July 2021 01:59 PM

වසරක් පාසා අය වැය වාර්තාවක් ඉදිරිපත් කරයි. එහෙත් එහි තිබෙන දේවල් නොකරයි. අවුරුද්ද අවසානයේදී ඒ ගැන වග විභාගයක් ද නොකෙරෙයි. ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ හැටියට ද ඒ අවුරුද්දේ ආර්ථිකය පාලනය කළේ කියා අවුරුද්ද අවසානයේ කිසිවෙක් සොයා නොබලති. ඒ අවුරුද්ද අවසානයේදී ඊළඟ අවුරුද්ද සඳහා තවත් අය වැය ලේඛනයක් ඉදිරිපත් කරයි. ඒ අය වැය ගැන ද කටයුතු පෙර පරිදිම සිදු වෙයි. ඒ නිසා අය වැය පරතරය ද වාර්ෂිකව ඉහළ යයි. ඉහළ යන පරතරය පියවා ගැනීමට ණය ගනියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 789 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12689 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site