IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ප්‍රශ්න සඟවන දේශපාලන සෙප්පඩවිජ්ජා

මෑත දිනක අපේ කොළඹ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවියක් වන නතාෂා අපූරු පැදි පෙළක් මා වෙත ලියා එවා තිබුණි. ඊට යටින් ඇය ලියා තිබුණේ “සර් මට හිතෙනව ලංකාවෙ දේශපාලන පන්තිය ඉන්නෙ ගැඹුරු මුහුදෙ කියල. සාමාන්‍ය ජනතාව ඉන්නේ වෙරළේ කියල” යන කෙටි එහෙත් අපූරු පැහැදිලි කිරීම ය. ඈ ලියා ඒවා තිබූ පැදි පෙළ මෙසේ ය. “පෙළින් පෙළ හැම කලින් කලට ම, විසල් මහ රළ අවුත් වෙරළට... සිහින් පෙණ පෙන්වා රස ම කොට, ඉඳින් නික්මෙති ගැඹුරු වෙරළට... රසින් රස මුසු අසිරි, රිසින් දැකුමට වෙරළ, ඇසින් මුදවා අඳුරු පට, ලොබෙන් බැලු‍වයි දෑස් අඩ කොට... ඉඳින් අවසන් සිප්පි කටුවත්, හොරෙන් නැතුවට හෙමින් ගෙනිහින්, පවින් ගැඹුරු ම ඈත විමනට...”

මේ කවිය සහ ඇයගේ ප්‍රකාශය පමණක් නොව මෙවර ‘කිවි දා දැක්ම’ ලිවීම සඳහා මා පෙළඹ වූ ප්‍රමුඛ සිදුවීම් සියල්ලම මෙරට සිසු ජනයා මුල් කරගත් ඒවා ය.

පසුගිය සතියේ අඟහරුවාදා සවස හතට පමණ මා මිත්‍ර අජන්ත අගලකඩගෙන් ඇමතුමක් ලැබිණි. ඔහු ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරු සමයේ මගේ සිසුවෙකි, දැන් මගේ පාඨකයෙකි, ගුණදොස් පහදා දෙන්නෙකි, ප්‍රවීණ මාධ්‍යවේදියෙකි, ඒ හැමටම වඩා මගේ මිතුරෙකි. ඉතින් ඔහුගෙන් එදා ලද ඇමතුම සතුටුදායක එකක් නම් නොවේ. ගොඩනැගිල්ලක් ඉදිකරණ තැනක කුලී වැඩට ගිය පාසල් සිසුවකු විදුලි සැර වැදී මියගිය බව ඔහු පැවසුවේ මා මොහොතකට කිසිවක් සිතාගත නොහැකි ගලක් බවට පත් කරමිනි. ඒ සිසුවා උසස් පෙළ පන්තියක අයෙකි. එහෙත් පහළ පන්තියේ පීඩිතයෙකි. කුඩා කල ළමා කම්කරුවකු ලෙස අත්දැකීම් ඇති මට ඒ සිසුවා හරහා ඒ කටුක අතීතය සිහිපත් වුණි. අපි නො මැරුණා පමණි. කුමන හෝ හේතුවක් නිසා තවම ජීවත්ව සිටී. මහින්ද චන්ද්‍රසේකරයන් ලියූ දීපිකා ගැයූ සරෝජා ගීතය ඔබට මතක් වනු ඇත. මේ ලිපිය ලියන මට සිහියට එන්නේ එහි හරයාත්මකම කොටස වන “ගුරුතුමී මා සිසුවියයි ඔබ ඒත් අපි එක පංතියේ” යන පුදුම සහගත පද පෙළ ය. මියගිය සිසුවා ගැන මා අජන්තගෙන් විස්තර ඇසුවේ නැත. කළ එකම දේ මා තරමටම දුක්වන අජන්ත සමඟ එවැනි ඛේදවාචක ගැන දුක්වීම පමණි. අවසන ඔහු කීවේ හෙට, එනම් ඊට පසු දින ලංකාදීපයේ ඒ පුවත පළවන බව ය.

ඊට දින දෙකකට පසු මා හමුවීමට විශ්වවිද්‍යාලයේ සිසුවෙක් පැමිණියේ ය. ඔහු ඔන්ලයින් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පරිගණක තබා ඊට ගැළපෙන ජංගම දුරකතනයක් වත් නැති අයෙකි. අග හිඟකම් සහ දුක අසා සිටියෙමි. මුවින් නොව සිතින් වැළපුණෙමි. ඔහුට උපාකාර කිරීම සඳහා මගක් සොයමින් කීප දෙනකුට ම කතා කළත් තවම නිසි පිළිතුරක් නැතිව ළතවෙමි. ඒත් ඔහුට උපකාර කළද එවන් අග හිඟකම් ඇති විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් පමණක් නොව පාසල් සිසුන් ලක්ෂ ගණනකට කාගේ පිහිටක් ද?

සිසුන් සමඟ දීර්ඝ කාලයක් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක්ව සිට ඉන් කලකට සමුගෙන සමාජ දේශපාලන කටයුතුවල නිරතවන, මට කැමති පාඨකයකු, සහ පසුව මිතුරකු බවට පත් වූ සගයකු සමඟ පසුගිය දිනක පැයක දෙකක පමණ කාලයක් කතාබහක යෙදුණෙමි. බොහෝ වැදගත් දේ අතර ඔහු මතුකළ වඩාත් වැදගත් සහ මා සිත්ගත් දේ වුණේ සිසුන්, පාසල, සහ උපකාරක පන්ති ගැන කියූ දෙයක් ය. “ටියුෂන් ගුරුවරු ළමයි හදන්න, ඔවුන්ට හොඳ නරක කියාදෙන්න, සහ ඔවුන්ව විනයගත කරන්න ගියොත් වෙන්නේ ළමයි ටික පන්තියෙන් යන එක. එතකොට ටියුෂන් ගුරුවරයාගේ රැකියාව අර්බුදයට යනවා. ළමයි හදන, විනයගත කරන, හොඳ නරක කියාදෙන වැඩේ පාසල් බාරගන්න ඕනි. මොකද එහෙම කළා කියල ළමයි ස්කෝලේ දාල යන්නේ නෑනේ” යනු මගේ මිතුරු හිටපු ටියුෂන් ගුරුවරයාගේ කතාව ය; මා සිත්ගත් කතාවය. මා ද ඊට යමක් එකතු කළේ ය. හරියට හරි, ළමයා ගුණයහපත් සමාජයීය පුද්ගලයෙක්, රටගැන හිතන රටවැසියෙක්, විනයානුකූල කෙනෙක් කරන වැඩේ ස්කෝලෙන් කරද්දී විභාග වැඩේ ටියුෂන් පන්තිවලට බාරදුන්නම හරි. ටියුෂන් යන්න සල්ලි නැති අයට සහන වැඩපිළිවෙළක් හදාගත්තාම තවත් හරි. පෞද්ගලික-රාජ්‍ය සම්බන්ධයකුත් හැදෙනවා. හොරාකන්න නෙවෙයි හොඳ වැඩකට.” ඒ මගේ එකතු කිරීම ය.

රටේ අර්බුදය සහ එම ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට ඉහත සිදුවීම් සහ කතාබහ ඔබට උපකාරයක් වනු ඇත යන්න මගේ විශ්වාසය ය. මුලින්ම ඔබ කියවූ සිසුවියගේ කවිය සහ පැහැදිලි කිරීම ගෙන බලමු. ඇය අපට පහදා දෙන්නේ ජනසමාජයක් මුළාවේ දමමින් මෙරට දේශපාලන පන්තිය ඉතා සුන්දර ලෙස රට කොල්ල කන බවය. එසේම සොරාකෑමට ලක් නොවුණු කිසිවක් මේ පොළොව මත නොමැති බවය. ඒ දේශපාලන පන්තිය සමාජයට කර ඇති හානිය ප්‍රකාශවන අනුවේදනීය සිදුවීම් දෙකක් ලෙස සිසුවාගේ මරණය සහ විශ්වවිද්‍යාල සිසුවාගේ දරිද්‍රතාව අප ඉදිරියට පැමිණ ඇත. ඒවා එවැනි සිදුවීම් සහ පීඩා ලක්ෂ ගණනකට උදාහරණ පමණි.

 මෙරට දේශපාලන පන්තිය දශක ගණනාවක් මුළුල්ලේ සිදුකර ඇති මහා සමාජ ආර්ථික දේශපාලන විනාශය නොදකින නොදැනෙන අඥාන ජනයා හැදෙන හේතුව රටේ අධ්‍යාපනය පිළිබඳ කතාවෙන් අපට හඳුනා ගත හැකිය. මාරුවෙන් මාරුවට එකම දේශපාලන පන්තියකට රට විනාශ කිරීමට ඉඩ දී අර්බුදයේ ගිනිදලු අනුභව කරන කය මිස සිතක් නැති මිනිසුන් සිටින රටක් බවට මේ රට පත්කළේ මේ ආතක්පාතක් නැති අධ්‍යාපනය ය. සහචර දේශපාලන පන්තිය දෙකට තුනට බෙදී සහ එකතුවී පිනුම් ගසන්නේ මේ පිට්ටනියේ ය. එය සැබෑවටම නාටකයකි. සුහදව චරිත බෙදාගෙන රඟදක්වන නාටකයකි.

අධිවේගී මාර්ග තැනීමේදී හොරා කනවා කියා හිටපු ආණ්ඩුවේ අය ඉන්න ආණ්ඩුවේ අයට චෝදනා කරන විට ඉන්න ආණ්ඩුවේ අය හිටපු ආණ්ඩුවේ අය අධිවේගෙන් හොරාකාපු හැටි අපට පැහැදිලි කරන්නේ ය. එක එක අමාත්‍යංශ එකිනෙකාට චෝදනා කරගන්නේ සතුරු රටක් තවත් රටකට චෝදනා කරන ආකාරයෙන් ය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලිබල මණ්ඩලයට චෝදනා කරන්නේ රටේ විදුලි අර්බුදයට මණ්ඩලය මිස වෙන කවුරුත් වගකිව යුතු නැත යන ගානට ය. ඔහුගෙන් නො අසා විදුලි සැපයුම නියාමනය කිරීමට මණ්ඩලයට බැරිය. ඒ නටන නාඩගමේ හැටියට උපයෝගිතා කොමිසමේ සභාපති ජනතාවගේ පැත්තේය, විදුලිබල මණ්ඩලය ජනතාවට විරුද්ධ පැත්තේය. තෙල් ඇමති බලපුළුවන් කාරයෙක් ය. විදුලිබල මණ්ඩලයට තෙල් දෙන නොදෙන එක තීරණය කරන්නේ ඔහු ය. තවත් අතකින් තෙල් ගේන්න ඩොලර් විතරක් නොව රට ඇතුලේ රුපියල් පවා නැති බව කියන ජනයාගේම කෙනෙක්ය. එහෙත් පුනර්ජනනීය බල ශක්තියට උදව් කරන්නේ නැත. හරියට එකිනෙකට විරුද්ධ රටවල ඇමතිලා සහ දේශපාලන පත්වීම් ලද සභාපතිලා රණ්ඩු වෙනවා වගේ ය. මෙය නම් සුහදව චරිත බෙදාගෙන රඟ දක්වන නියම ම නාටකයකි. එහෙත් එය වසර හැත්තෑහතරක් තිස්සේ රඟදක්වන භයානක නාටකයකි. වෙනසකට තිබෙන්නේ සමහර නළුවන්ට හරියට රඟපාන්න බැරි එක නොව ඒ රඟපෑම් ජනයාට අහුවෙන එක ය.

දීර්ඝකාලීනව රඟදැක්වෙන මේ නාටකය සහ සියලු‍ රඟපෑම් රටට අත්කර දී ඇත්තේ විපතක් මිස සැපතක් නොවන බව දැන් නම් කාට කාටත් පැහැදිලි විය යුතුය. රටේ ඩොලර් හිඟය ගැන ඉන්න ආණ්ඩුවට චෝදනා කරන හිටපු ආණ්ඩුවේ අය මහබැංකුවට කරපු දේ ගැන කිසිවක් දන්නේ නැති ගානය. ඩොලර් අර්බුදය හදිසියේ කඩාපාත් වූවක් නොව දෙකට තුනට බෙදී එකම නාටකයක චරිත බෙදාගෙන රඟපෑ හැමෝගෙම නිර්මාණයක් ය. චෝදනා කරන අය එසේ කරන්නේ ඊළඟ මං පැහැරීමේ ක්‍රීඩාවට තම පිටිය සකස් කරගැනීමට මිස රට හෝ ජනයා විපතෙන් ගලවා ගැනීමට නොවන බව අප වටහාගත යුතු ය.  ඒ සියලු‍ නළු නිළියෝ එකතුව මේ රට සාමූහික වගකීම් සහගත ආණ්ඩු හැදෙන සංගත රාජ්‍යයක්, ඒකාබද්ධ ව්‍යුහයක් බවට පත්වීම වළකා, ජන සමාජය ශෝකාන්ත අවසානයකට ගෙන යමින් සිටින බව ද අප වටහා ගත යුතුය.

තරුණ ජනයා සහ සිතනමතන ජනයා දේශපාලනයෙන්, දේශපාලකයන්ගෙන්, නියෝජිතවරණවලින් ඈත් වීම, දේශපාලකයන් විශ්වාස නොකිරීම සහ වැදගත් අය ලෙස නො සැලකීම, මේ මොහොතේ නිරීක්ෂණය වන දෙයකි. එහෙත් එකී තත්ත්වය ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාවලියක් වන්නේ එය පවතින ක්‍රමය එනම් සාමාන්‍යයෙන් ඔබ කියන සිස්ටම් එක වෙනස් කිරීමේ කටයුත්ත සඳහා යොදා ගතහොත් පමණි. ප්‍රශ්නය තියෙන්නේ රඟපාන නළු නිළියන් ගේ සහ  පිටපතේය. දැන් රටට අවශ්‍ය අලු‍ත් පිටපතක් සහ නළුවන් නොවන මිනිසුන් මිස අලු‍ත් සළුපිළි දවටා ගත් පරණ පිටපතටම රඟන නළු නිළියන් නොවන බව මගේ ‘කිවිදා දැක්ම’ ය. මේ ප්‍රකාශයෙන් සැබෑ නළු නිළියන්ට අපහාසයක් වී නම් සමාව අයදිමි. නතාෂාලා  ලියූ සහ අසන දේට පිළිතුරක් යෝජනා කළොත් ඒ මෙසේය. පොදුජන සමාජයේ සියලු‍ දෑ ඩැහැගෙන යන සුනාමිවලින් දේශපාලනය ගලවාගෙන එය ජනසතු කොට මේ රට ජනරාජ්‍යයක් කරමු. ඒ සඳහා, ජනසමාජයේ අනුවණ කම් අහෝසිවන සමාජ දේශපාලන සාක්ෂරතාවක් සමාජගත කිරීමට වෙහෙසෙමු. අද දවසේ ගුරුකමත් සිසුකමත් සතු වගකීම එයමය. සෙස්ස පස්සට.

 

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ 

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​ෙය්,

ධම්ම දිසානායක



අදහස් (1)

ප්‍රශ්න සඟවන දේශපාලන සෙප්පඩවිජ්ජා

Deepal Nirosh Saturday, 26 February 2022 10:07 AM

රටට අත් වී ඇති ඉරණම පිළිබඳව පමණක් විග්‍රහ කරන මෙවැනි සමාජ විවේචනයන්ට වඩා දැන් රටට අත්‍යාවශ්‍යම සංවාදය විය යුත්තේ රටේ පවතින ඩොලර් සංචිතය සංරක්ෂණය කරගෙන ස්ථාවර මට්ටමක පවත්වා ගත යුත්තේ කෙසේද යන්න පහදා දීමයි. ඒ සඳහා අත්‍යාවශ්‍ය ක්ෂණික හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරයි කියලයි අපි නම් මෙතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ... එහෙම නැතුව ඩොලර් උපයන හැටි නොවෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 318 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1427 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site