IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රශ්නයේ දෙපැත්ත මාරුවීම

යම් යම් ප්‍රශ්න විසඳා  ගැනීමට ඇතැම් විට විපත් ද උපකාරී වන අවස්ථා තිබේ. මෙය පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම රටවල් සම්බන්ධයෙන් ද සත්‍යය වේ.

එවැනි අවස්ථාවක් 2004 දෙසැම්බර් මාසයේ දී ඉන්දුනීසියාවට උදා විය. ඒ ඒ මාසයේ ශ්‍රී ලංකාවද ඇතුළු දකුණු හා ගිනිකොන දිග ආසියාවේ රටවලට බලපෑ සුනාමිය ඉන්දුනීසියාවේ වාර්ගික ගැටලුවක් විසඳා ගැනීමට උපකාරීවීම නිසාය.

ඉන්දුනිසියාවේ අචේ ප්‍රාන්තයේ මුස්ලිම් කැරැලි කරුවෝ 1976 සිට එම ප්‍රාන්තය බෙදා වෙන් කොට වෙනම රාජ්‍යයක් ගොඩ නැඟීම සඳහා සටන් කරමින් සිටියහ. සුනාමියට හසුවූ ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර පළාත්වල ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය ජීවිත බේරා ගැනීම සඳහා එකිනෙකාට උපකාර කර ගත්තාක් මෙන් අචේ ප්‍රාන්තයේදීද ඉන්දුනීසියානු හමුදා හා අචේ ගරිල්ලෝ එකිනෙකාට උපකාර කර ගත්හ.

සුනාමියෙන් අචේ ප්‍රාන්තයේ මහා විනාශයක්  සිදුවූ අතර විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ද එරට ආරක්ෂක හමුදාවලට හා කැරැලිකරුවන්ට එක්ව කටයුතු  කිරීමට සිදුවිය. මෙය දෙපාර්ශ්වය තුළ විශාල මානසික වෙනසක් ඇති කළ අතර ඒ අනුව 2005 අගෝස්තු මස ආරම්භ වූ සාම සාකච්ඡා සාර්ථක විය. ඉන්පසු පැවැත්වූ මැතිවරණයෙන් ගරිල්ලන්ගේ දේශපාලන පක්ෂය ජය ගත්තේය. සාම ගිවිසුම අනුව බලය බෙදීමේ සංකල්පය යටතේ පිහිටුවන ලද අචේ ප්‍රාන්ත සභාවේ නායකත්වයට එම පක්ෂය පත්විය. එම සාමය අද දක්වා නොබිඳී පවතී.

එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇති වූයේ නැත. මෙහි සුනාමියෙන් විපතට පත් වූවන් හට සහන සැලසීම සඳහා කොටි සංවිධානය විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව විසින් පිළිගනු ලැබු සුනාමි සහන මණ්ඩලය යනුවෙන් එදා හඳුන්වනු ලැබූ වැඩපිළිවෙළ උතුරු නැගෙනහිර පළාත්වල ආණ්ඩුවේ පාලන ප්‍රදේශවලද ඔවුන්ගේ  බලය තහවුරු කර ගැනීම සඳහාවූ වැඩ පිළිවෙළක් විය.

වත්මන් ආර්ථික අර්බුදය ද ආණ්ඩුව හා ප්‍රධාන දෙමළ සන්ධානය වන දෙමළ ජාතික සන්ධානය එකිනෙකට සමීප කොට තිබේ. බලයට පත්වූදා සිට බලය බෙදීමේ සංකල්පයට පවා එරෙහිව අදහස් දැක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අදහස් පවා වෙනස් වී ඇතැයි දෙමළ ජනමාධ්‍ය පවසයි.  එහෙත් මේ තත්ත්වය ජනවාර්ගික ප්‍රශ්නය යැයි පොදුවේ හැඳින්වෙන ආණ්ඩුව හා දෙමළ නායකත්වය අතර  ඇති මතභේදය විසඳලනු ඇතැයි අනාවැකි කීමට තරම් ප්‍රමාණවත් නොවේ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාර්ගික  ප්‍රශ්නය සම්බන්ධයෙන්  ආරම්භයේදී දැරූ ස්ථාවරයේ යම් වෙනස්වීමක් නම් දක්නට ඇත. එය කරුණු ගළපා ස්වාධීනව අදහස් වෙනස් කර ගැනීමකට වඩා විදේශීය බලපෑම් හා ආර්ථික අර්බුදය විසින් ඇතිකරන ලද තත්ත්වයක් බව පෙනේ. එයද ජනවාර්ගික ප්‍රශ්නය නිසැකවම විසදෙනු  ඇතැයි අනාවැකි කීම දුෂ්කර කොට ඇත.

ජනාධිපතිවරයා මුලින් දැරූ මතය නම් ආණ්ඩුව හා දෙමළ නායකත්වය අතර ඇති මතභේදය විසඳීම සඳහා බලය බෙදීමක් අවශ්‍ය නැති බවය. ඔහු ඒ බව වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බලය බෙදීම ගැන අවධාරණය කරමින් සිටින ඉන්දීය නායකයන් හට ඉතා හොඳින් ඇසෙන්නට ඉන්දියාවටම ගොස් ද පැවසීය.

එහෙත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඔහුගේ එම අදහස් වෙනස් වූ බවත් පෙනෙන්නට තිබිණි. එම මාසයේදී පැවැති එජා මහා මණ්ඩලයේ  76 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා නිව් යෝර්ක් නුවරට ගිය ජනාධිපතිවරයා එහිදී එ.ජා.මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ද පෞද්ගලිකව මුණ ගැසී සාකච්ඡා කළේය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ ‘‘අභ්‍යන්තර ප්‍රශ්නය’’ අභ්‍යන්තර යාන්ත්‍රණයක් මගින් විසඳිය යුතු බත් මේ සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බවත්ය.

දෙමළ ඩයස්පෝරාව සමඟ  සාකච්ඡා කරන්නට යන්නේ කුමන ‘‘අභ්‍යන්තර ප්‍රශ්නය ද’’ යන්න විස්තර කළ යුත්තක් නොවේ. එසේම ඔහු මෙම කාරණය ගැන සඳහන් කොට තිබුණේ මෙරට යුද්ධය අවසන් වීමෙන් පසු සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහෙත් මසකට පමණ පසු විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඩේලි මිරර්, පුවත්පතට පවසා තිබුණේ නීති විරෝධි සංවිධාන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැති බවය. ඒ  වසරේ මාර්තු මාසයේදී ආණ්ඩුව දෙමළ ඩයස්පෝරා සංවිධාන ගණනාවක් හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් සිය ගණනක් තහනම් සංවිධාන හා පුද්ගලයන් ලෙස ප්‍රකාශයට පත් කොට තිබිණි. ඒ අනුව  ඇමැතිවරයා සඳහන් කරන්නේ දෙමළ ඩයස්පෝරා සංවිධාන බව පැහැදිලිය.

එසේ වුවද එම  මාසයේ 26 වැනිදා  ලන්ඩන්නුවර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එලිසබෙත් ​ටෲස් හමුවූ ඇමැතිවරයා ජනාධිපතිවරයා පැවසූ ආකාරයටම දේශීය යාන්ත්‍රණය ගැනත් දෙමළ ඩයස්පෝරාව  සමඟ සාකච්ඡා කිරීම ගැනත්  සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අදහස් වෙනස් වීමට එ.ජා. මානව  හිමිකම් කවුන්සිලය හා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පසුගිය වසරේ මාර්තු මාසයේදී  මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  සම්මත කළ යෝජනාවෙන් කියවුණේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්හට විදේශවලදී නඩු පැවරීමටත් ඔවුන්ගේ දේපළ තහංචියට යටත් කිරීමටත් එම රටවල් කටයුතු කළ යුතු බවය.

 එම නඩු කටයුතු සඳහා අවශ්‍ය කරන සාක්ෂි රැස් කිරීම සඳහා කවුන්සිලය දත්ත ගබඩාවක් ස්ථාපනය කරන බව ද ඉන් කියවිණි. ආණ්ඩුවේ යුද යාන්ත්‍රණයට හා කොටි සංවිධානයට සම්බන්ධ ඕනෑම අයකු මෙම යෝජනාව යටතේ චෝදනාවට ලක්විය හැකිය.

කරුණු එසේ තිබියදී මෙම යෝජනාව පදනම් කරගෙන පසුගිය වසරේ ජුනි මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුව ද යෝජනාවක් සම්මත කොට තිබිණි. එම යෝජනාවෙන් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර මට්ටමට සංශෝධනය කළ යුතු යැයි ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය නොවේ නම් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කෙරෙන භාණ්ඩවලට දෙනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහනය  ඉවත් කිරීම ගැන සලකා බලන බවද කියවිණි.

රෝහල්වල ශල්‍යකර්ම කිරීමත්, පාසල්වල වාර විභාග සඳහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට කඩදාසි සොයා ගැනීමත් ගැටලුකාරී වන තරමටද විදේශවලින් හදිසි ආහාර ආධාර ඉල්ලන තරමටද රටේ ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වය යතේ ජී.එස්.පී. බදු සහනය නැති වුවහොත් එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවකි.

රට මේ වනවිට මුහුණ පා ඇති බැරෑරුම්ම ප්‍රශ්නය විදේශ විනිමය හිඟයයි. මේ නිසා ආණ්ඩුව මේ වනවිට හැකි සෑම රටකින්ම ණය ගැනීමට උත්සාහ කරයි. ඒ අතර ආයෝජන සඳහා දෙමළ ඩයස්පෝරාව වෙතට ද හැරෙන්නට ආණ්ඩුව පෙළඹී ඇති බවක් පෙනේ.

එහෙත් එවැනි සහයෝගයක් අපේක්ෂා කරන්නට නම් ආණ්ඩුව දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් ඉටු කළ යුතුව ඇතැයි  දෙමළ ජතික සන්ධානය පවසයි. පසුගිය 23 වැනිදා පැවැති ‘‘සර්ව පාක්ෂික සමුළුවේ දී’’ එම සන්ධානය ඉතා පැහැදිලිවම එය ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  එ.ජා. මහලේකම්වරයා සමග පැවැසූ ආකාරයටම ඉකුත් 23 වැනිදා කොළඹ දී ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් හමුවූ අවස්ථාවේදී ද සාකච්ඡා සඳහා දෙමළ  ඩයස්පෝරා පිරිස්වලට ආරාධනා කරන බව පැවසීය.

මෙරට  ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ දී විදෙස්ගත දෙමළ ප්‍රජාවගේ වැදගත්කම  කොතෙක්ද යන්න ප්‍රශ්නයකි. එම පිරිස් උතුරේ දෙමළ ජනතාවට විශාල වශයෙන් මුල්‍යමය ආධාර සපයන හෙයින් එම ජනතාව කෙරෙහි එම පිරිස්වලට මතවාදීමය බලපෑම් කිරීමේ  හැකියාවක් ඇති බව සැබෑය. එහෙත් ඔවුන්ගෙන් ඇතැම් කණ්ඩායම්වල හා මෙරට දෙමළ නායකයන්ගේ අදහස් අතර විශාල පරතරයක් ඇත. එම  කණ්ඩායම් තවමත් වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස අවධාරණය කරන අතර මෙරට දෙමළ නායකයන් අවධාරණය කරන්නේ පුළුල් බලය බෙදිමේ ක්‍රමයකි.

මේ අතර ඇතැම් විදෙස්ගත දෙමළ කණ්ඩායම් වෙනම දෙමළ රාජ්‍යයක් අවධාරණය කරන්නේ නැත. ඔවුහු දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නට අදහස් කරන බවට ජනාධිපතිවරයා දක්වන මතය අගය කරති. එහෙත් ඔවුහු ද ඒ සඳහා කොන්දේසියක් ඉදිරිපත් කරති.  එනම් සාකච්ඡා කරන්නට කලින් විදෙස්ගත දෙමළ සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කළ යුතුය, යන්නයි. මෙය නම් තර්කානු කූල කොන්දේසියකි.

එසේම විදෙස්ගත ඇතැම් දෙමළ පුද්ගලයන්ට විශාල පරිමාණයෙන් ආයෝජන කළ හැකි බව දැනට තහනම් කරනු ලැබ ඇති ලන්ඩනය මූලස්ථානය කොටගත් ගෝලීය දෙමළ සංසදය පවසයි. එය පිළිගත හැක්කේ දැනටමත් ඔවුන් මෙරට මහල්  නිවාස ව්‍යාපෘති ආදියේ ආයෝජනය කරන හෙයිනි.

කෙසේ වෙතත් පුළුල් බලය බෙදීමක්  ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් දෙමළ ඩයස්පෝරාවට ආයෝජනය කිරීම සඳහා අරාධනා කළ හැකි යැයි දෙමළ ජාතික සන්ධානය කරන ප්‍රකාශය සාධාරණ වුවද පවතින ආර්ථික තත්ත්වයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම කැයි කෙනකු කිව හැකිය. එය තවත් අතකින් නිවැරැදි නොවන්නේ දශක තුනක යුද්ධයේ බලපෑම තවමත් පවතින උතුරේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමෙන් ප්‍රයෝජන ලබන්නේ ප්‍රධාන වශයෙන්ම උතුරේ ජනතාව වීම නිසාය. ඒ සඳහා කොන්දේසි පැනවීම නිවැරැදි නොවේ.

සංහිඳියාව මානව හිමිකම් කවුන්සිලය විසින් අවධාරණය කරන කරුණක් වන නිසා ජනාධිපතිවරයා මෙම විදේශ පීඩනයෙන් තාවකාලිකව මිදීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරන්නට හා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නට ඉදිරිපත් වන්නේ ද නැත්නම් අවංකවම දෙමළ නායකත්වය සමඟ එකඟතාවක් ඇතිකර ගන්නට උත්සාහ කරන්නේ ද යන්න පැහැදිලි නැත.

ඒ නිසා පමණක් නොව දැනට ආණ්ඩුවෙන් ඉවත් කරනු ලැබ හා ඉවත් වී සිටින පිරිස් දැනටමත් ඉදිරිපත් කොට ඇති අදහස් නිසාද මෙම සාකච්ඡා ඉදිරියට යනු ඇත්ද යන්න ගැටලුවකි. ආර්ථික දුෂ්කරතා උපයෝගී කරගෙන යුද්ධයෙන් කරගත නොහැකි වූ දේ කරගන්නට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරන බව එම පිරිස් පවසති.

 

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

ප්‍රශ්නයේ දෙපැත්ත මාරුවීම

gamunu Saturday, 02 April 2022 04:54 PM

බලය බෙදීමක් ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් දෙමළ ඩයස්පෝරාවට ආයෝජනය කිරීම සඳහා අරාධනා කළ හැකි යැයි දෙමළ ජාතික සන්ධානය කරන ප්‍රකාශය දැනට වසර 70ක පමණ සිට වෙනත් මුහුණුවරයෙන් මතුවේ. නමුත් සත්‍ය වශයෙන්ම සිදුව තිබෙනුයේ දෙමළ දේශපාලකයින් බලය ලබා ගැනීම පළමු කොට මූලිකත්වය ලබාදීම නිසා ඔවුන්ගේ ජනතාවට සිදුව තිබෙන්නා වූ අසාධාරණයටද වගකිව යුතුවන්නේ මෙම දෙමළ දේශපාලකයින්ම වේ. ඔවුන් ඔවුන්ගේ ජනතාව රැවටීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොවිසඳීම නිසා දෙමළ ජනතාවට අමිහිරි අතීතයක් වර්තමානයක් පමණක් නොව අඳුරු අනාගතයක් උරුම කරදීම දෙමළ දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා සිදුව ඇත. බොහෝ දෙමළ තරුණයින් ලංකාවෙන් පිටව යනු ලබන්නේද ඔවුන්ට අනාගතයක් ලබාදීමට ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලකයින් අසමත් වීම නිසාවේ..

:       1       5

sujeewa Sunday, 03 April 2022 12:14 PM

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයක් නැත. සුපුරුදු ලෙසම අර්බුදය හඳුනා ගැනීමට නොහැකි වූ කළ මෙලෙස නැති අර්බුද පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් කරනු ලැබේ. උතුරු, නැගෙනහිර ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවල ජීවත් වන්නා වූ දෙමළ ජනතාව අනෙකුත් ජාතීන් සමග ඉතා සහයෝගයකින් ජීවත්වන බව පිළිගැනීමට අකැමැති අය මෙලෙස ජනවාර්ගික අර්බුදයක් ගැන කතාකරයි. කලින් උතුරේ ජීවත් වූ සිංහලයින්ටවත් දැන් උතුරේ ජීවත්වීමට හැකියාවක් නැත්තේ එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ විරෝධය නිසා නොව දෙමළ ජාතිවාදය කරපින්නා ගත් දේශපාලකයින් සහ රජයේ නිලධාරින් හේතුවෙනි. මෙම ජනවාර්ගික අර්බුදය මාකට් කරන්නේ ‌තම තමන්ගේ බලය හා වෙනත් වරප්‍රසාද අහිමිකර ගැනීමට අකමැති දෙමළ දේශපාලකයින්, ඇතැම් දෙමළ නිලධාරී පැලැන්තියක් සහ වරප්‍රසාදලත් දෙමළ ඩයස්පෝරාවත් පමණකි. සිය ජනජීවිතය රැකගැනීමේ අරගලයේදී කිසිඳු ජනවාර්ගික අර්බුදයක් නොමැතිව සියල්ලෝම එක ලෙස දුෂ්කරතා වලට පත්ව සිටිති. සාමාන්‍ය තත්වය ලෙසම කොළඹ සිංහල ජනතා බහුතරයක් මෙන්ම දෙමළ ජනතාවගෙන් බහුතරයද සුපිරි ජීවිත ගතකරන අතර කඳුකර හා උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව අනෙකුත් සිංහල ජනතාව මෙන්ම දුෂ්කර ජීවිත ගත කරති...! 

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2857 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12035 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1005 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site