IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිල ඇඳුමේ පැල්ලම්

තරිඳු ජයවර්ධන 

([email protected])

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය  අමාත්‍යංශයේ පරිපාලන නිලධාරීහු තිදෙනෙක් එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටිති.

පූජිත් ජයසුන්දර මහතාට පෙර පොලිස්පතිවරයකු එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්  අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වූයේ හිටපු පොලිස්පතිවරයකු වූ ආනන්ද රාජා මහතා සම්බන්ධයෙනි.

විදුලි සෝපාන ක්‍රියාකරුවකුට පූජිත් ජයසුන්දර මහතා පහරදීමට තැත් කරන අයුදුරු දැක්වෙන වීඩියෝවක් ජනමාධ්‍ය ඔස්සේ විකාශය වද්දී ආනන්ද රාජා මහතාගේ කතාව ලංකාදීප වෙබ් අඩවියේ පළ කළේ එම කතාව හා පූජිත් ජයසුන්දර මහතාගේ කතාව අතරේ ඇති සම්බන්ධතා පෙන්වා දෙමිනි.

පොලිස්පති ධුරයේ වැඩ බාර ගනිමින් පූජිත් ජයසුන්දර මහතා කළේ මෙවැනි ප්‍රකාශයකි.

 ‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.‘  

පොලිස්පති ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු ජයසුන්දර මහතා කතා බහට ලක්වූ අවස්ථා කිහිපයක්ම විය. ‘නිලමේ‘ කෙනෙකු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රසිද්ධියේම දුරකතනයෙන්  ‘සර්‘ කෙනෙකුට උපදෙස් දුන්නේය.  නීතිය නමන ආකාරයද ප්‍රසිද්ධියේ කිව්වේය.

ඉන් පසු කරලියට ආවේ පෙර සඳහන් කළ වීඩියෝවයි.     එහි දැක්වුණේ පොලිස්පතිවරයා   පුද්ගලයකුගේ කොළරයෙන් අදින ආකාරයත් ඔහුට බැණ වදින ආකාරයත්ය. තවත් තැනකදී ඇඟිල්ල දිගු කර කාන්තාවකට මොනවාදෝ කියනවා දක්නට තිබිණි.

පොලිස්පතිවරුන් සම්බන්ධ වඩාත් කතාබහට ලක්වන වීඩියෝ ‘ලීක්‘ වූ පළමු අවස්ථාව එය නොවූ බව මීට පෙර ලංකාදීප වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කළේ මෙලෙසය.

ඒ 2003 වර්ෂයයි. එවකට ජනාධිපතිනිය ලෙස සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ආණ්ඩු කළේ එක්සත් ජාතික පක්ෂයයි. පොලිසිය භාර ඇමැතිවරයා වූයේ ජෝන් අමරතුංග මහතාය. පොලිස්පති ලෙස ටී ඊ ආනන්ද රාජා මහතා කටයුතු කරද්දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දර මහතාය. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් හෙරොයින් සම්බන්ධ සැකකරුවකුගේ නිවසක් පරීක්ෂා කළේය. ඒ දිනවල මාධ්‍ය වාර්තා කළේ ඔහු කුඩු රජු ලෙස හඳුන්වමිනි. කුඩු රජුගේ නිවසේ තිබී වීඩියෝ පට කිහිපයක්ද පොලිස් භාරයට ගනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට ගැනුණු වීඩියෝ පට මාධ්‍යයට ‘ලීක්‘ විය. කතාව පැතිර ගියේ පොලිස්පති කුඩු රජාගේ සාදයකට ගොස් ඇති බවයි.

චෝදනා එල්ල වීමත් සමඟ එවකට පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතා හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය. එම මාධ්‍ය හමුවට චෝදනා එල්ල වූ පොලිස්පති ආනන්ද රාජා මහතාද සහභාගීකරවා ගත්තේය. කොළඹ තරු පන්තියේ  හෝටලයක පැවැති එම සාදයට තමා ගියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටියදී හිතවතකුගේ ඇරයුමට බවත්, එය සංවිධානය කළේ කුඩු ජාවාරම්කරුවකු බව දැන නොසිටි බවත්, ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවත් පොලිස්පති කීවේය.  

කෙසේවෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට බාර දුන් බව ඇමැති ජෝන් කීවේය.

එම වීඩියෝව පිටවූයේ කෙසේදැයි සොයා බැලීම වෙනුවට එම වීඩියෝවෙන් කියන කාරණය ගැන සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ආනන්දරාජා මහතාට සේවා දිගුවක් ලැබීමට තිබූ අවස්ථාව ද අහිමි වී හදිසියේම විශ්‍රාම ගැනීම සිදු විය.

වීඩියෝව ‘ලීක්‘ වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් වුවත් එහි අධ්‍යක්ෂව සිටි පූජිත් ජයසුන්දර මහතාට   ගැටලූවක් සිදුවූයේ නැත. ඒ වඩා වැදගත් වන්නේ වීඩියෝව පිටවූ ආකාරයක් සෙවීම නොව වීඩියෝවෙන් කියන කාරණය ගැන සෙවීම නිසාය.

ඒ එදා කතාවකි.

එදා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා අද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය. පොලිස්පතිවරයාය. එදා ජනාධිපතිවරයා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වුවත් අද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනුයේ  ලක්ෂ 62ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. අද ආණ්ඩු කරන්නේ එදා ආණ්ඩු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවයි. එකම වෙනස මේ ආණ්ඩුව ‘යහපාලන‘ මුහුණුවරක්  ගන්නා බව කීමයි.

රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව යටතේ ද පොලිස්පති ලෙස කටයුතු කළ එන්. කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2016 අප්‍රේල් මාසයේ දී පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිදේශය අනුවය. ඒ වන විට ඔහු පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිසියේ දෙවැනියා විය. ප්‍රථමයා වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාය.

කෙසේ වෙතත් 2016 අප්‍රෙල් 20 වැනි දා පූජිත් ජයසුන්දර මහතා වැඩ බාර ගත්තේය. ‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.‘ යනුවෙන් ඔහු ප්‍රථම මාධ්‍යහමුවේදී කීවේය.

 පොලිස්පති ලෙස වැඩ බාර ගැනීමෙන් පසු එක්තරා අවස්ථාවක ජයසුන්දර මහතා ‘ඔබට නීතිය කඩන්න බෑ, හැබැයි නීතිය නැමුවහැකියි. අපි නමාගෙන යං නීතිය.‘ යනුවෙන් ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශයට නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි විවේචන එල්ල විය.

2017 පෙබරවාරි මස 15 වැනි දා පොලිසියේ උසස් නිලධාරීන් හට විශේෂ රැස්වීමක් පැවැත්විණි. එහි දී ප්‍රකාශයක් කර ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීම සඳහා උදෑසන මිනිත්තු කිහිපයක් ආනාපානසති සහ මෛත්‍රී භාවනාව වැඩීමට උපදෙස් දෙන ලෙසයි.  ඉන් පසු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු භාවනා කරන ලෙස පහළ නිලධාරීන්ට දැනුම් දෙන්නැයි සහකාර පොලිස් අධිකාරීවරුන් හරහා උපදෙස් දී තිබිණි. තවත් සමහරු එය තඹ සතේකට ගනන් ගත්තේ නැත.

ඉන් සතියකට පමණ පසු එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එම අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ පොලිස්පති එවැනි නියෝගයක් දී නැති බවයි. එය සම්පූර්ණ බොරු කතාවක් බව ඔහු කීවේය.

කෙසේ වෙතත් ඉන් අනතුරව  2017 අප්‍රේල් මස 17  වැනිදා   ‘සියලූම පොලිස් ස්ථාන / පොලිස් කාර්යාලය වල දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීම‘ මැයෙන්  සියලූ පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් යැවීය. එහි අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ සියලූම නිලධාරීන් තමන්ගේ ආගමික ලබ්ධියන් අනුව දෛනික වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර විනාඩි 15ක කාලයක් මානසික ඒකාග්‍රතාවයක් මූලික කොටගත් මානසික ව්‍යායාමයක නිරත වීම ගැනයි.

එම චක්‍රලේඛයේ තුන් වැනි වගන්තියේ දක්වා ඇත්තේ මිනිත්තු පහළොවක කාලයක් භාවනාවක යෙදිය යුතු බවයි. එහි රෝම  ඉලක්කම් දෙක යටතේ පොලිස්පතිවරයා යෝජනා කර ඇති ක්‍රමවේදය මෙසේය.

පළමු විනාඩි තුනේ දී අරමුණ පැහැදිලි කර ගැනීම ද, ඊළඟ විනාඩි පහේදී මෛත්‍රී භාවනාව ද, ඊළඟ විනාඩි පහේදී ආනා පානා සති භාවනාව ද අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙනෙහි කිරීම ද යෝජනා කර තිබේ.  එම චක්‍රලේඛයේ රෝම ඉලක්කම් තුන යටතේ දක්වා ඇත්තේ මෙම වැඩසටහන සිදු කරනු ලබන අවස්ථාවන්හිදී සෑම තරාතිරමකම නිලධාරීන් එයට සහභාගී විය යුතු බවයි. තමන් විශ්වාස කරනු ලබන ලබ්ධියන්ට අනුව සුදුසු භාවනා ක්‍රම අනුගමනය කිරීම සුදුසු බව ද චක්‍රලේඛයේ සඳහන්ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී චක්‍රලේඛ ප්‍රකාරව භාවනා කරනවාදැයි සොයා බැලීමට පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සංචාරය කර ඇති අතර පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු භාවනා නොකළැයි ඔහුට තර්ජනය කළ බව සහ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලූඩොවයික් නම් බෞද්ධ නොවන නිලධාරියාට බැණ වැදුණු බව ඒ කාලයේ වෙබ් අඩවි වාර්තා කළේය. බැණ වැදීමෙන් පසු ලුඩොවයික් මහතා ක්ලාන්ත ගතිය සෑදී ඇතැයි ද කියැවිණි. 

ඉන් අනතුරුව ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පසුගිය 13 වැනි දා පොලිස් මූලස්ථානයේ අප්‍රේල් මාසයේ සිදුවීමට අදාළව වීඩියෝවක් පළකළේය. එහි දැක්වෙන්නේ  විදුලි සෝපානයක සිටින පුද්ගලයකුගේ   කොළරයෙන් අල්ලමින් පොලිස්පතිවරයා ඔහු පිටුපසට තල්ලූ කරන ආකාරය සහ යළි කොළරයෙන් ඉදිරියට අදින ආකාරයයි. ඉන් පසු ඇඟිල්ල දිගු කර යමක් කියා යළි ඔහුට පහර දීමට සේ අත ඔසවන ආකාරයද වීඩියෝවේ දැක්වේ. අනතුරුව රහස් පොලිසියට පිවිසෙන ස්ථානයේ කවුන්ටරයේ සිටින පිරිසට ඇඟිල්ල දිගු කර යමක් ප්‍රකාශ කරන අයුරු දැක්වේය.

පොලිස්පති යනු ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම තනතුර වන අතර එය ගෞරවනීය තනතුරකි. භාවනාව යනු ආගමික කාණයක් වන අතර කිසිදු ආගමක් අදහන්නේ නැති පිරිස් ද පොලිසියේම සිටිති. බෞද්ධ දර්ශනය අනුවද භාවනාව අනිවර්ය කර නැත. එය අගමික කාරණයක් නිසාත්, ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත සිදුවිය යුතු නිසාත් ඒ ගැන චක්‍රලේඛ නිකුත් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව නීති විශාරදයෝ කියති.

අනිත් කාරණය පොලිස්පති තනතුර වැනි ඉහළ තනතුරක් හොබවන  උසස් පොලිස් නිලධාරියකු ආදර්ශවත් ලෙස හැසිරිය යුතු බව පොදු පිළිගැනීමයි.  මෙලෙස තර්ජනයට ලක්වූ බව කියන විදුලි සෝපාන ක්‍රියාකරු දැඩි මානසික පීඩාවට ලක්වී විශ්‍රාම ගියේය. ඔහු තමා මුහුණ දුන් අමිහිරි ඇත්දැකීම ගැන ආයතන රැසකට පැමිණිලි කළත් විමර්ශනයක් පැවැත්වූයේ නැත.

පොලිස්පතිවරයා එදා ගියේ භාවනා කරනවාදැයි සොයා බැලීමට බවත්, එතැන යම් සිදුවීමක් සිදුවූ බවත් ඊට පසු පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී  මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගත්තේය. ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ පැනවීම ප්‍රශ්නයක් බව කැබිනට් සම ප්‍රකාශක ලෙස එවකට කටයුතු කළ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේය. භාවනාව ගැන සොයා බැලීමට යන පොලිස්පතිවරයා මෙලෙස හැසිරීම ගැන මාධ්‍ය වේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ.

වද හිංසා කිරීම ගැන පොලිසියට චෝදනා එල්ලවන මොහොතක පොලිස්පතිගේ මේ හැසිරීම නිසා එම චෝදනා සනාථ නොවන්නේදැයි කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේ පොලිස්පතිගේ හැසිරීමත් සමඟ එම චෝදනාව ගැන ගැටලූවක් පැන නගින බවයි.

2003 දී වීඩියෝ පටය ‘ලීක්‘ වූ විට ආනන්දරාජා මහතා මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කීවේය. පොලිසිය භාර ඇමැතිවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යංශයේ  ලේකම්වරයා ද පොලිස්පතිවරයා මාධ්‍ය හමුවට කැඳවාගෙන ආවේය නමුත් පෙර සඳහන් කළ සිදුවීමේ දී විෂය භාරව එවකට සිටි ඇමැතිවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කීවේ නැත.

ඉන් පසු පොලිස්පතිවරයා විවේචනයට ලක්වූ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනකු පොලිස්පතිට එරෙහිව පැමිණිලි කළේ පොලිස්පතිවරයා තමන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනවසරයෙන් ලබා ගන්නා බව කියමිනි.

කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට ගියේ තමාට හිරිහැර කරනා බව කියමිනි.

ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළේ තමන්ගේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බව කියමිනි.

තවත් එවැනි සිදුවීම් දාමයක් සිදු විය. දැන් යළිත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිවී තිබේ. 2008 වසරේදී ඔහුට ලැබුණැයි කියන රුපියල් මිලියන 12ක චෙක්පතක් ගැන ද කරලියට පැමිණ තිබේ. ඒ ගැන මීට පෙර ලංකාදීප වෙබ් අඩවිය ඔස්සේ ලිපියක් පළ කැරිණි. අල්ලස් කොමිසම එම සිදුවීම ගැන විමර්ශන ආරම්භ කර තිබේ.

දිගින් දිගටම එල්ලවන චෝදනා ගැන විමර්ශනයක් පැවැත්වීමට නීතිය හා සාමය අමාත්‍යංශය තීරණය කළේ ගිය සතියේය. මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට පොලිස්පතිවරයා තවමත් මාධ්‍ය හමුවක් කැඳවූයේ නැත.  

චෝදනා එල්ලවූ පමණින් කෙනෙකු වැරදිකාරයකු වන්නේ නැත. ප්‍රතිරූපයට හානි කිරීම සඳහා ඇතැම් විට බොරු චෝදනාද එල්ල විය හැකිය. කෙසේ වෙතත් මෙතරම් චෝදනා එල්ලවී සහ ඇතැම් ඒවා සාක්කි සහිතව හෙළිදරව් වෙද්දී පොලිස්පතිවරයා තවදුරටත් තනතුරේ සිටීමෙන් සදාචාරාත්මක අර්බුදයක් ගොඩ නැගෙන බව පොලිස් ප්‍රධානීහුම පවසති.



අදහස් (5)

පොලිස් නිල ඇඳුමේ පැල්ලම්

Senarath Tuesday, 25 September 2018 06:35 AM

මේ පොලිස්පති ගැන කතාකරලා අපේ කාලය නාස්ති කරගැනීම අපරධයක්. කෙටියෙන්ම කියනවනම්, අපේ රටේ පොලිස් ඉතිහාසයටම පත් උණු නරකම පොලිස්පති .

:       38       512

lalith Wednesday, 26 September 2018 04:30 PM

පුහුණුව මදිකමෙන්නේ ඔහොම වෙලා තියනවා කියන්නේ. ඒකනේ ස්කොට්ලන්ඩ් යාඩ් පුහුණුවකට යවන්න යන්නේ.

:       71       27

aaaaa Friday, 28 September 2018 04:45 PM

මේ දේවල් රජයේ හැම ආයතනයකම තියෙනවා. ඒවා වෙනස් කරන්න ඕනේ........

:       1       15

Deepal Nirosh Thursday, 04 October 2018 04:47 AM

රටේ විශ්‍රාමික හමුදාපතිවරයාට පුළුවන් නම් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමතිවරයෙකු වෙන්න, ඇයි පොලිස්පතිවරයාට ඒ පාරෙ යන්න බැරි?

:       0       0

චුටි මැණිකේ මදනායක Friday, 12 October 2018 03:23 PM

පොලිස්පති හොඳයි තියාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 108 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 135 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 123 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 150 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1680 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 765 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site