2005 වසරේ සිට, වසර 19 ක් තිස්සේ, වසා දමා තිබුණු අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය, මීට දින කීපයකට පෙර මහජනතාවට විවෘත කෙරුණි. ඒ, වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුවය.
අරලියගහ මන්දිරයට යාබදව ඉදි කර තිබුණු ආරක්ෂක කුටි කොළඹ මහ නගර සභාව විසින් මේ වනවිට ඉවත් කරනු ලැබ තිබේ. ඒ අනුව, ‘අරගලයෙන්’ පසු, අගමැති නිල නිවස හෙවත් අරලිය ගහ මන්දිරය යළිත් කාගේත් අවධානයට ලක් වී අවසන්ය.
අරලිය ගස්වලින් සහ සුදෝ සුදු අරලිය මලින් පිරි උද්‍යානයකින් සමන්විත බැවින්ම, කොළඹ 3, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 150 ලිපිනයේ පිහිටි මහල් දෙකකින් සමන්විත අරලියගහ මන්දිරය’ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වෙයි. ලන්දේසි පාලන අවධිය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන මෙම මන්දිරය, වසර 200 කටත් වඩා පැරණිය. ලන්දේසි පාලන අවධියේ දී ස්කාගාරයක් වූ මෙහි මුල් ගොඩනැගිල්ල හැඳින් වූයේ ‘දි බ්‍රැන්ඩරි’ යන නමිනි. 1796 වසරේ, බ්‍රිතාන්‍යයන් වෙරළබඩ ප්‍රදේශ අත්පත් කර ගනිද්දී, එම ස්කාගාරයේ හිමිකරු වූයේ ඩැනියෙල් ඩිට්ලොෆ් නමැති සිටුවරයාය.
ඩැනියෙල් ඩිට්ලොෆ් සිටුවරයා, ලංකාවෙන් නික්ම ගිය පසු, ෆ්‍රෙඩ්‍රික් බැරන් මයිලියුස් නමැති බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ ලන්දේසි ජාතිකයාගේ පෞද්ගලික නිල නිවස බවට පත් වූයේ මෙම මන්දිරයයි. ස්කාගාරයක් ලෙස පැවැති ගොඩනැගිල්ල, නිවහනක් ලෙස භාවිතයට ගත හැකි පරිදි මුල් ගොඩනැගිල්ල වෙනස් කර ඇති අතර එම සැලැස්ම වසර 150ක් පමණ නොවෙනස්ව පැවැතිණි.
1805 දී මයිලියුස්ගේ අභාවය සිදුවිය. 1903 වසරේ දී මෙම මන්දිරය රජය සතු වනතුරුම යුරෝපීය ජාතිකයන් වරින් වර මිලට ගෙන පෞද්ගලික නිවහනක් ලෙස භාවිත කර ඇත. මෙම නිවහන ‘අරලියගහ මන්දිරය’ (Temple Trees) ලෙස නම් කරනු ලැබ ඇත්තේ 1856 දී මෙම මන්දිරය මිලට ගත් ජෝන් ෆිලිප් ග්‍රීන්ය. මන්දිරය අලංකාර කිරීමටත්, වර්තමානයේ පවතින අකාරයට උද්‍යානය නිර්මාණය කිරීමටත් ඔහු විසින් විශාල ධනයක් වැය කළ බව පැවැසෙයි.
1892 දී සිදු වූ ජෝන් ෆිලිප් ග්‍රීන්ගේ අභාවයෙන් පසු අරලියගහ මන්දිරයේ හිමිකරු වූ ඔහුගේ සොහොයුරු ස්ටැනිෆෝත් ග්‍රීන්ට මෙම භූමියෙහි ලංකාවේ ප්‍රථම අයිස් කර්මාන්තශාලාව අරම්භ කිරීමට ඉඩ සලසා දුන් බව ද පැවැසෙයි. ස්ටැනිෆෝත් ග්‍රීන්ගේ අභාවයෙන් පසු ‘අරලියගහ මන්දිරය’ සහ අයිස් කර්මාන්තශාලාව වෙන්දේසි කළ අතර එය මෙසර්ස් ටැරන්ට්, හෙන්ඩර්සන් සහ සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත. හෙන්ඩර්සන් ‘අරලියගහ මන්දිරය’ සිය වාසස්ථානය බවට පත් කර ගෙන ඇති අතර 1899 වසරේ දී ලංකාවේ උපආණ්ඩුකාර පදවිය දැරූ ශ්‍රීමත් එවෙරාඩ් ඉම් තර්න් හට එය කුලී පදනම මත ලබා දී ඇත.
අරලියගහ මන්දිරය රජය විසින් මිලට ගෙන ඇති අතර, 1903 වසරේ නොවැම්බර් මස සිට ලංකාවේ උපආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිත කර ඇත. ශ්‍රීමත් එවෙරාඩගෙන් පසු උපආණ්ඩුකාර ධුරය අහෝසි කර ඒ වෙනුවට යටත්විජිත ලේකම් ධුරය පිහිටුවීය. ලංකාවේ ප්‍රථම යටත්විජිත ලේකම්වරයා වූයේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ඈෂ්මෝර්ය. ඔහුගේ පටන් 1931 වසරේ ඩොනමෝර් කොමිසම මගින් යටත්විජිත ලේකම් ධුරය අහෝසි කර ඒ වෙනුවට මහලේකම් ධුරය ඇති කරන තුරුම සියලුම යටත්විජිත ලේකම්වරුන්ගේ නිල නිවස වූයේ අරලියගහ මන්දිරයයි.
1925 වසරේ දී ආණ්ඩුකාර නිල නිවස වූ ‘රැජින නිවස’ අබලන් වීම නිසා, එවකට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි සහ ආර්යාව, ‘අරලියගහ මන්දිරයේ’ කලක් වාසය කර ඇත. මෙරට ප්‍රථම මහලේකම් වූ ශ්‍රීමත් හෙන්රි බෝදිලියන්ගේ සිට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ග්‍රේම් ටයිරෙල්, ශ්‍රීමත් මැන්වෙල් වෙඩර්බර්න්, ගයි ස්ටැන්ලි වොඩ්මන්, රොබට් ඩ්‍රේටොන්, ශ්‍රීමත් චාර්ල්ස් කොලින්ස් දක්වා සියලු මහලේකම්වරුන්ගේ නිල නිවස වූයේ ද අරලියගහ මන්දිරය’ යි.
රජයේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාස්තු විද්‍යාඥ වයින් ජෝන්ස්, අග්‍රාමාත්‍ය නිල නිවසකට උචිත අයුරින් අරලියගහ මන්දිරයේ අලුත්වැඩියා කළ අතර, 1948 ජනවාරි 19 වන දින ඩී.ඇස්. සේනානායක මැතිතුමා අරලියගහ මන්දිරයේ වාසයට පැමිණියේය. 1948 වසරේ දී, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බවට අරලියගහ මන්දිරය පත්විය. ඒ අනුව ‘අරලියගහ මන්දිරය’ සිය නිල නිවස බවට පත් කරගත් ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී.ඇස්. සේනානායක මැතිතුමාය.
අරලියගහ මන්දිරය වරින්වර අවස්ථා ගණනාවකදී අලුත්වැඩියා කෙරුණි. නවාංග එකතු කෙරුණි. එසේ වුවත්, ඝනකම් බිත්ති, වාතාශ්‍රය ඇති ඉඩකඩ සහිත කාමර, වා කවුළු සහිත විශාල දොර ජනෙල්, ක්‍රමයෙන් පහළට බෑවුම් වන උළු සෙවිලි කළ උස් වහල යනා දී ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය පිළිඹිබු කරන මෙම මන්දිරය, 1948 වසරේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වෙයි.
(***)
ලුසිත ජයමාන්න
අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය ඇසුරිනි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව නිල එකඟතාවකට පැමිණියේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදාය. එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය මුදලෙහි පළමු වාරිකය එද
ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ
සිලින්ඩර් පක්ෂය යනුවෙන් බොහෝ දෙනා පහසුව පිණිස හඳුන්වන මෙවර ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි
ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචා
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පවුරු බිඳ දැමූ අගමැති නිල නිවස
Nimal Tuesday, 15 October 2024 06:28 PM
ලංකාවේ ඉතිහාසය පිළිබඳ කියාපාන පෞරාණික ගොඩනැගිලි ආරක්ෂා කරගත යුතුවේ.
Dharmasena Wednesday, 16 October 2024 03:04 PM
මේවා නම් අනවශ්‍ය වැඩ. තව කරන්නට ඕනෑ දේවල් ඕනෑතරම් තියෙනවා.
chandima Thursday, 17 October 2024 08:51 PM
සංචාරක හෝටලේකට නම් මරු...
චතුරි Friday, 18 October 2024 01:53 AM
මේවගේ පොඩි දේවල්. වලින් තමයි රටේ සම්පත් රැක ගැනිම පටන් ගත යුත්තේ ඉතාම හොඳයි. යුද්ධය ඉවර වෙලා සෑහෙන කාලයක්. අගමැති මොකටද පාර වහගෙන ඉන්නේ තෙල් පුච්චන්. වටෙන් යන්න වුවමනා නැහැ. හොරු බයයි. නිදසසේ ජීවත් වෙන්න. ලෝකේ කාලාවතුර බීපු අය තමයි හිටියේ. අතිගරු කෑල්ලකුත් ඉදිරියෙන් දමාගන. ඒ වගේ කාලකන්නි නැවත මෙම නිවසට එන්නේ නැහැ. වලපයයි, ගොඩපයයි නිසා. නැවත කවදාවත්. මාලිමාව ඇර කිසිවකු රටේ ජනාධිපති, අගමැතිවරු නොවිය යුතුයි. රට ගැන හිතන ජනතාව ගැන හිතන එකම පක්ෂය මාලිමාව. ඊටපසු පටන් ගන්න ජනතා මුදලින් සෑදූ ඩියලුම ගොඩ නැගිලිවලින් නාකි මයිනාගේ නම අයින්කළ යුතුයි. මයිනා මේ ගොඩනැගිලි කිසිවකට බදුනොගෙවන හෙයින්....
SamareTuesday, 22 October 2024 07:36 PM
1971 ජේවීපී කැරැල්ල පටන් ගන්න ගියේ සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයට බෝම්බ ගහලා. ඒක අහුවුනා. ඉතින් දැන් ත්‍රස්තවාදීන් කවුද? තමුන් තමුන්ට බෝම්බ ගහගන්න සිරිතක් නැති නිසා ඕකේ දැන් දොරවල් ගැලෙව්වත් ප්‍රශ්නයක් නෑ.