IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පොහොර හොරුන්ට ඉහළම දඬුවම් දෙනු

රටේ ජනතාවට බෙදා දීමට මෙරටට ගෙන්වන ලද සහනාධාර පොහොරවලින් රුපියල් කෝටි 100කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු සමාගම් ප්‍රධානීන් 10 දෙනකු පමණ ළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි අප පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පසුගියදා හෙළි කර තිබිණි. ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇති පරිදි එම නිලධාරීන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කිහිපයක ප්‍රධාන තනතුරු දරන්නෝ වෙති.

පොහොර යනු මෙරට ගොවි ජනතාවට අත්‍යාවශ්‍යම ද්‍රව්‍යයක් වෙනවා මෙන්ම බරපතළ වංචා සහ දූෂණවලට ද හේතුවක් වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ගොවීන්ට රුපියල් 350ට පොහොර මිටිය ලබාදුන් කාලයේත් ගොවීන්ට ලැබිය යුතු සහනාධාර පොහොර තමන්ගේ නිවෙස්වල සහ තමන්ට අයත් ගොඩනැගිලි තුළ සඟවාගෙන වැඩි මිලට විකුණා ලාබ ලැබූ නිලධාරියෝ ද සිටියහ. ඉන්පසුව රසායනික පොහොර භාවිතය එක රැයින් නැවැත්වීමට ගනු ලැබූ අමනෝඥ තීරණය මේ රටේ පොහොර භාවිතය වෙනම පැත්තකට හරවනු ලැබීය. එහෙත් ඒ සමඟ උද්ගත වූ තත්වය පාලනය කිරීම සඳහා පිටරටින් පොහොර ගෙන්වීම යළි ඇරඹීම මේ රටේ සිදුවූ බරපතළ වංචාවක් බවට පත් විය. චීනයෙන් ගෙන්වනු ලැබූ එවැනි එක් පොහොර නැවකින් රටට සිදුවූ අලාභය ඩොලර් මිලියන 68ක් පමණ වූ බව වාර්තා විය. එහෙත් ඒ පාඩුව සිදුකිරීමට වගකිවයුතු කිසිදු නිලධාරියකු සොයාගත නොහැකි වීම මහත් ඛේදවාචකයකි. ඒ අර්ථයෙන් ගත් කල ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නවතම අනාවරණය පෙන්වා දී තිබෙන්නේ පොහොර වංචනිකයන් පිරිසකට වැඩ වරදින බවයි.

වංචාවට හවුල් බවට චෝදනා එල්ල වී ඇති නිලධාරින් පිරිසක් 2018 වසරේ සිට ගොවීන්ට ලබාදීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන්ට ලබා නොදී වංචනික ක්‍රම ඔස්සේ හොරණ, කෑගල්ල සහ මාදම්පේ යන ප්‍රදේශවල විවිධ සමාගම්වලට වැඩි මිලට ලබා දීමෙන් කෝටි ගණනින් මුදල් අයථා ලෙස උපයාගෙන ඇතැයි සඳහන් වෙයි. රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවද ආරංචි මාර්ගවලින් හෙළි වී ඇත.

මෙවැනි බරපතළ වංචාවක් නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයන් හෝ කිහිප දෙනකුට පමණක් එකතු වී සිදු කළ නොහැක. ඒ සඳහා සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක කළ යුතුය. පොහොර ආනයනය කළ සමාගම් 18ක නිලධාරීන් සමඟ කූට ලේඛන සහ බිල්පත් සැකසීමට හවුල් වූ පුද්ගලයනුත්, එම පොහොර වැඩි මිලට ලබාගත් ආයතනවල ප්‍රධාන නිලධාරිනුත් ඉතා සංවිධානාත්මකව වසර කිහිපයක් තිස්සේ මේ වංචාව සිදුකරගෙන ගොස් ඇති බව පැහැදිලිය. එම වංචාව රහසක් වශයෙන් තබා ගැනීමට ක්‍රියා කළ සියලු‍ නිලධාරීහු මේ මහා වංචාවේ චූදිතයෝ වෙති.

මහජන මුදල් මේ ආකාරයට පිල්ලි ගැසීම හෙණ ගහන අපරාධයකි. එයින් රටට බත සහ එළවළු, පලතුරු සපයන ගොවීන් පමණක් නොව කෘෂිකාර්මික කටයුතු හරහා ඍජු නොවන ආදායම් උපදවන පිරිස ද අමාරුවේ වැටී සිටිති. තමන්ගේ මල්ල පිරෙයි නම් රටේ ජනතාවට කුමක් වුණත් කමක් නැතැයි සිතන මෙවැනි වංචනික නිලධාරීන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදිය යුතුය.

මෙම වංචාවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සිය සමීප ඥාතීන්ගේ නමින් පොහොර සමාගම් ලියාපදිංචි කර මෙම සහනාධාර ඔවුන්ගේ කර්මාන්තශාලා වෙත ලබා දී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. රුපියල් කෝටි 100කට අධික වංචාවක් වසර කිහිපයක් තිස්සේ ඉතා සංවිධානාත්මක ආකාරයෙන් පවත්වාගෙන ගිය බවට එයම කදිම උදාහරණයකි.

රාජ්‍ය ආයතනවලට සම්බන්ධ මහා පරිමාණ දූෂණ සහ වංචනික සිදුවීම්වලට දේශපාලන බලවතුන්ගේ සහාය ලැබීම ද පොදු සාධකයකි. අඩුම තරමින් දේශපාලන සබඳතා ඉහළින් පවත්වාගෙන යන නිලධාරීන් හෝ මෙවැනි වංචනික ක්‍රියාවල හවුල්කරුවන් වන බව ප්‍රකට රහසකි. එවැනි තත්වයක් පැවතුණත් නැතිවුණත් වසර ගණනාවක් තිස්සේ සිදු වූ පොහොර වංචාවක සුලමුල අනාවරණය කර ගනිමින් එහි සැකකරුවන්ට දැල එළීමට පියවර ගත් සියලු‍ දෙනාට රටේම ප්‍රශංසාව හිමිවන බව සඳහන් කළ යුතුය.

(***)



අදහස් (0)

පොහොර හොරුන්ට ඉහළම දඬුවම් දෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 147 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 128 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site