IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළාත් පාලන නියෝජිත වෙනසක්?

 “මොනවටද මේ මැතිවරණ?”

ජනතාවගේ ඡන්දෙන් පත්කර ගන්නා පළාත් පාලන ආයතන

341 ක් - ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා මෙතුවක් කල් මැතිවරණය ප්‍රමාද කර තිබියදී ඒවා නොතිබුණු වගක් හෝ දැනුණිද? ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවක්, ප්‍රදේශයේ දෛනික කටයුතුවල බිඳ වැටීමක් දැනුණිද? එවැනි අඩුවක් දැනුණි නම්, අවුරුදු 02 ක් පුරා පළාත් පාලන මැතිවරණය ඉල්ලා ජනතාව පාරට නොබැස්සේ ඇයි?

 

නොතිබුණත් කමක් නැති පළාත් පාලන ආයතන

අවංකව කිවහොත් පසුගිය අවුරුදු 02 ක කාලයේ මට අදාළ පළාත් පාලන (ප.පා.) ආයතනයේ මහජන නියෝජනයක් නොවුණේ යැයි කිසිදු හැඟීමක් නොවුණි. අනෙක් හැමටත් එසේම වූවාට කිසිදු සැකයක් නැත. එයට එකම හේතුව, මහජන නියෝජනයක් නොතිබුණු පසුගිය අවුරුදු 02 ක කාලයේ සහ ඊට පෙර අවුරුදුවල මහජන නියෝජනයක් තිබූ පළාත් පාලන ආයතන අතර කිසිදු වෙනසක් නොවීම ය. ප්‍රදේශයේ දෛනික කටයුතු පෙර පරිදිම පළාත් පාලන කාර්යාලයේ සේවක පිරිස් විසින් සුපුරුදු පරිදි දිගටම කෙරුණි.

එසේ නම් මහජන මුදල් කෝටි ගණන් වැය කර පළාත් පාලන ඡන්ද පවත්වා මහජන නියෝජිතයින් පත් කරන්නේ කුමටද? ප්‍රශ්නය, ඒකට උත්තරය ඡන්දදායකයන් නොදැනීම ය. ඡන්දෙන් පත් කළ මහජන නියෝජිතයින් පාලනය කළ පළාත් පාලන ආයතනවලද වැදගත්කමක් ප්‍රදේශයට හා ප්‍රදේශවාසීන්ට නොදැනෙන්නට හේතු කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම කාරණාව වන්නේ, පළාත් පාලන මැතිවරණවලදී තම බල ප්‍රදේශයෙහි අවශ්‍යතා කිසිවක් ගැන අපේක්ෂකයන් සහ ඡන්දදායකයන් කතා නොකිරීම ය. පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඡන්දය ඉල්ලන්නේ ඔවුන්ගේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවෙහි රඟන ජාතික දේශපාලනය වෙනුවෙන් ය. ඔවුන් කිසිවකුට ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් හා පහසුකම් දියුණු කිරීමක් ගැන කතා නැත. එබැවින් පළාත් පාලන ආයතන කුමටදැයි යන්නට උත්තර කාටවත් අවශ්‍ය වන්නේද නැත.

 

පැවති පළාත් පාලන ආයතන සතු අවමාන

පළාත් පාලන ආයතන සම්බන්ධ ජනතා විශ්වාසය හා ඒවා සතු වලංගුභාවය පිළිබඳ සමාජීය ආරවුලක් ඇත. ඒවා පත්කර ගන්නේ කුමටදැයි සහ ජනතා නියෝජිතයන් ලෙස ඒවායේ අසුන් ගන්නට තරග කරන්නේ කුමටදැයි අපේක්ෂකයන් නොදැන සිටීමත් දැන ගැනීමට වුවමනාවක් නොතිබීමත් ප්‍රධාන හේතුවකි. ඡන්දදායකයා එය ප්‍රශ්න නොකිරීමත් හේතුවකි. එය විසඳාගත යුතු ලොකු ආරවුලකි.

එවැනි අනවබෝධයක් සමග පළාත් පාලන ආයතන බාල්දු වන්නට තවත් හේතුවක් වන්නේ ඒවායේ “කොට්ඨාස” සීමා නිර්ණය, දේශපාලනීකරණය වීමය. එමගින් ගමේකම, “කුල” සම්බන්ධතා ආදිය සලකණු ලැබීමත්, ඒ හේතුවෙන් ඇතැම් සුළුතර ආගමික, වාර්ගික පිරිස්වලට සහ සාම්ප්‍රදායික නියෝජනයක් තිබූ ප්‍රජා කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුවන්නේ යැයි පැමිණිලි ඇත. එවැනි “ජල්බරි” සඳහා ඉඩ හදනු ලැබුවේ 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතෙන් පත් කෙරෙන “ජාතික සීමා නිර්ණ කමිටුව” පාර්ලිමේන්තුවට වග නොවන, පළාත් පාලන විෂය බාර ඇමතිවරයාට බාර කෙරෙන කමිටුවක් වීමෙනි.

මේ දේශපාලනීකරණය තුළ ඇති ලොකුම වංචාව වන්නේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ දිස්ත්‍රික් මට්ටමේ දේශපාලනය වෙනුවෙන් පළාත් පාලන ආයතන සභිකයන් මහජන මුදලින් නඩත්තු කර ගැනීමය. ජ.වි.පෙ තම පක්ෂ අරමුදලට එම බදු මුදල් බැර කර ගැනීම තමන්ට කෙරෙන වංචාවක් යැයි ඡන්දදායකයන් සිතන්නේ නැත.

ඒ සමාජීය නොසැලකිල්ල හමුවේ ප්‍රාදේශීය දේශපාලනය සඳහා පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව දෙගුණ කර ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීන්දු කිරීමත් අරුමයක් නොවේ. ඒ අනුව 2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතෙන් ජනතා නියෝජනයෙහි බරපතළ විකෘතියක් කෙරුවේය. එතෙක් 4,500 ක් පමණ වූ මන්ත්‍රී සංඛ්‍යාව කිසිදු වැදගත් හේතු දැක්වීමක් නොමැතිව සහ සමාජ සංවාදයකින් තොරව 8,327 දක්වා වැඩි කෙරුණි. මැතිවරණ ක්‍රමයේද වෙනසක් සිදු කරමින් කොට්ඨාස මටට්මින් හා අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරුන් පත් කිරීම නීතිගත කර ගනු ලැබුවේ කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, දේශපාලනිකව අලෙවි කිරීමෙනි.

ජනතා නියෝජනය දෙගුණ කළ පමණින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙහි ගුණාත්මක තත්වය වර්ධනය වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය ලෙස පුළුල් වන්නේ මැතිවරණ ක්‍රියා පටිපාටියෙහි ජනතාවගේ දැනුවත් සහභාගිත්වය හා දේශපාලන පක්ෂ සතු ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත් අනුව ය. 2018 පෙබරවාරියේ පැවති මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 8,327 ක් පත් කිරීමෙන් ප්‍රාදේශීය පාලනයේ වූ ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය හා වගවීම කුමක්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර හාස්‍යජනක විය හැක. දිස්ත්‍රික් දේශපාලන නායකයන් ඔවුන්ගේ ප්‍රදේශීය “ඔටු වැඩ” සඳහා මහජන මුදලින් නඩත්තු කර ගනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීන් 4,500 සිට 8,327 දක්වා වැඩිකර ගනිමින් ඒ සඳහා ජනතා මුදල් දෙගුණයකින් කොල්ල කෑම නම් සිදු විය.

 

“චින්තනය”බරවා රෝගයෙන් පෙළෙන විට

ජනතා නියෝජනය සම්බන්ධ මේ “බරවා රෝග” චින්තනය වෙනස්කර ගත යුතුව ඇත. ඒ වෙනස්කර ගැනීම අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවේ සිටම සිදුවිය යුත්තකි. මහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙහි 1945 මහ මැතිවරණයේදී පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 640 කි. අගමැති වූයේ ලේබර් (කම්කරු) පක්ෂයේ ක්ලෙමන්ට් ඇට්ලී ය. විපක්ෂ නායක වූයේ කොන්සවටිව් නායක වින්ස්ටන් චර්චිල් ය. එදා සිට මේ දක්වා අවුරුදු 80 ක කාලයේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වී ඇත්තේ 10 දෙනකුගෙන් පමණි.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ, 1950 දී මන්ත්‍රී සංඛ්‍යාව වූයේ 489 කි. එය 1989 දී 531 දක්වා වැඩි වී තිබිණ. පසුගිය 2024 මැතිවරණය වනවිට ලොක් සභා මන්ත්‍රී සංඛ්‍යාව වූයේ 545 කි. අවුරුදු 74 ක් තුළ 1950 දී මිලියන 359 ක් වූ ජනගහනය 2024 වන විට මිලියන 1,092 කින් වැඩි වී තිබූ ඉන්දියාවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ඇත්තේ 56 කින් පමණි.

පුරවැසියා, ඡන්දදායකයා නිවට වන, දීන වන තරමට, ඉහළ මහල හිස් දේශපාලනඥයන්ගේ කෙරුවාව අත්තනෝමතික වන්නේ ය. හැම කාරණයකදීම ලෝකයේ නැතිනම් ආසියාවේ “ලොකුම” දේ අපේ යැයි උජාරුවෙන් කියන බොල් මානසිකත්වයකින් පෙළෙන අපි, 1947 පළමු පාර්ලිමේන්තුවට පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරුන් 101, අවුරුදු 12 ට පසු පැවති 1960 මාර්තු මැතිවරණයේදී 151 ක් දක්වා ඉහළ දමා ගතිමු. 1977 මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 168 ක් පත්කර ගතිමු. අනතුරුව 1989 මැතිවරණයේ සිට මන්ත්‍රීවරුන් 225 ක් පාර්ලිමේන්තුවට පත්කර ගන්නෙමු. අවුරුදු 42 ක දී මන්ත්‍රී සංඛ්‍යාව එලෙසින් දෙගුණයකටත් වැඩියෙන් ඉහළ දමා ගැනීමෙන් ජනතාවට ලැබුණු ප්‍රයෝජනය, වාසිය කුමක්ද?

කොළඹ මහ ආණ්ඩුව සතුවූ පළාත් සංවර්ධන කාර්යයන් හා පළාත් පාලන බල තල සියල්ල ඉන්දු-ලංකා ගිවිසුමට අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988 පිහිටවූ පළාත් සභා වෙත පැවරූ පසුව, ඉතිරි වූ ජාතික තලයේ වගකීම් සඳහා අපට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු ඉන්නා පාර්ලිමේන්තුවක් කුමටදැයි අපි තවමත් කතා නොකරන්නෙමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී මන්ත්‍රී සංඛ්‍යාව 300 ඉක්මවා යෑමටත් යෝජනා ඇත.

මධ්‍යම ආණ්ඩුව සමග වන එවැනි බල හවුලක, ඉන්දියාවේ ප්‍රාන්ත ජනතාව තම ජාතික වගකීම් වෙනුවෙන් ලොක් සභාවට තෝරා පත් කරනු ලබන්නේ මන්ත්‍රීවරුන් දුසිමක් දෙකක් වැනි සුළු සංඛ්‍යාවකි. අප ජනගහනය මිලියන 22 ක් සඳහා මන්ත්‍රීවරුන් 225 ක් පත්කර ගත්තද, ජනගහනය මිලියන 80 ක් ඉන්නා තමිල්නාඩුව ඉන්දීය පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ මන්ත්‍රීවරුන් 42 කි. මිලියන 26 ට වැඩි ජනගහනයක් ඉන්නා හර්යානා ප්‍රාන්තයේ ජනතාව ලොක් සභාවට පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන්ගේ මිලියන 26 ට වැඩි ජනතාවක් වෙනුවෙන් හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 95 කි. මිලියන 06 ක් පමණ වන ජනගහනයක් ඉන්නා බස්නාහිර පළාත් සභාවට අපි මන්ත්‍රී සභිකයන් 104 ක් පත් කර ගනිමු.

 

අපේ කතාවට බැස්සොත්

කතාව මෙතැනින් අවසන් කරමි. පැහැදිලිවම කිසි ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට, සමාජ වගකීමකට රුකුලක්, බැඳීමක් නොවන, අනවශ්‍ය යෝධ මහජන නියෝජන ආයතන නඩත්තුව සඳහා මහජන මුදල් කෝටි ගණනින් අපි හැම අවුරුද්දකම වැය කරන්නෙමු. බරවා කකුල් වැනි මේ ආයතන, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අනවශ්‍ය විශාල සංඛ්‍යාවක් වන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 50 ට වැඩි සංඛ්‍යාවක් වහා හළා දැමිය හැකිය. හළා දැමිය යුතුය. මේ ආයතන, විශේෂයෙන් පළාත් පාලන ආයතන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයකට පරිවර්තනය කර ගත යුතුය. ඒ සඳහා, තරග කරන පක්ෂ හා කණ්ඩායම් අදාළ ආයතනික බල ප්‍රදේශයේ අවශ්‍යතා සඳහා තම ප්‍රාදේශීය සංවර්ධන සැලසුම නාම යෝජනාවලට පෙර මැතිවරණ කොමිසමට බාර දිය යුතු අතර මැතිවරණ කොමිසම එම සැලසුම්, නාම යෝජනා බාර ගන්නා දිනයේ හෝ ඊට පෙර ප්‍රසිද්ධ කළ යුතු බවට ව්‍යවස්ථා සංශෝධනයක් සමග මැතිවරණ පනත් සංශෝධනය කළ යුතුය.

පළාත් පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ජන සහභාගිත්වය එන්නේ එමගින්ම නොවේ. එය තහවුරු කෙරෙන්නේ, පළාත් පාලන ආයතනවල බලයට පත්වන පක්ෂය හෝ කණ්ඩායම තම ප්‍රාදේශීය සංවර්ධන සැලසුම සඳහා වන අයවැය සමග, එයට සංශෝධන ඉදිරිපත් කිරීමට ජනතාවට ඇති අයිතියට යටත්ව ප්‍රදේශයේ ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම සැලසුම තම පළාත් පාලන සභාවෙහි සම්මත කර ගැනීමෙනි. මන්ත්‍රී නියෝජනය අවම සියයට 50 කින් කප්පාදු කළ පසු මාසිකව ඉතිරිවන මුදලින් කොටසක් සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් වැය කිරීමේ කිසිදු පාඩුවක් නැත. ඒ සඳහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය විය යුතුය. තුනෙන් දෙකක බහුතර බලයක් ඇති මේ ආණ්ඩුවෙන් ඒ සමාජ වගකීම වහා ඉටු කරන මෙන් අප ඉල්ලා සිටිය යුතුය. නොඑසේ නම්, අපේ බදු මුදල් අපේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් නාස්ති වූවාට කම් නැතැයි අප ප්‍රසිද්ධියේ පිළිගත යුතුය.

(*** කුසල් පෙරේරා)



අදහස් (2)

පළාත් පාලන නියෝජිත වෙනසක්?

Chinthaka Thursday, 27 February 2025 04:28 AM

ඇත්තටම ඔය ආයතන සඳහා පවතින පනත් සංශෝධනය කර එම ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ එක් අංශයක් ලෙසට ඒකාබද්ධ කර තවත් සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙක් අනුයුක්ත කළාම හොඳටම ඇති නේද?

:       0       2

pj Saturday, 01 March 2025 06:55 AM

ග්‍රාම නිළධාරි බලතල සහ තරුණ සේවා සභාව විධිමත් කර පළාත් සහ ප්‍රාදේශීය සභා අවලංගු කිරිම වටී....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 218 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 86 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 173 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 225 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 871 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site