රට තුළ නීතිය හා සාමය රැකගැනීම සඳහා පැරණි සිංහල රජ දවස සිටම නිලධාරීහු පත් කර සිටියහ. පණ්ඩුකාභය රජ දවස ගම් පාලනය කළ ‘‘ගමික’’ නමැති නිලධාරියකු ගැන සඳහන්වන අතර ඔහුගේ රාජකාරිය නීතිය හා සාමය රැකීමට සමානය. උඩරට රාජ්‍ය කාලයේ කටුපුල්ලේ නිලධාරීන් ලෙස මුරසේවයට යොදාගත් පිරිසක් සිටි අතර ඔවුහු නීතියෙන් වැරදිකරුවන් වූ පිරිස සිරගෙය වෙතත් මරණීය දණ්ඩනයට යටත්වූවන් ගහලයන් වෙතත් ගෙන ගියහ.
ඉංගිරිසින් උඩරට අල්ලා ගත් පසු ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ ජෝන් ඩොයිලි ලියූ ‘‘සිංහලේ ආණ්ඩුක්‍රමය’’ නම් ග්‍රන්ථයේ උඩරට රජුගේ පොලිස් නිලධාරීන් ගැන මෙවැනි ඡේදයක් අඩංගුය.
‘‘මහනුවර පොලීසිය අදිකාරම්වරුන් භාරයේ පවතී. මේ සඳහා නගරය ස්වර්ණ කල්‍යාණ වීදියේ හරි මැදින් වැටුණු රේඛාවකින් දෙකට බෙදෙයි. උතුරු කොටස පල්ලේ ගම්පහේ අදිකාරමගේ අණසකටද දකුණු කොටස උඩ ගම්පහේ අදිකාරමගේ අණසකටද යටත්ය. පුරාණයේදී හිරගේ කන්කානමලා දෙදෙනෙක්ද වීදියේ ආරච්චිලා හතර දෙනෙක්ද ඔවුන් යටතේ පොලිස් නිලධාරීන් ලෙස සේවය කළහ.’’
මෙරට පැරණිතම පොලිස් ස්ථානය ස්ථාපිත කළේ ලන්දේසීන්ය. කොටුවේ සහ කයිමන් දොරකඩ (අලුත්කඩේ) මෙම පොලිස් ස්ථාන දෙක විවෘත කෙරිණි. බ්‍රිතාන්‍යයන් කොළඹ නගරය අල්ලාගත් පසු හමුදා නිලධාරීන්ට නීතිය හා සාමය ඇති කිරීමේ කාර්යය භාරවිය. පසුව ඒ සඳහා ‘‘කොස්තාපල්’’ නමැති නිලධාරීහු පිරිසක් සේවයට එක් කරන ලදී. මෙම නිලධාරීන් භාරව ප්‍රධාන පොලිස් අධිකාරි නම් අලුත් තනතුරක් 1866 දී ඇති කළ ඉංගිරිසීහු ඒ සඳහා ඉන්දියාවේ බොම්බායේ පොලිස් ප්‍රධානියාවූ ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් පත්කළහ. 1867 දී එම තනතුර පොලිස්පති ලෙස වෙනස් කර ඔහුගේ මූලස්ථානය මරදාන දුම්රිය පොළට අල්ලපු ඉඩමේ ඉදිකෙරිණි. ඉංග්‍රීසීන් මෙරට ඇතිකළ පොලීසියේ ප්‍රථම මූලස්ථානය වූ මරදාන පොලිස් ගොඩනැගිල්ල ඉන් වසර තුනකට පසු සිංහල මුස්ලිම් පෙම් යුවළකගේ අහිංසක ප්‍රේමයක් හේතුවෙන් ඇතිවූ ප්‍රචණ්ඩ කෝලාහලයක දී සම්පූර්ණයෙන්ම ගිනිබත් කෙරිණි. එහිදී ප්‍රචණ්ඩ වූ පිරිස කෝලාහලය මැඩ පැවැත්වීමට තම භටයන් සමග ආ පොලිස්පති කැම්බල්ගේ මුහුණට ගඩොල් බාගයකින් දමා ගැසූහ. මෙම මහා කෝලාහලයට හේතුවූ පෙම්වතිය වූයේ මුස්ලිම් දැරියකවූ මීනාච්චි ය. එවකට දාහතර වැනි වියේ පසුවූ ඇය ජීවත්වූයේ මරදාන පොලිස් මූලස්ථානයට ඔබ්බෙන් පිහිටි මුස්ලිම් ජනාවාසයක ය. ඇගේ මව නිවසේ යම් අලුත්වැඩියාවක් සඳහා මොරටුවේ වඩුකාර්මිකයකු වූ සෙලෙන්චි අප්පු නමැත්තකු කැඳවා ගත්තාය. විසිපස් වැනි වියේ වූ ඔහු සමග ඉතා කෙටි කලකින්ම පෙම් සබඳතාවක් ඇරඹූ මීනාච්චි සෙලෙන්චි ගේ මොරටුව නිවසට පලා ගියාය. දැරියගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සෙල්වි නමැති විනිසුරුවරයකු දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ අතර පොලිසිය මොරටුවේ සෙලෙන්චි ගේ නිවසට ගියද ඔහුගේ ඥාතීන් මෙම පෙම් යුවළ ආරක්‍ෂා කර පොලිසිය ආපසු හැරවීය. දැරිය කියා ඇත්තේ තමා පෙම්වතා සමග විවාහ වන බවය.
කෝපාවිශිෂ්ඨ වූ මීනාච්චි ගේ ඥාතීහු දැරිය ඉල්ලා මරදානේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කෝලාහාල කළහ. ක්‍රමයෙන් මේ කෝලාහාලයට දහස් ගණනක් එක් රැස්වූහ. ඔවුන් රැඳී සිටියේ ඒ අසලම ඇති මරදාන මුස්ලිම් පල්ලියේ ය.
පොලිස් ප්‍රධානී කැම්බල් පිරිස සංසුන් කිරීමට උත්සාහ කළේය. පළමුව ලැබුණේ හූ සංග්‍රහයකි. පොලිස්පතිවරයා ආයුධ සන්නද්ධ පොලිස් බළකායක් තමා ඉදිරියට කැඳවූයේය. කෝපාවිෂ්ඨ වූ ජනතාව ළඟ තිබූ තාප්ප කඩමින් ගඩොල් වැස්සකින් පොලීසිය නැහැවූහ. එක් ගඩොලක් පොලිස්පති කැම්බල්ගේ මුහුණටම වැදුණි. ඊළඟට ළඟ සිටි පොලිස් නිලධාරීහු කීපදෙනෙක්ම ගඩොල් වර්ෂාවට මුහුණ දී ලේ පෙරාගෙන පොලිසිය තුළට දිව ගියහ. පොලිස්පති ද කොර ගසමින් පසු පසට දිව ගියේය. කෝපාවිෂ්ට වූ ජනකාය පොලිසිය තුළට කඩා පැන එහි බිත්ති පෙරලා වීදුරු බිඳ පොලිසියට දැඩි ලෙස හානි කළහ.
පෙම් යුවළක් නිසා පොඩිපට්ටම් වූ පොලිස් මූලස්ථානය යළිත් ශක්තිමත්ව ඉදිකෙරිණි. වර්තමානයේ මරදාන පොලිසිය පිහිටා ඇත්තේ එම භූමියේ ය. 1929 දී කොළඹ මහා ජන අරගලයක්වූ ට්‍රෑම් කාර් වර්ජනයේ දී කලහකාරීන් විසින් මෙම පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් කරන ලදී. මෙම අවස්ථා දෙකේදීම මහජනතාව පොලිසියට පහර දෙන්නට නොබියව ඉදිරිපත්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දණ්ඩන හස්තය අනුකම්පා විරහිතව ජනතාව මත පතිත වූ නිසාය. 1929 දී මරදානේ පොලිස් මූලස්ථානය ගිනිබත් වූයේ ට්‍රෑම් රථ වර්ජනයේ දී පොලිසිය වර්ජකයන්ට එරෙහිව තදින් රාජකාරි කළ නිසාය. 1929 පෙබරවාරි 12 වැනිදා ‘‘සිංහල ජාතිය’’ පුවත්පත එම සිද්ධිය මෙසේ වාර්තා කර ඇත.
මරදානේ බිහිසුණු කෝලහාලය
“පසුගිය කුජදින සන්ධ්‍යා කාලයේ ආරම්භ වූ මේ බිහිසුණු කලහයේ ප්‍රතිඵලයක් වශයෙන් මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව පස් දෙනෙකි. තුවාල වූ ගණන 25 කි. කීප දෙනෙක් එතනම මළහ. මරදානේ පොලිසිය ඉදිරිපිට භූමිභාගය මෙදින එකම හිස් ගොඩක් විය. කෝපයෙන් වෙලීගිය මේ පිරිස පොලීසිය දෙසට ගල් ගසන්නටත් අසල තිබූ මඩු කූඩාරම් හා පොලිසියේ පොත් කාමරය පවා ගිනි තැබූහ. ගිනි නිවීම සඳහා පැමිණි යන්ත්‍ර දෙකක්ද සුණු විසුණු කොට එහි සිටියවුන් පලවා හැර ගිනි තබා විනාශ කරන ලදී...”
පොලීසිය මොනවා කළත් ගිනි ජාලාවෙන් පොලිස් ගොඩනැගිල්ල බේරාගත නොහැකි විය. රාජකීය පාබල හමුදා සේනාංකයක් ගෙන්වා පිරිසට වෙඩි තබන ලද්දේ ඉන් අනතුරුවය. එහිදී පස් දෙනෙක් වෙඩි කා මිය ගියහ. පොලිස් මූලස්ථානය සුන්බුන් ගොඩක් බවට පත්වී තිබිණ. එම වසරේම කොටුවේ අලුතෙන් සපයා ගත් ගොඩනැගිල්ලකට පොලිස් මූලස්ථානය ගෙන ගොස් ඇත. අද ද මරදාන පොලිස් භූමියේ ඇති පැරණි බ්‍රිතාන්‍ය කාලතුවක්කු එම පැරණි යටගියාව සිහිපත් කරන පෞරාණික සංකේත වේ.
(***)
(ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පළමු පොලිස්පතිට මරදානේදී ගඩොල් ප්‍රහාරයක්
anura Saturday, 03 August 2024 11:46 AM
මරදාන පොලීසිය ඉදිරිපිට ඇති පැරණි කාල තුවක්කුව මම දන්නා පරිදි පංචිකාවත්ත පැත්තේ ඇළකින් ලැබුණු දෙයක් මිස ඔතැන අතීතයේ සිට තිබූ එකක් නොවේ...