කොරෝනා වසංගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට සැලසූ සහන ඉමහත්ය. ඇතැම් පුරවැසියන් සේම ඇතැම් ව්‍යාපාරිකයන් ද ඒ සහන අවභාවිත කළ හා කරන බවද තැනින් තැන ඇසෙයි. රජයේ සහන පුරවැසියන්ට ලබාදීමට බැංකුකරුවන් කෙසේ කටයුතු කළ යුතුද යන්න ගැන සේම රජයේ සහන ලබා ගන්නා ව්‍යාපාරිකයන් කටයුතු කළ යුත්තේ කෙසේද යනාදිය ගැන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක සටහනකි මේ.
කොරෝනා වසංගතය ලංකාව තරණය කරන අවස්ථාව වනවිට අපේ රටේ ආර්ථිකය තිබුණේ ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකයටත් පහළිනි. එවැනි ආර්ථිකයක් ගොඩ ගැනීමට සෞභාග්‍යයේ දැක්මක් සහිතව පටන් ගත්තා පමණි. කොරෝනා පැමිණියේ ලොව දියුණු රටවල් අත්පත් කරගෙන තිබෙන සෞභාග්‍ය අප රටෙහිත් උදා කිරීමේ අරමුණෙන් එන්ජිම පීලිගත කරද්දීය. ලංකාවේ ආර්ථිකය අපනයනය මත පදනම් වූවකි. ඇඟලුම් හා ශ්‍රම අපනයනය ඉන් ප්‍රධානය. ඊට අමතරව සාම්ප්‍රදායික භෝග අපනයනය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි කෙරෙන අපනයන තවත් ආදායම් මාර්ග කීපයකි.
එහෙත් කොරෝනා වසංගතයත් සමග ලෝකයේ සෑම රටකම ආර්ථිකයන් වසා දැමීම හේතුවෙන් අපේ සමස්ත අපනයනද නැවැතිණි. ඒ සියල්ල දවසක් ඇතුළත නැවැතිණි. ඒ නිසා යවා තිබූ අපනයනවලට අදාළ මුදල් ද මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවිය. ඇඟලුම් අපනයනයෙන් පමණක් එසේ ලැබීමට නියමිතව තිබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 500කට අධිකය. අපනයනය සඳහා සැකසූ නිමි ඇඳුම් අපනයනය කිරීමටද නොහැකිවිය. යුරෝපයට ඇඟලුම් යවන්නේ ඒ ඒ සෘතුවලට ගැළපෙන අයුරිනි. ඒ සෘතුව ගෙවුණු පසු ඔවුනට ඒ ඇඟලුම් අවශ්‍ය නොවේ. ඒ ප්‍රශ්නය නිසාද අපේ ඇතැම් ඇඟලුම්කරුවෝ අමාරුවේ වැටී සිටිති. ඒ නිසා අපේ ආර්ථිකයට ඇතිවී තිබෙන්නේ ඩොලර් බිලියන සිය දහස් ගණන්වලින් යුතු ප්‍රශ්නය. රටට ගලාගෙන පැමිණි මුදල් ප්‍රවාහය නැවැතීමෙන් සමස්ත ආර්ථිකයම ආකර්මණ්‍ය විය.
ජනපති අගමැති ඇතුළු ආණ්ඩුව ඊට පිළියම ලෙස දුටුවේ මුදල් සංසරණය වැඩි කිරීමය. රටේ මුදල් පාලනය කරන්නේ මහ බැංකුවය. ඒ නිසා මුදල් සංසරණය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ඒ දේශපාලන නායකයෝ මහ බැංකුවෙන් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම මත මහ බැංකුව මුදල් විශාල ප්‍රමාණයක් ආර්ථිකයට ගලා ඒමට අවශ්‍ය පියවරද ගත්තේය. ඒ පියවර අතර ව්‍යාපාර පවත්වාගෙන යාමට එනම් සේවක පඩි නඩි ගෙවීම ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ් ගෙවීම. බිල් ගෙවීම, ගොඩනැගිලි කුලී ගෙවීම ඇතුළු එදිනෙදා වියදම් පියවා ගැනීමට ව්‍යවසායකයන්ට ණය දීම එක් පියවරකි. ඒ ණය කාරක ප්‍රාග්ධන ණය ලෙස හැඳින්වෙයි. ඊට අමතරව සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු තැන්පතු හෙවත් ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයද පහළ දැම්මේය. ඕනෑම වාණිජ බැංකුවක් තමන් ලබා ගන්නා තැන්පතුවලින් සියයට හයක් හතක් තරම් අනුපාතයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. පළමුව එය සියයට හයේ සිට හතර දක්වා ද අනතුරුව හතරේ සිට දෙක දක්වා ද අඩු කිරීමට මහ බැංකුව පියවර ගත්තේය. සරලව කිවහොත් ඕනෑම වාණිජ බැංකුවක් රුපියල් සියයක තැන්පතුවක් භාර ගත්තොත් ඉන් රුපියල් හයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතු විය. එහෙත් දැන් එය රුපියල් දෙක දක්වා අඩුකර තිබේ. වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කරනු ලබන මුදල්වලට කිසිදු පොලියක් නොලැබෙයි. එය පැහැදිලිව පොලියක් නොලැබෙන තැන්පතුවකි.
එසේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකර රුපියල් බිලියන සිය ගණනක් අදාළ බැංකුවලට මුදා හැරීමට මහ බැංකුව කටයුතු කළේය. බැංකු ඒ මුදල් පාවිච්චි කළ යුත්තේ ගනුදෙනුකරුවන්ට ණය දීමටය. රජයේ හා මහ බැංකුවේ අරමුණ වූයේ එයයි. රජය හා මහ බැංකුව එසේ කරන අතරතුර මාස හයක් යනතුරු ණය හා ලීසිං වාරික අයකර නොගන්නා ලෙසද බැංකු හා මූල්‍ය ආයතනවලට දැනුම් දුන්නේය. සියයට හතරේ පොලියට ණය දුන්නේද රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණෙනි. සියයට හතරේ පොලියට ණය දීම සම්බන්ධයෙන් මාර්තු හා අප්‍රේල් මාස දෙකේ චක්‍රලේඛ තුන හතරක් නිකුත් විය. ඒවායේ විධිවිධානද එකිනෙකට වෙනස් විය.
යාවත්කාලීන චක්‍රලේඛය ලෙස බැංකු පිළිගත්තේ අන්තිමට නිකුත් වූ චක්‍රලේඛයයි. ණය නිකුත් කිරීමට ඇතිවූ පමාවට එලෙස චක්‍රලේඛ වෙනස් වීමද හේතුවිය. මහ බැංකුව චක්‍රලේඛ එසේ වෙනස් කළේද සද්භාවයෙනි. අප්‍රේල් මැයි මාසවල රට තිබුණේ සම්පූර්ණයෙන්ම වසාදමාය. ගමනා ගමන කටයුතු ද සිදු නොවිණි. බැංකු සේවකයන් සියලු දෙනාට සේවයට පැමිණීමටද නොහැකි විය. ඒ කරුණු සියල්ලද ණය නිකුත් කිරීම පමාවීමට හේතුවිය. එහෙත් ජනාධිපතිවරයා විසින්ම බැංකු අත්‍යවශ්‍ය සේවයක් කරනු ලැබීම මනා පිටිවහලක් විය.
ආර්ථිකය වසා තිබූ කාලයේ කාටවත් ප්‍රශ්නයක් නොවීය. එහෙත් ආර්ථිකය යළි විවෘත කළ පසු ව්‍යාපාරවල පමණක් නොව ගෘහ ජීවිතයේද එදිනෙදා කටයුතු සක්‍රීය වෙයි. එවිට මුදල් අවශ්‍ය වෙයි. ආර්ථිකය යළි විවෘත කළත් ව්‍යාපාරිකයන්ට තම එදිනෙදා කටයුතු කර ගැනීමට මුදල් නොතිබිණි. බැංකු ගිණුම්වල මුදල් නොතිබිණි. තමන්ට සල්ලි එන ක්‍රම වැසී තිබිණි. ඒ අතර තමන් මුදල් ගෙවිය යුතු පිරිස් පැමිණ මුදල් ඉල්ලති. සේවකයන්ට පඩි නඩි ගෙවීම ගොඩනැගිලි කුලී ගෙවීම යාන වාහන යළි සක්‍රීය කිරීම යනාදී කටයුතු සියල්ලට මුදල් අවශ්‍ය වෙයි. එහෙත් ඒ කිසිවකට ඔවුන් අත මුදල් නැත. සියයට හතරේ පොලියට දීමට යෝජනා කළ කාරක ප්‍රාග්ධන ණය ඉතා ඉක්මනින් මුදාහළ යුතුව තිබුණේ එහෙයිනි. එහෙත් රජයත් පුරවැසියොත් බලාපොරොත්තු වූ වේගයෙන් ඒ ණය දීම ක්‍රියාත්මක වූයේ නැත. එහෙයින් ඔවුහු කනස්සලු වූහ. සහනය වෙලාවට නොලැබුණු නිසා ව්‍යාපාරික කනස්සල්ල ඉහළ නැංගේය. එහෙත් ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ඉතා ඉක්මනින් ව්‍යාපාරිකයන්ට සභන සැලසීමටය.
තම බලාපොරොත්තුව තමා අපේක්ෂා කළ වේගයෙන් ඉටු නොවීම නිසා ජනාධිපතිවරයාද කනස්සල්ලට පත්වූ බව අපි දනිමු. මා පෞද්ගලිකව දකින්නේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් එය සාධාරණ බවය. එසේම ඒ වෙලාව, ඒ කාලය, ඒ යුගය තම තමන්ට තිබෙන සීමාකම්වලින් එපිටට ගොස් රට වෙනුවෙන් වැඩ කළ යුතුව තිබුණු වෙලාවකි, කාලයකි, යුගයකි, සමයකි. එය පුරවැසියන් ලෙස අප කාගේත් යුතුකමටත් වඩා වගකීමක් ලෙස මම දකිමි. අප අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් සටන් කරන්නේ නම් අපේ යුතුකම් හා වගකීම්ද ඉතා ඉහළින් ඉටුකළ යුතුය. ඒ දාන සහ ප්‍රතිග්‍රහණ (Give & Take) පිළිවෙත පවුලකටත්, ව්‍යාපාරයකටත්, බැංකුවලටත් රටටත් අදාළය. එය මුළු ලෝකයම අකර්මණ්‍ය වූ කාලයකි. රට යළි පණ ගැන්වීම කාගේත් වගකීමකි. පුංචි ප්‍රශ්නය විශාල වෙමින් පැවැති බව තේරුම් නොගැනීමද වරදකි. කවුරු කවුරුත් මම කියන පදනමෙන් බැලුවා මිස අපි හා රට කියන පදනමෙන් නොබැලූ බව මගේ වැටහීමයි. එවැනි පසුබිමක ජනාධිපතිවරයා කනස්සලුවීම සහේතුකය. සාධාරණය.
කාරක ප්‍රාග්ධන ණය හැකි ඉක්මනින් වහ වහා නිකුත් කළ යුතුය. ව්‍යාපාරිකයන්ට අද අවශ්‍ය සල්ලි අද නොලැබී හෙට ලැබීමෙන් ඵලක් නැත. එසේ වූ කල ඔවුන් තල්ලු වන්නේ ගිනි පොලීකාරයන් වෙතය. රටේ ආර්ථිකය පෝෂණය කිරීමට උරදෙන ව්‍යාපාරිකයන් ගිනි පොලීකාරයන් වෙත තල්ලු කිරීම අපරාධයකි. මේ වෙලාවේ බැංකුකරුවන්ගේ වගකීම වන්නේ හැකි ඉක්මනින් ණය මුදාහැරීමය. ඒ අතර අප තේරුම් ගතයුතු තවත් පැති ද තිබේ. ඉහළ සිටින අය මොනවා කිව්වත් පහළ තලවලට යන විට තත්ත්ව වෙනස් වන බව තේරුම් ගත යුතුය. සෑම බැංකුවක්ම මහ බැංකුවේ අධීක්ෂණවලට යටත් වෙයි. ඒ සෑම තැනකටම මහ බැංකුවේ විගණකවරු පැමිණෙති. මහ බැංකුවේ සුපරීක්ෂකවරුන් සේම ඒ ඒ බැංකුවල සුපරීක්ෂකයෝ සේම විගණකයෝද පැමිණෙති. බැංකු නිලධාරීන් සද්භාවයෙන් කරන එහා මෙහා කිරීම් මත අර විගණකවරුන්ගේ හා සුපරීක්ෂකයන්ගේ ප්‍රශ්න කිරීම්වලට ඒ බැංකු නිලධරයෝ ලක්වෙති. අවසානයේ තමන්ට ප්‍රශ්නයක් වෙතැයි බැංකු නිලධරයෝ බිය වෙති. එය හැම තැනකම තිබෙන ප්‍රශ්නයකි. එහෙත් මා කියන්නේ අප මේ සිටින්නේ සුවිශේෂ කාලයක බවය. ඉතිහාසයේ කිසි දිනෙක මෙවැනි උවදුරකට අප මුහුණදී නැත. වැටුණු රට ගොඩ නැගීමට පුරවැසියන් කාටත් වගකීමක් තිබේ. එහිදී බැංකුකරුවන්ට පැවරී තිබෙන්නේ අනෙකුන්ට කළ නොහැකි සුවිශේෂ මෙහෙවරකි. ඒ මෙහෙවර ඉටු කිරීම යුතුකමකට වඩා වගකීමකි. එහෙයින් මම ඒ බව මහජන බැංකුවේ සියලු නිලධාරීන්ට විශේෂයෙන් විගණන හා සුපරීක්ෂණ නිලධාරීන්ටද වටහාදී තිබේ. අර සුප්‍රසිද්ධ කතාව පරිදි නීති නොකඩා නැමිය හැකි අවස්ථා තිබේ. රට වෙනුවෙන් අපට එසේ කිරීමට සිදුවී තිබේ. එය යුගයේ අවශ්‍යතාවකි. මහජන බැංකුවේ සේවකයන් ඒ පිළිවෙළට කටයුතු කළ බව මගේ වැටහීමයි. ඒ සම්බන්ධයෙන් අපට මැති ඇමැතිවරුන්ගේ ප්‍රසාදය ද හිමිවී තිබේ.
ව්‍යාපාරිකයන්ගේ පැත්තේද ප්‍රශ්න තිබේ. ඇතැම් ව්‍යාපාරිකයන් හිතන්නේ කොරෝනාවලට පෙර තිබූ තත්ත්වයෙන්ම තමන්ට ව්‍යාපාර කළ හැකි හෝ කළ යුතු බවටය. එහෙත් මගේ වැටහීම අනුව නම් එසේ කළ නොහැකිය. උදාහරණයකට අපි අපනයනයේ නියුතු ව්‍යාපාරයක් ගනිමු. දැන් කොරෝනාවලට පෙර කළ මට්ටමෙන්ම අපනයනය කළ නොහැකිය. ලොව බොහෝ රටවල් තවමත් තිබෙන්නේ වසා දමාය. ඇණවුම් ලැබෙන්නේ පෙරට වඩා අඩුවෙනි. එහෙයින් ලෝකය නැගිටින ස්වභාවය දෙස බලමින් තම ව්‍යාපාර පණ ගැන්වීමට අපේ ව්‍යාපාරිකයන් වගබලා ගත යුතුය. කොරෝනාවලට පෙර පරිදිම එම බැංකුවෙන් මුදල් ලැබිය යුතුය. නිෂ්පාදන පෙර පරිදිම කළ යුතුය කියා යමෙක් කල්පනා කරන්නේ නම් එය එක අතකින් අවදානාත්මක කටයුත්තකි. අනෙක් පැත්තෙන් එය අසාධාරණය හා අතාර්කික සිතිවිල්ලකි. ඒ සිතීම ප්‍රායෝගික නොවේ.
බැංකු පද්ධතිය ව්‍යාපාරික ප්‍රජාවට හා ගනුදෙනුකරුවන්ට උදව් කළ යුතුමය. බැංකු තිබෙන්නේ ඒ සඳහාය. බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරවලින් ලැබූ ලාබ නිවෙස්වලට ගෙන ගොස් තිබේ. ගෙදර ගෙන ගිය ඒ මුදල් දැන් යළි තම ව්‍යාපාරයේම අයෝජනය කිරීමේ වගකීමක් ඒ ව්‍යාපාරිකයන්ට තිබෙන බවද නොවලහා පැවසිය යුතුය. හැම තිස්සේම බැංකුව දෙස බලන අතරේම තම මුදල් ද ව්‍යාපාරයේ ආයෝජනය කළ යුතුය. ව්‍යාපාරය තමන්ගේ මිස බැංකුවට අයිති දෙයක් නොවන බව ව්‍යාපාරිකයෝ තේරුම් ගත යුත්තෝය. මමත් ව්‍යාපාරයට මුදල් ටිකක් දමනවා කියා බැංකුකරුවන්ට පෙන්විය හැකි නම් එවැනි ව්‍යාපාරිකයන්ට බැංකුකරුවන්ගෙන් ලබාගත හැකි සහයෝගය ද වෙනස්ය. සැලකිලි හා සත්කාරද වෙනස්ය. පසුගිය දිනවල සේම දැනටත් මගේ ළඟට ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් පැමිණෙති. තමන්ගේ මුදල් ව්‍යාපාරයට හේතුවන බව ඒ කිසිවකු මා සමග කීවේ නැත. ඔවුන් සියල්ලන්ම බලාපොරොත්තු වන්නේ බැංකුවේ සල්ලිවලින්ම තම ව්‍යාපාරය ගොඩනැගීමටය. ඒ ඔවුන් හිතන හැටිය. මමද ව්‍යාපාරිකයෙක්මි. වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයකු වන මමද ඒ ක්ෂේත්‍රයේ සේවා සපයන ව්‍යාපාරිකයෙක්මි. මා මගේ ව්‍යාපාර ගොඩනැගීමට බලන්නේ මගේ මුදල් යොදවමිනි. නියම පිළිවෙත එය බව මගේ වැටහීමයි. අඩුම තරමින් තමන්ගේ තැන්පතුවක් තම ව්‍යාපාරවල යෙදවීමට කැමැත්තක් නොදැක්වීම බරපතළ කාරණයකි. කනගාටුවට කරුණකි. අයිතිකරුවන් හා කොටස්කරුවන් ව්‍යාපාරයට ආයෝජනය කරන බව බැංකුකරුවා දැන ගත්විට බැංකුකරුවාගෙන් ලැබෙන සහයෝගය තේරුම් ගැනීමට නොහැකිවීම ගැමි ජන වහරේ හැටියට නම් කරුමයකි.
ව්‍යාපාරික ප්‍රජාව දැනගතයුතු තවත් කාරණයක්ද තිබේ. එනම් සියයට හතරේ පොලියකට බැංකුවලින් ණය දෙන්නේ සේවක පඩි නඩි, සේවක අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් ආදායම් බදු යනාදිය ද ගෙවා දැමීම සඳහාය. එහෙත් ඒ කටයුතු සඳහා ණය ගත් ඇතැම් ව්‍යාපාරිකයන් හා සමාගම් සේවකයන්ට ගෙවිය යුතු දේවල් නොගෙවා ඒ මදිවට සේවකයන් ඉවත් කරමින් ද සිටින බවට අපට ආරංචි ලැබෙමින් පවතී. ජනාධිපතිතුමා ඇතුළු රජය බලාපොරොත්තු වන්නේ සේවකයන් ඉවත් නොකර කර්මාන්ත පවත්වාගෙන යාමය. ණය දෙන්නේ ඒ කොන්දේසි මතය. එහෙත් ඒ කොන්දේසිවලට එකඟ වී ණය ගත් ව්‍යාපාරිකයෝ ඒ කොන්දේසිවලට පටහැනිව කටයුතු කරති. එසේ කිරීම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමකි. එසේම එය අයුක්තිසහගතය. ව්‍යාපාරිකයන්ට අප ණය දෙන්නේ මහ බැංකුවෙන් අපට දෙන මුදල්ය. මහ බැංකුවෙන් අපට සල්ලි දෙන්නේ ද පොලියටය. ඒවා පැහැදිලිවම මහ බැංකුවෙන් අප ගන්නා ණයය. අප ව්‍යාපාරිකයන්ට දෙන ණය සියයට සියයක්ම අය කරගත නොහැකි විය හැකිය. එසේ වූවාට අප මහ බැංකුවෙන් ගත් ණය පොලියද සමග සියයට සියයක්ම ගෙවිය යුතුය. එසේ ගෙවීමට අප මහ බැංකුවට බැඳී සිටියි. අප ව්‍යාපාරිකයන්ට ණය දෙන්නේ ආපසු අය කර ගැනීමට හැකිවේද නොහැකිවේද යන දෙගිඩියාවෙනි. අපෙන් එසේ ගන්නා ණයෙන් සේවක වරප්‍රසාදත් නොදී ආණ්ඩුවට බදුත් නොගෙවා වෙන වෙන කටයුතු කිරීම කොල්ලකෑමකි. මහ බැංකුවේ තියෙන්නේ ජනතාවගේ සල්ලිය. එහෙයින් ඒ කොල්ලය පොදු දේපළ කොල්ලයක් ලෙසද හැඳින්විය හැකිය. ව්‍යාපාරිකයන් ව්‍යාපාරිකයන් විය යුතුවා මිස කොල්ලකරුවන් නොවිය යුතුය. මහ බැංකුව ව්‍යාපාරිකයන්ට ණය දීමට බැංකුවලට සල්ලි මුදා හරින්නේ රජයේ නියෝග මතය. රජයේ අපේක්ෂාව රට යළි ගොඩ ගැනීමය. ඊට සද්භාවයෙන් යුතුව දායකවීම ව්‍යාපාරිකයන්ගේ වගකීමකි. රජය කැප කිරීමක් කරන විට තමන්ද කැප කිරීම් කරමින් රටේ සංවර්ධනයට දායක විය යුතුය.
කොරෝනා නිසා රටේම ජනතාව ගෙදරට කොටු වූහ. ඔවුන්ගේ වියදම් අවම විය. දරුවන්ට පෞද්ගලික පන්තිවලට යාමටද නොහැකි නිසා ඒ වියදම් ද නැති විය. උදා වූ ඒ තත්ත්වයෙන් ඇතැම් අය බැංකුවලට උගස්කර තිබූ රන් භාණ්ඩ බේරාගෙන තිබේ. උගස් තැබූ රන් භාණ්ඩ බේරා ගන්නවාය කීමෙන් අනාවරණය වන්නේ ඔවුන් අතේ මුදල් තිබෙන බවය. ආර්ථිකය යළි නැගිටින්නට පටන් ගෙන තිබෙන බවය. පොලී අනුපාත තනි ඉලක්කමකට ගෙන ඒම රජයේ තවත් බලාපොරොත්තුවකි.
ආර්ථිකය ශක්තිමත් කිරීමට සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය වන පරිදි මහජන බැංකුව ණය යෝජනා ක්‍රම රාශියක් හඳුන්වා දී තිබේ. මහජන බැංකුව මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අභිලාෂය වන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු පිණිසය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැංකුවෙන් සාක්කුවටද? ව්‍යාපාරයටද?