නව රජයෙන් රටේ පොදු ජනතාවටත් ව්‍යාපාරික ප්‍රජාවටත් බදු සහන රැසක් සැලසිණි. ලැබුණු ඒ සහන ආර්ථික වර්ධනය කරා ඉලක්ක කරගත යුත්තේ කෙසේදැයි බහුතරයකට අවබෝධයක් නැත. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්‍ෂ මහතා සමගය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා ලොව රටවල් 160ක ක්‍රියාත්මක වන බී.ඩී.ඕ. පාට්නර් ජාත්‍යන්තර විගණන ආයතනයේ ශ්‍රී ලංකාවේ කළමනාකරණ හවුල්කරුවා ද වෙයි. සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ උප සභාපතිවරයා ද වන ඒ මහතා බදු සහන රටේ ආර්ථික වර්ධනයට දායක කරගත හැකි අයුරු මෙසේ විස්තර කරයි.
රජයේ නව බදු සංශෝධන අදහාගත නොහැකි දෙයකි. ජනාධිපතිවරණය පැවැතියේ නොවැම්බර් 16 වැනිදාය. ජනපති දිවුරුම් දුන්නේ 18 වැනිදාය. බදු සංශෝධන ලෙස ප්‍රකාශයට පත් කළේ නොවැම්බර් 26 වැනිදාය. ජනපති ලෙස දිවුරුම් දී දින 10ක් ගතවීමටත් පෙර ජනතාවට මෙවැනි ආර්ථික සහන පැකේජයක් ප්‍රදානය කළ නායකයෙක් මීට පෙර මේ රටේ නොසිටියේය. එසේම මෙවැනි ආණ්ඩුවක් ද මීට පෙර රටේ නොතිබිණි. නව ජනපති තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ලෙසින්ම එසේ කිරීම ප්‍රශස්ත කාර්යයකි. සාමාන්‍ය ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, ආයෝජකයන් සේම මෙතෙක් බලයේ සිටි හා නොසිටි සියලු දෙනා මේ දෙස බැලුවේ පුදුම සහගතවය.
නව බදු සංශෝධන සම්බන්ධයෙන් මා සමඟ කතා කළ සියයට 99ක්ම කතා කළේ මේ බදු සහන මගින් රටට අහිමි වන ආදායම වන රුපියල් බිලියන 500ක් පමණ මුදල උපයාගන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙය රටේ ආර්ථිකය ගොඩනැගීමට තිබෙන හොඳම ක්‍රමය ලෙස කිසිවෙක් නොකීහ. අපේ බොහෝ දෙනා සිතන්නේ කල්පනා කරන්නේ එමගින් තමන්ට හා රටට අත්කරගත හැකි වාසි ගැන නොවේ. බොහෝ දෙනා මෙබදු සංශෝධන දෙස බැලුවේත් බලන්නේත් සුබවාදීව නොවේ. මේ බදු සහන පැකේජය ලංකාවට අලුත් දෙයක් වූවාට ලෝකයට අලුත් දෙයක් නොවේ. අපේ රටේ ද මීට පෙරත් ආදායම් බදු සේම වක්‍ර බදු ද අඩුකර තිබේ.
එහෙත් මෙවර තරම් විශාල ප්‍රමාණවලින් ඉතිහාසයේ කිසි දිනෙක බදු අඩුවී නැත. බොහෝ දෙනාට මේ බදු සහන පැකේජය අදහාගත නොහැක්කේ ද එහෙයිනි.
අප අපේ අවධානය යොමු කළ යුත්තේ මේ බදු සහන පැකේජය දුන්නේ ඇයිද යන්න පිළිබඳවය. වත්මන් රජය බලය පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය තිබුණේ දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය පහළම තිබෙන රටට පමණක් උඩිනි. එනම් ඇෆ්ගනිස්ථානයට පමණක් උඩිනි. මෙරට ආර්ථික වර්ධන වේගය තිබුණේ සියයට 1.5ක් තරම් පහළ මට්ටමකය. එහෙත් පැවැති යහපාලන රජය බලයට පත්වූ 2015ට පෙර එනම් 2014 මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7.2ක් පමණ විය. එහෙත් පසුගිය අවුරුදු පහේදී මෙරට ආර්ථිකය දිගින් දිගටම පල්ලම් බැස්සේය. එයට විවිධ හේතු තිබේ. ඇතැම්විට ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමකට ගණනය කිරීමටත් මාන බැලූහ. එහෙත් එය එසේ කළ හැක්කක් නොවේ. ලංකාව ආසියාවේ තිබෙන ප්‍රධාන ආර්ථික මර්මස්ථානයකි. ඒ නිසා ඕනෑම රජයකට රටේ ආර්ථිකය තබාගත යුත්තේ කවර තැනක ද යන්න පිළිබඳව දැක්මක් තිබිය යුතුය. මගේ දැකීමේ හැටියට ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමක තබාගැනීමට නම් සැලසුම් සැකසිය යුතු නැත. සැලසුම් සකස් කළ යුත්තේ ඉහළ ආර්ථික වර්ධනයක් සඳහාය. එහෙත් පසුගිය අවුරුදු ගණනේම එහෙම දෙයක් වනවා අපි නොදුටුවෙමු. ඒ යුගයේ ආර්ථිකය වැටුණේ නරකම තැනටය. එයට විවිධ හේතු තිබෙන බව ද සත්‍යයකි.
ඒ යුගයේ රටේ ණය බර ද ඉහළ ගියේය. ණය ගැනීම් ඉතා වැඩි විය. එහෙත් කීවේ රාජපක්‍ෂ ණය බරින් රට නිදහස් කරගන්නා බවය. ඔවුහු ණය ගෙවීමටත් ණය ගත්හ. ඇත්තෙන්ම ඒ යුගයේ ණය ගෙවීමක් සිදු නොවිණි.
නව ජනපති බලයට පත්ව සිටින්නේ රට ඉතිහාසයේ කිසි දිනෙක නොතිබූ තරම් ණය උගුලක පැටලී සිටියදීය. එවැනි පසුබිමක මේ බදු සහන පැකේජය පිරිනැමීම රට වැටී තිබෙන තැනින් ගොඩගැනීමට ඉවහල් වන බව මගේ තක්සේරුවයි. එහෙත් මේ අවස්ථාවේ ලොතරැයි දිනුමක් ඇදුනා වගේ කටයුතු කළහොත් රට තවත් ආපස්සට යන බව මගේ පුරෝකතනයයි. මේ සහනවලින් ප්‍රයෝජන ගත යුතුය. රට දියුණු කිරීම දේශපාලන පැලැන්තියට පමණක් කළ හැකි දෙයක් නොවේ. සමස්ත රටවැසියන්ම ඒ ගමනට පෙළගැසිය යුතුය. ජනතාව එසේ පෙළ ගැසෙන්නේ දේශපාලකයන් විශ්වාස කළ හැකි නම් පමණකි. රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ද ඒ සඳහා යෝග්‍ය ලෙස සකස් විය යුතුය. ඒ පැලැන්ති දෙක එනම් දේශපාලන හා පරිපාලන යන්ත්‍ර දෙක සැකසුණොත් අනෙක් යාන්ත්‍රණය ද ස්වයංක්‍රීයවම එතැනට තල්ලු වෙයි.
බදු සංශෝධන සමස්ත රටටම වාසිය. ව්‍යාපාරිකයන් සඳහා ආදායම් බදු අඩුකර තිබේ. ඔවුනට වැට් බද්ද සඳහා අදහාගත නොහැකි සහනයක් සැලසී තිබේ. මීට පෙර අවුරුද්දකට මිලියන 12ක පිරිවැටුමක් තිබෙන සෑම ව්‍යාපාරයක්ම සියයට 15ක වැට් බද්දක් ගෙවිය යුතුවිය. එහෙත් නව සංශෝධන යටතේ වැට් බදු ගෙවිය යුත්තේ අවුරුද්දකට මිලියන 300ක පිරිවැටුමක් තියෙන ව්‍යාපාරිකයන්ය. එසේම දැන් ඔවුන් ගෙවිය යුත්තේ සියයට 15ක බද්දක් නොව සියයට 8ක බද්දකි. මෙය රටේ ව්‍යාපාරික ප්‍රජාවට මහා සහනයකි. අදහාගත නොහැකි හා විශ්වාස කළ නොහැකි සහනයකි. ඒ සහනය අවසානයේ ලැබෙන්නේ රටේ පොදු ජනතාවටය.
භාණ්ඩ හා සේවා ආනයනය කරන පුද්ගලයා, ආයතන හෝ සමාගම තම පිරිවැටුම් සඳහා බදු ගෙවිය යුතුය. සියයට දෙකක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. ඉදිකිරීම් කර්මාන්තකරුවන් සඳහා පැවැතියේ සියයට 28ක ආදායම් බද්දකි. එය සියයට 14කට පහත හෙළිණි. තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ව්‍යාපෘතිවලින් කිසිම බද්දක් අය නොකිරීම මේ නව රජයේ පිළිවෙත වී තිබේ. උපයන විට ගෙවීම් බදුවල ඇත්තේ ද විශාල වෙනසකි. මින් පෙර මසකට රුපියල් ලක්‍ෂයකට වැඩි වැටුපක් ගන්නා පුද්ගලයන් බදු ගෙවිය යුතුය. එහෙත් නව සංශෝධන යටතේ බදු ගෙවිය යුත්තේ මාසයකට රුපියල් 250,000කට වැඩි වැටුපක් ලබන පුද්ගලයන්ය. පුද්ගලයන්ට සේම සමාගම්වලට ලැබුණු මේ සහන අදහාගත නොහැකි බව සත්‍යයකි. කිසිවෙක් කිසිදා මෙවැනි සහන ලැබෙතැයි අපේක්‍ෂා නොකළහ. මෙය පුද්ගලයන්ටත් සමාගම්වලටත් වාසි පිට වාසි සැලසෙන බදු සංශෝධන මාලාවකි.
එහෙත් ඒ වාසිය තමන්ගේ මල්ලේ දමාගැනීම වැරැදිය.
එසේ කළහොත් රටට වැඩක් නොවේ. ආර්ථිකය දියුණු නොවේ. රජයේ අරමුණ රටේ ආර්ථිකය දියුණු කිරීමය. මේ සහන දුන්නේ ඒ අරමුණෙනි. එහෙයින් ඒ අරමුණු ඉටු කරගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවත් පුරවැසියෝත් රාජ්‍ය පරිපාලන නිලධාරියොත් දේශපාලකයොත් ඇප කැප විය යුත්තේය.
වැටී තිබෙන වළෙන් ඉතා ඉක්මනින් රට ගොඩගැනීම මේ සහනවල අරමුණයි. කවුරු කවුරුත් තම තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු කළොත් සියයට 4.5කින් පමණ ආර්ථික වර්ධනය කළ හැකි බව මගේ වැටහීමයි.
එහෙත් එය ඉබේ සිදු නොවේ. එසේ නම් කළ යුත්තේ මොනවාද. ඒවා කළ යුත්තේ කවුරුත් විසින්ද. උදාහරණයකට අපි ඉදිකිරීම් කර්මාන්තය ගනිමු. සියයට 28ක්ව පැවැති ඔවුන්ගේ ආදායම් බද්ද නව රජය සියයට 14 දක්වා අඩු කළේය. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ඔවුන් වෙනදා රජයට ගෙවූ සියයට 14ක් දැන් තමන් අත ඉතිරිවෙයි. ඒ කර්මාන්තකරුවා දැන් ඒ සියයට 14 ගෙදර ගෙන ගියොත් හෝ මල්ලේ දමා ගත්තොත් රටේ ආර්ථිකය වර්ධනය වන්නේ නැත. ඔහු ඒ මුදල ඒ ව්‍යාපාරයේම ආයෝජනය කළ යුතුය. රටේ ආර්ථිකය වර්ධනය වන්නේ ආයෝජන වැඩි වීමෙනි. දේශීය නිෂ්පාදන කර්මාන්තකරුවෝත් එසේම ක්‍රියාත්මක විය යුතුය. නිෂ්පාදන ව්‍යාපාරවලින් අය කළ ආදායම් බද්ද සියයට 28 සිට 18 දක්වා අඩු කර තිබේ. ඒ නිසා මින් මතුවට ඔවුන් අත රැඳෙන ඒ සියයට දහය ඔවුහු ද තම කර්මාන්තවලට ආයෝජනය කළ යුතුය. ඔවුන්ගේ නිෂ්පාදන වර්ධනය වී අපනයන ඉහළ ගොස් අපනයන ආදායම ඉහළයාමෙන් රටේ විදෙස් මුදල් සංචිත ඉහළ යන්නේ එසේ කළහොත් පමණකි. එසේම දේශීය කර්මාන්තකරුවන්ගේ ආයෝජන ඉහළ ගියොත් එමගින් විරැකියාවට ද පිළියම් ලැබෙන්නේය.
බදු ගෙවීමට සිදු නොවූවත් අතේ ඉතිරිවන මුදල් වැය කළ යුත්තේ සැලසුම් සහගතවය. උදාහරණයක් ඇසුරින් අපි ඒ ගැන සලකා බලමු. අපේ අතේ ඉතිරිවන මුදල්වලින් අප කරන්නේ භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමය. එසේ මිලදී ගන්නේ වෙනත් රටකින් ආනයනය කළ භාණ්ඩයක් හෝ සේවාවක් නම් ඒ මුදල් යන්නේ ඒ රටටය. එනම් අපේ රටෙන් පිටටය. ඒ නිසා අප මිලදීගත යුත්තේ අපේ රටේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවාය. එසේ කළහොත් ඒ මුදල් රටින් පිටට ඇදී නොයයි. අපේ සල්ලි රටින් පිටට ගියොත් ගෙවුම් ශේෂයේ හිඟය වැඩි වෙයි. පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 සිට 15,000 අතර දීමනා දුන්නේය. එහෙත් ඒ දීමනාවලින් රටේ ආර්ථිකයට සැලසුණු සෙත ගැන අප සිතිය යුතුය. රජයේ සේවකයන් ගණන ලක්‍ෂ 14ක් කියා සිතමු. ඔවුනට දෙන්නේ 10,000ක දීමනාවක් නම් ඔවුන්ගේ අතට වසරකට ලැබෙන අමතර ආදායම රුපියල් බිලියන 168කි. ඒ අනුව රජයේ සේවකයන්ට වසරකට රුපියල් බිලියන 168ක වැටුපක් අමතරව ලැබෙයි. එය සමස්ත වැටුප නොවේ. දීමනාව ලෙස ලැබෙන ආදායමේ එකතුවයි. ඒ මුදල ඔවුන් ආයෝජනය කළේ නම් ඉතා හොඳය. එහෙත් කළේ පරිභෝජනය නම් ඉන් රටට අත් වූ සෙත කුමක්ද? පරිභෝජනයේදීත් මිලදී ගත්තේ දේශීය නිෂ්පාදන නම් ප්‍රශ්නයක් නොවේ. එහෙත් මිලදී ගත්තේ ආනයනික භාණ්ඩ හා සේවා නම් ඒ සල්ලි ගියේ රටින් පිටටය. ඒ නිසා රටේ ආර්ථික දියුණුව හා ආර්ථික වර්ධනය ගැන සිතිය යුත්තේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් පමණක් නොව රැකියා කරන අය ඇතුළු රටේ සමස්ත පුරවැසියන් ද ඒ ගැන සිතිය යුතුය.
ආණ්ඩුව සහන දුන්නේ සද්භාවයෙන් හෝ දේශපාලනික හේතු මත ද විය හැකිය. එහෙත් පුරවැසියන් තමන් දෑ හිතකාමීව කටයුතු කළ යුත්තේ කෙසේ දැයි සිතිය යුතුය. එසේ සිතා ඇත්තටම දෑ හිතකාමීව කටයුතු කළ යුතුය. ව්‍යාපාරිකයන්ට ලැබුණු සහනවලින් වාහන මිලදී ගන්නේ නම් ඒ සල්ලි යන්නේ රටින් පිටටය. එසේම ලැබුණු ‘චාන්ස් එකෙන්’ දිගට හරහට විදෙස් සංචාර යන්නේ නම් ඒ මගින් ද වන්නේ රටින් පිටට මුදල් ඇදීයාමය. ලොකු කුඩා හැමෝම කළ යුත්තේ නව රජයේ බදු සහනවලින් තමන් අත ඉතිරිවන මුදල ආයෝජනය කිරීමය. පරිභෝජනය කරන්නේ නම් එය කළ යුත්තේ කෙසේ දැයි අපි ඉහත කීවෙමු. එහෙත් මේ පණිවිඩය, එනම් කළ යුත්තේ කුමක්ද යන්න බහුතරයකට අවබෝධ වී තිබේදැයි මට ඇත්තේ ප්‍රශ්නයකි. මා එසේ කියන්නේ හේතු සහිතවය. මේ බදු සහන තවමත් රටේ පොදු ජනතාව අතට පත් වී නැත. ඒ සහනය ජනතාවට ලබාදෙන්නේ කෙසේදැයි එම ව්‍යාපාරිකයන්ගෙන් විමසුවෙමි. එහිදී ඇතැමුන් කිව්වේ පසුගිය කාලයේම තමන් ප්‍රශ්න මැද ව්‍යාපාර කළ බවය. ඒ නිසා මේ සහන ක්‍ෂණිකව ජනතාවට නොදී පළමුව තමන්ගේ ව්‍යාපාර ගොඩගෙන පසුව ජනතාව ගැන සිතන බවය. එසේ කිරීම රජයේ සහන කොල්ලකෑමකි.
එසේම ඇතැමුන් කියන්නේ බදු වැඩියෙන් ගෙවා භාණ්ඩ හා සේවා මිලදීගෙන තිබෙන නිසා වහාම මිල අඩු කළ නොහැකි බවය. එහෙත් බදු අනුපාත ඉහළ ගියේ නම් ඔවුන් තම භාණ්ඩ හා සේවා විකුණන්නේ ඒ ඉහළයාමට සාපේක්‍ෂව ඉහළ දමමිනි. එසේ කිරීමෙන් රටක් හැටියට අපට ඉදිරියට යා නොහැකිය. රජයේ සහන ක්‍ෂණිකව දිය හැකි නම් ඉතා හොඳය. ඒ නිසා අපේ රටේ ව්‍යාපාරිකයන්ගේ ආකල්පවල ද විය යුත්තේ ලොකු වෙනසකි. රටක් දියුණු කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩු කරන දේශපාලකයන්ට පමණක් නොවේ. එහිදී ව්‍යාපාරික ප්‍රජාවට පැවරෙන වගකීම් ද ඉටු විය යුතුය. රජයෙන් දෙන සහන ජනතාවට දිය යුතුය. ඒ සහන කොල්ලකෑම කළුකඩ වෙළෙඳාමකි. රටේ යටිතල පහසුකම් දියුණු වී තිබේ. ඒ පහසුකම් ව්‍යාපාරික ප්‍රජාව ද භුක්ති විඳියි. රජයත් ඒ පහසුකම් සලසා ඇත්තේ ණය ගැනීමෙනි. ඒ ණය ගෙවීමට රජයට උදව් කිරීම ව්‍යාපාරික ප්‍රජාවගේ වගකීමකි. එහෙත් ඒ වගකීම් ඉටුවන්නේ අඩුවෙන් වීම ඉතා කනගාටුදායකය.
ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු කවුරු කවුරුත් තම වගකීම් ඉටු නොකිරීමට අලස හා දූෂිත රාජ්‍ය සේවය ද හේතු වී තිබේ. සේවයට අලස මෙරට රාජ්‍ය සේවය වාසියට කාර්යක්‍ෂමය. බහුතරය හොයන්නේ වාසිය. සන්තෝසම් නැතිව කිසිවක් නොකරන බව පොදු පිළිගැනීමකි, විශ්වාසයකි. රජයට ආදායම් ගලා එන ආයතන කීපයකි. දේශීය ආදායම්, රේගු හා සුරාබදු ඒ අතරින් ප්‍රමුඛ දෙපාර්තමේන්තුය. ඒ දෙපාර්තමේන්තු තුනම තවමත් සියයට 100ක් පරිගණක ජාලගත වී නැත. අප සිටින්නේ තොරතුරු තාක්‍ෂණය අතින් ඉතා දියුණු යුගයකය. එහෙත් ඒ දෙපාර්තමේන්තුවල ඇතැම් අංශ තවමත් ක්‍රියාත්මක වන්නේ 18 වැනි සියවසේ ක්‍රම හා විධි මතය. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයන විට බදු ගෙවූ පුද්ගලයන් විශාල පිරිසකගේ බදු ලිපිගොනු වසා දැමීමට ඉඩ තිබේ. මගේ මතය අනුව නම් එසේ නොකළ යුතුය. මේ සමාජයේ බොහෝ දෙනාට තිබෙන්නේ එකම ආදායම් මාර්ගයක් නොවේ. විවිධ ආදායම් තිබේ. ඔවුන් උපයන විට බදු ගෙවන්නේ වැටුපෙන් පමණකි. වෙනත් ආදායම් වෙනුවෙන් බදු නොගෙවති. එවැනි පුද්ගලයන් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුය. ආදායම් එක් දෙයක් පමණකි. වත්කම් තවත් දෙයකි. ඕනෑම පුද්ගලයකුගේ ආදායම් සේම වත්කම් ද ඉහළ යයි. ඒ නිසා ඒවා ගැන සොයා බලා අයකර ගත යුතු බදු අයකර ගැනීමට ඔවුනගේ බදු ලිපිගොනු වසා නොදැමිය යුතුය. ලිපිගොනු වැසීමෙන් වත්කම් ද වැසී යයි. එයට ඉඩ නොදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමකි.
රටේ ජනතාවට තම අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා දේශීය ආදායම්, රේගු, සුරාබදු, මෝටර් රථ ප්‍රවාහන සහ ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ද සම්පූර්ණයෙන්ම පරිගණක ජාලගත කර ඒ දෙපාර්තමේන්තු සියල්ලේ ජාල එකිනෙකට සම්බන්ධ කළ යුතුය. පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඒ දෙපාර්තමේන්තුවලට පැමිණීමට සිදුවීම හැකි තරම් අවම කළ යුතුය. හැකි සෑම සේවාවක්ම අන්තර්ජාලයෙන් ලබාගත හැකි වන තැනට ඒ දෙපාර්තමේන්තු සියල්ල පරිගණක ජාලගත කළ යුතුමය. එසේ කළහොත් රාජ්‍ය සේවයට එල්ලවන චෝදනා ද අවම කරගැනීමට හැකිවෙයි. හොරකම්, වංචා, දූෂණ හා අල්ලස් ගැනීම් අවම වෙයි. රජයට ලැබිය යුතු ආදායම් නිසිලෙස මහා භාණ්ඩාගාරයට ගලා ඒමෙන් බදු සහන පැකේජයෙන් රජයට අහිමි වන මුදලට වඩා වැඩි මුදලක් රාජ්‍ය ආදායම ලෙස මහා භාණ්ඩාගාරයට ගලා එනු ද නිසැකය.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදු වාසිය පිටරටටද අප රටටද
aruna Wednesday, 01 January 2020 06:08 AM
මෙය කිසිම වෘත්තීමය විශ්ලේෂණයක් නොවේ. හරිම පක්ෂග්‍රාහීයි. ඇතැම් ඉල්ලකම් වැරදි ලෙස අර්ථ දක්වා ඇත.
Mo77 Wednesday, 01 January 2020 09:20 AM
මේක ගුණසිංහගේ අදහසක්ද?
Kumar Saturday, 04 January 2020 03:00 AM
මම ඇත්තටම සිතුවේ නායකතුමාගේ ඇමෙරිකාවේ අාදායම ගැන කතා කරනවා කියලයි. ඒ බදු ලැබෙන්නේ අමෙරිකන් රජයටනේ... ලංකාවේ බදු කපලා තිබෙන්නේ සල්ලි කාරයින්ටයි. ආහාරවල වැට් ඉවත්කරලා නැහැ නේද? මේ කැපීම් නිසා ආදායමේ අතිවෙන හිඟය පියවන්න මුදල් ලබාගන්න වෙන්න ඇති චීනයට යන්න සූදානම් වෙන්නේ..
Rohana Sunday, 05 January 2020 11:05 AM
බදු අඩුකිරීම බදු ගෙවන්නන්ට සහනයකි. නමුත් බදු අඩුකළ පමණින් ඔය කියන සියලු අාර්ථික අංශ ක්‍රියාත්මක වී බදු අඩුවීමෙන් රට සංවර්ධනය වෙනවා කීම ලංකාව වැනි රටක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයි කියා කෙළින්ම කිව නොහැකිය. මීට ප්‍රධාන හේතුව විශේෂයෙන් බදු අඩුකිරීමට අවම වශයෙන් සමානුපාතිකව ආයෝජන අංශ ප්‍රබෝධමත් නොවීමයි. එමගින් අපේක්ෂිත නිෂ්පාදන අරමුණු ඉටුකර ගැනීම අසීරුය. එසේම නිෂ්පාදනවල ගුණාත්මක බව අපනයන ඉල්ලුම දේශීය ඉල්ලුම මගින් කර්මාන්තවල අාදායම ඉහළ යැයිද යන්න පිළිබඳ ලංකාවටම අාවේණික වූ ගැටළු තිබේ. බදු අඩුකිරීම රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික කරුණ නොවිය හැකිය...
nuwan Wednesday, 08 January 2020 03:26 AM
මහත්තයෝ… පුළුවන් නම් හරියටම කියන්නකෝ අහිමිවෙන බදු අදායම නැවත අයකර ගන්නේ කොහොමද කියලා? ඔහේගේ මල්ල පිරුණට මදි. හැම කුටුම්බියකම වැය කළ හැකි අාදායම ඉහළ යන්න ඕනෑ.