පන්සලක් ගැන ලියන්නට ගිය අපට කලාගාරයක අසිරිය ලියන්නට සිදු විය. ගල්බඩ පන්සල පුරා මම ඇවිද ගියෙමි. විහාර මන්දිරය වටේ දෙතුන් වරක් ඇවිද්දෙමි. විහාර මන්දිරයේ දුටු දේ අදහා ගත නොහැකි තරමට සිත්කළුය. චිත්තාකර්ෂණීයය. රට පුරා පන්සල්වල ඇවිද ඇති මට මෙතරම් සුවිශේෂී විහාර මන්දිරයක් හමු වූවා මතක නැත. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගල්බඩ පන්සලේ විහාර මන්දිරය අද්විතීයය. සිතුවම් හා මූර්ති නිර්මාණ අතින් ද අද්විතීයය. ඒ විශිෂ්ඨත්වය අරුම පුදුමය. රට පුරා ඇවිද්දත් සොයා ගත නොහැකි අපූරු සිතුවම් බොහොමයක් මෙහි දැකිය හැකිය. විහාරයක් හැටියට ‘සුනන්දාරාමය’ වුවත්
මේ පින් බිම රටම දැනගත යුත්තේ ‘හෙළ කලාගාරය’ හැටියටය. මේ සත්‍ය අසත්‍යතාව ඔබ ගොසින්ම නැරඹිය යුතුය.
ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.
ගල්බඩ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍ය රන්සෑගොඩ කීර්ති ශ්‍රී තේජෝවර ධර්මදර්ශී හිමියන් ගල්බඩ විහාරය ආරම්භ කර තිබේ. නායිමන සුනන්ද හිමියන් 1862 විහාරාධිපතිත්වයට පත් වීමෙන් පසු විහාරය ‘සිරි සුනන්දාරාමය’ ලෙස නම් විය. උන්වහන්සේගෙන් පසු අපරැක්කේ සුමංගල හිමියන් ද, පසුව ශිෂ්‍ය වර පරවාහැර දේවානන්ද නාහිමියෝ ද විහාරාධිපතිත්වයට පත් වූහ.
සුනන්දාරාමය කලාගාරයක් කළේ උන්වහන්සේය. උන්වහන්සේගේ කලාත්මිකතාව යුග ගණනාවකට ඉතිරි කළ බව අපට හැෙඟ්. කැලණිය, දඹුල්ල, රිදී විහාරය ආදී විහාර සිතුවම් ලාංකීය සිතුවම් කලාවේ මුදුන් මල්කඩ වන් තැන් වෙයි. නමුත් ගල්බඩ සුනන්දාරාමයට පැමිණ බැලූවොත් එය ඊට දෙවැනි නොවේ.
ගල්බඩ සුනන්දාරාම විහාරාධිපති අපරැුක්කේ ධම්මානන්ද නායක හාමුදුරුවන් මම හමු වීමි.
‘කැලේට පායපු හඳක් වගේ නේද?’ ඒ වචන කීපය තුළ අර්ථය බොහෝ ගැඹුරු විය. වටිනාකම, සුන්දරත්වය දකින්නට, බලන්නට ඉන්නේ ගමේ උදවිය පමණකි. නියම වටිනාකම රටට ගොස් නැත.
විහාරය බොදු කලාගාරයක සිරි ගත්තේ කෙසේ ද යන්න මම පළමුව විමසීමි.
‘පරවාහැර දේවානන්ද නායක හාමුදුරුවො 1946 අවුරුද්දෙදි විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කළා. ඊට පෙර කුඩා විහාර මන්දිරය තිබුණා. එය නුවර යුගයට අයිතියි. තවමත් නුවර යුගයේ චිත‍්‍ර, සමාධි බුද්ධ ප‍්‍රතිමාව උසස් අයුරින් ආරක්‍ෂා වෙලා තියෙනවා. එම විහාර මන්දිරයත් ඇතුළත් කොට අලූත් විහාර මන්දිරයේ සැලසුම ඇන්දා නායක හැමුදුරුවන්ගේ අනුශාසනා මත වැලිගම සමාරිස් සිල්වා කියලා කෙනෙක්. ඒ අනුව තමයි මේ දර්ශනීය විහාර මන්දිරය ඉදි වුණේ. ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම පැතිකඩක් තමයි මේ. මෙවැනි විහාර මන්දිරයක් මා තවම දැකලා නෑ. වැලිතර පන්සලේ විහාර මන්දිරය මීට සමානකමක් තියෙනවා. හේතුව එකම ගෘහ නිර්මාණ ශිල්පියා වීම නිසා. ඇතුළෙ මාලයේ සිතුවම් ඇන්දෙ නුවරින් බාස් කෙනෙක් ඇවිත්. නව විහාර මන්දිරයේ බුද්ධ ප‍්‍රතිමාව සහ ආසනය, පසුබිම හරිම විශේෂයි. රන්සිවිගෙය, දම්සභා මණ්ඩපයේ වැඩ සිටින විදිහට තමයි ගොඩ නගලා තියෙන්නෙ. හරිම සියුම් චිත‍්‍ර කලාවකින් හැඩ වැඩ දමලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ ඥාති පිරිසක් ගල්බඩ හිටියා. එයා ඉඳහිට මෙහෙ යනවා එනවා. දවසක් පන්සලට ඇවිත් අලූත් විහාර මන්දිරය පුරා ඇවිද්දා. එයා මෙතැන විශේෂත්වය දැක්කා. ඊට පස්සෙ දේවානන්ද නායක හාමුදුරුවො මුණ ගැහුණා.
”හාමුදුරුවනේ මේ විහාර මන්දිරයේ එක එක්කෙනා ලවා චිත‍්‍ර අන්දන්න එපා. මෙතන අඳින්න සුදුසුම කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ගම්පොළ. ගිහින් කතා කරලා බලන්න. එයා ඇඳපු විහාරයකුත් තියෙනවා. එතනටත් ගිහින් බලන්න.
”ඒ අනුව ටික දවසකට පස්සෙ අප ගම්පොළ ගියා. අප මුලින්ම ගියේ චිත‍්‍ර ශිල්පියාගේ සිතුවම් තියෙන ගිරාඋල්ල පන්සලට. එදා රෑ දේවානන්ද නායක හාමුදුරුවොයි, මමයි ඒ පන්සලේ නැවතිලා ඉඳලා පසුවදා ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක චිත‍්‍ර ශිල්පියාගෙ ගෙදරට ගියා.
”ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවො එක්ක ආ නිසාත් දුර බැහැරක සිට හොයාගෙන ආ නිසාත් මානවසිංහ මහත්තයා මිත‍්‍රයෙක් නිසාත් බෑ කියන්නෙ කොහොම දැයි චිත‍්‍ර ශිල්පියා කිව්වා.
|
විහාරාධිපති හිමියන් ශිෂ්‍ය පිරිස සමඟ. |
”ඒ අනුව 1957 අවුරුද්දෙදි චිත‍්‍ර කර්මාන්තය ආරම්භ කළා. චිත‍්‍ර ශිල්පියා ගම්පොළ ගොඩපොළ රාජකරුණා විජේසිංහ මහත්මා. විහාර ගෙයි සිතුවම් අඳින්න අවුරුදු පහක් ගත වුණා.”
ගල්බඩ සිරි සුනන්දාරාම විහාර මන්දිරයේ සිතුවම් අතර ලතා මණ්ඩප, මකර සෝපාන, ඇත් පෙරහර, දෙව් විමන්, බහිරව රූප, නාරිලතා, සිංහ, ගජ, හංස, මකර ආදී සත්ත්ව රූප, හංස පූට්ටු, භද්‍රගට, ගජසිංහ, නරසිංහ, නෙළුම් මල් ආදී පුෂ්පාලංකරණ, සප්ත නාරි පල්ලැක්කිය, නාරි රථය, ෂට්නාරි වළල්ල, චතුර්
|
අපරැක්කේ ධම්මානන්ද හිමි. |
නාරි ස්වස්තිකය, මුගුරු පොරය, කඩු හරඹ, මල්ලව ලී කෙළිය, නාරි පූට්ටුව, ලිය වැල්, බෝඩර, මුතු වැල්, සෝමන්, නෙළුම් මල් මෝස්තර ආදී බොහෝ සිතුවම් වෙයි.
ගල්බඩ ගමක් වශයෙන් ගත් කල ලංකාවේ පළමු ප‍්‍රාදේශීය ගම් උදාව ඇරඹුනේ මෙගමිනි. ඒ 1983 වර්ෂයේය. කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ක්‍දාණිස්සර නාහිමියන්ගේ අදහසකට අනුව අගමැති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගල්බොඩ ප‍්‍රාදේශීය ගම් උදාව ක‍්‍රියාවට නැංවීය.
ගල්බඩ `ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) උපන් ගම ගල්බඩය. උන්වහන්සේගේ පැවිදි වීම පිළිබඳව ද අපරැක්කේ ධම්මානන්ද නාහිමියෝ විස්තර කළහ.
පරවාහැර දේවානන්ද නායක හිමියන් සහ එදා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන් කල්‍යාණ මිත‍්‍රයෝ වූහ. ඒ නිසා ඉඳහිට වාචිස්සර නාහිමියෝ ගල්බඩ සුනන්දාරාමයට වැඩම කළහ. විහාර ගෙයි උළු සෙවිලි කරන උත්සවයට දෙවුන්දර වාචිස්සර හිමියන් වැඩම කළ අවස්ථාවේ ගංගාරාමයේ පැවිදි කිරීමට කොල්ලෙක් සොයා දෙන ලෙස දේවානන්ද නාහිමියන්ගෙන් ඉල්ලීය. ඒ අනුව නායක හිමියෝ දරුවෙක් සොයා බැලූහ. ගල්බොඩ `ක්‍දාණිස්සර නාහිමියන්ගේ මාපියන් පන්සලට ගෙන්වා කාරණය කිවූහ. ඒ අනුව මාපිය කැමැත්ත මත කුල කුමරුවා කොළඹට කැඳවාගෙන ආවේය. එදා මේ ගමනට වත්මන් සුනන්දාරාම විහාරාධිපති අපරැක්කේ ධම්මානන්ද හිමියෝ ද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පියා ද එක් වූහ.
ඉන් පසු කොළඹ ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ගල්බඩ `ක්‍දාණිස්සර නමින් පොඩි හාමුදුරුවෝ පැවිදි බිමට එළඹියහ.
උන්වහන්සේ ගල්බඩ සුනන්දාරාම විහාර දියුණුවට පුරෝගාමී වූ බව අපරැුක්කේ ධම්මානන්ද නාහිමියෝ අපට පැවසූහ. වතුර මෝටර් ලබා දීම, පරිගණක මධ්‍යස්ථානයක් ලබා දීම හා ටයිපින්, වෑල්ඩින්, ඩ‍්‍රයිවින්, විදුලි කාර්මික, ජුකී මැෂින්, මැහුම් ගෙතුම්වලින් සමන්විත අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කර දීම මෙහිලා කැපී පෙනේ.
පරවාහැර දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ගල්බඩ සිරි සුනන්දාරාම විහාරයේ පමණක් නොව තත් ග‍්‍රාම සංවර්ධනයේ ද නියමුවා වන්නේය.
උන්වහන්සේගේ දැක්ම, කලාත්මක හැකියාව ගල්බඩ සුනන්දාරාම විහාරයේ සිට ගම පුරා පැතිර ගියේය.
ලාංකීය බොදු සිතුවම් කලාවට විශිෂ්ඨ සන්ධිස්ථානයක් වන ගල්බඩ සුනන්දාරාම විහාරය චිත‍්‍ර කලාව, මූර්ති ශිල්පය හදාරන සෑම කෙනකුම පැමිණ දැක බලා ගත යුතු තැනක් හැටියට අපි විශ්වාස කරමු.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පන්සල තියෙන්නේ මාතර. බලන්න වටින පන්සලක්.(නදී)
මෙම සුප්‍රසිද්ධ විහාරස්ථානයේ පස් වසරක් තිස්සේ තම තෙලිතුඩින් විස්කම් දැක්වූ කලාගුරුද අමතක නොකළ යුතුය. (නි)
ලාංකීය බොදු සිතුවම් කලාව තව තවත් වැඩිදියුණු කිරීමට පර්යේෂණ සිදු කළ යුතුයි. (නදී)
මේ පන්සලට යන පාර කියන්න. (අ)
දියුණු කරන්න හැකි පමණීන් ආධාර කරන්න. (අ)
පන්සල බලන්න ගිහිල්ල දැනට කෙරෙන ඉදිරි සංවර්ධන කටයුතුවලටත් හැකි පමණින් දායක වෙන්න. (අ)
මෙහි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කර ගැනීමට අනුග්‍රහය දැක්විමත් හරිම වැදගත්. ලොකු හාමුදුරුවෝ හරි කරුණාවන්ත කෙනෙක් බලවතුන් පස්සෙ යන කෙනෙක් නෙවෙයි. (අ)
මාතර හක්මන මාර්ගයේ කපුදුව හන්දියෙන් දකුණට හැරි සැතැපුම් දෙකක් පමණ යනවිට පන්සල හමුවෙනවා (දී)
මෙවැනි දෑ නොදන්නා නව පරපුරට දැන ගැනීමට සැලැස්වීම ඉතා හොඳයි. ලංකාදීපට අප ගේ ස්තුතිය හිමිය. (ස)
උග්ගොඩ පාසලේ සිසුවෙක් හැටියට පාසලෙන් සංවිධානය කෙරුනු සීල වැඩසටහනකදී. මෙම විහාරස්ථානයේ මම සිල්සමාදන් වී තියනවා. පුංචිකාලේ මගෙ සිත් ගත් මෙම පුණ්‍යභූමිය නැවත මේ ආකරයෙන් හරි දකින්ට අවස්තාව සලසා දුන් ලංකාදීප පුවත් පතට බොහෝම පිං (දී)
විහාරය පිහිටි ස්ථානයේ ලිපිනය සඳහන් නොකිරීම විශාල අඩුවකි. (නදී)
හරිම ලස්සන වගේම පවුරාණික සිද්ධස්ථානයක්. ලංකාවට ඇවිත් මාතර ගියත් මේ පන්සල ගැන දැන සිටියේ නැහැ. නමුත් දැන් දන්නවා. ලංකාදීපයට මාගේ බැතිගුණ.(නදී)
මෙවැනි වටිනා, සුන්දර ජාතික දේවල් පිළිබද හෙළිකර දීම ගැන ලංකාදීපයට ඉතාමත් ස්තුතියි! නිතර මාතර ගියත් මෙම පන්සල ගැන නොදැන සිටීම ගැන කණගාටු වෙමි. ලබන සැරේ අනිවාර්යයෙන්ම යනවා!(දිල්)
ආඩම්බර වැඩියි මේවා ගැන අහනකොට.(නදී)
හුගක් අය මේ පන්සල පිලිබදව අහල නෑ. චිත්‍ර විෂය ඉගෙන ගන්න අයට බලන්න වටින පන්සලක්. මේ වගේ ස්ථාන ගැන රටම දැනුවත් කරපු එක ලොකු දෙයක්. තෙරුවන් සරණයි ! (නදී)
සිත සමාධිගත කරන අති පූජනීය ස්ථානයක්. මෙවැනි උසස් වන්දනීය පන්සල් පිළිබඳව ඉතා වටිනා ලිපි පලකිරීම පිළිබඳව ලංකාදීපයට තුති. ඔබ සැමට තෙරුවන් සරණයි! (නදී)
කැමතියි දැනගන්න, මේ ගලබඩ පන්සල කියන්න්නෙ අලුත් ගමට කිට්ටුව ඉන්දුරුවෙද නැත්නම් වෙන පලාතක ප්‍රදේශයක්ද? (නදී)
පසුපෙළ වම්පැත්තෙන් දෙවනියට ඉන්නේ මගේ හොඳහා යහළුවා. එයා පන්සලේ දෙවනියා. පන්සල වගේමි ලොකු හාමුදුරුවොත් හරිම හොඳයි.(නදී)
සිරි සුනන්දාරාමය. ගල්බඩ දීඑයගහ. මාතර 0413400781 0718182420
අපි මේවා ආරක්ෂා කර ගන්න ඕනේ (දී)
ලස්සන, වටිනා පුවතක් (දී)
ඉතාමත් ලස්සන පෞරාණික පන්සලක්. ලංකාදිපයට තුති ගෙනාවා මෙවම් දේවල් ලෝකෙටම කියනවට (දී)
ලස්සන චිත්‍ර ටිකක් හා නිර්මාණ තියෙනවා (දී)
මොනවා කලත් ඒ පරණ දේව තුල තියෙනවා නේද ඒ පරණ ගතිය (දී)
දිස්ත්‍රික්කය දාන්නකෝ.(නදී)
මේ පන්සලට යන පාර කවුරුහරි දන්නවාද (දී)
මේක අපේ ගමේ පන්සල. මේ වගේ විහාර ලංකාවේ ගොඩක් අඩුයි. මේ ගැන මීට පෙර කිසිම හෙලි කිරීමක් සිදු වෙලා නැහැ. මෙවැනි සිතුවම් දැකීමට පින් කළ යුතුයි. රටම මේ ගැන දැනුවත් කිරීම පිළිබද ලංකාදීපයට තුති. (නදී)
මේක අපේ ගමේ පන්සල. මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මමත් ලංකාවේ පන්සල් වල විහාර දැක ඇතත් මෙවැනි සුන්දර කලාගාරයක් හමුවී නැත. ඒ තරමටම මෙහි විහාර ගෙය අපුරු ලෙස නිමවා ඇත. මෙම විහාරය ගැන මෙතෙක් කිසිම හෙලිකිරීමක් සිදුවී නැහැ. (නදී)
දැන් දැන් ගිහියන්ට සසරෙන් එතෙර වෙන්න ගොඩක් උවමනාව තියනවා. ඒත් බික්ෂුන් වහන්සේලා ඒ ගැන උනන්දුව අඩුයි. මේ වගේ සිද්ධස්ථාන රැක ගනිමින් නිවන් මග ලබා ගැනීමට සැමට සිත් පහල වේවා.(නදී)
අනේ අපි මෙතුවක් මේ පන්සල ගැන දැනගෙන හිටියේ නැහැනේ(දිල්)