IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන මහාචාර්ය තිලකරත්න


සේවාර්ජිත මහාචාර්ය අසංග තිලකරත්නයන්ගේ ‘අසංග තිලකරත්න ශාස්ත්‍රීය අධ්‍යයන’ ඉංග්‍රීසි වෙළුම් පහ සහ සිංහල වෙළුම් තුන අද (27) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වැඩීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ජ්‍යෙෂ්ඨ සගයෙකු වශයෙන් පසුගිය වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ මහාචාර්ය තිලකරත්නයන්ගේ ශාස්ත්‍රීය ජීවිතයේ ප්‍රගතිය මහත් සේ අගය කරමින් මම නිරීක්ෂණය කොට ඇත්තෙමි. සුවිශේෂ බුද්ධි ප්‍රභාවකින් සමන්විත පුද්ගලයකු බව සනාථ කරමින් එතුමා විසින් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගත් 1982 වර්ෂයේදී පවත්වන ලද ශාස්ත්‍රවේදී (ගෞරව) බාහිර උපාධි පරීක්ෂණයේ විභාග පරීක්ෂකවරයකු වශයෙන් ක්‍රියාකිරීම පිණිස මා ලද අවස්ථාවේදී අසංගයන්ගේ ශාස්ත්‍රීය කුසලතාව සහ නිපුණත්වය මා මුල්වරට හඳුනාගත් බව අදත් මගේ මතකයට නැගේ. හවායි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම පිණිස ආසියා සහ පැසිෆික් කලාපයේ විශිෂ්ට ගණයේ උපාධිධාරී ශිෂ්‍යයන් සඳහා වන හොනලුලු හවායි පෙරදිග – අපරදිග කේන්ද්‍රය විසින් ප්‍රද‌ානය කරනු ලබන අධි ශිෂ්‍යත්වයක් ලබාගැනීමට උපාධිය ලබා වසර දෙකකින් අනතුරුව එතුමාට හැකිවීම ගැන මම බෙහෙවින්ම සතුටට පත්වීමි.

 සිය අධ්‍යාපනික ජීවිතය තුළ ඒ වන විටත් අසංගයන් අතිශය වැදගත් වාර්තාගත ජයග්‍රහණ අඛණ්ඩව ලබා ගනිමින් සිටි බව පැහැදිලිය. එතුමාගේ අධ්‍යාපනික ජීවිතයේ මුල් අවදි තුළ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වන ලද ප්‍රාචීන විභාගවල ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සමත්වීමේ දස්කම් පෙන්වා තිබිණි. බුද්ධශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයට ප්‍රවේශවීමේ පරීක්ෂණයේදී කුසලතාව අතින් ප්‍රථමයා බවට පත්වීමට එතුමා සමත් වූ අතර එම ආයතනය තුළ අධ්‍යාපනය ලත් වසර පහක කාලය තුළ එම උසස් තත්ත්වය පවත්වා ගැනීමටත් අවසානයේදී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව උපාධිය ලබා ගැනීමටත් එතුමා දක්ෂයකු විය.

 1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර විභාග අංශය විසින් පවත්වන ලද සාමාන්‍ය කලා යෝග්‍යතා පරීක්ෂණයේදී දිවයිනේ ප්‍රථමයා ලෙස එතුමා සමත් වූ අතර එම කුසලතාව පිළිගැනීම මත විශ්වවිද්‍යාලය මගින් එතුමාට අභ්‍යන්තර ශිෂ්‍යත්වයක් ප්‍රද‌ානය කරන ලදී. මාගේ දැනුමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් එද‌ාමෙද‌ා තුර බාහිර උපාධි ශිෂ්‍යයකු වෙත ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ප්‍රද‌ානය කරන ලද එකම අවස්ථාව මෙයයි. ස්වකීය ශාස්ත්‍රීය ජීවිත කාලය තුළ එතුමා ලද ප්‍රද‌ාන සහ සම්මාන විවිධ වේ. ඒවායින් ඉතා ස්වල්පයක් පමණක් මෙහිලා සඳහන් කරන්නේ නම් 1999 ඔක්තෝබර් මාසයේ සිට 2000 සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය අධිශිෂ්‍යත්වයක් යටතේ එතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ගත කළ අතර වුල්ෆ්සන් විද්‍යාලයයේ ආරාධිත විද්වතකු ලෙස ගතකිරීමේ අවස්ථාව ලැබීය.

2007 සිට 2008 දක්වා වූ අධ්‍යයන වර්ෂය තුළ එතුමා කොරියාවේ යොන්සෙයි විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළේය. 2012 වර්ෂයේ කලා හා මානව ශාස්ත්‍ර අංශයේ විශිෂ්ටතම පර්‌යේෂකයාට හිමිවන සම්මානය කොළඹ විශ්වවිද්‍යාලය විසින් එතුමාට ප්‍රද‌ානය කරන ලද අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් විශිෂ්ටතම පර්‌යේෂකයාට පිරිනැමෙන සම්මානය 2014 වර්ෂයේදී අසංග තිලකරත්නයන් වෙත ප්‍රද‌ානය කරන ලදී.

 පෙරදිග – අපරදිග කේන්ද්‍රයේ අධිශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධිධාරී ශිෂ්‍යයකු වශයෙන් හවායි විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීමෙන් අනතුරුව හෙතෙම හවායි විශ්වවිද්‍යාලයයේ බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 1986 දී ලබා ගත්තේය. ඉන් අනතුරුවම හවායි විශ්වවිද්‍යාලයේ වසර හයක පමණ කාලයක් තිස්සේ තුලනාත්මක දර්ශනය පිළිබඳ දෘඩතර පර්‌යේෂණයන්හි නිරත වෙමින් 1992 දී ආචාර්ය උපාධිය දිනාගැනීමට එතුමා සමත් විය. ස්වකීය ආචාර්ය උපාධිය සඳහා එතුමා විසින් ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය නිබන්ධයේ මාතෘකාව වූයේ ‘උත්තරානුභූතිකත්වය, ආවාච්‍යත්වය සහ නිර්වාණය: මුල් බුදුසමයට අනුව ආගමික අනුභූතිය සහ භාෂාව අතර සබඳතාව පිළිබඳ විග්‍රහයක්.’ (Transcendence, Ineffability and Nirvana: An Analysis of the Relation between religious experience and Language According to early Buddhism)  යන්නය.

 පසුකාලයේදී ප්‍රකාශයට පත් කළ එතුමාගේ යථෝක්ත නිබන්ධය මගින් බුදුසමයේ ඉගැන්වෙන නිර්වාණය පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් පැතිර පැවැති සාවද්‍ය මතයක් ඵලද‌ායී ලෙසත් ළගන්නාසුළු ලෙසත් අභියෝගයට ලක් කළේය. බොහෝ විද්වත්හු විශේෂයෙන්ම බටහිර ලෝකයේ උගත්තු බුදුසමයේ එන නිර්වාණය නමැති සංකල්පය යුදෙව් ක්‍රිස්ත්‍රියානි සම්ප්‍රදා‌යයන්හි හෝ දේවවාදී, ගූඪවාදී, විඥ‌ානවාදී හෝ භාරතීය දර්ශනයෙහි එන ඒකත්වවාදී සම්ප්‍රද‌ායයන්ගේ දැක්වෙන පරම නිෂ්ඨාවෙන් සුවිශේෂි නොවූ සංකල්පයක් කොට අර්ථකථනය කිරීමට වැර දැරූහ.

 නිර්වාණය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීමද උත්තරානුභූතිවාදී ගණයට අයත් වූවක්ය යන සාවද්‍ය අර්ථකථනය පදනම් කරගත් දිගුකලක් තිස්සේ භාරතීය ආගමික හා ද‌ාර්ශනික අධ්‍යයන ක්ෂේත්‍රය තුළ මුල්බැසගෙන තිබුණු මතයට අසංග තිලකරත්නයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් වඩාත් ළගන්නා සුළුද, විචාරාත්මක හා ශාස්ත්‍රීය වූද අභියෝග විය. බුදුරදුන්ගේ ඉගැන්වීම්වල අසමසම බව සස්තවාද සහ උච්ඡේදවාද යනුවෙන් හඳුන්වනු ලබන ද‌ාර්ශනික අන්තද්වය පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කිරීම මත රඳ‌‌ා පවතී. කවර ආකාර වූ හෝ  අවාච්‍යත්වයක් සහ උත්තරානුභූතිකත්වයක් බුදුසමය මත පැවැරීම මෙම අසමසම බව අමතක කර දමන අතර එහි පවත්නා අනුභූතිමය ලක්ෂණය නොසලකා හරිමින් බුදුසමය ද දේවවාදය, ගූඪවාදය සහ පරම විඥ‌ානවාදය හා සබැඳි ආගමික මතවාද සමූහය වෙත තල්ලුකර දැමීමට උත්සාහ කරයි.

අසංග තිලකරත්නයන්ගේ කෘතිය වූ කලී නිසැකවම බුදුසමය පිළිබඳ එවැනි සාවද්‍ය අර්ථකථනවලට එරෙහිව එල්ල කරන ලද මහා අභියෝගයක් සේ සැලකිය හැකිය. තවද තමා විසින්ම හෝ ඇතැම් විට තවත් විද්වතුන් සමඟ එක්ව හෝ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සැලකිය යුතු කෘති සංඛ්‍යාවක් ලියා ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් අසංග තිලකරත්නයෝ ප්‍රශංසාවට ලක්වෙති. ඒ අතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය විසින් 1993 දී ප්‍රකාශයට පත්කරන ලද එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධය පදනම් කරගත් Nirvana and Ineffability: A Study of the Buddhist Theory of Reality and Language නමැති කෘතිය විශේෂයෙන් වැදගත් වෙයි.

 එයට කලකට පෙර එනම් 1979 දී එතුමා විසින් සිංහල භාෂාවෙන් ලියා පළකරන ලද ‘මිනිස් ගැටලු පිළිබඳ බෞද්ධ විග්‍රහය’ නමැති කෘතියට බුදුසමය පිළිබඳ සිංහල භාෂාවෙන් ප්‍රකාශිත හොඳම කෘතිය වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට එතුමා සමත් විය. 2001 වර්ෂයේදී සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් ‘ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය’ නමැති එතුමාගේ කෘතිය එම වර්ෂයෙහි දර්ශනවාදය පිළිබඳ තේමාව යටතේ ලියැවුණු කෘති අතුරින් හොඳම ග්‍රන්ථය ලෙස කුසලතාව හිමිකර ගනිමින් එම වර්ෂයේ රාජ්‍ය සම්මානය දිනාගැනීමට සමත් විය. ශාස්ත්‍රීය ප්‍රකාශන 16කට අධික සංඛ්‍යාවක සංස්කාරකවරයා ලෙස හෝ සමසංස්කාරකවරයා ලෙස හෝ එතුමා කටයුතු කර ඇත. තවද එතුමා වෙනත් සම්භාවනීය විද්වතුන්ගේ කෘති ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට හෝ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට හෝ පරිවර්තනය කිරීමෙන් ශාස්ත්‍රීය ලෝකයට වටිනා දායකත්වයක් සපයා ඇත.

බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය තුළ දැනුම බෙදා හැරීමෙහිලා අසංග තිලකරත්නයන් විසින් ලබාදී ඇති දායකත්වය අතිවිශාලය. පොදුවේ වැදගත්වන සමාජ ගැටලු සම්බන්ධ විෂයයන් පිළිබඳව මෙන්ම බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය හා සම්බන්ධ ශාස්ත්‍රීය වශයෙන් උත්තේජනක මාතෘකා මත පැවැත්වූ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණවල එතුමා විසින් ප්‍රධාන දේශනය පැවැත් වූ අවස්ථා බොහෝය. මෙම අවස්ථාවන්හිදී එතුමා විසින් තෝරාගනු ලැබූ මාතෘකාවේ ක්ෂේත්‍රය තුළ කරුණු සාකච්ඡා කිරීම පිණිස අන්තර්විෂයාත්මක ප්‍රවේශයක් යොදාගනු ලැබ ඇත.
මේ සඳහා නිදර්ශනයක් දක්වන්නේ නම් රතු කුරුස ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධාන කරන ලද ‘ගැටුම මධ්‍යයේ වේදනාව අඩු කිරීම: බුදුසමය හා මානවහිතවාදී නීතිය අතර අන්තර් මුහුණත’ (Reducing Suffering during Conflict; The Interface between Buddhism and Humanitarian Law) යන තේමාව පදනම් කරගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ‘රාජ්‍ය පාලනයේ මාන දෙකෙන් පැන නගින කරුණු’ (Implications of Two Dimensions on Statecraft) යන මැයෙන් එතුමා විසින් ශාස්ත්‍රීය ලිපියක් ඉදිරිපත් කරන ලදී.

2019 ඔක්තෝබර් මාසයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ මුදල් සහ කළමනාකරණ පීඨය මගින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර පර්‌යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වෙමින් එතුමා විසින් පවත්වන ලද දේශනයෙහි මාතෘකාව වූයේ ‘සුසමාදර්ශය ඉක්මවා යාමේ අවශ්‍යතාව: ව්‍යාපාර කළමනාකරණය සඳහා මෛත්‍රීය පදනම් කරගත් ප්‍රවේශයක්’ (Need for Paradigm Shift; A Metta-Based Approach to Business Management) යන්නය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස අසංග තිලකරත්නයන් කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ගතකර ඇත. වර්ෂ 1986 දී ආචාර්ය උපාධිය සඳහා පර්‌යේෂණ කටයුතුවල යෙදී සිටින ශිෂ්‍යයකු වශයෙන් හවායි විශ්වවිද්‍යාලයේ ගත කරන සමයේදී හෙතෙම එම විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් සඳහා බෞද්ධ දර්ශනය, බටහිර දර්ශනය, තර්ක ශාස්ත්‍රය සහ විචාරාත්මක චින්තනය යන විෂයයන් ඉගැන්වීමෙහි යෙදුණි.

1989 සිට 1992 ජුලි මාසය දක්වා වූ කාලය තුළ හවායි විශ්වවිද්‍යාලයයේ සහ හවායිහි චමිනාඩේ විශ්වවිද්‍යාලයයේ දර්ශන සහ ආගමික අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂක පාඨමාලාවල ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ අධි ශිෂ්‍යත්වයක් යටතේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගතකළ 1999 සැප්තැම්බර් මාසයේ සිට 2000 සැප්තැම්බර් මාසය දක්වා වූ කාල පරිච්ඡේදය හැර 1992 ජුලි මස සිට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයට බැඳී එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් එතුමා අඛණ්ඩව සේවය කර ඇත. එයට අතිරේකව රුහුණු විශ්වවිද්‍යාලයේ ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද කොළඹ විශ්වවිද්‍යාලයේ ද ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස එතුමා වරින් වර සේවය කර ඇත. අවසානයේදී හෙතෙම පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට බැඳුණි. එතුමා විසින් සිය ඉගැන්වීමේ නිපුණත්වය ප්‍රදර්ශනය කළ විෂයයන් අතරට බෞද්ධ ඥාන විභාගය, බෞද්ධ තර්ක ශාස්ත්‍රය, ආචාර ධර්මය සහ බටහිර දර්ශනය ද අන්තර්ගත කළ හැකිය.

2003 සිට 2006 දක්වා එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා විය. 2009 දී එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රමුඛ මහාචාර්යවරයා ලෙස පත්වීම ලද අතර 2018 මාර්තු දක්වා එම තනතුරෙහි සේවයේ නිරත විය. 2002 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය ස්ථාපිත කිරීමේ ගෞරවය අසංග තිලකරත්නයන්ට හිමිවන අතර එතුමාගේ ඉල්ලීම මත එහි ප්‍රථම සභාපතිවරයා ලෙස ක්‍රියා කිරීමට මම එකඟවීමි. අසංග තිලකරත්නයන් එහි සම ලේකම්වරයකු ලෙස වැඩ භාරගත් අතර 2018 වන තෙක් එම තනතුරෙහි සේවය කළේය. 2018 දී මගේ ඉල්ලා අස්වීමත් සමඟම එතුමා සංගමයේ සභාපති තනතුරට පත්වූ අතර අද දක්වාම එම තනතුර දරමින් සිටී.

ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය එහි ආරම්භයේ සිටම එමගින් පවත්වන ලද අතිශයින්ම වැදගත් ශාස්ත්‍රීය සංසිද්ධි සේ සැලකිය හැකි වරින් වර පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමෙහිලා අසංග තිලකරත්නයෝ ජීවනාලිය සේ ක්‍රියාකළහ. බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ කාර්යයන්හි නිරතව සිටින විද්වතුන්ට සිය ශාස්ත්‍රීය ඥානය මෙන්ම තම තමන් විසින් පවත්වන ලද පර්‌යේෂණ පිළිබඳ තොරතුරු ද වරින් වර පොදු වේදිකාවක් මත බෙදාහදා ගැනීම පිණිස ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත එකම සංවිධානය ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය බව නිසැකය.

බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අගනා දායකත්වයක් සපයමින් අද දක්වාම මෙම සංගමය සක්‍රීයව ක්‍රියාත්මක වනුයේ අසංග තිලකරත්නයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නිසාය යනුවෙන් පැවැසීම අතිශයෝක්තියක් නොවේ.

තවද ශ්‍රී ලංකාවේ සමාජයීය, ආර්ථික සහ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කැපවුණු රාජ්‍ය නොවන සංවිධානයක් වන දම්රිවි පදනමෙහි සමාරම්භක සභාපතිවරයා වන්නේ ද අසංග තිලකරත්නයන්ය. විවිධ මනෝ විද්‍යාත්මක ගැටලුවලින් පීඩාවට ලක්ව සිටින පුද්ගලයින්ට බෞද්ධ උපදේශන ක්‍රමවේද භාවිත කිරීම මගින් මනෝ විද්‍යාත්මක උපදෙස් ලබාදීම මෙම සංගමය විසින් ඉටු කරනු ලබන මහත් සේ අගය කළ යුතු කාර්යයන්ගෙන් එකකි.

ශාස්ත්‍රීය කාර්යයන්හි මෙන්ම අනෙකුත් සමාජමය සේවාවන්හිද අඛණ්ඩව නිරතවීම පිණිස එතුමාට දීර්ඝායුෂ, අප්‍රතිහත ධෛර්යය සහ ශක්තිය ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.


(***)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ
සේවාර්ජිත මහාචාර්ය පී. ඩී. ප්‍රේමසිරි
සිංහල පරිවර්තනය - ඩී. ඩී. සේනාධීර



අදහස් (6)

බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන මහාචාර්ය තිලකරත්න

ධර්මවර්ධන Thursday, 27 August 2020 08:54 AM

මෙතුමා රත්මලානේ සිටි කාලයේ මට හමුවුණා නිතරම. එතුමාගේ වියත්බව අගයමි...

:       0       12

කරුණාසාර Thursday, 27 August 2020 08:01 PM

මෙතුමාගේ "මිනිස් ගැටළු පිළිබඳ බෞද්ධ විග්‍රහය" පොත කියවිය යුතු පොතක්...

:       0       144

Leslie Friday, 28 August 2020 06:15 AM

අපේ දේ, අපේකම, දේශිය දෙවිවරු... අපේ දේශිය දෙවිවරුන්ට රටේ මුල්නැන දෙනතුරු රටේ දියුණුවක් නැත....

:       0       53

vikum Friday, 28 August 2020 02:14 PM

මහාචාර්යතුමනි, ඔබතුමන් ශාස්ත්‍රීය ව්‍යායාමය වෙනුවෙන් දායාද කළ දේ බොහෝය. නමුත් ඔබට සැබවින්ම අප සමාජයේ ලැබිය යුතු සැබැ ස්ථානය නොලැබීම දුක්මුසුය..

:       0       31

එලුවාපොළ පඤ්ඤුාරතන හිමි-ඇතන්ස් විහාරාධිපති, ගීරීසිය. Sunday, 30 August 2020 01:17 PM

මා දන්නා තරමින් දැනට සිටින වියතුන් අතර බොදු අධ්‍යාපනය පිළිබඳ ඉහළම උගතුන් කීප දෙනාගෙන් කෙනෙකු ලෙස මෙතුමා අගය කළ හැකිය. බුදුදහම ගැන ප්‍රාමාණික මෙවැනි වියතුන් පහළ වීම මෙකල විරලය. මගේ ද හිතවතෙකු වන එතුමාට මම සුබපතමි. තෙරුවන් සරණයි. නිරෝගි සුව දිර්ඝායුෂ ලැබේවා...!

:       0       0

mp Tuesday, 01 September 2020 01:00 AM

බොහෝ කලක් පැවිදිව සිටි කෙනෙක්. එහෙත් මනුස්සකම සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට නොගිය කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site