IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බෙදී​මේ වෙන්වීමේ ආනිසංස

රටක් වසා තැබීම යනු රටක ආර්ථිකය වසා තැබීමය. රට වසාගෙන නොහැකිය යන තර්කයට ආණ්ඩුව හේතු ලෙස ඉදිරිපත් කරන්නේ අපනයන ආදායම් කඩාවැටුණොත් රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගත නොහැකි වීම හා මෙයින් දැඩිව පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ජන තීරුවය යන්නයි. සැබැවින්ම මේ හේතු දෙකම සත්‍යය.

මෙයින් වඩාත් දැඩි පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ තීරුවයි. නොඑසේව දෛනික ආදායම් උපයා ජීවත් වන මිනිස්සුය. එහෙත් අවාසනාවට ආර්ථික විද්‍යාත්මක තර්කයෙහි පමණක් පිහිටා කරන විවෘත කිරීමකදී නැවතත් අවදානමේ හෙළන්නේ ද ඒ සමාජ තීරුවමය.

එනිසා අවධානය යොමු කළ යුත්තේ වසංගතය පැතිර යාමට සාධක නිර්මාණය කර දී මුළු රටම වසා තැබීමට සිදුවන තත්ත්වයෙන් මිදීම ගැනය. එවිට වයිරසයේ ව්‍යාප්තිය අනුව අවශ්‍ය පෙදෙස්වලට පමණක් භූගෝලීය වශයෙන් සීමා පනවන පිළිවෙතක් අනුගමනය කළ හැකිය. ඊට සමාජයක් අනුගත කරගැනීම අපහසු නැත.

නිදසුනකට ගතහොත් කොරෝනා සමග රට තුළ නිර්මාණය වී ඇති සංස්කෘතිය දැක්විය හැකිය. ආරම්භයේදී මුව වැස්මක් භාවිත කිරීමට පැකිලුණු සමාජයට අද වනවිට මුව වැස්ම සාමාන්‍ය දෙයකි.

සැනිටයිසරයක් ළඟ තබා ගැනීම සාමාන්‍ය දෙයකි. ඉතින් මේ ආකාරයට අවශ්‍ය පෙදෙස්වලට පමණක් කෙරෙන සීමා පැනවීම්වලට සමාජය කල්ගත වනවිට හුරුවේ. ඊළඟට අවශ්‍ය වන්නේ මෙසේ සීමා සහිතව පැනවෙන සංචරණ සීමාවලට අදාළ පහළ පාන්තික ජන පිරිස් රැකබලාගන්නා ක්‍රමයක් සමස්ත සමාජයේ දායකත්වයෙන් නිර්මාණය කරගැනීමය. අද සිදුව තිබෙන්නේ මේ ජන තීරුව රැකබලාගැනීමේ තනි වගකීම ආණ්ඩුව කර පිට වැටීමය. ඊට හේතුව නම් ආණ්ඩුකරණයට විපාක්ෂික කණ්ඩායම් හා පොදු ජනයා ඇතුළු කරගන්නා ක්‍රමයක් ගැන ආණ්ඩුවටම ඇති නොවැටහීමය.

නවසීලන්තය වැනි රටවල් පමණක් නොවේ. බංගලාදේශය, පාකිස්ථානය වැනි රටවල් වුවත් කොරෝනා මර්දනයේදී වැඩසටහන් පෙළගැස්වූයේ එය ජාතික ව්‍යසනයක් හැටියට සලකාය. ආගමික, දේශපාලනික හා අනෙකුත් කොටස් එකතු කරගෙනය. මේ හරහා එම වසංගතයට එරෙහි සටන ජාතික සටනක් බවට පරිවර්තනය කරගැනීමට එම රටවල් කටයුතු කර තිබේ. ජනතාව වගකීම් සහගත අයුරින් හැසිරීම වසංගතය පරාජයේ අත්‍යවශ්‍ය සාධකයකි. ජාතික බැඳීමකින් ක්‍රියා කිරීමේදී ජනතාවගෙන් සාමාන්‍යයෙන් ලැබෙන සහයෝගයට වැඩි සහයෝගයක් ලබාගත හැකි වේ. වර්තමානයේදී ලංකාව මුහුණ දෙන ප්‍රශ්න රැසක්ම එවැනි ප්‍රවේශයකින් විසඳා ගැනීමට හැකි වූ බව මම විශ්වාස කරමි.

එහෙත් ලංකාව ඒ වෙනුවට තෝරාගත්තේ සීමිත දේශපාලන කණ්ඩායමකින් තීන්දු තීරණ ගැනීමට ප්‍රමුඛත්වය දීමය. ආසාදිත මරණවල ආදාහන කටයුතු සම්බන්ධයෙන් ආරම්භයේදීම මුස්ලිම් ජනයා සමග අනවශ්‍ය ආතතියක් ඇති කරගැනීම ඊට ප්‍රමුඛ නිදසුනකි. මේ අනවශ්‍ය වැඩවලින් වූයේ වසංගතය තුළ එකතු වීම වෙනුවට බෙදී යාමකි.

සර්වාගමික හෝ සර්වපාක්ෂික සමුළුවක් වැනි යාන්ත්‍රණයක් භාවිත කළේ නම් ඒ අවස්ථාවේ සිටම ආණ්ඩුවට පුළුල් ජන සහයෝගිතාවක් ගොඩනගා ගැනීමට ඉඩ තිබිණි. එහෙත් එවැන්නක් නොවුණි. එහි ප්‍රතිඵලය වූයේ රට තුළ ප්‍රශ්නයට ජාත්‍යන්තර වශයෙන් අවවාද නැගෙන තත්ත්වයක් නිර්මාණය වීමය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි ජනතාව අතරේම විශාල සාකච්ඡාවක් තිබේ. එහිදී ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන්නේ විශේෂයෙන්ම පහළ ආදායම් ලබන ජන කණ්ඩායමේ දරුවන්ට අධ්‍යාපනය ලබාගත හැකි වැඩපිළිවෙළක් නොවීමය. ඇතැම් තැන්වලදී මෙය ආර්ථික මෙන්ම භූගෝලීය ද ප්‍රශ්නයකි. නිදසුනකට මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සිග්නල් පහසුකම් නැත. එමෙන්ම පෙර කී පහළ ජන තීරුව නියෝජනය කරන දරුවන්ට ඊට අවශ්‍ය උපකරණ හා මෙවලම් නැත. එක්කෝ ඩේටා මිලදී ගැනීමට තරම් මුදල් නැත. එහෙත් පෙර කී ආකාරයේ යාන්ත්‍රණයක් තිබුණේ නම් අපට දානපතියන්ගෙන්, ව්‍යාපාරික ප්‍රජාව, දේශපාලන හා සිවිල් කණ්ඩායම්වලින් ප්‍රාදේශීය වශයෙන් වුව කිසියම් සහයෝගී සමාජ සත්කාරක වැඩපිළිවෙළක් නිර්මාණය කරගැනීමට ඉඩ තිබිණ.

කරන්නට තිබුණේ අධ්‍යාපනය ජාතික අවශ්‍යතාවක් සේ සලකා මුදුන්පත් කරගැනීමට මැදිහත්වන්නැයි ඉහළ දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමය. මේ වනවිට එවැනි සත්කාරක වැඩසටහන් මිනිසුන් ස්වෙච්ඡාවෙන් කරන තැන් ඇතත් ඒවා ජාතික මට්ටමට සංයුක්ත කරගැනීමට සිවිල් සංවිධානවලට හැකියාවක් නැත. අධ්‍යාපනයේ ප්‍රශ්නය අප හිතනවාට වඩා ගැඹුරුය. එය එක පරම්පරාවකින් විසඳාගත හැකි වේ දැයි පවා කිව නොහැකිය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අතින් ඉහළ දර්ශකවල සිටින රටකි. දරිද්‍රතා රේඛාවේ සිටින ජනයා අතරේ පවා සිය දරුවන්ට අධ්‍යාපනය දෙන්නට තිබුණේ නොමඳ උනන්දුවකි. මේ නිසාම පීඩිත යැයි සැලකෙන මිනිසුන්ට පවා සමාජයේ ඉහළට කරක් ගසන්නට හැකි වුණේ අධ්‍යාපනය ඉණිමගක් කරගෙනය. එය සමාජීය ප්‍රගමනයකි. කොරෝනාවෙන් ප්‍රබල පහරක් වැදුණේ ඒ ප්‍රගතිකාරක සාධකයටය.

මේ අවස්ථාවේ යම් කැපකිරීමක් අපේක්ෂා කරන්නේ යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක පැවැසීය. ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් සිය වැටුප කොරෝනා මර්දන වැඩකටයුතු සඳහා ලබාදෙන ආකාරයක් ද දක්නට තිබිණ. මේ අතරේ ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කරන්නට වූයේ ජනතාවගේ පැත්තෙන් තවත් කැප කරන්නට ඇත්තේ කුමක් ද කියාය. සැබැවින්ම මෙවැනි ප්‍රශ්නයක් නැගුණේ ආණ්ඩුවේ පැත්තෙන් අවශ්‍ය මොහොතේ අවශ්‍ය ඉල්ලීම නොකෙරුණු බැවිනි. ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කිරීමේ වරදක් නැත. නොගැළපුණේ කාල වේලාවය.

ආණ්ඩුවක් හැටියට මේ ඉල්ලීම් කිරීමට තිබුණේ වසංගතය ආරම්භක සමයේදීම තත්ත්වය නරක අතට හැරෙද්දීය. එය කිරීමට තිබුණේ හුදෙක් මූල්‍ය කැපකිරීම් පමණක් නොවන සමාජ ජීවිතය ද ඉලක්ක කරගත් ජාතික ඉල්ලීමක් හැටියටය.

තමන්ට සුපුරුදු සමාජ ජීවිතයේ වෙනස්කම්වලට යොමුවීම, ඒවා දරාගැනීම ද කැපකිරීමකි. අසල්වැසියාගේ දුප්පත් දරුවන් වෙනුවෙන් මැදිහත්වීම ද කැපකිරීමකි. ආරම්භයේදීම මේ කැපකිරීමට අවශ්‍ය භෞතික හා මනෝමූල සමාජ අවකාශය නිර්මාණය කරගෙන තිබුණේ නම් ආණ්ඩුවට අද වනවිට එය යෝධ හයියකි. අනිවාර්යයෙන්ම මෙවැනි මොහොතක එවැනි අවකාශයක් තිබුණි නම් රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව සැලකිය යුතු කැපකිරීමක් මුළු මහත් සමාජයෙන්ම ලබාගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිණ. නොඑසේව තත්ත්වය උග්‍ර අතට හැරුණු විට ආතතියෙන් පෙළෙන සමාජයකින් කැපකිරීම් කරන්නැයි කීවාට එය සාර්ථක වන්නේ නැත. මේ ඉල්ලීම පවා තත්ත්වය හරි හැටි නිරාවරණය නොකර කෙරෙන දුබල සන්නිවේදනයකි. ජනාධිපතිවරයාගේ කතාවෙන් පොදු ජනයා අතර අභිප්‍රේරණයක් නොවූයේ එහෙයිනි.

අනෙක් අතට කොරෝනා මර්දනයට සහාය පිණිස ආණ්ඩුව සැකැසූ මූල්‍යමය ව්‍යුහවලට ද ජනතාව අතරේ විශාල ජනප්‍රියත්වයක් දිනා ගැනීමට හැකි වූයේ නැත. ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල ඊට නිදසුනකි. ඒ ගැන නිසියාකාරයෙන් ජනයාට සන්නිවේදනය වූයේ නැති අතර සමාජයෙන් ඊට ලොකු සහායක් ගත හැකි ආකාරයක් ගැන ද පරිපාලනය සිතුවේ නැත. ඊට ලැබුණු මුදලට වැඩි මුදලක් එකතු කරගැනීමට හැකියාවක් තිබුණි. අවසානයේදී වූයේ එහි විනිවිදභාවය ගැන සමාජයෙන් ප්‍රශ්න කෙරෙන තැනට හා ඊට පිළිතුරු බඳින්නට රාජ්‍ය නායකත්වයට සිදුවන තැනට කටයුතු සිදුවීමය.

සැබැවින්ම අද වනවිට විදේශ විනිමය සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ දැඩි අර්බුදයකය. මේ නිසා රටක් හැටියට අප ගත් ණය ගෙවීමේදී ලොකු අසීරුතාවකි. සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති තත්ත්වය ඊට ප්‍රධානව බලපා ඇත. ආනයන පාලනය ඊට කිසියම් පිළිතුරක් හැටියට අනුගමනය කර ඇතත් එය පවා ප්‍රමාණවත් නැති තත්ත්වයක් පෙනේ.

මෙවැනි අවස්ථාවක පොදු ජනයාගෙන් ලබාගත හැකි දායකත්වයක් තිබේ ද? සැබැවින්ම හැකිය. විදේශ විනිමය අවශ්‍ය කරන ආනයනික භාණ්ඩ සඳහා වූ වියදම් පාලනය කරගැනීමට ඔවුන්ගෙන් දායකත්වයක් ගත හැකිය. එය මේ අවස්ථාවේ විසල් ශක්තියකි. එමෙන්ම ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් ද කිසියම් හෝ සහායක් ලබාගත හැකිය. අවිධිමත් අංශය නියෝජනය කරන පහළ ජන තීරුවල ජනයාට ජීවිතය පවත්වා ගැනීමට ඔවුන්ට ශක්තියක් විය හැකිය. රැකියා අහිමිව සිටින ජනයාට නැවත රැකියාවක් හිමිවන තෙක් ඔවුන් පෝෂණය කරන ක්‍රමයක් නිර්මාණය කරගැනීමට ඉඩ තිබිණ. මේ සම්බන්ධයෙන් අසංවිධිත ලෙස විවිධ වේදිකාවල සාකච්ඡා වී තිබූ නමුත් ඊට ද පැහැදිලි දේශපාලන අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කරන ආකාරයක් පෙනෙන්නේ නැත.

කොරෝනා වසංගතය කවදා අවසන් වේ දැයි කිසිවකුට අදහසක් නැත. එනිසා දැන් වුවත් මේ කියන ආකාරයේ වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට ආණ්ඩුවට නොහැකියාවක් නැත. අවශ්‍ය වන්නේ දේශපාලන, ආගමික හා සිවිල් සමාජය වශයෙන් සහාය ලබාගත හැකි යාන්ත්‍රණයක් සකස් කරගැනීමය. එය කිසියම් ආකාරයක ජාතික ව්‍යාපාරයකි.

ජාතික ව්‍යාපාරයක නිසග ලක්ෂණය නම් එකමුතුවයි. එය හුදෙක් කොරෝනා අර්බුදයට පිළියම් සොයන කෙටි කාලීන ඉලක්කයෙන් ඔබ්බට යන ජාතික සමගිය ගොඩනගමින් රටේ දිගු දුර ආර්ථික සංවර්ධන ඉලක්ක ජයගන්නා වැඩපිළිවෙළක් බවට ද පරිවර්තනය කරගත හැකිය.

සාමාන්‍යයෙන් ජාතියක් එකමුතු කිරීම පහසු දෙයක් නොවේ. බොහෝවිට එවැන්නක් සිදුවෙන්නේ තමන්ට එරෙහි පොදු සතුරකුගේ සම්මුඛ වීම සමගය. ඉංග්‍රීසි ආණ්ඩුව පන්නා දැමීමට එකමුතු වීම ඉතිහාසයේ එසේ අපට හමුවන ජනප්‍රියම නිදසුනකි. මානව ක්‍රියාකාරකමක් නොවුණත් කොරෝනා යනුම එවැනි පන්නයේ සතුරෙකි. වින්ධිතයන් වන ආසාදිතයන්ට ජාති, ආගම්, කුල භේදයක් නැත. එහිදී වසංගතය විසින් නිර්මාණය කරන ලද සමාජ, ආර්ථික අර්බුදය ජය ගනිමින් ජාතිය එක්සත් කරගැනීමට මෙය ස්වර්ණමය අවස්ථාවක් කරගත හැකිය.

මෙම ඉලක්කය මුල් කරගත් දැක්මකින් මේ මොහොතේ හෝ ආණ්ඩුව විවිධ කණ්ඩායම් පෙළගස්වන්නේ නම් වසංගතය හමුවේ නිර්මාණය වී ඇති ආතතිකාරී සමාජය සමහන් කරගැනීමට කිසියම් ආකාරයකට හැකිවනු ඇත. ලෝකයේ ගමන් මග වෙනස් කර ඇත්තේ ඉතිහාසය පුරාම තීරණාත්මක අවස්ථා මගිනි. මෙය ද කිසියම් ආකාරයකට ලංකාවේ ගමන් මග වෙනස් කරගත හැකි තීරණාත්මක අවස්ථාවකි. දැනට සිදුව ඇත්තේ දැන හෝ නොදැන රජයෙන් මේ අවස්ථාව මගහැරීමය. ඒකාබද්ධ වීම වෙනුවට බෙදීමය. ආණ්ඩුවේ දෘෂ්ටිමය අවුල කොතරම් දුරට වර්ධනය වී ද යත් අද වනවිට වසංතය විසින් ආණ්ඩුව හා සෙසු කොටස් අතර පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයේම බෙදීම් ද වර්ධනය කරනු ලැබ තිබේ. මහාචාර්ය තිස්ස විතාරණ වැනි ප්‍රාමාණිකයන් ප්‍රසිද්ධියේම ජනමාධ්‍යයට ලබාදෙන සාකච්ඡාවලින් ආණ්ඩුවේම ඇමැතිවරුන්ගේ කණස්සලු කතාවලින් කියන්නේ එයයි.

ගමක පන්සලට පල්ලියට ගමේ පවුල් දහයක් ජීවත් කරවන්නට නොහැකියාවක් නැත. සුනාමිය හා යුද්ධාවසාන කාලයේදී සමාජයේ එවැනි විශාල මැදිහත්වීම් අපි දුටුවෙමු. කොරෝනාවේදී සමාජ සංචලනයට වැට බැඳෙන නිසා ජනතාවට ස්වෙච්ඡාවෙන් වැඩපිළිවෙළක් හැදීම පහසු නැත. එහෙත් ගමක ආගමික නායකත්වයට අදටත් සිය දායක ජනයා හැසිරවීමෙහි දේශපාලකයාට නැති ශඛ්‍යතාවක් තිබේ. ආණ්ඩුව කළ යුතු වන්නේ සමාජයේ මේ විභව ශක්තිය ප්‍රයෝජනයට ගැනීමය. එය ආණ්ඩුවට විශාල මානසික සහනයකි. විදේශ විනිමය සම්බන්ධයෙන් වන අර්බුදය ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූවක් නොවේ. එසේය කියා රටකට ණය වී හිඟමනේ යන්නත් බැරිය. ඒ සඳහා ඉදිරියට එන්නැයි ජනයාට පවසන අතරේ ඒ ඒ භූමිකාවලට ජාතික වටිනාකමක් දිය යුතුය. ආණ්ඩුව මේ කතාව නිසියාකාරව මහජනයාට සන්නිවේදනය කළ යුතුය. එදා ඉන්දියානු නිදහස් සටන පෙළගස්වද්දී ආර්ථික දැක්මකින් ද යුතුව ක්‍රියා කිරීමට ඉන්දීය නායකයෝ පරෙස්සම් වූහ. මේ නිසා යටත්විජිතහරණයෙන් පසු ඉන්දියාව ප්‍රගතිය කරා ගියේ දේශීය ව්‍යාපාරික පන්තියක් ද නිර්මාණය කරගනිමිනි.

කෘෂිකාර්මික හා කාර්මික තලයේ දේශීය නිෂ්පාදන දියුණු වෙද්දී ඉන්දියානු දේ ගන්නැයි යන්න ඉන්දීය සමාජයේ වටිනාකමක් විය. ලංකාවට මේ අර්බුද සමය අවශ්‍ය නම් ගිලිහී ගිය එබඳු අවස්ථා නැවත නිර්මාණයට අවස්ථාවක් කරගත හැකිය. අර්බුදකාරී අවස්ථාවක ජන සහයෝගය යනු අත්‍යවශ්‍ය පියවරකි. නීතියෙන්ම පමණක් මෙවැනි අර්බුද ජයගත හැකි යැයි කිසිවකු සිතන්නේ නම් එය මුළාවකි.

අනෙක් අතට එවැනි ජන සහයෝගයක් ලබාගත හැකි නිර්මාණශීලී වැඩපිළිවෙළක් යනු කිසියම් ආකාරයකට ජනතාව ඇතුළත් කරගත් ආණ්ඩුකරණයක දියුණු තත්ත්වයකි. එය ජාත්‍යන්තර වශයෙන් වුව රටක ආණ්ඩුවකට ලබාදෙන්නේ ඉහළ අගයකි. වෙනසකට නම් දැනටත් පමා නැත. අවශ්‍ය වන්නේ ආධානග්‍රාහීත්වයෙන් මිදීම පමණි.

 

(***)
(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (8)

බෙදී​මේ වෙන්වීමේ ආනිසංස

කමල් Wednesday, 08 September 2021 03:56 PM

මෙබඳු පෙළගැස්සවීමක් කෙරුමට රාජ්‍ය නායකත්වය ආදර්ශමත් වීම අවශ්‍ය වේ යැයි සිතමි. වර්තමානයේ ඔවුන් කරන නොකරන යම් යම් දෑ දුටු විට ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වේ. විශ්වාසය පළුදු වන විට සැකය ඇති වේ. සැකය නිසා එකමුතුවීමට පසුබට වේ. ආචාරධර්මවලට ගරු කරන, දූෂණය වළක්වන, ආධ්‍යාත්මික සහ භෞතික යන දෙපසින්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන නායකයින් පහළ වේවා!

:       0       5

කමල් Wednesday, 08 September 2021 04:02 PM

මෙම ලිපියේ මාතෘකාව "බෙදී​මේ වෙන්වීමේ ආනිසංස" නොව "බෙදී​මේ වෙන්වීමේ ආදීනව" ලෙස වෙනස් වූවා නම් සුදුසු නොවේද?

:       1       3

sena Wednesday, 08 September 2021 04:35 PM

කිසියම් ආකාරයකට ජනතාව ඇතුළත් කරගත් ආණ්ඩුකරණය කරන්නේ කෙසේද, කුමක් කියාද පැහැදිලිව කියන්න.

:       2       0

gunarathnaThursday, 09 September 2021 07:35 AM

සේන ඔබේ කොමෙන්ට් එක හරිම වැදගත්. පත්තරවල ලොකුවට කිව්වට මේක ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද.?

:       2       1

කමල්Thursday, 09 September 2021 11:55 AM

දැලකට අසු වූ කුරුළු රැළක් සමඟිව දැල ඔසවාගෙන පියඹා ගොස් නිදහස ලබන්නා සේ වූ සමඟියකිනුයි ඔය දේ කරන්න පුළුවන් වෙන්නේ. එසේ වූ සමඟියක් ඇතිකරන්න සමාජය තුළ අවශ්‍ය මතවාදය සැකසිය යුතුයි. එම මතවාදය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අනුරූප ප්‍රතිපත්ති සකස්විය යුතුයි. එම ප්‍රතිපත්ති මනාව ක්‍රියාත්මක කරන සහ අන් අයව ඊට යොමු කරන ආදර්ශමත් නායකත්වයක් රට තුළ ස්ථාපිත විය යුතුයි. මෙකල දැකිය හැකි කිසිදු දේශපාලන පක්ෂයක එබඳු නායකත්වයක් ඇති බව පැහැදිලිව පෙනෙන්න නෑ.

:       0       2

senaFriday, 10 September 2021 05:52 AM

ලංකාවේ දේශපාලනට නව ක්‍රමවේදයක් ඇතිකිරීමේ හැකියව පවතී. එය කල හැකිවන්නේ සම්ප්‍රදායානුකුල දේශපාලනයේ නොයෙදුණු නව කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කළහොත් පමණි. රටේ ජනතවට රට පිලිබදව දැනීමක් සහ හැගීමක් ඇතිවන නව මොඩලයක් / ක්‍රමවේදයක් මත රට දියුණු කිරීමට නම් රටේ ජනතාවගේ කැපවීම මැදිහත්වීම සහ ඔවුන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. ප්‍රායෝගිකව රට වෙනුවෙන් ජනතාව කැපවන සහ වගවන රජයක් අවශ්‍යනම් රටේ ද්ශපාලන ක්‍රමය වෙනස් කිරීමට ජනතව දැනුවත් කල යුතුවේ.

:       1       1

DHAMMA JAYAWICKRAMA Thursday, 09 September 2021 07:34 AM

ආචාර්ය තුමා සඳහන් කරන රටවල ජ.වි.පෙ වැනි දේශපාලන පක්ෂ නැති නිසා එවැනි ආකාරයෙන් කට යුතු කළ හැකිය. සිදුවන ඕනෑම ව්‍යසනයක් තම වාසියට හරවාගතහැකියයි සිතා කටයුතු කරන ජ. වි. පෙ රටටට සාපයකි.

:       4       4

sisilThursday, 09 September 2021 07:22 PM

යූනියන් මාෆියා සහ ජවිපෙ 3% කණ්ඩායම රට දියුණු කරන්න දෙන්නේ නැත. කිසිදු ආයෝජකයකු ලංකාවට ගෙන්වා ගැනීමටද නොහැක. නමුත් ඔවුන් කියා සිටින්නේ රට දියුණු වී නැති බවකි

:       4       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 81 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 400 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1028 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1516 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site