IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බෝධි වන්දනාවේ අරුත වටහා ගනිමු


මෙලොව උපදින සත්ත්වයා නිරන්තරයෙන් ම බියෙන් හා සැකයෙන් ඇළලී ජීවත් වන්නේ ය. එම බිය මනුෂ්‍යයන්ට මෙන් ම තිරිසන් සතුන්ට ද එක සේ දැනේ. එහෙයින් මිනිස්සු අතීතයේ පටන් නොයෙකුත් වස්තූන්වල සරණ පැතූහ. පසුකාලීනව දෙවිවරුන්ගේ සරණ පැතූ ඔවුහු ඊටත් පසුව ශාස්තෘන් වහන්සේගේ ද සරණ පැතූහ.

බහුංචේ සරණං යන්ති - පබ්බතානි වනාතිච
ආරාම රුක්ඛ චෙත්‍යාණී - මනුස්සා භයතජ්ජිතා

‘මනුෂ්‍යයෝ නොයෙක් වස්තූන් සරණ යති. පර්වත, වනාන්තර, ආරාම, වෘක්ෂ, චෛත්‍යය ඒ අතර වෙති. ඔවුන් එසේ කරනුයේ බියෙන් පෙළෙන නිසාවෙනි.’
ගෞතම බුදුන් වහන්සේ පහළ වීමට පෙර දෙසැටක් මිත්‍යා දෘෂ්ටික ආගම් අතර මහා භාරතයේ වෘක්ෂ වන්දනාවන් ද පැවතුණි. බෝධි වන්දනාව යනු ඊට හාත්පසින් ම වෙනස් අරමුණක් ඇතිව සිදුකරන්නකි. බුදු දහමේ එන බෝධි වන්දනාව උත්තුංග පරමාර්ථයක් ඇති ක්‍රියාවලියකි. ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවන් බෞද්ධ සංස්කෘතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන ආගමික සම්ප්‍රදායකි. ත්‍රිවිධ චෛත්‍ය ලෙස බුදුන් වහන්සේගේ ප්‍රතිමා, සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ් සහ සිදුහත් කුමරුන්ට බුදු වීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අයත් වේ. ප්‍රතිමා සහ දාගැබ් සලකනුයේ උද්දේශික චෛත්‍ය ලෙස ය. උ + දිස + ඉක යනුවෙන් අර්ථවත් වනුයේ උදෙසා කළ යන්න ය. බෝධිය යනු පාරිභෝගික චෛත්‍යයයි. බෝධිය යන්නෙහි තේරුම බුද්ධිය, බුදු බව, බෝසත් යනාදී අර්ථවලින් සමන්විත පරම සත්‍ය අවබෝධය ලෙස සැලකේ.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තිදෙව් ලොවට අධිපතිව ලොව්තුරා බුද්ධ රාජ්‍යය ජය ගෙන බුද්ධත්වයට පත් වීමට ගෞතම බුදුන් වහන්සේට සෙවණ දුන්නේ උරුවෙල් දනව්වේ නේරංජනා නදී අසබඩ ගයා හිසෙහි පිහිටි ජය ශ්‍රී මහා බෝධියයි. සිදුහත් කුමරා පහළ වූ මොහොතේ ම යසෝධරා කුමරිය, චන්න ඇමති, ශ්‍රී මහා බෝධිය යනාදී වස්තූන් 8 ක් පහළ වී ඇත. බුද්ධත්වයට පත් ගෞතම බුදුන්ට ප්‍රථමයෙන් ම මුණ ගැසුණේ මාරයා ය. උන්වහන්සේට ප්‍රථම ආරාධනාව ලැබුණේ ද මාරයාගෙනි. එම ආරාධනාව වූයේ බුදුන් වහන්සේට ආයු සංස්කාරය අත්හරින ලෙස ය. ඔහු ඊට පෙර ද අවස්ථා ගණනක දී ම බෝසතාණන්ට අපවත් වන ලෙසට ආරාධනා කළත් ඒ සෑම විටක ම බෝසතුන් මාරයාට පිළිතුරු දී ඇත්තේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව බවයි. දැන් බුද්ධත්වයට පත් ව ඇති හෙයින් පරිනිර්වාණයට කාලය සුදුසු බවත් මාරයා පවසා ඇත.

මාරයාගේ ආරාධනාවට පිළිතුරු දුන් බුදුන් වහන්සේ පවිටු මාරය, මම කාලයක් තිස්සේ ඔබ පවසන දේ අසා සිටියෙමි. දැන් මම බුද්ධත්වයට පත්ව සිටිමි. මින් මතුවට මම නුඹ පවසන දේ පිළිගැනීමට සූදානම් නැත්තෙමි. මම කෙදිනක හෝ ආයු සංස්කාරය අතහරිමි. එහෙත් එය සිදු කරනුයේ නුඹට අවශ්‍ය දිනක නොව මට අවශ්‍ය දිනකය. වියත්, විනීත, බහුශ්‍රැත, විශාරද, ධර්මානුකූල ප්‍රතිපත්තියේ යෙදෙන සිව්වනක් පිරිස (භික්ෂු-භික්ෂුණි, උපාසක-උපාසිකා) සහිත සම්බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමෙන් පසුව මිස ඊට පෙර මම මාගේ ආයු සංස්කාරය අත් නොහරිමි. නුඹට කළ හැකි දෙයක් කරව’ ලෙස වදාළහ.

මෙම ඓතිහාසික සංවාදය සිදු වූයේ ද, උන්වහන්සේ දස මර සෙන් පරාජය කළේ ද එම බෝධි මූලයේ සිට ය. ලෝකයේ පළමු බෝධි පූජාව පවත්වනු ලැබුවේ ද බුදුන් වහන්සේ ය. සත් සතිය ගත කළ කාලයේ දෙවන සතියේ බුදු නෙත් නොපියවා සතියක් පුරා අනිමිසලෝචන පූජාවේ යෙදුණි. එසේ කළේ උන්වහන්සේ ස්වයංභූඥානයෙන් සොයාගත් ලෝකයේ පරම වූ සත්‍ය ලෝක සත්ත්වයාට දේශනා කිරීමට ප්‍රථම මානවයකු සතු උතුම්ම ගුණාංගය කෘතවේදී බව ආදර්ශයක් මගින් ලොවට පහදා දීම පිණිස ය. පසුකාලීනව බුදුන්ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් ජේතවනාරාමයේ මහාබෝධි අංකුරයක් රෝපණය කළ අවස්ථාවේ බුදුන් වහන්සේ වදාරණ ලද්දේ දැන් ජේතවනාරාමය මාගේ නිරන්තර වාසය වන්නේ ය’ යනුවෙනි. එනම් එම පින් බිමෙහි බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින බවට සලකනු ලබන බවයි.

ධර්මාශෝක අධිරාජයා තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමෙන් පසුව අනුබුදු මිහිඳු හිමියන් ලංකාවට පිටත් කොට මෙහි බුදු සසුන ස්ථාපිත වෙමින් පැවතිය දී සිය දුහිතෘ සඟමිත් රහත් තෙරණීන් වහන්සේ සමඟ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ අංකුරයක් මෙහි වැඩමවීමට කටයුතු කළේය. ශ්‍රී ලංකාවට වැඩම වීම පිණිස සූදානම් කළ ශ්‍රී මහා බෝධියේ ශාඛාව තාමලිප්ත සමුද්‍ර තීරයේ වඩා හිඳුවා ධර්මා‍ශෝක රජු දඹදිව් මහා රාජ්‍යය එම ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවට පූජා කළ බව මහා වංශයේ සඳහන් ය. බෝධි ශාඛාවේ ආරක්ෂාවට විශාල පිරිසක් ලබා දී බෝධිය වැඩ සිටි කටාරම ඔසවා ගෙන ගෙල ප්‍රමාණයට මුහුදු ජලයට බැස රජු විසින්ම ඉතා පරෙස්සමෙන් එම නෞකාවේ තැන්පත් කළ බව ද සඳහන් වේ. එම ශාඛාව නැව තුළ හිඳුවා පිටත්ව යද්දී ඒ දෙස බලමින් කඳුළු සැලූ ධර්මාශෝක රජු තාමලිත්තයේ සිට පාඨලී පුත්‍රයට ගමන් ආරම්භ කර ඇත. දඹකොළ පටුනට ළඟා වූ එම නෞකාව දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉතා සතුටින් පිළිගෙන අනුරාධපුරයේ උතුරු දොරටුවෙන් මහා පෙරහැරකින් වැඩම කරන්නට යෙදී ඇත.

අනුරාධපුර රාජධානියට වැඩම කළ පසු මුල් දින තුනේ දී දෙවනපෑතිස් රජතුමන්ම දින තුනක් තිස්සේ දොරටුපාල තනතුර දරමින් පුද පූජා පවත්වමින් එය ආරක්ෂා කළ බවට ද මහාවංශය සාක්ෂි දරයි. පසුව අනුරාධපුර මහමෙව්නා උයනේ බෝධීන් වහන්සේ ගෞරවාදර භක්තියෙන් යුතුව රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. එම භූමිය තෝරා ගැනීමට හේතු වූයේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන් හතරදෙනා වන කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාදීපය තුළ මහා සමාපත්තියෙන් වැඩ සිටි ස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ මහමෙව්නා උයන වන නිසාය. බෝධිය රෝපණයෙන් අනතුරුව දෙවන පෑතිස් රජු ශ්‍රී ලංකාද්වීපය තුන් වතාවක් මහා බෝධියට පූජා කළේය. ඒ අනුව ලංකාද්වීපය පමණක් නොව භාරත මහා රාජ්‍යය ද අනුරපුර බෝ සමිඳුට අයත් පුණ්‍ය භූමි ලෙස සැලකිය හැකි ය.

එවක් පටන් එම බෝධීන් වහන්සේ ලංකාද්වීපයේ මිනිසුන් හඳුන්වනු ලැබුවේ ‘බෝ රජ්ජුරුවෝ’, ‘සිරිමා හාමුදුරුවො’, ‘ජයසිරිමා හාමුදුරුවො’, ‘උඩමළුවේ බෝ සමිඳු’ යනාදී ගෞරව නාමයන්ගෙන් ය. මහා වංශය, දීපවංශය, සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථවල මහා බෝධි වන්දනාවන් පැවැත්වූ ආකාරය විස්තර කොට ඇත.

මහා මංගල සූත්‍රයේ සඳහන් පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං යන පදයෙන් මහා බෝධි වන්දනාව අර්ථ ගැන්වෙන බව පැහැදිලි ය. එවක් පටන් මේ දක්වා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා වාර්ෂිකව දුරුතු මහා මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය සහ කාර්තික මහා මංගල්‍යය සිදු කරනු ලබයි.

බෞද්ධයන් බෝධි වන්දනාව සිදු කරනුයේ වෘක්ෂ වන්දනාව යන අදහසින් නොව සෑම මනුෂ්‍යයෙකු තුළම පැවතිය යුතු කෘතවේදීභාවයට උපහාර දැක්වීම පිණිස ය. ඒ ඒ වෘක්ෂයන්ට අරක්ගත් දෙවි දේවතාවුන් වහන්සේ සිටින අතර ඔවුන්ගේ නිරන්තර බැල්ම සැදැහැ සිතින් බෝධි වන්දනා කරන්නන්හට ලැබෙනු ඇත. රුවන්මැලි මහා සෑය ඉදිකළ භූමියේ තිබූ රන් තෙලඹු ගසට අරක්ගත් ස්වර්ණමාලී දේවිය පිළිබඳ ව ඓතිහාසික කතා  පුවත පිළිබදව ද පුරාවෘත්ත ඇත. ගණ්ඩ තීන්දු ජාතකයේ සඳහන් ගැට තිඹිරි ගසට අරක් ගත් දේවතාවක් පිළිබඳව සඳහන්ය.

බෝධි වන්දනාව තුළින් මනුෂ්‍යයන්ගේ සිත් සතන් සනහාලීමට හැකි වන අතර බෝ සෙවණට ගිය කිසිවෙකුට රාග, ද්වේශ, ක්‍රෝධ, මෝහ සිතිවිල්ලක් ඇති නොවන තරමට ශාන්ත පරිසරයක් ඒ තුළ පවතී. එමඟින් ඇතිවනුයේ ශ්‍රද්ධා භක්තියයි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළින් අප බලාපොරොත්තු වන්නේ පරම විමුක්තිය ලබා ගැනීමයි. ඒ සඳහා මිනිසාට අවශ්‍ය වන්නේ ප්‍රඥාව ය. ශ්‍රද්ධාවක් නැති අයෙකුට ප්‍රඥාවක් ඇතිකර ගැනීම උගහට ය. ශ්‍රද්ධාව අමූලික (අන්ධ භක්තිය) නොවිය යුතු අතර ආකාරවතී (හරය තේරුම් ගෙන) ඇතිකරගත යුත්තකි. ශ්‍රද්ධාව හා ප්‍රඥාව දුම්රියක පීලි දෙක මෙන් සමාන්තරව ගමන් කළ යුතු ය.

ශ්‍රද්ධාවේ ඇති වැදගත්කම ආලවක යක්ෂයාට බුදුන් වහන්සේ කළ දේශනයෙන් පැහැදිලි ය. එහි දී ආලවක යක්ෂ සේනාධිපති බුදුන් වහන්සේට අභියෝගයක් කළේ ය. එම අභියෝගය නම් ඔබ වහන්සේ ඇත්තට ම බුදු බව ලබා ඇත්නම් මාගේ මව් පරම්පරාවේ පරම්පරා 10 ක් තිස්සේ පිළිතුරු සොයාගත නොහැකි වූ ප්‍රශ්න 10 ක් ඇත. ඊට ඔබ වහන්සේ පිළිතුරු ලබා දිය යුතු ය.’ යනුවෙනි.

බෝධි වන්දනාව පරිසරය සුරක්ෂිත කිරීමේ කාරණය සමඟ ද බද්ධ වී ඇත. වරක් බුදුන් වහන්සේ දේශනා කළේ ‘මනෝ නිබද්ධ වසෝව්‍යයා’ (දිව්‍යවදානය) යනුවෙනි. එනම් උන්වහන්සේගේ ස්ථිර වාසය ගස් කොළං සමඟ බව ය.

උන්වහන්සේ තරම් පරිසරය තේරුම්ගත්, අගය කළ යමෙකු ලොව පහළ වී නොමැත. බුදුන් වහන්සේ පරිසර විද්‍යාඥයකු ලෙස ඉගැන්වූ දෙයට සම කළ හැකි ඉගැන්වීමක් ලොව තුළ නොමැත. වරක් බුදුන් වහන්සේ කොසඹෑ නුවර ගෝෂිතාරාමයේ වැඩ වාසය කරද්දී එහි වාසය කළ භික්ෂුන්ගේ අකීකරු ක්‍රියා කලාපය හේතුවෙන් බුදුන් වහන්සේ නිදහසේ කාලය ගත කිරීම පිණිස වැඩම කරන ලද්දේ පාරිලෙය්‍ය වනයට ය. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවද පරිසරයේ සතා සිව්පාවගේ ගහේ කොළේ ඇළේ දොළේ වටිනාකම් හඳුනා නොගත් බොහෝ අය වාසය කරති. පරිසරය විනාශ කිරීම යනු මිනිසාට ජීවත් වීමට ඇති ක්ෂේම භූමිය විනාශ කරනවා වැනිය. සංවර්ධනයේ නාමයෙන් මුහුදු වෙරළේ තිබූ හුණු ගල් ටික කඩා මිනිස්සු රුපියල් ශතවලට විකුණා දැමූහ. මනුෂ්‍යයන්ගේ සහ සත්වයන්ගේ ආරක්ෂාව පිණිස ස්වභාවධර්මයා නිර්මාණය කර තිබූ කඩොලාන ස්වාභාවික ආරක්ෂණ ස්ථර ටික  කපා දමා ගොඩනැගිලි ඉදි කෙරිණ. 2004 වසරේ සුනාමි රළ කඳ ගොඩට ගලද්දී එම කඩොලාන වැටි තිබුණේ නම් එදා මිය ගිය දස දහස් ගණනක් ජනතාවගේ ජීවිත ආරක්ෂා වීමට ඉඩ තිබුණි.

මද පවනට දිලෙමින් වැනෙනා බෝපත් අතරින් විශ්වයට මුදා හරින ඔක්සිජන් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. බෝ රුක්ෂයක් සෙවණේ සිටිය දී වෙනත් රුක්ෂයකට වඩා වෙනසක් දැනෙන්නේ මිනිසාට ලෞකික සුවයෙන් වෙන්ව ලෝකෝත්තර අරමුණු වෙත යොමු වීමට සුදුසු ශාන්ත පරිසරයක් එහි නිරන්තරයෙන්ම පවතින නිසාවෙනි. එමෙන්ම පරිසරයට ද මිනිසා සහ සතා සිව්පාවා පිළිබඳව දැනීමක් ඇත. මාලනී බුලත්සිංහල ගායනා කළ පහත සඳහන් ගීතය එහි අරුත් සාහිත්‍යය මනා ලෙස මොනවට පැහැදිලි කරයි.

“පිපෙනා මලකට - ගලනා දොළකට
දැනෙනා බුදු ගුණ - නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පිං පවු එනවා අපි පසු පස්සේ”

(***)



අදහස් (1)

බෝධි වන්දනාවේ අරුත වටහා ගනිමු

අකලන්ක දිසානායක Friday, 30 April 2021 03:16 AM

පර්ලිමේන්තු මන්ත්‍රීවරු බන කියනවා... හාමුදුරුවරු දේශපාලනය කරනවා... ගිහියෝ තුන් වේල කන්න හොයන්න මහන්සි වෙනවා... නියම බෞද්ධයා හට බුදුන් ඇදහිල්ලක් දේසනා කළ නොමැති බව කියන්න මිනිහෙක් නැතිවුණා මේ රටට..

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 442 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 150 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 436 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1077 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1557 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site