සරේටෙක් උපදේශක සේවාවේ සහ සරේටෙක් සමාගමේ ප්‍රාරම්භකයා වූ නිසල් කූරගොඩ, අවම වශයෙන් තමන් උපන් ගාල්ල නගරයට හෝ උපකාර කරන්නට ලැබීම ගැන සතුටට පත් වන්නේය. ගාල්ල ප්‍රාදේශීය ලේකම් හිමාල් රත්නවීර ඔහු වෙත පැමිණ එන්නත්කරණය කාර්යක්‍ෂමව හා සුමට ලෙස කළ හැකි වැඩ පිළිවෙළක් ඔහු වෙතින් දැනගෙන එය ප්‍රායෝගිකව ඉවල් කර ගැනීම ඔහුගේ සතුටට හේතුවයි.
එහෙත් දැන් ඔහු කනගාටුවට පත්ව ඇත්තේ ඔහුගේ සමාගමෙන් හඳුන්වාදුන් ඩිජිටල් උපක්‍රමය රටේ සෙසු පළාත්වලට උපයෝගී කර ගන්නට බලධාරීන් උනන්දු නොවීම ගැනය.
බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සමාගමක් ජනයා මිලියන 17.5 ක් වෙත සමීප විය හැකිවූත් දිනකට කෙටි පණිවිඩ පන්ලක්‍ෂයක් යැවිය හැකි වූත් ඩිජිටල් උපාංගයක් නිර්මාණය කර එය කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට උපයෝගී කරගෙන තිබේ. එහෙත් දේශීය බලධාරීන් ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් නොදක්වන බවද පෙනී ගොස් තිබේ.
මෙම උපක්‍රමය නොබෝදා ගාල්ලේ කඩවත්සතර පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනකු විසින් සාර්ථක ලෙස ඉවහල් කරගෙන තිබේ. එම වැඩපිළිවෙළ දියත් වූයේ ප්‍රාදේශීය ලේකම් හිමාල් රත්නවීර තම විශ්වවිද්‍යාල සගයකු වූ නිසල් කූරගොඩ හමුවී එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂම හා සුමට ලෙස සිදුකළ හැකි වැඩපිළිවෙළක් හඳුන්වා දීමෙන් අනතුරුවය. නිසල් කූරගොඩ සරේටෙක් උපදේශක සේවාවේ සහ සරේටෙක් ලිමිටඩ් හි ප්‍රාරම්භකයා ය.
‘‘කොළඹ ප්‍රදේශයේ මුලින්ම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වනවිට පැය ගණන් ජනයා රැඳීසිටි දිග පෝලිම් තිබුණා. පෝලිමේ රැඳී හමාරවූ පසු සමහරුන්ට ලැබුණේ එන්නත් ඉවරයි කියන පිළිතුරයි. එළිය වැටෙන්නත් කලින් පෝලිමට පැමිණි බව සමහරු පැවසුවා’’ රත්නවීර මහත්මිය කීවාය.
රත්නවීර මහත්මිය තාක්‍ෂණය, ඉවහල් කර ගැනීමට ලැදි අයෙකි. ඇගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඩිජිටල්කරණයට භාජනය කිරීමේ මහඟු කර්තව්‍යය උදෙසා ගිය වසරේ ඇය ට්‍රාන්ස්පේරන්සි අන්තර්ජාතික ආයතනයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍රවූ රාජ්‍ය සේවකයාට පිරිනැමෙන සම්මානය දිනා ගත්තාය. මේ වනවිට මාර්ගගත (ඔන්ලයින්) සේවා, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිහිප අංශයකම ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාදාමයන් උදෙසාද සරේටෙක් ආයතනයේ සහාය ලැබී ඇත.
ගැටලුව විසඳා ගැනීම සඳහා ඇය නිසල්ගෙන් පිළිතුරු පැතුවාය. ඔහුගේ ආයතනය බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ එන්නත් වැඩසටහන සම්බන්ධයෙන්ද කටයුතු කර තිබුණු බැවින් කළ යුත්ත ඔහු දැන සිටියේය. ඉංග්‍රීසියෙන් සඳහන් ඔන්ලයින් අයැදුම්පත ඔහු කඩවත්සතරේ පිහිටි ප්‍රා. ලේ. කොට්ඨාස උදෙසා සිය කණ්ඩායම හා ඒකව සකස් කළ පසු රත්නවීර මහත්මිය එය සිංහල හා දෙමළ බසට පරිවර්තනය කළාය. එමඟින් වයස, ලිපිනය, හැඳුනුම්පත් අංකය, පුද්ගලයා ගර්භිණී හෝ ආබාධිතවේද යන තොරතුරු රැස්කරන ලදී.
‘‘මගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉක්මණින් මෙම කාර්යයට හවුල් වුණා. සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) කී පරිදි ඔවුන් එක් අයෙකුට විනාඩි පහළොවක් තුළ 50 දෙනකුට එන්නත් කළ හැකිය. කාල පරාසය තීරණය කරගන්න එම තොරතුරු බෙහෙවින් උපකාරී වුණා.’’
ප්‍රාදේශීය ලේකම්වරිය (ෆේස් බුක්) මුහුණු පොත් පිටුවල ක්‍රියාකාරීව උන්නාය. ඒවායේ ඇගේ පිටුවලට සම්බන්ධ විශාල පිරිසක් සිටියහ. මෙම තොරතුරු වේදිකාව භාවිත කරමින් මීට පෙර කළ කටයුතුවලදී සළාක බෙදාහැරීම ආදිය හොඳින් සංවිධානය කර තිබිණි. මේ වනවිට ජනයා අමතා එන්නත උදෙසා ලියාපදිංචිවන ලෙස දන්වා තිබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙබ් අඩවිය හරහාද පණිවිඩ පළකර තිබේ. වෙබ් අඩවි වෙත පිවිසීමේ පහසුකම් නොමැති ජනතාවට ග්‍රාම නිලධාරීන් හරහා මෙම ආකෘති භාරදී තිබේ. ඉන් අනතුරුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය විසින් දත්ත පදනමට ඇතුළත් කරන ලදී.
‘‘මේ කාලය වෙන කොට මම දින දහයක නිරෝධායන කාලයක් ගත කරමින් සිටියේ. මගේ රියැදුරා පරීක්ෂණයෙන් පොසිටිව් වුණ නිසා, මම හැමදේම කළේ දුරකථනයෙන්. ග්‍රාම නිලධාරීන් වැඩවර්ජනය කළ විට මම සමෘද්ධි නිලධාරීන් යොදව ගත්තා.’’
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි බොහෝ අයට ජංගම දුරකථන තිබුණ බැවින් කාර්ය මණ්ඩලය සැනෙකින් ඒ අයට එන්නත උදෙසා වෙලාව වෙන්කොට කෙටි පණිවිඩ යවනු ලැබීය.
‘‘අපට මුලදී අභියෝග කිහිපයක් තිබුණා. අවස්ථා 4 කදී ලද තොරතුරුවල දුරකථන අංක වැරදී තිබුණා. අපට ස්ථානගතවීම් පරීක්ෂාකොට අයැදුම්කරුගේ යෝග්‍යතා පරීක්ෂා කරන්නට සිදුවුණා. එවැනි ගැටලුවලට අප දැන් විසඳුම් සොයාගෙන තිබෙනවා. ලැබෙන අලුත් තොරතුරු අනුව අනාගතය උදෙසා අපි තොරතුරු යාවත්කාලීන කරනවා.’’
එම එන්නත් වැඩසටහන සමාජ මාධ්‍යවල මහජනයා විසින් ප්‍රශංසාවට ලක්කර තිබිණි. දිග පෝලිම්, කලබල හෝ රස්තියාදුවීම් ඒවායේ නොතිබිණි. අවසන මොහොතේ පැන නැගෙන ගැටලුවලට විසඳුම් දීම සඳහා උපකාර කවුළුවක්ද තිබිණි. ග්‍රාම නිලධාරී වසම්වල, සමෘද්ධි නියාමකවරුන් ඇතුළු සෑම දෙනා මෙම කාර්යයට සහභාගි වූහ. මේ වනවිට ග්‍රාම නිලධාරී වසම් හයක 12434 දෙනකුට එන්නත ලබාදී ඇත. තවත් ඉතිරිව ඇත්තේ 44 කු බව දත්ත පදනමෙන් තහවුරු වී තිබේ.
වැඩසටහන රටේ සෙසු ප්‍රදේශවලටද ලබාදීමට කැමැත්තෙන් නිසල් ඒ බව අමාත්‍යවරුන්ට හා නිලධාරීන්ට දන්වා තිබේ. එහෙත් ඉන් පලක් වී නැත. ඔහු පසුගිය වසර විස්සේදී පදිංචිව සිටියේ බ්‍රිතාන්‍යයේය. ඔහු දැන් ප්‍රධානත්වය උසුලන සරේටෙක් ආයතනයෙන් යුරෝපීය සහ බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළ උදෙසා තාක්‍ෂණික විසඳුම් වර්ධනය කරනු ලැබීය. ඒවා බොහෝවක් රාජ්‍ය අංශයට අදාල කටයුතු විය.
නිසල් උපත ලබා හැදී වැඩුණේ ගාල්ලේය. අධ්‍යාපනය ලැබුවේ මහින්ද විද්‍යාලයේය. ස්වාභාවික විද්‍යාව උදෙසා රුහුණු විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් පසු හෙතෙම සිය පශ්චාත් උපාධිය (MSc) ලබාගත්තේ පරිගණක විද්‍යාවෙනි. මහා බ්‍රිතාන්‍යයෙන් එම පශ්චාත් උපාධිය ලබාගත් ඔහු කළමනාකරණයද හැදෑරුවේය. ශ්‍රී ලංකාව සමග දැඩි සේ සම්බන්ධතා පවත්වන ඔහු කොවිඩ් 19 වසංගතයට ටික කලකට පෙර මෙරටට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ එම සමාගමේ කටයුතු කළේ ඔහුගේ සොයුරාය. 2016 දී ඔවුහු දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු ඩිජිටල්කරණයට දායක වූයේ මූලික වියදම් පමණක් ලබාගෙනයි. ඔහු හඳුන්වාදුන් දත්ත පද්ධතිය උපයෝගී කරගෙන ඉඩම්, සමෘද්ධි, මානව සම්පත් ආදී දෙපාර්තමේන්තු හතක තොරතුරු වාර්තා කිරීම සහ මෙහෙයුම් කටයුතු කළ හැකිවිය. එහෙත් එම කටයුත්තද නිලධාරීවාදයේ පොර බැදීම්වලටත්, බල අරගලයටත්, අලසභාවයටත් ගොදුරු විය.
ඉන්පසු එම කටයුතු ගාල්ල, අක්මීමන, අගලවත්ත, කඩුවෙල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පළාත් පාලන ආයතන කිහිපයකට ව්‍යාප්ත විය. මේ වනවිට මෙහෙයුම් සිදුවන්නේ එම යෙදුම්වල තුන්වැනි පරම්පරාවේ තාක්‍ෂණය උපයෝගී කරගෙනය. ඒවා ඒ හැම වාරයකම තත්ත්වයෙන් වර්ධනය කරන ලදී.
2018 දී නිසල් ගේ සොයුරා මිය ගියේය. ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී නිසල්, රත්නවීර මහත්මිය මුණගැසුණු විට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උදෙසා දත්ත පද්ධතියක් නිර්මාණය කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය. උපත්, මරණ හා විවාහ යන සරළ තොරතුරු රැස්කිරීම උදෙසා එම දත්ත පද්ධතිය නිර්මාණය විය. මෙම සේවාවට දිනකට ජනයා 700 බැගින් ඇදී ආහ. එවර බාර් කේත, ආදිය භාවිත කරමින් පෝලිම් කළමනාකරණය සඳහා විසඳුමක් ඔහු හඳුන්වා දුන්නේයෙ. ඒවා මේ වනවිට වෙනත් පළාත් පාලන ආයතන කිහිපයකම භාවිත වේ.
‘‘ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ අවුරුදු 10 – 15 ක් පමණ පසුපසින්. ජාතික වශයෙන් ව්‍යුහාත්මක විචාර ක්‍රමයක් ස්ථිර ලෙස මුළු රට උදෙසාම පවත්වාගෙන යනු ලබන්නේ නෑ. ඉන්දියාවේ අනන්‍යතා පද්ධතිය හෝ බ්‍රිතාන්‍යයේ සුබසාධක පද්ධතිය වැනි රටටම පොදුවූ තනි ක්‍රමයක් මෙරට භාවිතයේ නෑ. අප ශ්‍රී ලංකාවේ කරන්නේ ජාතික අරමුණකින් හෝ සක්‍යතාවයෙන් තොර අවිචාරයෙන් යුතු ක්‍රමයක්.’’
ජනගහණයෙන් මිලියන 17.5ක ආවරණය කරන එන්නත්කරණ වැඩසටහන සකස් කිරීමට ඔහුගේ කණ්ඩායමට ගතවූයේ දින 14 කි.
‘‘ගාල්ලේ උපයෝගීකරගත් තාක්‍ෂණය බ්‍රිතාන්‍යයේ යොදාගත් ක්‍රමය හා සමාන අති නවීන තාක්‍ෂණයක්. අප ඒ සඳහා ගත්තේ මූලික වියදම් පමණයි. රත්නවීර මහත්මිය හැරෙන්නට වෙන කිසි කෙනෙක් අපට උදව් කළේ නෑ. ඒ සඳහා හොඳ නම දිනාගන්නට බොහෝ දෙනා ප්‍රයන්ත දරන බව පේනවා.’’
නිසල් තම තොරතුරු තාක්‍ෂණ විසඳුම් කිහිපයක් 2020 ජනවාරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙතද ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය පරිපාලන කණ්ඩායමක් සමග ඔහු එක්ව කටයුතු කර තිබේ. එහෙත් පසුව තොරතුරු හා තාක්‍ෂණ සන්නිවේදන ආයතනයක් කේන්ද්‍රකොටගෙන කටයුතු කරන්නට ඔහුට සිදුවිය. තුන්වැනි පාර්ශ්වයක් හා කටයුතු කිරීම ඔහුට අසීරුවී යයි නිසල් පැවසීය.
රජය දීපව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහනක් සැලැසුම් කරන්නේ නම් ඔහු ඊට උපකාර කරන්නට සූදානමින් සිටින බව නිසල් කියයි. ඔහු විවිධ ඇමැතිවරුනට මේ වනවිට ඒ බව දන්වා තිබේ. නාමල් රාජපක්‍ෂ, අලි සබ්‍රි සහ පවිත්‍රා වන්නිආරච්චි යන ඇමැතිවරු ඒ අතර වෙති.
‘‘ඔවුන්ට මෙහි වටිනාකමක් ඇති බවක් පෙනෙන්නට නෑ. සමහර විට ඔවුන්ට වෙනත් අදහසක් ඇති. ඒත් ඔවුන් එවැන්නක් මෙතෙක් කර නෑ’’ ඔහු කනගාටුවෙන් කීවේය.
‘‘මගේ උපන් ගමට මගේ පැත්තෙන් කළ යුතු දේ කළා. මගේ කණ්ඩායම රෑ එළිවෙන තුරු වැඩ කළා. මම පාන්දර 3.30 ට පවා ඇමතුම් අරගෙන තියෙනවා. මෙවැනි වැඩපිළිවෙළක් ගැන බලධාරීන්ට හෝ ප්‍රාදේශීය පරිපාලනයට වැටහීමක් තිබෙන බව හෝ එවැනි වැඩසටහන් පවත්වා ගැනීම හා එවැන්නක් ඉගෙන ගැනීමට අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නෑ.’’
නිසල් විසින් පසුගිය අවුරුදු කිහිපයක්ම සිදුකළ සේවා බොහෝමයක් කර ඇත්තේ අය කිරීමකින් තොරව හෝ යම්තමින් වියදම පිරිමසා ගනිමිනි.
‘‘ගාල්ලෙ ලත් අත්දැකීමෙන් මගේ ජනතාව ගැන ආඩම්බරයක් ඇතිවුණා. ප්‍රජාවගේ උනන්දුව හා ජීව ගුණය තවමත් තිබෙනවා. ජනතාව සහයෝගය දෙනවා නම් අපූරු දේ කළ හැකියි’’ ඔහු සිනාසෙමින් කීවේය.
(***)
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලධාරීන්ගෙන් ගිලිහුණු එන්නත් ඩිජිටල්කරණය
Athula K Wednesday, 23 June 2021 04:13 PM
රාජ්‍ය අංශයේ සිටින හණමිටිකාරයෝ අලුත් දේවල් වලට කැමැති නෑ.