IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බලවේග තුනකට ජනපති මැදිවෙයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ අතිශය දැනුම්වත් පුද්ගලයන් පවා නොදැන සිටි කාරණයක් තිබිණ. එය නම් අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කර තිබූ නියෝගයකි. අප්‍රේල් මස 9වැනි සදුදා නිකුත් කළ එම නියෝගයෙන් ඔහු උපදෙස් දී තිබුණේ තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරුණු විශ්වාසභංගයට සහය පළකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 16 දෙනා විවේචනය කිරීමෙන් වළකින ලෙසය. අමාත්‍යවරු 6 දෙනෙක්, නියෝජ්‍ය කතානායකවරයා, රාජ්‍ය අමාත්‍යවරු 4 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක්, ඒ අතර වූහ.

වික්‍රමසිංහගේ මෙම නියෝගයට හේතු වූයේ, බොහෝ දෙනා නොදැන සිටි තවත් කාරණයක් වූ එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිපුද්ගල දූත පිරිසක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග අප්‍රේල් මස 8 වන ඉරිදා පැවැති සාකච්ඡාවකි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. පක්ෂ අතර අන්තර් සම්බන්ධතාවල තත්ත්වය සහ සභාග රජය ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුවිය. මේ අතරේම, කතාබහට ලක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 16 දෙනා පිළිබඳව ද අදහස් පළවිය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කොටස්වල නොරිස්සුමට ලක්ව සිටින්නේ වුව ද, ජනපති සිරිසේනගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව සිටින්නෙක් වේ නම් ඒ මලික් සමරවික්‍රමය. අප්‍රේල් මස 12 වැනිදා, බ්‍රහස්පතින්දා අගමැති වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවක දී සමරවික්‍රම සමාජ බලගැන්වීමේ (සමෘද්ධි), සමාජ සුභසාධන සහ නුවර උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස තාවකාලිකව හෝ පත්වනු දැකීමට තමා කැමැති බව, ජනපතිවරයා කියා තිබේ. ජනපතිවරයා සමග ලන්ඩන් නුවර බලා ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවට පසුගිය සතියේ මුදල් අමාත්‍යංශයේ වැඩබැලූයේ ද සමරවික්‍රමය. විශ්වාසභංගයෙන් පසුව තරගයේ වීරයා බවට පත්වීමට සමරවික්‍රම සමත්ව තිබෙන බවක් ඔහුගේ කටයුතුවලින් පෙනෙන්නට තිබේ. ඔහු අනුගමනය කළ පිළිවෙත, එක්සත් ජාතික පෙරමුණේ සියල්ලන්ගේ ඡන්දය විශ්වාසභංගයට දිනාදීමට සමත් වූ බව ද සඳහන් කළ යුතුමය.

ජනපතිවරයා හා සමග පැවැති සාකච්ඡාව ඉතා ආචාරසම්පන්න වාතාවරණයක, තමන් ඉදිරිපත් කළ කරුණුවලට ඔහුගේ පූර්ණ අවධානය යොමුවූ පසුබිමක සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ දූත කණ්ඩායම පසුව අගමැති වික්‍රමසිංහ වෙත වාර්තා කළේය. ඔවුන්ට අනුව, විශ්වාසභංගයට සහය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා තවදුරටත් කැබිනට් මණ්ඩලයේ රැදීමට සුදුසු නොවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබූ මතය සමග පවා ජනපතිවරයා එකඟත්වය පළකර තිබේ. එක්සත් ජාතික පක්ෂය එවැනි මතයක් ඉදිරිපත් කළේ, විශ්වාසභංගයට ඉදිරිපත් වූයේ අගමැතිවරයාට විරුද්ධව හෙයින් එයට සහාය දැක්වීම යනු අගමැතිවරයා සමග කටයුතු කිරීමට ඔවුන්ට නොහැකි බව ප්‍රකාශ කිරීමක් යන පදනමේ සිටය. ජනපතිවරයා තමන් ඉදිරිපත් කළ කරුණු ප්‍රකාරව කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව දූත පිරිස කීවේ ය. අලුත් අවුරුද්දට පෙර පැවැති මෙම එක් රැස්වීමක ප්‍රතිඵලය, ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ යන දෙදෙනාටම අඩුම තරමේ දැනට හෝ වාසි සහගත බව පෙනෙන්නට තිබේ.

2020ට පෙර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ද වන ජනපති සිරිසේනට මෙය ඔහුගේ උර මත තිබූ දේශපාලන බර ඉවත් වීමක් හා සමවිය. ඔහු හා එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය පිරිස සමග පසුගිය ඉරිදා පැවැති සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂය සමග නව ගමනක් යාමට ඇරඹුමක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව ඔහු ඉදිරියේ එන ජනපතිවරණය තෙක් වන මාස 18ක කාලයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසංයෝගයෙන් සැදුම්ලත් සභාග රජය සමග කටයුතු කරනු ඇත. මෙහි දී සිහිපත් කළ යුත්තේ ජනපති සිරිසේන ඉදිරි මාස 18ක කාලයට අත්වැල් බැදගැනීමට යන්නේ ධූරයෙන් ඉවත් කිරීමට ඔහුම වරක් තැත් කළ අගමැතිවරයකු සමග බවය. 2015 වසරේ ජනපතිවරණ වේදිකාවේ දී, කලාවසානය දක්වාම ඔහුට සර් යැයි අමතන බවට දිව්රා සිටි අගමැතිවරයා සමග බවය. ජනපති සිරිසේන වටයක් ගොස් නැවත පැමිණ සිටින්නේ පටන් ගත් තැනටමය. එනම් එක්සත් ජාතික පක්ෂය සමගම ඉදිරියට යෑමය.

2020 ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර සම්බන්ධතාවයේ අවසානය සනිටුහන් කරන වසර වනු ඇත. ඇතැම් විට ජනපතිවරණ සටනට එළැඹෙනු ඇත්තේ දෙදෙනා - එකිනෙකාට එරෙහි වීමට ද ඉඩ ඇත. තුන්වැන්නකු වනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. සභාග රජය ඉදිරියටත් පවත්වාගැනීම දෙපාර්ශවයේම කැමැත්ත වුවත්, එම දෙපාර්ශවයම අතර පවතින ගැටුම් එලෙසම පැවැතීමට ඉඩ හැරීම සභාග රජයේ පැවැත්ම අතිශයින් සීමා කරනු ඇත. වත්මන් දේශපාලන යථාර්ථය - එනම් ඔහුගේ පක්ෂය රජයෙන් වෙන්වුවහොත් එම හිඩැස පිරවීමට කිසිවෙක් තමන් හට නොමැති බව ජනපති සිරිසේන අවබෝධ කරගෙන සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් ද විශ්වාසභංයට සහාය දැක්වීමට ඉදිරිපත් වීම ඒකාබද්ධ විපක්ෂය පිළිගත්තේ ද මෙම කරුණ මත පිහිටාය. එහෙත් විශ්වාසභංගය පරාජයට පත්වීම ජනපතිවරයාව තවදුරටත් පක්ෂයෙන් හුදකලා වීමට සහ ඔහුගේ විශ්වසනීයත්වය පලුදුවීමට හේතුවක්ව තිබේ. එයින් ඔහුට ද පහර වැදින. මේ හමුවේ ජනපතිවරයා හට මුහුණදීමට සිදුව තිබෙන බලවේග ත්‍රිත්වයකි. රජයට එරෙහිව පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේම පාර්ශවයේ පිරිස, ඒකාබද්ධ විපක්ෂය, සහ ප්‍රබල මට්ටමකින් නොවූව ද, එක්සත් ජාතික පක්ෂය - එම බලවේග ත්‍රිත්වයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් කෙරේ වන ආකල්පය හා කටයුතු හොඳින් දන්නේ වුව ද, අගමැති වික්‍රමසිංහ ඒ සියල්ල සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කිසිවකට හවුල් නොවන සුලු පිළිවෙතකි. විවිධ ගැටලු හමුවේ දී ජනපති සිරිසේන හා එකඟත්වයෙන් වැඩකටයුතු කිරීමට පියවර ගෙන තිබෙන ඔහු සෑම අවස්ථාවකදීම ගැටුම්කාරී තත්ත්වයන් මගහැර ඇත. එවන් එක් අවස්ථාවක් ලෙස පළාත් සභාවල ධූර කාලය දිගු කිරීම සඳහා පණත් සම්පාදනයක් සිදුකිරීම සැලකිය හැකිය. මෙසේ සිදුකැරුණෙ පසුගිය වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා අවසන් වූ සහ ඉදිරියේ මැතිවරණ පැවැත්වීමට දින යෙදී තිබූ සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභාවල මැතිවරණ කල්දමා ගැනීමටය. එසේ නොකැරුනේ නම් පෙබරවාරි මස 10 වැනිදා ලැබූ පරාජයේ රසයම විදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ඒ තරමින්ම නොවූවත්, එක්සත් ජාතික පක්ෂයට ද හැකිවන්නට තිබිණ.

දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 අප්‍රෙල් මාසයේදීය. ඌව පළාත් සභා මැතිවරණය එම වසරේම ඔක්තෝබර් මසය. සංශෝධනය කර තිබෙන නීති ප්‍රකාරව මෙම මැතිවරණ සියල්ලම එකම දිනයක දී පැවැත්විය යුතුය. එහෙත් වත්මන් තත්ත්වය සැලකීමේ දී පළාත් පාලන මැතිවරණයක් ඉක්මනින් පැවැත්වෙනු ඇතැයි සිතීම උගහටය. තවත් අවස්ථාවක් වූයේ ෆුට් නෝට් කල්ලිය යැයි විරුදාවලිය ලත් එක්සත් ජාතික පක්ෂ සාමාජික පිරිසක් මහ බැංකු බැදුම්කර සිදුවීම අරබයා පැවැති කෝප් කමිටු විමර්ෂණයේ වාර්තාවට තමන්ගේ මතයන් ද එකතු කරමින් ජනපති සිරිසේන විවේචනය කිරීමේ යෙදුනු විට, එසේ නොකරන ලෙස අගමැතිවරයා ඔවුන්ට උපදෙස් දුන් අවස්ථාවය.

ජනපති සිරිසේනගේ ව්‍යාපෘතියට නායකත්වය දුන්නේ අගමැතිවරයාය. එහි කටයුතු දියත් කළේ ඔහුය. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා එම කටයුතුවලට එරෙහිව විරෝධය පලකළ ද, ඔහු තම පිළිවෙත අත්නොහැරියේ ය. අගමැතිවරයා අනුගමනය කරන්නේ දැඩි පිළිවෙතක් නොව යටත්ව සිටින සුලු පිළිවෙතකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා විවේචනය නොකරන්නැයි වික්‍රමසිංහ තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නිසාය. එහෙත් එයට යම් පදනමක් ද තිබේ. එවන් විවේචන වලින් වක්‍රව පහර එල්ල වන්නේ ජනපති සිරිසේනට බවත්, වැඩි වැඩියෙන් එසේ පහර එල්ල වන විට, දැනට වඩා වෙනස් අයුරකින් ඒවාට ප්‍රතිචාර දක්වන ලෙස පීඩනයක් අගමැතිවරයා වන තමාට එල්ල වනු ඇති බවත් ඔහු වටහාගෙන සිටී. මෙනිසා, එක්සත් ජාතික පක්ෂය මෙම අවස්ථාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් දැනට ඉතා දුබල තත්ත්වයක සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පක්ෂයේ නායකයා ලෙස ජනපති සිරිසේනට වඩා වැඩි ජවයකින් පක්ෂ කටයුතු මෙහෙයවීමට හැකි බව, අගමැතිවරයා හදුනාගෙන සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි කාලය සඳහා අත්වැල් බැඳගැනීමට නම් දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යාවශ්‍යය. තම පරම ප්‍රමුඛතා වෙනුවෙන්, ජනපති සිරිසේන හා එවැනි විශ්වාසයක් සහ අවබෝධයක් පවත්වාගැනීම අගමැතිවරයාගේ අවශ්‍යතාවයයි.

මෙම ප්‍රමුඛතා අතර, විශ්වාසභංගයේ දී තමා වෙනුවෙන් පෙනී සිටි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය විෂය පථයන් ලබා දීම, ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාවට සහන ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් සකස් කැරෙන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, ප්‍රධානය. ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට පෙර ලකුණු පළව තිබෙන වාතාවරණයක එවැනි කටයුත්තකට හිමිවන්නේ ඉහළ ප්‍රමුඛතාවයකි.

නව කැබිනට්ටුවක් ඇති කිරීම අරබයා ජනපතිවරයා හා අගමැතිවරයා අතර මේ දක්වාම නිල මට්ටමින් සාකච්ඡාවක් පැවැත්ව නොමැත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවට ලන්ඩනය බලා ගොස් සිටින ජනපතිවරයා දිවයිනට පැමිණි වහා දෙදෙන එම කටයුතු ආරම්භ කරනු ඇත.

මෙම හේතු ඇතුළු තවත් බොහෝ හේතු නිසාවෙන් සහ ජනපති සිරිසේන සමග නැවත වරක් සංවාදයක් ඇතිකරගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිපුද්ගල දූත පිරිස සමත්ව තිබෙන නිසාවෙන් අර්බුදයක් ඇතිකරගැනීමේ වුවමනාවක් අගමැති වික්‍රමසිංහට නොමැත. ඔහු ඉදිරියේ විහිද තිබෙන දේශපාලන යුද පෙරමුණේ කොටසක් මේ අනුව ආරක්ෂිතය. එයත් සමග 2020 මැතිවරණය ඉලක්ක කර, අනෙක් කොටස් කෙරේ අවධානය යොමු කිරීමට ඔහුට අවස්ථාව ඇත. නැවත නැවතත් කල්ගිය පක්ෂ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම, පළාත් පාලන මැතිවරණය සහ ජනපතිවරණය සඳහා පක්ෂය සූදානම් කිරීම, පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කිරීම, ඒ අතර ප්‍රධානය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු - පක්ෂ සභාපති, මහලේකම් හා ජාතික සංවිධායක, තවමත් පවතින්නේ පුරප්පාඩුවය. එම තනතුරු සඳහා තමන් සුදුසුයැයි යෝජනා දැනටමත් ඉදිරිපත් වෙමින් පවතින බව ද දැනගන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ ඉහළ තනතුරුවලට පුද්ගලයින් නම් කිරීමේ අවසරය ඇත්තේ පක්ෂ නායකත්වයටය.

දෙදිසාවකින් වන යොමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහය වන පක්ෂ මධ්‍යම කාරක සභා හමුවක් කැඳවීමට ජනපති සිරිසේන කටයුතු කළේ මෙවන් වාතාවරණයකය. අප්‍රේල් මස 9 වැනිදා ඔහුගේ නිල නිවසේ දී මෙම හමුව පැවැත්වින. එහිදී අදහස් දැක්වූ බොහෝ සාමාජිකයන් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාග රජයෙන් ඉවත්ව තනිව ගමනක යෙදිය යුතුව තිබෙන බවය. මුවින් නොකීව ද, එවැන්නක ප්‍රතිවිපාක ජනපති සිරිසේන හොඳින්ම දැන සිටියේ ය. වෙන්වුවහොත් ඔහුට සිදුවන්නේ දේශපාලන වශයෙන් තවත් අවුලෙන් අවුලට යනු ඇති රටක, රජයක් නොමැති ජනපතිවරයෙක් ලෙස කටයුතු කිරීමටය. ජාතික රජයක නොව, 2001 - 2004 කාලයේ නමට පමණක් පැවැති රජයක කටයුතු කිරීමටය. කුමන අවස්ථාවක් එළැඹිය ද, එවැන්නක් සිදුවීම ඔහු වළක්වාගත යුතුම විය.

එනිසාම දෙදිසාවකින් ගැටලුවට අත තැබීමට ඔහු සාර්ථක විය. පළමුවැන්න - අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන ලෙස විශ්වාසභංගයට සහාය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය. එයට යහපත් ප්‍රතිචාරයක් ලැබිණ. මෙය අගමැති වික්‍රමසිංහ, විශ්වාසභංගයට සහාය දැක්වූ 16 දෙනා රජයෙන් ඉවත් කළ යුතු නොවන්නේදැයි සඳහන් කර එවා තිබූ ලිපියකට ඔවුන්ගේ ප්‍රතිචාරය විය. ඔවුන් පිරිස කැබිනට් මණ්ඩලයේ සිටියහොත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය කණ්ඩායම නැගිට යන්නට ඉඩ තිබූ වාතාවරණයක් මගහරවා ගැනීමට මෙසේ ජනපතිවරයාට හැකිවිය. එවැන්නක් සිදුවූයේ නම් එක්සත් ජාතික පක්ෂය හා ගැටුම් ඇතිකරගැනීමට ඔහුට සිදුවන්නට තිබිණ. දෙවැන්න - නැවත වරක් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවක් කැඳවෙන තෙක් රජයෙන් ඉවත්වීම ගැන අවසන් තීරණයක් නොගන්නා ලෙස සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමය. එයට ද යහපත් ප්‍රතිචාරයක් හිමිවිය.

එකඟ වූ ආකාරයට මධ්‍යම කාරකසභා හමුව එළැඹෙන 11 වැනිදා කැඳවීමට නියමිත වුව ද, ජනපතිවරයා එසේ නොකළේ ය. ඔහු එම කටයුතුවල නියැලෙනු ඇත්තේ නැවත දිවයිනට පැමිණීමෙන් පසුවදැයි යන්න ගැටලුවකි. වැඩි බර ඇත්තේ ඔහු එසේ නොකරන පැත්තටය.

අප්‍රේල් මස 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ සිටි එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයා වූයේ ජනපති සිරිසේනය. පසුගිය සතියේ මෙම දේශපාලන තීරුවෙන් අනාවරණය කළ ආකාරයට, විශ්වාසභංගයට පක්ෂව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරනු ඇති බව ඔහු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් හමුවේ කියා සිටියේ ය. මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන 16 දෙනාගේ අදහස් විමසීමක් ද සිදුකළේ බදාදා (11) පැජට් පාරේ ඔහුගේ නිල නිවසේ දී පැවැති රැස්වීමකදීය. කැබිනට් මණ්ඩලයෙන් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලා අගමැතිවරයා තමා වෙත ලිපියක් යොමුකර තිබෙන බව ද ඔහු කීවේ ය.

ඒ වන විටත් 16 දෙනාගේ කණ්ඩායම තම තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබිණ. එහෙත් එම ලිපි ප්‍රකාරව පියවර ගැනීමට නියමිතව තිබූයේ අප්‍රේල් 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ, එනම් 16 දෙනාගේ කණ්ඩායම ස්වකීය නායකයා හමුවීමෙන් පැය කිහිපයකට පසුව සිටය. මෙවැන්නක් සිදුවීම යනු ජනපති සිරිසේනට ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් අහිමිවීමකි. ඔහුගේ රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අහිමිවීමකි.

හිටපු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සන්ඬේ ටයිම්ස් හා මෙසේ කීවාය,
විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසුව එයට පක්ෂව ඡන්දය දුන් 16 දෙනාගේ කණ්ඩායම හමුවෙලා තීරණය කළා ඉල්ලා අස්වන්නට. අප්‍රේල් මස 10 වැනිදා අපි අපේ ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන්නා. කැබිනට් සංශෝධනයක් ළග එන බව කියා සිටි ජනපතිවරයාට වුවමනා වුණේ අපව තියාගන්න. එහෙත් අප එය ප්‍රතික්ෂේප කළා. ඉල්ලා අස්වන ලෙස කිසිම අවස්ථාවක ජනපතිවරයා අපට කීවේ නැහැ.

ඉල්ලා අස්වීමෙන් පසුව 16 දෙනාගේ කණ්ඩායම කොළඹ පිහිටි ඔවුනොවුන්ගේ නිවෙස්වල හමුවෙමින් සාකච්ඡා පවත්වමින් සිටී. අගමැතිවරයාට එරෙහිව විශ්වංසභංගය ඉදිරිපත් කිරීමෙහි ලා මුල් තැන ගෙන කටයුතු කළ, 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

අපේ සාමාජිකයන් තුන් දෙනෙක්, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ජනපති සිරිසේනව හමුවෙන්න ලන්ඩනය බලා ගොස් තිබෙනවා. අපි වැඩි තොරතුරු දන්නේ නැහැ. නමුත් ඔවුන් යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරාවි කියා හිතනවා.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ද පැහැදිලි කිරීමක් සිදුකළේ ය. තීන්දුවක් ගැනීමක් හෝ එකගතාවයකට පැමිණීමක් හෝ සිදුනොවූව ද, කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙක් ලන්ඩනය බලා ගොස් සිටින බව ඔහු කීවේ ය.

පවතින තත්ත්වය සහ පක්ෂයේ ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ජනපතිවරයාව දැනුම්වත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා (අමාත්‍ය දුමින්ද දිසානායක) සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා (අමාත්‍ය මහින්ද අමරවීර) වහාම වෙනස් විය යුතු බව අප සිතනවා. හිටපු අමාත්‍යවරයා පැවසුවේ ය.

විශ්වාසභංගය අරබයා මෙම දෙදෙනාට 16 දෙනාගේ කණ්ඩායමෙන් එල්ල වනුයේ දැඩි චෝදනාය. විශ්වාසභංගය ගෙන ඒමට මුල් තැන ගෙන කටයුතු කළ මහින්ද අමරවීර අවසානයේ ඡන්දය දීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පවා වැලකී සිටියේ ය. දිසානායකය ද එසේ කළේ ය. ජනතාව හමුවේ පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන්නේ යැයි ඔවුන්ට එරෙහිව නැගී තිබෙන තවත් චෝදනාවකි. දිසානායක, විශ්වාසභංගය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලට පවා සහභාගී වූ බවට 16 දෙනාගේ කණ්ඩායම චෝදනා කරන්නේ ය.

16 දෙනාගේ කණ්ඩායමේ බෙදීමක්

විපක්ෂයේ අසුන් ගැනීම අරබයා 16 දෙනාගේ කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන බව දැනගනන්ට ඇත. මෙම කණ්ඩායමේ කිසියම් සාමාජික සංඛ්‍යාවක් විපක්ෂයේ අනිවාර්යයෙන්ම අසුන් ගනු ඇති වුව ද, ඇතැමෙක් දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කර ඇත. පෞද්ගලික කරුණු කාරණා සහ රජයෙන් ඉවතට පැමිණියහොත් දැනට භුක්තිවිඳින ප්‍රවාහන ඇතුලු වෙනත් වරප්‍රසාද අහිමිවීමේ අවදානම, ඔවුන්ගේ එම ස්ථාවරය වෙනස් කිරීම කෙරේ බලපා ඇති සාධකයන්ය. ලන්ඩනයේ සිටින ත්‍රිත්වය, එක් ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉක්මනින් මධ්‍යම කාරක සභා හමුවක් කැඳවන ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා.

කෙසේ නමුත් ජනපති සිරිසේන මධ්‍යම කාරකසභා හමුවක් කැඳවීම සඳහා කඩිනමින් පියවර ගනු ඇතැයි සිතීම උගහටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය අතට ගැනීම මෙහි අරමුණය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළ 16 දෙනාගේ කණ්ඩායම වන්නේ, දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, යන අමාත්‍යවරු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී.ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය අමාත්‍යවරු, අනුරාධ ජයරත්න, සුමේධා. පී. ජයසේන, සුසන්ත පුංචිනිළමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරනාත් බස්නායක යන නියෝජ්‍ය අමාත්‍යවරු සහ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලය.

ඉල්ලා අස්වූ අමාත්‍යවරු 6 දෙන දරමින් සිටි තනතුරු තාවකාලික පදනමක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අමාත්‍යවරු තිදෙනෙකුට පැවරීම බ්‍රහස්පතින්දා, අප්‍රේල් මස 12 වැනිදා සිදුවිය. ඒ අනුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා සහ කුසලතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස සරත් අමුණුගම මහතා පත් කැරිණ. ඔහුට පෙර මෙම තනතුරු දරමින් සිටියේ පිළිවෙලින් සුසිල් ප්‍රේමජයන්ත සහ චන්දිම වීරක්කොඩිය. ආපදා කළමණාකරන අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කැරිණ. ඔහුට පෙර එම තනතුර හෙබවූයේ අනුර ප්‍රියදර්ශන යාපාය. දයාසිරි ජයසේකර හෙබවූ ක්‍රීඩා අමාත්‍යංශය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා යටතට පැවැරිණ.අමතරව, මලික් සමරවික්‍රම, සමාජ බලගැන්වීම්, සුභසාධන සහ නුවර උරුමයන් පිළිබද අමාත්‍යවරයා ලෙස දිව්රුම්දුන්නේ ය. එම තනතුර මීට පෙර හෙබවූයේ එස්.බී. දිසානායකය. කම්කරු හා වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිව්රුම්දුන්නේ ද ඔහුය. පෙර මෙම තනතුර දැරූවේ ජෝන් සෙනෙවිරත්නය.

අඳුරු, වැසි සහිත දිනයක් වූ අප්‍රෙල් මස 12 වැනි බ්‍රහස්පතින්දා ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව තනතුරු ප්‍රදානය කිරීම සිදුවිය. කෙටි අදහස් දැක්වීමක නිරත වූ ඔහු කියා සිටියේ මෙම පත්වීම් දින 10කට පමණක් සීමා වන බැවින්, නාම පුවරු, ලිපි ශීර්ෂ සහ හදුන්වාදීමේ පත්‍රිකා මුද්‍රණය නොකරන ලෙසය. ලන්ඩනයේ සිට පැමිණි වහා පූර්ණ කැබිනට් තනතුරු සංශෝධනයක් සිදුකරන බව ඔහු පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු මෙම අවස්ථාවට ආරාධනා ලැබ සිටියහ.

ඉදිරි සතියේ දී අවධානය යොමුකළ යුතු ප්‍රමුඛතා ගැටලු අවම වශයෙන් 4ක් වත් ජනපති සිරිසේන හමුවේ ඇත. විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකැරෙන බව පැවසෙන නව කැබිනට් මණ්ඩලයේ දිව්රුම් දීම එයින් එකකි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන අමාත්‍ය තනතුරු ගණනෙහි වෙනසක් නොකැරෙන වුවත්, විවිධ අමාත්‍යංශ යටතේ දැනට අවධානයට ගැනෙන එක් එක් විෂයන් අදාළ අමාත්‍යංශයකට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබීම නිසා යම් යම් වෙනස්කම් දැකගත හැකි වනු ඇත. මෙම මස ආරම්භයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ජනපති සිරිසේන මෙයට ඌණ පූර්ණයක් එක් කළේ, සීනි නිශ්පාදනය අමාත්‍යංශ 3ක් යටතේ අවධානයට ගැනෙන බව පෙන්වා දෙමිනි.

ඇත්තෙන්ම, 2015 අගෝස්තු මාසයේ දී එම විෂයන් අමාත්‍යවරුන් වෙත බෙදා දුන්නේ ද ජනපති සිරිසේනමය. එය සැලකිල්ලට ගැනීමේ දී, ජනපතිවරයා දැන් විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදීමට සැරසෙන්නේ වරදක් සිදුව තිබෙන බව නොකියා කියමිනි. සමාජ බලගැන්වීම්, සුභසාධන සහ නුවර උරුමයන් පිළිබද අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම එම තනතුරට තාවකාලිකව පත් කර ඇත. ඒ වෙනුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පිළිගන්වා ඇතත්, එම පක්ෂයේ ජේ්‍යෂ්ඨයන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ දැනට එක්සත් ජාතික පක්ෂය යටතේ ඇති අධිවේගී මාර්ග අමාත්‍යංශයටය.

එය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් බිලියන ගණනකි. අමාත්‍යධූර බෙදාගැනීම සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා එක්ව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙනු ඇති අතර, එම කටයුතු මැයි මස 8 වැනිදාට යෙදී තිබෙන පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායික කැඳවීමට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂිතය. පසුගිය 12 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනපතිවරයා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කළේ ය. ඔහු එවැනි තීරණයක් ගත්තේ ඒ සම්බන්ධයෙන් එදිනම අගමැතිවරයා හා පැවැති සාකච්ඡාවකින් පසුවය.

ආර්ථිකයට අවධානය

දෙවැනි ප්‍රමුඛතාව වන්නේ, ඉතාම වැදගත්, මැයි මස 8 වැනිදා ජනපති සිරිසේන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශයයි. ජනපතිවරයා පළමු වතාවට, බහුතරයක් ඔහුගේම වන, රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරනු ඇත. ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරනුයේ ආර්ථික කළමණාකරන කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කිරීම හරහා අගමැති වික්‍රමසිංහගෙන් පවරාගත් ආර්ථික කටයුතු, ඊට වඩා උසස් මට්ටමක පිහිටවුනු ජාතික ආර්ථික කවුන්සිලයකට පවරා තිබෙන වාතාවරණයකය. ඉදිරියේ එන මාස 18ක කාලයේ රජයේ ප්‍රමුඛතා සහ ඉලක්ක ස්ථාපිත කරනු ඇති ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය කෙරේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව අතර දැනටමත් දැඩි උනන්දුවක් ඇතිව තිබේ. ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවන්නේ ද යන්න දැනගැනීම ඔවුන්ගේ වුවමනාවය. මේ අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැති කාරණයක් වනුයේ රාජ්‍ය දේපල බදු දීම හා විකිණීමය.

කෙසේවුව ද, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ගැටුම් ඇතිවීමේ සමත් ගැටලු මගහරිනු ඇති ජනපතිවරයා ඔහුගේ ප්‍රකාශයේ දී වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ ඉහළ යන ජන ජීවන වියදම සහ රැකියා උත්පාදන කටයුතු සම්බන්ධයෙන්ය. ඉදිරියේ එන ජනපතිවරණය සැලකීමේ දී මෙම කරුණු වැදගත්ය.

තෙවැන්න වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග ඔහු කටයුතු කරනු ඇති ආකාරයයි. අවබෝධතා ගිවිසුම අලුත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව තිබුණ ද, පක්ෂ ආරංචි මාර්ග පවසන ආකාරයට ජනපතිවරයාගේ කැමැත්ත වන්නේ පොදු, සරල වැඩපිළිවෙලකට දෙපාර්ශවයේ එකඟතාවය ලබාගැනීමය. එසේ කටයුතු කිරීමෙන් ජනතාවට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව සහතික කිරීම එහි අරමුණය.

හතරවැන්න වන්නේ, ජනපතිවරයාට තවත් වැදගත් කාරණයක් වන, 16 දෙනාගේ කණ්ඩායමට ඔහු කෙසේ සැලකිය යුතුදැයි යන්නය. ගැලවීමට ඇති එකම ප්‍රායෝගික මාර්ගය වන්නේ ඔවුන් කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂයෙන් සමාව ඉල්ලා සිටීමය. මෙයට ඇතැමෙක් කැමැති වන්නට ඉඩ ඇතත්, අනෙක් අය තරයේම එරෙහි වනු ඇත. 2020 වසරට ඔවුන් බහුතරයක් නාමයෝජනා අපේක්ෂාවෙන් සිටින අතර, ප්‍රතිවාදියා වනු ඇත්තේ නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂයයි. මේ නිසාම, ජනපතිවරයා කුමන පියවරක් අනුගමනය කළ ද, 16 දෙනාගේ කණ්ඩායමෙන් කොටසක් විපක්ෂයේ අසුන් ගැනීම නොවැළැක්විය හැකිවනු ඇත. විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින්නෝ පවසන්නේ තමන් ස්වාධීනව කටයුතු කරන මුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ලෙස පෙනී සිටින බවය.

එසේ කීව ද, ඔවුන් ඒකාබද්ධ විපක්ෂය හා ලිහිල් මට්ටමින් හෝ සම්බන්ධතාවයක් ඇති කරගැනීමට විරුද්ධ නැත. මධ්‍යම කාරකසභා හමුවක් පවත්වන ලෙස මෙම කණ්ඩායම ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාරණයම නිසා වන්නට ඉඩ ඇත. එනම්, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ද එක්සත් ජාතික පක්ෂ විරෝධී වාතාවරණයක් පවතින හෙයින්, පක්ෂයේ පාලනය තමන් සතු යැයි හැඟීමක් ඇතිව තිබෙන නිසා, එහි වාසිය ලබාගැනීමටය. නමුත් ඔවුන්ගේ සිතැඟි පරිදි කටයුතු සිදුවේයැයි සිතීම උගහටය.

අනෙක් පසින්, විධායක ජනපති ධූරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ අත්සනින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටීම හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ඇතිව තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවට සඳහනක් ද මේ හා සමගම සම්මත කැරෙන්නේ නම්, විධායක ජනපතිධූරය අහෝසි කිරීම සඳහා සහාය දැක්වීමට සූදානම් බවය.

මෙය ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් කෝප ගැන්වීමට හේතු වී ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් පැවසූයේ මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් ඇති කරගැනීම කෙරේ වන අරමුණක් දිනේෂ් ගුණවර්ධනට නොමැති බවය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුව පැවැත්වෙන තෙක් තමා බලා සිටින බවත්, එහිදී ජනතා විමුක්ති පෙරමුණට සහාය නොදෙන ලෙස තමා ඉල්ලා සිටින බවත්, වීරවංශ කීවේ ය. විධායක ජනපතිධූරය අහෝසි කිරීමේ වුවමනාවක් ජනතා විමුක්ති පෙරමුණට ඇතිව තිබෙන්නේ ළග එන ජනපතිවරණය නිසා බව ඔහු පැවසුවේය. 2015 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය විධායක ජනපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය. එම ප්‍රතිපත්තිය අදටත් එලෙසමය.

මාධ්‍ය නිදහස

කැබිනට් තනතුරු සංශෝධනයට සහ පාර්ලිමේන්තුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට, තමන් නායකත්වය දරන පක්ෂයේම දරුණු අර්බුදයක් ඇතිව තිබෙන අවස්ථාවක අවධානය යොමුකරනු ඇති ජනපතිවරයාට, අනතුරුව ප්‍රබලම අභියෝගයන් එල්ලවනු ඇත්තේ ආර්ථිකයෙනි. ඉන්ධන හා ගෑස් මිලෙහි වැඩිවීමක් අනිවාර්යයෙන්ම භාණ්ඩ හා සේවා මිල කෙරෙහි ද බලපෑමක් ඇති කරනු ඇත. එය රජය කෙරේ ජනතාව අතර කෝපය ඇවිළවීමට හේතුවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තත්ත්වය ජනතාවගෙන් සඟවා ගැනීමට වාරණයක ආධාරය ලබාගැනීමෙන් හෝ නොහැකිය.

මෙම කරුණු සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය දැනටමත් යොමුව තිබෙනු හඳුනාගත හැකිය. පෙර සිටි නායකයින්ට වඩා වැඩි දුරක් තමා ගොස් සිටින බව පෙන්වා දෙමින්, පසුගිය සතියේ බි්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලංකා ජනතාව අමතමින් ඔහු ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන මාධ්‍ය වාර්තාවලින් සියයට 75ක් පමණ විශ්වාස නොකරන ලෙසය. ඔහු එසේ අදහස් දැක්වූයේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් බවට ඇතැමෙක් පවසන විට, තවත් අය කියමින් සිටින්නේ ඔහුගේ අදහස සියලුම මාධ්‍යයන්ට අදාළ වූ බවය. ජනපතිවරයා මෙසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ නායකයා ලෙස ඔහුට නියමිතව තිබෙන ධුර කාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගෙවා තිබෙන අවස්ථාවකය. තමන්ට රිසි නොවන වාතාවරණයක් පවතින විට නොයෙක් දේශපාලනඥයින්, මාධ්‍ය වෙත ගිනි පුපුරු විසිකළ නොයෙක් අවස්ථාවලින් ගහන අතීතයකින් ශ්‍රී ලංකාව පොහොසත්ය. ඇතැම් අවස්ථාවල එවැනි වාතාවරණයන් නිර්මානය කර ගන්නේ ද ඔවුන්මය. බලයට පෙර හා බලය ලැබීමෙන් පසු, මාධ්‍ය වෙත ඔවුන් සලකන ආකාරයේ පැහැදිලි වෙනසක් ඇත.

බලය ලැබීමට පෙර ඔවුන්ගේ කියුම්, කෙරුම්වල වාර්තාකරණය, ඔවුන්ට අනුව ජනතාව අතර තම තමන්ගේ ප්‍රතිරූපය හා අභිමානය වර්ධනය කරදීමේ සමත්ය. එහෙත් එම කියුම්, කෙරුම්, සැබෑවටම ක්‍රියාත්මක කිරීමට යාමේ දී, එනම් බලය ලැබීමෙන් පසු, නොහැකියාවන් වාර්තා කළ විට, ඔවුන් චෝදනා නගන්නේ ද මාධ්‍යයටය. මෙය සාමාන්‍ය දෙයක් බවට කෙනෙකුට තීරණය කළ හැකි වුව ද, තත්ත්වය බරපතළ වන්නේ මාධ්‍යයන් තමන් දී තිබෙන නිදහස අයුතු ලෙස භාවිතා කරමින් සිටින්නේයැයි මෙම දේශපාලනඥයින් පවසන විටය. පළමුකොටම, මාධ්‍ය නිදහස යනු ඔවුන්ට ලබාදී තිබෙන තෑග්ගක් හෝ දීමනාවක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ලක්ෂණයකි. දෙවැන්න, ඔවුන්ට එරෙහි මාධ්‍ය වාර්තාකරණයක් තිබෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමට, පිළිතුරු දීමට, හෝ ඔවුන්ගේම ප්‍රචාර ගෙනයාමට, තරම් හැකියාවකින් යුත් රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණයක් රටේ ඇත. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල රාජ්‍ය මාධ්‍ය නොමැත. එසේ නම් ඇයි මෙතරම් කලබල?

පරිවර්තනය කළේ

කෝවින්ද ගුණසේකර



අදහස් (1)

බලවේග තුනකට ජනපති මැදිවෙයි

Rohana Thursday, 26 April 2018 12:49 AM

2015 ජනවාරි 8 වෙනිදා ලබාදුන් ජනතා ජයග්ග්‍රහණය විජයග්ග්‍රහණ යක් කරගන්න තිබුන අවස්ථාව මගහරිමින් දර්ශනයක් නැති ,නායකත්වයේ කුසලතාවයන් නැති, රට හැදීම නවතා පක්ෂයක් හැදීමට ගත් දියාරු උත්සාහය නිසා 2020 ඔහුට ගෙවන්න සිදුවන වන්දිය අති විසාලයි. රට දිනෙන්දින අගාදයට යන්නේ. අවසානයේ නවතින්නේ චීන කොලනියක් වෙලා .

:       0       26

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 154 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site