IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මේ රටේ ඉතිහාසය හා ජන ජීවිතය තුළ බලවත්ව ඇති බුදු දහමට ව්‍යවස්ථාවෙන් මුල්තැනදීම වැදගත්

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා සමඟ කළ සාකච්ඡාවකි.

 

 

● ප්‍ර: ආගමික සහජීවනය පිළිබඳ ඔබවහන්සේගේ අදහස කුමක් ද? 
පි:
අද ලෝකය පුරා පවතින බොහෝ ව්‍යාකූල හා අරගලකාරී තත්ත්වයන්ට හේතුව ආර්ථීක හා දේශපාලනික සාධක වුණාට අවාසනාවකට මෙන් ඒවා ආගමික ඝට්ඨනයක හැඩරුව ගන්න අවස්ථා ද නැතැයි කියන්නට අමාරුයි. මේ නිසාම ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම අප කාටත් වැටහිය යුතුයි. මේ අරගලකාරී දේශපාලනික තත්ත්වයන් තුළට ආගම ද යොදවා ගන්නට මාන බලන බලවේග ද ඉන්නා බව තේරුම් ගැනීම වැදගත් වෙනවා.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ද මේ සම්බන්ධව ඉතා සංවේදීව ක්‍රියා කරන්නට පෙරමුණ ගෙන සිටිනවා. මේ නිසාම ලෝක සාමය හා සහජීවනය වගේම සංහිඳියාව ජනිත කරවීමටත්, ආගම් එක්විය යුතු කාලයකුයි මේ. අපි අදහන එකම ආගමක්වත් ඒ වෙනුවෙන් වාග් අරගල මෙන්ම හිංසාවාදී අරගලවල  යෙදෙන්නැයි අපට උගන්වන්නේ නෑ. එහෙම නම් ආගමික විවිධත්වය අගය කරමින් කටයුතු කිරීම වෙනදාටත් වඩා අද කාලයට ගැළපෙන තෝරා ගැනීමක් වෙනවා. ආගමක නාමයෙන් අරගල ඇති කර ගැනීම එම ආගමේ උතුම් රටාවට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙනවා. එය ආගමක මූලික ඉගැන්වීම්වලට පටහැණියි.

 

 25_PAGE_6_M
● ප්‍ර: ඔබවහන්සේ පසුගියදා මේ පිළිබඳව යම් අදහස් දැක්වීමක් කළා නේ ද?
පි:
ඔව්. එහෙම කළේ විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ විහිදී පවතින අදහසක්, එනම් ආගම පෞද්ගලික ජීවිතයට පමණක් සිමාවිය යුතු දෙයක් ය කියන දෙය, සමහර අංශ හරහා අපේ රටටත් ඇතුළු වෙමින් පවතින තත්ත්වයක් අද තිබෙන නිසයි. ඒ සංකල්පය මිනිස් ආධ්‍යාත්මය අර්ථ ශුන්‍ය අත්දැකීමක තත්ත්වයට ඇද දමන්නට මාන බලනවා. මෙය සියලුම ආගමිකයන් ආධ්‍යාත්මිකව බෙලහීන කර වෙළෙඳ ආර්ථිකයේ පරිභෝජකයන්ගේ තත්ත්වයට ඇද දමන්නට උත්සාහ කිරීමක් වෙනවා.

 


● ප්‍ර:     ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආගම් වෙත දක්වා ඇති ප්‍රමුඛතාව පිළිබඳ ඔබවහන්සේගේ දැක්ම කොයි  වගේ ද?
පි: අපි විශ්වාස කරනවා මනුෂ්‍යයා කියන්නේ ශාරීරික හෝ භෞතික හෝ පැවැත්මක් පමණක් ඇති කෙනෙක් නොවෙයි, ගැඹුරු ආධ්‍යාත්මික පිපාසයක් අත් දකින ආධ්‍යාත්මික ජීවිතයක් උරුම කරගත් කෙනෙක් කියලා. ඒ වගේම ආගමික පැවැත්ම ඔහුගේ ජීවිතයේ සෑම පැත්තකටම විහිදී ගිහින්. ඔහුගේ හෝ ඇගේ ජීවිතයට ගැඹුරු අර්ථයක් ඇතුළු කරන දෙයක් වන බව. ඒ නිසා සමාජයේ මූලික පුරුක වන පුද්ගලයා තමන් ගන්නා සෑම තීරණයකදී ම වාගේ ඒ ආගමික චින්තනය හරහා ලබන පන්නරය ඔහුට හෝ ඇයට හෝ බලපානවා. ඒ නිසාම ආගම පෞද්ගලිකත්වය තුළ හිරකර තබන්නට බැහැ. එය සමාජයටත් බලපාන දෙයක් වෙනවා. ඒ නිසා තමා, රටක පැවැත්මට ද ආගම බලපාන්නේ. ආගම මනුෂ්‍යයාගේ චින්තනය හැඩගස්වනවා වගේම, සමාජයේ දැක්මත්, හැඩගස්වනවා. ආගම සමාජ ප්‍රවාහයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක්. සෝවියට් රුසියාවේ ස්ටාලින් යුගයේ දී එහෙම කරන්නට දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුණේ නැහැ.


ඒ නිසා ශ්‍රී ලංකාව වැනි ඓතිහාසිකව ආගමික පැවැත්ම ජන ජීවිතයට තදින්ම බලපා ඇති රටක මූලික ව්‍යවස්ථාව තුළින් ආගමට ප්‍රමුඛතාව ලබාදීම වැදගත් වෙනවා. මෙහිදී මේ රටේ ඉතිහාසය හා ජන ජීවිතය තුළ ඉතා බලවත්ව සංකලනය වී පවතින බුදු දහමට ව්‍යවස්ථාමය අතින් මූලිකත්වය ලබාදීම වැදගත් වන බවයි මා සිතන්නේ. ඒ අතරම අනිකුත් ආගම්වලටද ඒවායේ පැවැත්මට අනුව ඒ ඒ ඇදහිලිවන්තයන්ට නිදහසේ ආධ්‍යාත්මික පෝෂණය ලබාදීමට ඉඩකඩ සලසා දීම සුදුසු වෙනවා. ආගමක් නොඅදහන අයට ද ඔවුන්ගේ තෝරා ගැනීම අනුව දිවි ගෙවීමට ඉඩ ලබාදීමද මේ කරුණේදී වැදගත් වෙනවා.

 


● ප්‍ර:    බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ස්ථානය පිළිබඳව ඔබවහන්සේ පසුගියදා ප්‍රකාශයක්     කළා. ඒ පිළිබඳව තවදුරටත් කථා කළොත්?
පි:
මම ඒ ප්‍රකාශය කළේ ලාල් විජේනායක කමිටු වාර්තාවේ, ව්‍යවස්ථාව හා ආගම පිළිබඳ කාරණාවේදී දැන් තියෙන ව්‍යවස්ථාවේ අංක 09 දරන නීිතිය මුලුමනින්ම හෝ සංශෝධන සහිතව හෝ ඉදිරිපත් කිරීම ඉවත් කිරීම ගැනත්, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් අනාගමික රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කිරීමක් කළ හැකි වේය  කියලත් නිර්දේශ කරල තියෙන නිසයි. (බලන්න එම වාර්තාව පිටු 17,18). මේක මම ගොතපු දෙයක් නොවෙයි. මේ කමිටුව පත්කළේ නව ව්‍යවස්ථාව ගැන මහජන අදහස් එකතු කරන්නටයි. ඒ කමිටුව හමුවේ අදහස් ඉදිරිපත් කළ අයගේ ගණන අපේ රටේ ජනගහනය එක්ක සංසංදනය කරත්දී ඉතා සුළු වුණත් කමිටුවේ බොහෝ අය මේ වෙනස ඇති කිරීම සුදුසුයයි නිර්දේශ කර තිබීම මා දුටුවේ පුදුමයෙනුයි. මේ යෝජනාව කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් අයගෙන් ඉදිරිපත් වුණැයි සිතිය හැකියි. එය ඉබේම ඇති වූවක් නොවෙයි නේ. එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට යාම තුළ ඇති භයානක ප්‍රතිඵල විශේෂයෙන්ම අනාගමික රාජ්‍යයක් පිළිබඳ සංකල්පය කමිටුව විසින් නව ව්‍යවස්ථාව තුළට ඇතුළු කෙරිය හැකි දෙයක් ලෙස නිර්දේශ කිරීම මට ප්‍රශ්නයක් වුණා. සමහර අය ඉන්දියාව අනාගමික රාජ්‍යයක් වුණත් ආගම ඉහළින් පිළිගන්නේ යයි සඳහන් කර ඒ නිසා ශ්‍රී ලංකාව ද අනාගමික රාජ්‍යයක් වීමේ වරද කුමක් දැයි අසා තිබුණා. මේ විදිහේ තර්කයකදී එක වෙනසක් අපි අමතක කරනවා. ඉන්දියාව අනාගමික රාජ්‍යයක් විදියට තමන්ව හඳුන්වන්නට යෙදුණේ නිදහසත් සමඟ අනුමත කරගත් ඒ රටේ පළමු ව්‍යවස්ථාව සමඟයි. ශ්‍රී ලංකාව එහෙම නොවෙයි. අපි නිදහස ලබනකොට බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීමේ ඡේදයක් සොල්බරි ව්‍යවස්ථාවට ඇතුල් කර තිබුණේ නැහැ. ඒත් පිළිවෙළින් 1972 ව්‍යවස්ථාවේත් 1978 ව්‍යවස්ථාවේත් මේ අදහස ඇතුල් කරනු ලැබුවා. එහි අසාධාරණයක් මම දකින්නේ නැහැ. මන් ද මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, සිංහල අපේ සිරිත් විරිත් බුද්ධාගම හා කිට්ටුවෙන්ම සම්බන්ධ වී ශතවර්ෂ විසිහයකටත් වඩා පැවතුණ නිසයි. අපි සිතන දේ, අපේ භාෂාව, අපේ සිරිත් විරිත් බොහෝ දුරට බුද්ධාගමේ උගැන්වීම් හා පිළිවෙත් තුළින් සකස්වුණු ඒවා.


ඉතින් ව්‍යවස්ථාවේ දැනටමත් පිළිඅරන් තියෙන මේ තත්ත්වය වෙනස් කිරීමට පුළුවන් කියල සිතීම වුණත් ඉතාම අනුවණ ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. අනිත් අතින් රටේ බහුතරයට දුන්නු විශේෂ තැන ඉවත් කිරීම ඔවුන් රටේ ප්‍රධාන ප්‍රවාහයෙන් නිල වශයෙන් ඉවත් කරනවා වගෙයි. එයින් අපි අපේ බෞද්ධ සොහොයුරන්ට දෙන්නෙත් වැරැදි සලකුණක්. ඇරත් බටහිර ලෝකයේත් ආගමික චින්තනය බාල්දු කිරීම හා ප්‍රධාන වශයෙන් ඉවත දැමීම නිසා ඒ සමාජයේ අද සිදුවෙමින් පවතින ආධ්‍යාත්මික පිරිහීම අපට ගැලපේ යයි සිතීම කොයි තරම් අඥාන අදහසක් ද? පුද්ගලවාදය හා ආත්මාර්ථය ඒ සමාජය පුරා විහිදිලා තියෙන ආර්ථික හා සමාජ පිරිහීමක සළකුණු අපට පෙන්වා දෙනවා. මෙයින් මම අදහස් කරන්නේ නැහැ එහෙ හැම දෙයක්ම නරකයි මෙහේ හැම දෙයක්ම හොඳයි කියල කියන්න. නමුත් හැම අතින්ම වර්ණබේදය, ආර්ථික ආතතිය, ගෝලීය කරණය ඒ සමාජවල ජීවත් වන අය ගිලගනිමින් සිටිනවා. දැන් දැන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නාර්ථත් ඒවා තුළ මතුවෙමින් පවතිනවා. මෙය ද අපි පැතිය යුත්තේ කියන එක මට ප්‍රශ්නයක්. ආගමක වටිනාකම අහකට දාල සමාජ සාධාරණත්වය, සාමය, ඉවසීම, විනය වගේ දේවල් ගොඩනගන්න පුළුවන් ද?

 


● ප්‍ර :    ආගමික සහජීවනය සඳහා ආගමික නායකයින්ට පැවරෙන කාර්ය භාරය කොයි වගේ ද?
පි :
    මම හිතනවා ආගමික නායකයන්ට මේ වගේ වෙලාවක රට වෙනුවෙන් ආගමික සහජීවනය සඳහා කළ හැකි, කළ යුතු දේ බොහොමයක් තියෙනව කියල. ආගම කියල කියන්නේ මනුෂ්‍යයන්ගේ හදවත්වල රළු තැන් වගේම ආත්මාර්ථකාමී හැඟීම්, විනයක් නොමැතිව ක්‍රියාකරන්නට ඇති කැමැත්ත වැනි දේ නැතිකරගෙන කොයි කාටත් ලයාන්විතව සළකමින් හැමෝගේම සුභසිද්ධිය තකා වැඩ කරන්නට යොමු කරන ජීවිත ගමනේ ජය පරාජයන්ට මුහුණ දෙන්නට ශක්තිය දෙන ගමන්ම, අර්ථවත් හා ගැඹුරු ආධ්‍යාත්මික හැඟුමෙන් පිරී ජීවත් වීමට අපව යොමු කරන චින්තන රාමුවක්. අපේ ආගමික ශාස්තෘන් වහන්සේලා දේශනා කර කියාදුන් මාර්ගය ඒ සඳහා ඉවහල් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ ඒ උරුමය, එනම් විවිධ ආගම් මඟින් අපට ලබා දී ඇති ධාර්මික චින්තනයේ උරුමය රැකගෙන මතු පරම්පරාවලට බාරදීම සඳහා ආගමික නායකයන් වශයෙන් අපි එකතු වී ක්‍රියාකළ යුතුයි. අපි අතර වෙනස්කම් තියෙන එක ඇත්තයි. විවිධත්වය කියල කියන්නේ වටිනා දෙයක්. ඒත් ඒ විවිධත්වය අගය කරන අතරම එය ආරක්ෂා කරන්නට, ඒ තුළින් වඩාත් ශක්තිමත් එකමුතුවක් අපි අතර ගොඩනගන්නට අපි එකතු විය යුතුයි.

 


● ප්‍ර : පසුගිය කාලය තුළ අපේ රටේ ආගමික ගැටුම් ඇතිවුණා. මේ ප්‍රවණතාව ගැන ඔබවහන්සේගේ ප්‍රතිචාරය කොයි වගේ ද?
පි :
ගැටුම් ඇති වන්නේ ආගම වචනවලට පමණක් සීමා කරගෙන, ආගමක් අපි අදහනවයි කීවත් ඒ ආගමේ උගැන්වීම්වලට අනුව ජීවත් වීමට අපි අවංක නොවීම තුළයි. ආගම හුදෙක් ගොඩනැගිලි, ප්‍රතිමා හා පිළිවෙත්වලට සීමා කිරීමත් මේ සංකල්පයේ ප්‍රතිඵලයක්. ඒ අතරම අපි ආගම වැරැදි විදිහට පාවිච්චි කරන්න යොමුවීම තුළිනුත් මේ තත්ත්වය ඇති වෙනවා. උදාහරණයක් ගත්තොත්, දේශපාලන ක්ෂේත්‍රය, ආගම තුළට ඇතුල් වී ආගම දේශපාලන බලය අතට ගන්නට වගේම බලය රඳවා ගන්නට යොදවා ගැනීම සඳහා උසිගැන්වීම්, අසත්‍ය ප්‍රචාර, බිය හා සැකය හා පක්ෂ දේශපාලනය ව්‍යාප්ත කිරීමට ආගම යොදවා ගැනීම වැනි දේ සිදුවෙනවා. එතන දී අරගල ඇතිවිය හැකියි. ඒ වගේම ආගම තමන්ගේ කණ්ඩායමට අංක එකතුකර ගැනීමේ මාර්ගයක් ලෙස යොදවා ගැනීමත්, මෙවැනි ගැටුම්වලට මඟ සලසනවා. සමහර වෙලාවට අයථා ක්‍රමවලින් විවිධ ආගමිකයන් රවටා ඔවුන් තමන්ගේ රෑනට එකතු කර ගැනීමට දරන උත්සාහයන් නිසාත් මේ තත්ත්වය ඇති වෙනවා. මේ අයථා ක්‍රම ගැන සොයා බලා ඒවා නතර කිරීමටත් ආගමික සහජීවනය පතා අපි කැපවිය යුතුයි. මේ කරුණේදී අපේ ක්‍රිස්තියානි මූලධර්මවදී කණ්ඩායම් ද බොහෝ විට කරන්නේ පිළිගත නොහැකි දේයි. ඔවුන් කරන දේ සමහර අය කතෝලික අප පිට පටවනවා. මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී වැඩවලින් විශේෂයෙන් අපේ ම කතෝලිකයන් ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරගන්න ඔවුන් විශාල උත්සාහයක යෙදෙනවා. මෙය ආගමික සහජීවනයට තර්ජනයක් ලෙසයි මම දකින්නේ.

1


● ප්‍ර:     දේශපාලන නායකයන් ආගමික කොටස් තමන්ගේ දේශපාලන පටු අරමුණු වෙනුවෙන් හැසිරවීම ගැන මොකද හිතන්නේ?
පි :
    අපට එවැනි දෙයක් කොහෙත්ම පිළිගන්නට බැහැ. මන්ද මෙවැනි දෙයක් තුළ ආගම විතරක් නොවෙයි පක්ෂයද පදනම් කරගෙන ජනතාව බෙදෙනවා. මම හිතනවා පූජ්‍ය පූජක අය දේශපාලන වේදිකාවලට නැගීම, දේශපාලන පක්ෂ පිහිටුවීම, ඡන්දය ඉල්ලීමට යාම වගේ දේවල් හොඳ නැහැ කියල. ක්‍රිස්තියානි ඉගැන්වීම්වල තියෙනවා අප රටවල් පාලනය කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න කියල ඒ අයට කීකරු වෙන්න කියලා. නමුත් පූජක පැවිදි අපට දේශපාලනය කරන්න තහනම්. එය සභා නීතියෙන්ම තහනම් කරලයි තියෙන්නේ.
ඒත් රටේ පොදු ප්‍රශ්න ගැන අප අදහන ආගම්වල උගැන්වීම්වලට අනුව සැමගේ යහපත තකා කතා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම අපේ යුතුකමක් වෙනවා. ඇත්තටම මම හිතනවා ආගම හා ජාතිය පදනම් කරගත්තු පක්ෂ පිහිටුවීමත් අනවශ්‍ය ලෙස රටත් සමාජයත් බේද කරවීමට කටයුතු කිරීමක් කියල.

 


● ප්‍ර :     අපේ රටේ කිතු දහමේ ඉහළම තැන සිටින ඔබවහන්සේ ඔබේ ආගම අදහන අයට ආගමික සහජීවනය පිළිබඳ කියාදෙන පාඩම මොකක් ද?
පි :
    ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයම බොහෝ කාලයක සිට මේ ගැන විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. හැටේ දශකය තුළ අවසන් වුණු දෙවන වතිකානු ජගත් සම්මන්ත්‍රණ සභාව අන්තර් ආගමික සංවාදය හා සහජීවනය ගැන නූතන කතෝලික සභාව දැරිය යුතු විවෘතභාවය ඉතා පැහැදිලි දැක්මකට අනුව අපට ලබාදී තිබෙනවා. මේ අදහස් අනුව අපි අපේ සහෝදර අනිකුත් ආගම් අදහන අය වෙත අත දිගුකර සහෝදරත්වයෙන් ඔවුන් හා බැඳී කටයුතු කළ යුතු ආකාරය හා විශේෂයෙන් ලෝක සමාජය හා අප ජීවත් වන රටවල සමාජය තුළ අප කාටත් බලපාන පොදු ප්‍රශ්නවලදී එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මඟ පෙන්වීමක් ලබාදී තිබෙනවා. ලෝක සාමය ළඟා කර ගැනීමට අපි ආගම් අතර හොඳ හිත වර්ධනය කළ යුතුයි. ඒ ගැන අපි අපේ සැදැහැවතුන් නිතරම දැනුම්වත් කරනවා.

 


● ප්‍ර :    අපේ රටේ වර්තමාන දේශපාලන සමාජ වටපිටාව පිළිබඳ ආගමික නායකයකු විදිහට ඔබවහන්සේගේ අදහස කොයි වගේ ද?
පි : 
    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වටපිටාව නව ආරම්භයක සලකුණු පෙන්නුම් කරන ආකාරයටයි සකස් වී ඇත්තේ. 2015 ජනවාරි 8 දා ඇති වූ පෙරැළියත් සමඟ සාමය, නීතිගරුක බව, සංහිඳියාව හා සෞභාග්‍යය ගැන අපි සැවොම සිහින මවමින් සිටිනවා. මෙය දුෂ්කර ගමනක්. නමුත් අපට වෙන විකල්පයක් නැහැ. වසර 30ක ඉතා වේදනාකාරී අත්දැකීම් පසෙකලා සෑම ජන කොටසකගේම අනන්‍යතාව රකිමින් එකට අත්වැල් බැඳගෙන යුද මානසිකත්වයෙන් ඉවත්ව යන නව රටාවක් අපට අවශ්‍ය වෙනවා.


හැබැයි, මේ ගමන යන්නට අපි හැමෝම එකතුවිය යුතුයි. අපගේ ආගමික උගැන්වීම් මේ ගමනට පාදක විය යුතුයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයට තුඩුදුන් හේතු ඉවත් කිරීමට අපි ධෛර්යවන්තව කටයුතු කළ යුතුයි. මේ රටේ උරුමයේ උත්තරීතර කොටසක් වන ආගමික පැවැත්ම තුළ අපි මේ ප්‍රගතියේ ගමනට අඩිතාලම දමන්නට කටයුතු කිරීම ද වැදගත් වෙනවා. ආගමික නායකයන් හා දේශපාලන නායකත්වය අතර මේ පිළිබඳව හරි වටහා ගැනීමක් සංවාදයක් හා යම් එකඟතාවක් ඇතිවීම වඩාත් ප්‍රයෝජනවත් වේ යයි මම සිතනවා. ආගම් හා ජාතීන් අතර හොඳහිත, එකිනෙකා ඉවසීම, තේරුම් ගැනීම හා සහෝදරත්වය වර්ධනය කිරීම මේ කරුණේදී වැදගත් වෙනවා. අපේ රටේ ප්‍රශ්න, විදේශීය නීති, නියෝගවලට අනුව නොව ඔවුන්ගේ සහයෝගය පමණක් ලබා ගනිමින් අපේ පොදු උරුමය හා අනන්‍යතාව අනුව විසඳා ගැනීම ද වැදගත් වෙනවා. අපේ රටේ පොදු ආගමික චින්තනය මේ කාරණාවේදී අපට සුවිශාල ශක්තියක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මම හිතනවා මේ උරුමය අපේ ආශිර්වාදය කියලා.

 


● ප්‍ර : දේශපාලන වශයෙන් ව්‍යාකූල වී ඇති රට ගොඩනගන්න ඔබේ අවවාදය මොකක් ද?
පි : ප්‍රශ්න නැති සමාජයක් අද ලෝකයේ කොහේවත් නැහැ. අපේ රටට වඩා ව්‍යාකූල වෙච්ච තැන් තවත් බොහොමයක් තිබෙනවා. හැබැයි අප ඉදිරියේ ඇති ඇතැම් ප්‍රශ්න විසඳීමට ඉක්මන් පියවර ගැනීමත් වැදගත් වෙනවා. ඒ අතර උතුර නැගෙනහිර පැන නැගී ඇති ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීම වඩාත් ඉක්මනින් සිදුවිය යුතුයි. ඒ ගැන දෙකොටස අතර එකිනෙකාගේ ප්‍රශ්න ගැන අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුත් සංවාදයක් අවශ්‍ය වෙනවා. ජිනීවා ප්‍රශ්නය විසඳා ගැනීමට නම් අපි මේ කරුණ සම්බන්ධව පළමුව සිතා බැලීමක් කළ යුතු වෙනවා. ඒ ප්‍රදේශවල ජනයාට තම ප්‍රදේශ යථා තත්ත්වයට ගෙන ඒමේ වගකීම පැවරීම වැදගත් වෙනවා. ඒ ගැන ඔවුන්ගේ නායකයන් සමඟ සංවාදයක යෙදිය යුතුයි. ඒ අතරම, ආර්ථික ප්‍රගතිය ලබා ගැන්මට බටහිර ආර්ථික ක්‍රමයම පමණක් මොඩලය කරගන්නවාට වඩා අපේ රටේම සම්පත් හා මේ රටේ සංස්කෘතියද අපේ පුද්ගල සම්පත් මෙන් ම ස්වදේශීය ආයෝජකයන් ද මෙයට හවුල් කර ගැනීම පිටරටවලින් යැපෙන තත්ත්වයෙන් නිදහස් වීමට හොඳම මග කියලයි මා හිතන්නේ. ශ්‍රී ලංකාව තුළ සිංගප්පූරුවක් නිර්මාණය කරනවාට වඩා අපේ ම ගොවි, ධීවර, කම්කරු ශ්‍රමය හා හැකියා දියුණු කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. ආනයනයට වඩා අපනයනය දියුණු කිරීමත් මෙහිදී රටට වඩාත් සුභදායී වෙනවා. ඒ වගේම අපේ මේ ලස්සන දිවයිනේ ජෛව සම්පත රැකගැනීමට කටයුතු කිරීම ද රටේ ආර්ථීකය විදේශීයකරණය නොකිරීමද මෙහිදී කළයුතු තවත් වැදගත් තෝරා ගැනීම් වෙනවා. ඒ ඇරත් විවෘත ආර්ථික තෝරා ගැනීම නිසා දිලිඳුකමින් පීඩා විඳින ජනකොටස්වලට දරිද්‍රතාවෙන් ආරක්ෂාවීම සඳහා යම්කිසි සහන සැලැසීමක් සිදුවිය යුතුයි කියලත් මම කල්පනා කරනවා.

 


● ප්‍ර :    දේශපාලන නායකයන් ආගමික නායකයන්ගේ උපදෙස් සැබවින්ම පිළිපදිනවද?
පි :
    ඒ ගැන හරියටම යමක් කියන්න අමාරුයි. ඇතැම් කාරණාවලදී එවැනි උපදෙස් පිළිපැදීමක් සිදු වෙනවා කියල කියන්න පුළුවන්. මේ කාරණයේදී අපි හැම දෙයකටම කථා කළයුතු වන්නේ නැහැ. දේශපාලන ක්ෂේත්‍රයටත් යම් යම් දේ ගැන තීරණ ගැනීමට නිදහස තියෙනව.

 


● ප්‍ර :    ශ්‍රී ලංකාව වැනි රටවල සමාජ දේශපාලන දරිද්‍රතාවට ඔබවහන්සේගේ යම් විසඳුම් යෝජනාවක් තියෙනවාද?
පි :  
 මේ කාරණය ගැන කතා කළ යුත්තේ ආර්ථීක විද්‍යාව පිළිබඳ හොඳින් හදාරා ඇති විශේෂඥ මහත්වරුන් තමයි. අපි හිතන්නේ මේ රටතුළ නව ආර්ථීක පිබිදීම, විශේෂයෙන් 1978 ආරම්භ කළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා දරිද්‍රතාවයට තල්ලු වී සිටින මෙන්ම ගෘහ මූලිකයා නොමැති වීම වැනි කරුණු නිසා ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවතට තල්ලු වී සිටින දිළිඳු ජන කොටස්වලට ඒ තත්ත්වයෙන් මිදෙන්නට උපකාරී වීම රජයේ යුතුකම බවයි. අහස උසට නැග ඇති ජීවන වියදම බොහෝ දෙනෙකුගේ ජීවිත අඳුරු කරන්නට හේතු විය හැකි නිසා මේ අය ගැන මීට වඩා සංවේදී විය යුතුයි කියලයි මම හිතන්නේ. ගෝලීයකරණය නිසා ටික දෙනෙකුගේ අතට ලෝකයේ ධන සම්පත් එකතු වී වැඩි දෙනෙකු දරිද්‍රතාවයට ඇද වැටීම අද ලෝකයේ පවතින භයානක තත්ත්වයක්. අද ලෝකය ආක්‍රමණය කරන ගෝලීයකරණයට අපිත් කැමැත්තෙන් යටවුණොත් 1948 දී අප ලබාගත් නිදහස මායාවක් පමණක් වේවි.

m



අදහස් (0)

මේ රටේ ඉතිහාසය හා ජන ජීවිතය තුළ බලවත්ව ඇති බුදු දහමට ව්‍යවස්ථාවෙන් මුල්තැනදීම වැදගත්

දමයන්ති Sunday, 02 October 2016 08:11 PM

ඔබ වහන්සේ උසස් මනසකින් ලෝකය දෙස බැලීම ශ්‍රේෂ්ඨයි. මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඇන්ජෙලෝ Wednesday, 28 September 2016 10:16 AM

රටේ ආර්ථික ප්‍රශ්න ආවහම විවිධ සමාජ ප්‍රශ්න ඇතිවෙනවා. (ර)

:       0       0

සෙනරත් Saturday, 01 October 2016 09:07 AM

ඔබවහන්සේ බෞද්ධාගමට කරන සැළකීම බහුතර බෞද්ධ වන අපේ දේශපාලකයන්ට නොතේරීම ඉතාම කණගාටුදායකයි. ඔබවහන්සේට මෙසේ අදහස් දැක්වීම ගැන අපේ ප්‍රණාමය. ඔබවහන්සේ නියම ආගමික නායකයෙක් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 02 October 2016 02:14 PM

ඔබ වහන්සේට මගේ ප්‍රණාමය! බැරිද යුරෝපයේ සංචාරයක් කර අපේ රටේ තිබෙන ප්‍රශ්න ආගමික අන්තවාදීන් ගැන සහ අපේ රටේ තිබෙන ආගමික නිදහස ගැන දේශනා මාලාවක් යුරෝපයේ රටවල් කිහිපයක් සංවිධාන කරන්න? ඔබතුමා කවදා හෝ පාප් වහන්සේ කෙනෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 2 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 374 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 984 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1472 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site