IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මැතිවරණ කල්දැමීමේ බූමරංගය

ලබන මස 10 වැනිදාට පළාත් පාලන මැතිවරණයක් පවත්වා වසර හතරක් සම්පූර්ණ වේ. ඒ අනුව මේ වනවිට ඊළඟ පළාත් පාලන මැතිවරණ සඳහා දින නියම කරනු ලැබ තිබිය යුතු වුවත් එසේ නොකොට ආණ්ඩුව පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 19 වැනිදා තෙක් දීර්ඝ කොට තිබේ.

ඒ සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉකුත් සඳුදා (ජනවාරි 10) නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ එසේ මැතිවරණ කල්දැමීමට කිසිදු හේතුවක් දක්වා නොතිබිණි. නීතිය අනුව එම ගැසට් නිවේදනයේ එසේ හේතුවක් දැක්විය යුතු යැයි නියමයක්ද නැත.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නගර සභා මහ නගර සභා ආඥාපනතේ ප්‍රාදේශීය සභා පනතේ 10 වැනි වගන්තියේ දෙවැනි උපවගන්තියේ ‘‘ආ’’ ඡේදය අනුව ඇමැතිවරයාට ලැබී ඇති බලතල අනුව නගර සභා මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල නිල කාලය දීර්ඝ කරන බවය.

එහෙත් ආණ්ඩුවේ නායකයෝ මේ තීරණය සම්බන්ධයෙන් විවිධ හේතු දක්වති. ඉන් වැදගත්ම හේතු වශයෙන් දැක්විය හැක්කේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා පළාත් පාලන විෂයය භාර අමාත්‍යාංශයේ  ප්‍රධානීන් දෙදෙනකු ඉදිරිපත් කොට ඇති හේතුය.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මැතිවරණ කල් දැමීම ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු පවසා තිබුණේ පවතින මැතිවරණ නීති සංකීර්ණ හා අවුල් සහගත වන හෙයින් නීති සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කල් දැමූ බවය. එසේ වුවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය මාසයේ පවසා තිබුණේ වෙනත් අදහසකි.

පසුගිය මාසයේ 19 වැනිදා වනවිට පළාත් පාලන මැතිවරණ කල් දැමීමට තීරණය කරනු ලැබ තිබිණි. එදින ප්‍රකාශයක් කරමින් ඒ බව තහවුරු කළ රණසිංහ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම තීරණය ගත් බවද කීවේය. දෙදෙනාම ප්‍රශ්නයට අදාළ දෙදෙනෙකි. එක් අයෙක් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාය. අනෙක් තැනැත්තා අදාළ අමාත්‍යාංශයේ කනිෂ්ඨ ඇමැතිවරයාය. මෙයින් විශ්වාස කළ යුත්තේ කවුරුන්ගේ ප්‍රකාශයද?

මෙසේ ආණ්ඩුවේ විවිධ බලධාරීන් මේ කාරණය සම්බන්ධයෙන් විවිධ වූ අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ මෙවැනි වැදගත් කරුණක් සම්බන්ධයෙන්වත් ආණ්ඩුව තුළ සංවාදයක් නොකෙරෙන බවත් ආණ්ඩුවේ නායකයන් එක්කෙනකු හෝ දෙදෙනකු තීරණ ගන්නා බවත්ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙය සිදු නොවිය හැක්කක් නොවේ. එසේ තිබියදී අනෙක් දේශපාලන පක්ෂවලටද රටේ ප්‍රජාතන්ත්‍රවාදයටද බලපාන මෙවැනි කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රධාන විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කොට තීරණ ගැනීමක් අපේක්ෂා  කළ නොහැකිය.

ජනතා විමුක්ති පෙරමුණද පවසා තිබුණේ ආණ්ඩුව මේ තීරණයට පාදක වූ හේතු රටට කිව යුතු බවය. මේ අතර සමඟි ජන බලවේගයේ ඇතැමුන් පවසා තිබුණේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී මැතිවරණ කල් දමා ඇති බවය. ආණ්ඩුවේ අදාළ නායකයකු මෙම තීරණයට පිළිගත හැකි හේතු නොදැක්වුවහොත් බිය නිසා  මෙම තීරණය ගත් බවට දැක්වෙන අදහස සමාජය තුළ තහවුරු විය හැකිය.

එසේ වීමට ආණ්ඩුව මැතිවරණවලට බිය විය යුතු තරමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබීමද හේතුවකි. බඩු මිල, භාණ්ඩ හිඟය හා ඒ නිසා ඇති වී තිබෙන පෝලිම්, පොහොර ප්‍රශ්නය නිසා රට පුරා කෙරෙන උද්ඝෝෂණ, ගෑස් හිඟය හා ගෑස් භාවිතයට ඇති බිය, ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුව සතුව විසඳුම් නැති බවක් පෙනීයාම ආදිය නිසා රට තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැගී තිබේ. ආණ්ඩුවේ ජනප්‍රිය බව බොහෝ දුරට හීනවී ගොස් ඇතැයි ඇමැතිවරු කිහිප දෙනකු පවා මෑතකදී ප්‍රසිද්ධියේ පිළිගත්හ. රාජපක්ෂ පවුලේ කෙනකු වන රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවා පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශයකදී කියා තිබුණේ හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පරාජය විය හැකි බවය.

ඒ අනුව ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය හෝ තවදුරටත් රැක ගැනීමට නම් මැතිවරණ කල් දැමීම පිළිබඳව පිළිගත  හැකි හේතුවක් ඉදිරිපත් කළ යුතුය.

බිය නිසා මැතිවරණ කල් දමන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද පසුගිය ආණ්ඩුවට චෝදනා කොට තිබිණි. එය සත්‍ය වූ චෝදනාවකි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම ආණ්ඩුව පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ කල් දැමීමට විවිධ උපක්‍රම යෙදීය. එහෙත් හාස්‍යජනක කරුණ නම් එදා ආණ්ඩු පක්ෂයේ සිටි පිරිස්ම අද පොදුජන පෙරමුණට එම යෝජනාවෙන්ම දමා ගසන තත්ත්වයක් උදාවී  තිබීමය.

පවතින මැතිවරණ නීතිය වෙනස් කොට නව සරල මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණ පවත්වන්නට මැතිවරණ කල් දැමූ බව පවසන සාගර කාරියවසම් මහතාගෙන් එවැනි මැතිවරණ නීති සංශෝධනය සඳහා වූ සූදානමක් ඇත්දැයි යමකු ඇසුවහොත් ඔහු සමහරවිට අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තුවේ  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පෙන්විය හැකිය.

ගුණවර්ධන මහතා පසුගිය දෙසැම්බර් 10 වැනිදා මෙම තේරීම් කාරක සභාවේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කොට තිබිණි. ඒ අනුව ඒ වනවිටත් එම කාරක සභාව තම වාර්තාව සකස්  කරමින් තිබිණි. එසේම මේ මස 16 වැනිදා (හෙට) අවසන් වීමට නියමිතව තිබූ එම කාරක සභාවේ නිලකාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කොට ඇතැයිද ඔහු ප්‍රකාශ කොට තිබිණි.

පසුගිය මාසයේම කාරක සභාවේ වාර්තාව සකස් කෙරෙමින් තිබුණේ නම් එය කාරක සභාවේ නිල කාලය අවසන් වීමට පෙර හෝ ඉන් දින කිහිපයකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ අනුව මැයි මාසයේදී හෝ ජූනි මාසයේදී නව නීති යටතේ මැතිවරණ පැවැත්වීමට හැකිවනු ඇත. එසේ නම් ලබන වසරේ මාර්තු 19 දා දක්වා පළාත් පාලන  ආයතනවල නිල කාලය දීර්ඝ කරන්නේ කුමක් සඳහාද යන ප්‍රශ්නය මතුවේ.

කොවිඩ් රෝගය ඉතා බරපතළ ලෙස රටේ පැතිරෙමින් තිබූ කාලවල මැතිවරණ පැවැත්වීමට උනන්දු වූ පොදුජන පෙරමුණ දැන් එම රෝගය මැතිවරණ කල් දැමීමට හේතු වශයෙන් දැක්වීම බොහෝ දෙනකුගේ සිනහවට හේතු විය හැකිය. එය ඔවුන්ම පසුගිය කාලයේ ඉදිරිපත්  කළ තර්කවලට පටහැනි තත්ත්වයකි.

2020 මාර්තු මාසයේ 11 වැනිදා පළමු ශ්‍රී ලාංකික කොවිඩ් රෝගියා මෙරටින් සොයා ගන්නා විට මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබ තිබිණි. ඒ දිනවල මෙම රෝගය සම්බන්ධයෙන් රට තුළත් ජාත්‍යන්තර වශයෙනුත් පැවැති බිය හේතුවෙන් 2020 මාර්තු 12 වැනිදා මෙරටින් දෙවැනි රෝගියා සොයා ගැනීමත් සමඟ ආණ්ඩුව සියලු පාසල්වලට නිවාඩු දී නිවසේ සිට රාජකාරි කිරීමට රාජ්‍ය සේවකයන්ට අනුමැතිය දුන්නේය. එහෙත් ආණ්ඩුව නාම යෝජනා කල් දැමීමට එකඟ වූයේ නැත. ඒ අනුව 2020 අප්‍රේල් 25 වැනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියම කෙරිණි.

එදා පොදුජන පෙරමුණේ තර්කය වූයේ මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවය. පැවැති නීතියට පටහැනිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා (රනිල් වික්‍රමසිංහ මහතා) ඉවත් කොට 2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමෙන් ඇතිවූ අර්බුදය හමුවේ ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

එජාප ප්‍රමුඛ විරුද්ධ පක්ෂ ඊට එරෙහිව අධිකරණය හමුවට ගියේය. එවිටද පොදුජන පෙරමුණේ නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ මෝර දෙන එජාප හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට බිය මන්දැයි ප්‍රශ්න කළහ.

එහෙත් දැන් එම ප්‍රශ්නය අසන්නේ අනෙක් පක්ෂ පොදුජන  පෙරමුණ වෙතිනි. 2020 අප්‍රේල් 25 වැනිදාට නියමිතව තිබූ මහ මැතිවරණය කොවිඩ් තත්ත්වය උග්‍ර වීම නිසා ජාතික මැතිවරණ කොමිසම විසින් දින නියමයක් නැතිව එම වසරේ මාර්තු 19 වැනිදා කල් දමනු ලැබීය. ඉන් දින කිහිපයකට පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමට මැතිවරණ කල් දැමීමට බලයක් නැති බවයි.

ඒ අනුව එදා රට පුරා විශාල කොවිඩ් බියක් පැතිර පවතිද්දී මැතිවරණ පැවැත්වීමට උනන්දු වූ පොදුජන පෙරමුණ අද සියලු පාසල්  විවෘත කරන්නට ඉඩ දී, සියලු රාජ්‍ය සේවකයන් සේවය සඳහා කාර්යාලයට කැඳවා කොවිඩ් තත්ත්වය නිසා මැතිවරණ පැවැත්වීමට නොහැකි යැයි කීම තර්කානුකූල නොවේ. මේ කාරණයේදී පොදුජන පෙරමුණ හා පසුගිය ආණ්ඩුවේ සිටි එජාප හා සමගි ජනබලවේගයේ දේශපාලනඥයන් අතර වෙනසක් නැත.

ධනවාදී පාලනයක් ඇති රටක කාලය සෑම විටම සේවය කරන්නේ විපක්ෂයට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රෝහණ විජේවීර මහතා වරක් ප්‍රකාශ කොට තිබිණි. ඔහු ඉන් අදහස් කළේ ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන ආණ්ඩු පක්ෂයට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නිසා දිනෙන්  දින උත්සන්න වන ජනතා අප්‍රසාදය විරුද්ධ පක්ෂවලට වාසිදායක වන බවයි.

එහෙත් පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ නායකයන්ද මැතිවරණ කල්දැමීමෙන් පෙනෙන්නේ ඔවුන් මෙම කාරණය වටහා ගෙන නැති බවයි. පසුගිය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණේ 2015 හා 2016 වසරවලය. එහෙත් ඒ වනවිට පළාත් පාලන මැතිවරණ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු වූයෙන් පළාත් පාලන ආයතන සීමා නිර්ණය කළ යුතු විය.

ඊට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම එජාප ප්‍රමුඛ ආණ්ඩුවද එම කටයුත්ත දිග්ගැස්සෙන්නට ඉඩ හැරියේය. අවසානයේදී මැතිවරණ පැවැත්වුණේ 2018 පෙබරවාරි 19 වැනිදාය. ඒ වනවිට එජාප ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව අතර බොහෝ දුරට අප්‍රසාදයට ලක් වී තිබිණි. ඒ අනුව පළාත් පාලන ආයතන 341න් 239ක්ම දිනා ගැනීමට පොදුජන පෙරමුණට හැකි විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණ මෙන්ම පළාත් සභා මැතිවරණයද කල් දැමීමට අවශ්‍ය විය. පළාත් සභා 9 සඳහාම එකම දිනයේ මැතිවරණ පැවැත්වීම සඳහා එම ආණ්ඩුව 2017 සැප්තැම්බර් මාසයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළේය. එමගින් පළාත් සභා මැතිවරණ කල් දැමෙන හෙයින් අදාළ වගන්ති සංශෝධනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පසුව ආණ්ඩුව ඒ දිනවලම වෙනත් පනතක් පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී පළාත් සභා සඳහා ද මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙමින් සංශෝධනයක් ඉදිරිපත් කළේය. එය සම්මත වීමෙන් සීමා  නිර්ණය පිළිබඳ ප්‍රශ්නය මතු වී අද පවා පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

එජාප නායකයන් බිය වුවද 2015 මහ මැතිවරණය පැවැත්වූ වහාම හෝ 2017දී පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ නම් එජාපය පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක් දිනා ගන්නට ඉඩ තිබණි. නැත්නම් අන්ත පරාජයක් අත්වීමෙන් වැළකෙන්නට ඉඩ තිබිණි. ඒ සමඟම පළාත් සභා මැතිවරණ පැවැත්වූයේ නම් එයටද ඉන්පසු මහ මැතිවරණයටද පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබිණි. එසේ වූයේ නම් 2020 දී පොදුජන පෙරමුණ ජය ගත්තද තුනෙන් දෙකක බලයක් ලබා නොගන්නට ඉඩ තිබිණි.

එජාප මැතිවරණ කල් දැමීමේ ප්‍රතිවිපාක තේරුම් ගත්තේ 2018 පළාත් පාලන මැතිවරණ හා ඉන්පසු පැවැති මැතිවරණවල ප්‍රතිඵලවලිනි. එය පොදුජන පෙරමුණද ඉගෙන ගත යුතු පාඩමකි.

ආණ්ඩු පක්ෂයකට පළාත් පාලන වැනි මැතිවරණ කල් දැමීමට නීතිමය බලයක් තිබිය හැකි වුවත් සදාචාරමය අයිතියක් නැත. එය අනෙක් තරගකරුවන් හා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කොට සාමූහික  එකඟතාවෙන් ගත යුතු තීරණයකි. මන්දයත් මැතිවරණ සාධාරණව පැවැත්විය යුතු හෙයිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

මැතිවරණ කල්දැමීමේ බූමරංගය

විනිවිද Saturday, 15 January 2022 08:15 PM

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකදිනයක් හෝ වෙන් වෙන් වශයෙන් පවත්වා පාර්ලිමේන්තුවට අලුත් කණ්ඩායමක් පත් කරගන්නා තුරු වර්තමාන පළාත් පාලන මැතිවරණ හෝ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වීම තවකාලිකව නැවතිය යුතුවේ. පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වුණත් මැතිවරණ යළි පැවැත්විය යුතු වන්නේ රටේ ජනතාවට රටේ ඉහළම දේශපාලන ප්‍රවාහයේ වෙනස සිදු කිරීමෙන් පසුව වේ. අලුත් මුහුණු ප්‍රදේශ මට්ටමින් දේශපාලනයට ගෙන ඒම කළයුතු අතර ඔවුන් සඳහා නව දේශපාලන න්‍යායන් සහ නීති මාලාවක්ද ඇතුළත් විය යුතුවේ. රජයේ දේපල හානි කරමින් ඔවුන් කරන්නාවූ නොමනා හැසිරීම් කෙසේවත් අනුමත කළ නොහැකිවා සේම ඔවුන් විසින් කරන්නා වූ දේපළ විනාශ කිරීම් ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීමට සහ දේපල අලාභයද ඔවුන් විසින් ගෙවීමට නව නීති හඳුන්වා දීම කළයුතු වේ. මැතිවරණ කල් දැමිම සුදුසු නැති වුවත් වර්තමානයේ රටේ පවතින දේශපාලන තත්වය උපයෝගී කරගනිමින් දේශපාලනයේ වෙනස්කම් සහ හඳුන්වාදීම් කිරීමට අවදානය යොමුකිරිම හදිසි මැතිවරණයක් පැවැත්වීමට වඩා අනාගතයට වැදගත් වේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 319 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 942 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1428 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site