IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මැතිවරණ සෝදාපාළුව

බ්‍රිතාන්‍ය තුළ විකාශනය වූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මත පදනම්ව අදියර කිහිපයකදී ස්ථාපිත වූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වූ අරමුණින් ඔබ්බට ගොස් විකෘතිතාවට පත්වී ඇත.

එම විකෘතිතාවට බලපෑ ප්‍රධාන කාරණා කිහිපයක් ඇතත් මූලිකම කරුණු ලෙස සැලකිය යුත්තේ මැතිවරණ ක්‍රමයේ පවතින විකෘතිතාව සහ මහජන නියෝජිතයන් වශයෙන් තේරීපත් වන සහ පත්කරනු ලබන නියෝජිතයන්ගේ නුසුදුසු භාවයයි. නිදහසින් පසු සෝල්බරි ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව යටතේ කේවල ආසන සහ බහු ආසන ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ඡන්ද පැවැත්වූ අතර පළාත් පාලන ආයතන සඳහා කේවල ක්‍රමයට නියෝජිතයන් තෝරා ගැනුණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එම ක්‍රමය වෙනස් කරමින් සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදුණි.

 ප්‍රංශයේ ආණ්ඩුක්‍රම ආකෘතිය (ඩිගෝල් ක්‍රමය) පදනම් කරගෙන නිර්මාණය වූ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කැබිනට් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන විධායක බලයේ බහුතර කොටසක් එක් කරමින් විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ අතර ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යෑමේ අරමුණින් ඊට ගැළපෙන ලෙස සමානුපාතික නියෝජනය ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුනි.

පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන යන දෙකට අතරමැද තවත් පාලන පද්ධතියක් 1987 දී 13 වන සංශෝධනය මගින් හඳුන්වා දෙන ලදී. එය පළාත් සභා නමින් වර්තමානයේ ක්‍රියාත්මක වේ. ඒ සඳහා ද අනුගමනය කරනු ලබන්නේ සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයකි.

 සමානුපාතික නියෝජන ක්‍රමය ආරම්භ වී වැඩි කලක් යන්නට මත්තෙන් දැඩි විවේචන එල්ල වූ අතර 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වූයේ ප්‍රධාන පොරොන්දු ගණනාවක් ලබා දෙමිනි.

ඒ අතර මූලික පොරොන්දු ලෙස සැලකුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබා දීමය. 

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස 2002 වසරේ පාර්ලිමේන්තු තේරීම කාරක සභාවක් පත් කළ අතර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහි සභාපති ලෙස කටයුතු කළේය. ඒ පිළිබඳව අධ්‍යයනය කර වසර 10 පමණ කාලයකට පසු සිය නිර්දේශ ඉදිරිපත් කරන්නට විය.

ජාතික තලයේ මැතිවරණය වන පාර්ලිමේන්තු මැතිවරණයේ දී 70% කොට්ඨාස ක්‍රමයටත් 30% ක් සමානුපාතික ක්‍රමයටත් පත්කර ගැනීම සුදුසු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 නොඉක්මවිය යුතු බවත් එම නිර්දේශ අතර විය. ඒ අනුව පළාත් පාලන මැතිවරණ ක්‍රමය අවස්ථා ගණනාවකදී සංශෝධනය වුවත් එය දැන් කෙළවර වී ඇත්තේ බලවත් විකෘතිතාවකින් සහ ව්‍යාකූලතාවකිනි.

පළාත් සභා මැතිවරණ ක්‍රමය ද සංශෝධනය වූ අතර එයද අයත් වනුයේ ඉන් ඔබ්බට ගිය තවත් ගැටලු රාශියක් නිර්මාණය කරමිනි. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට 2015 ජූනි මස 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළත් එය මේ වන විට කුණු කූඩයට ගොස් ඇත.

ලෝකයේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ ක්‍රමය තුළින් බලාපොරොත්තු වන්නේ එම සමාජයේ ජීවත් වන ජනතාවගේ ජාතිය, ආගම, කුලය හෝ විවිධ සංස්කෘතික වෙනස්කම් නොතකා ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු මත ගොඩනැඟුණු දේශපාලන පක්ෂ ක්‍රමයකට ඔවුන් අනුගත කර ගැනීමයි. රටක ජීවත් වන සියලු ජනතාවගේ සමානාත්මතාව පිළිගෙන කටයුතු කිරීම සහ ඒ සඳහා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණකි. 

රටක ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස ජන සංහිඳියාව අත්‍යවශ්‍යය. ජන සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා ඊට ගැළපෙන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අත්‍යවශ්‍යය. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පවත්වා ගැනීමට නම් ඊට ගැළපෙන්නා වූ මැතිවරණ ක්‍රමයක් අත්‍යවශ්‍යය. එවැනි ක්‍රමයක් මෙරට තිබේදැයි දෑසේ කඩතුරා ඉවත් කොට සොයා බැලිය යුතු කාලය එළඹ ඇත.

 වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ අරමුණ සාක්ෂාත් කරගත හැකිද යන්න පිළිබඳ පවතින්නේ බරපතළ සැකයකි. ඊට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ගොඩනැගිය යුතු ජාතිකවාදය වෙනුවට ජාතිවාදය හිස ඔසවන්නා වූ විකෘති මැතිවරණ ක්‍රමයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති නිසාය.

ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව මගින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙමින් පරිපාලන දිස්ත්‍රික්කයන් මැතිවරණ කොට්ඨාසයක් වශයෙන් සලකන්නට යෙදුණි. එහෙත් උතුරු පළාතේ පරිපාලන දිස්ත්‍රික්ක 5 මැතිවරණ කොට්ඨාස 2 (යාපනය සහ වන්නිය) ක් ලෙස ස්ථාපිත විය. ඒ අනුව මැතිවරණ කොට්ඨාසයකින් 12.5% ට අඩු ප්‍රතිශතයක් ලබාගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එම කොට්ඨාසයෙන් මන්ත්‍රීධුර ලැබීමට සුදුසුකම් නොලබන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස සලකා තරගයෙන් ඉවත් කළ යුතුය.

(99 (6) ව්‍යවස්ථාව) එහෙත් 1988 දෙසැම්බර් 17 වන දින සම්මත කරන්නට යෙදුණු 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම ප්‍රතිශතය 5% දක්වා අඩු කරන්නට විය. එහි පවතින සුවිශේෂිතාව වන්නේ 1988 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එය සම්මත කර ගැනීමයි. ප්‍රේමදාස අගමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස එම වෙනස සිදු කළේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක අෂ්රොෆ්ගේ ඉල්ලීම මතය.

ඔහු දන්වා සිටියේ එම වෙනස සිදු කළහොත් ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ සහාය ඔහුට ලබා දෙන බවයි. ඒ අනුව හුදු ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් රටේ සමාජ ක්‍රමය විකෘති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට සමස්ත සමාජය බොහෝ අංශවලින් අරාජිකත්වයට පත්ව ඇත. 1994 සිට අද දක්වා පවත්වන්නට යෙදුණු පාර්ලිමේන්තු මැතිවරණ මගින් (2010 මැතිවරණය හැර) කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනන්‍ය බලයක් හිමි නොවුණි.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 144 ක් එජනිස යට ලබාගත හැකි වූයේ යුද ජයග්‍රහණයෙන් ලද උත්තේජනය නිසාය. ආසන 100 හෝ 105 ක් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි ප්‍රධාන පක්ෂයට නිරන්තරයෙන්ම සුළු පක්ෂයක සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට සිදු වූයේ ආසන 100 ට වැඩියෙන් දිනාගත් ප්‍රධාන දේශපාලන පක්ෂයට ආසන හත අටක් ලබාගත් කුඩා දේශපාලන පක්ෂ මත යැපීමටය. කෙටියෙන් කිවහොත් එම කුඩා දේශපාලන පක්ෂ ප්‍රධාන පක්ෂය පිහිට වූ ආණ්ඩුවේ දුරස්ථ පාලකය බවට පත්වේ. එමගින් සිදුවනුයේ රටේ අති බහුතරයක් ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්වීම වන අතර රටේ අභිවෘද්ධියට තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවට තිබෙන බලය බෙලහීන වීමය.

මින් අදහස් කරනුයේ කුඩා පක්ෂවලට හිස එසවීමට ඇති ශක්‍යතාව මර්දනය කළ යුතු බව නොවේ. කුඩා දේශපාලන පක්ෂ වර්ග දෙකක් ඇත.

 1. ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ
2. ජාතිකත්ව මත පදනම් වූ දේශපාලන පක්ෂ

ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ යම් දේශපාලන ප්‍රතිපත්තියක් මත පදනම් වූ ඒවාය. මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂවල පදනම ජාතිකත්වයයි. ප්‍රතිපත්ති මත පදනම් වූ කුඩා පක්ෂයක් සම්බන්ධව ගැටලු ඇති වීමේ ප්‍රවණතාව ඉතා අවමය. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෙනස් මතධාරි සුළු ජන කොටස්වලට සවන් දීම සිදු කළ යුතුය. එහෙත් ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන පක්ෂ ප්‍රතිපත්තීන්ට වඩා ජාතිකත්ව අයිතීන් දිනා ගැනීමේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන බව පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තුළ අප ලැබූ අත්දැකීම වේ.

උදාහරණ ලෙස දෙමළ ජාතික සන්ධානය  පාර්ලිමේන්තුව තුළ සහ පිටත කටයුතු කිරීමේදී මාතෘකා කිහිපයකට පමණක් කොටුවී ඇත. එනම් උතුරු නැගෙනහිරට වැඩිපුර බලතල විමධ්‍යගත කිරීම, ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳීම, යුද සමයේ සිද්ධීන් සම්බන්ධව දෙමුහුන් අධිකරණ පිහිටුවීම යනාදිය වේ. ඒ නිසා ජාතික ප්‍රශ්න පිළිබඳව ඔවුන්ට උනන්දුවක් ඇත්තේ නැති තරම්ය.

අනෙක් අතට මුස්ලිම් කොංග්‍රසය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය :්ක්‍ඵක්‍* වැනි පක්ෂ නිරන්තරයෙන් කතා කරනුයේ මුස්ලිම් ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳවය. එසේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මැතිවරණ සමයේ අති බහුතරයක් ජනතාව කල්පනා කරනුයේ ජාතිකත්වය පදනම් කරගෙන තෝරාගත් අපේක්ෂකයකුට හෝ පක්ෂයකට ඡන්දය ලබා දීමයි. ඒ තුළින් සිදු වනුයේ ජාතීන් අතර සමගිය අඩුවෙමින් අවිශ්වාසය ගොඩනැගීමයි.

සියලු ජන කොටස් කාලයක් තිස්සේ  මෙසේ සිය වර්ගයා වශයෙන් හඳුනාගන්නා අයට ඡන්දය භාවිතා කිරීමේ සම්ප්‍රදාය ඉන් ඔබ්බට ක්‍රමානුකූලව ගලා යමින් ජාතීන් අතර විරසකය සහ දුරස්ථභාවය ඇති වීම ස්වභාවිකවම සිදුවේ. මෙම තත්ත්වය තුළ සංහිඳියාවක් බලාපොරොත්තු විය හැකිද?

පොදුරාජ්‍ය මණ්ඩලය මුලින් ම සර්වජන ඡන්ද බලය හිමිකර දුන්නේ ශ්‍රී ලංකාවටය. එහෙත් ඔවුන් 1833 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කෝල් බෲක් - කැමරන් ක්‍රමය තුළින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ජාතිය පදනම් කරගෙන පත් කරන්නට යෙදුනි. එසේ ජාතීත්වය මත ජනතාව බෙදා වෙන්කිරීමේ සංස්කෘතිය රට තුළ ඔඩුදුවමින් පැවැතීමේ භයානකත්වය දුටු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇතුළු දේශීය නායකයෝ ඩොනමෝර් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ජාතීත්ව පදනම ඉවත් කොට සර්වජන ඡන්ද බලය වෙනුවෙන් දැඩි සටනක් ගෙන ගියහ. ජාතිකත්ව පදනමින්  පවත්වාගෙන ගිය මැතිවරණ ක්‍රමය වෙනුවට ප්‍රතිපත්තිමය පදනම මත නිර්මාණය කරගත් මැතිවරණ ක්‍රමය නැවතත් සෙමින් සෙමින් ජාතිවාදී ක්‍රමයටම නැඹුරු වී ඇත.

නිදහසෙන් පසු මැතිවරණවලදී සෑම ජාතියකටම අයත් තැනැත්තන් නොයෙකුත් දේශපාලන පක්ෂ තුළ තරග කොට තේරීපත් විය. එහිදී ජනතාව උනන්දු වූයේ ඔවුන්ගේ සහ ඔවුන් නියෝජනය කරන පක්ෂවල ප්‍රතිපත්ති මිස ජාතීත්වය නොවේ. උදාහරණ ලෙස බලංගොඩින් අබුසාලි, බොරැල්ලෙන් එම්.එච්. මොහොමඞ්, කොළඹින් ඒ.එච්.එම්. ෆවුසි වැනි මන්ත්‍රීවරුන් තේරී පත්වීම පෙන්වා දිය හැකිය. ජාතිකවාදය අමතක කොට ජාතිවාදී නැඹුරුව වෙත රට ගමන් කරද්දී ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු ජන කොටස් තුළින් සිය පක්ෂ නියෝජනය කිරීම සඳහා අවශ්‍ය නියෝජිතයන් නිර්මාණය කිරීමේ අරමුණින් ඈත් විය.

අනෙක් අතට ජාතීත්වය පදනම් කරගෙන පිහිට වූ කුඩා දේශපාලන පක්ෂ මැතිවරණයක් ආසන්න වන විට ජයග්‍රහණය ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති දේශපාලන පක්ෂයට එකතු වී සිය ආසන සංඛ්‍යාව වැඩිකර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ද ප්‍රධාන පක්ෂවලට සුළු ජාතිකයන් අතරින් ප්‍රබල සහ ශක්තිමත් මහජන නියෝජිතයන් නිර්මාණය කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

ආණ්ඩ්‍රකම ව්‍යවස්ථාව මගින්ම ජනතාව භේද භින්න කරනු ලබන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී ජනතාව අතර සංහිඳියාවක් ඇති කිරීමට දරනු ලබන උත්සාහය සාර්ථක එකක් වේ යැයි අපේක්ෂා කිරීම උගහටය. ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත්ම උචිත වන්නේ මැතිවරණ කොට්ඨාස පදනම් කරගෙන මැතිවරණ පැවැත්වීම මිස සුළු ජාතින් කිහිප දෙනෙකුට  නායකකාරකාදී තනතුරුවල වැජඹීමට අවස්ථාව සලසා දෙන සමානුපාතික නියෝජන ක්‍රමය නොවන බව පැහැදිලිය.

මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමේ දී ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිවලට අනුගත වන සුළු ජාතික නියෝජිතයන්ද අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් කිරීම තුළින් ඒ ඒ පක්ෂ ශක්තිමත් වනවාත් සමගම ජාතීන් අතර අන්තර් සම්බන්ධතාව සහ විශ්වාසය ගොඩනැඟීම නිරායාසයෙන් ම සිදුවේ. සිරිමාවෝ අගමැතිනියගේ කාලයේ උතුරෙන් තරග කළ කුමාරසූරියර් මහතා විදුලි සංදේශ ඇමැතිවරයා ලෙසත්, බදුර්දීන් මහමුද් අධ්‍යාපන ඇමැතිවරයා ලෙසත් ප්‍රබල දේශපාලන චරිත බවට පත්වූහ. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ද්‍රවිඩ  මෙන් එක් පළාතකට හෝ ප්‍රදේශයකට සීමා වී නොමැතිව රට පුරා විසිරී සිටින ජන කොටසක් වන හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී කටයුතු කිරීම ජන කොටස් අතර සුහදතාව වර්ධනය වීමට බලපායි.

 මෙම කරුණු අනුව මෙරටට බහු ආසන කිහිපයක් සමඟ කේවල ආසන සහිත ඡන්ද ක්‍රමයක් වඩාත්ම යෝග්‍ය වන අතරම පළාත් සභා පළාත් පාලන ආයතන  මැතිවරණ ක්‍රමය හුදෙක් ඡන්ද කොට්ඨාස මත පදනම් ව පැවැත්විය යුතු වේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් සංහිඳියාවට එළඹීමේ අරමුණ ගැන කථා කරමින්  ජන කොට්ඨාස අතර සංහිඳියාවට වඩා විරසකයක් සහ අවිශ්වාසයක් ගොඩනැඟෙන ඡන්ද ක්‍රමය තුළින්  රට ආපස්සට ගමන් කළා  මිස ඉදිරියට ගොස් නැත. දැනට පවතින පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව එම ආයතනවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් පැවැතීම නිසා එම සංඛ්‍යාව අඩු කිරීම ද කාලීන අවශ්‍යතාවක් වන අතර පළාත් සභාවල මන්ත්‍රී සංඛ්‍යාවද නැවත විශ්ලේෂණයට ලක් කළ යුතුය.

පොහොට්ටුව විකසිත කළ අලියාට සහ අතට මාරාන්තික වූ නව මැතිවරණ ක්‍රමය

2015 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය අසාමාන්‍ය ලෙස කල් දමමින් දේශපාලනික වාසි ලබා ගැනීමේ චේතනාවෙන් ප්‍රමාදය පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගනිමින් එජාපය සහ ශ්‍රීලනිපය කටයුතු කරන ලදී. එජනිස මහින්ද පාර්ශ්වය සහ මෛත්‍රී පාර්ශ්වය වෙන්ව තරග කිරීම තුළ එජාපයට නියත ජයක් හිමි වන බවට වූ බොළඳ මතයේ සිට ඔවුහු උද්දාමයට පත්ව සිටියහ.

විධායක ජනාධිපති බලතල නම් වූ කඩුව මෛත්‍රී පාර්ශ්වය තුළ තිබූ හෙයින් මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ බරපතළ චෝදනාවේ මහ මොළකරු ලෙසට රට හඳුනාගත් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ නායකත්වයෙන් පවත්වන මැතිවරණයේදී ඉතා පහසු ජයක් අත්කරගත හැකි යැයි මෛත්‍රී පිල කල්පනා කළේය. තවද  තොරතෝංචියක් නැතිව නැඟෙන දූෂණ චෝදනා හේතුවෙන් මහින්ද  පාර්ශ්වය නැති භංගස්ථාන වේ යැයි එජාපය සහ මෛත්‍රී පාර්ශ්වය යන දෙකම කල්පනා කළේය. ඒ ඒ කණ්ඩායම්වල අපරිණත බුද්ධියට වටහාගත නොහැකි වූ මහ පොළොවේ යථාර්ථය පැවැති දේශපාලන සන්දර්භය උඩුයටිකුරු කරමින් රට අරාජික තත්ත්වයට පත්කොට ඇත.

 ඡන්දය පවත්වන්නට යෙදුණ පළාත් පාලන ආයතන 340 න් 239 ක් වන බහුතර ආයතන සංඛ්‍යාවක බලය මහින්ද පාර්ශ්වය දිනාගනු ලැබූ අතර බොහෝ ආයතනවල කොට්ඨාස මට්ටමින් සියලුම කොට්ඨාසවලත් අනෙක් ආයතනවල 80%-90% ක් තරම කොට්ඨාස ජයග්‍රහණය කිරීමත් නිසා ඔවුන්ට පහසුවෙන් පක්ෂය තුළ සාමාකාමී වාතාවරණයක් පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇත.

එහෙත් එජාපයට සහ ශ්‍රීලනිපයට (මෛත්‍රී පාර්ශ්වයට) එම ඡන්ද ක්‍රමය පාරාවළල්ලක් වී ඇති බව නම් නිසැකවම පෙනී යයි. එජාපය ජයග්‍රහණය කළ ආයතන 41 සහ මෛත්‍රී පාර්ශ්වය ජයග්‍රහණය කළ ආයතන 09 යෙහි කොට්ඨාස මට්ටමින් ජයගත හැකි වූයේ ඉතා සීමිත සංඛ්‍යාවකටය. අනෙකුත් නියෝජිතයන් තෝරාගත යුතු වූයේ ලැයිස්තුවලිනි. එසේ තේරීමේදී එම පක්ෂවල දීර්ඝ කාලීනව වෙහෙසී කටයුතු කළ ක්‍රියාකාරීන් අති බහුතරයක් අපේක්ෂකයන්ට මන්ත්‍රීධුර නොලැබුණි. උදාහරණයක් ලෙස මහරගම නගර සභාව සලකා බැලූ කල එජාපයට ලැබී ඇති මන්ත්‍රී ආසන 11 ම ලැයිස්තුවෙන් පත් කළ යුතුය. කොට්ඨාස 25 ට තරග කළ අපේක්ෂකයන් සහ ලැයිස්තුවේ නම් සඳහන් අපේක්ෂකයන් ඇතුළු 46 දෙනෙක අතරින් 11 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඉන් දෙදෙනෙක් ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝය.

 වසර 20-25 තරම් දීර්ඝ කාලයක් නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් ඊට ඇතුළත් නැත. කාන්තා පක්ෂයටද නියෝජනයක් ලැබී නොමැත. ඒ අනුව මන්ත්‍රී ධුර අපේක්ෂාවෙන් සිට නොලැබන 35 දෙනෙකුගේ කණ්ඩායම දැන් පසුවන්නේ පක්ෂය සමග විරසකභාවයකිනි. ඔවුහු ආසනය තුළ පක්ෂයේ හදවත මෙන් කැපවී කටයුතු කළ ක්‍රියාකාරීහුය. ඔවුන් කපා හැරීම තුළ අති බහුතරයක් ඊළඟ මැතිවරණවලදී එජාපය පැරදවීමේ අභිලාෂයෙන් කටයුතු කරමින් සිටිති. මේ තුළ ඉදිරි මැතිවරණවලදී එජාපයේ මැතිවරණ ප්‍රතිශතයේ සිදුවන සෝදාපාළුව කොපමණදැයි යන්න තක්සේරු කිරීම අපහසු නැත.

 ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ තත්ත්වය ඊට දෙවෙනි නොවන අතර ඊළඟ මැතිවරණයේදී තවත් බරපතළ පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මැතිවරණ ක්‍රමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ අනාගතය පිළිබඳ ඉදිරි දැක්මක් නොමැතිව පාර්ලිමේන්තුව තුළ අඥානවන්ත ලෙස අණපනත් සම්මත කිරීම තුළින් රටක් අරාජික වන බවට සහ ප්‍රධාන ප්‍රවාහයෙහි දේශපාලන පක්ෂ දියාරු වී බංකොළොත් වන බවට මෙය කදිම නිදර්ශනයකි.



අදහස් (0)

මැතිවරණ සෝදාපාළුව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 432 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 147 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 436 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1077 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1557 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site