මිහිමත විසූ මානව විශේෂ හයක් අතුරින් මේ වන විට ශේෂව ඇත්තේ Homo Sapiens හෙවත් අප පමණකි. මියයන බව දැන සිටින එකම සත්ත්ව විශේෂය අපම වුව ද මෙතෙක් අප ජීවත් වූයේ මරණය අමතක කොට ය. එහෙත් දැන් දැන් අපගේ නිවෙස්වල හැම කවුළුවකින්ම පාහේ එබිකම් පාමින් සිටින්නේ මරණයයි. එක්ටැම් ගෙයක් තුළ හුදෙකලා වී සිටිය ද, දොරගුළු තදින් වැසී තිබුණ ද මරණයේ දූතයා කොතනකින් හෝ කෙසේ හෝ ප්‍රාදුර්භූත වීමට ඇති විසල් අවකාශය පිළිබඳව කොරෝනා මරණ වාර්තා රතුඑළි දල්වමින් සිටී. අප දෙස මෙන් ම ඉතිහාසය දෙස ද පසුහැරී බලන්නට, ස්වයං විවේචනයක යෙදෙන්නට ඉල්ලීමක්, සියුම් කෙනිත්තීමක් ද ඒ ඔස්සේ සිතටත් ගතටත් හැඟීයමින් පවතී.
එදා මෙදා තුර අපගේ ගමන්මග කවරාකාර වුණේ ද? අප මග වරද්දාගෙන ඇත්තේ ද?
මේ ප්‍රශ්න දැන් දැන් වැඩි වේගයකින් අප වෙත යොමු කරනු ලබන්නේ ද සොබාදහම විසින් නිල්ග්‍රහයා මතට හදිසියේ පතිත කරනු ලැබූ කොවිඩ් 19 නමැති ගැසට් නිවේදනය විසිනි.
අපි දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සිටිමු. අස්පර්ශ ජීවිතයක් සඳහා අපට බලකෙරෙමින් තිබේ. උපන්දින හා මංගල සාදවල අනිවාර්ය අංගය වූ සිපවැළඳ ගැනීම් සඳහා දැන් අපට අවසර නැත; ඒවා තහංචි ය. නූතනත්වය ගැන, ටච් සිස්ටම් ගැන උද්දාමයෙන් කතා කළ අපට දැන් දැන් ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් නෝට්ටු ලබා ගැනීම වැනි ස්පර්ශ සංවේදනයන් පවා බිය දනවයි. කුමක් සිදුවූවේ දැයි කිසිවකුට සිතා ගත නොහැකි ය; කුමක් සිදුවන්නට යන්නේ ද යන්න ඊට ද වැඩි උභතෝකෝටිකයකි.
ලෝක විනාශය පිළිබඳ ආගමික අවධාරණ, අනාවැකි, පුරෝකථන කුමක් වෙතත් සිදුවෙමින් පවතින්නේ, සිදුවන්නට යන්නේ කුමක් ද යන්න ගැන අදහසක් ප්‍රකාශයට පත්කිරීම, කවර වූ විද්‍යාවකට හෝ කළ නොහැකිය යන අදහසක්, හැඟීම් මාත්‍රයක් මිනිස් සිත්සතන් තුළ මුල්බැසගනිමින් තිබේ. කොරෝනා වෛරසයට උත්තරයක් සපයන මිලඅධික ඔසුවක් හෝ නිපදවීමට ජීවවිද්‍යාඥයෝ ද අසමත්ව සිටිති. ඒ අතර මිනිස් වර්ගයා එදා මෙදා තුර අත්නොවිඳි අපූරු සංචරණ අත්දැකීමක් අත්විඳිමින් සුපිරි ධනවතුන් අභ්‍යාවකාශයේ කරක් ගසන්නේ ද මේ අල්ලපනල්ලේම ය.
විද්‍යාව ප්‍රගතිශීලි වුණ ද විද්‍යාඥයාට ප්‍රගතිශීලිවිය හැකි වූවේ ද යන ආන්දෝලනාත්මක ප්‍රශ්නය වරනැගෙමින් පවතින්නේ ද මේ සිදුවීම් පෙළ හරහා ය. මනුෂ්‍යත්වය විමසීමේ, හෝමෝ සේපියන්ස්ගේ ගමන්මග හඳුනාගැනීමේ හා සේපියන්ස්ගේ අනාගතය පිළිබඳ ගවේෂණයක යෙදීමේ අවකාශය ද දැන් දැන් පුළුල් වෙමින් පවතියි.
Homo Sapiens හෙවත් මානවයා අප්‍රිකාවෙන් බිහිවී තමන්ගේ පාඩුවේ ජීවත් වූයේ වසර 70,000 කට පෙර ය. ඉන් අනතුරුව ගත වූ වසර දහස් ගණනක් තුළ ඔහු සමස්ත ග්‍රහලෝකයේම ස්වාමියා බවටත්, පරිසර පද්ධතියේ භීෂකයා බවටත් පත්වූවේ ය. මේ අන්දරය මෙන් ම විද්‍යාවේ නූතන ව්‍යාපෘති මේ වන විට සදාතනික තාරුණ්‍යය හා අමරණීයත්වයට අත්පත් කරගැනීමට පිඹුරුපත් සකසමින් සිටින ආකාරයත් එහි ප්‍රතිඵල පිළිබඳවත් පැහැදිලි ලෙස පෙන්වා දෙමින් Sapiens - A Brief History of Human Kind නම් වූ අපූරු කෘතිය සම්පාදනය කර ඇත්තේ යුවාල් නෝආ හරාරි නම් වූ ඉතිහාසඥයා ය. (ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති හරාරි, ජෙරුසලමේ හීබෲ සරසවියේ ආචාර්යවරයෙකි. මංජුල කල්දේරා හා උපාලි රත්නායක විසින් වෙන් වෙන් වශයෙන් මෙය සිංහලට පරිවර්තනය කරනු ලැබ තිබේ.) සේපියන්ස්ගේ දීර්ඝකාලීන ඉතිහාසය දෙස හැරී බලන්නට, එහි තතු විමසන්නට මෙන් ම ඒ පිළිබඳ පසුවිපරමක යෙදෙන්නට ද අපට ආරාධනා කරමින් මේ ඉතිහාසඥයා මෙවැනි අවධාරණයක් කරයි.
‘මම, අපගේ විශ්වාසයන් කවරක් වුව ද අපේ ලෝකයේ මූලික වෘත්තාන්තයන් ප්‍රශ්න කරන්නටත්, අතීතයේ සිදු වූ සංවර්ධනයන් වර්තමානයේ අපේ අවධානයන් හා ගළපන්නටත්, විවාදාත්මක ගැටලුවලට නොබියව මුහණදීමටත් හැමදෙනාම දිරිමත් කරන්නෙමි.’
(සේපියන්ස් - පරිවර්තනය: මංජුල කල්දේරා - 1 පිටුව)
‘මානවයා මිහිමත බලවත්ම සත්ත්වයාය’ යන සුප්‍රකට හා ජනප්‍රිය අදහසට අභියෝගාත්මක පිළිතුරක් සම්පාදනය කරමින් හරාරි කියන්නේ මිනිසා තමා ලැබූ විශාල මෂ්තිෂ්කය, උපකරණ භාවිතය හා ඉහළ ඉගෙනුම් ශක්‍යතාවන් වාසි සහගත ලෙස දුටුව ද මේ වාසි අත්විඳි වසර මිලියන දෙකක් පුරා ඒකරාශි කරගත් අත්දැකීම්වලට අනුව නම් ඔහු පරිණාමය වී සිටින්නේ දුර්වල නොවැදගත් සත්ත්වයකු බවට යැයි කියා ය. ‘දෙවියකු බවට පත් වූ සත්ත්වයා’ ලෙස නම් කෙරුණු පොතේ පසුවදනින් ඔහු ඊට මෙසේ නිදසුන් සපයයි.
‘අපි හබල් ඔරුවේ සිට හබල් නැව්, දුම් නෞකා හරහා අභ්‍යවකාශ යාත්‍රා තෙක් දියුණු වී ඇත්තෙමු. එහෙත් අප කොයිබකට යන්නේ දැයි කිසිවකුත් දන්නේ නැත. අපි අන් කවරදාටත් වඩා බලසම්පන්න වී ඇත්තෙමු. එහෙත් මේ බලයෙන් කුමක් කළ යුතු දැයි යන්න ගැන අප හට ඇත්තේ ඉතා සුළු අදහසකි. වඩාත් දරුණුම දේ නම් අප අන් කවරදාකටත් වඩා වගකීම් විරහිත වී තිබීමයි.’
සමස්ත ග්‍රහලෝකයේම ස්වාමියා බවටත්, පරිසර පද්ධතියේ භීෂකයා බවටත් පත්වූ මානවයා, වසර මිලියන දෙකකට පෙර අප්‍රිකාවේ සිට යුරෝපයට හා ආසියාකරයට සංක්‍රමණය වීමේදී තබා ඇති පියසටහන් ද මෙහිදී විමසුමට ලක්කෙරෙයි.
සේපියන්ස් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඕස්ට්‍රේලියානු යෝධ සත්ත්ව සංහතිය වඳකරමිනි. අමෙරිකාවට කඩාවැදීමෙන් පසුව ද ඔහු ඒ දේම කරයි. වසර 100,000 කට පෙර මානව විශේෂ හයක් මිහිමත විසූ මුත් අද ඉන් ශේෂව ඇත්තේ එකක් හෙවත් Homo Sapiens නම් ලැබූ අපම පමණි. බෙදා හදා ගත යුතු ලෝකය බදා ගැනීම හෙවත් ‘අප පමණක්’ යන ආකල්පය මානව වර්ගයාගේ සිත්සතන් තුළ කොතරම් කලක් කඳවුරු ලාගෙන ඇත්තේ ද?
‘පරිණාමවාදය’ ප්‍රකාශයට පත් කළ චාර්ල්ස් ඩාවින් Homo Sapiens යනු තවත් එක් සත්ත්ව කණ්ඩායමක් පමණකැයි පැවසූ විට මිනිසුන් කෝපයෙන් වෙවුලා ගිය බව මතක් කර දෙන හරාරි, ඒ ඔස්සේ ප්‍රශ්න ගණනාවක් අප හමුවේ තබයි.
‘සේපියන්ස්ගේ දියුණුවේ රහස කුමක් ද? අප ඉතා වේගයෙන් බොහෝ දුර ඈත, එමෙන්ම පරිසර විද්‍යාත්මකව විවිධ වූ බිම්පෙදෙස්හි පැලපදියම් වීමට සමත් වූයේ කෙසේ ද? අප අන් සියලුම මානව විශේෂයන් මිහිමතින් තුරන් කරන්නට සමත් වූයේ කෙසේ ද? වඩා ශක්තිමත්, බුද්ධිමත් එලෙසම දැඩි සීතල දරා උන්
නියැන්ඩතාල්වරුන් පවා අපේ ආක්‍රමණය ඉදිරියේ නොනැසී ඉන්නට සමත් නොවූයේ ඇයි?’
සැවානා බිම්වලදී අපගේ තරාතිරම පිළිබඳ බියෙන් සැකයෙන් මැඩී සිටි අප කෲරත්වය හා භයංකරත්වය දෙගුණයකින් වර්ධනය කරගත් ආකාරය හා අතීත සංග්‍රාමයන්හි සිට වර්තමාන ජෛව විද්‍යාත්මක ව්‍යසනයන් දක්වා වූ ඒ අධිවේගී පිම්ම ගැන සන්නිදර්ශනාත්මකව පෙන්වා දෙන ‘සේපියන්ස්’ කතුවරයා ‘සුඛෝපභෝගය පොරොන්දු වූ උගුල’ නමැති පරිච්ඡේදයෙන් විදාරණය කරන්නේ සුඛෝපභෝගයන්, අවශ්‍යතාවන් බවට පෙරළීම හේතුකොටගෙන මිනිස් ජීවිතයට ඇතුළු වූ කලබැගෑනින් පිළිබඳව ය. අපගේ අවශ්‍යතාවන් ඉටුවී ඇත්තේ ද, අප තෘප්තිමත් ද යන ප්‍රශ්න මතුකරමින් ඔහු මෙසේ ද කියයි.
Homo Sapiens හෙවත් මානවයා අප්‍රිකාවෙන් බිහිවී තමන්ගේ පාඩුවේ ජීවත් වූයේ වසර 70,000 කට පෙර ය. ඉන් අනතුරුව ගත වූ වසර දහස් ගණනක් තුළ ඔහු සමස්ත ග්‍රහලෝකයේම ස්වාමියා බවටත්, පරිසර පද්ධතියේ භීෂකයා බවටත් පත්වූවේ ය.
‘කනගාටුවට කරුණ නම් එය එසේ නොවන්නේ ය යන්නයි. ගොළුබෙලි ගමනේ යෙදුණු තැපැල් යුගයේ දී මිනිසුන් සාමාන්‍යයෙන් ලිපියක් ලියුවේ තවකෙකුට කීමට යම් වැදගත් දෙයක් තිබුණේ නම් පමණකි. ඔළුවට එන හැමදෙයක්ම ලියා දමනු වෙනුවට ඔවුහු පරෙස්සමෙන් තෝරා බේරා නිවැරදි වචන ගොනුකොට ලිව්වෝ ය. ඔවුන් බලාපොරොත්තු වූයේ ද එවන් පිළිතුරකි. බොහෝ මිනිසුන්ට මාසයකට ලිපි හත අටකට වඩා නොලැබුණු අතර ලද වහාම පිළිතුරු යවන්නට පෙළඹුණේ ද ඉඳහිට ය. අද මා හට දිනපතා දුසිම් ගණනක විද්‍යුත් ලිපි ලැබෙන අතර ඒ සියල්ලම පාහේ එවන්නෝ ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙති. අප කාලය ඉතිරි කර ගන්නේ යැයි සිතුව ද ඒ වෙනුවට ජීවිතය නම් ධාවන පථයේ පෙරදාට වඩා දහගුණයක වේගයෙන් දුවන්නට අපට සිදුව තිබේ. අපේ දවස් සංකාවෙන් හා කලබලකාරී බවෙන් පිරී ඇත්තේ ය.’
කෘත්‍රිම බුද්ධිය, ජීවිතයේ මිල හා මානවයාගේ අනාගතය පිළිබඳ ආන්දෝලනාත්මක වූත්, තැතිගන්වනසුලු වූත් අදහස් ගණනාවක් කරළියට නංවන සේපියන්ස් කතුවරයා, මානවයාගේ සකලවිධ වූ ගැටලු අතරින් වඩාත්ම ආකර්ෂණීය හා වඩාත්ම සිත්තැවුල් ගෙනදෙනසුලු ‘මරණය’ වැළැක්වීම සඳහා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ගිල්ගමේෂ් ව්‍යාපෘතියත් එහි ස්වභාවයත් පිළිබඳව දක්වන අදහස බැලූබැල්මට අතිශයින් සිත්ගන්නාසුලු ය. ඉනික්බිතිව ඔහු එහි ප්‍රතිඵල පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරන්නේ අමරණීයත්වයේ ව්‍යාපෘතිය, හෝමෝ සේපියන් මිහිමතින් තුරන් කරනු ඇද්ද යන සැකසාංකාව ද කරළියට නගමිනි.
කෙසේ වුව ද අප මරණයට අකමැති ය; බිය ය. මේ වනවිට කොවිඩ් 19 එන්නත ලබාදෙන මධ්‍යස්ථාන ඉදිරියේ වැඩිවැඩියෙන් දිග්ගැස්සෙමින් පවතින නිහඬ පෝලිම්වලින් දෝංකාර නංවන්නේ ද මිනිසාගේ මරණ බියයි. ඉතා ස්වාභාවික බියක් වන මේ මරණ බිය ගැන දිගින් දිගට සිතා බැලීමේදී ප්‍රතිරෝධයක් ද මතුවන්නේ අනෙකාගේ මරණ බිය සම්බන්ධයෙන් මිනිසා දක්වා ඇති ප්‍රතිචාරවලට අනුවයි.
එදා මෙදා තුර තිරිසන් සතුන් විෂයයෙහි මිනිසා විසින් මුදාහරින ලද අතිමහත් කෲරත්වය, අමානුෂිකත්වය සම්බන්ධයෙන් ‘සේපියන්ස්’ කතුවරයා එළිදක්වන තොරතුරු සංවේදී සිත්සතන් කීරිගස්වනසුලු ය. අප මෙන් ම ඇතැම් පරිසරවේදීන් ද සිතා සිටින ආකාරයට අපගේ මුතුන්මිත්තන් පරිසරයට සංවේදීව ජීවත්වූයේ ද යන ප්‍රශ්නාර්ථය ද මෙහිදී ඔහු විසින් ඉස්මතු කරනු ලබයි. කෘෂිකාර්මික යුගයන්හිදී ද සතුන් හීලෑ කිරීමේදී මිනිසා විසින් ඒ සත්ත්වයන් මත මුදාහරිනු ලැබ ඇති දුක්වේදනා සම්භාරයේ විශාලත්වය පෙන්වා දෙන ඔහු, වැඩිදුරටත් කියා සිටින්නේ හීලෑ කර ගත් කුකුළන් හා ගවයන් පරිණාමීය දියුණුවේ කතාන්දරයක් විය හැකි වුණ ද උන් මේ තාක් මෙලොව එළිය දුටු අවාසනාවන්තම සත්ත්ව කොට්ඨාශය වන බව ය. ගවයන්, අශ්වයන් හා බූරුවන් කීකරු බර අදින සත්ත්වයන් ලෙස පුහුණු කිරීමේදී උන්ගේ ස්වාභාවික ආශාවන් මර්ධනය කිරීම සඳහා දියත් කෙරුණු ස්වාභාවික උපක්‍රමවලට පටහැණිව කටකලියා, කංචුක යොදා ආම්බාං කිරීම, පොලු මුගුරුවලින් පහරදීම දිගින් දිගටම සිදු කෙරුණ අතර පිරිමි සතුන්ගේ කරඇඹීම සිදු වූයේ ඔවුනගේ ශාරීරික වේදනා කෙරෙහි අල්පමාත්‍ර වූ හැඟීමකින් හෝ තොරව බව ඔහු සිහිගන්වයි. (අපට මතක ඇති යුගයේ අපගේ මුතුන්මිත්තන් අතින් ද මෙය සිදුවී තිබේ.) කිරි නිෂ්පාදනයේදී කිරිවල ඒකාධිකාරිත්වය පවරා ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රචලිත ක්‍රමය වූයේ එළදෙනුන්ගේ, බැටලුදෙනුන්ගේ හා එළිච්චියන්ගේ පැටවුන් මරා මවගේ කිරි උපරිම ලෙස ලබා ගැනීම හා ගෑනු සතුන් නැවත ගැබ්බර කරවීම ය. කාර්මික විප්ලවයෙන් පසු ගොවිපළ සතුන් සලකනු ලැබුණේ වේදනා දැනෙන ජීවීන් ලෙස නොව යන්ත්‍ර සූත්‍ර ලෙසිනි යි පවසන සේපියන්ස් කතුවරයා, වාර්ෂිකව ඝාතනය කෙරෙන බිලියන දහයකට වැඩි සතුන්ට හා උන්ගේ පැටවුනට අත්විඳින්නට සිදුවන අනේක විධ දුක්පීඩා ගැන ද දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය, මිනිසාගේ කෲරත්වය වර්ධනය කළේ ද යන ප්‍රශ්නයට ද ඉඩහසරක් පාදාදෙමිනි.
කෲරත්වයෙන් බෞතිස්ම ලබා ඝාතන රැල්ල ද සමඟ යුග යුග පසුකරමින් මානවයා පැමිණි මේ ගමන්මග අතරතුර ඊට ප්‍රතිවිරුද්ධ දර්ශනයක් බුදුදහම හා ජෛන දහම ආදියෙන් විදාරණය වුණ ද ධර්මය වටහාගෙන ආගම් ඇදහූවන් ලෝකයේ කවදත් සිටියේ අතළොස්සකි.
ඉතිහාසයේ බොහෝ යුද්ධ, අපරාධ, ඝාතන සම්බන්ධයෙන් මධ්‍යස්ථ මිනිසුන් කම්පනයට, වේදනාවට පත්වූ බව සැබෑ ය. ඒ පිළිබඳව බෙහෙවින්ම සංවේදී වූ නිර්මාණකරුවන් අතින් ඒ සියලු ලේ වැගිරීම් ප්‍රස්තුතව සාහිත්‍ය කෘති හා සිනමා කෘති ද බිහිවූ බව ද නිබොරු ය. එහෙත් මේ ඓතිහාසික අසාධාරණකම් පිටුදකිමින් හඬක් අවදි කළ මිනිසුන් පවා නැංගුරම් ලා සිටියේ එක්තරා නැංගුරමක ය. සරලව කියන්නේ නම් ඒ ‘මානව දයාව’ නම් වූ නැංගුරමෙහි ය. ඉන් ඔබ්බට සත්ත්ව ලෝකයක්, ශාක ලෝකයක් ද ඇති බව ඔවුනට අමතක වී තිබිණ.
මේ තත්ත්වය කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වෙමින් ලියැවුණු තවත් නිර්ප්‍රබන්ධ කෘතියක් ලෙස Straw Dogs හැඳින්විය හැකි ය. මානව කේන්ද්‍රවාදයෙහි, මිනිසා විශ්වාස කරන ප්‍රගතියෙහි හා නූතනවාදයේ අඳුරු ඉසව් වෙත සියුම් ආලෝක ධාරාවක් එල්ල කරන එය, සම්පාදනය කර ඇත්තේ ජෝන් ග්‍රේ නම් වූ බ්‍රිතාන්‍ය ජාතික ගත්කතුවරයා ය. ‘පිදුරු බල්ලෝ’ නමින් එය සිංහලට පරිවර්තනය කළ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජෝන් ග්‍රේ හඳුන්වන්නේ දේශපාලන දාර්ශනිකයකු ලෙස ය. මෙකල දේශපාලන න්‍යායකරණයෙහි යෙදී සිටින ප්‍රධාන ධාරාවේ චින්තකයන් මැද පරිසරවාදී චින්තනය කෙරෙහි සාවධාන වූ කිහිප දෙනා අතරේ ද ජෝන් ග්‍රේ කැපී පෙනෙන්නේ යැයි අමරකීර්ති කියයි.
‘දිව්‍ය ලෝකය සහ පෘථිවිය දයාවෙන් තොර ය; ඒවා දහස් සංඛ්‍යාත සතුන්ට සලකන්නේ පිදුරු බල්ලන්ට මෙනි.’
ලාඕට්සුගේ මේ අවධාරණය පිදුරු බල්ලෝ කෘතියේ අන්තර්ගතය පිළිබඳ කෙටි පූර්විකාවකි. ‘මානව වාදය’ යනු විද්‍යාවක් නොවේ; ආගමකි’ යි ජෝන් ග්‍රේ සිය පෙරවදනින් අවධාරණය කරයි. ඒ වූ කලී මනුෂ්‍යයන්ට ලෝකය වඩා යහපත් කළ හැකි ය, යන ක්‍රිස්තියානි විශ්වාසය මිස අන් කිසිවක් නොවන බව ද පෙන්වා දෙයි.
‘මෙම සියවස පිළිබඳ යම් හෝ දෙයක් නිශ්චිත වන්නේ නම් ඒ වූ කලී මානව වර්ගයා වෙත නව තාක්ෂණය විසින් පවරා දෙනු ලැබ ඇති බලය, මානව වර්ගයාට එරෙහිව දරුණු අපරාධ කරන්නට භාවිත කෙරෙන්නේ ය’ යනු ඔහුගේ තවත් අනාවැකියකි. සදාචාරය යනු මනුෂ්‍යයාට ආවේණික අමුතු රෝගයකි යි, පවසන අතර ඉතිහාසය සාක්ෂි දරන අන්දමට මනුෂ්‍යයන්ට ආත්ම වංචනයේ යෙදීමටත් තමන්ගේ ස්වභාව පිළිබඳ නොදැනුම තුළ සමෘද්ධිමත්ව වැඩෙන්නට කුසලතාවක් ඇතිකර ගැනීමටත් හැකියාවක් ඇතැයි ඔහු පවසන්නේ උත්ප්‍රාසයෙනි. කෘත්‍රිම බුද්ධියේ අනාගත හැඩතල මතුකරදෙමින් ක්ෂුද්‍ර පරිගණක නිර්මාපකයකු වන බිල් ජෝයි පළ කළ අදහසක් ‘පිදුරු බල්ලෝ’ කෘතියෙන් උද්ධෘත කොට දැක්වෙන්නේ මෙසේ ය.
අවුරුදු තිහකින් පමණ මනුෂ්‍ය මට්ටමේ පරිගණක ඇතිවීමේ ඉඩකඩ තිබෙන පසුබිමක, දැන් නව අදහසක් ද මතුව තිබේ; ඒ වූ කලී අපගේ සත්ත්ව වර්ගයා කවදා හෝ දවසක විතැන් කරන්නට ඉඩ ඇති තාක්ෂණයක් බලගන්වන උපකරණ නිර්මාණය කිරීම සඳහා අද මා වැඩ කරනු විය හැකි ද යන්නයි. මට මේ ගැන හැඟෙන්නේ කෙසේ ද? .... විශාල මානසික අපහසුවක්...
(පිදුරු බල්ලෝ - 197 පිටුව)
මේ බියට, මේ මානසික අපහසුතාවට අවකාශයක් විවර කරමින් නව නිර්මාණයක් සඳහා වන පේටන්ට් අයිතිය කෘත්‍රිම බුද්ධියකට හිමිවීම පිළිබඳ නවතම පුවතක් අනාවරණය වූයේ නුදුරු දිනකදී ය. ලෝකයේ පළමු වතාවට සිදුවූයේ යැයි කියන එය, නම් කොට ඇත්තේ DABUS ලෙස ය. කෘත්‍රිම බුද්ධියකට පේටන්ට් අයිතිය ලබාදීම පිළිබඳ මේ ඓතිහාසික තීන්දුව ලබා දී ඇත්තේ දකුණු අප්‍රිකාවේ බුද්ධිමය දේපළ කොමිසම බව ද වාර්තාගත ය. නව නිර්මාණයක නිර්මාතෘත්වය කෘත්‍රිම බුද්ධියකට හිමිකර දීමේ නීතිමය ප්‍රතිපාදන නොවන බවක් මෙතෙක් නීතිවේදීන් කියා සිටිය ද මින් මත්තට ලෝකයේ බොහෝ රටවල් මෙය ආදර්ශයක් කරගැනීමට බැරි නැත.
සර්වජීව වාදය යනු පුළුල් අර්ථයෙන් ගත් විට මහා කරුණාව ය; මෛත්‍රිය ය. බුදුදහමේ පදනම වන්නේ ද ඒ ය. අපගේ බෞද්ධකම ලොවට විදාරණය කරනු පිණිස සුදුරෙද්ද, මල්වට්ටිය හා සජ්ඣායනය පමණක් සෑහෙන්නේ ද යන ප්‍රශ්නය ඇහේ රොඩ්ඩක් මෙන් සිතෙහි කැකෑරෙන්නට වූයේ මේ නවෝත්පාදන නිර්ප්‍රබන්ධ කෘති කියවීමෙන් පසුව බව අවසාන වශයෙන් සටහන් කර තැබිය යුතු ය.
මේ පර්යේෂණ, ගවේෂණ සමස්ත පෘථිවිවාසීන්ට විශේෂයෙන් බෞද්ධ සමාජයනට එල්ල කළ ඉසියුම් කනේ පහරක් ලෙසිනි, මට පෞද්ගලිකව හැඟී ගියේ. කිසිදු ආදර්ශවාදයක, දෘෂ්ටිවාදයක පිළිසරණ නොලැබූ කාලාමසූත්‍රානුකූල ඒ නවමු අදහස් අප සැමගේ බෞද්ධකම විමසන ප්‍රශ්නාර්ථයක් ලෙස හඳුනාගත් මට සිහිවූයේ එක් සුප්‍රකට, සර්වජීවවාදී නීතිඥ මහතකු ඉතා මෑතකදී පැවසූ කතාවකි. ඔහු කීවේ ‘ඔබ බුදුන් වඳින්නේ ඇයි දැයි’ තමා බෞද්ධයන් කිහිපදෙනකුගෙන් විමසූ විට ඒ අතිමහත් බහුතරයකගේ පිළිතුර වූවේ වැල්වටාරමකියි කියා ය. අප බොදුනුවන් බවට පත්ව සිටින්නේ බුදුන් වහන්සේ හෝ බුදුදහම හඳුනා ගෙන ද යන්න ප්‍රශ්නාර්ථයකි යි ඔහු පවසයි . මස් කන්දකින් කුස පුරවාගෙන උපන් නූපන්, පේන නොපේන සතුනට මෙත් වඩන (මෙත්ත සූත්‍රය උදේ හවා සජ්ඣායනය කරන) බොහෝ බෞද්ධයන් අප අතරේ සිටී.
බෞද්ධ සම්භවයකින් තොරව උපත ලැබූ සේපියන්ස් කතුවරයා වරක් පවසා සිටින්නේ බිත්තර, කිරි හා මස් නිෂ්පාදනය කරන අතිමහත් බහුතරය මස් හා අනෙකුත් නිපැයුම් ලබා දෙන කිකිළියන්, එළදෙනුන් හා ඌරන් පිළිබඳව නැවතී කල්පනා කළේ ඉඳහිට ය කියා ය.
කවදා, කොයි මොහොතක හෝ එවැනි කල්පනාවක් අප තුළ ජනිත වී ඇත්තේ ද?
කැත්ලීන් ජයවර්ධන
printgraphic2gmail.com
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මානවයාගේ හෙට දවස සහ ජීවිතයේ මිල
Rajith Bogoda Saturday, 04 September 2021 04:36 AM
අතශයින්ම වැදගත් ලිපියක් අපි යන්නේ කොහෙටද කියා ඉතා හොදින් පැහැදිලි කර තිබෙනවා ලංකාවේ තිබෙන එක්තරා සුප්‍රසිදධ සතත්ව ගෙවිපලක් බලන්න ගිය මට උපන් ගමන් ගව පැටවන් මවගෙන් වෙන්කර තිබෙන දර්ශණයදුටු විට හිත කම්පාවට පත්වුනා උන් සතුන් විදිහට නොව මැෂින් ලෙස කසල තිබුනා