ගුවන් විදුලියේ පුරෝගාමී ස්ත්‍රී භූමිකාවකට ජීවය දුන් නන්දා ජයමාන්න. කොළඹින් කතා කරයි. ලිපි මාලාවෙන් මෙවර හමුවන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාවයි. දශක හයකට වැඩි කාලයක් තිස්සේ අදටත් ක්‍රියාකාරීව සන්නිවේදන කටයුත්තේ නිරතවන ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනී නන්දා ජයමාන්නයි. වසර හැටපහක් අඛණ්ඩව මාධ්‍යයේ නිරත ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුරෝගාමී චරිතයකි. මේ ඇගේ අතීත මතකයයි.
මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ 1951 අවුරුද්දේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරන්න ආසන්න දවස්වල පත්තරේ තිබුණු දැන්වීමකට ඉල්ලුම්පතක් දාලා තමයි ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ආසාවට ඉල්ලුම් කළා මිසක් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි හිටියේ. සම්මුඛ පරීක්ෂණයට එන්න කිව්වම ගියා. ඒකෙදි විශේෂයෙන් බැලුවෙ පරිවර්තන කටයුතුවලට තිබුණු හැකියාව. මොකද අපට පැවරිලා තිබුණු මූලික රාජකාරිය තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදනය, සිංහලට පරිවර්තනය කරගෙන ඉදිරිපත් කරන එක. ඒකට පරිවර්තනය කිරීමේ හැකියාව අත්‍යවශ්‍යයි. ඒ වගේම සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකේම හුරුව තියෙන්න ඕනෑ. මේවා තමයි විශේෂ සුදුසුකම් වුණේ. සම්මුඛ පරීක්ෂණයේදී පරිවර්තන කොටසක් දුන්නා කරන්න. මම ඒක හොඳට කළා. ස්වදේශීය සේවයේ ඩිරෙක්ටර් විදියට ඉඳපු ඉංග්‍රීසි මහත්තයෙක් තමයි මාව පරීක්ෂාවට ලක් කළේ.
ඒ කාලේ වෙනකොට අපිට ගුවන් විදුලිය කියන්නේ මොකක්ද කියල හරිහැටි දැක්මක් තිබුණේ නෑ. අපේ ගෙවල්වලත් ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණෙත් නෑ. ඒ වෙනකොට රටේම ගෙවල් සීමිත ප්‍රමාණයක තමයි ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණේ. මොකුත් දන්නේ නැතුව පටන් ගත්තත් වැඬේ හරියට අල්ලගෙන යන්න අපිට පුළුවන් වුණා. ඒක පෙර සංසාරේ පුරුද්දක්ද දන්නෙත් නෑ.
මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට සිංහල සේවා සංවිධායක විදියට හිටියේ තේවිස් ගුරුගේ මහත්තයා. කොළඹගේ මහත්තයත් හිටියා. එතුමා සිංහල සේවයට සම්බන්ධ වුණත් වැඩිපුර කටයුතු කළේ පාසල් සේවයට. පාසල් සේවා වැඩසටහන් තමයි කොළඹගේ මහත්තයා වැඩිපුර කළේ.
ස්වදේශීය සේවයට කවුරුත් කිව්වේ සිංහල සේවය කියලා. අපි ඒකට තමයි සම්බන්ධ වුණේ. එතකොට සිංහල සේවය පටන් අරගෙන අවුරුදු දෙක තුනක් විතර ඇති. අපිට මුලින් මුලින් කරන්න තිබුණේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති සිංහලට හරවලා විකාශනය කිරීම. ඊට අමතරව සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්න තිබුණා. තෝරගත් පැය ගණනක් තමයි ගීත ඉදිරිපත් කළේ. මම සම්බන්ධවෙන කාලේ සිංහල සේවයයි, දෙමළ සේවයයි හවස් වරුවේ එකම නාළිකාවක විකාශනය වුණේ. සිංහල නිවේදකයෙක් හෝ නිවේදිකාවක් පැය දෙක තුනක් වැඩසටහන් ඉදිරිපත් කරලා ඉවර වුණාට පස්සේ දෙමළ නිවේදකයෙක් හෝ නිවේදිකාවක් ඇවිත් තවත් පැය දෙක තුනක් දෙමළ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඔහොම තමයි වැඩසටහන සැලසුම් කරලා තිබුණේ. ස්වදේශීය සේවයේ අනිවාර්ය අංගයක් තමයි ධර්ම දේශනා ඉදිරිපත් කිරීම. මුල් කාලේ සිංහල සේවයේ වැඩසටහන්වල විවිධත්වයක් ඒ තරම් තිබුණේ නෑ. ටික කාලයක් යනකොට ඉහළින් දැනුම් දුන්නා ගුවන්විදුලිය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය දෙවැනි පෙළක් හදන්න කියලා. ගුවන් විදුලියේ හැම අංශයකටම අදාළව දෙවැනි පරම්පරාවක් පුහුණු කිරීම තමයි රජයේ අරමුණ වුණේ. මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට නිවේදක නිවේදිකාවො කීප දෙනයි හිටියේ. මුල්ම එක්කෙනා කරුණාරත්න අබේසේකර, දෙවැනියා ප්‍රභා රණතුංග, තුන්වෙනියා එච්.එම්. ගුණසේකර, හතරවෙනියා මම, පස්වෙනියා සරත් විමලවීර. අපි පස්දෙනා තමයි මුල්ම සිංහල සේවයේ නිවේදක නිවේදිකාවො පස්දෙනා. ඊට පස්සේ ඇල්ෆ්‍රඞ් පෙරේරා. සුදර්මන් සිල්වා වගේ කීප දෙනෙක් ආවා. මුලින්ම ඉඳපු පස්දෙනාට තමයි මේකට මූලිකත්වය දෙන්න සිද්ධ වුණේ. අපිත් එක්කම වැඩ කළා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඳලා ආපු එම්.ඩී. ගුණපාල කියලා කෙනෙක්. එයා නිවේදන කටයුතු කළත් පස්සේ අපේ තැටි පටි ගබඩාව බාර දුන්නේ එයාට. ප්‍රභයි මමයි තමයි මුල්ම කාන්තා නිවේදිකාවො දෙන්නා. ප්‍රභා මට වඩා මාස කීපයකට කලින් සිංහල සේවයට සම්බන්ධවෙලා තිබුණෙ.
සිංහල සේවය ටික ටික පුළුල් වෙද්දි විවිධ වැඩසටහන් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඒකෙදි ළමා වැඩසටහන්වලට විශේෂ අවධානයක් යොමුවුණා. ඒ අනුව සතියේ දවස් පහට ළමා වැඩසටහන් හතක් අලුතෙන් නිර්මාණය කරන්න බාර දුන්නා. මම ළමා අංශයේ වැඩසටහන් යටතේ කළේ නාට්‍ය. මොකද මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මහාචාර්ය සරච්චන්ද්‍ර කරපු “හැංගිහොරා” කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක ඉංග්‍රීසි නාට්‍යයක් සිංහලට කළේ මහාචාර්යතුමා. ඒ සම්බන්ධය සහ හුරුව උඩ ගුවන් විදුලියට ආවට පස්සෙත් මට වැඩිපුර පැවරුණේ නාට්‍ය කටයුතු.
ප්‍රභා රණතුංගටයි මටයි දෙන්නට විශේෂයෙන් පැවරුණු දෙයක් තමයි සතියකට වරක් කාන්තා වැඩසටහන් කරන එක. සතියක් ඇර සතියක් අපි දෙන්න මාරුවෙන් මාරුවට කාන්තා වැඩසටහන් කළා. අපිට ගොඩක් සඟරාමය වැඩසටහන් කරන්නත් සිද්ධ වුණා. ඔය අතරෙම “ළමා පිටිය” සහ “ළමා මණ්ඩපය” කියන වැඩසටහනක් එහෙමත් පටන් ගත්තා. මේ වැඩසටහන්වලින් බිහිවුණු පරම්පරාව තමයි කලා ක්ෂේත්‍රයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අද ප්‍රවීණයො වෙලා ඉන්නේ.
ඒ කාලේ ළමා වැඩසටහන්වලට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ළමයි ඉතාම උනන්දුවෙන් ඒවට සම්බන්ධ වුණා. සමහර ළමයි ඉස්කෝලෙ ඇරිලා කෙළින්ම යන්නේ අපි හොයාගෙන ගුවන් විදුලියට. දෙමව්පියන් වුණත් ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලට ළමුන්ව ඉදිරිපත් කළා. අද ප්‍රවීණ ගායක ගායිකාවෝ රාශියක් ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලින් ආපු අය. ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලට පිට පළාත්වල ළමයි පවා විවිධ දේවල් ලිව්වා. එහෙම ලියපු කෙනෙක් තමයි විමල් දිසානායක. එයා මම කරපු වැඩසටහන්වලට ලිපි එවලා තිබුණා. ඒවා ප්‍රචාරය වෙලා තිබුණා. මම ඒක දන්නේ මෑත කාලේ දවසක් උත්සවයකදී මහාචාර්යතුමා ඒක මතක් කළාමයි. එයා එතකොට පේරාදෙණියෙ ඉඳපු පාසල් ශිෂ්‍යයෙක්. එයා කිව්වා “මම පේරාදෙණියෙ ඉඳලා ගුවන් විදුලියේ සඟරාමය වැඩසටහනකට ලිපි ලිව්වා. ඒ වැඩසටහන කළේ නන්දා ජයමාන්න කියලා කාන්තාවක්. ඒවා ප්‍රචාරය වුණාම ලොකු සතුටක් දැනුණා.” කියලා.
නන්දා එදා සී. ද සිල්වා සහ තේවිස් ගුරුගේ සමග
ඒ වගේම විමල් දිසානායක කිව්වා එයා දැන් හවායි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක්, අංශ හතරක් පිළිබඳව. ඒ කියන්නේ ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත් සහ සිනමාව කියන අංශ හතර පිළිබඳව තමයි ඔහුගේ ප්‍රවීණතාව තියෙන්නේ. ඒ අංශ හතරටම අදාළව ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වුණු පොත් හතරක් එයා ලියලා තියෙනවා කියලත් කිව්වා. අන්තිමට මහාචාර්යතුමා කිව්වේ ඒ සියල්ලටම පදනම වැටුණේ එදා අපි කරපු ගුවන් විදුලි සඟරාමය වැඩසටහන්වලට ලිවීම නිසා කියලා. ඇත්තටම එයා අද ඉන්න තැන එක්ක බලද්දි මට හරිම ආඩම්බරයක් දැනෙනවා. තවත් ඒ වගේ තමන්ගෙ දක්ෂතා දියුණු කරගත් අය ඕනෑ තරම් ඉන්නවා.
අපිත් ඒ කාලේ තරුණකමට ඕනෑම දුෂ්කරතාවක් ජයඅරගෙන ඕනෑම වැඩක් කරන්න පෙළඹුණා. මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට මට වයස අවුරුදු විස්සයි. අපි එකිනෙකා සහයෝගයෙන් තමයි වැඩසටහන් කළේ. සමහර වෙලාවට කරු අයියා මට කියනවා එයාගේ වැඩසටහනට මොකක් හරි ලියලා දෙන්න කියලා. මගේ වැඩසටහන්වලට කරු අයියාගෙ උදවු ලබා ගන්නවා. ඒක හරිම සුන්දර අත්දැකීමක්.
මම විශේෂයෙන්ම කළේ “ළමා රංග පීඨය” වැඩසටහන. එවකට පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩසටහන් කරන්නත් අපට සිදු වුණා. එහෙම කරපු ඒවා තමයි “තරුණගොවි සමාජය”, “ගොවි ජය හඬ” වගේ වැඩසටහන්. ඒවා ලංකාව පුරා ගිහින් කරපුවා. “ගොවි රජා” කියලත් වැඩසටහනක් එදා ගුවන් විදුලියෙන් කළා. මේවා රටේ කෘෂිකර්මය දියුණු කිරීමට සහයෝගයක් වශයෙන් තමයි කෙරුණේ. මේ වගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න “ග්‍රාමීය සන්ධ්‍යාව” කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් සම්මුඛ සාකච්ඡා, ගොවි ගැටලු, නාට්‍ය එහෙම ඉදිරිපත් කළා.
ඒ විදියට ඉදිරිපත් කරපු ජනප්‍රිය නාට්‍යයක් තමයි “හේන් යාය” කියන්නේ. ඒ වගේම “කුරුලු බැද්ද” නාට්‍යයත් ගොඩක් ජනප්‍රිය වුණා. මේවා පොඩි පණිවුඩයක් දෙන නාට්‍යය. ගුවන් විදුලිය විතරයිනේ එතකොට මිනිස්සුන්ට අහන්න තිබුණේ. මේවට මිනිස්සු හුරුවෙලා හිටියේ.
මම නාට්‍ය මාලාවක් කළා. “ඓතිහාසික ජවනිකා” කියලා. ඒක පී.බී. අල්විස් පෙරේරා මහත්තයගෙ නාට්‍ය මාලාවක්. ඒකෙන් අපේ ඓතිහාසික සංස්කෘතික කාරණා තමයි වැඩිපුර ඉස්මතු වුණේ. අපේ ඉතිහාසය මුල ඉඳලා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළා. පී.බී. අල්විස් පෙරේරා මහත්තයා ඒක අපූරුවට ලිව්වා. එතුමා ඒක ගැන ගොඩක් සතුටු වුණා.
ඒ නාට්‍යය ප්‍රචාරය වුණාට පස්සේ ඒකෙ හොඳ නරක ගැන කියලා පී.බී. අල්විස් පෙරේරා මහත්තයා මට ලියලා එවපු ලියුම් තාමත් මගේ ළඟ තියෙනවා. මේවට ඉතා ඉහළ ශ්‍රාවක ප්‍රතිචාරයකුත් තිබුණා. මුල් කාලයේ ගුවන් විදුලි නාට්‍යවලට අපිම තමයි කටහඬ දුන්නේ. ගුවන් විදුලියේ විවිධ අංශවල වැඩකරපු අයත් මේවට සම්බන්ධ වුණා. සමහර වෙලාවට. පස්සෙ පස්සෙ තමයි වෘත්තීය හඬ ශිල්පීන් එක්ක මේවා කළේ. මුලින් එහෙම අය හිටියෙත් නෑ. පස්සෙ ගැමුණු විජේසූරියලා වගේ අය නාට්‍යවලට සම්බන්ධ වුණා.
ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තය ස්වදේශීය සේවයේ පටන් ගත්තා “ශාස්ත්‍රීය සංග්‍රහය” කියලා වැඩසටහනක්. ඒකෙන් කතා බහ කළේ උසස් කලාත්මක දේවල්. අමරදේව ඇතුළු කලාකරුවෝ විශාල පිරිසක් “ශාස්ත්‍රීය සංග්‍රහයට සම්බන්ධ වුණා. මුල් කාලයේ සරච්චන්ද්‍ර මහත්තයලා තමයි ගුවන් විදුලියේ මේ වගේ වැඩසටහන් කරලා පදනමක් දැම්මෙ. අපිටත් සරච්චන්ද්‍ර මහත්තයලගෙ ඇසුර නිසා ගොඩක් දේවල් දැන කියා ගන්න ලැබුණා. එතුමාගෙ නාට්‍යවලට සම්බන්ධවීමෙන් වගේම පස්සෙ කාලෙ ගුවන් විදුලියෙදිත් එතුමා මට මුණ ගැහුණා. අපිත් පෝෂණය වුණේ මේ වගේ අයගෙන්.
1951 නිවේදක වශයෙන් ගුවන් විදුලියට බැඳුණු මම පස්සේ නිබන්ධ සම්පාදකවරියක් වුණා. ඒකෙදි අපි වැඩසටහන් ලියන්න ඕනෑ අනිවාර්යෙන්ම. ඒවට කරුණු හොයන්න, ගවේශනය කරන්න ඕනෑ. විශේෂ මාතෘකාවක් යටතේ ඒ වගේ නිබන්ධන සම්පාදනය කරන්න තිබුණා. මාසෙකට වතාවක් ඒක අපිට කරන්න වුණා. ඒවට අපි දවස් ගණන් ලේඛනාගාරය, කෞතුකාගාරය වගේ තැන්වල කරක් ගහනවා. අපි වැඩසටහනක් කරන්න ගොඩක් මහන්සි වුණා.
ගුවන් විදුලියේ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ විදියට තමයි අන්තිමට මම කටයුතු කළේ. 1982 විතර මම ගුවන් විදුලියේ ඉඳලා රූපවාහිනිය පැත්තට ගියා. ස්වාධීන රූපවාහිනියට යන්න මට තේවිස් ගුරුගේ මහත්තයා කතා කළා. තේවිස් ගුරුගේ මහත්තයා වැඩසටහන්වලට මාවයි, ඉංජිනේරු අංශයට වෙත්තසිංහ කියලා කෙනෙකුයි තමයි ගත්තේ. අපි තුන්දෙනා තමයි ස්වාධීන රූපවාහිනියේ මුලින්ම වැඩ කළේ. මේ රූපාවාහිනිය ලංකාවට ආපු කාලේ. කාටවත් ලොකු අත්දැකීම් තිබුණේ නෑ. රූපවාහිනී මාධ්‍ය ගැන. අපිත් මේවා හොය හොයා තමයි ඉගෙන ගත්තේ. එච්.එම්. ගුණසේකරත් අපිත් එක්ක සම්බන්ධ වුණා.
ස්වාධීන රූපවාහිනියේ අවුරුදු හයක් විතර වැඩ කරලා මම විශ්‍රාම ගියා. ඊට පස්සේ මම ජාතික රූපවාහිනියට සම්බන්ධවෙලා නිදහස්ව වැඩ කළා. තාමත් මම ගුවන් විදුලි වැඩසටහන් කරනවා. අදටත් “මුවන් පැලැස්ස” කරන්නේ මම. මුදලිනායක සෝමරත්න ඇමරිකාවේ ඉඳල දැන් නාට්‍යයේ පිටපත ලියලා එවනවා. මම නාට්‍ය ගුවන් විදුලියට සම්පාදනය කරනවා. “මුවන් පැලැස්ස” කියන්නේ ගුවන් විදුලියේ ඓතිහාසික නාට්‍යයක්. අවුරුදු ගණනාවක් විකාශනය කෙරෙනවා. මම හිතන්නේ “මුවන් පැලැස්සට” දැන් අවුරුදු පනහකටත් වැඩියි.
අපිට ගුවන් විදුලියේ වැඩ කරන්න ආපු මුල් කාලෙම දීපු උපදෙස් තමයි රටට වැඩදායී දේවල් ඉදිරිපත් කරන්න. තමන් පුම්බගන්න පුරාජේරු කතාවලින් තොරව හරවත් දෙයක් නිතරම කියන්න කියලා. අපි මේක හිතට අරන් තමයි වැඩසටහන් කළේ. මම හිතන්නේ ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය දෙකටම සම්බන්ධව මේ තරම් දීර්ඝ කාලයක් වැඩකරන එකම කාන්තාව මම වෙන්න ඇති. මේ අවුරුදු 65 තුළ මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් රාශියක් තියෙනවා. අපි හැමවිටම රටට හොඳ දෙයක් කරන්න තමයි උත්සාහ කළේ. ඒත් අදනම් ගුවන්විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඒ දේ සිදුවෙනවද කියලා හරියටම කියන්න බෑ. ඒ ගැන නම් කණගාටුයි. අපි ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා විහිළුවට ගත්තේ නෑ. අද අපි එහෙම දේවලුත් දකිනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම නිවේදිකාවක් වෙනකොට අපේ ගෙදරවත් ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණෙ නෑ
රත්න Wednesday, 24 August 2016 06:02 AM
එතුමියට දීර්ඝායු පතමි. මෙය අගනා ලිපියකි. භාෂා දැනුම දියුණුවට අපට පිටුවහලක් වූයේ ගුවන්විදුලි සේවාවයි. (නි)
ලෙස්ලි ජයවර්ධන Thursday, 25 August 2016 03:28 AM
දැන් ඉන්න නිවේදිකාවෝ හැමදේම දන්නවා. සිංහල විතරයි නොදන්නේ (බ)
උපුල් Wednesday, 24 August 2016 08:26 AM
අමිමගේ කිරිවලට පස්සේ ඇගේ දුවන්නේ ඉස්කොලේ උගන්නපු ටිකයි ගුවන්විදුලියෙ හවසට අහපු ටිකයි තමයි. උපාධී පශ්චාත් උපාධි රැකියා පලපුරැද්ද මොනවත් ඇගේ නැ. හැබැයි පුංචි කාලේ අහපු හදමාමා, පිපිදෙන ගායක පරපුර, අමිබිකා ගිතයෙන් ගිිතය,ක්‍රීඩා සංග්‍රහය මුවන් පැලැස්ස, රත්මල්යාය තාම මතකයි, අපේ මහගෙදර හැමොටම ගොඩාක් පිං. හැබැයි කපුගේ ප්‍රේමකිර්තිගේ රැකියා තහනම් කරපු පරිපාලනයට නම් තරහයි (බ)
චන්ද්‍රසිරි Friday, 26 August 2016 01:54 PM
කවදාවත් අමතක නොවන චරිතයක් (නි)
ලලීන් Thursday, 25 August 2016 06:53 PM
අද විදේශ රටක හිටියත්, අපේ සිංහලකම, දැනුම වගේ දේවලට ගුවන්විදුලිය දුන් දායකත්වය අමතක කරන්න බැහැ. (නි)
ප්‍රදීප් Wednesday, 24 August 2016 09:58 AM
මෙන්න ගුවන් විදුලි/රූපවාහිනී නිවේදිකාවෝ. උගත්කම, මනා පුහුණුව සහ කැපවීම තමා මේ අයගේ වටිනාකම. ඒවගේම කෙනෙකුට ගුණාත්මක දෙයක් ඉගෙනගන්න මේ අයගේ සේවාව අපිට ඉදිරියටත් ලබාගන්න ලැබේවා! අද කාලේ ඉන්න නිවේදක නිවෙදිකාවන්ට හොඳ ආදර්ශයක්. (නි)