IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මුලතිව් මුදාගන්න මාරාන්තික සටනක්

17-Page-07-S2-5      

 

මුලතිව් යුදහමුදා කඳවුර ශ්‍රී ලංකා හමුදාවෙන් ගිලිහී ගියේ 1996 ජූලි මාසයේදීය. මෙම කඳවුර ඇදවැටීම හමුදාවට විශාල හානියක් වූයේ එය සේනාංක මූලස්ථානයක්ද වීම නිසාය. කඳවුර මුදා ගැනීම සඳහා විශේෂ බළකා සෙබළුන් ගුවනින් ගොඩ බැස්සවීමට දරණ ලද උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඒවනවිට සමස්ත කඳවුරම කොටි සංවිධානය අතේ පැවැති නිසාය. විශේෂ බළකා සෙබළුන් කළ වික්‍රමාන්විත මෙහෙයුම මෙමඟින් විස්තර කෙරේ. 


● කර්නල් ෆස්ලි ලෆීර් හෙලිකොප්ටරයෙන් පනිද්දීම වෙඩි වරුසාවක්.
● මියගිය සෙබළ සිරුරු ගේන්න බැරිව මුලතිව් වෙරළේ වළ දැම්මා.
● නිලධාරීන්ගේ අඩුව පුරවන්න කර්නල් ප්‍රසන්න සිල්වා සටන් පුහුණු පාසලේ සිට යුද පිටියට එයි.
● සෙබළුන් දහසක් සමඟ මුලතිව් ඇද වැටෙයි.

Untitled-3
ඒ වනවිට පැවැති රජය යුද පුවත් වාරණයක් පනවා තිබූ නිසා මෙම තොරතුරු එදා දකුණු ප්‍රදේශයට සම්ප්‍රේෂණය වූයේ නැත. කර්නල් රාජ් විජේසිරි තවදුරටත් විස්තර කරයි.

එක් පසෙකින් මහා මුහුදය. තවත් පසෙකින් ගොඩබිමය. මුලතිව් කඳවුර ඒ මධ්‍යයේ පිහිටා තිබුණේය. එය කිලෝමීටර් 3ක් පමණ දිගය. කිලෝමීටරයක් පමණ පළලය. එහි ආරක්‍ෂාවට යුද හමුදා සෙබළු දහසකට වැඩියෙන් සිටියහ.


1995 වසරේදී රිවිරැස මෙහෙයුම සිදුවූවේය. යාපනය නගරයේ ආධිපත්‍ය පතුරවා සිටි ත්‍රස්තයෝ පරාජය වූහ. යාපනය ශ්‍රී ලංකා සන්නද්ධ සේනාවන්ගේ පාලනයට පත්වූවේය. එම යුද ජයග්‍රහණය නොඉවසූ ත්‍රස්තයෝ තවදුරටත් සන්නද්ධ වූහ. ඒ වෙනුවෙන් වෙනත් භූමියක් අත්පත් කර ගැනීමට මාන බලමින් සිටියහ. මුහුදින් සහ ගොඩබිමින් උපරිම ප්‍රයෝජන ගත් ඔවුහු මුලතිව් කඳවුර ආක්‍රමණය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කළහ. ඒ 1996 ජූලි 18 වැනිදාය. බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයෝ එක් රැයකින් මුලතිව් කඳවුරේ ආධිපත්‍ය ලබා ගත්හ. 


හමුදා සෙබළුන් විශාල පිරිසක් මරා දැමූ ඔවුහු තවත් පිරිසක් කඳවුර තුළ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගත්හ. කඳවුර තුළ තිබූ බර අවි සහ පතරොම් ඔවුනගේ අයිතියට පත්විය.

Untitled-2
ඒ වනවිටත් » වැනි සහ »» වැනි විශේෂ බළකා සෙබළු තොප්පිගල මෙහෙයුමකට සූදානම්ව සිටියහ. එහෙත් සිය සහෝදර සෙබළු මුලතිව්හි ප්‍රාණ ඇපකරුවන්ව සිටින බව දැනගත් වහාම මේජර් ජානක පෙරේරාගේ උපදෙස් පරිදි තොප්පිගල මෙහෙයුම නවතා මුලතිව් බලා පියාසර කිරීමට » වැනි විශේෂ බළකාය මෙහෙයවූ කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු ඔහුගේ කණ්ඩායමට අණ ලැබිණි. ත්‍රිකුණාමලයේ චයිනබේ අහසට නැගුණු හෙලිකොප්ටර් යානා මුලතිව් වෙරළට ළඟා විය. එහෙත් එහි දක්නට ලැබුණේ බිහිසුණු දර්ශනයකි. විශාල ශබ්ද නගමින් බර අවි ප්‍රහාර, ගුවන් යානා කරා ඇදී ආවේය. එබැවින් යානා පහතට ගත නොහැකි විය. එඩිතර නිලධාරියෙක් වූ කර්නල් ලෆීර්ගේ අවසන් නිවේදනය වූයේ යානාවලින් කෙසේ හෝ බිමට පැන ගත යුතුය යන්නයි. 


ත්‍රස්තයාගේ කැලිබර් 50 අවිය හෙලිකොප්ටරය ඉලක්ක කළේය. එහෙත් හෙලිකොප්ටරයෙන් කළ දූවිලි ඇවිස්සීම ත්‍රස්තයා නොමඟ යැව්වේය. යානයෙන් ප්‍රථමයෙන් බිමට පැනීමට කටයුතු කළේ කෝප්‍රල් ලන්දේකුඹුරය. එහෙත් ඔහු සතුරු වෙඩි පහරකට ලක්විය. ඒ නිමේෂයේ කෝප්‍රල් මංජුල ඇතුළු පිරිස බිමට පැනගත් අතර කැලිබර් 50 අවිය ක්‍රියාකරවූ ත්‍රස්තයා ඉලක්ක කළේය. ඉලක්කය සාර්ථක විය. කැලිබර් 50 අවිය යුද සෙබළුන් අතට පත්වූයේය. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් සෙබළුන් යානාවෙන් පිටතට පැනගත්හ. ඒත් සමඟම ත්‍රස්තයන්ගේ වෙඩි වරුසා තව තවත් වැඩිවූවේය. ඉතිරි හෙලිකොප්ටර් බිමට පහත් කළ නොහැකි තරමටම ප්‍රහාරය උග්‍රවූවේය. තම සහෝදර සෙබළුන් තනිව සටන් කරද්දී විශේෂ බළකා සෙබළෙකුට පිටුපා යා නොහැකිය. එම නිසාම අන් ගුවන් යානාවල නියුමුවන්ට යානා ගොඩබිමට පහත් කරන ලෙස එස්.එෆ්. සෙබළු බල කළේය. වෙඩි වරුසා මධ්‍යයේම පැමිණි සෙබළු වෙරළට ගොඩබටහ. සතුරාට පහර දෙමින් ස්ථානගතවූ අතර ගොල්ෆ් සහ චාලි බලගණ සටන් බිමේ පෙරමුණ ගත්හ. 


» වැනි විශේෂ බළකාය ඒ ආකාරයට මුලතිව් මෙහෙයුමේ නිරත වෙද්දී කර්නල් රාජ් විජේසිරි ප්‍රමුඛ »» වැනි විශේෂ බළගණය තොප්පිගල කුලිපංචිකල් ප්‍රදේශයේ සිට මුලතිව් සටනේ තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටියහ. 


ඔවුනට ඇසීමට ලැබෙන්නේ අසුබ ආරංචියකි. ඒ යුද පිටියේ දැවැන්ත චරිතයක් වූ කර්නල් ෆස්ලි ලෆීර් මෝටාර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. 
සෙබළුන්ගේ යුද පිටියේ වීරයා වූ කර්නල් ලෆීර් ත්‍රස්ත ප්‍රහාරයට ලක්වීම » වැනි විශේෂ බළකායේ මානසික ශක්තිය බිඳ වැටීමට හේතුවක් විය. එසේම ලෙෆ්ටිනන් චමින්ද රණසිංහද එම මෝටාර් ප්‍රහාරයෙන්ම ජීවිතක්‍ෂයට පත්වූවේය. එවැනි වාතාවරණයකදී ඉදිරියට යන සෙබළුන්ට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වූවේය. එම අඩුව පිරවූයේ »» වැනි අණදෙන නිළධාරියා වූ මේජර් ජයන්ත රත්නායකය. එසේම මේජර් නාලක සිල්වා කාලතුවක්කු බළකායේ මෙහෙයවීම් කටයුතු සිදු කළේය. 


මුලතිව් සටන් එසේ පවතිද්දී මේජර් ජානක පෙරේරා »» වැනි විශේෂ බළකායට තොප්පිගලට නොගොස් පූනානි වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබා දුන්නේය. එහි සිට » වැනි විශේෂ බළකා සෙබළුන්ගේ සහායට අවශ්‍යවෙනවිට සහභාගීවීමට සූදානම්වෙන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය. ඒ අනුව කටයුතු කළ මේජර් රාජ් විජේසිරි ඇතුළු පිරිස පූනානිවලට පැමිණ ත්‍රිකුණාමලයට යෑම සඳහා සූදානම් වූහ. 

Untitled-4
ඔවුන් ඒ ආකාරයට සූදානම් වනවිට මුලතිව් මෙහෙයුමට අවශ්‍ය සහය දැක්වීම සඳහා වින්ග් කමාන්ඩර් හර්ෂ අබේවික්‍රම, හිටපු ගුවන් හමුදාපතිතුමාද සුවිශාල සහයෝගයක් දුන්නේය. ඒ වනවිට මුලතිව්හි සටන් කරන වීර සෙබළු බොහෝ දෙනෙක් සතුරු ප්‍රහාරයන්ට ලක්වී තුවාලවී සිටියහ. තවත් පිරිසක් මව්බිම වෙනුවෙන් ජීවිතය පුදදී සිටියහ. සටන් බිමේ සිටිනා සෙබළුන්ගේ පතුරොම්ද ටික ටික අඩුවූවේය. සෙබළුන්ගේ සහය සේම යුද උපකරණ ලබා ගැනීමද ඔවුනගේ ප්‍රබල අවශ්‍යතාවක් විය. 


යානාවේ ගමන් ගන්නා සෙබළුන්ගේ බර මැන බලා ඉතිරිය පිරෙන්නට පතුරොම් ලබාදීමට කටයුතු කළේ වින්ග් කමාන්ඩර්වරයාය. ඔහුගේ නොමඳ සහය ලබාගත් කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න සහ ලුතිනන් කමල් අමරසිංහ ඇතුළු පිරිස මුලතිව් වෙරළ බලා අහසින් පියාසර කරන්නට වූහ. 


ඒ වනවිටත් මුලතිව්හි සිටි සෙබළුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවී තිබිණ. සතුරු ප්‍රහාර හමුවේ නොපසුබටව ධෛර්යයෙන් කටයුතු කළ සෙබළුන් ආහාර හා ජලය හිඟතාවයෙන් පෙළුණේය. වෙඩි වැදී තුවාල වී සිටි ඇතැම් සෙබළු බෙහෙත් නොමැතිව ඒ ඉරියව්වෙන්ම මියගොස් සිටියහ.
මේවනවිට පූනාහි දක්වා පැමිණ සිටි »» විශේෂ බළකා සෙබළු සිය සහෝදරයන්ට උදව් අවශ්‍යව ඇති බැවින් මුලතිව්වලට හැකි ඉක්මනින් ගෙනයන ලෙස ඇවිටිලි කළහ. මේජර් ජානක පෙරේරාගේ අණ ලද විගසම ක්‍රියාත්මක වූ කර්නල් රාජ් විජේසිරි ඇතුළු »» වැනි විශේෂ බළකා සෙබළු ත්‍රිකුණාමලය බලා සිටත්වූහ. 

 

17-Page-07-S2-7


ඔවුන් බස් රථ ඒ සඳහා භාවිතා කළ අතර දවල් 2ක පමණ වනවිට ත්‍රිකුණාමලයට ගොස් එම්. අයි. සෙවන්ටි හෙලිකොප්ටර් හයකින් මුලතිව් බලා පිටත්වීමට සැලසුම් කළහ. සොයුරු සෙබළුන්ට කෑම, වතුර, බෙහෙත් සහ පතුරම් රැගෙන යාමට ඔවුහුද කටයුතු කළහ. 


සෙබළුන්ගේ බර අනුව 180 දෙනෙක් තෝරාගත් අතර හොටෙල් බලගණයේ ලෙෆ්ටිනන් මානව යහම්පත්, බ්‍රාවෝ බළ ගණයේ ලෙෆ්ටිනන් රත්න ප්‍රියබන්ධු, ඩෙල්ටා බළගණයේ ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ, එකෝ බලගණයේ කැප්ටන් නිශ්සංක ඊරියගම යන පිරිස් මීට නායකත්වය ලබා දුන්හ.
මීට අමතරව ලෙෆ්ටිනන්ට් චමින්ද දාබරේ සහ ලෙෆ්ටිනන්ට් සංජීව සහ ලෙෆ්ටිනන්ට් එරන්ද රත්නායකද ඊට සහභාගී වූහ. 


මෙම හෙලිකොප්ටර් හයම ගමන් ගත්තේ මුහුද මධ්‍යයේය. ඒ වනවිටත් මුහුදු තීරයේ නාවික හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ය සටන් කරමින් සිටියහ. 
»» වැනි විශේෂ බළකා සෙබළුන් ගුවන්ගත වෙනවාත් සමඟම එම්. අයි. 24 ප්‍රහාරක ගුවන් යානා සහ මිග් යානා ගමන් ගත් අතර ත්‍රස්තයන්ට ප්‍රහාරදීම ආරම්භ කළහ. එසේ පහරදෙන අතරතුර විශේෂ බළකා සෙබළු රැගෙන ගිය හෙලිකොප්ටර් මුහුදු තීරයට පහත් කරන්නට විය. ඒ දෙසටද සතුරා වෙඩි තියන්නට වූවේය. 


එක් හෙලිකොප්ටරයක් සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර හෙලිකොප්ටර් 5ක්  පමණක් බිමට පහත් කළේය. විශේෂ බළකා සෙබළු වෙඩි වරුසා මධ්‍යයේම ආයුධත් රැගෙන බිමට පනින්නට වූහ. බිමට බැසගත් විශේෂ බළකා සෙබළු සතුරු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් » වැනි විශේෂ බළකා කණ්ඩායම සිටි දෙසට ගමන් කරන්නට වූ අතර ඔවුනට මුලතිව් කඳවුරේ සිට පැනගත් සෙබළුන් පස් දෙනෙක්ද එකතුවූහ. 


කෑම, වතුර නොමැතිව දින ගණනාවක් ජීවිතාරක්‍ෂාව පතමින් පැමිණි එම සෙබළුන් බොහෝසේ දුර්වලවී සිටියහ. ඔවුනට සහෝදර එස්. එෆ්. සෙබළු හමුවීමත් නව බලාපොරොත්තුවක් විය. 

17-Page-07-S2-8


නව ජවයක් ලද සෙබළු සතුරාට පහර දෙමින් ඉදිරියටම ඇදුනහ. එම බිහිසුණු සංග්‍රාමයේදී විශේෂ බළකා සෙබළු කීප දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. එහි තවත් ඛේදවාචකයක් වූයේ මුලතිව් කඳවුරේ සිට ජීවිතාපේක්‍ෂාවෙන් පලා ආ සෙබළුන් 5 දෙනාගෙන් තිදෙනකු මිය යාමය. මෙහිදී විශේෂ බළකා සෙබළුන්ට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය. එනම් අවි ආයුධත් සමඟ තුවාල ලත් සෙබළුන්ද රැගෙන යාමය. මෙහිදී මියගිය සෙබළුන්ගේ සිරුරු වැල්ලේ වළවල් හාරා තැන්පත් කළ අතර පසුව සොයා ගැනීම සඳහා විශේෂ ජී. පී. එස්. සටහන් තබා ගත්තේය. 


හදවත් වේදනාවෙන් පිරුණද ජීවත්වන සෙබළුන්ගේ ජීවිත බේරාදීම විශේෂ බළකා සෙබළුන්ගේ පරමාර්ථය වූවේය. මේ ආකාරයටම යුද්ධය මෙහෙයවමින් සිටි »» වැනි විශේෂ බළකායේ අණදෙන්නා වූ රාජ් විජේසිරි ද ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූවේය. ඔහුගේ පපුවම ත්‍රස්තයාගේ ඉලක්කය වූ අතර එය දරුණු ප්‍රහාරයක් වූවේය. 


ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ සහ ලෙෆ්ටිනන් ඊරියගමට නැවතත් »» වැනි විශේෂ බළකා සෙබළුන්ගේ මානසික තත්ත්වය ගොඩ නගමින් සටනට මුහුණදීමේ කටයුතු සැලසුම් කරන්නට සිදුවිය. ඒ වනවිටත් රාත්‍රිය උදාවෙමින් තිබූ අතර » වැනි විශේෂ බළකා සෙබළුන්ට සමීපවීමට තිබුණේ කිලෝමීටරයක පමණ ප්‍රමාණයකි. 


එහෙත් කර්නල් රාජ් විජේසිරිට වෙඩි වැදීමෙන් පසු ඔවුන් මඳ වේලාවක් නිහඬවී වෙරළ ආසන්නයට ගොස් තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කරමින් රැය පහන් කරන්නට වූහ. 


කර්නල් ලෆීර්ගේ මරණයත්, කර්නල් රාජ් විජේසිරිගේ තුවාල වීමත් විශේෂ බළකා සෙබළුන්ට සුවිශාල පාඩුවක් වූ අතර ඒ වනවිට විශේෂ බළකා පුහුණු පාසලේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ප්‍රසන්න සිල්වා ස්වේච්ඡාවෙන්ම යුද පිටියට පැමිණීම භාර ගත්තේය. 


කර්නල් රාජ් විජේසිරි රැගෙන යාමට එන හෙලිකොප්ටරයට ගොඩනැගුණු මේජර් ප්‍රසන්න සිල්වා මුලතිව් සටන් භූමියට සම්ප්‍රාප්ත වූවේය. 


රාත්‍රි අඳුරේම මුලතිව් මුහුදු තීරයට ෆ්ලයිට් ලෙෆ්ටිනන් දුෂ්‍යාන්ත හෙට්ටිආරච්චි පැදවූ ගුවන් යානාව ගොඩ බැස්සවූවේය. ඒ වනවිටත් තුවාලවලින් බඩට ලේ බහිමින් සිටි රාජ් විජේසිරි, දුර්වල තත්ත්වයේ පසුවූ අතර මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූවේය. 


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ නොමඟ යැවීමේ විදුලි සංඥාවලට සාර්ථකව මුහුණ දුන් ගුවන් නියමුවා කර්නල් රාජ් විජේසිරි ඇතුළු අනතුරට ලක්වූ සෙබළුන් රැගෙන යළි ගුවන් ගත වූවේය. 


උදේ වනවිට ත්‍රස්ත ප්‍රහාර යම් තරමකට අඩුවී තිබුණේය. වරින් වර වෙඩි හඬ ඇසුණද ඊට සාර්ථකව මුහුණ දුන් දෙවැනි විශේෂ බළකා සෙබළු කිලෝ මීටරයක දුර ගෙවා » වැනි විශේෂ බළකා සෙබළ කණ්ඩායමට එකතුවූහ. 


ඒ වනවිටත් » වැනි විශේෂ බළකායේ සෙබළුන් කීප දෙනෙක් මියගොස් සිටි අතර තවත් පිරිසක් තුවාල ලබා සිටියහ. එහෙත් තුවාල ලබා සිටි සෙබළු පවා »» වැනි විශේෂ බළකා සෙබළු පැමිණෙනතුරු සාර්ථකව සතුරාට මුහුණ දුන්නහ. 


මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීමත් සමඟ විශේෂ බළකායේ ධාවන පැදි බළගණයේ කැප්ටන් බන්ධු වික්‍රමසිංහ සහ කැප්ටන් මානව යහම්පත් ඇතුළු පිරිසක් මුලතිව් සටනට සම්බන්ධ වූහ. 


ඔවුහු ඒ සඳහා ගෙන ආවේ නාවික හමුදාවේ කමාන්ඩර් දියබලනගේ පාලනය කළ එල්.සී.එම්. යාත්‍රාවකය. මේ කාර්යයන් මෙහෙයවන ලද්දේ මේජර් හරේන්ද්‍ර රණසිංහයන්ය.


නාවික හමුදා සෙබළුන් සහ විශේෂ බළකා සෙබළුන් රැගත් යාත්‍රාව වෙරළට ළඟාවෙද්දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝට්ටු විශාල තර්ජනයක් වූවේය. එක් ඩෝරා යාත්‍රාවක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් අතින් විනාශ වූ අතර එල්.සී.එම්. එක බේරා ගැනීම විශාල තර්ජනයක් වූවේය. එබැවින් මේජර් හරේන්ද්‍ර රණසිංහයන් එකෝ බළගණය සහ හොටෙල් බළගණය දෙපැත්තක සිට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝට්ටුවලට පහරදීම සඳහා මෙහෙයවූවේය. ඔහුගේ කාර්යභාරය සාර්ථක විය. එල්.සී.එම්. එකට පහරදීමට එල්.ටී.ටී.ඊ. යාත්‍රා රාශියක් පැමිණි අතර මරාගෙන මැරෙන කුඩා බෝට්ටුවක්ද ඒ අතර විය. මීටර් 50 පමණ දුරක තිබියදී එම කුඩා බෝට්ුව විනාශ කිරීමට යුද සෙබළුන් සමත්වූ අතර ඒ එල්. සී. එම්. යාත්‍රාවේ පැමිණි 300ක පමණ සෙබළුන්ගේ ජීවිත බේරුණි. 


කර්නල් සිල්වා සමඟ වෙරළට ගොඩබට සෙබළු ප්‍රීතියෙන් කෑගැසූහ. ඔවුහු ජයග්‍රාහී උද්දාමයෙන් සිය සහෝදර සෙබළුන් සිටින ස්ථානය බලා ගමන් ගත්හ. ගතවූයේ නිමේෂයකි. එකවරම ඔවුන් සිටි දෙසට මෝටාර් ප්‍රහාරයක් ආවේය. එකතැන තවත් සෙබළු තිදෙනෙක් අවසන් සුසුම් හෙළුෑහ. 
මෙවැනි ඛේදවාචක මධ්‍යයේ සියලු හමුදාවෝ එකට එකතුවූහ. තවත් සෙබළු පිරිසක් රැගෙන ආ හෙලිකොප්ටරයක තුවාල ලබා සිටි සෙබළුන් ආපසු යවන ලදී. 


යුද බිමේ සිටි සෙබළු දින ගණනාවක් දිවා රාත්‍රී නොබලා සතුරා සමඟ සටන් කළහ. මේ පිරිස අතර වෛද්‍යවරු දෙදෙනෙක් සිටි අතර යුදබිමේ තුවාල ලබන සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේ කාර්ය සිය යුතුකමකොට වීර්යයෙන් යුතුව සිදු කළහ. 


මේ සියලු දේ මෙසේ සිදුවෙද්දී ධාවන පැදි බළගණය තවත් අනතුරකට ලක්වූවේය. ත්‍රස්තයින් විසින් කූට යුද උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි.


මුලතිව් කඳවුරෙන් අල්ලාගත් සෙබළෙකු ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කර මරාගෙන මැරෙන ත්‍රස්තයෙක් කඳවුරට කඩා පැන්නේය. ඉන් කඳවුර විනාශ වූ අතර එහි සිටි සෙබළු සිව්දෙනෙක්ද ජීවිතක්‍ෂයට පත්වූහ. 


මේ ආකාරයේ කූට යුද උපක්‍රම ත්‍රස්තයන් ක්‍රියාත්මක කළ අතර දින හතක් නිදි වර්ජිතව සිටි » වැනි හා »» වැනි විශේෂ බළකා සෙබළු සතුරා සමඟ සටන් කළහ. රාත්‍රි සටන් වාසියට හරවාගත් සෙබළු ත්‍රස්තයන් රාශියක් ජීවිතක්‍ෂයට පත් කළහ. 


කඳවුර අහිමිවී තිබියදී ත්‍රස්තවාදීන් විශාල පිරිසක් සමඟ සෙබළුන් සීමිත පිරිසක් මෙසේ යුදවැදි අතර එම පිරිසගේ සහයෝගයට ගැමුණු හේවා බළඇණිය, හයවැනි ශ්‍රී ලංකා පාබළ හමුදා බළඇණිය සහ කමාන්ඩෝ බළඇණියත් එකතුවූහ.


සියලුදෙනා එකතුවී සතුරු ප්‍රහාරවලට මුහුණදුන් අතර මුලතිව් කඳවුරේ තත්ත්වයද සොයා බැලූහ. ඒවන විටත් එහි සිටි එක් සෙබළු පිරිසක් ප්‍රහාර එල්ලවෙද්දී සතුරු ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි අතර ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරගත කර සිටි හමුදා පිරිස සමූල ඝාතනය කර තිබුණි. 


මේ අතරතුර ස්වාධීන බළසේනාධිපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු, මේජර් සංගක්කාර යන පිරිස්ද සටනට එක්වූහ. එහෙත් මේජර් සංගක්කාර යානයෙන් බට මොහොතේම මෝටාර් ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. මුලතිව් කඳවුරේ බේරා ගැනීමට කිසිවෙකුත් නොමැති නම් තවත් සෙබළුන්ගේ ජීවිත අවදානමකට දැමිය නොහැකිය. 


සතුරාගේ බලය වැඩිවී තිබූ අතර සෙබළුන්ට තුන් පැත්තකින් වටකර පහර දෙන්නට විය. සෙබළුන්ට තිබුණේ මුහුදේ පිහිට පමණි. ඒ නිසා සිටින පිරිසගේ ජීවිත ආරක්‍ෂා කර ගනිමින් පසුබැසීමට අණ ලැබුණේය.


ගුවනින් සහ මුහුදින් භට පිරිස් ඉවත් කිරීමට සැලසුම් කළ අතර අවසානයේ යුදබිමෙන් ඉවත්වීමේ තීරණාත්මක කටයුත්ත හොටෙල් බළගණයට භාරවිය. පළමුව සටනට පිවිසි විශේෂ බළකාය දෙවැනි විශේෂ බළකායේ බළගණ දෙකක්ද මේජර් ප්‍රසන්න සිල්වා, මේජර් චන්න වඩුගේ, මේජර් දර්ශන රත්නායක, මේජර් ජයන්ත රත්නායක ඇතුළු පිරිස් ගුවනින් රැගෙන යාමට කටයුතු කළේය.


මෙලෙසින් ගුවනින් හා මුහුදෙන් එතෙරවීමට කටයුතු කළ හමුදාවන්ගෙන් තවත් කීප දෙනෙක්ම සතුරු ප්‍රහාර හමුවේ සහ අත් හැරීමෙන් මුහුදට වැටී ජීවිතවලින් සමුගත්හ. 


රාත්‍රිය පුරා ඉනවටක් බැසිය හැකි අගල් කැපීම සෙබළුන්ගේ කාර්යයක් වූයේය. ඒ ඔස්සේ ආරක්‍ෂාව සපයමින් එල්.සී.එම්. යාත්‍රාවට යම් සෙබළු පිරිසක් යැවූ අතර අවසන් මොහොත දක්වාම ගොඩබිම සටන් කෙරුවෝ නෙට් එකක ආධාරයෙන් යාත්‍රාව දක්වා ගමන් කිරීමට තීරණය වූවේය. 


මියගිය සෙබළුන් මුලතිව් වෙරළේ මිහිදන් කළ අතර ගෙනයා නොහැකි අවි වෙරළේ සඟවා දැමූහ. 


අවසාන නිමේෂයට කපිතාන් මානව යහම්පත්, ලුතිතන් එරන්ද රත්නායක, දෙවැනි ලුතිනන් සංජීව හොරවලවිතාන යන නිලධාරීහු ඇතුළු කණ්ඩායම් සම්බන්ධ වූ අතර වට කරමින් ප්‍රහාර එල්ල කරන සතුරාට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කළහ. නෙට් එකේ ආධාරයෙන් එල්. සී. එම්. යාත්‍රාවට ගොඩවූ පිරිස දින ගණනාවක සටනට සමුදුන්හ. 


මේ ආකාරයට මුලතිව් හි පැවැති දරුණු සටනින් යුද පිටියේ අභීත සෙන්පතියකුවූ කර්නල් ලෆීර් ඇතුළු විශේෂ බළකා සෙබළු 35 ට ආසන්න සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගත් අතර 100 ට අධික පිරිසක් තුවාල වූහ. එසේම ඒ වනවිටත් මුලතිව් කඳවුරේ සිටි දහසකට වැඩි පිරිස සටනේදී මියගොස් හෝ පසුව ඝාතනය කර දමා හෝ සිටියහ. 


එවන් වූ වාතාවරණයකදී ජීවිතය නොතකා ඉදිරියට ගොස් සිය සහෝදර සෙබළු බේරා ගැනීමට කටයුතු කළ විශේෂ බළකා සෙබළුන්ගේ වික්‍රමාන්විතය ප්‍රශංසනීයය.

Untitled-5



අදහස් (9)

මුලතිව් මුදාගන්න මාරාන්තික සටනක්

කුමාර Thursday, 22 December 2016 04:07 PM

මෙවන් කැපවීමක් කළ අපේ සහෝදරයන් නිසයි අද අප මෙසේ නිදහසේ කල්ගෙවන්නේ. එහෙත් කණගාටුවට කරුණ නම් ජීවිත දහස් ගානක් පුජාකර බේරගත්ත රට බන්දේසියක තබා නැවතත් අගාධයට ඇද දැමීමයි. අපේ මවුබිමට ආදරය කරන උදාර නායකයෙකුගේ අගය දැනෙන්නේ දැන් තමයි. (නි)

:       0       1

රොහාන් Monday, 09 January 2017 01:12 PM

මිගාර දන්නා කෙහෙල් මල දන්නේ නැති දේවල් කියවන්න එපා. මහින්ද රාජපක්ෂ අන්තිම කාලේ යුද්දේ නවත් වන්න කියල රටෙත් හිටියේ නැහැ ඒ වෙලාවේ තනි තීරණයට යුද්දේ ඉවර කලේ ෆොන්සේකා තමයි. ඊට පස්සේ රාජපක්ෂ ඇවිත් තමන් ලකුණු දාගෙන ෆොන්සේකා ව හිරේට දැම්ම එක නෙවෙයිද කලේ?(අ)

:       1       0

කුමාර Sunday, 25 December 2016 03:57 PM

රණවිරුවෝ නොමැරෙති. ඔවුන් සදා අමරණීයයි (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 22 December 2016 09:45 PM

අපේ හමුදාව කරපු කැපකිරීම් අමතකවුණ ජාතියකට කියවන්න අනර්ඝ ලිපියක්. මේ උතුම් මිනිසුන්ගේ කැපකිරීම් දිහා බැලුවහම හිතනවා අපි මොනවාද මේ මව්බිමට කරලා තියෙන්නේ කියලා. ඒ වගේම 1994-2005 කාලය තුල තිබුණ අසාර්ථක දේශපාලන නායකත්වය නිසා මේ රටේ තරුණ ජිවිත කී දාහක් විනාශ වුණාද කියලා තේරුම් ගන්න පුළුවන් නේද? (නි)

:       0       0

සරත් Monday, 26 December 2016 01:00 PM

මේවා අමතක වුන උන් පිරිසක් ඉන්නවා, තව උන් පිරිසක් ඉන්නවා යුධ හමුදාවෙන් අත් අඩංගුවේ හිටපු කොටි මැරුව කියල කෑමොර දෙන.මුලතිව් වල ප්‍රාණ ඇපයට ගෙන සමුල ඝාතනය කරපු සෙබළුන් ගැන කවුද කතා කරන්නේ ? (බ)

:       0       0

මිගාර Thursday, 29 December 2016 06:21 AM

රුවන්, ෆොන්සේකා තනියම යුද්ධය දිනුවෙ නැහැ. නාවික හමුදාව ආයුධ නැව් විනාශ නොකරන්න, මෝටාර් කාලතුවක්කු ප්‍රහාර වැසි වහිනවා. ගුවන් හමුදාවත් විශාල මෙහෙයක් කළා. කොබ්බෑකඩුව මහත්තයට මහින්ද රාජපක්ෂ මහත්තය වගේ ජනපති කෙනෙක් හිටියා නම් 1987 ඔය යුද්ධය ඉවරයි. (නි)

:       0       1

සෙනරත් Sunday, 25 December 2016 04:22 AM

මෙහෙම කැපවෙලා දිනාදුන් රට පාවාදෙන්න හදන, ඒසී කාමරවල දිවිගෙවන කුහකයන්ට මේවා නැවත දැනගන්න සළසන එක බොහොම හොඳයි. ඒ මැරුණු, ආබාධිත වුණු සහ සහභාගිවුණ සියලුම සහෝදරයන්ට අපේ ප්‍රණාමය නැවතත්. (නි)

:       0       0

කොඩිකාර Friday, 23 December 2016 06:17 AM

සති දෙකකට සැරයක්වත් ඔහොම දාන එක හොඳයි, අපේ උන්ට ඉතිහාසය මතක නෑ. මේ කියන්නේ යුධවාදී මානසිකත්වයක ඉන්න ඕන කියල නෙමෙයි (බ)

:       0       0

රුවන් Monday, 26 December 2016 04:59 AM

හැම රජයක්ම උත්සාහ කළේ ත්‍රස්තයන්ට පහරදීමටයි. ෆොන්සේකා සිටි නිසා යුද්ධය ජයගත්තා. ඒකට නායකත්වය දුන් රටේ නායකයාටත් ප්‍රණාමය! රට වෙනුවෙන් ජිවිත පුජාකළ සියලුම රණවිරුවන් සදා අමරණීයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 719 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 66 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 169 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 211 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 150 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 224 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site