IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ වැරැදි හදාගැනීම වැදගත්

මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙරට සියලු‍ම දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, රජයේ නිලධාරීන් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරමින් එම අමාත්‍යාංශය මගින් දැන්වීමක්ද පළ කර තිබිණි. පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතට 2017 අංක 16 දරන සංශෝධනය මගින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නේ ශ්‍රී ලංකාව තුළ ස්ථාවර හා ශක්තිමත් පළාත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා බවද එම දැන්වීමේ සඳහන්ය.

පළාත් පාලනයට පමණක් නොව පළාත් සභා හෝ පාර්ලිමේන්තු හෝ මැතිවරණවලදී මන්ත්‍රීවරුන් පත් කරගත යුත්තේ සරල, පැහැදිලි ක්‍රමයකට බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එහෙත් 2018 පෙබරවාරි 10 වැනිදා මෙරට පැවැති එකී මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණයේ ප්‍රතිඵලය එකම අපභ්‍රංසයක් බවට පත් විය. එතෙක් එක් එක් පළාත් පාලන ආයතනයක සිටි මන්ත්‍රීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් ඒ හරහා පත් කරගනු ලැබුවත් පත්වූ ඇතැම් මන්ත්‍රීන්ට තමන් සේවය කළ යුත්තේ කුමන කොට්ඨාසයකටද යන්න පවා තේරුම් ගැනීම අසීරු වී තිබිණි. ඇතැම් ආයතනවල බලය හිමිව තිබූ පක්ෂයට සභාපති පත්කර ගැනීමේදී පවා ගැටලු‍ මතුවිය. මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් බව පිළිගනු ලැබුවත් එය ක්‍රියාත්මක කළ ආකාරය බොහෝ දෝෂ සහිත වීම ඊට හේතු වී තිබිණි. එහි තවත් අහිතකර ප්‍රතිඵලයක් වූයේ පළාත් පාලන ආයතනවල ස්ථාවරභාවයටද එයින් බලපෑම් ඇතිවීමය.

මෙවැනි අවුල්සහගත ප්‍රතිඵලයක් ලැබුණේ එවකට පැවැති යහපාලන රජයේ නායකයන්ට තමන් දේශපාලන වශයෙන් මුහුණදීමට සිදුව තිබූ අවාසිසහගත තත්ත්වයෙන් ගැලවීම පිණිස පළාත් පාලන පනතට සිදු කළ වෙනස්කම් හේතුවෙනි. රටේ සුබසිද්ධියට වඩා පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵල අමිහිරි වීම පිළිබඳ පුදුම විය යුතු නොවේ. එසේ නොවන්නට මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊට වසර එකහමාරකට පමණ ඉහතදීය. රටේ අවශ්‍යතාවලට පිටුපා යමින් ඇතිකරන වෙනස්කම්වලින් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වීම මුළාවකි.

වත්මන් රජය පවතින මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඇතුළත් සංශෝධිත පළාත් පාලන පනතේ වැරදි හදාගැනීමට පියවර ගැනීම හොඳ පියවරක් වශයෙන් අපි දකිමු. ඒ සඳහා වගකිවයුතු සියලු‍ පාර්ශ්වවලින් අදහස් ලබාගැනීමට ක්‍රියා කිරීමද යහපත් ප්‍රවේශයකි. ශක්තිමත් සහ ස්ථාවර පළාත් පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට ඒ මගින් මග පෑදෙනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැක. එසේ වීමට නම් පක්ෂ දේශපාලන අවශ්‍යතාවලට මුල්තැනක් නොදී පවතින ක්‍රමයේ අඩුපාඩුකම් හදාගැනීමට පොදු අරමුණකින් ක්‍රියා කිරීම අවශ්‍ය වෙයි. නැතහොත් මේ මුළු මැතිවරණ ක්‍රමය ශුද්ධ වෙනවා වෙනුවට එය එකම අල හොද්දක් වීමටද ඉඩ තිබේ.

සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රටේ එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමයට වඩා ඉතාම දූෂිත සහ ප්‍රචණ්ඩකාරී වූ බවත් ජාවාරම්කරුවන් හා මාෆියාකරුවන්ගේ සහාය ලබන පිරිස් අතින් අවංක, උගත් සහ පරාර්ථකාමී දේශපාලනඥයන් තරග බිමේදී පහසුවෙන් පරාජය කෙරෙන බවත් ප්‍රකට කරුණකි. එසේ වුවද සුළු ජාතිකයන්ට ප්‍රමාණවත් නියෝජනයක් සඳහා මේ ක්‍රමය හරහා අවස්ථාව පෑදීමත් ජවිපෙ වැනි විකල්ප බලවේගවලටද එම අවස්ථාවම ලැබීමත් සමානුපාතික ක්‍රමයේ යහපත් ලක්ෂණ සේ සඳහන් කළ හැකිය. එහෙත් එක් එක් පක්ෂය ඡන්දයකදී සළුවීමට ලබාගත යුතු වූ සියයට 12 ප්‍රතිශතය පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සියයට 5 දක්වා පහත දැමීමෙන් අන්තවාදී දේශපාලන බලවේගවලටද බලය ලබාගැනීමට අවස්ථාව පෑදිණි. එය රට තුළ නැති ප්‍රශ්න ඇති කළ බවටද සමහරු චෝදනා කරති.

1978 විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දීමත් සමඟ පැමිණි සමානුපාතික ඡන්ද නියෝජන ක්‍රමය සමඟ මේ රටේ දේශපාලනය මේ වන විට වසර 42ක කාලයක් ගත කර තිබේ. එහි අඩුලු‍හුඬුකම් පිළිබඳ සෑහෙන අවබෝධයක්ද දැන් ලැබී තිබේ. එම ක්‍රමය රටට ගැළපෙන පරිදි සංශෝධනය කර ගැනීමට දැන් එළඹ ඇත්තේ හොඳ අවස්ථාවකි. එහෙත් එම සංශෝධන සිදුවිය යුත්තේ 2017 දී සිදුවූවාක් මෙන් පාලක පක්ෂයේ අවශ්‍යතාවලට අනුකූල වන සේ ක්‍රමය වෙනස් කිරීම නොවේ. රටට වඩාත් සුදුසු ගැළපෙන ක්‍රමයක් සකසා ගැනීම සඳහා කටයුතු කිරීමය.

මිශ්‍ර සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ඊට හොඳ ආදේශකයක් බව සැබෑය. එහෙත් එහි අඩුපාඩු බොහෝ බව අවසන් වරට පැවති පළාත් පාලන ඡන්දයෙන් පැහැදිලි විය. සැබෑ ජනතා නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පමණක් නොව පළාත් සභා සහ පාර්ලිමේන්තුවටද තෝරා පත්කර යැවීමට හැකි වන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය. එසේම සුළු ජාතික සහ විකල්ප බලවේගවලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකෙන පරිදි ඔවුන්ටද නියෝජනයක් මේ ක්‍රමය තුළ තිබීම අවශ්‍යය. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට ගැළපෙන සුදුසුම මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීමට අදාළ සියලු‍ පාර්ශ්ව විසින් හරවත් යෝජනා සමාලෝචන කමිටුවට යොමු කෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


(***)



අදහස් (2)

මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ වැරැදි හදාගැනීම වැදගත්

de silva Friday, 05 March 2021 03:42 PM

කරුණාකර 77ට පෙර තිබුණු ක්‍රමය නැවත ගෙන එන්න. අලුත් ක්‍රමය නිසා සල්ලි තිබෙන කුඩු , අරක්කු මුදලාලිගෙන් සහ දරුණු ගණනේ මිනීමරුවන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත. රට පරිහානියට පත්ව ඇත.

:       0       1

පෙරේරා Saturday, 06 March 2021 05:35 AM

1977 ට පෙර තිබුණු ක්‍රමය නැවත ගෙනෙන්න. නැතිනම් බලයට පැමිණෙන්නේ අසීමිත අතේ ඇති කළු සල්ලි වියදම් කර, මැර බලය යොදා මහජනයා බියවද්දන කසිප්පු, කුඩු සහ වංචනිකව මුදල් ඉපැයූ (පගා/කොමිස්) රටට ආදරයක් නැති පරයන් රැලකි. ආසනයට වගකියන නියෝජිතයෙකුට ප්‍රශ්ණ විසඳීමේ වගකීම දෙන්න. රට දියුණු කිරීමට ප්‍රමුඛතාවය දෙන්න. සුළුජාතික ප්‍රශ්න වලට දෙවැනි තැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1006 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 920 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 993 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16919 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site