ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බලවේගයක්ව මහබෝ රකින බව බෞද්ධයෝ පිළිගනිති. එසේම මහ බෝ වන්දනාවේ එන සැදැහැවතුන්ට ආරක්ෂාව පිණිසත් ඒ සැදැහැවතුන්ගේ අදහස් මුදුන් පැමිණවීම පිණිසත් කළු බණ්ඩාර දෙවියන් ක්‍රියාකරන බව පැරණියෝ විශ්වාස කරති. මහ බෝ අසළ සිටින විල්ලිදුර පරපුර කළුබණ්ඩාර දෙවියන්ට නිතර යාතිකා කරන්නාහ. ඔවුහු සැදැහැවත් ජනයාට යහපතක් වේවායිද ග්‍රහ අපල රෝ දුක් දුරු කරත්වායිද යහපත් අපේක්ෂා මුදුන්පත් වේවායිද කළුබණ්ඩාර දෙවියෝ යදින්නාහ.
මේ කළුබණ්ඩාර දෙවියන් පිළිබඳ මත රාශියක් ජනප්‍රවාද, සහ විවිධ සාහිත්‍ය ග්‍රන්ථවල ඒ. එහි එක් මතයක් වන්නේ කළුබණ්ඩාර යනු ජය ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩම කරවද්දී ඉන්දියාවේ සිට මෙරටට මහ බෝධිය ආරක්ෂාව සඳහා පැමිණි ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙනි. ඔහු මහ බෝ සමග පැමිණි දහ අට සේනාවේ සිටි බෝධි ආරක්ෂකයාය. මේ කළුබණ්ඩාර සේනාපතියා කලක් ඇවෑමෙන් මරණයට පත්වී මරණින් මතු මහ බෝ රක්නා පිණිස කළුබණ්ඩාර දෙවියන්ව උපත ලද බව කියැවේ.
ඊට තවත් අදහසක් ජයශ්‍රී මහා බෝධියට තේවා කරන විල්ලිදුර පරපුරේ හේතුවාගේ විල්ලිය මහතා අපට මතක් කළේය.
ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ මහ මෙවුනා උයනේ රෝපණය කළාට පස්සෙ පළමුවෙනි කිරි පිඬු ආහාර පූජාව කරලා තියෙන්නේ කළුවා කියන ගොවියෙක්. ඔහු ගොවිතැන් කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේමය. මහා බෝධියට දීර්ඝ කාලයේ කිරිපඬු පූජා කළ මේ කළුවා කියන ගොවියා මරණින් මතු දේව ආත්මයක් ලැබූ බව පිළිගන්නවා. කළු ගොවියා, කළු දෙවියා වුණු බව අපි අතරෙහි තියෙන එක් මතයක්.
කළු බණ්ඩාර දෙවියන්ගේ මුල් කාලය පිළිබඳව පුස්කොල පොතේ එන කෝල් මුර කවිවල මෙසේ සඳහන් වේ.
එරන්දතී කුස පිළිබඳ පූර්ණක පිය රජු දාකොට
තරං වයස සත් අවුරුදු කුමරු කෙළිය පිරුණු කලට
කුමරු කෙලිය පිරුණු කලට නිරන්තරව පිය රජුගෙන් උදහස් යෙදුන කුමරුට
නරන් රකින්නට වල්වැද පැන්න සත් ගවු හිමයට
මේ කෝල්මුර කවියට අනුව කළු බණ්ඩාරගේ මව එරන්දතියයි. පියා පූර්ණක රජුය. කළු බණ්ඩාර සත් හැවිරිදි විය එළැඹෙද්දී ඔහු දඟකාරයකු විය. මේ නිසා පිය රජ වූ පූර්ණකගෙන් උදහසට ලක්වී කළු බණ්ඩාර අවුරුදු හතේදීම හිමාලයා පලා ගිය බව කියැවේ.
‘යුද්ධ’ රොසින් ගත් මේසය බැලුවෙනි වතු පන්දහසට ඇද්ද කෙනෙක් මම සරියට වල් වැඳ පැන්නා හිමයට
යුද්ධ උතුම් දෙවි වැඩ සිට පතිනිට වැඳ සැලකර සිට මැද්ද දේසයට පළයන් සිරිමා බෝ වඩින තැනට හිමාලයාට ගිය කළුබණ්ඩාර පත්තිනි මෑණියන් හමුවී
අවසර ගන්නේය. එදා පත්නිය මෑණිය කළු බණ්ඩාරට ලක්දිවට වඩින ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව පිණිස යාමට අවසර දුන් බව මේ කෝල්මුර කවියේ සඳහන් වෙයි.
මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කරද්දී කළු බණ්ඩාර දෙවි කෙනෙක් හැටියට මුහුදු දියේ පයින්ම පැමිණි බව කියැවේ. මහබෝධිය සමග දහ අට සේනාව, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ එකොළොස් නමක් රහත් භික්ෂුණීහු නාවික යාත්‍රාවෙන් වැඩමවද්දී කළුබණ්ඩාර දෙවියන් නැවද සමග පා ගමනින් එහි ආරක්ෂාව සලසා ගෙන ආ හැටි පහත කෝල් මුර කවිය විස්තර කරයි.
සුර බඹ ඉසිවර විෂ්ණු මහේෂ්වර බෝධිය සමගත් වැඩමවමින්
දහඅට කුලයක පිරිවර සමගින් මුහුදු ජලෙහි එති නැවක් පිටින්
විසිතුරු තෙද ඇති මේ කළු දේවතා පතුල නොතෙමි එති රැල්ල ඔපිටින්
අසිතක් නැතුවම සාසනෙ බාරව ශ්‍රී මහා බෝ රජු මුර කරමින්
කළු බණ්ඩාර දෙවියන්ට ජය ශ්‍රී මහා බෝධියේ මුර භාරව සිටින්නට පත්තිනි මෑණියන්ගෙන් අවසර ලැබිණි. ඒ දෙවියන් මහ බෝ මුර කරමින් සැදැහැවතුන්ගේ මුරුතැන් පූජා භාර ගන්නට වරම් ලද බව කියැවේ. රටට එන බාධක දුරු කරමින් යහපත සැලසීමට කළු දේවතා බණ්ඩාර විටෙක රූමත් මවක මෙන් පිහිට වන බව පහත කෝල්මුරයේ සඳහන් වෙයි.
උඩමළුවේ ජය රන්කඳ භාරවෙලා වැඩ සිටින්ට
සෘද්ධි වෙලා දන් මුරුතැන් කිරි ඉතිරුම් භාර ගන්නට
වැඩිකර එන නැවු කප්පර පොඩි කර දස අත දමන්න
හැඩ මාතා උතුම් කෙනෙකි කළු දේවතා වැඩමවන්න’
කළු දෙවියන් මහ බෝ මුර කළත් වැරදි වැඩ කරන අයටත් පුංචි සැර වැරයක් දමන බව කෝල් මුරයේ කළු බණ්ඩාර දේව විස්තරයේ සඳහන් කරයි. අකුණු හඩක් සේ ඝෝෂා කර පොල්ලක් අතට අරන් කළු බණ්ඩාර සිටින බවත් ඔහු සමග දහස් ගාණක් යක්ෂ සේනා සිටින බවත් මිහින්තලේ පොකුණු හතට දිය නෑමට කළු දෙවියෝ වඩින බවත් නරක් අයට යම් පහරක් දීමට එතුමෝ පමා නොවන බවත් මෙහි දැක්වෙති.
නැති දෙවියන් ලෙස මේ කෝල් මුරයේ කළු බණ්ඩාර දක්වන්නේ වරදට දඩුවම් දෙන එතුමන්ට අගෞරවයක් වන නිසා විය යුතුය.
අකුණු හඩක් ඝෝෂා කරමින් සුරතට මුගුරක් ගෙන වැඩියේ
ලකුණු ඇතිව ඔබ දහස් ගණන් යක්සෙන් පියවර ගෙන සිටියේ
පොකුණු හතේ මැද කළු දිය පොකුණේ දියකෙළියට නිතරම වැඩියේ
දකුණු දොරටුවේ ජය රන්කඳ මුල නම නැති දෙවි කැටුවයි සිටියේ
ඉහත කියන කළු බණ්ඩාර දෙවියන්ට අමතරව මහ බෝධිය දකුණු දොරටුවේ සිට මුර කරන තවත් දෙවිවරු ගැන පුරාණ පොතපතේ සඳහන් වේ. ඒ අතරින් කඩවර හා කම්බිලි දෙවියෝ ප්‍රමුඛ වෙති.
සාහිත්‍ය ගත හා ජනප්‍රවාද තොරතුරු අනුව කඩවරගේ මුහුණේ එක් පැත්තක් හෙවත් භාගයක් ඉතා ලස්සන මනුෂ්‍ය මුහුණයි. අනෙක් පැත්ත ඉතා රෞද්‍ර යක්ෂ මුහුණයි. එයින් පෙන්නුම් කරන්නේ කඩවර හොඳට හොඳය. නරකට නරකය යන සංකල්පයයි.
කඩවරගේ මව උමයංගනාවයි. පියා ඉසුරුයි. දිනක් උමයංගනාව ගං දියේ නාන්නට ගියාය. ඈ ගියේ තනියෙනි. ඇය සළු පිළි ගලවා දිය නා එනතුරු අරක්ෂා කර ගන්නට තරුණයකු මවා ඔහුට සළුපිළි බාර කළාය. උමයංගනා දිය නාන තැන්හි තරුණයකු ඇගේ සළුපිළි බාරව සිටිනු දැක මේ ගැන ඉසුරුට (උමයංගනාගේ ස්වාමියාට) කේලමක් අසන්නට ලැබේ. ඉසුරු ක්ෂණයෙන් ගං දෑල වෙත ගොස් තරුණයා සිටිනු දැක කෝපයෙන් ඔහුගේ හිස කඳින් වෙන් කර කපා මරා දැමුවේය.
උමයංගනා ඉසුරු ඉදිරියේ බැගෑපත්ව ස්වාමිනි මේ තරුණයා මා මැවූ කෙනෙක් යැයි කීවාය.
ඒ වේලාවේ ඉසුරු උමයංගනාවට තවත් කුමාරයන් මවාපන් යැයි අභියෝග කළේය. එවේලේ උමයංගනාව ගංබඩ ඊ තණ පතකින් කුමාරයකු මැවුවාය. දිය රළෙත් කුමාරවරු පස් දෙනෙක් මැවුවාය. ඉසුරු මරා දැමූ තරුණයාගේ හිස වැටුණු තැනින් තවත් කුමාරයකු මැවුවාය.
මේ කුමාරවරු ගොන්නම ඉසුරු බොහෝ සතුටින් එක තුරුළට ගෙන මාගේ දරුවෝ කියා බදා ගත්තේය. එදා උමයංගනා මැවූ කුමාරවරු කවුද? ඒ අතර ගණපති, කතරගම, කඩවර ආදිය ද විය. ඒ අනුව මේ අය සහෝදරයන් බව පැරණි පුස්කොළ පොත්හි විස්තර වේ.
එදා ඉසුරු විසින් තම දරුවෝ යැයි තුරුළු කර ගත් පිරිස අතුරින් රත්න කඩවර පිය තුරුළෙන් කඩා පැන්නේය. එම රත්න කඩවරද මහ බෝ මුර බාරව දකුණු දොරේ සිටින බව විස්තර වේ. ඉහත කතාව කෝල් මුරයේ මෙසේ දක්වයි.
සදෙන කුමරු සිගා රැළෙන්
මැවු දෙවනුව උමයංගනා
එදින පළමු ඊ පතනෙන්
මැවූ කුමරුන් සහ සත්දෙන
රැගෙන දෑත එක් කරමින්
අනේ පුතුන් කන්ද කියා
එදින ඉසුරු සුරත යටින්
කඩා පැන්න කුමරු රත්න
කඩවර ස්වරූප රාශියක් දේව පුරාණයෙහි විස්තර වේ. හත් කඩවර, දහ අට කඩවර, දෙතිස් කඩවර, 64 කඩවර ආදී වශයෙන් ගණනාවකි. ඒ අතර සඳුන් කඩවර, හඳුන් කඩවර, කම්බිලි කඩවර, ලේ කඩවර, මල් කඩවර, පුළුටු කඩවර, ගොපලු කඩවර, දළ කඩවර, ස්වයං කඩවර, තොට කඩවර, භූත කඩවර අභූත කඩවර, රති කඩවර, රෑ කඩවර, සෙල්ලුකඩවර ඉන් සුළු පිරිසෙකි.
මේ අතරින් රත්න කඩවර දෙවියන් මුර භාරව සිටින ස්ථාන දේව ස්ත්‍රොත්‍ර වල දැක්වේ. සමනල කන්ද දිවා ගුහාව ජය ශ්‍රී මහා බෝධීය, දළදා මාළිගාව ඉන් කීපයකි. කෝල් මුරයේ එය මෙසේ දැක්වෙයි. සමන්ත කූටේ දිවා ගුහාවේ ජය ශ්‍රී මහා බෝ රන්කඳටවත් අනන්ත බුදුරැස් විහිදෙන දාගැබ් සිරි සහ දළදා මන්දිරෙටත් සම්පත් කමින් එහිමුර කර සිරිලක නෑරම පට පඬුරුද ලැබගත්.
නිවන් පතා අද කොතැනක සිටියත් වඩින්න කඩවර ස්වාමි අදත් මහ බෝ බාරව සිටින කම්බිලි දෙවියන් වෙදකමට ද සම්බන්ධව පිදුම් ලබන දෙවියෙකි. එම නිසා දේශීය වෙදකම කරන අය අවුරුද්දකට වරක් වෙද පොත් තෙල් බේත් තබා කඩවරට පුද පූජා පඬුරු පාත්කුඩම් පිදෙනි දී පොත්ගුල් රාජකාරිය කරති.
කළු දේවතා බණඩාරත්න කඩවර කම්බිලි යන දේව සභාව මහ බෝ මුර කරමින් වැඩ සිටින බලවත් දේව මණ්ඩලයකි. එබැනින් මහ බෝ වන්දනාවට සැදැහැවතියෙක් එන අයට මේ දේව මණ්ඩලයේ ආශිර්වාදය ආරක්ෂාව හිමිවන බව පැහැදිලි කරුණකි.
මහ බෝ වන්දනාවේ ආශිර්වාදය ලබනවා සේම බලවත් දේව මණ්ඩලයක පිහිට ලැබීම ද උඩමළුවට එන සැදැහැවතුන්ට තවත් භාග්‍යවන්ත අවස්ථාවකි.
(විශේෂ ස්තුතිය මාමිනියාවේ ඉලංගසිංහ මහතාට සහ ගල්ටැන්වැව පුරාණ කඩවර දේවාලයේ පළුගොල්ල දෙව්රම් වෙහෙර පුරාණ දේවතා දේවාලය හා රත්න කම්බිලි දේවාලයේ තේවා කළ වෛද්‍ය විජේරත්න මහතාගේ පුත්‍ර ප්‍රේමතිලක පතිරණ මහතාට)
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ බෝධිය රකින කළු බණ්ඩාර දෙවියෝ
චම්පික Friday, 03 June 2016 11:51 PM
ධර්මයට අනුව ජීවත්වන්නට උත්සාහ ගන්න. මිනිසා ධර්මය විසින්න්ම රකිනු බව සත්‍යයකි (නි)
සුජාන් Saturday, 18 June 2016 03:07 PM
රසිකා, කොටි බෝම්බ ගහලා සිරිමහ බෝධියට මොකවත් වුණාද? මැරෙන්න තියනවා නම් දෙවියන්ටවත් කර්ම ශක්තිය වළක්වන්න බැරි බව දන්නේ නැද්ද? (නි)
රසිකා Friday, 10 June 2016 06:23 AM
ශ්‍රී මහා බෝධියට කොටි ගහද්දි ඔය කියන දේවතාවුන් වහන්සේලා හිටියේ නින්දේද? (ම)
ජයසිරි Friday, 03 June 2016 12:50 PM
මේ ලිපිය හරි වටිනා ලිපියක්... ගොඩක් පින් දැනුවත් කිරීම ගැන.මෙවන් හොද ලිපි තව පල කරන්න සියලු ධෛර්ය ලැබේවා (හේ)
කුමාර Friday, 17 June 2016 11:27 AM
නොදැන සිටි ගොඩක් දේ දැනගන්න ලැබීම ගැන අසංක ආටිගල මහත්මයාට බොහොමයක් ස්තුතියි! (නි)
ආනන්ද Thursday, 23 June 2016 11:47 PM
එරන්දතී නාග කන්‍යාවට සහ පුර්ණක යක්ෂ සේනාධිපතියාට දාව උපන්නේ දැඩිමුණ්ඩ දෙවියන් බව ඉතිහාසය කියන බව අසා තිබෙනවා (නි)
ලක්ශිකා මදුශානි Sunday, 19 May 2019 05:30 PM
ගොඩක් දේවල් කියලා තීයනවා ඒත් මන් කවදාවත් නොදැකපු දෙවියන් විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්නේ බුදු දහම විතරයි. මේක මගේ මතය මන් දන්නේ නෑ අනිත් අය ගැන නම් කරදරයක් උන වෙලාවට පේන්න ඇවිත් මිනිස්සුන්ට උදව් කරනවනම් මන් විශ්වාස කරනවා. හැම දේටම තමන්ගේ හිත තමයි.
විදුWednesday, 28 April 2021 09:53 AM
ඔබ දෙවියන්ව විශ්වාස කරන්නෙ නෑ කියන්නෙ බුදු දහම විශ්වාස කරන්නෙ නෑ කියන එකයි.. හේතුවා...බුදු දහමේ දිව්‍ය ලෝක හයක් ගැන විස්තර කරනවා සහ බුදු දහම තුළ නිතරම දෙව් මිනිස් සැප ගැන සහ දෙවි දේවතාවුන් ගැන සදහන් වෙනවා..ඔබ දෙවියන්ව විශ්වාසයක් නෑ කියන්මෙ දිව්‍ය ලෝකය පිළිබඳව විශ්වාසයක් නැ කියන එක..දිව්‍යලෝක විශ්වාස කරන්නේ නෑ කියන්නෙ..බුදබුදුරජාණන්වහන්සේ දේශනා කරපු ධර්මය විශ්වාස කරන්නෙ නැ කියන එක... ඉතින් ඔබ බුදු දහම විශ්වාස කරනවා කිව්වට..ඇත්තටම බුදු දහම විශ්වාස කරනවද කියලා ඔබම සිතාබලන්න..ඇත්තටම එහෙම බැලුවොත් ඔබ ඉන්නෙ මිත්‍යදෘශ්ටියක... තෙරුවන් සරණයි..