IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහත්මා දේශපාලනයේ නොමියෙන නාමය දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ

දේශපාලන පිටියේ කරණම් ගැසූ අතීත දේශපාලකයන් ගැන කරුණු හදාරද්දී මහත්මා දේශපාලනයේ සුවිශේෂ චරිතයක් වන්නේ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහයි. අතීත දේශපාලන සටහන් පිරික්සීමේදී එස්.ඒ. වික‍්‍රමසිංහයන්, ‘ද්‍රෝහියකු’ ලෙස පරිභවයට ලක් කළ හෝ ඔහු අවමනට ලක් කළ සටහනක් සොයා ගැනීමට අපහසුය. 1931 වසරේදී මොරවක පැවති ඡුන්ද රැස්වීමකදී ජාතියේ පියා වූ ඞී.ඇස්. සේනානායකයන් මෙවැනි ප‍්‍රකාශයක් කර ඇත.
‘‘නෝනාවරුනි මහත්වරුනි, මේ වික‍්‍රමසිංහ දොස්තර උන්නැහේ රට විනාශ කරන්න විෂ ධර්මයක් පතුරුවන්නැයි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා ඒ මහත්තයාට ආදරේ නම් රටට ආදරේ නම් කරන්න  ඕනෑ දොස්තර මහත්තයා මහජන ඡුන්දෙන් පරාද කරල හිටං දොස්තර මහත්තයට තමන්ගේ රක්‍ෂාව හොඳින් කරගෙන ඉන්න ඉඩ දෙන එකයි.’’ නමුත් සිදුවූයේ කුමක්ද?

ජාතියේ පියාගේ රෙකමදාරුව ප‍්‍රතික්ෂේප කළා. රටටත් වික‍්‍රමසිංහ දොස්තරටත් එකසේ ආදරය කළ මොරවක ජනතාව ඔහුට ජය අත්කර දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට යැවුවේය. සුගීශ්වර අබේවර්ධන වික‍්‍රමසිංහ නොහොත් එස්.ඒ. වික‍්‍රමසිංහ උපන්නේ 1901 අපේ‍්‍රල් 13 වැනිදා මුළු රටම අවුරුදු සිරියෙන් ඔකඳ වෙමින් පවතිද්දී ය. ඔහුගේ උපන් ගම අතුරලිය විය. ගාල්ලේ මහින්ද විද්‍යාලයේත් කොළඹ ආනන්ද මහා විද්‍යාලයේත් ඉගෙනුම ලැබූ සුගීශ්වර ගැටයා පසුව වෛද්‍ය විද්‍යාලයට බැඳුණි. අධිරාජ්‍ය විරෝධියකු වූ සුගීශ්වරට වෛද්‍ය විද්‍යාලය සිත්ගත් තැනක් නොවීය. අලූත් සිසුන්ට සමච්චල් කිරීමත් හතර ගාතෙන් වැටෙන තුරු බීගෙන නැටීමත් සුගීශ්වර පිළිකෙව් කරන්නට විය. ඔහු ‘ගොඩයකු’ ලෙස වෛද්‍ය විද්‍යාලයේ හංවඩු ගැසුණු මුත් තම මතය වෙනස් කළේ සුගීශ්වර නොවේ.
දොස්තරවරයකු ලෙස සිය දැනුම පුළුල් කර ගැනීමට වික‍්‍රමසිංහ මහතා එංගලන්තයට යන්නට ලැබෙන්නේ මේ අතරය. වෛද්‍ය විද්‍යාවම ප‍්‍රගුණ කළත් වික‍්‍රමසිංහයන්ගේ සිත තිබුණේ එංගලන්තයේ ප‍්‍රගතිශීලි ව්‍යාපාරයේ ය. පිලිප්, ඇන්.ඇම්., ලෙස්ලි මුල් වරට ඔහුට මුණගැහෙන්නේ එංලන්තයේදී ය. මේ වන විට එංගලන්තයේ රහස් පොලිසියේ සුද්දන්ට ද වාමාංශික ව්‍යාපාරයේ නියුතු මේ ‘වික‍්‍රමසිංහ නමැති කළුවා’ ගැන ඉව වැටී හමාරය. වෛද්‍ය විද්‍යාලයේ උගන්නා අතර පවා රහස් පොලිසිය පැමිණ ‘කළුවා’ ගැන නිතර විපරම් කළේ ඒ නිසාමය.

සුද්දන් වික‍්‍රමසිංහ ගැන සිටියේ දැඩි ඊර්ෂ්‍යාවෙන් ය. ඊට හේතු වූයේ වෛද්‍ය විද්‍යාව ඉගෙනීම කෙරෙහි වික‍්‍රමසිංහ දැක්වූ නිපුනතාවයයි. වාමාංශික වැඩ වල මෙතරම් නිරත වෙද්දීත් ඉගෙනීමේ කටයුතු අතපසු කොට නොගන්නා ‘වික‍්‍රමසිංහ කළුවා’ සුද්දන් මවිතයට පත් කරන්නට විය.

රුසියාවේ සමාජවාදී ව්‍යාපාරය දෙස වික‍්‍රමසිංහයන් නොදැනුවත්වම ඇදී යන්නේ මේ වකවානුවේය. ඔහු රුසියාව සමඟ සම්බන්ධයක්ද ඇති කරගත්තේ රුසියාවත් එංගලන්තයත් අතර තානාපති සම්බන්ධකම් වත් නොතිබුණු ඈත අතීතයකදී ය. වික‍්‍රමසිංහ ගැන පැහැදුණු රුසියාවේ කොමියුනිස්ට් තරුණ සංවිධානයක් වික‍්‍රමසිංහට රුසියාවට එන ලෙස ඇරයුම් කළේ මේ ඇයි හොඳැයිය වැඩි දුර ගිය නිසාය.

ප‍්‍රාග් නගරය කරා ගමන්ගත් වික‍්‍රමසිංහ සුද්දන්ගෙන් නොයෙකුත් තර්ජන ගලා එන්නට විය. නමුත් ගමන නැවැත්වූයේ වික‍්‍රමසිංහ නොවේ. සුද්දන්ගේ අවසන් අනතුරු ඇඟවීම නිකුත් විය. රුසියාවට ගියහොත් සුද්දන් පාලනය කරන ‘සිලෝන්’ එකට ආපසු නැව් නැගීමට ඉඩ නොදෙන බව ඉන් කියැවිණි. අවසානයේ යුරෝපයේ රටවල් කීපයකටත් ඉන්දියාවටත් පමණක් වික‍්‍රමසිංහගේ සංචාරය සීමාවිය.

මේ වන විට කොමියුනිස්ට් විප්ලවවාදියකු ලෙස සුද්දන් හැඳින්වූ වික‍්‍රමසිංහ සුද්දන්ගේම පාලනය යටතේ පැවති ඉන්දියාවට එන විට එරටේ සියලූ කොමියුනිස්ට් නායකයන් හිර බාරයේය. ඔවුන් සියල්ල සිරගත කර සිටියේ ‘මීරුටී’ නගරයේය. ඉන්දීය කොමියුනිස්ට් නායකයන් දැකගන්නවා තබා ‘මීරුටි’ නගරය පැත්තට යන්නටවත් සුද්දන් ඉඩ දුන්නේ නැත.

ඉන්දියාවේදි වික‍්‍රමසිංහට ඇසුරට  ඕනෑ තරම් ලංවුනේ රහස් පොලිස් කාරයන්ය. ගාන්ධි, මෝතිලාල්, ජවහර්ලාල් නේරු මෙන්ම තාගෝර් තුමාගේද ඇසුරට වැටුණු වික‍්‍රමසිංහයන් ඉන්දීය ජාතික සටනට උර දෙන්නට පසුබට වූයේ නැත.

‘‘ඩොක්ටර් එස්.ඒ. වික‍්‍රමසිංහ ලෙස ආපසු ලංකාවට ආ ඔහු වටා රහස් පොලිසිය දිවා ? තනි රැක්කේ ඔහු ‘භයානක මිනිසකු’ ලෙස සලකාය. වික‍්‍රමසිංහයන්ට රක්‍ෂාවක් දීමට කිසිදු රෝහලක් කැමති වනවා තබා සමහර ‘නීතිගරුක’ නෑදැයන්ගේ ගෙවල්වල දොරවල් ද ඔහුට විවෘත නොවීය.

සියලූ වැර යොදා කොළඹ මහ රෝහලේ දොස්තරවරයකු ලෙස පත්වීමක් ලබා ගන්නට අවසානයේ වික‍්‍රමසිංහයන් සමත් විය. අනෙක් දොස්තරලාට වික‍්‍රමසිංහ මහා කරදරකාරයකු විය. පැයකට රෝගීන් සිය ගණනකට බේත් කරන දොස්තරලාට වික‍්‍රමසිංහයන් ‘ගොඬේ දොස්තර’ විය. ගෙවන වාට්ටුවල රෝගීන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වුවත් වික‍්‍රමසිංහ දොස්තර මහතා වැඩි සැලකිල්ලක් දැක්වූයේ සාමාන්‍ය වාට්ටුවල ඇඳක් වත් නැතිව වැතිර සිටින අසරණ රෝගින් ගැනය. ඔහු එක එක ලෙඩා ගැන බැලීම පිණිස වැඩි වේලාවක් ගත්තේ අනික් දොස්තරලා තම වැඩ මුරය නිමවා දත්මිටි කමින් තමා දෙස ඔරවා බලත්දීය. අන්තිම ලෙඩාත් බලා අවසන් වන විට ඇතැම් දිනවල මැදියම් රැයත් පහුවුණු අවස්ථා එමටය. නමුත් ඔහු කිසිදු අතිකාල දීමනාවක් ඉල්ලූවේ නැත. රෝහල් පාලනයට අනෙක් දොස්තරලාගෙන් ‘වික‍්‍රමසිංහ’ ගැන මාස් පඩිකාර දොස්තරලාගෙන් පැමිණිලි ගලා එත්දී රෝහල් පාලනය ඔහු සේවයෙන් පහ කරන බවට තර්ජනය කරන්නට විය.

වික‍්‍රමසිංහයන් සිතු පරිදිම ‘දොස්තරලා’  ඕනෑවටත් වැඩි බැව් යන පදනම මත දොස්තරවරු 13 දෙනෙක් සේවයෙන් නෙරපන ලදී. වික‍්‍රමසිංහ පන්නා ගැනීමට කළ මේ උප්පරවැට්ටිය පසුව හෙළිවුණේ ඉතිරි දොස්තරවරු 12 දෙනාම හීන් සීරුවේ ටික දිනකින් සේවයට වාර්තා කළ නිසාය.

මහ රෝහලට ආයුබෝවන් කීවද දොස්තර කමට ආයුබෝවන් කීමට ගියේ වික‍්‍රමසිංහයන් නොවේ. මාතර ගොස් බෙහෙත් ශාලාවක් පටන්ගත් ඔහු තම දේශපාලන කටයුතු තවතවත් පුළුල් කරමින් පොදු මහජනතාව අතරට යන්නට විය. වික‍්‍රමසිංහ දොස්තර මහතාගෙන් ප‍්‍රතිකාර ගන්නට ආ කිසිම රෝගියකු ‘මුදල් නැතිකම’ නිසා හිස් අතින් ගෙදර ගියේ නැත.

වික‍්‍රමසිංහ දොස්තර මහතාගේ බේත් සාප්පුවට මාතර කෝට්ටගොඩ සිට අසාධ්‍ය රෝගයකින් පෙලූණු තරුණයකු ගෙන ආ විටෙක කේ.පී. සිල්වා ද එහි විය. කොළඹ මහරෝහලට ගෙන යාමටවත් වේලාවක් නැතිව රෝගියා මරණාසන්නව සිටියදී වික‍්‍රමසිංහ දොස්තර මහතා ‘නන්දසිරි’ නම් වූ මේ රෝගියා දැඩි ලෙස පරීක්‍ෂාකොට බෙහෙත් දී සුවපත් කරන්නට විය. මේ රෝගියා සුවපත්ව 1988 භීෂණ සමය නිර්මාණය කොට වික‍්‍රමසිංහ දොස්තර මහතාම නියෝජනය කළ සමසමාජ පක්‍ෂයේත්, කොමියුන්ස්ට් පක්‍ෂයේත් සාමාජිකයන් සිය ගණනකට මරණ වරෙන්තු නිකුත් කොට මරා දමන්නට විය. වික‍්‍රමසිංහ දොස්තර මහතාම සුවකළ රෝගියකු ඔහුගේම පක්‍ෂයේ සාමාජිකයන් මරා දැමීම දෛවයේ සරදමක් විය.

විජය කුමාරතුංගගේ ගුණ සමරුවකදී කතා කළ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් කේ.පී. සිල්වා පවසා සිටියේ දොස්තර වික‍්‍රමසිංහ ‘නන්දසිරි’ නම් රෝගියාට ප‍්‍රතිකාර නොකළේ නම් විජය කුමාරතුංග අදත් ජීවතුන් අතර බවය. නන්දසිරි නම් වූ මේ පුද්ගලයාගේ සම්පූර්ණ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීරය.

‘‘සූරියමල්’’ ව්‍යාපාරය බිහිවන්නේ මේ අතරය. එය ඇරඹුනේ යුද්ධයට ආධාර වශයෙන් පැවැත්වුණු පොපිමල් ව්‍යාපාරයට එරෙහිවය. මල ‘සූරිය’ වුවත් එය යටත් විජිත පාලකයින්ගේ ඇස්වලට කටු අනින්නාක් විය. සූරියමල් ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ දොස්තර වික‍්‍රමසිංහ ‘ලංකා සමසමාජ පක්‍ෂය’ ආරම්භයට තරම් එය පදනම වනවා යයි සිතුවේ නැත වික‍්‍රමසිංහ දොස්තර මහතා දිනක් ප‍්‍රතිකාර කරමින් සිටින විට 200ක පමණ පොලිස් බලඇනියක් බේත් සාප්පුව වටලන්නට විය. යකඩ සපත්තු, යකඩ තොප්පි දාගත් පොලිස් කාරයින් බයිනෙත්තු අතැතිව මහා කලබැගෑනියක් කරන්නට විය.

‘‘එකෙක් වත් හෙල්ලෙන්න එපා’’! බේත් ගැනීමට කොරිඩෝවේ වාඩි වී සිටි දුප්පත් ගැමියන්ට පොලිස් ලොක්කාගෙන් විධානයක් නිකුත් විය. ගල් ගැසී සිටි ජනතාව හෙල්ලෙනවා තබා ඇහිපිල්ලන් ගහන්නටවත් සිහි නැති තත්වයේ විය. පොලිස් ලොක්කා සැනෙකින් දොස්තර වික‍්‍රමසිංහට මාංචු දමා චෝදනා පත‍්‍රයක්ද කියවන්නට විය.

‘‘අධිරාජ්‍ය වැඩ කිරීම, රටේ සාමය කඩවන අන්දමේ වැඩ කිරීම ආදි චෝදනා ගණනාවක් කියූ පොලිස් ලොක්කා තමා එවේලේම සිරගෙදර කරා ගෙන යන බව දැනුම් දෙන්නට විය. සිද්ධියෙන් ගල් ගැසී ගිය රෝගීන් කම්පා වන්නට විය.‘‘අනේ අපේ දොස්තර මහත්තයව අල්ලන් යන්නද මේ තරම් යුද සේනාවක් ආවේ. නිකං ඇවිල්ල අඬගැහැව්ව නම් දොස්තර මහත්තයව නිකම්ම එක්කං යන්න තිබුණා නෙවීද? මහලූ ස්ත‍්‍රියක් විස්සෝප තබන්නට වූවාය.

හිරගෙදරදී බලධාරීන් මේ විප්ලවාදියාට දුන් මුල්ම රාජකාරිය වැසිකිළි සේදීමයි. නමුත් ඔහුගේ වටිනාකම දත් අනෙක් සිරකරුවෝ හැකි හැමවිටම දොස්තර මහතාගේ කොටසද බාරගෙන කටයුතු කරන්නට වූහ.

1967 දී පළ කළ පුවත්පතක පළ කළ ලිපියක වික‍්‍රමසිංහයන් හඳුන්වා ඇත්තේ මෙසේය.

‘‘වැසිකිළි සේදීම ගැන උපදෙස් දීමට අනෙක් බොහෝ දොස්තරවරුන්ට වඩා සුදුසුකම් වික‍්‍රමසිංහ දොස්තර මහතාට තිබේ. ඔහු වැසිකිළි සේදීම ගැන මනා පළපුරුද්දක් ඇත්තෙකි. ඒ එසේ මෙසේ වැසිකිළි නොවේ. වැලිකඩ හිරගෙදර හිරකරුවන් දහස් ගණන් පාවිච්චි කළ වැසිකිළිය.’’

දොස්තර වික‍්‍රමසිංහයන් වැලිකඩ හිරගෙදර දී පවා තම වෛද්‍ය වෘත්තිය අමතක කළේ නැත. ඔහු එහිදී ‘පරෙවියන් ගැන කළ පරීක්‍ෂණය’ යටත් විජිත ලේකම්වරයාගේ තනතුර පවා දෙදරුම් කන්නට හේතු විය.

හිරගෙදර පරෙවියන් හිටිහැටියේ තටු පණ නැතිව බිම වැටීම හිරකාර වික‍්‍රමසිංහ දොස්තරට ප‍්‍රශ්නයක් විය. ඔහු හොර රහසේ ඒ ගැන පර්යේෂණයක් කරන්නට විය. පරෙවියන් කෑවෙත් හිරකරුවන් ඉවතලන කෑමමය. එම ආහාර නිසරු සහ ජීව පදාර්ථ හීන ආහාර බැවින් පරෙවියන් මේ රෝගී තත්ත්වයට පත්වන බවට වාර්තාවක් සාක්ෂි ඇතිව දොස්තර වික‍්‍රමසිංහයන් සකසන්නට විය. දොස්තර මහතාගේ මිතුරකු වූ එවකට මංත‍්‍රිවරයකු වූ ගැලකර් මහතා එය එංගලන්තයට යැවීමට පියවර ගත් අතර එංගලන්ත ආණ්ඩුව වාර්තාව බලා කලබලයට පත්ව ලංකාවේ හිරකරුවන් ගැන වහා සොයන්නට අණක් නිකුත් කළේය. ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් හිරකරුවන් ගැන ඉන්පසු පරීක්‍ෂණයකින් සොයා ගත්තේ ඇතැම් සිරකරුවන්ට අංශභාගය පවා වැළඳෙන්නේ මේ නිසරු ජීව පදාර්ථ හිඟ ආහාර නිසා බවය.

ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භයකු වූ දොස්තර වික‍්‍රමසිංහත් පක්‍ෂයත් අතර ඇතිවූ මත ගැටුමක් මත පක්‍ෂය පිහිටුවා වසර 4ක් යන විට ඔහු පක්‍ෂයෙන් නෙරපා හරින ලදී. ඒ 1939 දී ය. ඊට වසර 4කට පසු ඔහු 1943 දී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී.

දොස්තර වික‍්‍රමසිංහ ආදරය හඳුනන පේ‍්‍රමවන්තයකු ද විය. ඔහුට තම පෙම්වතිය මුණ ගැසුණේ එංගලන්තයේ ප‍්‍රගතිශීලී කටයුතු වල නියැලෙමින් සිටියදී ය. වෙද නළාව ඇගේ පපුවට තබා ඇගේ හදගැස්ම දොස්තර වික‍්‍රමසිංහ හොඳ හැටි හඳුනාගන්නට ඇත.

ඩොරින් යං නම් වූ මේ සුදු තරුණිය පසුව ලංකාවට පැමිණ බාලිකා විද්‍යාල කීපයක අධිපති කමටද පත් වූවාය. ඩොරින් යං ටික කලක් යන විට දොස්තර වික‍්‍රමසිංහ සමඟ විවාහ ලේකම් ඉදිරියේ අත්සන් කොට ඩොරින් වික‍්‍රමසිංහ ලෙස තම ජීවිතයේ විප්ලවයක් ඇතිකර ගත්තාය.

කොමියුනිස්ට් වාදයටත්, දොස්තර කමටත් මංතී‍්‍ර කටමත් වඩා ‘පිස්සුවක්’ ඔහුට තිබුණු බව ඉපැරණි හැන්සාඞ් වාර්තා කියවීමේදී පෙනී යයි. එපැරණි හැන්සාඞ් වාර්තාවල ජල විදුලිය ගැන යන්තම් හෝ ප‍්‍රශ්නයක් මතු වූ විට අනිවාර්යයෙන්ම නැගී සිටින පුද්ගලයා අකුරැස්ස මංත‍්‍රී එස්.ඒ. වික‍්‍රමසිංහය. ඔහුගේ මේ ‘ජල පිස්සුව’ කෙතරම් බලවත් වීද යත් ජලවිදුලිය අතින් මුළු ලංකාවම ස්වයංපෝෂිත කොට සශ‍්‍රික කරලීමට ඔහු දුටු සිහිනය අද වඩාත් ප‍්‍රායෝගික වී ඇත්තේ අද අප රට දැවැන්ත විදුලිබල අර්බුදයක පැටලී සිටින නිසාය.

ලංකාවේ දේශපාලන චරිත අතර එස්.ඒ. වික‍්‍රමසිංහ නාමය විශිෂ්ට තැනක් හිමි කරගෙන ඇත්තා සේම ඔහුගේ මහත්මා ගතිගුණත් කාරුණික භාවයත් ගැන ඉතිහාසය අදත් සාක්ෂි දරයි.

 

වජිර ලියනගේ ලියයි

 



අදහස් (0)

මහත්මා දේශපාලනයේ නොමියෙන නාමය දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ

උපාලි Tuesday, 04 June 2013 07:36 AM

දොස්තර වික‍්‍රමසිංහයන්ගේ මහත්මා ගතිගුණත් සහ කාරුණිකභාවයත් මහත්මා දේශපාලනයේ විප්ලවයක් වීය.අද අප රටට නැත්තේද එවන් මහත්වරුය. (නි)

:       0       0

වජ්ජා Monday, 03 June 2013 05:59 PM

සැබවින්ම ඔහු උතුම්, ගුණගරුක මනුස්සයෙකි. මාක්ස්වාදය නාමයෙන් පෙනී සිටින ඇත්තන් ආදර්ශයට ගත යුතු උතුම් චරිතයකි. අද ඉන්න අය කීයෙන් කීදෙනාද මේ වගේ දේශපාලනඥයන් ගැන අහලවත් තියෙන්නේ? එහෙව්කොට, මේ රටේ කොහොමද මහත්මා දේශපාලනයක් ඇති වෙන්නේ? (නි)

:       0       0

මොහමඩ් Monday, 03 June 2013 09:41 PM

දැන් කොයින්ද මහත්මා දේශපාලනය කරන ඇත්තෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 664 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1155 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 148 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 395 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 565 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 931 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site