IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යුක්තිධර්මයට අමතක වූ සුලක්ෂන් සහ කජන්

තරිදු ජයවර්ධන

‘යතුරු පැදි අනතුරෙන් යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු මරුට‘

2015 ඔක්තෝබර් 21 වැනි දා උදෑසන සිංහල සහ දෙමළ වෙබ් අඩවි , ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා රැසක් වාර්තා කළේ පොලිසිය උපුටා දක්වමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් දෛනිකව එවන මාධ්‍ය වාර්තාවල ද සුපුරුදු පරිදි   එය සඳහන් කර තිබිණි.

පොලිසිය ප්‍රකාශ කළ ආකාරයට අනුව අනතුරින් මිය ගොස් තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනෙකි. ඔක්තෝබර් 20 වැනි දා රාත්‍රී බීමතින් අධික වේගයෙන් ගිය සිසුන් දෙදෙනා පොලිසියට අනුව මිය ගොස් තිබුණේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන බිත්තියක වැදීමෙනි.

පශ්චාත් මරණ පරීක්ෂණයකටත් පෙර සිසුන් දෙදෙනා බීමතින් සිට ඇති බව පොලිසිය කීවේ කෙසේද? කිහිප දෙනකුට පමණක් එය ප්‍රශ්නයක් විය. අනෙක් එය ඒ ගැන වැඩිදුර හිතන්නට ගියේ නැත.

 යාපනයේ සිට චුන්නාකම් දෙසට යන මාර්ගයේ කොක්විල්හි  කුලප්පිට්ටිහිදී මෙම සිදුවීම සිදුවී ඇති අතර සිද්ධිය වූ රාත්‍රියේ වෙඩි ශබ්දයක් ඇසුණු බව ඔක්තෝබර් 21 වැනි දා දහවල් වෙද්දී කතාවක් පැතිර ගියේය. පොලිසියේ උසස් නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර අධිකරණයට ද කරුණු වාර්තා කෙරිණි. ඒ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව කියමිනි. එහෙත් වෙඩි හඬ ගැන කතා  පොලිසිය ගණනකට ගත්තේ නැත.

යාපනය රෝහලේ දී මේ දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ මතයත් සමඟ සියල්ල කණපිට හැරිණි.

සිසුන් දෙදෙනාට වෙඩි වැදී ඇතැයි අනාවරණය වීමත් සමඟ සරසවි සිසුහු සහ ප්‍රදේශවාසීහු කළබල වූහ. විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාට ද ඒ බව දැනුම් දුන් අතර විපක්ෂනායකවරයා ඒ වන විට සිටියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ උත්සවයකට සහභාගී වෙමිනි. සම්බන්දන් මහතා සිද්ධිය ගැන ජනපතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ඇතුළු බලධාරීන්ට ඒ ගැන දන්වන ලදී.

පොලිසියේ රෙදි ගැලවීගෙන එන බව දැනගත් රජය මෙම පරීක්ෂණ වහා රහස් පොලිසියට පවරන ලෙස දැන්වීය. ඒ අනුව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ රහස් පොලිසියට බාර දෙනු ලැබීමෙන් පසු විශේෂ කණ්ඩායමක් යාපනයට ගොස් විමර්ශන ආරම්භ කළේය.

යාපනය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට පත් වූයේ ඒ අනුවය.

මෙය රිය අනතුරක් බවට පොලිසිය මුලින්ම මාධ්‍ය නිවේදන නිකුත් කර තිබූ නිසා මෙම සිදුවීම ගැන තවදුරටත් මාධ්‍ය නිවේදන නොයවන ලෙස පොලිසියට උපදෙස් දුන් රජය පොලිසියේ පස් දෙනකු අත්අඩංගුවට ගත් පුවත මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහාය.

ඉන් පසු කතාව වෙනස් විය.

‘බීලා නවත්වන්නේ නැතිව බයික් එකේ යද්දි වෙඩි තිබ්බා.‘ පොලිසියේම සමහරු මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. ලංකාවේ දැන් හදිසි නීතිය නැති නිසා බීලා නොනවත්වා ගියත් වෙඩි තැබිය නොහැකි බව ඇතැම් විට එම කට කතා පතුරන උදවිය දැන සිටින්නට නැත. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද පොලිසිය සුද්ධ කරමින් කතා කිරීම   බොහෝ දෙනකුගේ විවේචනයට ලක් විය.

පොලිසිය සහ තවත් සමහරු එක්ව ගොතන ලද එම බොරුවද ව්‍යර්ථ වූ තැන සිසුන් දෙදෙනා  ‘මැරයන්‘ යැයි කීමට  උත්සාහ කෙරිණි.

 තම හිතවතුන් ලවා පොලිසිය ප්‍රචාර යවන්නට පටන් ගත්තේය. සිසුන් ගියේ සිලින්ඩර් ධාරිතාව 1000ක් වූ  යතුරු පැදියකින් බවත්, යාපනයේ ‘ආවා‘ කල්ලියට ද විදෙස් ගත දෙමළ ප්‍රජාවගෙන් එවැනි යතුරු පැදි ලැබී ඇති බවත්, එම යතුරු පැදි උපයෝගී කරගෙන තරුණයන් මැර ක්‍රියා  කරන බවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණ. එමගින් මෙම ඝාතන සාධාරණී කරණය කිරීමට උත්සාහ කළේය.

 

 ටික කාලයකට පෙර පාඨලී චම්පික රණවක මහතාගේ   වාහනයේ ද මෙවැනි අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදියක් හැප්පී තිබුණු අතර එම අවස්ථාවේ සියලු දෙනාම ඇඟිල්ල දිගු කළේ එම අනවසර යතුරු පැදිය පදවාගෙන ගිය පිරිසට නොව ඇමැති රණවක දෙසටය. උතුරේ සිදුවීමේදී එය කණපිට හැරුණේ ‘කන්න ඕනා වුණාම කබර ගොයත් තලගොයා වෙනවා.‘ යන කියමන මතක් කරමිනි.

පොලිසියේ   ප්‍රචාරයට කිසිදු සොයා බැලීමකින් තොරව අත්තටු ලැබී තිබිණ. සිසුන් දෙදෙනා ගොස් තිබුණේ අධිබල යතුරු පැදියකින් නොව සිලින්ඩර ධාරිතාව 100 වර්ගයේ සාමාන්‍ය යතුරු පැදියකිනි. සිසුන් ගමන් ගත් යතුරු පැදියේ ඡායාරූප සමාජ ජාල ඔස්සේ ඉදිරිපත් කිරීමත් සමඟ සමාජ ගත කරන්නට ගිය  වැරදි මතයද වෙනස් විය.

පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන්   සහ එම විශ්ව විද්‍යාලයේම ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබමින් සිටි විජයකුමාර් සුලක්ෂන්   සිසුවාය. කජන් පදිංචිව සිටියේ කිලිනොච්චියේ වන අතර සුලක්ෂන් පදිංචිව සිටියේ චුන්නාකම් ප්‍රදේශයේය. ඔවුන් දෙදෙනාම සාමාජ ක්‍රියාකාරීහු ලෙස ද ප්‍රසිද්ධව සිටියහ.

යාපනයේ පැවැති සාදයකට ගොස් යළි චුන්නාකම්හි සුලක්ෂන්ගේ නිවසට යන අතරතුර එල්ල වූ පොලිස් වෙඩි පහරින් ඔවුන් මියගොස් තිබිණි. පළමුව පොලිසිය  කීවේ අහසට වෙඩි තැබූ බවයි. ඊළඟට කීවේ පළා යද්දි වෙඩි තැබූ බවයි. නමුත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගැනුණේ යතුරු පැදිය පදවාගෙන ගිය සුලක්ෂන්ගේ ඉදිරිපසින් වෙඩි උණ්ඩය ඇතුළු වී ඇති බවයි. ඒ අනුව කළ විමර්ශන වලදී අනාවරණය වූයේ වාහනයක බොනට්ටුවක් මතට නැග මෙම වෙඩි තැබීම   කර ඇති බවයි.

යුද්ධය නිමා වී වසර හතකට පමණ පසු යළිත් උතුරේ තුවක්කු පත්තුවීම ගැන සොයා බැලීමට ගිය අවස්ථාවේදී චුන්නාකම්හි පිහිටි සුලක්ෂන්ගේ නිවසේ ඔහුගේ මව බේබිනායකී හඬමින් සිටියාය.

‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඇයි මගේ අහිංසක පුතාට මෙහෙම කළේ  ? ඇයි මේ අපරාධය කළේ?‘ යැයි   විජය කුමාර් සුලක්ෂන් සිසුවාගේ මව විජයකුමාර් බේබිනායකී මහත්මිය හැඬූ කඳුලින් ප්‍රශ්න කළාය.

සුලක්ෂන්ගේ දේහය ළඟට වී හඬා වැළපෙමින් සිටි ඔහුගේ මව බේබිනායකී මෙසේ ද කීවාය.

‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයෙක්. අපට සිකුරාදා (21) පාන්දර දෙකට විතර දුරකතන ඇමතුමක් ආවා පුතා ඇක්සිඩන්ට් වෙලා කියලා. අපි රෝහලට ගියා. සිකියුරිටිගෙන් ඇහුවාම පුතා කෝ කියලා මෝචරිය පෙන්නුවා. වටේ හිටපු අය කිව්වා එයාට බෙහෙත් කරනවා ඔයාලා ගෙදර යන්න කියලා. අපට බය නැතිව ඉන්න කිව්වා. ඉන් පස්සේ උදේ මහත්තයා කතා කරලයි කිව්වේ පුතා නැති වෙලා කියලා. මගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙමයි. හොඳ ළමයෙක්. මට මගේ පුතා ගෙනත් දෙන්න කියන්න. වෙන මොනවත් ඕන නෑ. ‘ යැයි බේබිනායකී එදා කීවාය.

සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන සහෝදරයෝ දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.

සුලක්ෂන් රඟපෑමට හා කථිකත්වයට දක්ෂ බව ඔහුගේ මිතුරෝ සහ සහෝදරයෝ කියති. 2015 පැවැති යාපනයේ චිත්‍රපට තරගයෙන්  ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ද වීරයාට රගපෑවේ සුලක්ෂන්ය.

ඔහුගේ ළඟම මිතුරෙක් සුලක්ෂන් ගැන මෙසේ කීවේය. (නම හෙළි කිරීමට අකමැති නිසා නම සදහන් නොකරමු.)

‘සුලක්ෂන් හැමෝම එක්ක හොදින් මිත්‍රශීලීව සිටි පුද්ගලයෙක්. සුලක්ෂන් කිව්වාම මේ පැත්තේ හැමෝම දන්නවා. සුලක්ෂන් කිව්වාම විශ්ව විද්‍යාලයේ හැමෝම දන්නවා. රගපෑමට දක්ෂයි. හොද කථිකත්වයක් තියෙනවා. කවි ලියන්න පුළුවන්. හැම දේකටම දක්ෂයි.

ඔහු රිය අනතුරකට ලක් වූ බව අපට ආරංචි වුණේ පාන්දර දෙකට විතර. අපි ගියාම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. ඔහු මිය ගිය බව දන්නේ ජනමාධ්‍යවලින්. ඔහුට වෙඩි තියලා කියලා මරණ පරීක්ෂණයේදී කිව්වා. පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න? පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද? මේ මරණ දෙකම අපට සැකයි.‘‘ යැයි මිතුරා කීවේය.

(ඡායාරූපය සුලක්ෂන් රඟපෑ කෙටි චිත්‍රපටයකිනි)

සුලක්ෂන්ගේ අවසන් කටයුතු 2016 ඔක්තෝබර 24 වැනි සඳුදා දහවල් සිදු කෙරුණු අතර මහා ජනකායක් ඊට එක්විය. ඊට පෙර දින එනම් 23 වැනි දා කජන්ගේ අවසන් කටයුතු සිදු කෙරිණි.

සුලක්ෂන් සහ කජන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ඒ දිනවල බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්විණි. මාධ්‍ය සාකච්ඡා පැවැත්විණි.

පොලිස් වෙඩි පහරින් සිසුන් දෙදෙනා මිය ගොස් අදට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් බාරයේ සිටි පොලිසියේ පස් දෙනා මීට මාසයකට පමණ පෙර ඇප පිට මුදා හරිනු ලැබිණි.

මෙම අපරාධය රිය අනතුරක් ලෙස වෙනස් කිරීමට දායක වූ පොලිස් ලොක්කන් තවමත් නිදැල්ලේය. බොරු තොරතුරු මුදා හරිමින් ගැටළු ඇති කිරීමට උත්සාහ කළවුන්ට ද වගේ වගක් නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ ගැන කළ පැමිණිලි වලට සිදුවූ දෙයක් ද නැත.

එක සිදුවීමකි. කරුණු දෙකකි. සුලක්ෂන්ගේ හා කජන්ගේ දෙමාපියන්ට දරු දෙදෙනා අහිමි විය. එදා සාධාරණය වෙනුවෙන් පෙනී සිටි දහස් ගණනක් දෙනාට වසරක් යද්දී  සුලක්ෂන් සහ කජන් අමතක වී තිබේ.

ප්‍රශ්නයක් අවසානයක් කරා යන්නට මත්තෙන් සමාජයට  එය අමතක වීමේ රෝගය තිබෙනතාක් කල් ආරක්ෂක අංශ අතින් මෙවැනි අපරාධ වනු ඇත. ඊට තවත් උදාහරණයක් මීට සති කිහිපයකට පෙර දිවුලපිටියෙන් වාර්තා විය. 

(ඡායාරූපයේ නිල් පැහැති කමිසයකින් සැරසී සිටින්නේ මිය ගිය සුලක්ෂන්ය. ඡායාරූපය ඔහු මිය යෑමට සති දෙකකට පමණ පෙර පැවැති උද්ඝෝෂණයකදී ගන්නා ලදී)

 



අදහස් (3)

යුක්තිධර්මයට අමතක වූ සුලක්ෂන් සහ කජන්

Madugith Friday, 20 October 2017 04:38 PM

ජාතිවාදය අවුස්සන ඔයගොල්ලෝ මේ දේවල් දාලා.... මේවගේ ඒවායින් වෙන්නේ ඩීල් මිනිස්සු යළි කෝලාහලේකට යොමුවන එකයි.

:       458       133

Perakum Saturday, 21 October 2017 01:59 AM

සුලක්ෂන් සහ කජන් වෙනුවෙන් යුක්තිය සාධාරණය හැකි ඉක්මණින් ඉටුවේවා...! අනපේක්ෂිත ලෙස පමා වීම් වැලකීමට රජය උනන්දුවේ යැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

:       27       159

bamunu Sunday, 22 October 2017 01:10 AM

මරුන අය මැරුණා අපේ මිනිස්සු මරණ කොට ඔය ශිවජිල ඔහොම කීවේ නැහැනේ. අපි ඕක අමතක කර දාමු.

:       551       627

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 39 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 160 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site