යාපනය අර්ධද්වීපය හරහා තල් අරඹ සිපිමින් හමා එන කටුක වූ සුළං රැල ගතේ විඩාව සංසිඳුවීමට යම් තරමකින් සමත්වීම සැනසීමකි. නමුත් හාත්පස ඇති අව් රශ්මිය තව දුරටත් අපේ නෙත් පවා විඩාවට පත්කරයි.
කදුරුගොඩ විහාරයේ නටබුන් වූ චෛත්‍ය |
සිය නිජභූමියක් උතුරු පළාතේ තිබූ බව පවසමින් එම කොටසේ පාලනය ලබා ගැනීමට බිහිසුණු යුද්ධයක පැටලී සිටි ත‍්‍රස්තවාදී කණ්ඩායම් අද එහි දක්නට නැතත් ඔවුන් කළ විනාශය තැන තැන තවමත් දක්නට ලැබෙයි. ප‍්‍රදේශයේ වේගවත් සංවර්ධනයක් ද සිදුවෙමින් පවතී.
මේ අප ගමන් කරමින් සිටින්නේ ශී‍්‍ර ලාංකීය ජන සමාජයේ අතීත උරුමය සොයා උතුරේ කරන තවත් එක් සංචාරයක් වෙනුවෙන් පමණක්ම නොවේ. එය උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුම ගවේෂණයේ මතුවූ අතීත ශී‍්‍ර විභූතිය නැවත ආවර්ජනය කරන්නා වූ සංචාරයකි.
මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘‘නම්පොත’’ හෙවත් ‘‘විහාර අස්න’’ යන ග‍්‍රන්ථයේ පුරාණ යාපා පටුනේ පිහිටි ‘‘කදුරුගොඩ විහාරය’’ නම් විහාරස්ථානයක් ගැන දක්වා ඇත. මගේ මතකයේ පරිදි එහි දැක්වෙන්නේ චූලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාව සමනය කළ බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ විසූ තැනක පසු කාලීනව කදුරුගොඩ විහාරය ඉදිකැර තිබූ බවයි.
වර්තමාන පුංකුඩුතිව් හෙවත් අතීතයේ ‘‘පුවනක්කු දිවයින’’ ලෙස හැඳින්වූ ස්ථානයේ වැඩවාසය කළ රහතන් වහන්සේලා හැට නමක් අපවත්වූ පසු එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදිකළ බවත් කදුරුගොඩ යනු එම පුදබිම බවත් වංශකතාවල දැක්වේ.
අතීත දඹකොළපටුනේ සිට අනුරාධපුර උතුරු දොරටුව දක්වා තන්හි තන්හි බෞද්ධ විහාරස්ථාන ඉදිකැර තිබූ බවත් කදුරුගොඩ ද එවැනි එක් ස්ථානයක් බවත් විශ්වාසයක් පවතී.
තිස් වසරක කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් උතුරු කරයේ තල් රුප්පාව අතරේ තවමත් සුරක්ෂිතව පවතින කදුරුගොඩ පුදබිම අද හඳුන්වන්නේ කන්දරෝදෙයි නමැති දෙමළ නාමයෙනි. පෘතුගීසීන්ගේ ලේඛණවල මෙම පුදබිම ‘‘කන්දර්කුඞ්ඩෙයි’’ ලෙස හඳුන්වා ඇත.
කදුරුගොඩ විහාරය රාජයතන චෛත්‍යය යනුවෙන් හැඳින්වූ බව ද මම අසා ඇත්තෙමි. පාලි භාෂාවේ ”රාජයතනං” යනුවෙන් හැඳින්වෙන්නේ කිරිපළු නම් නුග වෘක්ෂයයි. මේ ස්ථානයේ විශාල කිරිපළු ගසක් තිබූ බවත් ඒ හේතුවෙන් රාජයතන චෛත්‍යය ලෙස මේ පුදබිම හැඳින්වූ බවත් අතීත කතාවක එයි. එම කිරිපළු ගස අසල භාතිකතිස්ස හෙවත් භාතිය රජු (කි‍්‍රස්තු වර්ෂ 140-164) ධාතු මන්දිරයක් පිහිටවූ බවත් පසුව දෙවැනි අග්බෝ රජු හෙවත් කුඩා අග්බෝ (කි‍්‍රස්තු වර්ෂ 608-618) දිනපතා එහි ගොස් පුද පූජා කළ බවත් ඉතිහාස කතාන්තර අතර සඳහන් වේ.
කදුරුගොඩ ආසන්නයේ පිහිටි ගම්මානයක් අතීතයේ පින්වත්ත යනුවෙන් හැඳින්වූ බවත් එම පින්වත්ත යනු කුඩා අග්බෝ රජු ඉදිකරන ලද සංඝාවාසයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලාට දානය සැපයීමට වෙන්කැරුණු කුඹුරු යායකින් සමන්විත ගම්මානයක් බවත් කියැවේ. කදුරුගොඩ පුදබිම දැන් මගේ දෑස් ඉදිරිපිට විද්‍යාමානව ඇත. මෙතෙක් සිරිලක කිසිදු ස්ථානයකදී නෙත ගැටී නොමැති ආකාරයේ අමුතුම රටාවකින් එහි දාගැබ් රැසක් විසිරී තිබීම එහි යන සංචාරක නෙත් සිත් පැහැර ගැනීමට සමත්වන කරුණකි.
කදුරුගොඩ විහාරය නිසසලය. එහි තැන තැන පිහිටි කුඩා දාගැබ් සමූහයට විවිධ හානි සිදුව ඇත. ඇතැම් ඒවායේ කොත බිම පතිත වී තිබේ. තවත් ඒවා ධාතු ඝර්භය ගැඞී ගොස් ඇත. ඇතැම් ඒවායේ ඇත්තේ පාදම පමණි. තැන තැන ගල් කණු හා පාදම් ගල් ද පිහිටා ඇත. ගල්මල් , කොරල් ගල් ආදිය ද තැන තැන මතුව තිබෙනු දක්නට ලැබේ. දාගැබ් ගොඩනැගීමට හිරිගල් භාවිත කැර ඇත. සිරිපතුල් ගල්, වාමන රූප ආදී නෂ්ඨාවශේෂ රැසක් භූමිය පුරා තැන තැන විසිරී තිබේ.
සියවස් ගණනාවක් වනයෙන් ද මිනිස් ජනාවාස අතර හිරවෙමින් ද සැ`ගවී තිබූ කන්දරොදෙයි පුදබිම හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය ප‍්‍රථමයෙන්ම සොයා ගන්නා ලද්දේ 1917 වර්ෂයේ යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් මහතා විසිනි. එය සොයාගෙන ඇත්තේ ද අහම්බයකිනි. දිනක් කොළඹ සිට යාපනයට දුම්රියෙන් යමින් සිටියදී එක් ස්ථානයක ගොඩැලි කිහිපයක් තිබෙනු දුටු ඔහු ස්ථානය මතකයේ තබාගෙන දින කිහිපයකට පසු එහි ගියේය. ඔහුගේ සැකය නිවැරදිය. එම ස්ථානය බොදු පුද බිමකි. මෙතෙක් සොයාගත නොහැකිව තිබූ කදුරුගොඩ විහාරය මේ ස්ථානය විය හැකියැයි සිතූ පීරිස් මහතා 1917-1919 කාලයේ කැණීම් කළේය.
කදුරුගොඩ විහාරයේ පිහිටි විශාල චෛත්‍යයේ බුදුන්ගේ සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබක් බව ද පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කැර තිබේ. බුදුන් නාගදීපයට පැමිණ වැඩහුන් මැණික් පුටුව තැන්පත් කරන ලද්දේ ද මේ චෛත්‍යයේ බවට වංශකතාවක් වෙයි. රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කැර සෑදු බව කියන කුඩා ස්ථූප 60 අතරින් 57 ක් සොයාගෙන තිබේ. ඉන් 21 ක් පැහැදිලිව දැකගත හැකි අතර 36 ක ඉතිරිව ඇත්තේ පාදම් පමණි. මේවා බොහොමයක විශ්කම්භය අඩි අටක සිට 12 දක්වා වෙයි. කිහිපයක් අඩි 23.5 ක් දක්වා විශ්කම්භයකින් යුතුය.
පීරිස් මහතා මෙම ස්ථානයේ කරන ලද කැණීම්වලින් අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් බුදු පිළිම, වර්ණාලේපිත උළු කැබලි හා කාසි රැසක් සොයාගත හැකි වූ බව පැරණි වාර්තාවල දැක්වේ. එලෙස හමුවූ පුරාවස්තු යාපනය කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත.
කදුරුගොඩ විහාර භූමියෙන් සොයාගන්නා ලද වැදගත්ම ලේඛණයක් වන්නේ ‘‘ අන්තානේ ටැම් ලිපිය’’ යි. කි‍්‍රස්තු වර්ෂ නමවන සියවසේ රාජ්‍ය විචාල හතරවැනි කාශ්‍යප රජු විසින් මෙම විහාරස්ථානයට කරන ලද ප‍්‍රධානයන් කිහිපයක් පිළිබඳ එම ටැම් ලිපියේ සඳහන්ව ඇත.
කදුරුගොඩ කැණීමෙන් හමුවූ විවිධ ද්‍රව්‍ය |
ඉන් පසු කි‍්‍රස්තු වර්ෂ 16 වැනි සියවසේ යාපනය පාලන කළ ‘සංගිලි’ නම් ද්‍රවිඪ රජු කදුරුගොඩ විහාරය විනාශ කළ බවට ද වංශකතා සාධක පවතී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා කදුරුගොඩ පුදබිම ගැන මෙසේ කීවේය. ‘‘කදුරුගොඩ පුදබිම කියන්නේ උතුරේ බොදු උරුමය ගැන විදහාපාන ඉතාමත්ම වැදගත් ස්ථානයක්. වසර 30 ක යුද සමයේදී මේ පුරාවිද්‍යා ස්ථානය ගැන අපේ දෙපාර්තමේන්තුවේ අවධානය ගිලිහී ගියා. එවැනි ස්ථාන සංරක්ෂණය කරන්න යුද පසුබිම අපට ඉඩක් ලබාදුන්නේ නැහැ. යුද්ධය අවසන් වූ වහාම අප එම ස්ථානයට ගොස් නැවත එහි සංරක්ෂණ කටයුතු සහ නව ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා. දැන් එතැනින් ඉතාමත්ම වැදගත් සාධක රාශියක් ලැබී තිබෙනවා. දැනටමත් එහි සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පියවර රැගෙන තිබෙනවා.’’
කදුරුගොඩ පිහිටා ඇත්තේ මිනිස් ජනාවාසයක් ආසන්නයේය. ඒ හේතුවෙන් මිනිස් කි‍්‍රයාකාරකම්වලින් මෙම පුදබිම බේරාගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය. 1948 වර්ෂයේ කදුරුගොඩ පුරාවිද්‍යා ස්මාරක භූමියේ නිරවුල් බව සුරැුකීමට අක්කර හතක භූමියක් මිලට ගෙන ඇත. 1965 දී එම භූමිය පුරාවිද්‍යා නීතිය යටතේ තහනම් භූමියක් බවට ප‍්‍රකාශයට පත්කැරුණි. එහෙත් වර්තමානය වනවිට යළිත් ජනතාව එම භූමියට පැමිණ තිබේ. ඒ හේතුවෙන් පුරාවිද්‍යා රක්ෂිතයේ ඉතිරිව ඇත්තේ අක්කර තුනක ප‍්‍රමාණයක් පමණි. භූමිය දෙකඩ කරමින් පසු කලෙක මාර්ගයක් ද ඉදිවී ඇත.
පෝල් ඊ. පීරිස් මහතාගෙන් පසු 1972 වර්ෂයේදී ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විමලා බේග්ලින් මහත්මිය පැමිණ කදුරුගොඩ විධිමත් පරීක්ෂණ කැණීමක් ආරම්භ කළාය. ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හා කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කීවේය. මේ ස්ථානයේ ජනාවාස තිබූ බවට සැක කළ හැකි ගොඩැල්ලක් තිබුණා. මහාචාර්ය බේග්ලින් මහත්මිය එහි කැණීම් කර තිබෙනවා. ඒ ස්ථානය හඳුන්වන්නේ ‘‘වුඞ් ඇපල් සයිට්’’ යන නමින්. එහි දිවුල් ගස් බහුලව තිබූ නිසා එම නම යොදන්නට ඇති. මේ පරීක්ෂණ කැණීමෙන් ප‍්‍රථම වරට ජනාවාසයක් පිළිබඳ තොරතුරු ලැබුණා. එතැනින් වටිනා පුරාවස්තු කිහිපයක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම රුලේටඞ් වර්ගයේ මැටි බඳුනක්, භ‍්‍රාහ්මීය අක්ෂර සහිත පාත‍්‍රයක කොටස් ලැබුණා. හමුවූ විශේෂිතම දේ තමයි අශ්වාරෝහකයකුගේ රුවක් සහිත මුද්‍රාවක්. මේ සියල්ල කියා පෑවේ කදුරුගොඩ ප‍්‍රදේශය අනුරාධපුර මුල් යුගයේ දැවැන්ත ජනාවාසයක් බවයි. ඒ වගේම මේ ස්ථානය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පවතින්න ඇතැයි කියා විශ්වාස කළ හැකියි. කෙසේ වෙතත් බේග්ලින් මහත්මිය කරන ලද පර්යේෂණයේ විධිමත් වාර්තාවක් ලැබුණේ නැහැ. ඇය ගවේෂණය කළ පස් තට්ටුව බොහෝ සෙයින් අවුල් වී ගිය පස් තට්ටුවක් බව තමයි පෙනී ගියේ.’’
යුද්ධයෙන් පසු ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් මේ ස්ථානය සොයා ගියහ. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ මහාචාර්ය බේග්ලින් මහත්මිය කැණීම් කළ ස්ථානය සොයාගෙන එහි නැවත පරීක්ෂණ පැවැත්වීමයි.
‘‘එදා බේග්ලින් මහත්මිය කැණීම් කළ කාලයට වඩා අද පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ භාවිත කරන තාක්ෂණික ක‍්‍රමවේද විශාල වශයෙන් දියුණු වෙලා. ඒ නිසා අපට වඩාත් විධිමත් සහ තාක්ෂණයෙන් දියුණු කැණීමක් කළ හැකිය. අප අවස්ථා කිහිපයක්ම ගවේෂණ කණ්ඩායම් යොදවා අදාළ ස්ථානය සොයා බැලූවත් ඔවුන්ට සොයාගත නොහැකි වුණා. දිනක් අපි යාපනයේ යන අතරතුර මේ ස්ථානය අසළින් ගමන් කරද්දී දුටුවා නිවසක් අසළ විශාල අගලක් කපනවා. මේ අගල කපද්දී පැරණි වළං කටු තොග ගණනක් හමුවෙනවා අප දැක්කා. එතැනට ගිහින් බලන විට මේ ස්ථානයෙන් මතුවෙමින් තිබෙන්නේ පැරණි ජනාවාසයක නටඹුන්.’’ ආචාර්ය නිමල් පෙරේරා මහතා එසේ කිවේය.
යළිත් වතාවක් කදුරුගොඩ පුරාවිද්‍යා කැණීම් භූමිය සොයා ගැනීමේ වෙහෙසකර කාර්යයට පුරාවිද්‍යා පර්යේෂණ සහකාරවරුන් වන කල්ප අසංග මහතා, වාසනා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය, අයි.පී.එස්. නිශාන්ත මහතා, ඞී.ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතා, ඡායාරූප ශිල්පීන් වන අර්ජුන සමරවීර මහතා, පාලිත හේරත් මහතා සෙල්ලිපි සම්බන්ධ විශේෂඥයකු වන ඩබ්ලිව්. ජයතිලක මහතා ලබාදුන් දායකත්වය අතිමහත්ය.
ඒ 2009 වර්ෂයේ යුද්ධය අවසන් වී මාස කිහිපයක් ගතවූ අවස්ථාවයි. ඒ වනවිටත් ප‍්‍රදේශවාසීන් නව ඉදිකිරීම් ආරම්භ කැර තිබිණි. මේ එහි එක් අතුරු ප‍්‍රතිඵලයකි. මේ අවස්ථාවේ එතැනට පිටස්තර පුද්ගලයෙක් පැමිණියේය. පුරාවිද්‍යාඥයන් කණ්ඩායම එම ස්ථානය ගැන උනන්දුවන බව දුටු හෙතෙම මෙතෙක් ආචාර්ය පෙරේරා මහතා සොයමින් සිටි ඔත්තුව ලබාදුන්නේය.
‘‘මහත්තයෝ මෙතන තමයි 1970 ගණන්වල සුදු නෝනා කෙනෙක් ඇවිත් කැණීම් කළේ.’’ මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයමින් සිටි ස්ථානය අහඹු ලෙස හමුවී ඇත. එහෙත් මහාචාර්යවරිය කැණීම් කළ ඉසව්ව විනා කැණීම් ස්ථානය සොයා ගත නොහැකි තරමට ප‍්‍රදේශය වෙනස්වී තිබේ. මේ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාටත්, අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාට හා අමාත්‍යාංශ ලේකම් කාන්ති විජේතුංග මහත්මියටත් පැවසීමෙන් පසු කඩිනමින් කදුරුගොඩ පැරණි ජනාවාස භූමිය කැණීමට අවශ්‍ය අවසරය සහ මුදල් ප‍්‍රතිපාදන ඉක්මණින්ම වෙන්කැරිණි.
මූලික ගවේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ කලින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කැර තිබූ ප‍්‍රදේශයට වඩා අතිවිශාල ප‍්‍රදේශයක බෞද්ධ නටඹුන් හා ජනාවාස සාධක විසිරී පවතින බවයි. එය හෙක්ටයාර 250 ට වැඩි විශාලත්වයකින් යුතු භූමියකි. ප‍්‍රදේශයේ පවතින හින්දු කෝවිල් කිහිපයක්ම අතීතයේ බෞද්ධ විහාරස්ථාන ලෙස තිබූ ස්ථාන බවත් තහවුරු විය. නව ස්ථානයකින් කැණීම් ආරම්භ කැරුණි. කෙමෙන් කෙමෙන් කැණීම්වල පියවරෙන් පියවර යටට හෑරෙද්දී ජනාවාස පිළිබඳ තොරතුරු රාශියක් මතුවන්නට විය. මතුපිට පස් තට්ටුව ඉවත්වූ පසු එතැන ඉතාමත්ම නිරවුල් වසර දහස් ගණනක් පුරා අඛණ්ඩව පැවති මානව ජනාවාසයක තොරතුරු තැන්පත්ව ඇති ආකාරය දක්නට ලැබිණි.
කදුරුගොඩ කැණීම් භූමිය පරීක්ෂා කරන මහාචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා |
ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ පිළිබඳ මෙසේ කිවේය.
‘‘අපි මාස කිහිපයක් කැණීම කළා. කි‍්‍රස්තු පූර්ව 600 ට පෙර පටන් මූල ඓතිහාසික යුගයේ ජනාවාසවල තොරතුරු පවා අපට මෙම ස්ථානයෙන් හමුවුනා. පැහැදිලිවම මේ පුද බිම පිහිටි ස්ථානයේ ක‍්‍රිස්තු පූර්ව 400 දක්වා අතීතයක ජනාවාස පැහැදිලිව දක්නට ලැබෙනවා. අනුරාධපුර යුගයේ හා සමානව මෙම ස්ථානයේ ජනාවාස තිබුණු බව තහවුරු වුණා. කළු රතු මැටි බඳුන් වගේම කි‍්‍රස්තු පූර්ව යුගයේ රෝමයේ භාවිතා කළ මැටි බඳුන් හා සමානව ලංකාවේ දේශීයව නිෂ්පාදනය කළ මැටි බඳුන්වල කොටස් මෙහි දී හමුවීමත් විශේෂත්වයක්. ඒ වගේම කි‍්‍රස්තු පූර්ව 300 වැනි කාලයේ බ‍්‍රාහ්මීය අක්ෂර සහිත මැටි බඳුන් ලැබුණා.’’
ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ මෙම කැණීම් ස්ථානයෙන් කානීල පබළු හා සත්ත්ව අවශේෂ රාශියක් ලැබී තිබෙන බවයි. දෙමළ නිජබිම් සංකල්පය ගැන මතය මේ අනුව දෙදරා යන බව ද ඔහු කීය.
කි‍්‍රස්තු වර්ෂ 1200 වැනි කාලය දක්වාම අඛණ්ඩව හමුවන ජනාවාස සාධක අනුව මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද එළුවන්, ගවයන් හා ඌරන්ගේ අස්ථි කොටස් බහුලව හමුවන බැවින් හින්දු ජාතිකයන් හෝ ඉස්ලාම් ආගමිකයන් මේ ස්ථානයේ ජීවත්වී නැතැයි ද එය පුරාණයේ සිට සිංහලයන්ගේ ජනාවාසයක් බව තහවරු වන්නේ යැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති. කදුරුගොඩ ජනාවාස භූමියේ විසූ ජනතාව පරව්, මෝරුන් හා කකුළුවන් ද ආහාරයට ගත් බවට හමුවූ අස්ථිමය සාධක අනුව තහවුරු වී තිබේ.
කදුරුගොඩ කරන ලද සිමිත කැණීමෙන් හමුවූ තොරතුරු හා සාධක සමුදාය අනුව එම ස්ථානය ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් භූමි භාගයක් බව මනාව සනාථ වී ඇත. වර්තමාන චුන්නාකම් නගරයට කිලෝ මීටර පහක් හෝ හයක් නිරිතදිගට වන්නට පිහිටි කදුරුගොඩ පුද බිම හා පැරණි ජනාවාස භූමිය යාපනයට යන ජනතාව නොවරදවාම දැකගත යුතු භූමියකි.
ලබන සතියේ යාපනයේ ප‍්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවෙයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද නිමාවෙන් පසු උතුරෙන් මතුවන පුරාවස්තු
නීල් රණා Sunday, 01 September 2013 11:03 AM
යුද්ධය නිසා හෝ ඉන්පෙර වෙනත් හේතු නිසා හෝ මේ ස්ථානයට කිසිදු හානියක් සිදුවී නොතිබීම නිසාම ද්‍රවිඩ සභ්‍යත්වය ඇගයීමට ලක්විය යුතුයි. චංඩාශෝක අධිරාජ්යය තමිල්නාඩුව හැර ලංකාව ඇතුලු සමස්ථ ඉන්දියානු අර්ධද්වීපය පුරා පැතිරී තිබීම නිසා එකල මෙම පුදබිම නිර්මාණයවී තිබෙනවා. නමුත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සංස්කෘතිය වගේම ඉන්දියානු අශෝක රජු ස්ථාපිතකල බෞද්ධ සංස්කෘතියත් අපේ දේවල් නොව ආක්‍රමනික ආගන්තුකයන්ගේ අවශ්‍යතා බව සිහියේ තබාගැනීම වැදගත්. පුරා පුරාවිද්‍යා කැනීම් සිදුකල යුත්තේ විද්යාත්මක පදනමක පිහිටා මිස නිජබිම් හෝ උරුමයන් පිළිබඳ පරිකල්පනමය පූර්ව නිගමන සනාථ කිරීමට නොවේ. මෙයට වඩා පුරා විද්යාත්මක වටිනාකමින් හා සංස්කෘතිමය අගයෙන් වැඩි වසර 5000 ක් පමණ ඈත අතීතයක සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් ජීවන තොරතුරු හෙලිකරණ හල්දුම්මුල්ල හුණුගලාගල ගුහාවේ සිදුකළ කැනීම් පිළිබඳව සවිස්ථරාත්මක ලිපියක් පළවුනානම් ඉතා අගනා බවයි මගේ අවංක විශ්වාසය.පලකල හැකිනම් අගේ (දී)
වීර Tuesday, 03 September 2013 12:30 PM
නීල් රාණා මහදැනමුත්තා බෞද්ධ විරෝධී කළු සුද්දෙකි. (ස)
ලසන්ත Monday, 02 September 2013 06:30 AM
නීල් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (අ)
අජිත Monday, 02 September 2013 04:09 PM
සෑම් හා නීල් දැනුමක් නොමැතිව විද්වතුන්ගේ මත බැහැර කිරීම හාස්‍ය දනවයි.පුරා විද්‍යා ගෙවේෂණයක් සිදු කිරීම හා නිගමනය පළ කිරීම සිදුවන්නේ ලැබෙන සාක්ෂි මත බව ඔබලා සිහියේ තබා ගත යුතුයි. (ස)
නීල් රානා Tuesday, 03 September 2013 07:19 PM
වීර්, මගේ හම මතුපිට පාට බලන්න එපා, ඕනම කෙනෙක්ගේ උඩ හම කැඩුවහම යටිහම සුදු පාට බවවත් ඔබ දන්නේ නැහැ. මගේ පාට වෙනුවට මගේ අදහස් යුක්ති සහගතද නැද්ද කියා අවංකව හෘද සාක්ෂියට එකඟව කියන්න.(නදී)
නීල්-රානා Tuesday, 03 September 2013 07:20 PM
වීර්, මගේ හම මතුපිට පාට බලන්න එපා, ඕනම කෙනෙක්ගේ උඩ හම කැඩුවහම යටිහම සුදු පාට බවවත් ඔබ දන්නේ නැහැ. මගේ පාට වෙනුවට මගේ අදහස් යුක්ති සහගතද නැද්ද කියා අවංකව හෘද සාක්ෂියට එකඟව කියන්න.(නදී)
රත්නායක ආරච්චිගේ Monday, 02 September 2013 10:13 AM
මම සෑම් හා නීල් දෙන්නගෙම අදහස් වලට එකගයි,ඇත්තටම පුරාවිද්‍යාත්මක දේවල් වලට වැඩි හානියක් කලේ යුද්දයෙන් පසු කාලයේදී තමයි,සිංහල බවුද්දයෝ තමයි මේවට සම්බන්ද,ඇත්ත තිත්තයි. (දී)
මාධවී Thursday, 05 September 2013 08:11 AM
ලංකා පොළොවේ අඟලෙන් අඟලට හාරුවත් මතුවෙන්නේ බෞද්ධ නටබුන්.මේවා අනාගත පරපුරට දැකබලාගැනීමට හැකිවෙන පරිදි සකස් කරනවානම් වටිනවා.ඒවගේම දමිල නම්වලට හරවන ලද පුරන සිංහල ගම්වල නම්ද දමිල නම් වගේම සිංහලෙන් සඳහන් කරනවානම් වටිනවා. (දී)
දෙවිඳු Thursday, 17 October 2013 03:54 PM
යාපනේට යන අයවත් මේවා ආරක්ෂා කරන්න මොනවා හරි කරන්න. සිංහල මිනිස්සු පදිංචි කරවන්න ඕනේ මේවා අවට. රජ කාලෙත් කලේ එහෙමයි. දැන් පාලකයෝ ඉන්දියාවට බයේ එහෙන් එලවපු අයව වත් තාම පදිංචි කරවල නැහැ. අවුරුදු 4 ක් ගත වෙලත්. ඒත් අනිත් ජාති වල අයට අල්ල ගත්ත ඉඩම් වල අයිතිය දීලා තියෙන්නේ. ඇයි මේ ජාතියට අයිතිවාසි කම් නැද්ද? (නදී)
සැම් Sunday, 01 September 2013 09:55 AM
මට තේරෙන්නේ මේ තරමටවත් උතුරු නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා උනේ යුද්දේ නිසා කියල.. යුද්දේ තිබුන 30 අව්රුද්දට වඩා විශාල විනාශයක් යුද්දෙන් පසු අවුරුදු කීපයේදී සිංහල බුද්දාගම් කාරයෝ නිදන් හැරලා සිදුකලා. මම සිංහල බෞද්ධ කෙනෙක් හැටියට අපේ අයගේ වැඩ ගැන ලජ්ජා වෙනවා. (දී)