IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යෞවනය වනසන "නිල්ල සොයා"

 

”මතට තිත සහ නිල්ල පිරුණු රටක්” යන සංකල්ප මහින්ද චින්තනයේ ප‍්‍රධාන අරමුණු අතරට අයත්ය. ”මතට තිත” සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක සහ අධ්‍යාපන බලධරයනට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමකි. ඉන් එක් අංශයක් හෝ තම වගකීම් පැහැර හරින තත්ත්වයක් තුළ නිල්ල පිරුණු රටක් ගොඩනැගීම කෙසේ වෙතත් ”නිල්ල සොයා” ආදී විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වෙන අන්තරායකර ඖෂධ වර්ග කිහිපයක් අවභාවිතයට පාසල් සිසුහු ඇතුළු තරුණ කොටස් ඇබ්බැහි වෙමින් සිටිති.

මීට තෙවසරකට පෙර ගම්පහ ප‍්‍රදේශයේ පාසල් දෙකක සිදුවීම් පාදක කර ගනිමින් මෙය වැඩි කතාබහකට ලක් වුවද දැන් එම විෂය සම්බන්ධයෙන් ඒ තරම්ම කතාබහක් සමාජයේ නැත. එවැනි කතාබහක් සමාජයේ නොමැති වූ පමණින් පාසල් සිසුන් සහ තරුණයන් එම ඖෂධ අවභාවිතය නොකරන බවට පූර්ව නිගමනවලට එළඹිය නොහැකිය. ඒ මන්ද යත් ඖෂධ අවභාවිතය තවමත් හොර රහසේ සිදු වන බැවිණි.

ඖෂධ හලකින් මෙවැනි ඖෂධයක් නිකුත් කළ හැක්කේ නිසි වෛද්‍ය නිර්දේශයක් ඇත්නම් පමණි. එලෙස වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම දඬුවම් ලැබියහැකි වරදක් වන අතර  එවැනි වෛද්‍ය නිර්දේශ නොමැතිව ඇතැම් ඖෂධහල් හිමියන් බෙහෙත් නිකුත් කිරීම තවමත් සිදු කරති.
ඇතැම් ඖෂධහල් හිමියන් මෙවැනි ඖෂධ තම විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ නොමැතිව නිකුත් කරන අතර ඇතැමෙක් නියෝජිතයන් මාර්ගයෙන් එවැනි ඖෂධ තරුණයන් අතට පත් කරයි.

තරුණයන් අන්තරායකර ඖෂධ අවභාවිතය කරන්නේ ඒවායේ ඇති දුර්විපාක නොදැනය. ඇතැම් විට ඖෂධ අවභාවිතය මරණයෙන් කෙළවර විය හැකිය. එවැනි අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණි.

බෙල්ල පැත්තට යාම, හිසේරදය ආදී රෝග ලක්ෂණ කිහිපයක් සහිතව වයස අවුරුදු 17ක තරුණයෙක් මීට සතියකට පමණ පෙර රාගම රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔහුගෙන් කරුණු කාරණා විමසීමේදී හෙළිවූයේ බෙහෙත් පෙති වර්ගයක් මත්වීම පිණිස පානය කිරීම මගින් එම රෝගී තත්ත්වය ඇති වූ බවයි.
ඔහු කඳාන ප‍්‍රදේශයේ වයස අවුරුදු 17ක තරුණයෙකි. පියා ස්වයං රැකියාවක නිරත වන අතර මව රැකියාවක් නොකරන්නීය. හත වසරේ ඉගෙනුම ලබන සහෝදරයෙක්ද ඔහුට සිටී.

දිනක් තම මිතුරකු ද සමග සංගීත සංදර්ශනයක් නැරඹීමට යාමට කතිකා කරගෙන දෙදෙනාම හමු විය. මිතුරාගේ මිතුරකු වන ත‍්‍රිරෝද රථ රියදුරෙක් එම ස්ථානයට පැමිණියේය.

”මේක බීලා යන්ඩ. හොද ආතල් එකක් ගන්න පුළුවන්” ත‍්‍රිරෝද රථ රියදුරා මිතුරා අත පෙති වර්ගයක් තැබීය. කිසිදු වග විභාගයකින් තොරව දෙදෙනාම එම පෙති පානය කර සංගීත සංදර්ශනය බලන්නට ගියහ. වැඩි වේලාවක් ගියේ නැත. හිසේ අමාරුව සහ ඇඟට පණ නැති ගතියක් දැනී සංගීත සංදර්ශනය බැලීම අතර මග නවතා දෙදෙනාම ගෙදර ආහ. එම අමාරුවත් සමග බෙල්ල පැත්තට යෑම නිසා දෙමාපියන් බියට පත්වී ඔහු වහා රෝහල් ගත කරනු ලැබීය. ඔහු භාවිත කර තිබුණේ Diazepam නම් ඖෂධයයි. වෛද්‍ය මතය වූයේ ඖෂධ අවභාවිතයේ අතුරු පලයක් ලෙස එම රෝගී තත්ත්වය වැළැඳී ඇති බවයි.

නිසි වෛද්‍ය නිර්දේශයක් නැතිව නිසි මාත‍්‍රාවකින් තොරව භාවිත කළහොත් ඖෂධයක් වුවත් වස විෂක් මෙන් විය හැකි බව වෛද්‍යවරයකු පැවසීය.
”නිල්ල සොයා”, ”ටැබා” ආදී විවිධ නම්වලින් මෙවැනි ඖෂධ හඳුන්වති.

‘නිල්ල සොයා’ යනු මානසික රෝග උත්සන්න වූ විට රෝගීන්ට නිර්දේශ කරන ඖෂධයකි. එය Trifluperazine  ලෙස හැඳින්වෙයි. වෛද්‍යවරු එම ඖෂධය රෝගීන් වෙත නිකුත් කරනුයේ මානසික රෝග උත්සන්න වූ අවස්ථාවන්හිදී පමණි. එවැනි තදබල මානසික රෝගයක් නැතිව ඒවා අවභාවිතය තුළින් අතුරු ආන්තරා රැසක් ඇතිවෙයි. එම අතුරු ආන්තරා එක දවසින් පෙන්වන්නේ නැති අතර එහි ප‍්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන්නේ ටික කාලයක් ගිය පසුවය.

නිදිමත, කරකැවිල්ල, නොපැහැදිලි පෙනුම, මුඛය වියළීම,  ඕක්කාරය, මුත‍්‍රා කිරීමේ අපහසුව, මළබද්ධය, ආහාර අරුචිය, කෙළින් ඇවිදිය නොහැකි බව, ආවේගශීලී වීම, අධික හිසරදය, ඇගේ මහන්සිය, ලිංගික දුබලතාව ආදිය Trifluoperazine හෙවත් නිල්ල සොයා ඖෂධය අවභාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් අතරට අයත්ය.

කැස්සට බොන ”කොරෙක්ස් ඞී” නම් පැණිය භාවිත කරන්නට තරුණයන් පුරුදුව සිටි අතර ඒවා භාවිතයෙන් සිසුහු මිය ගිය අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. එම ආන්දෝලනයත් සමග එම පැණිය ඖෂධහල්වල අලෙවිය තහනම් වූ අතර එම තහනම තිබියදීත් මීට මාස තුනකට පමණ පෙර එම ඖෂධය හා තවත් ඖෂධයක් පානය කළ නිට්ටඹුවේ සිසුවෙක් මිය ගියේය. එම සිසුවා මිය ගියේ එම පැණිය ගංජා සහ පෙති වර්ගයක් සමග පානය කළ නිසා බව හෙළි වුවත් ඒවා අළෙවි කළ පුද්ගලයෙක් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

එම පැණිය තහනම් කිරීමත් සමග තවත් පැණියකට සිසුන් යොමු වෙමින් පවතින බව දැනගන්නට ඇත. එම පැණිය භාවිතය කොරෙක්ස් ඞී වල අතුරු විපාක වලට වඩා වැඩි විය හැකිය.තරුණයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනක ගම්පහ ප‍්‍රදේශයේ පැවැති සාදයකට එක්තරා පුද්ගලයකු එවැනි පැණියක් ගෙනැවිත් දුන් බවත්, ඒවා ගෙනාවේ ඖෂධ හලක වැඩකරන තරුණයකු බවත්, සාදයේ විනෝද වන අතර තුර එම පැණිය පානය කළ බවත් තරුණයන් කිහිපදෙනෙකු පැවසූහ.

ඇතැම් ඖෂධහල්වලින් මෙවැනි ඖෂධ පිටතට ගෙන යෑමට නොදෙන අතර එහි සිට බීමට ජලයද සපයන බව කියති. පසුගිය සතියේ ද එවැනි ඖෂධ හල් කිහිපයක් ගුණසිංහපුර ප‍්‍රදේශයෙන් වටලනු ලැබීය. මෙම ඖෂධ අවභාවිතයට යොමුවූවකු පැවසුවේ ඖෂධ කාඞ්පතක් රුපියල් 300 සිට 800 දක්වා ගණන්වලට මිල දී ගන්නා බවයි. අතරමැදියන් මාර්ගයෙන් ඒවා මිලදී ගැනීමේදී ඊට වඩා වැඩි මුදලක් දීමට සිදුවන බව ද ඔහු කීවේය.

අන්තරායකර ඖෂධ වර්ග සිසුන් අතට පත් කිරීමට අතරමැදිකරුවන් සිටින බව කරුණු කාරණා ඇතිව හෙළිදරව් වූයේ ගම්පහ ප‍්‍රදේශයේ මිශ‍්‍ර පාසලක ළමයින් කිහිප දෙනකු ඖෂධයක් භාවිත කර ගම්පහ සහ රාගම රෝහල්වලට ඇතුළු කිරීමත් සමගය.

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනකු පන්ති කාමරයේදී හදිසියේ අසනීප විය. බෙල්ල කරකැවීම, ඇඟ පණ නැති ගතිය ඔවුන්ගේ ලක්ෂණය විය. ගුරුවරු කිහිප දෙනකු එකතු වී එම සිසුන් රෝහල් ගත කරනු ලැබූ අතර මාධ්‍ය මගින් ද එම සිද්ධිය අනාවරණය කැරිණි. එහිදී හෙළිදරව් වූයේ එම ශ්‍රේණියේම සිසුවකු එම බෙහෙත් සිසුනට ලබාදී ඇති බවයි. ඔහුගෙන් ලබාගත් කටඋත්තර අනුව කිරිල්ලවල ප‍්‍රදේශයේ තරුණයකු පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු පවසා තිබුණේ මානසික රෝගියකුගෙන් ලබාගත් පෙති වර්ගයක් සිසුනට අලෙවි කළ බවයි.

එම සිද්ධියට සතියක් යන්නටත් මත්තෙන් ගම්පහ තවත් මිශ‍්‍ර පාසලක එවැනිම සිද්ධියක් වාර්තා විය. සපත්තු මේස් අස්සේ සඟවාගෙන ඖෂධ කරල් වර්ගයක් පාසලට ගෙනා සිසුන් 11 දෙනකු පාසල් බලධාරීන්ට හසුවූ අතර ඒ ගැන පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ විය. එම පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ ගම්පහ ඖෂධහලකින් එම බෙහෙත් සිසුන් අතට පත් කළ බවයි.

කඩුගන්නාවේ පාසලකින්ද එවැනිම සිද්ධියක් වාර්තා වූ අතර ඖෂධ හලකින් ලබාගත් එවැනි ඖෂධයක් එම පාසලේ වැඩිහිටි සිසුන් විසින් කුඩා පන්තියක සිසුවකුට පානය කිරීමට ලබා දීම නිසා ඔහු අසනීප වී රෝහල්ගත කිරීමට සිදු විය.

ගම්පහ, කුරුණෑගල, මහනුවර, කොළඹ ආදී ප‍්‍රදේශ රැුසක සිසුහු ඖෂධ අවභාවිතය තවමත් සිදු කරති.

නම හෙළි කිරීමට අකමැති වූ ඖෂධහල් හිමියෙක් පැවසුවේ තරුණයන් පැමිණ වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ ඉල්ලා සිටින බවයි. එලෙස නුදුනහොත් බැණ වදින බවද ඔහු කීවේය.පාසල් යන වයසෙ ළමයි ඇවිත් අපෙන් එක එක ඖෂධ ඉල්ලනවා. අපි ඒවා නුදුන්නාම ඒ ළමයි අපිට බැණලත් යනවා. සමහර ළමයි බොරුවට තුන්ඩු     කෑල්ලක ඖෂධයේ නම ලියාගෙන එනවා. සමහර ෆාමසිවල මේවා ළමයිට අලෙවි කරනවා. ඔවුන් කරන්නේ ළමයි දෙතුන් දෙනෙක්ව හොඳට අඳුරගෙන ඔවුන් තැරැව්කරුවො විදියට භාවිතා කරලා අනිත් අයට බෙහෙත් ඔවුන් ලවා දෙනවා.

මෙවැනි සිදුවීම් කිහිපයක් මාධ්‍ය මගින් වාර්තා වීමත් සමග අධ්‍යාපන, සෞඛ්‍ය බලධරයන් හා පොලිසිය ක‍්‍රියාත්මක වී වැටලීම් හා දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ අතර මේ වන විට එය අඩාල වී ඇත.

ගම්පහ පාසල් දෙකකින් එවැනි සිද්ධීන් වාර්තා වීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන් දැනුම්වත් කිරීම සඳහා චක‍්‍රලේඛයක් පවා නිකුත් කර තිබිණි. එම චක‍්‍රලේඛය අනුව පාසල්වල සාරධර්ම කමිටු සහ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවිය යුතුය.

චක‍්‍රයලේඛය නිකුත් වූ කාලයේ පාසල්වල එය ක‍්‍රියාත්මක වූ අතර මේ වන විට බොහෝ පාසල්වල එය ක‍්‍රියාත්මක වන්නේ නැත. පාසල් සිසුන් හා තරුණයන් මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමට නම් දැනුම්වත් කිරීම අනිවාර්ය වන අතර ඒ මගින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සිසුන්  ගලවා ගැනීමට හැකි වන අතර තවත් සිසුන් එම ව්‍යසනයට යොමුවීම වැළැක්විය හැකි වනු ඇත.

ඊට අමතරව මේ ගැන සොයා බැලීමට තවත් වගකිවයුතු පාර්ශ්ව කිහිපයක් වෙති. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන් එකකි. විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරිය ඒ සඳහා බලය ලත් ආයතනයකි. අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ද තවත් ආයතනයකි. පළාත්, දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ටද ඒ සඳහා වගකීමක් ඇත.

මත්ද්‍රව්‍ය භාවිතය ගැන තොරතුරු ලැබුණහොත් වැටලීම් සිදු කිරීමට හා ඖෂධ හල් වැටලීමට ඉහත ආයතනවලට සහාය දැක්වීමට පොලිසියට ද වගකීමක් තිබේ.
 සමාජයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ සැණින් ඒ ගැන සොයා බලා පිළියම් සෙවීම පසුගිය කාලයේ සුලභ දසුනක් විය. අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා වැඩක් නැත. සිදු විය යුත්තේ ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නට පෙර එවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගැනීමයි.

අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක යන මේ අංශ තුනම එක්ව පාසල් සිසුන් හා තරුණයන් අන්තරායකර ඖෂධ අවභාවිතයට යොමුවීම වැළැක්වීමට වැඩසටහන් සකස් කර ඒවා ක‍්‍රියාත්මක කළ යුතුය.

එසේ නොකළහොත් නිල්ල පිරුණු රටක් ගොඩ නැගීම කෙසේවෙතත් දෑස් නිලංකාර වන විවිධ අන්තරායකර ඖෂධ අවභාවිතයට සිසුන් යොමුවී මතු පරපුර විනාශ වනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් මෙසේ කීය.

”ඇත්තටම මේක බොහොම බරපතළ තත්ත්වයක්. තරුණ දරුවන් මත්වෙන්න බෙහෙත් පෙති වර්ග බීලා, එයින් ඇතිවුණු අසාත්මිකතා නිසා රෝහල් ගතකරපු අවස්ථා කිහිපයක්ම මට හම්බවුණා. ඒ ළමයි ඖෂධ වර්ග අධි මාත‍්‍රාවලින් තමයි අරං තිබුණේ. සිසුන් බෙහෙත් පෙති වර්ග 2ක් සහ සිරප් වර්ගයක් පානය කරන බව දැන ගන්නට ලැබී තිබෙනවා. ඒ නිසා කෙටිකාලීන අතුරු ආබාධ මෙන්ම දීර්ගකාලීන අතුරු ආබාධත් හැදෙන්න පුළුවන්. ජීවිතයට පවා අවදානමක් වෙන්න පුළුවන්.

දෙමාපියන් සහ ගුරුවරුන් ළමයින් ගැන අවධානයෙන් ඉන්න  ඕන. මේවයින් වෙන අහිතකර තත්ත්වය ගැන ළමයි දැනුවත් කරන්න  ඕනෑ. මේක ඇබ්බැහිවීමකට පත් වුණොත් එහෙම හෙරොයින් වලට පුරුදු වුනාටත් වඩා දරුණුයි.

අන්තරායකර ඖෂධ අව භාවිතය වැළැක්වීමට පොලිසියට ඇති වගකීම ගැන ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාගෙන් අප විමසීමු.

”තරුණ පරපුර මෙවැනි දේවල්වලට යොමු වීම වැළැක්වීමට සෑම අංශයක්ම එක්ව කටයුතු කළ යුතුයි. ඖෂධ වර්ග ගැන විශේෂඥ දැනුමක් පොලිසියට නැහැ. ඒ ගැන දැනුම තිබෙන්නේ සෞඛ්‍ය අංශවලට. අපිට කරන්න පුළුවන් ඔවුනට සහාය දැක්වීම පමණයි. අපි ඒක හරියට කරනවා. මෙවැනි ව්‍යයසනවලින් තරුණ පරපුර බේරා ගන්න නම් සියලූ අංශ එක්ව කටයුතු කළ යුතුයි.
 

 

  තරිඳු ජයවර්ධන     

 

 

”ඖෂධහල්වල නිසි ආකාරයකට ඖෂධ අලෙවි කරනවාද, නියමිත ප‍්‍රමිතිය තියනවාද ආදී කරුණු ගැන සොයා බැලීමට විලවුන් උපකරණ හා ඖෂධ පනතින් අපිට බලය ලැබී තිබෙනවා. ඒ සඳහා බලය ලත් නිලධාරීන් ඉන්නවා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉන් පළමුවැනියා වන අතර මා දෙවැනියා. ඒ වගේම පළාත්, දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ අය වෙනත් වගකීමුත් එක්ක තමයි මේ රාජකාරිය කරන්නේ. ඒ නිසා තවත් පිරිසක් ඉන්නවා ආහාර හා ඖෂධ පරීක්ෂකවරු. ඔවුන්ගේ වගකීමක් තමයි ඖෂධහල් පරීක්ෂා කර බැලීම.

ඖෂධ අවභාවිතය කියන්නේ ඉතාම භයානක තත්ත්වයක්. සෑම ඖෂධයකයම අනිසි ප‍්‍රතිවිපාක තියනවා. එහෙම අනිසි ප‍්‍රතිපාක නැති ඖෂධ නැති තරම්. වෛද්‍යවරු ලෙඩකට ඖෂධ නිර්දේශ කරන්නේ ඒ ලෙඬේට නොදීම බැරි නිසා. ඖෂධය දිය යුතු මාත‍්‍රාව සහ කාලයත් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

එහෙම වෛද්‍ය නිර්දේශ නැතිව ඖෂධ ලබා ගන්නවා කියන්නේ මරණය පවා අත්වෙන්න පුළුවන්. දීර්ඝකාලීන අනිසි ප‍්‍රතිඵල ලැබෙනවා. ස්නායු ආබාධ හැදෙනවා. මතකය නැතිවී යනවා.

මත්වීම පිණිස තරුණයන් භාවිත කරන බොහෝ ඖෂධ 2 බී කාණ්ඩයට අයත් ඖෂධ. ඒවා වෛද්‍ය නිර්දේශයක් නැතිව නිකුත් කිරීම නිතී විරෝධීයි. පසුගිය කාලයේ අපි එවැනි වැටලීම් රැුසක් කරලා ඔවුන් නීතිය හමුවට ගෙනැවිත් තිබෙනවා.

ට‍්‍රැමඩෝල් කියන ඖෂධය දැන් පුද්ගලික ඖෂධහල්වල විකුණන්න බෑ. එය දැන් විකිණිය හැක්කේ ඔසුසල්වල පමණයි. වෙනත් තැන් වල විකුණනවානම් අපට දැනුම් දෙන්න.

ඒ වගේම වායු සමීකරණය නොකළ, නිසි ශීතකරණ පහසුකම් නැති ඖෂධහල්වලින් බෙහෙත් ගන්න එපා. මේවා ගැන දැනුම්වත් වෙන්න  ඕන.

මොනයම් හෝ ඖෂධහලකින් වෛද්‍ය නිර්දේශයක් නැතිව හෝ නියමිත ප‍්‍රමාණයෙන් තොරව ඖෂධ දෙනවානම්, නිසි ප‍්‍රමිතියක් නැත්නම් ආහාර හා ඖෂධ පාලකවරුන්ට හෝ අපට දැනුම් දෙන්න. අපි ඒවා වටලනවා. පොලීසියේ සහයෝගයත් අපට ලැබෙනවා.
011 26 988 6 හෝ 7 දුරකතන අංකවලිනුත්, 011 26 89 704 ෆැක්ස් අංකයෙනුත්, [email protected] විද්‍යුත් ලිපිනයෙනුත් ඒ ගැන අපිට දැනුම් දිය හැකියි.

 

 

”1984/11 දරණ අන්තරායකර ඖෂධ පාලන පනතින් තමයි අපට බලය පැවරිලා තිබෙන්නේ. විවිධ මනෝවර්ථක වලට, මත්ද්‍රව්‍යවලට යොමුවී සිටින පිරිස් ඉන් මුදවා ගැනීමට අපි සිදු කරන ක‍්‍රියාකාරකම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි දැනුම්වත් කරන එක. දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ පිරිස් පුනරුත්තාපනය කිරීමත් අප සිදු කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ගැන පරීක්ෂණ හා සමීක්ෂණ කිරීම අපි සිදු කරනවා. මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය පිළිබද ක‍්‍රියාකරන සංවිධාන සමග තොරතුරු හුවමාරු කිරීමත් අප  සිදු කරනවා.

අපි වැටලීම් සිදු කරන්නේ නැහැ. අපි කරන්නේ අධීක්ෂණය පමණයි.

පසුගිය කාලයේ අපි දැනුම්වත් කිරීම් වැඩසටහන් රැසක් කළා. පාසල්වලට හා සිවිල් සංවිධානවලට ගිහින් අපි මත්ද්‍රව්‍ය භාවිතය හා එහි අනිසි ඵල ගැන දැනුම්වත් කළා. ඖෂධහල් හිමියන් පවා කැඳවා දැනුම්වත් කිරීම් සිදුකර තිබෙනවා. ඒ වගේම අපි ඖෂධහල්වල අලවන්න ස්ටිකර් එකකුත් ලබා දී තිබෙනවා.

දිස්ත‍්‍රික්ක 17ක අපේ බාහිර සේවා නිලධාරීන් ඉන්නවා. ඔවුන් වැඩසටහන් රාශියක් සිදු කරනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අය ඉන්නවානම් අපිට යොමු කරන්න. අපේ පුනරුත්තාපන වැඩසටහන් සිදුකරන තැන් කිහිපයක් තිබෙනවා. අවුරුදු 21ට අඩු අය සඳහා වෙනමම පුනරුත්තාපන මධ්‍යස්ථානයක් තිබෙනවා.

මධ්‍යම පළාත් යොවුන් ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, මාම්පිටියවත්ත, හන්දෙස්ස. (081 231 55 04) (වයස අවුරුදු 21ට අඩු තරුණයන් සඳහා පමණක් මෙහි ප‍්‍රතිකාර කරනු ලබයි.)

නිට්ටඹුව මධ්‍යස්ථානය - නිවාරණ, ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මාහේනවත්ත, ඌරාපොල, නිට්ටඹුව. (033 22 83060)

දකුණු පළාත් නිවාරණ, ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, උණවටුන, ගාල්ල. (091 222 444 3)

බස්නාහිර පළාත් නිවාරණ, ප‍්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, 172, ශාන්ති මාවත, තලංගම.

”සියපත‘ මනෝ විද්‍යාත්මක උපදේශන මධ්‍යස්ථානය, සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. (011 30 91 394/ 011 26 91 659)

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංකය - 1984

 



අදහස් (0)

යෞවනය වනසන "නිල්ල සොයා"

මංජුලා ගමගේ Tuesday, 08 October 2013 08:40 PM

ඉතාම හො‍‍ද ලිපියක් (අ)

:       0       0

තරිඳු Wednesday, 28 August 2013 11:12 PM

ලිපිය ‍ඉතාම හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5395 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 762 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1328 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site