IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


යළි පදිංචි කළ ජනතාවගේ ප්‍රශ්න

1983 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ පැවති බිහිසුණු යුද්ධය හේතුවෙන් දිවයින පුරා අනාථ වූ පිරිස දළ වශයෙන් ලක්‍ෂ 8කට ආසන්නය. ඉන් දැඩි ලෙස අවධානයක් යොමු වූයේ අවසන් යුද්ධයෙන් අනාථ වූ ලක්‍ෂ 3කට ආසන්න පිරිස් වෙතට ය. යුද්ධය අවසන් වුව මේ පිරිස් වසර 3කට ආසන්න කාලයක් ම තාවකාලිකව ජීවත් වූයේ වවුනියාව සෙට්ටිකුලම මැනික්ෆාම් අනාථ කඳවුරු තුළ ය. මේ පිරිස් පිළිබඳව ලංකාවේ පමණක් නොව ලොව පුරා ඉතා ජනපි‍්‍රය වූවා මෙන්ම ආන්දෝලනයකට ලක් වූ පිරිසක් ද විය. ලෝකයාම බලා සිටියේ මොවුන්ගේ නැවත පදිංචිවීම දෙස ය.

රජය මේ ලක්‍ෂ තුනක් වූ අනාථ වැසියන් වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත‍්‍රික්කවල සියලූම දෙනා පදිංචි කොට හමාරය. මුල් ගම්බිම් වෙතට ගිය වැසියන්ට කුමක් වන්නේ ද කියා අද වනවිට බොහෝ දෙනා නොදන්නා කාරණයකි. මේ පිළිබඳව විවරණයක හැකි අයුරින් යෙදීම අප සමාජයේ ම අවශ්‍යතාවක් වනු ඇත.

යුද සමයේ දී හා යුද්ධයෙන් පසු කාලවකවානුවේ දී සිදුවූ කි‍්‍රයාදාමයන් පිළිබඳව අද වනවිට ශ්‍රී ලංකාව දෙසට අන්තර් ජාතික වශයෙන් ද බැල්ම වැටී ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ම එල්.එල්.ආර්.සී වාර්තාවන් මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳවත් ය. මේ කරුණු කාරණාවල බලපෑම් සියල්ලක්ම එල්ල වන්නේ උතුරේ නැවත පදිංචිවූවන් දෙසට ය.

මේ සියල්ලක් ම ඒ අයුරින් සිදු වන විටදී උතුරුකරේ මුල් ගම් බිම් වෙතට ආ වැසියන්ගේ අද සහ හෙට දවසට කුමක්වී ඇත්ද? ඒ පිළිබඳව සොයා බැලිය යුතුය. වවුනියාවේ නැවත පදිංචිවීම් පිළිබඳව එතරම් කතා බහකට ලක් නොවුණත් මන්නාරම, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යන දිස්ත‍්‍රික්කවල නැවත පදිංචි කිරීම්වල දී බොහෝ ගැටලූ වෙලා. එමෙන්ම මේ ප‍්‍රදේශවල වැසියන්ගේ වත්මන් ජීවිකාව ඉතා අවදානම් තත්ත්වයක පවතියි.

මේ ප‍්‍රදේශවල වැසියන්ට අවශ්‍ය ආර්ථික දියුණුව අධ්‍යාපනය ඇතුළු යටිතල පහසුකම් ලැබෙනවාද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. මා මුලතිව්, පුදුකුඩිඉරිප්පු හා විශ්වමඩු ප‍්‍රදේශයන්හි ගිය විට එහි නැවත පදිංචිවූ පිරිසක් හමු වුණා. එහිදී පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තංගරාසා වඩිවේල් ඔවුන්ගේ නැවත පදිංචි ජීවිකාව පිළිබඳව ප‍්‍රකාශ කළේ ඉතා දුක්බරව ය.

‘‘අපි මුලතිව් නැවත පදිංචියට ආවට අපි යුද්ධ කාලේ හිටපු අපේ මුල් ඉඩම් අපට ලැබුණේ නැහැ. රජයෙන් ලැබුණු වෙනත් ඉඩමක තාවකාලික නිවසක තමයි ජීවත් වෙන්නේ. අපේ ඉඩම් ගැන කච්චේරියෙන් ඇහුවාට ඒවයේ නිලධාරින් කිව්වේ ඉඩම්වල බිම් බෝම්බ තියන නිසා ඒවා දෙන්න තවත් කාලයක් යයි කියලා. කොහොම වුණත් මම දැන් ගෙදර හිටියට ගිනි ගොඩක ඉන්නේ. මට ස්ථිර රස්සාවක් නැහැ. මට වගේම තමයි අපේ ගමේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට ස්ථිර රස්සාවක් නැහැ. රජයේ රැකියාවකට ඉල්ලූම් කරන කොට අධ්‍යාපනය බලනවනේ. අපට යුද්ධෙ නිසා ඉගෙන ගන්න බැරි වුණා. ඒකනිසා අපිට ඉතිං උරුම කම්කරු රැකියා තමයි.
මේ දවස්වල මුලතිව් පාරවල් හදන නිසා ටිකක් හරි ඔළුව උස්සන් ඉන්නවා. ඒකෙන් උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරනවා. ළමයි ගැන බලන්නත් වෙලාවක් නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාලාට හැමදාම ඉස්කෝලේ යන්න වෙන්නෙත් නැහැ. දවසට වේල් දෙකක් විතර තමයි කන්නේ. ස්ථිර ආදායම් මාර්ගයක් නැතිව බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ අපේ මුල් ඉඩම් තිබුණා නම් ඒවයේ මොකක් හරි වෙළඳාමක් හරි කරන්න තිබුණා. දැන් ඒකත් නැහැ.’’

මෙලෙසින් බොහෝ ලෙසට මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම් ප‍්‍රදේශවල නැවත පදිංචි වූ වැසියන්ගෙන් 75%ක්ම විරැකියාවෙන් සිටින අය වෙති. මේ වැසියෝ යුද්ධයෙන් පසුවත් තවත් යුද්ධයක පැටලී සිටිති. ජීවන යුද්ධය ඉතා බියකරු ය. අගහිඟකම් හේතුවෙන් මේ ප‍්‍රදේශවල දැන් සොරුන් කොල්ලකරුවන් දිනෙන් දින වැඩි වෙයි. දැව ජාවාරම් ද බොහෝසේ සිදු වෙයි. මොවුන්ට කුමන විසඳුමක් ලබා දිය යුතු ද? මොවුන් ප‍්‍රකාශ කර සිටින්නේ උතුරේ රැකියා ගැටලූවට විසඳුම් ලබාදීමේ දී රටෙහි අනෙකුත් පළාත්වලට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවය. අධ්‍යාපන සුදුසුකම්වලින් ද යම් කිසි සහනයක් ලබා දිය යුතුය. ස්වයං කර්මාන්ත සඳහා අත හිත දිය යුතුය.

මේ දිනවල උතුරු ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන හෙයින් උතුරේ ගොවීන්ගේ කුඹුරුවල වී අස්වැන්න සම්පූර්ණයෙන් ම විනාශවී යාමේ දැඩි අවදානමක් පවතී. මෙවර මහ කන්නයේ ගොවිතැන් කෙරුණු මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශවල මෙහි ගොවීහු ගොවිතැන් කරනුයේ නොයෙකුත් ණය මුදල් ලබා ගැනීමෙනි.


වී අස්වැන්න විනාශවී යන්නේ නම් ඔවුන්ට සිදුවන ඉරණම කුමක් වේද? පසුගියදා කිලිනොච්චියේ මෙවර මහ කන්නයේ ගොවිතැන් කළ වර්ෂාවට පෙර වී අස්වැන්න නෙළාගත් ගොවීන්ට සිය වී විකිණීමේ දී ගැටලූ රැසකට මුහුණ දීමට සිදුව තිබුණි.

සිය වී තොගයන් ගබඩා කර කල් තබා ගැනීමට ඔවුන්ගේ තාවකාලික කූඩාරම්වල කෙසේත් ඉඩ නොමැතිය. කිලිනොච්චියේ රජයේ වී මිල දී ගැනීමේ මධ්‍යස්ථානවලින් ද මේ ගොවීන්ගේ වීවල විවිධ අඩුපාඩු කියමින් සම්බා වී කිලෝවක් රුපියල් 18ක් හා අනෙකුත් වී වර්ග රුපියල් 17කට අඩුවෙන් ගෙන තිබුණි. මෙය ගොවීන්ගේ කුලී මුදල් ලබා දීමටවත් නොසෑහුණි.

මේ අතර මඩකලපුව ප‍්‍රදේශයේ සිට පැමිණි ඇතැම් සංවිධානාත්මක වෙළෙන්දන් පිරිසක් විසින් කිලිනොච්චියේ කුඹුරු තුළට ම ගොසින් වී මිලට ගනු ලැබ ඇත්තේ ඉතාම අඩු මිලකට ය. වී තොග ප‍්‍රවාහනය කිරීමටවත් වත්කමක් නොමැති ගොවීන් විශාල පිරිසක් වෙළෙන්දන්ට වී විකුණා ඇත.

මේ අයුරින්ම උතුරේ ගොවියාගේ ආර්ථිකයට බලපෑම් එල්ල වන විට තවත් සමහරෙක් ස්වයං කර්මාන්තවලත් තවත් අයකු දවස පුරා දහඩිය හෙලා ඉතා සොච්චම් මුදලක් ද ලබන්නේ ඉතා වේදනාවෙනි.

එවැනි කතාවකට හොඳම නිදසුනකි මා හට හමුවූ 42 හැවිරිදි වවුනියාවේ පදිංචි කනපති පිල්ලේ සුහන්දිරම් නමැත්තාගේ කතා පුවත. ඔහු දිනය පුරා කැලෑවැදී දර කපා ඒවා විකුණා ජීවත් වෙන අයෙකි. මේ ඔහුගේ කතාවයි.

‘‘යුද්දෙට ඉස්සෙල්ලා මට ට‍්‍රැක්ටරයක් තිබුණා. ඒ කාලේ මට බොහොම සරුයි. මම ට‍්‍රැක්ටරය අරන් දවසක් මුලතිව් කුඹුරුවල වැඩකට ගියා. ගිහින් වැඩ ටික කරලා ගෙදර එන්න වුණාම ට‍්‍රැක්ටරය ඥාති ගෙදරක දාලා තමයි ආවේ. ඔහොම ඉන්න කොට මම ඒ ළඟින්ම කසාදයකුත් කරගත්තු නිසා එහෙම පදිංචි වුණා. 

ඔය කාලයේ යුද්ධෙ ආරම්භ වුණා එල්.ටී.ටී.ඊ. එකෙන් මගේ ට‍්‍රැක්ටරය බලෙන්ම අරන් ගියා. යුද්දෙට මගේ ගෙදර ඔක්කොම විනාශ වුණා. පස්සේ වවුනියාවේ අනාථ කඳවුරේ ඉඳලා දැන් කලින් හිටපු වවුනියාවේ ගෙදරට ආවත් කරන්න දෙයක් නැති නිසා කැලේට ගිහින් දර කපල තමයි ජීවත් වෙන්නේ.

දවස පුරාම දර කපලා පාපැදියේ ගොඩ ගහලා ටවුමේ හෝටල් අයිතිකාරයකුට සොච්චමකට විකුණුවා. ඒ මුදලින් තමයි මගේ බිරිඳටයි ළමයි දෙන්නටයි කන්න දෙන්නේ. ට‍්‍රැක්ටරයක් තිබුණු මට දැන් මේ පුට් බයිසිකලේ විතරයි තියෙන්නේ’’ මෙලෙසින් වදන් කියූ ඔහු එම ස්ථානයෙන් ඉවත් වුණේ ඉතිරි ටික කීමට අකමැති නිසා නොව වේදනාව ඉවසා ගත නොහැකි නිසා බව මා හට හොඳාකාරව වැටහුනි.


උතුරේ නැවත පදිංචි වූ වැසියන්ගේ ආර්ථිකය පිළිබඳව මෙවැනි වදන් බොහෝ සේ ඇත. ආර්ථිකය මෙන්ම උතුරට බලපාන තවත් ගැටලූවක්වී ඇත්තේ අධ්‍යාපනය පිළිබඳවයි.

මේ වනවිටත් කිලිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශවල පිහිටි පාසල්වලට ගුරුවරුන් නොමැති වීම නිසා අධ්‍යාපන කටයුතු කඩා වැටී අති බවට උතුරේ බොහෝ ගුරු සංගම් මෙන්ම විදුහල්පතිවරුන් ද ප‍්‍රකාශ කරති. යුද සමයේ දී ආරක්‍ෂාව පතා කිලිනොච්චියේ සිට වෙනත් ප‍්‍රදේශවලට තාවකාලිකව ගිය ගුරුවරුන් 200කට වැඩි පිරිසක් නැවත කිලිනොච්චියට පැමිණ නැත. ඔවුන් යම් යම් දේශපාලනික සබඳතා නිසා එසේ නොපැමිණි බවට ගුරු සංගම් පෙන්වා දෙයි.

මේ හේතුව නිසා නැවත පදිංචි වූ ප‍්‍රදේශවල ඉගෙනුම ලබන ළමයින්ගේ අධ්‍යාපනය දැඩි අවදානම් තත්වයේ පවතී. උතුරේ බොහෝ දුෂ්කර ගම්මානවල හරි හැටි අධ්‍යාපනයක් නොමැති ප‍්‍රදේශ තිබේ. එම ප‍්‍රදේශවල අධ්‍යාපන කටයුතු මේ වන විටත් සංවර්ධනය වී නැත. මෙයට ද වගකිවයුතු බලධාරීන් ඉක්මන් විසඳුමක් ගත යුතුය. යුද්ධය හේතුවෙන් කඩා වැටුණු උතුරේ අධ්‍යාපනය නගාසිටුවීමට ඉක්මන් පියවරක් ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක්.

උතුරේ ඉඩම් පිළිබඳව මේ දිනවල කා අතරෙත් ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ඉඩම් පිළිබඳව ද වැඩි ලෙසම කතා බහට ලක්වන්නේ කිලිනොච්චි, මුලතිව් හා යාපනය යන ප‍්‍රදේශවල ය. යුද්ධය හේතුවෙන් මුල්ගම් බිම් අතහැර අනාථ කඳවුරු වෙතට පැමිණි වැසියන් නැවත පදිංචිවීමේ දී ඔවුන්ගේ මුල් ගම් බිම් නොලැබීම නිසා ගැටලූ රැසක් උද්ගතවී ඇත. ඇතැම් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව අනුවත් ව්‍යාපාරික හා ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මේ දිනවල උතුරේ ඉඩම් බහුල වශයෙන් කොල්ලකන බවට උතුරේ වැසියන් ප‍්‍රකාශ කරති.

යාපනය ගත් විට පලාලි ගුවන් හමුදා කඳවුර අවට ඉඩම් වූ වලිකාමම් උතුරු ග‍්‍රාම සේවා කොට්ඨාසයට අයත් වැසියන් 30,000ක් පමණ ඉඩම් නොලැබීම සම්බන්ධයෙන් මේ දිනවල එහි වැසියෝ ආරක්‍ෂක අංශ සමග යම් කිසි ගැටීමක යෙදී සිටිති. එමෙන්ම මුලතිව් දිස්ත‍්‍රික්කයේ ද ප‍්‍රදේශ රැසකම නැවත පදිංචි වූ වැසියන්ට ඔවුන්ගේ මුල් ඉඩම් නොලැබී ඇති බවට එහි වැසියන් ප‍්‍රකාශ කරති. මේ ආකාරයෙන් කිලිනොච්චිය ප‍්‍රදේශයේත් එමෙන්ම මන්නාරම් ප‍්‍රදේශයේත් වාර්ථා වෙයි.

මේ ආදී වශයෙන් උතුරේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් බොහෝ දෙනා අපමණ වූ දහදුක් විඳිති. මේ හේතුව නිසා අප කවුරුත් නොදන්නා අයුරින් ඉදිරියේ දී විවිධ අවදානම් සහගත තත්ත්වයන් උතුරු ප‍්‍රදේශය තුළ සිදුවිය හැකිය.

යුද්ධයෙන් රට බේරා ගත්තා සේම යුද්ධයට මැදිව දිවි ගෙවන වැසියන්ගේ අද සහ හෙට දවස දෙස ද බැලිය යුතුය. ශීත කාමරවල සිට විවිධ වාර්තා ගැන ප‍්‍රකාශ කරමින් විවිධ තීරණ ගන්නා වගකිවයුතු බලධරයිනි. උතුරේ යුද ගින්න නිව්වා සේම බඩගින්න ද නිවිය යුතුය.

 

වන්නි රොමේෂ් මධුෂංක

 



අදහස් (0)

යළි පදිංචි කළ ජනතාවගේ ප්‍රශ්න

නීලා Monday, 25 February 2013 10:06 AM

මොනතරම් කනගාටුදායකද? මේ මිනිස්සු නැවත අවි අතට ගත්තොත් අපි පුදුම විය යුතු නැහැ.(නදී)

:       0       0

සූකිරි Monday, 25 February 2013 10:06 AM

අන්තවාදියොයි, ආගම් වාදියොයි මේවා ගැන මොනවද කියන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 147 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 127 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site