IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රාජ්‍ය බදු වැඩිකිරීම විසඳුමද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකිවීම නිසා පසුගිය සැප්තැම්බරයේ දී ලැබීමට තිබූ දෙවැනි ණය වාරිකය ඉතා ඉක්මනින් නොලැබෙන තත්ත්වයකට ආණ්ඩුව මුහුණ දී සිටියි. මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රම කරන විග්‍රහයකි.

එකඟතා ඇතිකරගෙන තිබෙන්නේ සහ කොන්දේසි පනවාගෙන තිබෙන්නේ ලංකා ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල එක්ව කළ සාකච්ඡාවලදීය. දූෂණ, වංචා හා නාස්ති පිටුදැකීම පිළිබඳව ඒ කොන්දේසිවල දිගින් දිගට සඳහන්ව තිබුණේ නැත. මේ මේ කාලවල දී ඒ ඒ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් මුල් සාකච්ඡාවල දී එකඟ වූ බවක් අනාවරණය වූයේ ද නැත.

උදාහරණයකට මහ බැංකුව ස්වාධීන කළ යුතු බව කීවාට එය කළ යුත්තේ කෙසේදැයි මුල දී කිව්වේ නැත. එය කර තිබෙන ක්‍රමය පිළිබඳව විවේචනය කරන්නේ දැන්ය. කෙටුම්පත් අවධියේ ඒ ගැන මූල්‍ය අරමුදල තම නිරීක්ෂණ නිගමන ඉදිරිපත් කළ බවක් රටට අනාවරණය වූයේ නැත. පනත් කෙටුම්පත සම්මත වී කාලයක් ගියාට පසුව ඒ ගැන කතා කරන්නේ ඇයිදැයි ඇත්තේ ගැටලුවකි, ප්‍රශ්නයකි.

මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ සහ ප්‍රබල චෝදනාව වන්නේ ඔවුන් අපේක්ෂා කළ මට්ටමට ආදායම් උපයා ගැනීමට ආණ්ඩුව අසමත්වීම පිළිබඳවය. 2023 දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,667 ක් දක්වා ඉහළ නංවා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව විය. එහෙත් 2023 සැප්තැම්බර් 30 වැනිදා වනවිට එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 996 කි. ඒ අනුව දැනට එකතු කරගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ මුදලින් සියයට 60 කි. ඒ කාර්තු තුනක ප්‍රගතියයි. ඉතිරි වී තිබෙන අවසාන කාර්තුවේ දී ඉතිරි සියයට 40 එකතු කරගත නොහැකි බව ඉතා පැහැදිලිය. බදු එකතු කරන දේශීය ආදායම් රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේ අපේක්ෂිත බදු ආදායමට වඩා සියයට 15 සිට 20 අතර ගණනකින් සත්‍ය බදු ආදායම අඩුවන බවය. ඉන් අනාවරණය වන්නේ රජය 2023 දී රුපියල් බිලියන 1,667 ක බදු ආදායමක් අපේක්ෂා කළත් එය රුපියල් බිලියන 200 කින් පමණ අඩුවන බවය.

රජයේ ආදායම එසේ අඩු වුණාට ආණ්ඩුවේ වියදම් වැඩි වී තිබේ. 2022 ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයට සාපේක්ෂව 2023 ජනවාරි සිට ජුනි දක්වා වූ මාස හයේ දී ආණ්ඩුවේ පුනරාවර්තන වියදම පමණක් රුපියල් බිලියන 754 කින් වැඩි වී තිබේ. 2022 ජනවාරි සිට ජුනි දක්වා ආණ්ඩුවේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1572 කි. මේ 2023 ජනවාරි සිට ජුනි දක්වා වූ මාස හයේ දී ආණ්ඩුවේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2326 කි. 2022 ට සාපේක්ෂව 2023 වැඩිවීම රුපියල් බිලියන 754 කි. ඒ මාස හයකදීය. එහෙත් රජයේ ආදායම එතරම් නැත. 2022 මුල් මාස හයේදී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 920 කි. 2023 මුල් මාස හයේදී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1317 කි. 2022 මුල් මාස හයට සාපේක්ෂව 2023 මුල් මාස හයේ දී රජයේ ආදායම වැඩිවී තිබෙන්නේ රුපියල් බිලියන 397 කිනි. එහෙත් වියදමේ වැඩිවීම රුපියල් බිලියන 754 කි. රජයේ බදු ආදායම එසේ ඉහළ ගියේ ආණ්ඩුවේ හපන්කමක් නිසා නොවේ. ගැසිය හැකි හැම බද්දක්ම ගසා තෙල් මිල ඉහළ දැමීම යනාදියෙන් ජනතාව මත බැරි බර පැටවීමෙනි. 2023 මුල් මාස හයේදී ආදායම හා වියදම අතර පරතරය රුපියල් බිලියන 1009 කි.

ඒ පරතරය පියවාගෙන තිබෙන්නේ දේශීයව ණය ගැනීමෙනි. 2022 අවසන් වෙද්දී රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 15034 කි. 2023 අප්‍රේල් අවසන් වෙද්දී එය රුපියල් බිලියන 15665 ක් දක්වා ඉහළ ගොසිනි. මේ වන විට එය තවත් ඉහළ ගොස් ඇතිවා නිසැකය. එහෙත් ඒ පිළිබඳ නිල දත්ත රටට අනාවරණය නොකරයි. මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ යුතු 2023 දෙවැනි කාර්තුවේ ණය වාර්තාව අදටත් නිකුත් කර නැත. දැන් 2023 තෙවැනි කාර්තුවත් ගෙවී අවසන්ය. එහෙත් 2023 දෙවැනි කාර්තුවේ ණය වාර්තාව නිකුත් නොකරයි. එය නිකුත් නොකරන්නේ ආණ්ඩුවේ ණය ගැනීම් රටට හෙළිවන නිසාය. ජනතාවගෙන් ඇත්ත සඟවාගෙන ආණ්ඩුව රටේ ආර්ථිකය ගැන කියන්නේ හිතළු කතාය.

මූල්‍ය අරමුදල අනුමත කර තිබෙන්නේත් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයයි. ආණ්ඩුව මේ වනවිට ප්‍රදර්ශනය කර තිබෙන්නේ එය තමන්ට කළ නොහැකි බවය. ආදායම තවත් වැඩි කරගත්තත් රජයේ වියදම් ඊටත් වඩා වැඩිවෙයි. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ආණ්ඩුවට නොහැකිවෙයි. බංකොලොත්භාවය ප්‍රකාශ කළාට පසුත් ආණ්ඩුව කර තිබෙන්නේ ණය තොගය වර්ධනය කරගැනීමය. ඉන් අනාවරණය වන්නේ මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අසාර්ථක බවය. ඒ නිසා දැන් මූල්‍ය අරමුදල ආණ්ඩුවට බල කරන්නේ බදු තව තවත් වැඩි කළ යුතු බවටය. මට මෙය පෙනෙන්නේ ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල එක්ව කරන කුමන්ත්‍රණයක් ලෙසය. බදු ආදායම වැඩිකරගෙන නැතය. ඒ නිසා ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කර නැතැයි කියමින් මූල්‍ය අරමුදල ආණ්ඩුවට තව තවත් බලපෑම් කරයි. විදුලි බිල යළිත් වැඩි කිරීමට සැරසෙන්නේ ඒ බලපෑම් මතය. තෙල් මිල වැඩිකරන්නේත් ඒ නිසාය. 2024 වසර සඳහා වූ අය වැය ලේඛනය ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එමගින් බදු තව තවත් වැඩිකරනු ඇතැයිද අපේක්ෂා කළ හැකිය. ඒ සියල්ල කරන්නේ මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය. එසේම නිසැකය. මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා ආණ්ඩුව එසේ කරනු ද නිසැකය. මූල්‍ය අරමුදල ආණ්ඩුවට සකසා දෙමින්  සිටින්නේ ඒවා කිරීමට අවශ්‍ය පසුබිමය. මෙය මූල්‍ය අරමුදල සහ ලංකා ආණ්ඩුව එක්ව කරන කුමන්ත්‍රණයක් බව මා කියන්නේ එහෙයිනි.

මූල්‍ය අරමුදල කට අරින්නේ සියල්ල සිදු වුණාට පසුවය. මහ බැංකුව ස්වාධීන කරනවාය කියමින් ගෙනා පනත් කෙටුම්පත සම්මත වනතුරු ඒ පිළිබඳව කිසිවක් කිව්වේ නැත. සම්මත වූ පසුව දැන් කියන්නේ ඒ පනතේ අඩුපාඩු තිබෙන බවය. මහ බැංකු අධිපති හා නියෝජ්‍ය අධිපතිවරුන් පත් කරන ක්‍රමය වැරැදි බවය. එසේ කියන්නේ පනත සම්මත කර මාස ගණනක් ගියාට පසුවය. අවංක අරමුණකින් හා සද්භාවයෙන් යුතුව මූල්‍ය අරමුදල කටයුතු කරනවා නම් ඔය කතා කිව යුතුව තිබුණේ ඒ පනත් කෙටුම්පත කරළියට පැමිණි විගසය. එහෙත් පනත් කෙටුම්පත සම්මත වී මාස ගණනක් ගියාට පසුව ඒ ගැන විවේචන කිරීමෙන් ප්‍රදර්ශනය වන්නෙ මූල්‍ය අරමුදල අවංක නැති බවය. සද්භාවයෙන් කටයුතු නොකරන බවය. මූල්‍ය අරමුදලේ අපේක්ෂාව හා අරමුණ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිරීම නම් ආණ්ඩුව පළාත් පාලන  මැතිවරණය නොපවත්වා සිටීමට කරන කූට උපක්‍රම හමුවේ නිහඬව සිටින්නේ කෙසේ ද?

විකාශන අධිකාරී පනත, ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත සහ සමාජ මාධ්‍ය මර්දන පනත ප්‍රජාතන්ත්‍රවාදයට සහමුලින්ම හානිකරය. එහෙත් ඒවා කිසිවක් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල කට නාරියි. ඒ පිළිවෙතින් ප්‍රදර්ශනය වන්නේ මූල්‍ය අරමුදල අවංක නැති බවය. සද්භාවයෙන් කටයුතු නොකරන බවය. යටි අරමුණකින් කටයුතු කරන බවය. විකාශන අධිකාරී පනත නතර වුණේ මූල්‍ය අරමුදලේ විරෝධතාවක් නිසා නොවේ. රට ඇතුළෙන් එල්ල වූ විරෝධතා සහ ක්‍රියාමාර්ග හේතුවෙනි. තෙල් මිල, ජල, විදුලි ගාස්තු සහ බදු වැඩි කළ යුතු බවට නිර්දේශ කරන මූල්‍ය අරමුදල රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනසෙන තුරු බලා සිටීම උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔවුන්ගේ අරමුණ ලංකා ආණ්ඩුවට ණය දුන් විදේශීය මූල්‍යායතන සහ පුද්ගලයන්ගේ ණය අය කරදීම නම් ලංකාව අධිපතිවාදයෙන් මුදාගෙන මෙරටෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට උදව් කිරීමය. එසේම ආණ්ඩුවට බලපෑම් කිරීමය. එහෙත් එසේ නොකිරීම ප්‍රශ්නකාරීය.

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම තම අරමුණ බව මූල්‍ය අරමුදල කියයි. එහෙත් ආර්ථිකය කඩා වැටුණු ඕනෑම රටක බදු වැඩි කිරීමෙන් ඒ රටේ ආර්ථිකය ගොඩගත නොහැකිය. 2023 දෙවැනි කාර්තුවෙත් රටේ තියෙන්නේ වර්ධනය නොවූ ආර්ථිකයකි. ඝෘණ 3.1කින් 2023 දෙවැනි කාර්තුවේදීත් ආර්ථිකය කඩා වැටී තිබේ. ඒ කාර්තුවේ දී කර්මාන්ත අංශය සියයට 11.5කින් හැකිළී තිබේ. ඉන් හෙළිවන්නේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසෙමින් තිබෙන බවය. 2022 වසරේදී සියයට 4.7ක් වූ විරැකියාව 2023 දෙවැනි කාර්තුවේදී සියයට 5.2 දක්වා ඉහළ ගොසිනි. ඉන් හෙළිවන්නේ රැකියා කළ අයට රැකියා නැති වන බවය. රැකියා කළ  ලක්ෂ පහකට පමණ රැකියා අහිමිවී තිබෙන බව අනාවරණය වෙයි. එසේ සිදුවෙද්දී ආර්ථිකය හොඳ පැත්තකට ගමන් කරනවාය කියන්නේ කෙසේද?

2023 ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී ලංකාවේ අපනයන ආදායම සියයට 10.3කින් පහත වැටී තිබේ. 2022 ජනවාරියේ සිට ජූනි දක්වා කාලයේදී අපේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 7,687කි. 2023 ජනවාරි ජුනි  කාලයේදී එය ඩොලර් මිලියන 6,892කි. ඒ අඩුවීම සියයට 10.3කි. 2023 දී වැඩියෙන්ම අඩුවී තිබෙන්නේ කාර්මික අපනයනය. ඇඟලුම් වැනි අපනයන සියයට 13කින් අඩුවී තිබේ. ආනයනය සියයට 16කින් අඩුවී තිබේ. ආනයන අඩුවී තිබෙන්නේ පරිභෝගික භාණ්ඩවලින් නොවේ. පරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 3කින් වැඩිවී තිබේ. අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 16කින්ද ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 29කින්ද අඩුවී තිබේ. සිදුවෙමින් පවතින්නේ එසේ නම් මේ රට ඉස්සරහට යන්නේ කොහොමද? සත්‍ය වශයෙන්ම දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ ආර්ථිකය කඩා වැටීමය. ඒ කඩා වැටීම නැවැත්වීමට අවශ්‍ය පියවර නොගෙන බදු සහ තෙල් මිල වැඩි කිරීමෙන් සේම ජල විදුලි බස් ගාස්තු වැඩි කිරීමෙන් ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කර ගැනීමට දැඟලීමෙන් ආර්ථිකය ශක්තිමත් නොවෙයි. බලංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නොහැකි වෙයි. ජනතාවට තිබෙන දුක් පීඩා දුරු නොවෙයි. දිගින් දිගටම සිදුවන්නේ ජනතාව තවතවත් පීඩාවට පත් වීම පමණකි. සරලව කිවහොත් ජනතාවගේ සහ රටේ මිනී වළ හෑරීම පමණකි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (0)

රාජ්‍ය බදු වැඩිකිරීම විසඳුමද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 776 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 317 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 739 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 664 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 418 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 436 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37817 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site