බෞද්ධ දර්ශනයට අනුව රජු දෙවියන්ගේ නියෝජිතයකු හෝ සේවකයකු නොව මනුෂ්‍යයන්ගේ සේවකයෙකි. ජර්මන් දාර්ශනික සහ කාල් මාක්ස්ගේ ගුරුවරයකු වූ හේගල් ට අනුව රාජ්‍යය යනු මහපොළොවෙහි දෙවියන් වහන්සේගේ චලනය හෙවත් ගමන ය. රාජ්‍යය යනු මහපොළොවෙහි සාතන්ගේ ගමන හෝ චලනය යැයි ඔහු කීවේ නැත.
මහා භාරතයෙහි දැක්වෙන්නේ රජු විසින් මහජනයා ගැබෙහි සිටින දරුවන් මෙන් රැකිය යුතු බව ය. එසේම රජු විසින් දණ්ඩ නීතිය මගින් ලෝකය සංවර කරන බවය. කෙනෙකුට අති සරල යැයි සිතෙන මේ අදහස් ඉදිරිපත් කළේ අපේ පාඨකයා ට ඉතා සරල කරුණක් පැහැදිලිකර දීමේ අරමුණෙනි.
එනම් රාජ්‍යයකට, රජකුට, පාලකයකුට, ජන නියෝජිතයකුට මහජන හිතසුව පිණිස පැවරෙන කාර්යභාරය සුළුපටු නැත යන්න ඒ සරල කරුණය. මෙරට සියලූ ජනයා එය වටහාගත යුත්තේ කලක සිට අප මුහුණ දී සිටින රාජ්‍ය අර්බුදය තේරුම් ගැනීමේ මුල් පාඩම සහ පදනම ලෙස එය ඉතා වැදගත් වන බැවිණි.
1643 සිට 1715 දක්වා ප‍්‍රංශය පාලනය කළ ආඥාදායක පාලකයා වූ 16 වැනි ලූවී ප‍්‍රකාශ කළේ ‘රාජ්‍යය යනු මම ය’ කියා ය. එළිපිට නොකීවත් බොහෝ ආඥාදායකයන්ගේ හැටි සහ වැඩ එහෙමය. එහෙත් අපේ රටේ පාලකයන් දහසය වැනි ලූවී ට වඩා මඳක් හොඳ යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. මන්ද මෙරට පාලකයෝ රාජ්‍යය යනු මම ය කියා නොකියති. ඔවුන් කියන්නේ ‘රාජ්‍යය යනු අප ය’ කියා ය. ඒත් ඒ ‘අප’ යන්න ට මෙරටේ පොදු ජනයා අයිති වෙන්නේ නැත. ඊට අයිති වෙන්නේ පාලකයනුත්, ඒ අයගේ පවුලේ අයත්, ඥාතීනුත්, හිතමිතුරනුත් ඒ වගේම සහචරයෝත්ය මේ කියන එක තේරුම් ගැනීමට, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ කියවීම පමණක් වුව සෑහේ.
එහෙම බලනකොට නම් මේ පාලකයන් තදින් ම අවධාරණය කරන්නේ ‘‘රාජ්‍යය යනු කිසිසේත් ම තොපි නොවේ, තොපෙත් නොවේ, එය අපේය, අපි පමණක්ම ය’’ යන්න ය. ඒ බව ඔප්පු කිරීමට තම තමන්ගේ වැටුප්, දීමනා, කුලී, වාහන, වාහන පර්මිට්, පවුලේ අයවත් බඳවා ගත හැකි තනතුරු යනාදිය හිතූ හිතූ ආකාරය ට වැඩිකරගැනීම ගැන කතා කිරීම නොවටිනා තරම් ය.
මොවුන් ස්වකීය ජාවාරම්කාර ධන සමුච්ඡුනය සඳහා ප‍්‍රකෝටි ගණනින් රටේ ජනයාගේ මුදල්, අනේකවිධ සම්පතින් සහ වනාන්තරවලින් අනූන මහපොළොව, මහ මුහුද, රේඩියෝ, රූපවාහිනී, දුරකථන, අන්තර්ජාල තරංග/සංඛ්‍යාත වලින් පිරුණු අහස, වරාය සහ ගුවන්තොටුපොළවල් පමණක් නොව නාවික මුහුදු තීර සහ ගුවන් තීර අලෙවි කළ හැකි භාණ්ඩ සහ සේවා බවට පත්කරගෙන ඇත්තේ විස්මයජනක ලෙසය. ඒවා කරන හැටි ඔවුන්ට මිස පොදු ජනයාට තේරෙන්නේ නැත. ඒ නිසාම ඔවුන්ගේ ‘අපි’ ගොඩේ පොදු ජනයා නැත.
එක දිගට පෙළගැසෙන සිදුවීම් හමුවේ මේ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ ‘රාජ්‍යය යනු අප ය’ යන ලූවීවාදී ප‍්‍රතිපත්තිය යි. එය පැවති ප‍්‍රතිගාමී ආණ්ඩුවල ට වඩා ප‍්‍රතිගාමී ඉදිරි වර්ධනයක් මිස ප‍්‍රගතිශීලී ඉදිරි වර්ධනයක් නම් නොවේ. කාලයක සිට මේ රට මත දෙවියන්ගේ ගමන හෝ චලනය සිදුවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ සාතන් ලා ගේ ගමන සහ චලනය යි.
රාජ්‍යය යනු අපය කියා සිතන සහ වැඩකරන‘පාලකආණ්ඩු රාජ්‍යය’ උසස් අධ්‍යාපනය මත ගමන් කරමින් එය විනාශ කළේය. ඒ සඳහා ප‍්‍රසිද්ධ නිදර්ශනය සයිටම් අර්බුදය යි. මේ පාලකආණ්ඩු රාජ්‍යය රටේ ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුව මතින් ගමන් කළේ, චලනය වූයේ මහ බැංකුව පිළිබඳ අති දැවැන්ත අවිශ්වාසයක් ප‍්‍රදානය කරමිණි. පොදුජන මුදල් ප‍්‍රකෝටි ගණනක් ජන සමාජයට අහිමි කරමිණි.
එතැනින් නොනැවතුණු පාලකආණ්ඩු රාජ්‍යය, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මතින් ද දිව ගියේ ය. එහි ආයතනික ජාතික දැක්ම වූ ‘‘ආයතනික විශිෂ්ටත්වය තුළින් සමස්ත පාර්ශ්වකරුවන් සඳහා වූ ක‍්‍රියාශීලී හා ස්ථාවර ප‍්‍රමුඛ භාරයක් බවට පත්වීම’’ යන්න සුළුවෙන් හෝ නොතැකූ මේ ලූවීවාදීන් රටේ සේවා නියුක්තයන්ගේ භාරය අවභාවිතා කළේ නොහික්මුණු දාමරිකයන් සේ ය. 1958 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ස්ථාපිත කළ අර්ථ සාධක අරමුදල මේ වනවිට මෙරට විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රමයයි. එහි වත්කම රුපියල් බිලියන 1665 කි.
සේවක අර්ථ සාධක අරමුදලේ අරමුණ වන්නේ ජීවිතයේ සැඳෑ සමයේ දී සේවකයාගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ රටේ ආර්ථික වර්ධනය සඳහා සේවකයා කළ දායකත්වය ට කෘත ගුණ සැලකීමයි. එහෙත් ඒ අර්ථ සාධක අරමුදල උඩින් ද පාලක ආණ්ඩු රාජ්‍යය ගමන් කළේ ය. එසේ ගමන් කළේ ඒ අරමුදල් දෙකේම සහචරයන් කීප දෙනකුට රහස් තොරතුරු ලබාදීමේ කාර්යයට දස කෝටි ගණනින් වූ අල්ලස් ද ලබා දෙමිනි. සතෙන් සතේ, රුපියලෙන් රුපියල ඉතිරි කරන බැංකුව ට ද අත්වුණේ ඒ ඉරණම ය. මේ හැම තැනකම ගොඩ ගැසී තිබුණේ පොදු ජනයාගේ දහඩිය මහන්සිය ය. සමාජ ආරක්ෂණය වක්කඬේ සැඟ වූ හකුරු බවට පත් විය.
මේ පාලකආණ්ඩු රාජ්‍යය, උමා ඔය දිගේ සීතල කඳුකරය හරහා ගිය ගමනේ ප‍්‍රතිඵලය වුනේ මධ්‍යම කඳුකරය ට කඳු ගිලා බැස ගිය දිය සිඳුණ ජන ශුන්‍ය සීතල කාන්තාරයක් උරුම වීම ය. හම්බන්තොට හරහා ගිය ගමනේ ප‍්‍රතිඵලය වූයේ වරාය, ගුවන්තොටුපොළ සහ තැනි බිම් රට ට අහිමිවීමය.
විල්පත්තුව හරහා ඒ මතින් ගිය ගමනේ ප‍්‍රතිඵලය වූයේ වන ගහණයේ නෑඹුල් තැන් මිනිස් ගඳින් ඉහවහා ගිය අක්කර දස දහස් ගණනක මහා වනාන්තර විනාශයක් ය. මේ දෙස බලන කෙනෙකුට සිතෙන දෙය නම් ‘අනේ හේගල් කියූ ලෙස දෙවියන් අපේ රට මත ඇවිද යන්නේ ම චලනය වන්නේ ම නැතිද යන්නය.
මහා භාරතයෙහි දැක්වෙන ලෙස රාජ්‍යය විසින් සමාජය සංවර කරනු ලබන්නේ දණ්ඩ නීතිය මගිනි. රාජ්‍යය විසින් දණ්ඩ නීතිය මගින් සමාජය සංවර කිරීමේ අලූත්ම උදාහරණය අප දුටුවේ මෑතක හම්බන්තොට දී පැවැත්වුණු විරෝධතාවේ දී ය. එහිදී ඉහළ පොලිස් නිලධාරියකු තරුණ මාධ්‍ය කරුවකුගේ කන පුපුරන්නට පහර දෙන්නේ ඒ මාධ්‍යකරුවා අත්අඩංගුවට ගත් අනික් පොලිස් නිලධාරීන් දෙදෙනාද තුෂ්නිම්භූත කරවමිනි. එසේ ම බටලන්ද, සුරියකන්ද, වවුල් කැලේ, මීගමුව, කටුනායක, රතුපස්වල, මීතොටමුල්ල සහ දෛනිකව කොළඹ නගරයේ මහජන ව්‍යාපාරවල ට එල්ලවන පොලිස් ප‍්‍රහාර පෙන්නුම් කරමින් සිටින්නේ මහා භාරතයෙහි සඳහන් වන රාජ්‍යය විසින් සමාජය සංවර කිරීමේ දණ්ඩ නීතිය ක‍්‍රියාවට නැඟීමක් නම් නොවේ. මේ සියලූ කරුණු හරහා පෙන්නුම් කරමින් සිටින්නේ මේ රාජ්‍යය ට, 16 වැනි ලූවී කියූ දේ ට මඳක් වෙනස්ව ‘රාජ්‍යය යනු අප ය’ යන්න ගැළපෙන බව මිස එය බෞද්ධ දර්ශනය ට හෝ මහා භාරතය ට හෝ හේගල් ට හෝ පෙනුණු රාජ්‍යය නම් නොවේ යන්න ය.
කලක සිට තැනූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා එකකටවත් මේ කරුමයෙන් මේ රට ගොඩ ගැනීමට හැකි වුණේ නැත. එසේම ඉහතකී පොදුජන පීඩා ඉවත්කිරීමට හැකිවුණේත් නැත. හදමින් තියෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ඒ කාරණාවලදී අසමත්ය. පොදුජන සමාජයට ගිනි ඇවිළවීම මිස එහි ගිනි නිවීමට කිසිදු උත්සාහයක් ගෙන නැත. මේ ප‍්‍රඥාවන්ත ව්‍යවස්ථා විශාරදයන් කරමින් සිටින්නේ ගිනි ගන්නා අර්බුදය මත තම සිතැඟිවලට ගැළපෙන කූටෝපායන් ක‍්‍රියාවට නැඟීම ය.
ඉහත ව්‍යංගයෙන් සඳහන් කළ, පොදුජන සමාජය මුහුණදෙමින් සිටින කිසිදු ගැටලූවකට උත්තර නැති, විසඳුම් නැති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ අර කියූ ආකාරයේ ලූවීවාදී පාලකයන් සහ ඔවුන්ව රූකඩ සේ නටවනවුන්ට මිස පොදු ජනයා ට නම් නොවේ.
මේ විශාරදයන්ගෙන් ඇසීමට ප‍්‍රශ්න රාශියක් තිබුණද ඉන් එකක් ඇසීම අත්‍යවශ්‍යය. පොදු ජනයා මුහුණදෙන බඩගින්න, රෝග බිය, සොරසතුරු බිය, මහපොළොව, අහස, අවකාශ (භූගෝලීය-සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික), මුහුද, වනාන්තර, යනාදී පොදුජන සම්පත් සහචර කල්ලි විසින් අත්පත්කර ගැනීම, විකිණීම, අවභාවිත කිරීම, ජනයාට අහිමි කිරීම සහ විනාශ කිරීම යනාදිය වළක්වාලීමට රාජ්‍යය ට නොහැකිවී ඇත්තේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මොන වරද නිසාද යන්න ඒ ඇසිය යුතුම ප‍්‍රශ්නය යි. එසේ වී ඇත්තේ ව්‍යවස්ථාවේ වරදක් නිසා නම් නොවේ. ලූවීවාදී පාලකයන්ට ජනතාවගේ ඒ පීඩා සහ ප‍්‍රශ්න සිහියට එන්නේ මැතිවරණවලදී පමණක් වන නිසාය.
ඉතා සරල ප‍්‍රශ්න කීපයක් ද ඇසිය යුතුය. බටලන්ද, සූරියකන්ද, වවුල් කැලේ, මීගමුව, කටුනායක, රතුපස්වල, මීතොටමුල්ල සහ දෛනිකව කොළඹ නගරයේ මහජන ව්‍යාපාරවල ට එල්ලවූ සහ එල්ලවන පොලිස් ප‍්‍රහාර එසේ සිදුවුණේ සහ සිදුවන්නේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කුමන අඩුපාඩුව නිසා ද? මහ බැංකු බැඳුම්කර වංචාව සහ ඊට අනුබද්ධව සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ, අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා වුණේ සහ රාජ්‍ය බැංකුවල පොලී අනුපාත අඩුවුණේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කුමන අඩුපාඩුව නිසා ද?
මේ සියලූ ප‍්‍රශ්නවලට පිළිතුරු මේ වන විට පොදු ජනයා වටහාගෙන සිටින නිසා සිදුවී ඇත්තේ අවුස්සන්නට යන ව්‍යවස්ථා උන්මාදය ලත් තැනම ලොප් වීමය. එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථා විශාරදයන් මීළඟට ගන්නා පියවර කුමක් ද යන්නට වඩා වැදගත් වන්නේ ජනතාව ගන්නා තීරණය කුමක්ද යන්න ය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට තනි බුක්තියට ගැනීම්
Raveendra Saturday, 21 October 2017 05:53 PM
දුන්නේ කම්බුල් පර කන පුපුරන්ටය...... දැක්කේ නැහැ කැමරාවක් මානා ඇතිබවට..... උත්සහ කලේ තව තරුවක් අදින්ටය....... පසුවය දන්නේ මුළු ලෝකෙම දැක්ක බව.....