මෙරට අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් ඇතිවිය යුතු බවට කතාබහක් විවිධ අවස්ථාවල විවිධ පාර්ශ්‍ව අතර ඇතිවූ බව පෙනේ. යම් යම් අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවත් අපේක්ෂිත වෙනස සිදුවී නැති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ ඇයි? ඒ වෙනස සිදු කළ යුත්තේ කෙසේද? ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේද මෙරට ආර්ථිකයට දායකවන ඵලදායී පුරවැසියෙක්, සතුටු පවුලක්, විනයානුකූල සමාජයක් සහ සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමය. එකී අරමුණ දිනාගැනීමට නම් එහි මූලික පදනම වන්නේ අධ්‍යාපනයයි. රටක සාමාජික නිවැරැදි දැක්ම තීරණය වන්නේ එම අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය අනුවයි. එහෙත් දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයෙන් මේ කියන අරමුණ ඉටු වෙනවාද යන්න ප්‍රශ්න කළහොත් පිළිතුරු වන්නේ නැත යන්නය.
මෙතෙක් පැවැති අධ්‍යාපනයට අනුව ශිෂ්‍යයන් පාසල තුළ සහ විශ්වවිද්‍යාලය තුළ ගත කරන වසර දාසයක කාලය පුරාම ඔවුන් සිදු කොට ඇත්තේ මූලික වශයෙන් ගුරුවරයාට සවන්දීමය. ශිෂ්‍යයන්ට ඉගැන්වීම මෙහි ප්‍රමුඛ කාරණයයි. එහෙත් ශිෂ්‍යයන්ට ස්වයං ඉගැනුම් අවස්ථාවක් මෙහිදී ලැබෙන්නේ කලාතුරකිනි. කියැවීම හා ලිවීම පදනම් කොටගත් අධ්‍යාපන ක්‍රමයකින් පමණක් ඵලදායී පුරවැසියකු නිර්මාණය වන්නේ නැත.
එහෙත් අප ඉහත කී සෞභාග්‍යවත් දේශය නිර්මාණය කරගැනීමට මේ කියන අධ්‍යාපන ක්‍රමය යෝග්‍ය නොවන බව පැහැදිලි කරුණකි. එදාට වඩා සෑම අතකින්ම ලෝකය වෙනස්වී ඇත. එහෙත් ඒ වෙනසට සමගාමීව අපගේ අධ්‍යාපන ක්‍රමය යල් පැනගිය එකකි. මේ කියන අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කළ යටත්විජිත ජාතිකයන්ට වුවමනා වූයේත් ‘යර්ස් සර්’ සංකල්පයේ මිනිසකු තැනීම මිස චින්තකයකු ගොඩනැගීම නොවේ. ඒ නිසා මේ තත්ත්වය තේරුම් ගෙන රටට ගැළපෙන පුරවැසියා නිර්මාණය කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සැකසීම දැන්වත් සිදුවිය යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාව වී ඇත්තේද එයයි.
තවදුරටත් අතීත අත්දැකීම් මත පදනම්ව කරුණු සොයා බැලුවොත් ක්‍රි.ව. 1950 වනවිට අපගේ ඒකපුද්ගල ආදායම ඩොලර් 89 කි. එම වසරේම ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 90 කි. මැලේසියාවේ එම අගය ඩොලර් 30 කි. ඒ වනවිට සිංගප්පූරුවද මැලේසියාවේ කොටසකි. සිංගප්පූරුව ගොඩනැගෙන්නේ 1965 වසරේය. මේ අපේ රට නිදහස ලබා වසර දෙකකට පසුව පැවැති තත්ත්වයයි.
එහෙත් අද තත්ත්වය කුමක්ද? අද වනවිට සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 64,000 කි. ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 48,000 කි. මැලේසියාවේ එම අගය ඩොලර් 12,000 කි. එහෙත් ලංකාවේ ඒකපුද්ගල ආදායම අද වනවිට ඩොලර් 4000 කි. එසේ නම් ගත වූ මේ කාලය තුළ පැහැදිලි අර්බුදයක් නිර්මාණය වී ඇති බව අපි තේරුම් ගතයුතුව ඇත්තෙමු.
නව අධ්‍යාපන වෙනස පිළිබඳව අවධානය හා වුවමනාව ජනාධිපතිවරයා තුළ ප්‍රමුඛව පැවැතියත් එය අරමුණ කරා ගෙන යා හැකිවන්නේ දේශපාලකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවංක කැපවීම මතය. අධ්‍යාපනය තුළින් පුද්ගල ජන විඥානය ගොඩනැගීමට නම් සියල්ලන්ගේ ඒ කැපවීම අත්‍යවශ්‍යය.
එබැවින් අප දැන් කල්පනා කළ යුත්තේ ඉදිරි වසර 15 තුළ ලංකාව සංවර්ධිත රටක් දක්වා රැගෙන යන්නේ කෙසේද කියායි. සංවර්ධිත යැයි ලෝක බැංකුව සලකන්නේ ඒකපුද්ගල ආදායම ඩොලර් 12,000කට වැඩි රටවල් වේ. දැනට ඩොලර් හාරදහසේ සිටින අප ඒ ඉලක්කයට යාමට නම් තවත් ඩොලර් අටදහසක් සම්පූර්ණ කළ යුතුව ඇත. මේ කියන ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදහසේ මට්ටමට ගෙන ඒමට වසර හැත්තෑවක් පමණ ගතවුණා නම් ඉතිරි ඩොලර් අටදහසේ ඉලක්කය සපුරා ගැනීමට වසර එකසිය හතළිහක් බලා සිටිය යුතුද? නැත. නිසිපරිදි සැලසුම් සහගතව කටයුතු කළහොත් මේ ඉලක්කය වසර 15කින් සපුරා ගැනීමට බැරි නැත. එසේ කිරීමට නම් ඒකපුද්ගල ආදායම වසරකට ඩොලර් 533 බැගින් වර්ධනය කරගත යුතුව ඇත.
මීට සාපේක්ෂව අනෙක් වැදගත් කරුණ වන්නේ විදේශ විනිමයයි. මීට කලකට පෙර 4.76 ට පැවැති ඩොලරයේ දැන් තත්ත්වය සලකා බැලීමෙන් අර්බුදය පැහැදිලිය.
මෙය අස්ථාවර තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ ආනයනවලට තැන දී අපනයන අවම වීමයි. ඒ තත්ත්වය යටතේ රට දියුණු කිරීම කළ හැකිද යන කරුණ ගැන දැන් නැවත සිතාබැලිය යුතුය.
සේවා සැපයුම් පැත්තෙන් බැලුවද අපේ ආර්ථීකයෙන් සියයට 60% ක ආසන්න ප්‍රමාණයක් ආවරණය වන්නේ සේවා සැපයුම්වලිනි. කර්මාන්තවලින් සියයට 27 කි.
කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආර්ථික දායකත්වය ඊටත් අඩුය. එය සියයට 7.8 කි. ලංකාවේ ජනගහනයෙන් සියයට 25 ක් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්තෝ වෙති. මේ තත්ත්වය වෙනස් විය යුත්තකි. ප්‍රධාන වශයෙන්ම අවශ්‍යව ඇත්තේ කෘෂිකර්මාන්තයේ යෙදෙන තරුණයන්ට නිසි ඇගයීමක් හා වටිනාකමක් ලබාදීමය. එය කළ හැක්කේ අධ්‍යාපනයෙනි.
ස්වයංපෝෂිත ආර්ථිකයක් රට තුළම ඇති කර ගැනීමෙන් ආර්ථික අර්බුද ඇතුළු ගැටලු රැසකට විසඳුම් සපයාගත හැකිය. පස, ජලය, වාතය ආදී සම්පත් ආරක්ෂා කරගැනීමේ වටිනාකමත් එහි අවශ්‍යතාවත් දරු පරපුර වෙත ලබාදීම අතිශය වැදගත්ය. නොමිලයේ දුන්නත් පිටරටින් නොගෙන ආ යුතු දෙය නම් කෘෂිකර්මයයි. කවර අන්දමේ රැකියාවක නියුතු වූවන් කෘෂිකර්මය අත්නොහැරිය යුතුය. දේශීය ගොවියා නගාසිටුවීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුවා පමණක් නොව විධිමත් කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම අවබෝධය සහිත අධ්‍යාපනයක් දැන් අවශ්‍යව ඇත.
මෙතැනදී අධ්‍යාපනය ලෙස මා හැඳින්වූයේ අධ්‍යාපනය පමණක් නොවේ. එය ජාතික අධ්‍යාපනය මත පදනම් වන්නකි. ඇත්තටම මෙහිදී අධ්‍යාපනය ලෙස හැඳින්වෙන්නේ ජාතික අධ්‍යාපනයයි. ගම - නගරය යන්නෙහි පරතරය අඩු කිරීමට අධ්‍යාපනය උපයෝගී කරගත හැක. දැන් අධ්‍යාපනය සැකසී තිබෙන්නේ හුදෙක් අධ්‍යාපනය සඳහාමය. ජාතික සංවර්ධනයට එය ඍජු ලෙස දායකවන බවක් පෙනෙන්නට නැත.
මේ කරුණු සියල්ල සලකා බලා දැනට පවත්වන අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය යෝජනා කරන අතර නව අධ්‍යාපනයෙන් එළියට එන ශිෂ්‍යයා මූලික කරුණු හයකින් යුක්ත විය යුතුය. ඒ මෙසේය.
I. ජාතික සංවර්ධනයට ක්‍රියාශීලිව දායක විය හැකි පුද්ගලයකු වීම.
මෙය වෘත්තියමය වශයෙන් විවිධ විය හැකිය. ගොවියකු, වඩු කාර්මිකයකු හෝ වෙනත් වෘත්තිකයකු ආදී වශයෙනි. එහෙත් ඔහු ජාතික සංවර්ධනයට ක්‍රියාකාරීව වැදගත් වන්නකු විය යුතුය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? උපාධිධාරීහු හැටදහසක් පමණ වසරකට වතාවක් රැකියා විරහිතව විශ්වවිද්‍යාලවලින් පිටවෙති. මේ හේතුව නිසා නැවත මුදල් ගෙවා ඔවුන් විවිධ රැකියා සඳහා බඳවා ගැනීමට ආණ්‍ඩුවටම සිදුවී තිබේ. මේ වැඩපිළිවෙළ නිසා ඒ අය ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව ඍජු දායකවීමක් සිදුවන්නේද යන්න නැවත ප්‍රශ්න කළ යුත්තකි.
දැන් ඇතිවී තිබෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් ගෙවා දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදී දරුවන් උපාධිය සමත්වූ පසු නැවත රජය විසින් ඔවුන්ට රැකියා දිය යුතු තත්ත්වයකි. විශේෂයෙන්ම මෙම ගැටලුව මතුවී ඇත්තේ කලා උපාධිධාරීන් අතරය. නිර්මාණශීලී චින්තනයකින් තොරව සහතිකයකට පමණක් උපාධිධාරීන් බිහිකිරීමේ මේ කියන ක්‍රමවේදය තුළ සිට බැලුවත් පවත්නා අධ්‍යාපන ක්‍රමයේ වරදක් නැද්ද?
II. සඵලදායී සහ කාර්යක්ෂම සේවකයකු වීම
මෙය දෙවැනි අරමුණයි. ඔහු තමන් ලබාගන්නා වැටුපට සාධාරණ සේවාවක් කැපවීමෙන් ඉටු කරන්නෙකි. නැතහොත් තම ව්‍යාපාරය හෝ රැකියාව නිසි පරිදි සැලසුම් සහගතව කරන්නෙකි. දැනටත් විවිධ සේවාවල යෙදෙන ඇතැම් තරුණයෝ රැකියාව පිළිබඳ අවබෝධයෙන්, කැපවීමෙන් හා විනයකින් යුතුව ක්‍රියා නොකරති. සුළු ගැටලුවකදී පවා රැකියාව අත්හැර යති. එසේ වන්නේ එවැනි විනයක් හා වෘත්තීය ගෞරවය සහිත අවබෝධයක් අධ්‍යාපන ක්‍රමය මගින් ලබාදී නොමැති නිසාය.
මෙහිදී අපේ අපේක්ෂාව වන්නේ නව අධ්‍යාපන ක්‍රමය යටතේ එම විනය සහ වෘත්තීය ගෞරවය සහිත අවබෝධය ඇති සඵලදායී කාර්යක්ෂම පුරවැසියකු නිර්මාණය කිරීම වෙයි.
III. රැකියා නිර්මාණය කරන්නන් බිහි කිරීම.
මේ අධ්‍යාපන ක්‍රමය තුළ රැකියා නිපදවන්නන් බිහිවන්නේ කලාතුරකිනි. සෑමවිටම පාහේ දැකිය හැක්කේ රැකියා ඉල්ලා සිටින තරුණ පරපුරකි. එහෙත් මේ ක්‍රමය දිගින් දිගටම පැවතීමෙන් පරාදීන මනසක් නිර්මාණය වනවා පමණක් නොව අලුතින් යමක් නිර්මාණය කිරීමට මනස යොමුවන බවක් ද නොපෙනේ. අපට අවශ්‍ය වන්නේ ව්‍යවසායකයන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයකි. ව්‍යවසායකත්ව මනසක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය මෙයින් ගොඩනැගිය යුතුය.
IV. රටට ආදරය කරන පුරවැසියකු බිහි කිරීම
නිසි අධ්‍යාපනයක් ලබන පුරවැසියකු තුළින් මතුවිය යුතු ප්‍රධාන කාරණයක් විය යුත්තේ ඔහු රටට ආදරය කරන අයකු බවට පත්වීමයි. දැන් තත්ත්වය කුමක්ද? ඉහළ සුදුසුකම් සපුරා නිසි අධ්‍යාපනයක් ලබන බොහෝ දෙනා උත්සාහ ගන්නේ ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටකට යෑමටය. මවුපියන් දරුවන්ට උගන්වන්නේ ඒ අරමුණ ඇතිවය. මේ බුද්ධිගලනය හේතුවෙන් රටේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවලට කෙරෙන ඍජු හා වක්‍ර බලපෑම් බොහොමයකි. ඒ තත්ත්වය වෙනස් කෙරෙන රටට ආදරය කරන පුරවැසියකු බිහි කරගත හැකි අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වන්නේ එබැවිනි.
V. යහපත් මනුෂ්‍යයකු බිහි කිරීම.
කවර අන්දමේ අධ්‍යාපන සුදුසුකම් සපිරුණු අයකු වුවත් ඒ පුද්ගලයා සතුව ගුණධර්ම සහිත මනුෂ්‍යකම් නැතිනම් පවුලට, සමාජයට හා රටට ඔහුගෙන් සෙතක් වන්නේ නැත. ආකල්පමය වශයෙන් සංවර්ධනයක් මෙහිදී අපේක්ෂා කෙරේ. මානව සමාජය කෙරෙහි දයානුකම්පාවක් සහිත නිවැරදි බුද්ධිමත් දැක්මකින් යුතු මිනිසකු බිහිවීමෙන් යහපත් සමාජයකට අඩිතාලම දැමිය හැකිය.
VI. සතුටින් ජීවත්වන පවුලක්
අධ්‍යාපනයෙන් ගොඩනැගෙන මේ කරුණු සියල්ලෙහිම අවසන් අරමුණ වන්නේ සතුටින් ජීවිතය ගත කිරීම නොවේද? ඒ යනු තම පවුල් ඒකකය සමගින් සුහද බවින් යුතුව ගත කිරීමය. මේ අනුව සලකා බැලීමේදී නව අධ්‍යාපන වෙනස්කම්වලින් අපගේ ප්‍රධාන අපේක්ෂිත අරමුණ වන්නේ ඉහත සඳහන් කළ කරුණු හය මනාකොට සම්පූර්ණ කිරීමෙන් බිහිවන පුරවැසියා දැකීමය. එහෙත් මෙතෙක් කාලයක් පැවැති අධ්‍යාපන ක්‍රමයෙන් එවැන්නක් ඉටු වූ බවක් පෙනෙන්නට නැත. විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් බිහිවූ පලියට එවන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් දක්නට ලැබුණේ නැත.
එසේ නම් දැන් අපේ අරමුණ විය යුත්තේ කුමක්ද? දුරකථනයක් නිර්මාණය කරන්නේ යැයි සිතමු. අංක කරකවන දුරකථනයක් අද සමාජය වෙනුවෙන් නිෂ්පාදනය කිරීමේ ප්‍රයෝජනයක් වේවිද? එසේ නම් අප නිපදවිය යුත්තේ අදට ගැළපෙන සුහුරු දුරකථනයයි (ස්මාර්ට් දුරකථනය). එයින් අදහස් කෙරෙන්නේ යුගයෙන් යුගයට සිදුවන පුද්ගල සංවර්ධනය, අධ්‍යාපනය අදාළ යුගයට ගැළපිය යුතු බවය. එසේ නොමැති වුවහොත් එම පුරවැසියාගෙන් සමාජයට සිදුවිය යුතු මෙහෙවර මෙන්ම යහපත ද අපේක්ෂිත මට්ටමට ලැබෙන්නේ නැත.
මෙතෙක් සිදුව ඇත්තේ පාසලට හෝ විශ්වවිද්‍යාලයට දරුවන් යොමු කිරීමෙන් පසු එයින් පිටතට පැමිණෙන තුරු දරුවා පිළිබඳ නිරීක්ෂණය සමාජීය වශයෙන් සවිමත් නොවීමය. දැන්වත් මේ ගතානුගතික ක්‍රමවේදයෙන් ඔබ්බට සිතිය යුත්තේ මේ නිසාය.
අනාගත ශ්‍රී ලංකාව වෙනස් කළ යුතු නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුමය. එය සකස් විය යුත්තේ ජාතික සංවර්ධනය සඳහා අධ්‍යාපනය යන පදනමේ පිහිටාගෙනය. එහෙත් දැන් ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපනය සංකල්පයයි. මේ සංකල්පය තුළ ජාතික සංවර්ධනය වෙනුවෙන් නිශ්චිත ඉලක්ක හඳුනාගත නොහැකිය. ඉහත අධ්‍යාපන ඉලක්ක සපුරා ගතහොත් දැක්මක් ඇති රටක් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක් නොවනු ඇත. රටක අධ්‍යාපනය යනු සමස්ත ජනතාව ඥානනය කිරීමක් මිස පාසලට සීමාවූ විෂය නිර්දේශ ආවරණය කරන අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනය හරහා මූලිකව සිදුවිය යුත්තේ චින්තන මණ්ඩල විතැන් කිරීමේ ක්‍රමයකි. රටේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන අධ්‍යාපන ක්‍රමයක් රටට කුමටද? සාර්ථක පිළිතුරු ලැබෙන අධ්‍යාපනයක් ගොඩනැගීමට නම් වගකිවයුතු සියල්ලන් එක්වී මේ කරුණු කාරණා ගැන සාකච්ඡාකොට ක්‍රියාත්මක කිරීම වඩා වැදගත් වන්නේය.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට නංවන අධ්‍යාපන වෙනසක්
Raveendr Wednesday, 10 March 2021 07:23 AM
ඉතාමත්ම සාරවත් මෙන්ම හරබර ලිපියක්... දශක කීපයකට පෙර සිදුකළ යුතුව තිබූ මෙය සැමදාම සාකච්ඡා මේසවලට පමණක් සිමාවූවාද යන්න අමුතුවෙන්ම විමසිය යුතු නැත. අධ්‍යාපනයේ කෙළ පැමිණි ඔස්තාර්ලා මේවා යෝජනා කළ යුතුව තිබුණේ සෑහෙන කලකට පෙර වුණත් එසේ නොකළේ මන්ද යන්න විමසීම වඩාත් උචිතවනු ඇත. එලෙසම මෙම වාක්‍යයන් තේරුම් කෙරුමට උත්සාහ කරන අර්ථය කිසිදා අප රට තුළ සිදු නොවෙන දෙයකි. එය ඉර හඳ මෙන් විශ්වාසයි. මක්නිසාදයත් රටේ දියුණුවට, රටේ උන්නතියට "බලයේ සිටිනා කුමන පක්ෂයක්" සාධනීය යෝජනා ඉදිරිපත් කරත්, එයට එකහෙලාම විරුද්ධ වන ගතානුගතික මෝඩ තකතිරුවන් විපක්ෂ දේශපාලන පට්ටියේ සිටීමයි.
විමල්Thursday, 11 March 2021 02:11 AM
සර් මොනවා හරි සුලුවෙන් හරි පටන් ගන්න.. කරලා පෙන්වන්න.. ප්‍රතිඵල එන්න කල් යයි. කමක් නෑ.
අරුණ Wednesday, 10 March 2021 08:11 AM
බස්නාහිර පළාතේ ඉස්කෝල ටික ඇරලා ඉන්නකෝ ඔක්කොටම ඉස්සෙල්ල
කමල් Thursday, 11 March 2021 04:32 AM
කරුණු සියල්ලෙහිම අවසන් අරමුණ වන්නේ සතුටින් ජීවිතය ගත කිරීම නම් එහෙම ජීවිත හිස්. ඔයිට වඩා හොඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න ඕනෑ.