මහනුවර, ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (22)රාත්‍රියේදී ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව වීථි සංචාරය කෙරේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
රටේ උද්ගතව ඇති කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ උපදෙස් මත, පසුගිය වසරේදී මෙන් ම, මෙවරද මහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන්නේ ජනතා සහභාගිත්වයෙන් තොරවය. තවද පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සියලුම දෙනා ජෛව බුබුළක් ලෙස රඳවා ගනිමින් පෙරහර පැවැත්වීම විශේෂත්වයකි. ඒ ඔවුන්ගේම ආරක්ෂාව සහ පෙරහර කිසිදු අඩුපාඩුවකින් තොරව පවත්වා ගෙන යාම සඳහාය. මෙවර ඇසළ පෙරහර සඳහා අලි ඇතුන් හැට පහක්, හැත්තෑවක් පමණද සංඛ්‍යාවක් ද, දළදා කරඬුව වැඩමවීම සඳහා වසර කිහිපයකින් පසුව, නැදුන්ගමුවේ රාජා හස්තියාද සහභාගි වන අතර ඇතා සමග මාළිගාවේ ඉන්දිරාජා සහ කතරගම වාසනා දෑළේ ගමන් කරනු ඇත. ඊට අමතරව දහසක පමණ කලාකරුවන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත් හෙට (22) දින පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහරෙන් පසුව අනිද්දා එනම් විසි තුන්වන (23) දින පැවැත්වෙන දවල් පෙරහරෙන් ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ. හෙට දින එනම් නිකිණි පෝදා (ඉරිදා) පවැත්වෙන අවසන් රන්දෝලි පෙරහර රාත්‍රි 06 පසු වී විනාඩි 23 ට වයඹ දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය,(ත්‍රිකුණාමලය වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
පසුව මෙදිනම රාත්‍රි 11 පසුවී විනාඩි 23ට වයඹ දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලවල පෙරහරත් සමග පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාරව දළදා කරඩුව එහි තැන්පත් කිරීමට නියමිතය. සිව් දේවාලවල පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා ඉටු කරනු ඇත.
අස්ගිරි ගෙඩිගේ තැන්පත් කරනු ලබන පෙරහර කරඬුව සහ දළදා පෙරහර, 23 සඳු දින (දහවල් පෙරහර ලෙසින්) සතර මහා දේවාල පෙරහර සමග ගමන් කර, දළදා පෙරහර ශ්‍රී දළදා මාලිගා ප්‍රධාන වාහල්කඩින් වැඩම කර ගෙවැදීමෙන් සහ සතර මහා දේවාල පෙරහර ඒ, ඒ දේවාල වෙත ගමන් කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වීමට නියමිතය. ඉන්පසු එදින පෙරහර සාර්ථක ලෙස නිම කළ බවට වූ, පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇත.
පෙරහර උපත
ධර්මාශෝක රජතුමා බුදු දහම වැළඳ ගන්නා තෙක්ම බෞද්ධ සංස්කෘතියේ සියලු අංගෝපාංග සහිතව පරිසමාප්තියට පැමිණියේ යැයි කිව නොහැකිය. එදා බ්‍රාහ්මණ සමාජයේ විනෝද උත්සව වශයෙන් පැවතියේ දහස් ගණනින් එකතුව සතුන් මරා යාග හෝම පවත්වා බිලි පූජා පවත්වා, මස් අනුභව කරමින් ප්‍රීති වීමෙනි. පීඩාකාරී නිරර්ථක මෙවන් උත්සව නැවැත්වීම සඳහා අශෝක රජතුමා ක්‍රියා කළේ, ඒ වෙනුවට කිසිවෙකුටත් හිංසා පීඩාවක් නොවන ආකාරයෙන් කා බී නටා ප්‍රීති විය හැකි අහිංසක උත්සව විශේෂයක් ආරම්භ කිරීමෙනි. ඒ අනුව සුචරිත ක්‍රියාවන්හි නිරත වූවන් මරණින් පසු උපදින දිව්‍ය විමානවල ආකෘති සාදා ප්‍රදර්ශනය කළේය. ඒ බව ඔහු ගේ 4 වන සෙල්ලිපියේ දැක්වේ.
එතැනින් නොනැවතුණ අශෝක රජතුමා සර්වඥ ධාතුන් වහන්සේ කරඬුවක තැන්පත් කොට පෙරහර පැවැත්වීය. විසිතුරු වෙහෙර විහාර සාදා ඒවා කැටයමින් සිතුවමින් අලංකාර කරවා ප්‍රදර්ශනය කරවීය. මේවා මහජනතාවට එක් රැස්වී බලා ප්‍රීතිවීමට හේතු විය. අශෝක රජ දවස ඇති වූ මෙම නව සංස්කෘතියේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ පෙරහර ආරම්භ වූහ. දන්ත කුමාරයා සහ හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ වැඩම වීමත් සමගම මෙරට දළදා පෙරහර සංස්කෘතියක් ආරම්භ විය.
බෞද්ධාගමික මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූයේ ගැබ් පෙරහර අතරතුර ය. එය නිදුක් නිරෝගී ලෙස සිදුහත් කුමාරයා ගේ උපත ප්‍රාර්ථනා කළ පෙරහරක් යනුවෙන් ගෞරවාදරයට පත්වේ. දීඝ නිකායේ සඳහන් වන පරිදි පසු කාලීනව ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ආදාහනය උදෙසා ආදාහන පූජා සිදු කළ බව සඳහන් වේ.
දළදා පෙරහර ගැන පළමු වාර්තාව
ක්‍රි.ව. 5 වැනි සියවසේදී පමණ ලංකාවට වැඩම කළ ෆාහියන් හිමි අනුරාධපුර යුගයේ දළදා වහන්සේ හා බැඳුණු සංස්කෘතියක් පිළිබඳව කදිම වාර්තාවක් තබා ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පිළිබඳව සටහනක් තබා ඇති ප්‍රථම විදේශිකයා වනුයේ ෆාහියන් හිමියෝ ය. ෆාහියන් හිමියන්ට අනුව එකල ලංකාවේ දළදා මාලිගාව සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ සත් රුවනිනි. දළදා වහන්සේ පිළිබඳ ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“තුන්වන මසැ මැද හරියේදී බුදුරදුන් ගේ දළදාව මහජනයාට පෙන්වනු ලැබේ. රජ තෙමේ මෙයට දින දහයට කලින් කීමෙහි බිණීමෙහි සමත් මිනිසෙකු රජ හැඳුම් පැළඳුම් හඳවා පළඳවා මොනවට සැරසූ මහ ඇතෙක්හූ පිටැ නංවා නුවර හැවිදැ අණබෙර ගසා මෙසේ කියන්නට සලස්වයි. ”
කිත්සිරි මේඝවර්ණ රජුගෙන් පසුව දළදා පූජා කළ රජවරුන් කිහිප දෙනෙකු ගැන සඳහන් වෙතත්, ඔවුන් දවස කළ පෙරහරක් ගැන කිසිදු තැනක සඳහන් වී නොමැත. වංශ කතාවල සඳහන් නොවූ පමණින් එසමයේ පෙරහර පැවැත්වුණේ නැතැයි නිගමනය කළ නොහැකිය. ඊට හේතුව වනුයේ මහා වංශයේ දළදා පුවත් දක්වන්නේ අල්ප වශයෙන් බවත් පාහියන් හිමි දුටු දළදා පෙරහර ගැන පවා මහාවංශ කතුවරයා සඳහන් කොට නැති බවත්, කුඹුරුගමුවේ වජිර ස්ථවිරයාණන් වහන්සේ ගේ “දළදා ඉතිහාසය සහ සංස්කෘතිය” පොතෙහි සඳහන් කර තිබේ.
කප් සිටුවීම
අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයෙන් කප කපා මහනුවර විෂ්ණු දේවාලයට එය රැගෙන විත් දේවාලවලට කප බෙදා දෙනු ලැබේ. මේ සඳහා තෝරා ගනු ලබන්නේ නෑඹුල් කොස් ගසකි. සතර දේවාලවල කප සිටුවීමත් සමගම ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ වේ.
ඇතුළේ පෙරහර
ඇසළ පෙරහර වීදි සංචාරය ආරම්භ කරන්නේ කුඹල් පෙරහරෙන් වුවද, ඊට පෙර දේවාලවල කප සිටුවීමෙන් පසු දින පහක් පුරාවට දේවාල භූමියේ ඇතුළත, භූමිය වටා පමණක් පෙරහර පැවැත්වේ. මෙය ඇතුළේ පෙරහර නමින් හැඳින්වේ.
මහනුවර දළදා පෙරහර ආරම්භය
දෙවියන් උදෙසා පැවැත්වෙන දේවාල පෙරහරක් ලෙසින් සංවිධානය වී පැවති ඇසළ පෙරහර රටේ සංස්කෘතියට අනුරූප වන අයුරින් සකස් වූයේ 18 වැනි සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. මේ සඳහා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම හේතු විය. එතැන් සිට මේ දක්වාම දළදා පෙරහර සතරමහා දේවාල පෙරහරට ඉදිරියෙන් ගමන් කෙරේ.
කුරුණෑගල සමයේ රචිත “දළඳා සිරිතේ” සඳහන් කර ඇති පරිදි “වැසි නොවස්නා කල මෙම ලෙසින් දළඳා පූජා කරනවා ඉසා” යනුවෙන් සඳහන් කර ඇත. මෙයින් අදහස් කරන්නේ පාලකයන් මෙන්ම රට වැසියෝද ධාර්මික වෙත් නම් දෙවියන් ගේ අනුග්‍රහය ලැබී වැස්ස ඇති වී භෝග සම්පත්තිය සැලසේය යන විශ්වාසයක් පුරාණයේ සිටම පැවති බවය. එම නිසා ධාර්මික ජිවිතය ඇති කිරීම සඳහා උත්සව පෙරහර ආදිය පවත්වා තුනුරුවන්ට ගෞරව දැක්වීමටත් දෙවියන්ට පින් පැමිණවීමටත් රජවරුන් මෙන්ම මහජනයා ද උත්සුක වූහ. පූජනීය වස්තූන්ට වතාවත් පැවැත්වීමෙන් වර්ෂාව ඇතිවේය යන පිළිගැනීම අදත් පවතින්නේ එම නිසා ය. මේ අනුව හෙළයේ මහා වැසි පූජාව ලෙසින් ගෞරව ලබන්නේ දළදා පෙරහරය.
එය පෙරහරට බද්ධ කර ඇත්තේ මෙලෙසිනි. පෙරහරේ කස කරුවන් ගේ කස පිපිරීම නම් විදුලි කෙටීමෙන් ඇති වන අකුණු සැරය. ගිනිබෝල කැරකවීමෙන් විදුලි එළිය ද, හස්ති පන්තියේ පැමිණීමෙන් කළු වැහි වළා පෙළ ගැස්මක් ද, භේරී නාදයෙන් ගිඟුම් දෙන වැස්ස ද සංකේතාත්මකව නිරූපනය වේ. වැස්සට අධිගෘහිත ඉන්ද්‍ර දෙවියන් ගේ දේවාශිර්වාදය පතමින් නැකත් චාරිත්‍රානුකූලව සිවු මහා දේවාල වල කප් සිටුවීම චිරාගත සම්ප්‍රදායයි. දළදා මාලිගාව ඊට සම්බන්ධ නොවේ.
කුඹල් පෙරහර
දේවාල පෙරහර අවසානයේ කුඹල් පෙරහර ආරම්භ වේ. දළදා පෙරහරේ පළමු වීථි සංචාරය සිදු වන්නේ කුඹල් පෙරහර සමඟිනි. ඇසළ ගස තුඹසක ආකාරය ගත් මැටි ගොඩක තබන හෙයින් එය කුඹල් පෙරහර වී යැයි එක් මතයකි. හිසේ සිට දෙපතුළට පිළියක් හැඳගත් බඩහැළ බද්දා කලස් දෙකක් අතින් ගෙන වලන් කඳක් සහිත අතවැසියෙකු ද සමග මේ පෙරහරේ ඉදිරියෙන් පැමිණ ඒ කලස් දෙක හඳුන්කූඩමේ තබා යන බැවින් කුඹල් පෙරහර වී යයි තවත් මතයකි. (සිංහල විශ්ව කෝෂය 111 347 පිටුව)
කුඹල් පෙරහර සඳහා සිව් මහා දේවාල මෙන්ම දළඳා පෙරහරේ ගමන් කළ යුතු සියලුම නර්තන අංග ඇතුළත් වේ. එහෙත් කුඹල් පෙරහර ජනප්‍රියත්වයට පත් ව තිබෙන්නේ “අඩක් ඉතිරි වූ පෙරහර හෙවත් අර්ධ පෙරහර” ලෙසිනි. මෙයට හේතු වී තියෙන්නේ දියවඩන නිලමේ තුමා පූර්ණ රාජකාරි ආයිත්තම්වලින් සැරසී ගමන් නොකිරීම ය. නවක ශිල්පීන්ට පෙරහර පිළිබඳ ගුරු හරුකම් ලබාදීම සඳහා විවරණ ලබා දෙන්නේ ද කුඹල් පෙරහරට සහභාගි කරවා ගැනීමෙනි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ පෙරහර ශිල්පීන් පමණක් නොව අලි ඇතුන් ද විසිතුරු පැහැයේ වස්ත්‍රාභරණයෙන් සැරසී ගමන් නොකිරීම ය. එසේ වුවත් පළමු කුඹල් පෙරහර කුඩා අත දරුවන් ගේ සහ ගැබිනි මාතාවන් ගේ වස්දොස් දුරු කිරීම සඳහා ඔවුන්ට පෙන්වීම ඈත අතීතයේ සිටම පැවත එන සිරිතකි.
රන්දෝලි පෙරහර
කඹුරුගමුවේ වජිර ස්ථවිරයන් වහන්සේ රචිත “දළදා ඉතිහාසය සහ සංස්කෘතිය” නැමති කෘතියෙහි, ක්‍රි.ව. 1834 දී වෙල්ලස්සේ දිසාවේ සහ ජොන් ඩේව් ඇසළ පෙරහර දුටු ආකාරය ගැන සඳහන් කර තිබෙන්නේ මෙසේය.
කුඹල් පෙරහර දින පහ වීදි සංචාරය කළ පසු, “රන්දෝලි බෙයිම” නමින් හැඳින් වෙන රන්දෝලි පෙරහර ආරම්භ වේ. මෙය ද දින පහක් පුරා පැවැත්වේ. ඇසළ පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාව මෙයයි. එක්, එක් දෙව්දුව සඳහා කැප කරන ලද රන්දෝලි හෙවත් දෝලා දේවාලවල සිට වැඩමවනු ලැබේ. රන්දෝලි තුළ ඒ, ඒ දෙව්දුව උදෙසා කැප කරන ලද රන් කෙන්ඩියක් හා කඩුවක් ඇත. මේ රන්දෝලි සන්ධ්‍යා පෙරහරේ ඇතුන් පසු පස ගෙන යන අතර රාත්‍රියෙහි පෙරටුව ගෙන යාම සිරිතය. දේවාලවලට අයත් ස්ත්‍රීහු ආවතේව සඳහා රන්දෝලි හා ගමන් ගනිති. රජ කාලයේදී රජු විසින් ප්‍රදානය කරන ලද වස්ත්‍රාභරණයෙන් සැරසුණු ප්‍රධානීන් ගේ කුමාරිහාමිලා හා දියණිවරු ද තරුණ කාන්තාවෝ ද එකි, එකි රන්දෝලි කැටුව වාරයෙන් වාරය පෙරහරෙහි ගමන් ගනිති. මේ අයුරින් ඇසළ පුරපසළොස්වක පොහොය දිනය වන තුරු පෙරහර පැවැත්වේ. පොහොය දින රාත්‍රියේ පමණක් ධාතු කරඬුව පෙරහරෙහි වැඩමවනු ලැබේ. පෙරහර විදි සංචාරයෙන් පසු අස්ගිරියේ ආදාහන මළුවේ ගෙඩිගේ විහාරය දක්වා ගමන් කොට කරඬුව එහි තැන්පත් කරති.
දින පහක් පුරාවට පැවැත්වෙන රන්දෝලි පෙරහර අවසානයේ සතර දේවාලවල පමණක් දිය කැපීමේ මංගල්‍ය පවත්වා, පසුදින දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ. පෙරහර මංගල්‍යය නිම වුවද ශබ්ද පූජාව අවසන් වනුයේ පෙරහර වීදි සංචාරය කොට නිම වීමෙන් පසුව පැවැත්වෙන වලියක් මංගල්‍යයෙනි.
(*** සටහන සහ ජායාරූප - සිසිර කුමාර බණ්ඩාර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටක අබිමන් ලොවට පෑ කන්ද උඩරට ඇසළ පෙරහර