IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රටට අවශ්‍ය මුහුණුද? ක්‍රමයක්ද?

(මිලින්ද මොරගොඩ)

මෑත කාලීන පසුබිම අනුව ශ්‍රී ලංකාවේ පොදු ජනතාව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. යහපත් රටක්, සැනසිලි සහගත අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිව කිසියම් ආර්ථිකයක් ඇතිව ජීවත්වන පිරිස එයින් එක කොටසකි. රට ගොඩනැගිය නොහැකි අතර, ඕනෑම ක්‍රමයකින් වෙනත් ඕනෑම රටකට ගොස් අනාගතය සාක්ෂාත් කරගැනීමට වෑයම් කරන කාණ්ඩය අනෙක් කොටස වශයෙන් දැක්විය හැක. මෙම කාණ්ඩ දෙක අතර පොදු ලක්ෂණයක් තිබේ.

ක්‍රමය සහ නායකයන් ගැන විශාල වෛරයක් ඇත. දේශපාලන නායකයන් විශ්වාස කරන්නේ නැත. රට තුළ පවතින ආර්ථික හා සමාජ පසුබිම අනුව මහජනතාව විශාල පීඩාවකින් පසුවෙති. දේශපාලනඥයන් අතරින් බහුතරයක්, දැනට මුහුණ පා ඇති ජීවත්විය නොහැකි තරමට දරුණු තත්ත්වයට ඍජුව වගකිවයුතු බවට චෝදනා කරති. අවුරුදු ගණනකින් ආපසු හැරවිය නොහැකි පසුබෑමකට මුහුණපා ඇති බව පිළිගත යුතුය. අප සියලුම දෙනා මෙම ඉරණම නිර්මාණය කරගත් කොටස්කරුවන් බව සඳහන් කළහොත්, සැලකිය යුතු පිරිසක් එකහෙලා විරුද්ධ වන බව ද ඉතාම පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව පවත් වන ඡන්දයකින් මහජන නියෝජිතයන් පත් කරගන්නා අප විසින් දේශපාලන පක්ෂයක් ඔසවා තබනු ලැබේ. පක්ෂ නායකයකු විශාල ප්‍රසාදයකින් බලයට පත්කර ගනී. ආණ්ඩුවල ජනප්‍රියත්වය වැඩි කාලයක් පවතින්නේ නැත. අවුරුද්දකින් දෙකකින් අප්‍රසාදයට පත්වන බව පසුගිය අත්දැකීම් දක්වයි. විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගන්නා නායකයන්ගේ ගමන අපේක්ෂිතව කෙළවර වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින ලෝකයේ බොහෝ රටවල සිදුවීම් මේ හා සමානය.

ක්‍රමය වෙනස් කරන්නට සමාජ එකඟතාවක්

ඉදිරියේදී පවත්වන්නට නියමිත මැතිවරණ සඳහා ඉදිරිපත්වීම අරමුණු කරගෙන සැලසුම්, ක්‍රියාමාර්ග හා සංවාද පැන නැගෙමින් තිබේ. අලුත් නායකයෝ පෙළ ගැසෙමින් සිටිති. පසුගිය සිද්ධිවලින් පාඩම් ඉගෙනගත් ජනතාව ඡන්දය පාවිච්චි කරන ආකාරය තීරණාත්මක විය හැකි බව පෙනේ. ශ්‍රී ලංකාවේ පැවැත්ම ගැන තීරණාත්මක තීන්දුවක් ගත යුතු අවස්ථාවක, දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහි ඇති වෛරයෙන් තීරණ ගැනීමෙන් යහපතක් සිදුවෙන්නේ නැත.

සන්සුන්ව සහ එකඟතාවකින් යුතුව තීරණ ගත යුතුව තිබේ. රට එකතු කළ හැකි, ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය ඉහළට ඔසවන්නට සමත් පුද්ගලයන් ගැන අවධානය යොමු කළ යුතුය. නිශ්චිත කාලවකවානුවක් තුළ නිෂ්පාදනය නංවන අතර ජන ජීවිතය සුරක්ෂිත කරන නායකයන් තෝරා ගැනීමේ වගකීම අප ඉදිරියේ පවතින බව සඳහන් කළ යුතුය. දූෂිත ක්‍රමයට වෛර කරන නමුත් යහපත් පුද්ලයන් තෝරාගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අතරින් බව මතක තබාගැනීම වැදගත්ය.

ලෝක සිතියමේ රටවල් අතර ශ්‍රී ලංකාවට ඇති ස්ථානය නිශ්චිතය. කුඩා ආර්ථිකයක් සහිත කුඩා ජනගහනයකින් යුතු දූපතකි. ස්ථානීය පිහිටීම හා මානව සම්පත ශ්‍රී ලංකාවට ඇති වටිනාකම් අතර ඉහළින් සිටී. විවෘත මනසකින් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමෙන් හැර වෙනත් අවස්ථාවක් රටට නැත. රට තුළ උත්පාදනයක් ඇති කරන අතර ශ්‍රී ලංකාවේ සක්‍යතා ආයෝජනය කිරීමට දක්ෂ උපායශීලී නායකයන් තෝරාගත යුතුය.

නිදහසට පසු ගත වූ කාලයේ දී මෙරට දේශපාලන නායකයන් ජනතාව හමුවට ඉදිරිපත් කළේ රට ගොඩනගන දර්ශනයක් නොවේ. මහජනතාවගේ අතට යමක් දෙන, නොමිලේ බෙදන මැජික් විසඳුම්ය. අනන්‍ය සැලැස්මක්, ප්‍රායෝගික ක්‍රමවේදයක් හා ජනතාව සමඟ ඇතිකර ගන්නා සංවාදයක් තිබුණේ නැත.

නැති ආර්ථිකයකින් බෙදන්නට පුළුවන්කමක් නැති බව මතක තබා ගත යුතුවේ. මැජික් අවසානයේ සියලුම දෙනා රැවටී ඇත. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ණය ලබාගෙන බෙදාදීමේ අස්වැන්න අද අප ඉදිරියේ තිබේ. ඉදිරියේදී පවත්වන මැතිවරණයකදී පවා ජනතාවට සහන දෙන, මහජනතාව සැපවත් කරන ක්‍රමයක් හදන බව ප්‍රකාශ කරන ඕනෑම නායකයකුගෙන් ඒ සඳහා ඇති සැලසුම ගැඹුරින් ප්‍රශ්න කිරීම අපගේ වගකීමකි. ඡන්ද වේදිකාවේදී වෙන්දේසි කරන ජාතිය හා ආගම රටට වැදගත් යමක් ලබාදී නැත. සමාජයේ එක්සත්භාවය තුරන්කර, පාර්ශවවලට බෙදා කැබැලි කර තිබේ. එකමුතුභාවයක් නැති රටක පොදු දර්ශනයක් ගොඩනැගෙන්නේ නැත.

යටත් විජිත කාලයේදී විදේශීය, කුඩා පාලක කණ්ඩායමක් ලංකාවේ සමාජය බෙදා රදල පැලැන්ති නිර්මාණය කරන ලද අතර එකතුවීම වළක්වා පහසුවෙන් පාලනය කරගෙන ගිය බව මතක් කළ යුතුය. එහි ශේෂ වූ කොටස් අදටත් භාවිත කෙරේ. අනෙක් දක්ෂ කණ්ඩායමකට අවස්ථාව දෙන්නේ නැත. නවීන සමාජ මාධ්‍ය එම වෑයමට කදිම පහසුකම් සපයමින් සිටී. වරින් වර නැගෙන ආන්දෝලනාත්මක අදහස්වලින් රටට වැඩදායක තත්ත්ව ඇති නොකෙරේ.

ආදර්ශවත් විය යුතු නායකයන් රටට සැනසුමකි

රට බාරගන්නට සූදානම් වන නායකත්ව කරන දේ ප්‍රකාශ කළ යුතු අතර ප්‍රකාශ කරන දේ ඉෂ්ට කරන්නට වගබලා ගැනීම වැදගත් කරුණකි. ඉලක්ක කරන ලද කොටස සම්පූර්ණ කළ පසු ඉවත්වන මොහොත තීන්දු කිරීම ද වැදගත්ය. බලය ඉල්ලන නායකයන් මහජනතාව සතු පරමාධිපත්‍ය අමතක කළ යුතු නැත. කැපවීමෙන් හා අල්පේච්ඡතාවෙන් පොහොසත් විය යුතුය. මහජනතාවට සේවය කරන අවංක පිරිසක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම අවශ්‍යය. පළුදු වූ විශ්වාසය ගොඩනගා ගන්නා අතර සමාජයේ පවතින වෛරය තුරන් කළ හැකි සරල මාවත තෝරාගත යුතුව තිබේ.

ආර්ථික දුෂ්කරතාවකින් පසුවන අතර ජාත්‍යන්තරයේ අනුකම්පාවට පත්ව ඇති රටක ස්වභාවය මෙය නොවේ. කාර්යාල හා නිලධාරී මණ්ඩලය සඳහා විශාල ධනයක් වැය කරන අතර දේශපාලනඥයන් පරිහරණය කරන වාහන රටේ පවතින ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැත. පෞද්ගලික ජීවිතයේදී මෙබඳු තත්ත්ව අපේක්ෂා කළ හැකිද? ණය ගෙවාගත නොහැකි අවස්ථාවක, පාලකයන් ඉතාම සුපිරි පැවැත්මක පසුවේ.

ආදායම් මාර්ග බිඳ වැටී ජනතාව දුකට පත්ව ඇති කාලවකවානුවක දේශපාලනඥයන් හැසිරෙන ආකාරය සුදුසු තත්ත්වයක් නොවේ. ඉදිරියේදී බලයට එන්නට අපේක්ෂා කරන නායකයන් ජනතාවට ආදර්ශයක් විය හැකි ආකාරයට හැසිරී, කැපවීම පෙන්නුම් කළහොත් මහජන විශ්වාසය දිනාගත හැක. පොදු ජනතාව බස් රථයක තෙරපී ගමන් කරන කාලයක, වාහන හා ආරක්ෂකයන් සෑහෙන පිරිසක් සමඟ කරන සංචාර අඩු කිරීමට දේශපාලනඥයන් තීරණය නොකරන්නේ ඇයි? අනවශ්‍ය වියදම් අඩුකිරීමට පියවර නොගැනීමට හේතුව කුමක්ද? අසීමිත විදේශ සංචාර අඩුකර ඇමැති මණ්ඩලයේ කැපවීම ඔප්පු කළ යුතුය.

නවීන තාක්ෂණය හා සන්නිවේදන අවකාශය තුළ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ඉරණම ඉදිරියේ පැහැදිලි අනාගතයක් පෙන්නුම් නොකරන අවස්ථාවක අලුත් තීරණ ගත යුතුව තිබේ. ක්‍රමය වෙනස් කිරීමේ තද වුවමනාවක් අපට අවශ්‍යය. අලුත් වෙළඳපොළ අනුව, නවීන තාක්ෂණය හා සන්නිවේදන අවකාශය තුළ ශ්‍රී ලංකාව හුදෙකලා විය නොහැකි අතර දිනන්නට නම් නිසි අවස්ථාවේදී නිසි තීන්දුව ගැනීම වැදගත්ය. තරගකාරීත්වයට ඇතුළුවිය යුතුව තිබේ. අලුත් පරම්පරාවට ගැළපෙන, ඔවුන්ට විශ්වාස කළ හැකි දර්ශනයක් තුළින් අලුත් සැලසුම් එහිලා වැදගත්ය. සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ එහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු සාධකයකි. නායකයන් අපට ලබාදිය යුතුව ඇති පැවැත්ම එයයි.

ක්‍රමය වෙනස් කළ යුතු ඇයි? ප්‍රතිසංස්කරණවලට නැඹුරුවීමේ වැදගත්කම කුමක්ද?  ලෝකය පුරා අලුත් වෙනස්කම් සිදුවෙමින් පවතී. දේශපාලනය, ආර්ථිකය සහ සමාජ ප්‍රවාහය ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර තාක්ෂණ යුගයේදී, වෙනස්කම් ඉතාමත් සියුම්ව සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම පරිවර්තනය සමඟ ගමන් නොකළහොත් පසුගාමී වීම වැළැක්විය නොහැකිය.

පක්ෂ හා පුද්ගලයන් මාරු කිරීමෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දියුණුවට පත් වී නැත. ඉතිහාසයේ සිට බලපවත්වන ලද ප්‍රශ්න එලෙසම පවතී. දරුවන්ට හොඳ පාසලක්, රැකියාවක්, ඉඩමක්, ස්ථාන මාරුවක් හැම දෙයකටම දේශපාලනය මැදිහත්වේ. දේශපාලන මැදිහත්වීමෙන් ආර්ථිකයක් දියුණු වෙන්නේ නැත. සමාජ ක්‍රමය වෙනස් වන්නේ ද නැත. බිහිකර ඇති සංස්කෘතියට මුල ආගමික, දේශපාලන, ආර්ථික හා සමාජ නායකයන්ගේ පටුභාවය බව සඳහන් කළ යුතුය.

මාධ්‍ය භාවිතාව ද මෙම තත්ත්වයට වගකිව යුතුය. එදිනෙදා ප්‍රශ්න විනා රටට ගැළපෙන, දීර්ඝ කාලීන දැක්මක් සහිතව ක්‍රියාකරන පුද්ගලයන් විරලය. සෑම ක්ෂේත්‍රයකම නායකත්ව පුළුල් දැක්මක් සහිතව පෙනී සිටිය යුතුය.  අද යුගයට අවශ්‍ය ප්‍රශ්නයක් දෙස මැදහත්ව බලන්නට හැකි නායකයන්ය. හැම දෙයකටම විරුද්ධ නොවෙන මැදහත්ව බලන, සමාජයට පණිවුඩයක් නිකුත් කළ හැකි නායකයෝය. විවිධ ආගම්, විවිධ ජාතීන් හා සියලු සංස්කෘතික ලක්ෂණ සහිත රටක් වශයෙන් අන්‍යයන්ගේ ආගමට සංස්කෘතියට ගරු කරන්නට තරම් පුළුල් දැක්මක් සහිත පරම්පරාවකි.

වෛරයෙන් පමණක් කිසිසේත් දිනන්නේ නැත

පටු අභිමතාර්ථ සලකා මහජන නියෝජිතයන්, දේශපාලන නායකයන් හා ආණ්ඩු තෝරාගැනීමේ වරද අප හමුවේ ඇත. රට විකුණන, රට බෙදන හෝ රට ගලවාගන්නා යනාදී වශයෙන් සටන් පාඨවලින් රටට හෝ ජනතාවට ප්‍රයෝජනයක් සිදුවී නැත. වරද වටහාගෙන නිවැරදි මගට අවතීර්ණවීම සඳහා නිසි එකමුතුවක් සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය. පාලකයන් තෝරාගැනීමේ විලාසය බක ජාතකය ආදර්ශයට නංවා ඇත.

විලේ ජීවත් වූ මසුන්ට තමන්ගේ නායකයකු ගැළපුණේ නැති අතර සන්සුන්තාව ද ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී මසුන් ආහාරයට ගන්නා කොකෙකු පත්කර එවන ලද අතර සියලුම මසුන් ආහාරයට ගත් පසු කොකා පාඩමක් ඉගෙන ගත්තේ කකුළුවකුගෙන්ය. මෙරට දේශපාලනයේදී කකුළුවකු සොයාගන්නා තෙක් විපත සිදුවන්නට ඉඩ දිය යුතුද? දේශපාලනඥයන්ට හෝ පක්ෂවලට පාඩමක් උගන්වන අරමුණෙන් තීරණ ගැනීමෙන් අනාගතය ගොඩනැගෙන්නේ නැත. 

පවතින රාමුව වෙනස් කිරීමේ වගකීම අපට ඇත. අප සියලු දෙනා මෙම ක්‍රීඩාවේ කොටස්කරුවෝය. දේශපාලන ක්‍රමයකින් යැපෙන්නකු නොව, රටට යමක් පරිත්‍යාග කරන නායකයකු විය යුතුය. මෙවැනි නායකත්ව බිහිකරන පසුබිමක් රටට අවශ්‍යම යුගයක් කරා අද සේන්දු වී සිටී. විලාශය වෙනස් නොකිරීමෙන් රටට සිදුවූ හානිය අවබෝධ කරගත යුතුය. තරුණ අපේක්ෂා, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරන්නට නම් ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් හඳුනාගැනීම වැදගත්ය.

පවතින ක්‍රමය වෙනස් කිරීමට සාධනීය විප්ලවයක් සිදුවිය යුතු අතර මුහුණු වෙනස් කරන්නට විප්ලව අවශ්‍ය නැත. ක්‍රමය වෙනස් කරන්නට බලකරන ලද විප්ලව, අරගල ගණනාවක් පසුගිය කාලය තුළ පැන නැගිණ. අරගලකාරීන්ගේ අරමුණ, අධිෂ්ඨානය හා කැපවීම රට ඉදිරියට ගෙනයන්නට භාවිතා කිරීම සඳහා මෙහෙයවන්නට අසමත් වූ අපි ජීවගුණය මර්දනය කර ආපසු හරවමින් සිටිමු. රටට අහිමි වූයේ කැපවීමකින් කටයුතු කරන නායකත්ව බවට පත්විය හැකි තරුණ කණ්ඩායමකි. රටට අහිමි වූ චරිත අද ඉතිරිව සිටියා නම් ඕනෑම අංශයක නිරත නිදහස් මතධාරී පිරිසක් රට හමුවේ සිටිති.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස[email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයට එකතු වියහැකිය.



අදහස් (2)

රටට අවශ්‍ය මුහුණුද? ක්‍රමයක්ද?

Nuwan Monday, 16 October 2023 12:10 PM

වෙනස් කරන්න ඕන එකම එක දෙයකි. ජාතියට, පක්ෂයට, නෑකමට, ගෝත්‍රයට නොව පුද්ගලයාට මුල්තැන දෙන සංස්කෘතියක් හැදීමයි.

:       1       3

බටගොඩ දොන් සිමන් Monday, 23 October 2023 03:47 PM

අනේ බුදු මහත්තයෝ! අපිට නම් ඔයාගේ මූණත් එපා, ක්‍රමයත් එපා. ගෙදරට වෙලා නෝනා දෙන දෙයක් කාලා ඉන්න අපිට වද නොදී...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 233 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 45 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 95 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 185 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 878 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 503 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site