IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රටට කප්රුකක් වූ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය විනාශ කළේ මෙහෙමයි

 තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ එදා තත්ත්වය

 

 

  • ප්‍රීමා පැමිණි පසු ඉවරෙටම ඉවර වුණා.   
  • කුකුළු කෑම හැදුවෙත් මෙහි.   
  • පුන්නක්කු පිටරටත් යැව්වා.   

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුල්වරට කෘෂිකාර්මික යෝජනා ක්‍රමයක් ඇති වූයේ අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ රජය මගින් 1948 දීය. එංගලන්තයේ රසායනික ඉංජිනේරු ආයතනයක් වන සීමාසහිත එල්.එච්. මැන්ඩස්ටාම් සමාගම හා කොටස්කරුවෝ දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කොටගෙන කෘෂිකාර්මික සංකීර්ණයක් පිහිටුවාලීමේ හැකියාව පිළිබඳව කරුණු හැදෑරීමට පත් කෙරිණි. මෙම උපදේශක ආයතනය විසින් ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාවෙන් දේශීය තෙල් බීජයන්ගෙන් තෙල් ලබා ගැනීමේ දී ඇති අඩුපාඩුවත් එවැනිම දැනට තෙල් ලබානොගන්නා බීජ සහ එම ද්‍රව්‍ය තවදුරටත් දියුණු කිරීමේ අවශ්‍යතාවත් පැහැදිලි කර තිබුණි.   


මෙම වාර්තාව එවකට කර්මාන්ත හා ධීවර අමාත්‍යව සිටි ජී.පී. පොන්නම්බලම් මහතා වෙත ඉදිරිපත් කරන ලදුව එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පිළිගන්නා ලදී. එම යෝජනා ක්‍රමය රාජ්‍ය එළවළු තෙල් යෝජනා ක්‍රමය යනුවෙන් නම් කෙරිණි. පසුව 1955 අගෝස්තු 18 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයකින් රාජ්‍ය එළවළු තෙල් යෝජනා ක්‍රමය ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය නමින් එම වසරේම ඔක්තෝම්බර් 1 දින සිට සංස්ථාපිත කරන ලදී.   


මෙම සංස්ථාව පිහිටුවීමේ මූලික අරමුණු වූයේ සත්ත්ව ආහාර නිපදවීම, සෑම වර්ගයකම තෙල් හා මේද ඒ හා සම්බන්ධ අනෙකුත් නිෂ්පාදන ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය, සේදුම් ද්‍රව්‍ය යන ඒවා නිෂ්පාදනය කිරීම සහ අළෙවි කිරීමය.   
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට ආසන්නව සීදුව ප්‍රදේශයේ අක්කර 44ක භූමි භාගයක පිහිටි මුලින් රාජ්‍ය එළවළු තෙල් යෝජනා ක්‍රමය හෙවත් ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය පිහිටා තිබුණි. එහි සේවය කළ පැරණි සේවකයන් සොයා ගැනීම අදවන විට දුෂ්කර කටයුත්තක් වුව ද ඉරිදා ලංකාදීපය වෙනුවෙන් පැරණි සේවකයන් කිහිප දෙනෙකු හමුවීමට අපට හැකි විය.   


මේ බී. ගුණතිලක මහතා අපට කී කථාවයි. මුලින්ම එළවළු තෙල් යෝජනා ක්‍රමය ඇති කළේ 1950 දී. ඒවාට මැෂින් ගෙනත් හයි කළේ එංගලන්තයේ බාමාන් සමාගම. සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරයේ යන්ත්‍ර සූත්‍ර එංගලන්තයේ හෙන්රි සමාගමෙන් ගෙනාවා. තෙල් සිඳින යන්ත්‍ර සූත්‍ර ගෙනාවේ ඇ​ෙමරිකාවේ බ්ලොනොක්ස් සමාගමෙන්. ක්ලෝරයිල් මද්‍යසාර නිෂ්පාදනාගාරයට යන්ත්‍ර සූත්‍ර ගෙනාවේ ස්විස්ටර්ලන්තයේ රෝල් සමාගමෙන්.   


මේ භූමිය අක්කර 44ක්. ඒ කාලේ මේක කුරුඳු ඉඩමක්. පාළුවට ගිහින් තිබුණේ. පොල් ත්‍රිකෝණය අසලින් පිහිටා තිබීමත්, දුම්රිය හා මහා මාර්ගය ළඟින්ම තිබූ නිසාත් කොළඹ වරායට ආසන්න නිසාත් සත්ත්ව ආහාර පහසුවෙන් බෙදා හැරීමට හැකි වූ නිසාත් එදා මේ භූමිය තෝරා ගත්තා. සේවකයන් බඳවා ගත්තේ 1951 ජනවාරි 01 වැනිදායි. රාජ්‍ය එළවළු තෙල් යෝජනා ක්‍රමයට බඳවාගත් පළමුවැනි සේවකයා වුණේ පී. දොන් පේදුරු කියන අය. ඔහු මුරකරුවකු ලෙස බඳවාගත්තා. ඔහුගේ සේවා අංකය එක. 1952 වනතුරුම කර්මාන්තශාලාව සහ පරිපාලන ගොඩනැගිල්ල හැදුවා 1953 දී එංගලන්තයේ බමාන් සමාගම වසා දැමීම නිසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සැපයීම ඇණ හිටියා. පසුව ජෝන් බ්‍රවුන් කියන සමාගම සමඟ 1954 දී ගිවිසුමක් අත්සන් කර යළිත් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ ඒ කාලේ කර්මාන්ත ඇමැතිවරයා වූ කන්දයියා චෛත්‍ය නාදන් මහතා තමයි තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය යනුවෙන් ආරම්භ කළේ. ඒ වෙනකොට සේවකයන් 139 ක් හිටියා. ආයතන අවශ්‍යතාව අනුව තෝරාගත් සේවකයන් විදේශීය පුහුණුවලට පවා යැව්වා. ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන්ට හා උපාධිධාරීන්ට පුහුණුවීමේ පහසුකම් මණ්ඩලයෙන් සැලසුවා. මේ භූමියේ නිවාස 50ක් ඉදි කර තිබුණා. ඒවා අත්‍යවශ්‍ය සේවාවල සේවය කළ සෑම ශ්‍රේණියකම සේවකයන්ට මාසික සහනදායි කුලියකට ලබා දුන්නා. කම්කරු ශ්‍රේණියේ සෑම සේවකයෙකුටම නොමිලේ නිල ඇඳුම් දුන්නා. සමහර විධායක නිලධාරීන්ටත් නිල ඇඳුම් දුන්නා.   


සංයුක්ත මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වූයේ ආර්.එම්. ද ටෙලි මහතායි.   


1957 වෙනකොට සියලුම අංශවල වැඩ නිමවෙලා තිබුණු නිසා එංගලන්තයෙන් ඇවිත් හිටපු නිලධාරීන් ආපහු ගියා. උපදේශකයන්ගේ සේවය ලබාගත් කොන්ත්‍රාත් කාලයන් 1957 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වුණා.   
1959 නිලධාරිනියන්ගේ හා සේවක මණ්ඩලයේ සහයෝගයෙන් රටපුරා පුළුල් අලෙවි ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹුණා. මෙය ඉතා සාර්ථක වුණා. කලින් අළෙවි කර ගැනීමට අපහසු වුණා. කුකුළු හා ගව ආහාර ජනප්‍රිය නිෂ්පාදන බවට පත් වුණා. ඉතිහාසයේ පළමු වරට පොල්තෙල් රැගෙන යන විශේෂ දුම්රියක් ගැල් 13කින් යුක්තව ආරම්භ කළා. ඒ මගින් කොළඹ සමර්හිල් හි තෙල් ගබඩා ටැංකිවලට අපනයනය සඳහා පොල් තෙල් යැවීම පටන් ගත්තා. 1963 දී කුකුළු ආහාර කඩදාසි මාළුවල ඇසිරීම පටන් ගත්තා. 1967 දී අමුද්‍රව්‍ය ගබඩා කිරීමට අඩි 640 ක් දිග අඩි 127 ක් පළල විශාල ගබඩාවක් හැදුවා. මෙතෙක් අක්‍රීයව පැවතුණු මේද ඡේදන යන්ත්‍රානුගාරය 1968 දී ක්‍රියාත්මක කළා. 1975 දී සංයුක්ත මණ්ඩලය කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය යටතට පවරා ගත්තා.   


තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සේවය කළ පැරණි සේවකයෙකු වන ලක්ෂ්මන් කරුණාරත්න මහතා අතීතය මෙසේ සිහිපත් කළේය. මණ්ඩලයේ සත්ත්ව ආහාරවලට අමතරව සියලුම වර්ගවල තෙල්, තෙල් හා සබන්මය ද්‍රව්‍ය, ආහාර වර්ග, පවිත්‍රක ද්‍රව්‍ය, තෙල් හා ද්‍රව්‍ය මිශ්‍රකයන්, මේද, ලා කඩ, රසායනික ද්‍රව්‍ය, බෙහෙත් වර්ග, වෛද්‍යමය රසායනික ද්‍රව්‍ය කාර්මික හා කෘෂිකාර්මික සංයෝග පොහොර වර්ග තීන්ත වර්ග එනැමල් ඇතුළු ආලේප වර්ගත් නිෂ්පාදනය කළා.   


1978 දී මෙම මණ්ඩලය අලුතින් පිහිට වූ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතට ගත්තා. එහි අමාත්‍යවරයා වුණේ එස්. තොණ්ඩමාන් මහතා. දේශීය පශු සම්පත් සංවර්ධනය සඳහා දිරි දීමක් ලෙස 1978 නොවැම්බර් 01 දින සත්ත්ව ආහාර මිල අඩු කළා. ඒ මගින් සතුන් හදන්නන්ට වාසියක් සැලසුනා. මසකට ටොන් 3000ක් පැවැති සත්ත්ව ආහාර ටොන් 8000 ක් දක්වා ඉල්ලුම වැඩි වුණා. ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් තමයි පොල් පුන්නක්කු හා නිවුඩු හාල් මේ දෙකම මේ කාලයේ දී ලබා ගැනීම දුෂ්කර වී තිබුණත් අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදුවුණා.   

 

ආයතනයේ තිබුණු අග්නිදිග ආසියාවේ පැරණිතම දුම්රිය එන්ජිම.   

 

 

එක් දහස් නවසිය හැට ගණන්වල පොල් පුන්නක්කු ව්‍යාපාරයකට ටොන් හැට දහසක් (60,000) පමණ තිබිලා තියෙනවා. 80 ගණන්වලදී ඒ ගණන ටොන් 40,000 කට පමණ අඩුවුණා. නියඟය, පොල් පරිභෝජනය වැඩිවීම ආදි කරුණු හින්දා. නිෂ්පාදනය අඩුවීම නිසා 1976 දි පොල් පුන්නක්කු ටොන් එකක මිල රුපියල් 800 ට තිබ්බ එක 1980 වෙනකොට රු. 3000 දක්වා ඉහළ ගියා.   


අතිරේක සත්ත්ව ආහාර ලෙස අලුත් සත්ත්ව ආහාර සොයාගෙන ඒවා දියුණු කිරීමේ වැඩසටහනක් මේ කාලයේදී ක්‍රියාත්මක වුණා. පොතු ඉවත් කර සිඳිනු ලැබූ රබර් ඇට පුන්නක්කු පෝෂණ ගුණයෙන් පොල් පුන්නක්කු හා සමකළ හැකි බව සොයාගෙන තිබුණා. වසරකට ලබාගත හැකි රබර් ඇට පුන්නක්කු ප්‍රමාණය ටොන් 10,000 ක් (දසදහසක්) බවට ගණන් බලා තිබුණත් ඒවා සිඳීමට යන්ත්‍ර සූත්‍ර නොමැතිකම බාධාවක් වී තිබුණා. 1980 මුල්භාගය වෙනකොට සත්ත්ව ආහාර ඉල්ලුම වසරකට මෙට්‍රික් ටොන් 96,000 ක් වුණා.  
ආනයනය කළ බඩ ඉරිඟු වෙනුවට 1975 ඉඳලා දේශී්‍ය බඩ ඉරිඟු මිලට ගත්තා. 1979/80 මහ කන්නයේ දී මණ්ඩලය බඩ ඉරිඟු ටොන් හත්දහසක් (7000) මිලට ගත්තා.   


1920 වසරේ දී ලෝක ආහාර වැඩ පිළිවෙල යටතේ කුකුළුන් ඇති කිරීම දියුණු කිරීම සඳහා ආසන්න වශයෙන් වසර හතරක කාලයකට බඩ ඉරිඟු ටොන් 16,000ක් දීමට තීරණය කර තිබුණත් 1974 වනවිට දේශීයව බඩඉරිඟු ටොන් 10,000ක් ලබා ගැනීමට මණ්ඩලයට හැකි වුණා. පුන්නක්කු පිටරට යවන්නත් මණ්ඩලයට හැකි වුණා. 1964 දී පොල් පුන්නක්කු ටොන් 14,000ක් යුරෝපා රටවලට යැව්වා. පොල් පුන්නක්කුලවලට අමතරව නිස්සාරක පුන්නක්කු ටොන් 300ක් 1964 නොවැම්බර් 15 දින පිටරටට යවලා තියෙනවා.   
1899 දී නිෂ්පාදනය කරන ලද පැරණි දුම්රිය එන්ජිමක් මණ්ඩලය සතුව තිබුණා. මෙය අග්නිදිග ආසියාවේ පැරණිතම දුම්රිය එන්ජිම බවට සැළකුණා. ඒ එන්ජිමේ නම ‘හන්ස්ලට්‘ තව 1945 නිෂ්පාදනය කළ ‘බැග්නල්‘ නම් දුම්රිය එන්ජිමක් තිබුණා. සංයුක්ත මණ්ඩලයේ සිට සීදුව දුම්රිය ස්ථානය දක්වා රේල්පාර තිබුණා. දුම්රිය ස්ථානයේ සිට මණ්ඩලයටත්, මණ්ඩලයේ සිට දුම්රිය ස්ථානයට නිෂ්පාදන අමුද්‍රව්‍ය රැගෙන ගැල් කීපයකින් යුත් දුම්රිය ගමන් කරනවා. මේ දුම්රිය එන්ජින් නඩත්තු කළේත් මණ්ඩලයේ ඉංජිනේරු අංශය මගින්.   
පසුකාලීනව දුම්රිය සේවය මගින් ප්‍රවාහන කටයුතු නැවතී ලොරිවලින් ඒ දේ සිදු වුණා.   


ඒ කාලේ මට මතකයි සීදුවේ මීගමු පාර දිගේ පෝලිමට ලොරි ගහලා තිබුණා. පාන්දර ඉඳන් ඒවායේ ගෙනාවේ බඩ ඉරිඟු. ලොරිවල බර කිරන්න ස්ථාන දෙකක් තිබුණා. බඩ ඉරිඟුවල තත්ත්වය පරීක්ෂා කරලා තමයි ඒවා ඇතුළට ගන්නේ.   


මේ තරමට රටට විශාල සේවයක් කළ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයට කණකොකා හඬන්න පටන් ගත්තේ අනූව දශකය පටන් ගත්තහම. සිංගප්පූරුවේ ප්‍රීමා සමාගම මෙහේ පටන් ගත්තට පසුව සත්ව ආහාර වැනි මණ්ඩලයේ නිෂ්පාදන ඔවුන් නිපදවන්න ගත්තා. එතකොට තරඟයක් ඇතිවුණා. මණ්ඩලයේ කුකුල් කෑම නිපදවූයේ තෙල් රහිතව තත්ත්ව පාලනයක් යටතේ. ඒත් ප්‍රීමා සමාගම කුකුලන්ගේ බර දවස් 35න් ගන්න මේ ද සහිත ආහාර නිෂ්පාදනය කළා. එතන සිට සංයුක්ත මණ්ඩලය වැටෙන්න පටන් ගත්තා.

   
1991 ප්‍රේමදාස රජය කාලේ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය සිංගප්පූරුවේ ප්‍රීමා සමාගමට වික්කා. ඒ වෙනකොට සේවකයින් 781ක් හිටියා. සේවකයින් මේ තීරණයට එරෙහි වුණත් කරන්නට දෙයක් තිබුණේ නෑ. සේවකයෙකුට උපරිම රුපියල් ලක්ෂ දෙක ගානේ වන්දිත්, භාරකාර හා අර්ථසාධක මුදල් ද නිදහස් කළා. ග්‍රැටිවිටි මුදල් ගෙව්වා. ඉතිරි නිවාඩුවලට මුදලුත් ගෙව්වා. ඒත් සේවකයන් 43ක් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා. ඒ අයව ප්‍රීමා සමාගමට බඳවා ගත්තා. ඒ කාලයේ මුදල් අමාත්‍යාංශයේ සිටි ඉහළම නිලධාරියෙකුට මේ ප්‍රීමා සමාගමට වික්ක ගනුදෙනුවෙන් ලොකු මුදලක් ගියා කියලා රාවයක් තිබුණා.   


සංයුක්ත මණ්ඩලයේ හිටපු සේවකයෙකු වන ඇන්ටනි ජෝනස් පෙරේරා මහතා මෙසේ කීය.   


මගේ පියා වූ සෙබස්තියන් පෙරේරා 1952 සිට මණ්ඩලයේ වැඩ කළා. ඔහු 1971 වනතුරුම වැඩකළා. තාත්තා අයින් වෙනකොට ඒ වෙනුවට මගේ අයියාව මණ්ඩලයට දැම්මා. තාත්තා සේවයෙන් ඉවත් වෙනකොට ඒ වෙනුවට පුතෙකු දමා ගැනීමට හැකියාව එදා තිබුණා.   


මටත් මණ්ඩලයේ සේවයට යන්න තදබල ආශාවක් තිබුණා. මමත් අයඳුම්පතක් දැම්මා. ඒ 1979 දී. එතකොට මණ්ඩලයේ සභාපතිතුමා වුණේ ඉසෙඩ් මොහිදීන් කියලා මහත්තයෙක්. අයඳුම්පත් රාශියක් තිබුණ නිසා ලොතරැයි මණ්ඩලයෙන් ගෙන්වලා ප්‍රසිද්ධියේ අයඳුම්කරුවන් අතර ලොතරැයියක් ඇද්දා. අපි 35 දෙනෙක් විතර එදා තෝරා ගත්තා.   


ඒ කාලේ සභාපතිවරුන් දේශපාලඥයන්ගේ කීම අහන්නේ නෑ. හරිම ස්වාධීනව තමයි වැඩ කළේ. දේශපාලන බලපෑමකින් තොරව බඳවා ගන්න තමයි ලොතරැයියක් ඇද්දේ.   


ඉස්සර මණ්ඩලයේ සත්ව ආහාරවලට ගත්තේ වි අලෙවි මණ්ඩලයෙන්.   


වරායේ හා වැලිසර පිහිටි සතොස තොග ගබඩාවේ අපතේ යන දේවල් කල් ඉකුත් වූ ආහාර ද ගත්තා. පොල් කුඩු එකතු කර ග්ලිසරීන් හදලා රට යැව්වා. මැලිබන් එකට පොල් තෙල් ශුද්ධ කර අලෙවි කළා. නැතිනම් ඒ තෙල් නරක් වෙනවා. තෙල් ශුද්ධ කරනවිට ඉතිරිවන ද්‍රව්‍ය යොදා ‘‘රුවන්’’ සබන් හැදුවා. ‘‘රුවන්’’ යන වෙළඳ නාමයෙන් තලතෙල් හා පොල්තෙල් නිෂ්පාදනයන් ද කළා. ඉස්සර රටේ අපතේ යන කිසිම දෙයක් නෑ. සියල්ල රැගෙන ඇවිත් නිෂ්පාදන කටයුතු කළා. කොප්පරා පොල්කුඩු කටුපොල් ඇට (පාම් ඔයිල්) සින්දා, රබර් ඇට තොග වශයෙන් ගෙනත් සිඳලා බිත්තිවල ආලේප කරන තීන්ත වර්ග හැදුවා. වී මෝලවල වී කුඩු ගෙනත් ඒවාත් සිඳලා තෙල් ලබා ගත්තා.   


සපුගස්කන්දේ ඉන්ධන තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වෙද්දී සීදුවේ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයෙත් තෙල් පිරිපහදුවක් තිබුණා. කෑමට ගත හැකි තෙල් වර්ග පිරිසිදු කිරීමට මේක තිබුණේ. මෙහි පිරිසිදු කරන සෝයා බෝංචි තෙල් වෙළඳපොළේ  ජනප්‍රිය වුණා. පිරිසිදු කරන ලද ‘‘ගඳ’’ ඉවත් කළ පොල්තෙල් මැලිබන් ඇතුළු බිස්කට් කර්මාන්තයට ලබා දුන්නා.   


දිනකට ටොන් 200ක ධාරිතාවකින් යුතුව පිහිටුවා තිබූ සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරය 1971 දී දිනකට ටොන් 300ක ධාරිතාවක් ලබා ගැනීමට වැඩිදියුණු කර තිබුණා. එහි යන්ත්‍ර සූත්‍ර රැසක් මණ්ඩලයේ ඉංජිනේරු අංශය මගින් සවිකර තිබුණා. ආනයනය කරන ලද මාළු කුඩු වෙනුවට ආදේශකයක් වශයෙන් කරවල සකස් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 1973 දී සවිකර තිබෙනවා. ඒ මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකිවුණා. මෙම කරවල මඟින් මාළු කුඩු නිපදවීම ලාභදායි ක්‍රමයක්. ඒ යන්ත්‍ර තුනක් තවත් සවි කළා. 1981 වර්ෂයේ දී ඒ යන්ත්‍ර සූත්‍ර නවීකරණය කළා. මේද ඡේදන යන්ත්‍රාගාරයේ තිබුණු මේද ජේදන කුලුනු 1977 දී නවීකරණය කළා.   
1980 දශකය තුළදී සත්ත්ව ආහාර ටොන් 8000ක් මසකට නිෂ්පාදනය කළා. ඒක රටේ අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක්. මෙම සත්ත්ව ආහාර අතර කුකුළු ආහාර වර්ග හයකි. එක් ගව ආහාරයක් හා ඌරන් ගේ ආහාර වර්ග 2ක් තිබුණා. මේ සඳහා 100% ක්ම යොදා ගත්තේ මාළු කුඩු, මස්කුඩු, සෝයා බෝංචි, පුන්නක්කු, විටමින් සංයෝග හා ඇසුරුම් කඩදාසි වැනි දේශීය අමුද්‍රව්‍ය. පිටරටින් කිසිවක් ගෙනාවේ නැහැ.   
1975 වර්ෂයේදී සංයුක්ත මණ්ඩලය විසින් අලුත් අපනයන ද්‍රව්‍යයක් සිංගප්පූරුවට යැව්වා. එය සංයෝගික සත්ත්ව ආහාරයි. 1976 වසර තමයි මණ්ඩලය අපනයන ඉපැයුම් වැඩිම හිමිකරගත් වසර. ඒ වසරේදී පමණක් රුපියල් මිලියන 10ක පමණ මුදලක් නිෂ්පාදන පිටරට යවා ලබා ගත්තා.   


ඒත් අන්තිමට අපිට සිංගප්පූරුවට දණ නමන්න සිද්ධ වුණා. සිංගප්පූරුවේ ප්‍රීමා සමාගමට ලංකාවේ අවසර දීමත් සමඟ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයට කණකොකා හඬන්න පටන් ගත්තා, යැයි ජෝනස් පෙරේරා මහතා කීවේය.   


සීදුවේ පිහිටි තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය යනු එදා අපේ රටට අවශ්‍ය නිෂ්පාදන වලින් රැසක්ම නිපද වූ තැනකි.   


රටට අත්‍යවශ්‍ය නිෂ්පාදන විස්සකට අධික ගණනක් එහි නිෂ්පාදනය කර රටේ පරිභෝජනයට අමතරව පිටරට යවා විදේශ විනිමය ද ඉපැයීය. එහෙත් 1991 දී ගත් දේශපාලන තීරණයක් නිසා අදවන විට එය අපට අහිමි වී තිබේ. අද වනවිටත් එම භූමියත් සමහර ගොඩනැගිලිත් නවීකරණය වී සිංගප්පූරු සමාගමක් අපට අවශ්‍ය දෑ නිෂ්පාදන කරමින් සිටිති. අධික ලාභ ලබති.   


එදා අපේ රටේ පැවැති දේශීය කර්මාන්ත අප විසින්ම විනාශ කොටගෙන අද වන විට අපි අපට අවශ්‍ය දෑ නැව් මගින් එනතුරු මුහුදට දත නියවාගෙන සිටිමු. නිෂ්පාදන ආර්ථිකයකින් තොරව මේ රට ගොඩගත නොහැකි බවට එදා මෙදාතුර සිද්ධීන් වලින් පසක් වී තිබුණ ද මෑත කාලීන දේශපාලකයන් හෝ රාජ්‍ය නායකයෙකු ඒ බව තේරුම් නොගැනීම අවාසනාවකි. ඒ අවාසනාව දෙගුණ තෙගුණ වී ඉදිරියේදී පැමිණීමට නියමිතව ඇත.

 

 

සටහන හා ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම



අදහස් (8)

රටට කප්රුකක් වූ තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය විනාශ කළේ මෙහෙමයි

Dharmasena Tennakoon Saturday, 01 January 2022 12:26 PM

දේශිය කර්මාන්ත විනාශ කළේ 77න් පසු තිබුණු විවෘත ආර්ථික රටාව... මෙය රටට හූනියමක්..., අදත් මිනිස්සුන්ට දුක් විඳින්න සිදුවී ඇත්තේත්, රටක් විදිහට දියුණු නොවන්නේත් මේ නිසා... මෙම සත්‍ය පාලකයින්ට මෙන්ම ජනතාවටත් නොදැනීම රටේ අභාග්‍යයකි...

:       2       35

RaveendraSaturday, 01 January 2022 06:56 PM

ඔබගේ අදහස් 100% නිවැරදියි. ඇත්තෙන්ම ඉතාමත්ම වටිනා ලිපියක්... අදත් රටේ සම්පත් විකුණනවා කියමින් උඩුබුරන මීහරකුන් සැමට මෙම ලිපිය කියවීමට හැකි වේවා... මාගේ සදාදර පියාණන්ගේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් රටේ සම්පත් විකිණීම එරෙහිව දිවිහිමියෙන් සටන්කර උගත්, බුද්ධිමත් යයි කියාගන්නා සජි මලයාටත් මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවීමට හැකිවේවා...!!!

:       3       28

ශාන් Saturday, 01 January 2022 10:15 PM

මේවා කියවද්දීත් දුක හිතෙනවා. කොච්චර හොඳට දිව්ව දේවල්ද මේ විනාශ කරලා දාලා දැන් ප්‍රීමා එකට වැඳ වැඳ ඉන්න වෙලා තියන්නේ. ඒ අස්සේ ඊයේ, පෙරේදා එස්.බී. ඇවිල්ලා කියනවා ප්‍රීමා එක ගෙනැල්ලා රටට අධික ලාභයක්ලු වුනේ... අර එල්.එන්.ජී. ගිවිසුමත් එහෙමයිලු... රටට වාසියක් විතරලු වෙන්නේ.

:       0       12

hesa Sunday, 02 January 2022 08:40 PM

Dharmasena Tennakoon, Raveendra.. ඔබතුමන්ලාගේ අදහස්වලට ගරු කරමි..නෑ.. නෑ..නෑ.. කියන්නේ පුවත්පත්වල Fb යේ.. රට හදන්න, හැදෙන ක්‍රමයක් ගැන නෑ හිතන්නේ.. සිරිමාවෝ මැතිණිය පටන් ගත් ක්‍රමයට පයින් ගසා, ඕනෑ දේත්, එපා දේත් රටින් ගෙනැත්, ඊට ඇබ්බැහි වෙලා දැන් ඉන්නේ.. අමාරු වෙයි ආයෙත් හැරෙන්න.. ඒත් එහෙම හෝ හැරුණෝතින්, ඉදිරියේදී අඩු තරමින් ඡීවිතයට ඉතාමත්ම අවශ්‍ය එළවළු, පලතුරු, බත්ටිකවත් මෙරටින්ම උපයා ගන්න පුළුවන් වෙයි නේද..?

:       0       17

sampath Monday, 03 January 2022 10:31 PM

සංකල්පයක් විදියට ඉතාම හොඳයි නමුත් මේවා විනාශ උනේ දේශපාලුවන්ගේ යටිකුට්ටු වැඩ වලින්.

:       1       8

sharm warn Tuesday, 04 January 2022 03:36 PM

තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය විතරද? ඇයි ඔරුවල වානේ සංස්ථාව...? ඒක ගැන ලිව්වොත් ඔයාලා පෙරලි, පෙරලි අඬයි.. ඒ පටන්ගත්ත විකිණිල්ල, දැන් කිසිම හිරිකිතයකින් තොරව එළිපිටම කෙරෙනවා. මොකද මිනිස්සුන්ගේ ඔලුගෙඩි සේරම විකුණන් කන්නයි, රටේ තියෙන කුණුකන්දල් ඔලුව උඩ තියලා බාරගන්න කුරුවල් කරලා තියෙන්නේ. අම්මා, තාත්තා හරි රටින් ගේන්න පුළුවන් නම් ඒකත් කරයි. තව කොහේද රට ගොඩගන්නේ?

:       1       3

Hashan Sachinthana Friday, 07 January 2022 02:18 PM

සෞභාග්‍යයේ දැක්ම...!

:       1       1

Nimal Saturday, 08 January 2022 06:57 PM

සිරිමාවෝ මැතිණිය කරපු කිසි දෙයක් ඉදිරියට ගෙනිච්චේ නැහැ. ඊට පස්සේ ආපු ආණ්ඩු සියළුම ඒවා වික්කා. අදත් විකුණනවා. දැන් නම් මහා පරිමාණයෙන් ඒ ගණුදෙනු කෙරෙන බව පේනවා. අද අපි ඩොලර් ගැන හිතහිතා ඉන්නවා. අපොයි අපේ රටට වුණු දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 96 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 115 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 416 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1059 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1539 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site