රටවල් ආර්ථික වශයෙන් බංකොළොත් වූ විට ඒවා නැවත නගා සිටුවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවීමෙහි එක් අරමුණකි. ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ප්‍රකාශ කළේය. ඊට පූර්වයෙන් ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන මෙරට ණය තිරසාර නොවන බව ඒවායෙහි වාර්තා මගින් පෙන්වා දුන් අතර එයින් නොනැවතී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීමට ද කටයුතු කළේය.
ණය තිරසාර නොවීමට අමතරව විදේශ සංචිත ශීඝ්‍රයෙන් පහළ යෑම, අධි උද්ධමන තත්ත්වයක් හට ගැනීම ආදී සාධක කිහිපයක් මත ආර්ථික අර්බුදය තීව්‍ර විය. ගෙවීමට ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50 ඉක්මවයි. මෙකී ණය අර්බුදය කළමනාකරණය කර ගැනීම පිණිස එම ආයතනය සමග වැඩසටහනකට යෑම ඉතා යහපත් බව මගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය ඇතුළත සියයට 48 ක්ම තිබෙන්නේ වාණිජ ණයයි. එනම්, ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර ණයයි. එම ණය ගෙන තිබෙන්නේ ඉතා ඉහළ පොලි අනුපාතික යටතේ වන අතර ඒවා ඵලදායී ආකාරයට යොදා ගත් බවක් ද පෙනෙන්නට නොතිබුණි. බලයේ සිටි ආණ්ඩුවලට අවැසි ආකාරයට එම ණය වියදම් කරන ප්‍රවණතාවක් එවක ඇති වී තිබිණි. ණය කළමනාකරණය නොකිරීම හේතුවෙන් උද්ගත වූ මෙම අර්බුදය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකම වනාහි, කිසියම් නිශ්චිත වැඩපිළිවෙළකි.
එකී වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම ඔස්සේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කළ හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ආණ්ඩුවට අවැසි ආකාරයට වියදම් කළ නොහැකිය. එම මුදල් වියදම් කිරීමට අදාළ වැඩපිළිවෙළක් සහ පසුවිපරමක් ද තිබේ. මෙම ණය පහසුකම අපට හුස්ම ගැනීමට ලැබෙන අවස්ථාවක් නැතිනම් ආර්ථිකය යළි සවිබලගැන්වීමට ලැබෙන තල්ලුවක් ලෙස අර්ථකථනය කළ හැකිය.
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරුද්ධව විශාල උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වන බවක් පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා නිර්දේශ කළ වැඩසටහනෙහි රජයේ බදු ආදායම් ඉහළ නැංවිය යුතුය යන්න අන්තර්ගත වී තිබේ. එහෙත් බදු කවර ප්‍රතිශතයකින් වැඩි කළ යුතු ද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. එහිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රමුඛ වගකීමක් පැවරේ. එහෙත් එම ආයතනය අකාර්යක්ෂම බව අපි දනිමු.
පුද්ගල ආදායම් බදු සංශෝධනය ප්‍රකාරව උපයන විට ගෙවන බද්ද සියයට 36 දක්වා අය කිරීම නිවැරැදි නොවේ. ඒසා ඉහළ ප්‍රතිශතයකින් බදු වැඩි කරනවා වෙනුවට බදු එකතු කරන ක්‍රමවේදය පුළුල් කිරීම අරබයා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාවේ යෙදවීම එහි වගකීමකි. උද්ධමනය ඉහළ ගියද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වූයේ නැත. එබැවින් මේ නව බදු ප්‍රතිපත්තිය වෘත්තිකයන්ගේ අතෘප්තියට හේතු වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය කාලය පුරාවටම අලාභ වාර්තා කළේය. පණ අදින ආර්ථිකයක තවදුරටත් මහ භාණ්ඩාගාරයට එවැනි ආයතන සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැත. එම පසුබිමේ විදුලි ගාස්තු ඉහළ නංවන ලදී. මෙරට ආර්ථිකයේ කාලයක් තිස්සේ ගෙවුම් ශේෂ හිඟය (අයවැය හිඟය) ප්‍රසාරණය විණි. ලබන ආදායම මෙන් තෙගුණයක මුදලක් අපි වියදම් කරමු. එම තත්ත්වය අඛණ්ඩව දක්නට ලැබිණි. මෙම සන්දර්භයේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ. විදුලි බල මණ්ඩලය පාඩු ලබන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකර්ම යෙදිය යුතුය. විදුලි බලය වනාහි රටක ජීවනාලියයි. කර්මාන්ත, ආයෝජන පණ ගැන්වීමට නම් විදුලිය අත්‍යවශ්‍ය වේ.
ආර්ථිකයේ අර්බුදයක් උද්ගතව ඇති අවස්ථාවක දරා ගත නොහැකි ආකාරයේ මිල වැඩි වීමක් විදුලිය පාරිභෝගිකයා මත පැටවීම නුසුදුසුය. එමගින් ව්‍යාපාර කඩාවැටීමට පිළිවන. මෙවැනි තීරණ තවදුරටත් ආර්ථිකය සංකෝචනය වීමට බලපානු ඇත. ඒ වෙනුවට රජය අවධානය යොමු කළ යුත්තේ අනවශ්‍ය වියදම් සීමා කිරීමටය.
ආර්ථික වශයෙන් දියුණු වී ඇති බොහොමයක් රටවල් ඒ තත්ත්වයට පැමිණ තිබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම සමග සම්බන්ධ වීමෙනි. ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තර වෙළෙඳාම සමග සම්බන්ධ වී අභිවෘද්ධිය ළඟා කර ගත යුතුය. එය ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යා නොහැකිය. ආර්ථික අර්බුදය හට ගැනීමට පෙර මෙරට ආර්ථිකය දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබුණ ද එවක බලයේ සිටි පාලකයන් ගත් අදූරදර්ශී තීන්දු තීරණ නිසා අපට එම අවස්ථා මග හැරිණි.
දැන් ඒවා ගැන කතා කිරීමෙන් ඵලක් නැත. වැටුණු වළෙන් ගොඩ එන්නට නම්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල සහයෝගය අවශ්‍ය වේ. එම ආයතනවලින් සියයට දෙක තුන වැනි ඉතාමත් සහනදායී පොලි අනුපාත යටතේ ණය ලැබෙන හෙයින් ඒවා ගැනීමෙහි වරදක් නැත. කෙසේ වෙතත් අපට ඉදිරියේ දී ඇමෙරිකා සහ යුරෝපා වෙළෙඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීමට හැකි වෙතැයි මම නොසිතමි. මේ දක්වා ගත් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එම ණයහිමියන් මෙතෙක් කැමැත්ත පළ කර නැත.
දේශීය ආර්ථිකය කඩාවැටී ඇති පසුබිමක එය එක්වරම නගා සිටුවිය නොහැකිය. එය නැවත ශක්තිමත් කළ යුතුය යන්න ගැන කිසිම විවාදයක් නැත. එහෙත් ඊට අදාළ පසුබිම දේශීය වෙළෙඳපොළෙන් ගොඩනගා ගැනීමේ හැකියාවක් නොමැත. එබැවින් විදේශ සෘජු ආයෝජන ලබා ගැනීම සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ අරබයා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතී. ණය ලබා ගැනීම හැරෙන්නට ඊට අදාළ වැඩපිළිවෙළක් ආණ්ඩුවට ඇති බවක් නොපෙනේ. ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වය ද අවැසිය. 2018 වසර වන විට මෙර සංචාරක කර්මාන්තය එහි උපරිමයට ළඟා වෙමින් තිබිණි. එවකදී වසරකට ඩොලර් මිලියන 700 ක පමණ ආදායමක් එයින් රටට ලැබිණි.
එහෙත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරමාලාව, කොවිඩ් 19 වසංගතය ආදියෙහි බලපෑම මත සංචාරක කර්මාන්තය දැඩි ලෙස කඩා වැටිණි. මෙරට විදේශ සංචිත පහළ යෑමට මෙය ද බලපෑවේය. යළි සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කර ගැනීමට නම්, රට අභ්‍යන්තරයේ දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. දේශපාලන ස්ථාවරත්වය ඇති නොකර ආර්ථික ස්ථාවරත්වය ගොඩ නගන වැඩපිළිවෙළ අඩාළ වේ.
පසුගිය දින කිහිපයේ දී ඇමෙරිකානු ඩොලරයේ රුපියල් අගය අඩු වන ප්‍රවණතාවක් දක්නට ලැබිණි. 2021 වසර වන විට ඩොලරයේ රුපියල් අගය 200 මට්ටමේ පැවතිය ද ඉන් පසු ඇති වූ ආර්ථික පසුබෑම හමුවේ වෙසෙසින්ම සංචිත ශූන්‍ය වීම සහ ඩොලර් සැපයුම අඩු වීම හේතුවෙන් 2022 වසරාවසානය වන විට ඩොලරයේ රුපියල් අගය 365 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ වන විට එම අගය රුපියල් 320 ත් 325 ත් අතර අගයක් දක්වා අඩු වී තිබේ. දැන් ඩොලර් සංචිත ඉහළ යමින් තිබේ.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත මෙරට වාණිජ බැංකු තුනකට විනිමය හුවමාරු පහසුකමක් යටතේ ඩොලර් මිලියන 400 ක මුදලක් ලබා දී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටිකාලීනව විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ ගියේය. මෙපරිදි ඩොලර් සංචිත ඉහළ යෑමට බලපෑ තවත් හේතුවක් තිබේ. එනම්, වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් සංචිතවලින් සියයට 25 ක් මහ බැංකුවට අලෙවි කළ යුතු බවට කලින් පනවා තිබූ රීතිය සංශෝධනය කරමින් එය සියයට 15 දක්වා අඩු කර තිබීමය. එම නිසා වාණිජ බැංකු සතුව පෙරට සාපේක්ෂව සියයට 10 ක විදේශ විනිමය ප්‍රමාණයක් පවතියි. ඩොලර් සැපයුම ඉහළ යෑමට එය ද එක් හේතුවකි. අනෙක් පසින් මේ මස අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වන ණය පහසුකමෙහි පළමු වාරිකය ලැබීමට නියමිතය.
ඒත් සමගම විදේශ වෙළෙඳපොළට යම් කිසි ඩොලර් ප්‍රමාණයක් පැමිණෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ රුපියල් අගය තවත් පහළ යනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් වේ. මේ සන්දර්භයේ විදේශ ශ්‍රමිකයන් ඇතුළුව විදේශ විනිමය උපයන්නන් තමන් සන්තකයේ ඇති ඩොලර් වෙළෙඳපොළට මුදා හැර ඇත. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙන විට ඩොලර් සැපයුම ඉහළ ගොස් ඇති අතර එනිසා ඩොලරයේ රුපියල් අගය අඩු වී තිබේ.
මෙහි ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් තිබුණද මා වැඩියෙන් දකින්නේ සෘණාත්මක බලපෑම්ය. වෙසෙසින්ම මෙපරිදි ඩොලරයේ රුපියල් අගය පහළ යෑම නිසා අපනයනකරුවන්ට සහ ඩොලර් උපයන්නන්හට අවාසි සිදු වේ. ඇඟලුම්, තේ ආදී අංශවල අපනයනකරුවන්ට මේ තත්ත්වය දැඩිව බලපානු ඇත. අපට ශක්තිමත් අපනයන අංශයක් නොමැත. පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 12.5 කි. ඊට සාපේක්ෂව ආනයන වියදම සටහන් වී තිබුණේ ඩොලර් බිලියන 20.1 ක් ලෙසය. එහි හිඟය ඩොලර් බිලියන 8 කට ආසන්නය.
ඩොලරයේ රුපියල් අගය මේ මට්ටමින් ස්ථාවරව පවත්වා ගෙන යෑමට මහ බැංකුවට හැකි නම් කිසිදු ගැටලුවක් නැත. එහෙත් නැවත වතාවක් ඩොලරයේ රුපියල් අගය ඉහළ ගියහොත් එයින් වෙන අවාසිය අපනයනකරුවන් දරා ගන්නේ කෙසේද යන්න ගැටලුවකි. මන්ද, එවිට අපනයනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට වැඩි මුදලක් ගෙවීමට සිදු වන බැවිනි.
ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකථනය කර ඇති ආකාරයට මේ වසරේ අගභාගය වන විට ඩොලරයේ රුපියල් අගය 390 මට්ටම දක්වා වැඩි වනු ඇත. මේ ආයතනයේ පුරෝකථනවල නිරවද්‍යතාව ඉතා ඉහළ මට්ටමක පවතී. ෆිච් රේටිංග්ස් ආයතනය ගොඩනගා ඇති පුරෝකථනය නිවැරැදි බව මගේ වැටහීමයි. මන්ද, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනය ලබා දී තිබෙන්නේ වසර දෙකක් වැනි කාලයක් නිසාත් යළිත් 2024 වසරේ මුල සිට චීනයට ගෙවීමට ඇති ණය හා පොලි වාරික ගෙවිය යුතු නිසාත්ය.
එවිට රටේ යළිත් ඩොලර් හිඟයක් උද්ගත වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යනු ඇත. එය කර්මාන්ත අංශයට අහිතකර බලපෑම් ගෙනෙනු ඇත. මේ සන්දර්භයේ ඩොලරයේ රුපියල් අගය ස්ථාවර කිරීම අරබයා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය යුතුය.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලම
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුපියල බාල්දු වෙන්න ඉඩ නොදෙනු
de silva Wednesday, 15 March 2023 01:51 AM
රුපියල ශක්තිමත් කරන්න නම් ශ්‍රී ලංකාවේ සුලු සහ මධ්‍ය පරිමාණ ව්‍යපාරික ශක්තිමත් වෙන්න ඕනේ..., ඔවුන්ගෙ නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, ලංකාවේ හිඟය... ඒවා එන්නේ නීත්‍යානුකූලව නොවේ... එමනිසා මිල අධිකය. කර්මාන්ත වාසි යන පරිසරයක් රුපියල ශක්තිමත් වෙන්නෙ නැහැ. මේක සතුටට කාරණයක් නොවේ.. රුපියල 400ට පැන්නොත් රටෙ විශාල අර්තික ප්‍රශ්න ඇතිවෙනවා...