IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලෝකය හෙල්ලූ ලංකා කසිප්පු

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට අධිත ඉල්ලූමක් පවතින විට සම්මතයට පිටින් හෝ ගොස් ලාබ ලැබීමට නිෂ්පාදකයෝ බිහි වෙති.

කවුරුන් කැමැති වුණත් නැතත්  ඕනෑම වෙළෙඳ පොළක හැටි එහෙමය. අල්පෙනිත්තේ පටන් අවි ආයුධ වෙළෙඳාම දක්වා විශාල පරාසයක මේ නීත්‍යනුකූල නොවන වෙළෙඳාම සිදුවන බව ප්‍රකට කරුණකි.

මෙවර සත්‍ය ගවේෂණයට පාදක කරගන්නේ එසේ අප රටේ දිගු කලක් තිස්සේ නීතියට පිටින් සිදුකෙරෙන නිෂ්පාදනයක් ගැනය. ඒ නීතිවිරෝධී මත්පැන් ය.

නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර වූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම ඊට අදාළ රාජ්‍ය ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුවේ දැක්මයි.
එහෙත් මේ වනවිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යමින් පවතී.මහජන සෞඛ්‍යයත් රටේ ආර්ථිකයත් මහා පරිමාණයෙන් විනාශ මුඛයට කැඳවාගෙන ගිය ද ඒ සම්බන්ධයෙන් සිදුවන අධ්‍යයනයන්හි ඇති සීමාසහිත බව නිසා සිදුවන විනාශයේ දිග පළල ගැන නිශ්චිතවම පැවැසීම මෙතෙක් දුෂ්කර වී ඇත.

එහෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.  
 
මෙම පර්යේෂණයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ ඇතුළු පිරිසේ මූලික අවධානය යොමු වී තිබුණේ නීති විරෝධී මත්පැන් අතුරෙන් කසිප්පු භාවිතය පිළිබඳවය. ආචාර්ය දුනුසිංහ මහතා ඊට අදාළ සංඛ්‍යා ලේඛන දක්වමින් පැහැදිලි කළේ උදා වී ඇති තත්ත්වයේ බිහිසුණු බවයි.

 ” මෙතෙක් කලක් ඉහළ ආදායම් ලැබූ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතරේත් කසිප්පු භාවිතය වැඩි වී තිබෙනවා. නීතිවිරෝධී මත්පැන්වලින් සීයට 90 ක්ම පමණ කසිප්පුයි. ආසන්න වශයෙන් කසිප්පු භාවිත කරන්නන් ලක්ෂ 13 ක් පමණ අපේ රටේ සිටිනවා. මේ පිරිසෙන් 35% ක් පමණ දිනපතා භාවිතා කරන්නන් වන අතර 40% ක පමණ පිරිසක් සතියට දින 3ත් 5ත් අතර මත්පැන් පානය කරන අය.කසිප්පු පානය කරන්නන්ගෙන් 25%ක්ම වයස අවුරුදු 40 ට අඩු අය . ඒ කියන්නේ තරුණ පිරිසයි. කසිප්පු භාවිතා කරන්නන් වැඩිම පිරිසක් සිටින දිස්ත‍්‍රික්ක වෙන්නේ නුවර එළිය, පුත්තලම, කෑගල්ල, මොණරාගල, බදුල්ල හා රත්නපුරයි. නුවර එළිය, කෑගල්ල, බදුල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවල කසිප්පු භාවිතා කරන්නන් වැඩිවීමට බලපා තිබෙන්නේ වතු ජනයාගෙන් ඊට ඇති අධික ඉල්ලූමයි. මේ සංඛ්‍යා ලේඛන ප‍්‍රතිශත බලද්දී ඉතාම බිහිසුණු තත්ත්ව අපට නිරීක්ෂණය වෙනවා. උදාහරණයකට ගත්තොත් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මත්පැන් භාවිතා කිරීමට ඉඩ ඇති වයස අවුරුදු 20 ට වැඩි පුරුෂ ගහණයෙන් 95% ක්ම පමණ කසිප්පු භාවිතා කරනවා. පුත්තලම දිස්ත‍්‍රික්කයේත් එහි අගය 79% ක් වෙනවා. නුවරඑළිය හා මොණරාගල දිස්ත‍්‍රික්කවල මත්පැන් වෙළෙඳ පොලින් 69% ක්ම ආවරණය වෙන්නේ නීති විරෝධී මත්පැන්වලින් බව බොහෝ දෙනෙක් දන්නේ නෑ.”

ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයට අනුව ලංකාවේ සැර මත්පැන් භාවිතය ලොව අනෙක් රටවලට වඩා ඉහළ මට්ටමක පවතී. දේශයේ නම රැන්ඳු ක‍්‍රිකට් ආදී ක‍්‍රීඩාවලින් අප පල්ලම් බසිද්දී ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් සැර මත්පැන් පරිභෝජනයෙන් අංක දෙක හිමිකරගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.

දේශීය මත්පැන් පරිභෝජනයෙන් 88% ක්ම සැර මත්පැන් වීමෙන් එය පැහැදිලිය. එය එසේ වන්නේ ලොව රටවල් රැසකම සැහැල්ලූ මත්පැන් භාවිතය 70% ක් පමණ වෙද්දීය. අපේ රට හරිම වෙනස් යැයි එදිනෙදා කතාවට කීවාට එය මෙතැනට ද අදාළ නොවේද?

වැටලීම් හා පරිභෝජනය අතර වෙනස

නීති විරෝධී මත්පැන් වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන්නේ පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තු මගිනි. එහෙත් දෙපාර්තමේන්තු දත්ත හා ඒවායේ නිලධාරින් පවසන කරුණු අනුව බැලූවහොත් එකක් පැහැදිලිය. එනම්, නීතිවිරෝධී මත්පැන් මැඩපැවැත්වීම හුදෙක් වැටලීම්වලින්ම පමණක් කළ නොහැකි බවයි. නිත්‍යනුකූල මත්පැන් වෙළෙඳ පොල මත ක‍්‍රියාත්මක වන රජයේ බදු නිසි පරිදි මෙහෙයවීම එහිදී අතිශය වැදගත්ය. බොහෝ දෙනා නොදැන සිටියාට ලොව විශාලතම අරක්කු නිෂ්පාදකයා ද ශ‍්‍රී ලංකාවය. බියර් වැනි සැහැල්ලූ මද්‍යසාර සම්බන්ධයෙන් වූ තුලිත රාජ්‍ය බදු ප‍්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස වෙනස්වීම විසින් ද මත්පැන් පානය කරන්නන් හොර පොට්වලට තල්ලූ කරනු ලැබිණි.

2015 වසරේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා මද්‍යසාර කර්මාන්තයට අදාළව කළ බදු සංශෝධන මගින් ඇත්තටම වුණේ සමාගම් කීපයක් ගොඩයාමය. උදාහරණයකට ගතතොත් ස්කාගාර බලපත‍්‍ර ගාස්තු මිලියන සියය දක්වාත්, අරක්කු බෝතල් කිරීමේ බලපත‍්‍ර ගාස්තු මිලියන 50 දක්වාත් වැඩි කෙරුණි.  එහිදී එම මිල ගණන ගෙවාගැනීමට හැකි වුණේ ආයතන එකක් හෝ දෙකකට පමණි. මද්‍යසාර කර්මාන්තයෙහි ඒකාධිකාරින් තැනෙන මේ ප‍්‍රතිපත්ති අභියෝගයට ලක්කිරීමට අධිකරණයට පවා යෑමට සෙසු නිෂ්පාදකයන්ට සිදුවිය. කෙසේ වෙතත් පසුව නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි මිලියන 100 බද්ද මිලියනය දක්වාත් මිලියන 50 බද්ද ලක්ෂ පහ දක්වාත් අඩු කිරීමට නව ඇමැතිවරයාගේ අවධානය යොමුවිය. 2015 වසරේදී තොග ලීටර මිලියන 125 ක් වූ බියර් නිෂ්පාදනය ලීටර් මිලියන 59 දක්වා මේ වනවිට පහළ බැස ඇතැයි පවසන්නේ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාමය. මිල ගණන් වැඩිවීම නිසා ඉතා අඩු මිලට නීතිවිරෝධී මද්‍යසාර වෙත යොමුවීම එහි ප‍්‍රතිපලය වී ඇති බව දැන් විශ්ව විද්‍යාල පරීක්ෂණවලින් හෙලිදරව් වී ඇත. එසේ බලද්දී සරල සිංහලෙන් කිවහොත් දැන් ආණ්ඩුවට සිදුව තිබෙන්නේ බදු ආදායම ද අහිමි කරගෙන ලෙඞ්ඩුන්ට බෙහෙත් කිරීමටය. ලංකාවට සමාන ඒක පුද්ගල ආදායමක් ඇති රටවල පමණක් නොව ඊට වඩා අඩු ආදායමක් ඇති රටවල පවා සැර මත්පැන් භාවිතය පහළ අගයක් ගැනීමෙන් ද බදු බරේ යථාර්ථය පැහැදිලිය. අනෙක් අතට මුදල් අමාත්‍යංශයෙන් 2015 කෙරුණු මෙම බදු ඉහළ දැමීමේ ප‍්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ ද පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ මද්‍යසාර කර්මාන්තයට අදාළ බදු පැනැවීම්වලදී සැර මත්පැන් නිෂ්පාදනය අධෛර්යමත් කළ යුතු බවය. එහෙත් ලංකාව කරඇත්තේ එහි අනෙක් පැත්තය.  

සැබැවින්ම පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී  මත්පැන් විකිණීම හා ළඟ තබාගැනීමට එරෙහිව නීතිය මගින් ක‍්‍රියා කරන අවස්ථා අඩු වී නැත. එහෙත් පර්යේෂක කණ්ඩායම් පවසන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑමට සාපේක්ෂව මෙම වැටලීම් මීට වඩා වැඩි විය යුතු බවයි. අනෙක් අතට බලවතුන්ගේ ආශිර්වාදය ඇතිව නීතිවිරෝධී වෙළෙඳාම ජයටම කරගෙන යන පිරිස් නැතිවාම නොවේ. එවැනි වැටලීම්වලදී අවසන අසරණ වන්නේ එක්කෝ පොලීසියය. නැත්නම් ඔත්තුකරු හෝ පැමිණිලිකරුය. කසිප්පු වැනි මත්පැන් නිෂ්පාදනය කෙරෙන්නේ කිසිදු ප‍්‍රමිතියකට නොවේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය හැටියට සීනිවලට අමතරව යූරියා මෙන්ම කෘමිනාශක වර්ග ද මිශ‍්‍ර කෙරෙන අතර කටුකම්බි ආදිය ද උත්පේ‍්‍රරක හැටියට භාවිත කෙරේ. කෘතිම ඊස්ට් මගින් පැසවන ගෝඩා මිශ‍්‍රණය පරිසරයට විවෘතව පවතින නිසා කෘමින් ඇතුලූව කටුස්සන්, මීයන්, සර්පයන් වැනි සතුන් ඊට වැටී මිය යාම සාමාන්‍ය දෙයකි. කසිප්පු නිපදවන්නේ එසේ සකස් කරගත් මද්‍යසාර ආසවනයෙනි. කසිප්පුවල වඩාත් බිහිසුණු සංඝටකය වන්නේ මීතයිල් මධ්‍යසාරයයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මීතයිල් මද්‍යසාරය මිලිලීටර 10 ක් පානයෙන් ස්ථිර අන්ධභාවය ඇතිවිය හැකි අතර මිලිලීටර 30 ක් හෙවත් උගුරු තුනක් මාරාන්තික විය හැකිය. එසේ බලද්දී ලංකාවෙන් සැලකිය යුතු පිරිසක් නිරතව සිටින්නේ මාරාන්තික ක‍්‍රීඩාවකය.

පැවැති ආණ්ඩුව මතට තිත සංකල්පය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හැටියටම ක‍්‍රියාත්මක කළේය. එහෙත් සංඛ්‍යාලේඛන පැවැසුවේ ඊට වෙනස් කතාවකි. මේ ආණ්ඩුව ද ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කර තිබේ. 2015 වසරේදී පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රජයට ආදායම් ලබාදෙන ප‍්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු ආදී  දෙපාර්තමේන්තු වල ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසි විටෙකත් තමා පෙනී නොසිටින බවය. තව ද  නීතිවිරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත‍්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණක්ම බව ද එහිදී අවධාරණය කළේය. මීට අමතරව රජයේ ප‍්‍රධානීන් එදිනෙදා දේශපාලන කතාවලදී ද අවධාරණය කරන්නේ මතින් තොර ව්‍යාපාරය සාර්ථකව දියත්ව ඇති බවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ අදහස් ද මේ වනවිට පරස්පර වෙමින් තිබේ. මුදල් ඇමැති මංගල සමරවීර මහතා නීතිවිරෝධී මත්පැන් භාවිතය 61% ක් වී ඇති බව පාර්ලිමේන්තුවේදී පිළිගැනීමෙන්ම එය පැහැදිලිය. නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද එම අදහස පිළිගත්තේය.  

නීතිවිරෝධී මත්පැන් භාවිතයේදී වැඩිපුරම ඊට යොමුවන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන පිරිස ලක්ෂ 14කට ආසන්නය. ඊට අමතරව පසුගියදා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණයකදී  තවත් ලක්ෂ 11ක පිරිසක් ඊට අයැදුම්පත් යොමුකළහ.

එකී පිරිසෙන් කොපමණ පංගුවක් මෙම කුලකයට අයිති වනු ඇති ද? නීතිවිරෝධී මත්පැන් සැපයුම ඉහළ යාමේදී ආණ්ඩු ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකකට මුහුණ පායි. පළමුවැන්න රජයට හිමි විය යුතු බදු අහිමිවීමයි. දෙවැන්න ප‍්‍රමිතියෙන් තොර මද්‍යසාර නිසා මිනිසුන් පීඩා විඳින රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී සෞඛ්‍යාරක්ෂණයට පිරිවැයක් දැරීමට සිදුවීමය. මෙසේ බලද්දී අවසාන විග‍්‍රහයේදී ආණ්ඩුවේම සුබසාධන ඉලක්ක සහ රාජ්‍ය බදු ප‍්‍රතිපත්ති අතර ඇත්තේ විශාල නොපෑහීමක් නොවේද? ආදායමත් නැති කරගෙන ලෙඩුන්ට බෙහෙත් කරන්නට සිදුවන තැනකට ආණ්ඩු තල්ලූවන්නේ නම් එය සම කළ හැක්කේ අතින් කාලා හරක් බැලීමකටය. මෙවැනි කාරණා සදාචාර තර්කවලින් වැසිය නොහැකිය. එසේ වසාදැමීමට උත්සාහ කිරීමේ අනිටු විපාකය ද යළි එන්නේ මහජනතාවටමය. මන්දයත් නැවත සෞඛ්‍ය සේවයට වියදම් වන්නේ ද මහජන ධනයම වන බැවිනි.

කාලයට ගැලපෙන සේ බදු ප‍්‍රතිපත්ති සකස් විය යුතුයි : මුදල් ඇමැති මංගල සමරවීර ජුනි 23 පාර්ලිමේන්තුවේදී

”දැනට මත්පැන් ස්කාගාර 24ක් පවතිනවා. ව්‍යාපාරිකයන් ගෙනයන අධිකරණය ක‍්‍රියාමාර්ග නිසා මිල අඩු කළත් රජයේ ආදායමට කිසිසේත් එය බලපාන්නේ නැහැ. අද මත්පැන් භාවිතය විශාල ප‍්‍රශ්නයක් වෙලා. සියයට 61ක් පමණ මත්පැන් අද භාවිත කරන්නේ නීතිවිරෝධී මත්පැනුයි. බලපත‍්‍ර ගාස්තු වැඩි කරන්න වැඩි කරන්න නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙනවා. ඒ නිසා බදු සංශෝධන බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. කිසිම රටක මත්පැන් පානය අවම කරන්න බැරි බව අප දන්නවා. සෞඛ්‍යයට අහිතකර නොවන බියර් හා වයින්වලට සහන ලබාදෙන්න  ඕන. නීත්‍යානුකූල බාර් තිබෙන අය අපට කියන්නේ වැඩිපුරම බෝතල් විකිණෙන්නේ පෝයට දවසටයි කියායි. සමහර බාර් හිමියන් කරන්නේ පෝය දවසට ගෙදර ඉදන් දෙගුණයක මිලට අරක්කු විකුණනවා. නත්තල් දවසේ බාර් වහනවා. සංචාරක මෙරටට පැමිණෙන දෙසැම්බර් මාසයේ මත්පැන් හල් වසා තැබීමෙන් අදායම් නැතිව යනවා. මේ වගේ යල්පැන ගිය නීතිරීති පිළිබඳ අපි නැවතත් හිතා බලන්න  ඕන. තායිලන්තය අපි වගේම බෞද්ධ රටක්. ඒ අය වසර පහ හයකට සැරයක් මත්පැන් හල් වහන්නේ මැතිවරණයක් තිබෙන දවසට පමණයි. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය විකිණීමේදී ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන්පසුව තීන්දුව ගත හැකියි.”

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.හෙලන්. ඒ. මීගස්මුල්ල මහත්මිය

”නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ යාමට ප‍්‍රධාන හේතු දෙකක් මම දකිනවා. පළමුවෙන්ම මිනිස්සු ඉතින් අඩු මිලට තිබෙන දේ තමයි පාවිච්චි කරන්න පෙළඹෙන්නේ. අනෙක් අතට අපරාධ සම්බන්ධයෙන් වැටලීම්වල ප‍්‍රමාණාත්මක නෑ. කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන්වලට වැඩිපුර පෙළඹෙන්නේ දුප්පත් මිනිස්සු. අපට සිටින නිලධාරින් ප‍්‍රමාණවත්. නමුත් වැටලීම්වල ප‍්‍රශ්නයක් ඇතැයි මා හිතනවා. නීත්‍යනුකූලව අළෙවිය සිදුකරන තැන්වල ඇති කාර්මික අපරාධ සම්බන්ධයෙන් නම් අපි ප‍්‍රමාණාත්මක මැදිහත්වීමක් කර තිබෙනවා. රා නිෂ්පාදනයට දී ඇති අවසරයෙන් කෘතිම රා නිපදවීම ඊට එක උදාහරණයක්. පසුගිය මාසයේ දින කීපයක් ඇතුළත පමණක් එවැනි මද්‍යසාර ලීටර දෙලක්ෂයකට වඩා අත්අඩංගුවට ගත්තා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ප‍්‍රතිපලය විමසා බැලිය යුතු යැයි මා සිතනවා. මේ වැඩිවීම 25% ඉක්මවනවා නම් අනිවාර්යෙන්ම අපි දැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතුයි. ”  

 



අදහස් (5)

ලෝකය හෙල්ලූ ලංකා කසිප්පු

sachith Wednesday, 08 November 2017 11:47 AM

ඉතින් හරිනේ, මේ ආණ්ඩුවෙන් කරන්නේ කුඩා ව්‍යවසායකයින් දිරිමත් කරන එක. ගමේ කසිප්පු මුදලාලිට, බීඩි මුදලාලිලාට දැන් හොඳ වෙළඳපලක් ලැබිලා තියෙනවා. ලිපිය ගොඩක් වටිනවා, සෑම කරුණක් ගැනම අවධානය යොමුකරලා තියෙනවා. ඉදිරියටත් මේ වගේ අර්ථවත් ලිපි පලකරන්න.

:       1       245

sarath Thursday, 09 November 2017 03:41 AM

රවී කුට්ටිය ගන්න ගමන් ගොඩ දැම්මේ ලයන් බියර්,AMW ,ඉන්දියාව.අරුජුන් මහේන්ද්‍රන් .රවී ඉන්න ඕනේ බරපතල වැඩ ඇතිව හිරේ.ලලිත් කොතලාවල හිරේ යවුවනම් රවී හෝරාව යවන්න බැරි මොකද

:       23       434

Vishwa Thursday, 09 November 2017 09:47 AM

නොදන්නාකමට අහන්නේ, කසිප්පු නියමිත යාන්ත්‍රණයක් මත ප්‍රමිතියකට හදන්න බැරිද? හරියටම කියනවනම් හැම තැනම හදන කසිප්පු වල එකම සංඝටක තියන විදියට? පිටරට වල ගෙවල් වල වයින් වර්ග අරක්කු වර්ග හදනවා වගේ...?

:       2       201

Iansmith Thursday, 09 November 2017 01:06 PM

මේ කියන්නේ බියර් බීම තමා ඊළඟ විකල්පය කියන එකයි! ලංකාවේ අය වැටෙන්නම බොන්න ඕන, ලංකාවේ අය තායිලන්තයට හරියට එනවා, නමුත් දැකල තියෙනවද තායි මිනිස්සු බීල වැටිලා ඉන්නවා?

:       1       75

Jigsaw Jakson Saturday, 11 November 2017 09:34 PM

ඔව් විශ්ව ඔබ කියනවා වගේ, ඇමෙරිකාවේ ජැක් ඩැනියෙල්, ඉතාලියේ බකාඩි සමාගම්, සියල්ල අාරම්භ වුනේ නීති විරෝධී ලෙස පෙරන මධ්‍යසාරය මෙන්ය. එහෙත් ප්‍රගතිශීලී ලෙස ක්‍රියාත්මක වූ එම රජයන් එම ව්‍යාපාරයන්ට හරි ප්‍රමිති සහ තාක්ෂණ දැනුම ලබාදී නීත්‍යානුකූල මධ්‍යසාර බීම නිපදවන්නන් ලෙස ස්ථාපිතකොට දැන් ලොවම ජයගත්තට මධ්‍යසාරවලට එකතුවී හමාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 396 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 36 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 158 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 202 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site