IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලක්ෂ 62 ක ජන වරම අහෝසි වෙලාද

(කුසල් පෙරේරා විසිනි)

යහපාලනයක් තහවුරු කිරීමට වඩා රාජපක්ෂ පරාජය කිරීම තමන් මුල පිරූ බවට අයිතිවාසිකම් කියන්නා වූ කොළඹ මැද පාන්තික සිවිල් සමාජයේ පිරිසක් විහාර මහා දේවි උද්‍යානයේ බුද්ධ ප‍්‍රතිමාව අබියස පසුගිය අගෝස්තු 15 වන දින ආණ්ඩුවාදී විරෝධයක් පැවැත්වූහ. එතැනට එදින දහසක පමණ පිරිසක් රැස්වූහ.

ඔවුන්ගේ රොද බැඳීමේ අරමුණ වූයේ මැතිවරණවලදී දුන් පොරොන්දු ඉටු කිරීමට මේ යහපාලන ආණ්ඩුවට බල කිරීමය. එලෙසින් බල කරන්නට ඔවුන්ට අයිතියක් ඇතැයි ඔවූහු කීහ. ඔවුන් තර්ක කරන්නට වූයේ මේ යහපාලනය ගෙන එන්නට ඡන්දය ලබාදුන් ලක්ෂ 62 ට ඒ අයිතිය ඇත යන්නය. ඒ, රාජපක්ෂ පාලනයේ දුෂණය හා බලහත්කාර අධිපතිවාදී පාලනය අවසන් කරන්නට ඔවූහු මුලපිරූහ යන තර්කය මතය. එනිසා පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනට 2015 ජනවාරියේ ඡන්දය ලබාදුන් ලක්ෂ 62ට තමන් හා එක්වන්නට ඇරයුම් කෙරුණේ ‘‘ලක්ෂ 62 සීරුවෙන්’’ යැයි සංවිධානය කළ විහාර මහා දේවි උද්‍යානයේ පැවැත් වූ එම උද්ඝෝෂණයටය.

බැලූ බැල්මට, එය ආණ්ඩුවේ පිටුබලය ඇතිව සංවිධානය වූවකි. එහි විය පැහැදම් ඇතැම් විට එ.ජා.ප. වුවමනාව අනුව පියවෙන්නට ඇත. එහෙත් රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන් ලක්ෂ 62 හා සැසඳෙන විට, දහසක පමණ සෙනඟක් සහභාගි වීමෙන් එය අසාර්ථක ව්‍යායාමයක් ලෙස සනිටුහන් වන්නකි. එබැවින් මේ ඡන්ද 62 ලක්ෂය දැන් ඇත්තේ කොහේදැයි කතා කිරීම අද වැදගත් වන්නකි.

අපි මෙය අවංකව කතා කරමු. මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්ෂකයාට 2015 ජනවාරියේ ලැබුණු ඡන්ද 62 ලක්ෂය, අවුරුදු 02කුත් මාස 08ට පසු ඒ ආකාරයෙන්ම තවමත් රැඳී ඇතැයි ගණන් හැදීමම අනුවණ කමකි. ඇත්ත දේශපාලන අර්ථයෙන් ගත් විට, අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් ඡන්ද මෛතී‍්‍රපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයාට ලැබුණේ ඔහුගේ තිබූ වැදගත්කමක් හෝ ඔහු ගැන තිබූ විශ්වාසයක් නිසා නොවේ. රාජපක්ෂ ගැන තිබූ අප‍්‍රසාදය, අවිශ්වාසය හා බරපතළ විරෝධය නිසා පමණකි. මෛතී‍්‍රපාල සිරිසේන ලැබූ උතුරු නැගෙනහිර ලක්ෂ 19ට වැඩි ඡන්දය දැඩි රාජපක්ෂ විරෝධී ඡන්දයක් මිස මෛතී‍්‍රපාල සිරිසේන ළැදි මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ලබාදුන් ඡන්දයක් නොවුණි. ඒ වගේම, රාජපක්ෂ යුගයේ බොදු බලය වැනි අන්තවාදී ප‍්‍රචණ්ඩ සිංහල බෞද්ධ කණ්ඩායම්වල හිංසනයට ලක් වූ සිංහල ප‍්‍රදේශවල වාසය කරන්නා වූ මුස්ලිම් ඡන්දය සටහන් වූයේ ද රාජපක්ෂ විරෝධී වෛරී ඡන්දයක් ලෙසින්ය. මුස්ලිම් නායකයන්ට රාජපක්ෂ අතහැර මෛතී‍්‍රපාල පොදු අපේක්ෂකයා ලෙස පිළිගන්නට සිදුවූයේ ද ඔවුන්ට ඔවුන්ගේ ප‍්‍රජාවගේ ඡන්ද තවදුරටත් රාජපක්ෂ වෙත රඳවා ගන්නට නොහැකි වූ හෙයිනි. එලෙස ගණන් බැලූ විට, 2015 ජනවාරි ජනාධිපතිවරණයේ රාජපක්ෂ විරෝධී සුළුතර ජනතාවගේ ඡන්දය ලක්ෂ 22 ක් පමණ වන්නේය.

මේ සුළුතර ඡන්ද ලක්ෂ 22ක් ලබාගත් යහපාලන ආණ්ඩුව ගෙවුණු මාස 32 පුරා ඔවුන් වෙනුවෙන් දැක් වූ සැලකිල්ල කුමක්ද? අමාත්‍යාංශ එකට ගැට ගැසීමේදී අපේ රටේ අතිශය භයානක ගැට ගැසීමක් වන්නේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශ එකට ගැසීමය. ඒ අනතුරුදායක එකතුව බාර දී ඇති විජයදාස රාජපක්ෂ ගනුදෙනු කරන්නේ ගෝඨාභය සමයේ උන්මත්තකයන් ලෙස මුස්ලිම් විරෝධයක් වැපුරූ සිංහල බෞද්ධ අන්තවාදීන් වන බොදු බලය හා එවැනි ප‍්‍රචණ්ඩ කණ්ඩායම් සමඟින්ය. මේ සිංහල බෞද්ධ අන්තවාදීහු විජයදාස රාජපක්ෂ ඇමැති සමඟ ජනාධිපති සිරිසේන ද හමු වූහ. එහෙත් අද විජයදාස රාජපක්ෂ ඇමැතිට විරුද්ධව ආණ්ඩුවෙන්ම එල්ල වන චෝදනාව ඔහුගේ සිංහල අන්තවාදය සම්බන්ධව නොවේ.

ඔහුට චෝදනා කරන්නේ හම්බන්තොට වරාය ගිවිසුමට අදාළව ඇමැති මණ්ඩලයේ පොදු වගකීම නොරැකීම හා රාජපක්ෂ පවුලේ දුෂණ කල් දමන්නේය යන්න සම්බන්ධයෙන් පමණි. ඒවා සිංහල බෞද්ධයන්ට වැදගැම්මක් නැතැයි ඔප්පු කරමින් අස්ගිරි පාර්ශවයේ ආරක්ෂාව විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ප‍්‍රකාශ කෙරෙන්නේ ඔහු හොඳ සිංහල බෞද්ධ දේශපාලනඥයකු යන තර්කය මතය.

මේ ආණ්ඩුව සිංහල බෞද්ධ වන්නේ විජයදාස රාජපක්ෂ නිසාම නොවේ. මංගල සමරවීරගේ ලිබරල් මතවාදය හැරුණු විට මේ යහපාලන ආණ්ඩුවේ අනෙක් බහුතරය සිංහල බෞද්ධ මතවාදයේ සිටිනවුන්ය. ජනාධිපති සිරිසේන ද හොඳ සිංහල බෞද්ධයෙකි. ඔහු ‘‘රණ විරුවන්’’ වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ සිංහල බෞද්ධකම ප‍්‍රදර්ශනය කිරීමටය. යුද අපරාධ පරීක්ෂණ පැවැත්වීමට ඔහු විරුද්ධ වන්නේ ද ඒ ජාතිවාදී මතයෙහි පිහිටාය. අගමැතිවරයා ද ඒ හා එකඟ වීමෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015 සැප්තැම්බරයේදී සම්මත කළ මේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව ද හවුල් වූ යෝජනාව දැන් ඉවත දමා ඇත්තේද සිංහල බෞද්ධ ඡුන්ද වෙනුවෙනි. එය ඊයේ පෙරේදා නව විදේශ ඇමැති මාරපන විසින් තවදුරටත් තහවුරු කරනු ලැබිණ. මේ ආණ්ඩුවේ සිංහල බෞද්ධකම තවදුරටත් ඔප්පු කරමින් පසුගිය සතියේ අගමැති ප‍්‍රසිද්ධියේ කියූවේ ඔහු මුල පිරූ කොළඹ සංස්කෘතික කේන්ද්‍ර අරමුදල විසින් පන්සල් 150 ක් අලූත්වැඩියා කර පුනර්ජීවනය කරන බවය. ඔහුගේ සංස්කෘතියට ද හින්දු කෝවිල් සහ මුස්ලිම් හා කතෝලික පල්ලි අයත් නැත.

මේ ආණ්ඩුව එබැවින් උතුරුකරයේ හා වන්නියේ දෙමළ ජනතාවගෙන් ලබාගත් ඡුන්ද වෙනුවෙන් ද කිසිවක් ඉටු කර නැත. ඔවුන්ගේ අතුරුදන් වූ පුද්ගලයන්, චෝදනා රහිතව අත්අඩංගුවේ ඉන්නවුන්, ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම්, විශේෂයෙන් පසුගිය වසරකට වැඩි කාලයක සිට යාපනය අර්ධද්වීපයේ නීතිය හා සාමය බරපතළ ලෙස බිඳ වැටීම හා සෝදිසි මෙහෙයුම් සමඟ අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු පිළියමක් ලැබී නැත. දකුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන කොළඹ මැද පාන්තික බුද්ධිමතුන්ට ඒ කිසිත් වැදගත් වන්නේ ද නැත.

මේ ආණ්ඩුව 2015 සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සම්මත කෙරුණු යෝජනාවෙන් පොරොන්දු වූ අලූත් පනත් දෙක තුනක් සම්මත කෙරුවද කි‍්‍රයාවට නොනඟන්නේත් ඉතිරිය කල් දමා ඇත්තේත් ඔවුන්ගේ සිංහල බෞද්ධකම නිසාය. ඒ සියලූ නොසැලකීම් හා අතහැරීම් නිසාවෙන් රාජපක්ෂට විරුද්ධව මාස 32ට කලින් සිරිසේනට ඡුන්දය දුන් දෙමළ හා මුස්ලිම් ඡන්ද ලක්ෂ 22 කොළඹ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සීරුවෙන් තබන හැට දෙලක්ෂයට තවදුරටත් ඇතුළත් වන්නේ නැත. 

මේ නිසාවෙන් දෙමළ නායකයන් හසුව ඉන්නා හෙයියම්මාරුව දැකිය හැක්කේ දෙමළ ජාතික සන්ධානයේ සහ විපක්ෂ නායක සම්පන්තන් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාව කි‍්‍රයාවට නඟන ලෙස මේ ආණ්ඩුවට බල කරන මෙන් ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර, මේ ආණ්ඩුව ඔවුන්ට පිළිගත හැකි බලය බෙදීමේ විසඳුම් නව ව්‍යවස්ථාවක් මඟින් ලබාදෙනු ඇතැයි තවමත් විශ්වාස කිරීමෙහිය.

එය දකුණේ දේශපාලනයෙහි සාමාන්‍ය ස්වභාවයය. 2015 ජනවාරි ජනාධිපතිවරණය වෙනුවෙන් ගෙනගිය සියලූ ප‍්‍රචාර පදනම් වූයේ මහා පරිමාණ දුෂණ හා රාජපක්ෂ මර්දනය මතය. ඒ මර්දනය උතුරේ මර්දනය ගැන නොවුණි. සුදු වෑන් කතාව ද එවැනිය. එය දකුණේ සුදු වෑන්වලට සීමාවූවකි. ‘‘ජාතික’’ යැයි කෙරෙන සියලූ කතා දකුණේ කතාය. මාදුළුවාවේ සෝභිත හිමි විසින් මුල පුරනු ලැබූ සාධාරණ යුක්තිසහගත සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ඉල්ලීම් මාලාවේ ද උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් තිබූ එකම සඳහන වූයේ ‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’’ ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාවට නඟන්නේය යැයි තිබූ සඳහන පමණි. ඒ වනවිට එය කි‍්‍රයාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන්නට රාජපක්ෂ ජනාධිපති ද පොරොන්දු වී තිබිණ.

රාජපක්ෂ විරෝධය සමඟ වූ 2015 ජනාධිපතිවරණ සමයේ ජ.වි.පෙ. ද හවුල් වූ මෛතී‍්‍ර පාලනයක් ගෙන ඒමේ පොරොන්දු සියල්ල ඒ අනුව දකුණට විශේෂයෙන් වැදගත් වූ 09 වසරක රාජපක්ෂ දුෂණය මුල්කර ගත්තකි. මාස 32ට පසු අද ඒ පොරොන්දු ඉටු කරන මෙන් විහාර මහා දේවි උද්‍යානයෙහි බුද්ධ ප‍්‍රතිමාව අබියස රැස්වූවන් කරන බලපෑම් එනමුත් මේ ආණ්ඩුවට දැන් ඉටු කළ නොහැක්කකි. එයට මූලික කාරණාවක් ඇත. පැරණි රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදු වූ මහජන මුදල් හා පොදු සම්පත් උලා කෑම් සඳහා පරීක්ෂණ පැවැත් විය යුතුය. එය කළ හැක්කේ මෛතී‍්‍ර - රනිල් අලූත් ආණ්ඩුව පිරිසිදු ආණ්ඩුවක් නම් පමණි. මේ යහපාලන ආණ්ඩුවට ඒ සදාචාරාත්මක අයිතිය ඇත්තේ නැත.

මේ යහපාලන ආණ්ඩුවේ මාස 32 ක දුෂණ රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණවලට වැඩි මිස අඩු නැත. යෝධ බැඳුම්කර වංචා දෙකකි. දැනට පරීක්ෂා කෙරෙන්නේ පළමු වැන්නය. එය රවී කරුණානායකගේ පෙන්ට් හවුස් නිවාස ගනුදෙනුවට එහා යන යෝධ මගඩියකි. එය කරුණානායකට සීමාවූවක් ද නොවේ. එයට මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් ඇමැතිවරුන්ගේ නම් ද ඈඳී ඇත. මේ ආණ්ඩුවේ දුෂණ සෙවීමට අවුරුද්දකට වැඩි කලක් හිස්ව තබාගෙන ඉන්නා රාජගිරියේ මහල් ගොඩනැගිල්ලක් සඳහා මසකට රුපියල් ලක්ෂ 21 බැගින් අවුරුදු 5 ට කුලී ගෙවන්නට අගමැති විසින් කළ ගනුදෙනුවේ සිට දයා ගමගේ ඔහුගේ පුතුගේ නමින් පවත්වා ගන්නා සමාගමට රුපියල් බිලියන ගණනක මාර්ග නඩත්තු කොන්ත‍්‍රාත් දීමත් මලික් සමරවික‍්‍රම ඇමෙරිකානු කොම්පැනියකට ප‍්‍රචාරණ හා මහජන සම්බන්ධතා කොන්තරාත්තුවක් සජින් වාස් ක‍්‍රමයට ලබාදීමත් ශී‍්‍ර ලාංකීය සංක‍්‍රමණික සේවකයන්ගේ ලියාපදිංචියෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවන ලක්ෂ ගණන් දුෂණ සඳහා තලතා අතුකෝරළ ඇමැතිනිය ද වගකිව යුතු යැයි නැඟෙන චෝදනා සහ වන්නිකරයේ දෙමළ ජනතාව මත බලහත්කාරයෙන් පටවන්නට යන රුපියල් කෝටි ගණනක වානේ නිවාස යෝජනා ක‍්‍රමය වැනි තව බොහෝ දුෂණ ගැන වහා ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතුව ඇත.

මාස 32ක මේ යහපාලන ආණ්ඩුවේ කෙරුවාව වන්නේ පත් කෙරුණු ස්වාධීන කොමිසම් කිසිවක් කිසිදු වැදගත් කාර්යකට අදාළ නොවන පරිසරයක නීතිය හා සාමය සහමුලින්ම මෙන් අඩාලවීමත්, විවෘත වෙළෙඳ පොළ ආර්ථිකය තව තවත් දිග හරින්නට ගොස් තමන්ගේ යැයි කිසිදු අලූත් සංවර්ධන ව්‍යාපෘතියක් නැතිව කෙළවරක් නැති අවුලකට පත්ව අවසානයේ දුෂිත යැයි කියූ රාජපක්ෂගේ සියලූ චීන ව්‍යාපෘති බාර ගැනීමත් උතුරු නැගෙනහිර ජනතාවට රාජපක්ෂ යුගයේ පැවැති සිංහලවාදී පාලනයෙන් ගැලවීමට ඉඩක් මේ ආණ්ඩුවෙන් ද නොලැබීමත් සමඟ රාජපක්ෂට වඩා හොඳ සිංහල බෞද්ධයන් වන්නට හැල්මේ දිවීමත් පමණය.

එනිසා දෙමළ මුස්ලිම් ඡුන්ද ලක්ෂ 22 ට අමතරව දැන් දකුණේ සිංහල ඡන්ද ලක්ෂ 40 න් පිරිසක් ද මේ යහපාලනය අතහැර ඇත. ඛේදවාචකය වන්නේ යහපාලන ආණ්ඩුව හා උරණ වන දකුණේ ඡුන්ද සියල්ල නැවත රාජපක්ෂ තෝරා ගැනීමෙහිය. සයිටම් විරෝධය හා දුෂණ විරෝධය අතර එහා මෙහා දුවන ජ.වි.පෙ.ට ද රාජපක්ෂ විරෝධය හැර වෙනත් විකල්ප දේශපාලනයක් ඇත්තේ නැත. එබැවින් හැට දෙලක්ෂය සීරුවෙන් තබන්නේ යැයි කියන්නා වූ කොළඹ සිංහල ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ බාලාංශ විරෝධ මඟින් රාජපක්ෂ ඉවත් කර තැබිය නොහැක. දෙමළ ජනතාවට ද නැවත රාජපක්ෂට ඡුන්දය දෙන්නට නොහැකි වූවත් ඔවුන්ගේ නායකයන් කිසිවක් කළ නොහැකි මේ යහපාලන ආණ්ඩුව පසුපස යන හෙයින් මේ ආණ්ඩුවට විරුද්ධ තේරීමක් ඉතිරිව නැත.

සමස්තයක් ලෙස ගත්විට, හැම පැත්තකින්ම හැම ආකාරයෙන්ම අර්බුදවලට ගොදුරු වන්නා වූ ලාංකිකයන්ට පුද්ගලයින් හා පක්ෂ මාරු කරන දකුණේ දේශපාලනයෙන් ඉවත් වන තෙක් රාජපක්ෂගෙන් ගැලවෙන්නට ද නොහැක. එබැවින් අද අවශ්‍ය වන්නේ දුෂණය වගා කරන අවුරුදු 40 ක් පුරා අප කර ගසා සිටින විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට වෙනස් වූ ආකෘතියක් සමග සංවර්ධනය යනු කවරක්දැයි කතිකාවක් ආරම්භ කිරීමය. එය දකුණේ කතිකාවක් නොවන, දෙමළ හා මුස්ලිම් අපේක්ෂාව ද නියෝජනය වන ජාතික කතිකාවක් විය යුතුය. එවැන්නක් සඳහා අප අත නොගසන තාක් කල් මේ ගරාවැටෙන සමාජ වටිනාකම් හා අප සියල්ලන් අනාගතයද සමග ගරා වැටෙනු ඇත.



අදහස් (2)

ලක්ෂ 62 ක ජන වරම අහෝසි වෙලාද

shantha Tuesday, 22 August 2017 09:26 PM

ලක්ෂ 62 අරගෙන මේ කට්ටිය පොල් ලෙලි ගහනවා පෙන්නේ නැද්ද. ඉස්සර ප්‍රබාකරන් කියුවේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි කියල. ඉතින් යහපාලනය පත් උනේ දෙමල , මුස්ලිම් චන්ද වලින්. ඉතින් ඒ අයටත් වැඩක් කරනවා ඇති

:       0       0

Isuru mahawattge Wednesday, 23 August 2017 05:48 PM

කුසල් කියන්නේ ඇමෙරිකා වලත් නැති තරම් දේවල්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 2810 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 144 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1138 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 141 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 266 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 474 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 742 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 362 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site