IMG-LOGO

2025 මාර්තු මස 05 වන බදාදා


විකසිත පෙම් පොකුරු පියුම්

කලාවේ සැබෑ අරුත කුමක්දැයි තහවුරු කරමින් සුවහසක් රසික ජනයාට උසස් රසවින්දනයක් වෙනුවෙන් සුනිසි මගක් තනා දී ඒ මගේ බොහෝ දෙනාට ගමන් කිරීමට ඉඩකඩ විවර කර දුන් ආදරණීය මිනිසකු වන ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අමරණීය ගීතාවලියෙන් බිඳක්  සහ ඒ පද රචනාවන්ගේ අතීතානුභූතීන් කිහිපයක රස මතක ආවර්ජනය කිරීම මෙම සටහනේ අරමුණ වේ.

1940 මැයි මස 27 වැනිදා උපත ලද රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ මෙරට රසික ජනයා අතර ජනප්‍රිය වූයේ අජන්තා රණසිංහ නමිනි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, කවියකු, නවකතාකරුවකු ලෙස තම නිර්මාණාත්මක ප්‍රතිභාව ප්‍රකට කළ අජන්තා රණසිංහ ජනයාගේ නොමද සම්භාවනාවට පාත්‍ර වූයේ ගීත රචකයකු ලෙසිනි. වසර 40කට වැඩි නිර්මාණ දිවියේ අජන්තා ලියූ ගීත 400කට වැඩි ය. ඒ අතර චිත්‍රපට ගීතද බොහොමයක් වේ. ගීත කලාවේ අතීතය, වර්තමානය මතු නොව අනාගතයට ද නොමියෙන මතක ප්‍රභාවන් එක් කළ ආචාර්ය අජන්තා රණසිංහයෝ 2016 පෙබරවාරි මස 27 වැනිදා අප අතරින් සමුගෙන ගියහ.

මේ මැයි ගහ යට, ඉතින් ඊට පස්සේ, දේදුන්නෙන් එන සමනලු‍නේ, කල්පනා ලොව මල්වනේ, විකසිත පෙම් පොකුරු පියුම්, සුවඳ දැනී දැනී, පාරමී දම් පුරමු අප දෙදෙනා, අපි ආයෙත් හමු නොවුණා නම්, මල් පොකුරු පොකුරු ඈ එන මග, රන් කෙන්දෙන් බැඳ, නින්ද නේන රාත්‍රියේ, සිරිමා බෝ මැඩ, ආදර සැමරුම් කැටිවුණ, බෝධියේ විහාරයේ, මිදුලේ අතන නංගෝ, බොල් වී අහුරු වෙල් සුළඟේ ගිය සේම, කිරි කවඩි සිනහ, මුව මුක්තා ලතා, ගෙල වට බැන්දා වූ මුතු පොටේ, බොඳ මීදුම් කඳු රැල්ලේ, පෙමාතුර හැඟුම්, ආශා නිරාශා මැවූ, පාරමී දම් පුරමු අප දෙදෙනා, දුරස් වන්නට මේ ලෙසින්, මංගල මල් දම, කල්පනා ලොව මල් වනේ, රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ අජන්තා රණසිංහයන්ගේ ජනප්‍රිය ගීත කිහිපයක් පමණි.

ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ ගීත බොහොමයක අපූරු රසවත් පසුබිම් කතා ගණනාවකි. ඒ සෑම පසුබිම් කතාවකින්ම හෙළිදරව් වන අවසන් සත්‍ය වන්නේ ඔහු මොනතරම් ප්‍රතිභාසම්පන්න මෙන්ම සුන්දර කලාකරුවෙකුද යන්නයි. මේ ඇතැම් අත්දැකීම්වල මතකය සම්බන්ධයෙන් අජන්තා රණසිංහයන්ගේ ආදරණීය දියණිය සාරාංගා රණසිංහගෙන් අපි විමසා සිටියෙමු. පියකු ලෙස ඔහු මොනතරම් ආදරණීය මිනිසකුද යන්න ඇගේ කතාවෙන් අවධාරණය වේ.

“අපිට යමක් තේරෙන වයසට එනකොට තාත්තාගේ නිර්මාණාත්මක පරිසරය තේරුම් ගන්න පුළුවන් වුණා. එයා අපට හරිම කරුණාවන්ත විදියට සලකපු කෙනෙක්. තාත්තා කවදාවත් බැනපු සැරෙන් කතා කරපු මතකයක් මට නෑ. එයා මම පොඩිකාලෙ මාත් එක්ක කාලය ගත කරද්දි මගේ වයසට ඇවිත් කටයුතු කළා වගේ හැඟීමක් තියනවා. වැඩිහිටියෙක් ළමයකුට සලකන විදියට වඩා ඒ සමීප වීම බරපතළයි. තාත්තා පවුලට දැඩිව බැඳුණු කෙනෙක් කියන එක හැම තිස්සෙම අපි තුළ තිබුණා. ඔහු පවුලේ සෑම කටයුත්තක්ම කළේ අම්මයි මමයි මල්ලියි මූලික කරගෙන. තාත්තට මහලොකු ආර්ථික ශක්තියක් නොමැති කාලෙ පවා පුංචි කාලෙ අපට වාහනවල එහෙ මෙහෙ යන්න තියන කැමැත්ත තේරුම් අරන් අමාරුවෙන් හරි අපි වෙනුවෙන් වාහනයක් ගත්ත හැටි මට මතකයි. ඒක ඒ තරම් හොඳ වාහනයක් නෙවෙයි. සමහරදාට ඒක අපට තල්ලු‍ කරන්න වෙනවා. ඒත් තාත්තා එහෙම කළේ අපේ රුචි අරුචි කම් තේරුම් අරන් කියලයි මට හිතෙන්නෙ.

මට මතකයි ඒ දවස්වල තාත්තට පුවත්පත් රාජකාරි කටයුතු සඳහා පිට රට යන්න සිද්ධ වෙනවා. ඒ කාලෙ අද වගේ දුරකතන පහසුකම් තිබුණෙ නෑනෙ.  රට ගියාම එහේ වෙන දේවල් කියලා අපට දිග ලියුම් ලියලා තැපැල් කරලා එවන පුරුද්දක් තාත්තගේ තිබුණා. හැබැයි ඒ ගොඩක් ලියුම් ගෙදරට ලැබුණෙ තාත්තා රට ඉඳල ගෙදර ඇවිල්ලත් දවස් තුන හතරකට පස්සෙ. හරිම සුන්දර මතකයක් මට තාත්තා ගැන තියෙන්නෙ. ඇත්තටම ඔහු පිළිබඳව කියන්න මට වචන නෑ. තාත්තා නැතිවුණාට පස්සෙ මට ඇතිවුණ ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ.”‍

අජන්තා රණසිංහයන් තුළ පැවැති දරු සෙනෙහස මොන තරම්ද යන්න පෙන්වා දීමට ඔහුගේ ගීතාවලියෙහි එක් ගීතයක් පමණක් වුවත් ප්‍රමාණවත් වනු ඇත. ඒ වික්ටර් රත්නායකයන්ට ලියූ සිරිමා බෝ මැඩ ගීතයයි. අලු‍ත උපන් දියණිය පිළිබඳ ඔහු මේ ගීතයේ ගොඩනගන කලාත්මක වියමන අපූරුය.

 

සිරිමා බෝ මැඩ - මුනිදුන් වැඩ හිඳ
දසමර සේනා දිනූ බෙලෙන්
ජය පැන් කරඬුව දෝත දරා මා
නිදන්න දූ කුමරී

 

සාරාංගා මේ ගීතයේ මතකය සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.

“70 දශකයේ මුල තමයි මේ ගීතය ලියවිලා තියෙන්නෙ. මම ඉපදුණේ 1971. මම හරියටම දන්නෙ නෑ මම ඉපදුණු ගමන්ද ඊට මාස ගාණකට පස්සෙද මේ ගීතය ලියැවුණේ කියලා. මට අවුරුදු තුන හතර වෙද්දි තාත්තා ටේප් රෙකෝඩරය ගෙනැත් ඔය සින්දුව මට ඇහෙන්න දානවා මතකයි. ඒත් තේරෙන වයසට එද්දි තමයි මේ ගීතය මට ලිව්ව කියල දැනගත්තෙ. ඒක තවත් දැඩිව දැණුනෙ තාත්තා අප අතරින් වෙන් වෙලා ගියාට පස්සෙ. ”‍

අජන්තා රණසිංහයන් පළ කළ “විකසිත පෙම් ”‍ ගීත සංග්‍රහ කෘතියේ ඔහු මේ ගීතය නම් කරන්නේ  “තාත්තාගේ නැළවිලි ගීය”‍ නමිනි.

අජන්තා රණසිංහයන්ගේ ගීතාවලිය තුළ වැඩි වශයෙන්ම දක්නට ඇත්තේ ප්‍රේම ගීත සහ විරහ ගීත ය. ලෝකයේ වඩාත් සාර්ථකම නිර්මාණ බිහි වී ඇත්තේ ද විරහව පදනම් කරගෙන බවට මතයක් තිබේ. ඒ කෙසේ වෙතත් විරහ රසයක් දරා ගැනීමට ඉවසා ගැනීමට නොහැකිව මිනී මරා ගන්නා අද වගේ සමාජයක අජන්තා රණසිංහ වැනි සුවිශිෂ්ට කලාකරුවන් තම නිර්මාණ මගින් ලබා දුන් වින්දනීය ආදර්ශය මොනතරම් අගනේදැයි තවදුරටත් නූතන සමාජය හමුවේ විමසිය යුතුව ඇත. මෙවැනි අතිසුන්දර ගීතාවලියක් නිර්මාණය වූයේ කෙසේද? සාරාංගා මේ ගැන කියන්නේ මෙවැන්නකි.

“අපේ ගෙදර තිබුණෙ ඕනැම දෙයක් විවෘතව කතා කරන්න පුළුවන් තත්වයක්. අපි හතර දෙනාම ගෙදර හිටියෙ යාළුවෝ වගේ. තාත්තට මුල් කාලයේ ප්‍රේමයක් තිබුණාය. මේ අත්දැකීම්වලින් ගීත ලියැවුණාය කියන එක අපේ ගෙදර හැමෝම දැනගෙන හිටියා. ඒක අපේ අම්මා ඉතාම හොඳින් තේරුම් අරගෙන හිටියා. තාත්තා කියන්නෙ නිර්මාණකරුවෙක් කියනදේ ගැන අම්මා කටයුතු කළේ අවබෝධයෙන්. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා තාත්තා නැතිවුණාට පස්සෙ තාත්තා ගැන කතාවක් කරලා කිව්වා අජන්තාට මේ විදියට ගීත නිර්මාණ කරන්න ලැබුණු පරිසරය ගොඩනැගුණෙ බිරිඳ නිසා කියලා. අම්මා කවදාවත් තාත්තා ලියන ගීත ගැන ප්‍රශ්න කරන්න ගියේ නෑ. මේක ලිව්වෙ කාටද මේක ලිව්වෙ කාටද කියල අහන්න ගියේ නෑ. ”‍

අජන්තා රණසිංහයන් විවාහ ජීවිතයට එළැඹෙන්නට ප්‍රථම ඔහු යුවතියකට ප්‍රේම කරන්නට ඇත. එහෙත් ඒ ප්‍රේමය බිඳ වැටී යන්නට ඇත. ඒ විප්‍රලම්භ ශෘංගාරය ඇසුරේ අසිරිමත් ගී පදවැල් ලියැවෙන්නට ඇත. අජන්තා තිවංක රේඛා කාව්‍ය සංග්‍රහය පළ කරන්නේ නවසිය හැට ගණන්වලය. ඒ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. ඔහු ඒ කාව්‍ය සංග්‍රහයේ වැඩි ඉඩක් ලබා දෙන්නේ මේ කියන විප්‍රලම්භ ශෘංගාරයටය. නවසිය හැත්තෑව කාලයේ අජන්තා රචනා කළ මට ළඳුනි වරම් නැත නවකතාවේද එම වස්තුවිෂයයම විහිදී යයි. ඒ සියල්ලට වඩා ඔහු ලියූ විරහ ගීවල මිහිරියාව රසික හදවත්වල ද රිදුම් පිරිමැදුම් සැඟවී ඇත.

 

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැටවාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක සැන්දෑවරුවක
සීතළ වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ

මේ අපූරු ගීතය පිළිබඳව අජන්තා රණසිංහයන් පළ කළ අදහසක් කුලරත්න ආරියවංශයන් කලකට පෙර පුවත්පතකට ලියූ ලිපියක සටහනක වෙයි. එහි මෙසේ දැක්වෙයි.

‘මිනිස් සංහතියේ පැවැත්ම ඔවුනොවුන්ගේ බැඳීම් ඉදිරි ගමන ආදී සියලු‍ සිදුවීමක්ම බැඳී ඇත්තේ ආදරය නමැති රැහැනින්. ලොව පවතින්නේ ආදරය නමැති පදනම මතයි.

ප්‍රේමය, දාරක සෙනෙහස, යොවුන් ආදරය වැනි විවිධාකාර වූ ඒ හැඟීම් ඇසුරුකරගත් අප ජීවිතයේ යම් යම් කේන්දර ස්ථානයන් මතකයෙන් ඈත් නොවන සේ ජීවිතයට එකතු වෙනවා. යළි යළිත් ආවර්ජනය කිරීමේ දී ඒ සිදුවීම් ඇතැම්විට හදවතට සතුටක්, ඇතැම්විට දුකක් මුසු කරනවා. මේ ගීතයෙන් කියැවෙන අත්දැකීම් ඕනෑම යොවුන් පෙම් යුවළකට පොදු වූවක්. එක් අවධියක ඉතාම තදින් බැඳුණු දෙහදක ආදරය කලකදී බිඳී වෙන් වී ඔවුන් ඈත් කරන්නට පුළුවනි. එහෙත් ලොව පරිසරය එක විලසින් පවතිනවා. පරිසරයේ පැවැත්ම එහෙමයි. ඇය නැතත් එදා මෙන්ම අදත් මැයි මල් පිපෙනවා. වැසි ඇද හැලෙනවා”‍

අජන්තා ගේ ගීතවලට පදනම් වන මේ මැයි ගස කොළඹ අවට තැනෙක තිබෙන්නට ඇත. එය බොහෝ පෙම්වතුන්ට සෙවණ සදන්නටද ඇත. මේ මැයිගස අජන්තාගේ ගීත නිසාම බොහෝ රසිකයන් අතර ජනප්‍රිය විය.  අජන්තා ලියූ දුරස්වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ, අපි ආයෙත් හමු නොවුණා නම්, දම් පැහැ වීදුරු පුංචි වළල්ලක්, විකසිත පෙම් පොකුරු පියුම් ආදී සෑම ගීතයකම පදනම වන්නේ ප්‍රථම ප්‍රේමයයි.

නිර්මාණ රචකයකුගේ සෞන්දර්යාත්මක මනස නිවැරැදිව තේරුම් ගැනීමත් ඒ නිර්මාණාත්මක සිතිවිලි තලා පොඩිකර නොදැමීමත් උත්තම මනුෂ්‍ය ගුණයකි. අජන්තා රණසිංහයන්ගේ දයාබර බිරිඳ ක්‍රියා කළ ආකාරයෙන් ඇගේ ඒ උත්තම මනුෂ්‍ය ගතිය හෙළිදරවු වේ. ආචාර්ය අජන්තා රණසිංහයන් අප අතැර ගිය මොහොතේ සිදුවූ සංවේදී සිදුවීමක් සාරංගා රණසිංහයන් සිහිපත් කළේ මේ අයුරිනි.

‘‘තාත්තගෙ මරණය වෙලාවෙ පාංශකූලයත් දුන්නට පස්සෙ තාත්තා කලින් දැන හඳුනාගෙන සිටි කාන්තාවක් ආවා. මේ ලියැවුණු බොහෝ ගීත පිටිපස්සෙ සිටින්නට ඇත්තේ ඇය. ඉන් පස්සෙ ඇය තාත්තාගේ මෘත දේහය බලලා යන්න සූදානම් වුණාට පස්සෙ අපි එක්ක කතාබහ කළා. ඒ වෙලාවෙ අම්ම කිව්වෙ ඔයා මගේ හස්බන්ගේ නිර්මාණවලට ලොකු දායකත්වයක් දුන්න කියලා. මං හිතන්නෙ අපෙ අම්ම ඒ අතින් හරිම ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියලා.”‍

“ඒත් අම්ම තාත්ත අතර කිසිම ගැටුමක් තිබුණෙ නෑ. අම්මා වෙනුවෙනුත් තාත්තා බොහෝ ගීත ලියලා තිබුණා. සෝමතිලක ජයමහ මහතාට තාත්තා ලියපු එකම සින්දුව තමයි අපි ආයෙත් හමු නොවුණා නම් ගීතය. ඒත් ඒක හරියට ජනප්‍රිය වුණා. මම දන්න හැටියට ගීතයට ලංකාව් පළමු වැනි මියුසික් වීඩියෝ එක හැදුවෙ දුරස්වන්නට මේ ලෙසින් ගීතයට.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සෑම ප්‍රේම ගීතයකම විරහ ගීතයකම උත්තම ගුණයේ නොනිවෙන ප්‍රදීපයක් දැල්වේ. එනම් ප්‍රේමයේ සැබෑ ධර්මතාවයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සඳහන් කළේද ප්‍රේමය නම් අසෙනිය කුසුමකි රිසි වූ කෙනකුට පූජා කරන්ට යනුවෙනි . එයින් අවධාරණය වන්නේ ප්‍රේමයේ සැබෑ ප්‍රකාශනය පරිත්‍යාගය යන්නයි. වෙන්ව ගිය පෙම්වතියට කිසිම විටෙක දොස් පරොස් නගන චෝදනා කරන වෛර කරන එකදු අල්ප මාත්‍ර ප්‍රකාශයක් හෝ අජන්තාගේ එකම ගීතයකවත් දක්නට නොලැබේ. ඒ වෙනුවට එහි ඇත්තේ තම වේදනාව උපේක්ෂාවෙන් දරාගැනීම පමණි. තමන් ප්‍රේම කළ අයට සුබ පැතීම සෙත් පැතීම පමණි. එයින් හෙළිදරව් වන්නේ සැබෑ කලාකරුවකු සතුව පවත්නා පිවිතුරු ආධ්‍යාත්මයයි. සංස්කෘතික මිනිසකු ලෙස ඔහු ලැබූ ශික්ෂණයයි.

 

අජන්තා ලියන්නේ මෙසේය.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම්
ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා.

තමන්ට පිටුපා පතිකුලයට යන පෙම්වතියට ඔහු අමතන්නේ මගේ සොඳුරු ළඳුනේ යනුවෙනි. ඇය වෙනුවෙන් පතන්නේ විරහ ගිනි නොලැබෙන්නටය. ඇගේ ජීවිතයේ ප්‍රාර්ථනා විජිතයේ මැණික් පහන් වැට දැල්වෙන්නටය.

 

බොල් වී අහුරු වෙල් සුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
පිටගං ගොසින් මා අමතක උණත් නගේ
අත මිට සරුව නුඹ යහතින් ඉදින් නගේ

ඇගේ වෙන්වීම රචකයා දරාගන්නේ උපේක්ෂාවෙනි. තුන් හිතකවත් අමනාපයක් නැතැයි කියන ඔහු එය සංසාරයේ පතා ගෙන ආ සැටියැයි සිතමින් වේදනාව දරාගනියි. 

සාරංගා රණසිංහ අප සමග මෙසේ කීවාය.

“තාත්තගෙ හිතේ වෛරය, ක්‍රෝධය, තරහව තිබුණෙ නෑ. ඔහු කළේ දරාගත්ත එක. අපේ ජීවිතවල අපි හැදුණු වැඩුණු පරිසරයේ අත්දැකීම් අනුව ඒක මට කියන්න පුළුවන්. තාත්තා ගමක හැදුණු වැඩුණු කෙනෙක්. එයාට ඒ වගේ දේවල් ජීවිතයට පුරුදුවෙලා තිබුණා.

 

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
කියන ගීතය බැලු‍වත් ඒකෙදි තාත්තා ලියන්නේ
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි

 

කියලා. තාත්තා විශ්වාස කළා කරන දේ හරියට කරන්න ඕනැ කියලා. සින්දුවක් ලිව්වත් ඒක හරියටම කළා. නිර්මාණයකින් වෛරය පතුරන්න ඔහු කල්පනා කළේ නෑ. එයින් සමාජයට වැඩදායී දෙයක් කිරීමේ වුවමනාව ඔහු සතුව තිබුණා.”‍

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගීත රසික සිත් හි අමරණීය වීමට බලපෑ එක් ප්‍රබල කාරණයක් වන්නේ ඔහු සතුව පැවැති විශිෂ්ට භාෂා හැකියාවයි. ඇත්තෙන්ම මේ නිර්මාණාත්මක ප්‍රතිභාව ඔහු පෝෂණය කරගන්න ඇත්තේ කෙසේද?

 සාරාංගාට මේ ගැන ඇත්තේ මෙවන් අදහසකි.

“පන්නල තලම්මැහැර තමයි තාත්තගේ ගම. තාත්තගෙ තාත්තා ඉංග්‍රීසි වෛද්‍යවරයෙක්. තාත්තගෙ අම්ම ගුරුවරියක්. ඒත් තාත්තට නිර්මාණ සඳහා ආභාසය ලැබෙන්නෙ ඒ දෙන්නගෙන් නෙවෙයි. කලාවට අත්පොත් තියල තියෙන්නෙ තාත්තගෙ ලොකුමාමාගෙන්. ඔහු අශෝක පීරිස්. ඒකාලෙ රාජ්‍ය සම්මාන ලැබූ ලේඛකයෙක් ඔහු. තාත්තා කොළඹ ආවට පස්සෙ ඔහු ඇසුරු කරපු ගුරුවරු, යහළුවෝ නිසා මේ උනන්දුව වර්ධනය වෙලා තියෙන්නෙ. තිලකරත්න කුරුවිට බණ්ඩාර, කරුණාරත්න අමරසිංහ වගේ මිතුරන් එක්ක තමයි තාත්තගෙ තරුණ විය ගතවුණේ . දැන් වගේ නෙවෙයි. මේ අය එකට එකතු වෙලා පොත් පත් කියවන, නිර්මාණ රසවිඳින පරිසරයක් තිබිලා තියෙනවා. කොටින්ම කිව්වොත් හොඳ ශාස්ත්‍රීය පරිසරයක තමයි තාත්තලාගෙ තරුණ විය ගත වෙලා තියෙන්නෙ. තාත්තා පුරුද්දක් හැටියට ජීවිතේ අන්තිම වෙනකල්ම පොත පත කියෙව්වා. ඔවුන් තුළ තුබුණා ඉහළ රසවින්දනයක්. ඒක පෝෂණය වුණා අර කියවපු දේවල්වලින්. අනිත් පැත්තෙන් ඔවුන්ගේ ඉතාම සංවේදී ගුණයක් තිබුණා. ඒවා නිර්මාණවලදී ගැළපුණා අර පෝෂණය වූ රසවින්දනය හා භාෂාව එක්ක.”‍

අජන්තා රණසිංහයන් රචනා කරන

මුව මුක්තා ලතා පිපි හංසාංගනා

වැනි ගීතයක දී ඔහු භාවිත කරන බස ඔහුගේ නිර්මාණාත්මක පරිකල්පනය හා භාෂා විශිෂ්ටත්වය පෙන්වා දීමට කදිම උදාහරණයකි. සාරංගා රණසිංහ අප සමග පැවැසූයේ සෑම කලාකරුවකු තුළම අප විශ්මයට පත් කරන නිර්මාණ කිහිපයක් ඇති බවයි. මෙය පූර්ව තනුවකට අනුව ලියැවුණු ගීතයකි. එඩ්වඩ් ජයකොඩි මහතා තනුව ලබා දුන්නාට පසු දිනයේම මේ ගීතය තාත්තා අතින් ලියැවුණු බවයි සාරාංගා සඳහන් කළේ. එම ගීතය ගායනා කළේ අජන්තා ලියූ වචනවල එකම ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස්කිරීමකින් තොරවය. එම ගීතගේ සංගීතය ආනන්ද පෙරේරාගෙනි. පැරැණි සාහිත්‍යයේ යම් යම් ආභාසයන් අජන්තාට මේ ගීතය ලිවීමේදී බලපා තිබේ. එය සාරංගා ප්‍රකාශ කළ පරිදිම අපව විස්මයට පත් කරන නිර්මාණයකි.

අජන්තා රණසිංහයන් සතුව පැවැතියේ කෙනකුට කලාතුරකින් පහළ වන තරමේ නිර්මාණාත්මක ප්‍රතිභාවකි. ඔහුගේ ගීතවලින් මේ රටේ කොතරම් රසික ජනතාවක් තම ජීවිතය යළි කියවා ගන්නට ඇද්ද? රසවින්දනය පොහොසත් කරගන්නට ඇද්ද? සංස්කෘතික මිනිසුන් බවට පත්වන්නට ඇද්ද? දරාගැනීම, උපේක්ෂාව, ඉවසීම, ප්‍රේමයේ යථාර්ථය ආදී මොනතරම් මානව ධර්මතා රැසක් තම ජීවිතයට උරුම කරගන්නට ඇද්ද?පොඩි දේටත් ගහමරා ගන්නා වර්තමාන සමාජයේ විරහවක් දරාගන්නට නොහැකිව අමනුෂ්‍ය වෙස් ගන්නා සිදුවීම් බහුල සමාජයේ සුවපත්භාවය වෙනුවෙන් අජන්තා රණසිංහ වැනි විශිෂ්ට නිර්මාණ රචකයන්ගේ මෙවන් නිර්මාණ තවදුරටත් සමීප කරවීමත් ඒ ඇසුරින් සමාජයේ රසවින්දනය දියුණු පවුණු කිරීමත් යුගයේ අනිවාර්ය අවශ්‍යතාවක් මව අවධාරණය කළ හැකිය.

 

(***)
සටහන
ගාමිණී කන්දේපොළ



අදහස් (2)

විකසිත පෙම් පොකුරු පියුම්

Jayasekara Wednesday, 26 February 2025 04:32 PM

කාටත් කියවලා තේරුම් ගන්න පුළුවන් වචනයක්. බර බර වචන නැහැ.

:       0       6

Nishan Thursday, 27 February 2025 06:06 AM

ඉතාමත් ආසාවෙන් කියවපු ලිපියක්. මොකද ලිපිය ලියා ඇත්තේ ඉතාම ආස කරන ගීත රචකයෙක් ගැනවීම නිසා. මේ කතාවල් කියපු ඔහුගේ දියණියට ගොඩාක් ස්තූතියි. මෙහි සඳහන් වූ සියළුම ගීත මගේත් ප්‍රියතම ගීතයි. අපි මේ ගීත අහනකොට ගොඩක් වෙලාවට ගායකයා ගැන හොයනවා මිසක් ගීත රචකයා සහ තණු, සංගීත නිර්මාණකරුවන් ගැන හොයන්නේ නෑ. ඒත් ගීතයක් හිතට කා වදින ලෙස නිර්මාණය කරන්න මේ සියළු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. මේ මැයි ගහ යට ගීතය එවැනි ඉතා සාර්ථක සංයෝගයකින් බිහිවූවක්. ඒ ගීතය ඇහුවේ ගොඩක් කාලෙකට කලින්. ඒ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත අහපු කාලේ. ඒත් එහි රචකයා සහ ඊට පසුබිම් වූ කතාව ඇහුවේ මේ මෑතකදියි. එහිදී දැඩි කණගාටුවක් ඇති උනා. ඒ කතාව අපි බොහෝ දෙනෙක්ගේ කතාවයි. අදටත් හිත බර වෙන, ඇස් බර වෙන ඉතිහාසයක් අප හැමෝගේම යටගියාවේ තියෙනවා. ඒ කතාව ඉස්මතු කලේ මේ ගීයයි. ඊට ඉතා මනරම් තනුවක් සහ සංගීතයක් එක් කල මිල්රෝයි ධර්මරත්න මහතාවත් ඉතා කෘතවේදීව මතක් කරනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

පාතාලය මැඬීමේ යුද්ධය
2025 මාර්තු මස 04 109 1

දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය


අනෝතත්ත විල නෙළුම නෙලාලා
2025 මාර්තු මස 04 137 0

මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණ


අයවැයේ අනාගත පණිවිඩය
2025 මාර්තු මස 04 77 0

අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්


නුදුටු කුමරතුඟුන්ගේ අගේ
2025 මාර්තු මස 03 55 0

කුමරතුඟු‍ මුනිදස් මහ සුබැසියාණන්ගේ ඊයේට (2) යෙදුණු 81 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 41 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ජාතික ආරක්ෂාව අනතුරේද?
2025 මාර්තු මස 01 326 1

පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20052 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 448 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 531 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site